2012-05-29

අවවාදයයි. මොබයිල් මයිට්ලාගෙන් ප්‍රවේශම් වන්න

සු-වර්ණවාහිනිය රටට ඇහෙන්න අටට කිව්වේ මාරම මාර නිවුස් එකකි. ඒ නිවුස් එකට අනුව මෙසේ සිදු වී ඇත.
අපේ එම් ආර් අයි එකේ කට්ටිය මාරම මාර වැඩක් කර ඇත.
එතන වැඩ කරන මහත්තැන් කෙනකුගේ ජංගම දුරකතනයේ තිරය මත නලියන වස්තුවක් දකින්නට ලැබුනු නිසා, ඒක ගණන් නොගෙන ඉන්නෙ නැතුව (එම් ආර් අයි එක තුළදී ඕනෑ තරම් සොයාගැනීමට ඇති) චීනක්කණ්ණාඩියක් ආධාරයෙන් තිරය ලොකු කර බලා තිබේ. එසේ බැලූ විට ඒ නලියන්නේ මයිට් නමැති කෘමියකු බව අඳුනාගැනීමට එම් ආර් අයි මහත්තැන්ලා සමත් වී ඇත. තවද, ටෙලිපෝනය මත මේ මයිට්ලා ජනපදයක් හදාගෙන සිටි බවත්, මෙවැන්නක් සොයාගැනුණේ ලෝකයේ පළමු වතාවට බවත් සු-වර්ණවාහිනිය වැඩිදුරටත් පැහැදිළි කළේය.
මෙය ඉතා භයානක තත්වයක් වන්නේ එම මයිට්ලා කණ තුලට රිංගා අපට විවිධාකාර පීඩාවන් ගෙන දීමට ඉඩ තිබෙන නිසා බවද අපට කියා දෙන ලද්දේ සු-වර්ණවාහිනියෙන්මය.
මේ නිවුස් එක අහපු වෙලාවේ සිට මගේ කණ ඇතුලෙන් කසනවා වගේ දැනෙන්නට පටන් ගත් අතර මම තවමත් එය කැසීමක්ද නැත්නම් වෙනත් යමක්ද කියා කල්පනා කරමින් සිටිමි.
මේ ටෙලිෆෝන් එකේ වර්ගය මොකක්ද කියල කිව්වනං අපිට ඒ වර්ගයේ ටෙලිෆෝන් පාවිච්චි නොකර ඉන්නටත්, දැනට අපි ළඟ ඒ ජාතියේ ඒවා තියනවනං එම් ආර් අයි එකට ගෙන ගොස් චීනක්කණ්ණාඩි වලින් බලවාගැනීමටත් තිබිනි. එහි සිටින සතුන් හඳුනාගැනීමට අපට නොහැකි නිසා, වෙනත් තැන්වල ඇති චීනක්කණ්ණාඩියකින් පරීක්ෂා කර බැලුවා කියා වැඩක් වන්නේ නැත.
තවද, මා දැන් ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ (කෝකටත් කියා) කණට අඟල් දෙකක් පමණ ඈතින් තබාගෙනය. එහෙත් මයිට්ලාට පියඹායාමට හෝ දුර පැනීමට හැකියාව තිබෙනවාද කියා එම් ආර් අයි මහත්තැන්ලාගෙන් කෝල් එකක් දී (ලෑන්ඩ් ෆෝන් භාවිතා කර) ඇසීමට සිතා සිටිමි.
ප.ලි. මේ නිවුස් එක අහගෙන හිටපු පොඩි එකා කිව්වේ ඒ ටෙලිෆෝන් එක සාක්කුවේ දාගෙන හිටපු අංකල් නිදාගෙන සිටි තැන බල්ලෙක් හරි පූසෙක් හරි නිදාගෙන ඉන්නට ඇතැයි කියලාය. පොඩි එකාට මේ සොයාගැනීමේ බරපතලකම නොතේරෙන නිසා මෙවැනි පලක් නැති දේවල් කියනවායැයි මම සිතමි.

2012-05-23

සිංහල බ්ලොග් හරහා සී අයි ඒ කුමන්ත්‍රණ?

කාලෙකට ඉස්සෙල්ල ලියපු මේ පෝස්ට් එක පබ්ලිෂ් කරනවද නැද්ද කිය කියා හිත හිත ඉඳලා අන්තිමට ඕ.පු. කියලා පබ්ලිෂ් කරන්න තීරණය කළා. (මේකෙ තියන සමහර වර්තමාන කාල වාක්‍යයන් දැන්නම් අතීතයට ගිහින්)
මේක කාටවත් පහර ගහන්න නෙමෙයි ලිව්වෙ. මේ මට හිතෙන හැටියි.

ශ්‍රී ලංකාව කියන්නෙ වැඩකට නැති රටක් කියල අපි කවුරුහරි හිතනවනං ඒක අන්තිම මෝඩකමක්. අපේ රටේ තියන සම්පත් වලින් හරි හැටි ප්‍රයෝජනයක් ගන්න බැරි නොයෙකුත් බාධක නිසා නොවෙයිනම් මේ රට සුරපුරයක සැප ඇති රටක් බවට පත් කරන්න බැරි කමක් නැහැ. අපේ රටට වඩා සම්පත් බොහොම අඩුවෙන් තියන රටවල මිනිස්සු අද අපට වඩා සැප සේ ජීවත් වෙන මාර්ග හදාගන තියනව.
 
අපට තේරුම් ගන්න බැරි වුනාට මේ රටේ සම්පත් ගැන ඇහැ ගහගන ඉන්න අය ලෝකෙ නැතුවා නෙවෙයි. ඒ අය, විශේෂයෙන් ලෝකයේ පොලිස් කාරයා බවට තමන් විසින්ම පත් වෙලා ඉන්න අධිරාජ්‍යවාදී ප්‍රජාතන්ත්‍රවාදියා වන ඇමරිකානු ආන්ඩුව මැද පෙරදිගට දුන්න ගේම ලංකාවටත් නොදෙයි කියන සහතිකය දෙන්න පුළුවන් කාටද?
සී අයි ඒ සංවිධානයට සම්බන්ධකම් තියන විවිධාකාර තරාතිරමේ පුද්ගලයන් සිටින බව රහසක් නෙවෙයි. රටේ තියන ගැටළුවක් ප්‍රශ්නයක් අල්ලගෙන ඒකට පෝර දාල සරු කරල රටේ ඉන්න මිනිස්සුන්වම අවුස්සලා රට අස්ථාවර භාවයට පත් කිරීමේ සුපුරුදු සහ පැහැදිළිව පෙනෙන උපාය මාර්ගයන්ට අමතරව ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙ මානසිකත්වය වහල් භාවයට පත් කරන ක්‍රමවේදයත් ඔවුන්ගේ උපක්‍රමයක්.
මේ ලිපිය ජීනිවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ වැඩකටයුතු එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ලංකාවේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ නැති බවක් වත්, ආණ්ඩුවට සහ‍යෝගය දීල මානව හිමිකම් සමුළුවෙන් ගෙන එන යෝජනා පරාජය කරන්න ඕනැ කියලවත් මේ ලිපියෙන් යෝජනා කරන්නෙ නැහැ කියන එක අවධාරණයෙන් කියන්න ඕනැ. ඒ වුනත්, අම්මයි බිරියි එක්කල ඔරුවක නැගල යද්දි ඔරුව පෙරළුනොත් බේරගන්නෙ අම්මවද බිරිවද කියන ගැටළුව වගේ මානව හිමිකම් සංවිධානයේ යෝජනාවකට සහයෝගය දීල ආන්ඩුව පෙරළනවද නැත්තං ආන්ඩුවට සහයෝගය පෙන්නල පුළුවන් වුනොත් මානව හිමිකම් සංවිධානයෙ යෝජනාවක් පරාජය කරනවද කියන එක කල්පනා කරල තීරණය කරගන්න.
සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් අඩවි විශාල ගණනක් තියනව. මේ සමහර ඒව ලියන්නෙ මොබයිල්මෑන් වගේ ආරූඪ නම් වලින්. තවත් සමහර ඒව ලියන්නෙ සංවිධාන වශයෙන් කියලයි කියන්නෙ. සමහරවිට මේ සංවිධාන වල සාමාජිකත්වය දෙකක් වෙන්නත් පුළුවන්. මේ වෙබ් අඩවි අතර තියනව අන්තවාදී වෙබ් අඩවි, උදව් කරන වෙබ් අඩවි, දැනුම වඩන වෙබ් අඩවි ආදී නොයෙක් විදිහට වර්ගීකරණය කරන්න පුළුවන් වෙබ් අඩවි. මේ වෙබ් අඩවි වලින් කියැවෙන දේ වගේම ඒවට වැටෙන කමෙන්ට් වලින් කියැවෙන දේවල් ප්‍රවේශමෙන් අධ්‍යයනය කරල බැලුවහම පෙනෙන දෙයක් තමයි, අපේ රටේ මිනිසුන් කොටසක් ටිකක් භයානක අන්තයක් කරා ඇදී යන බව.
අපේ රටේ පැවැතුනු තිස් අවුරුදු යුද්ධයට සී අයි ඒ එකෙන් පෝර දැම්මෙ නැහැයි කියන්න පුළුවන්ද? දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් හිරිහැර සිද්ධ වුන එක ඇත්තක්. ඒක පිළිගන්න බැහැයි කියල කාටවත් අවංකව කියන්න බැහැ. හැබැයි මෙන්න මේ මූලික පදනමට එන්න ඕනැ.
අපේ ගෙදර හදන බල්ලෙකුට හොඳට කටු නැතිව මස් එහෙම කන්න දීල අපට කියන්න පුළුවනි “සළකනව” කියල. අපි ඒකට පුටුව උඩ නිදාගන්න ඉඩ දෙන්නෙ නෑ. ඇයි ඒ? ඌ බල්ලෙක් නිසා. ඉතිං බල්ලත් අපිත් එක්ක තරහ වෙන්නෙ නෑ. පුටුව නැති වෙන එක ඌට මහ දෙයක් නෙවෙයි. දෙමළ මිනිසුන්ට සිංහලයා අතින් අසාධාරණයක් වුනේ නෑ කියන අයගේ තර්ක වලත් ඒ වගේ අඩුපාඩුවක් තියනව. අපි දෙමළ අයට සැළකුවාය, රටේ ඉහළ තනතුරු වලට එන්න දුන්නය කියල කිව්වට, යම් යම් තීරණාත්මක අවස්ථාවන්හිදී අපි අර පුටුවට නැගපු බල්ලට සළකන ආකාරයට දෙමළ මනුස්සයට සැළකුවා. මේ කියන්නේ ඔබ හෝ මම ගැන නෙවෙයි. සමස්තයක් වශයෙන් සිංහල සමාජය ගැන. ඉතිං ඒ හරහා ඇති වුනු පොඩි පොඩි වෛරී සිතුවිලි වලට පෝර දාන්න ඉදිරිපත් වුනේ දෙමළ දේශපාලකයො. මේ ඉතිහාසය අපි කවුරුත් දන්න නිසා නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ.
දැන් අපි දෙමළ සටන්කරුවන් තුවක්කුවෙන් මැඬල “සාමය” ස්ථාපනය කරලනෙ තියෙන්නෙ. ඉතිං ඒ කතාව පැත්තකින් තියමුකො. දැන් ඊ ළඟට කරන්න තියෙන්නෙ මුස්ලිම් කාරයො ටික මැඩපවත්වන එක. ඒ මොකටද, උන් දෙයියනේ කියල බිස්නස් එකක් කරගෙන ඉන්නව. ඒ බිස්නස් නැගල යනව. සිංහල මිනිහට බිස්නස් කිරීම එච්චර අල්ලල යන්නෙ නෑ. එතකොට මොකක්ද කරන්න තියෙන්නෙ. මුස්ලිම් කාරයන්ට ගහල එලවන එක. ‍මේක තනියම කරන්න බැහැ. ඒ නිසා තමයි අපි “ජාතියේ” උදව්ව ඉල්ලන්නෙ. ඒක නිකම්ම කරන්න බැහැ. මුස්ලිම් කාරයා ගැන වෛරයක් ඇති කරවන්න ඕනැ. ඉතිං ඒකට නෙයෙකුත් කතන්දර ඉදිරිපත් කරනව. සිංහල ගම් මැද්දෙ පල්ලි හදපු හැටිපන්සල් වනසන හැටිමහමෙවුනාව මැද පල්ලියක් හදපු හැටි, ගාලු කොටුව මැද්දෙ පල්ලියක් හදමින් ඉන්න හැටි, මුස්ලිම් කඩ වලින් කන්ඩ දෙන හැටි, ඉස්ලාම් ආගමික කැලැන්ඩර් අරාබි අකුරෙන් ගහල සිංහල ජාතිය නැති කරන්න  හදන හැටි, මේ ආදී නොයෙකුත් දේ. (දැන් ෂුවර් එකටම මොබයිල්මෑන් හම්බයෙක් කියල, නැත්තං මොබයිල්මෑන් හම්බයින්ට දෙන එකෙක් කියල රසවත් ප්‍රතිචාර, බෞද්ධ කුනුහරප එහෙම එයි. ඒ වුනාට මේ ලිපියෙ ප්‍රධාන අරමුණ මේ ප්‍රශ්නය ගැන කතා කරන එක නෙවෙයි)
ඔය විදිහට එක පැත්තක විනාශයක් කරන පාරක් හදාගෙන යද්දි, තව පැත්තකින් අපට “උදව්” හම්බවෙනව.
අපේ රටේ සමහර අය විවිධ හේතූන් නිසා වෙනත් ර‍ටවල පදිංචියට යනවා. බොහෝ දෙනෙක් යන්නෙ රැකියාවන් වලට නැත්තං අධ්‍යාපනය සඳහා. ඒ අතරතුර සැප සේ ජීවත් වෙන්න කියල හිතාගෙන යන පිරිසකුත් ඉන්නවා, භෞතික සම්පත් වලට ආස කරන අය. ඇමරිකාව වගේ ර‍ටවල ඉන්න සමහර අය ඒ රටේ දේවල් මහා ඉහළින් අගය කරනවා. පහුගිය දවස් වල නිහාල් ගුරුසිංහ කියල මහත්මයෙක් ලියන යථාර්ථවාදියා කියන බ්ලොග් එකේ පළ කරපු “රට ගිය ඇත්තෝ” කියන කතාව සමහර අය උපුටලා අරගන නිර්නාමිකව හෝ තමන්ගෙ නමින් ඊ මේල් කරල තිබුන. ඇත්තටම ඒ කතාව සංවේදී ආකාරයට ලියල තිබුනු එකක්. කියවන්න වටින කතාවක්. ඉතින් මේ කතාව කියවපු සමහර අය ඒ ඊ මේල් එකට රිප්ලයි කරල තිබුන “මේක බොරුවක්. හිත හිතා ඉන්නෙ නැතුව ආපහු එන්න පුළුවන්නෙ” කියල එහෙම. ‍(ඒ කතාවේ තියනවා, කථකයා එහෙ ජීවිතය ගැන කළකිරිල ආපහු එන්න හිතන බව”) පිටරට ඉන්න සමහර අය ලංකාවට එන්නෙ කවදද කියල හිත හිත ඉන්නැද්දි තවත් සමහර අය ලංකාවෙ සමාජයට වෛර කරනවා. ලංකාවෙ මිනිස්සු කුහකයි, මෝඩයි ආදී වශයෙන් මත පළ කරනවා. ඒත් තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව බ්ලොග් හරහා ඒ කුජීත මානසිකත්වය වපුරනවා. ඉස්සෙල්ලම ඔවුන් කරන්නෙ හර බර ලිපි මගින් පාඨක අවධානය දිනාගන තමන්ගෙ බ්ලොග් එක ජනප්‍රියත්වයට ගෙන එනවා. ඊට පස්සෙ ටිකෙන් ටික දිගහරින්න පටන් ගන්නවා අර “බණ”. ලංකාවේ තියන හැම දෙයක්ම ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් වෙනව. සමහර විට ඒ අය තේරුම් අරගෙන නැතුව ඇති තමන් මේ කරන්නෙ මොකක්ද කියල. දැනගෙනම කරනව වෙන්නත් පුළුවනි.
ඉතිං බ්ලොග් කියවන ඔබටත් මටත් තියෙන්නෙ මනා අවබෝධයකින් යුක්තව කියවීමයි.

2012-05-21

අවසානයේදී අප වෙතටද අසූචි .....

අවි ගත්තෝ අවියෙන්ම නැසෙතැයි කියමනක් තිබේ. මේ කියමන යළි සිහියට නැගුනේ කොටි ගැන මතක් වීමෙන් නොවේ. නවතම සන්නිවේදන මාධ්‍යය වූ වෙබ් පිටු සහ ඊ මේල් හරහා යහමින් කරගෙන යන යුද්ධයක් දැකීමෙනි. මේ නවතම යුද්ධය ආරම්භ වූයේ ශාප ලත් තිස් අවුරුද්දේ අවසානය සනිටුහන් වීමෙන් පසුව වීම අහම්බයක් නොවේ.
යුද්ධය අවශ්‍ය වන්නේ කාටද? ගල් යුගයේදී සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වූ වනචාරී මිනිසා ශිෂ්ටාචාරය වෙත ළගා වීමෙන් පසුවත්, ආයුධ සමග සෙල්ලම් කිරීම ජානමය පුරුද්දක් වූ බව පෙනේ. දියුණු ලෝකයේ මිනිසා දුනු ඊතල වෙනුවට අධි තාක්ෂණික ජීව නාශක උපකරණ භාවිතා කරන්නට පටන් ගත්තේ මේ ජානමය පුරුද්ද නිසාමදැයි කිව නොහැකිය.
කා සමග හෝ ආරවුලක්, ගැටුමක් ඇති කර නොගෙන සිටීම අසීරු කටයුත්තක්දැයි සිතෙන තරමටම වලියට බර මිනිස්සු අප අතර සිටිති. ඔවුනට සාමය යනු අතිශය වේදනාබර සංසිද්ධියකි. එක්තරා මහ මැතිවරණයකින් පසුව කෝ මොකවත් නෑනෙ කියමින් පාර අයිනට වී බලා සිටි අයකු මගේ සිහියට නැගෙයි. යම්තම් ඇති වන බහින් බස් වීමක් මහා ගැටුමක් බවට පත් කර එකකු දෙන්නකු පරලොව යාමෙන් පසුව නිමාවට පත්වනු බලා සතුටු වන්නෝ සිටිතැයි මට හැ‍ඟේ.
මේ අටුවාව කියා පෑවේ, පිරිබාහරන් නමැති ත්‍රස්තවාදියාගේ මරණයෙන් පසුව හදිසියේ මතු වූ ජාතිකාභිමානී ව්‍යාපාරයන් දැකීමෙන් ඇති වූ බියජනක හැඟීමක් නිසාය. තවත් විස්තර කරන්නේ නම්,  මේ රටේ සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් කථා කිරීමට අනගාරික ධර්මපාලයන් වලෙන් නැගිටුවාගෙන කෑගසන ජාත්‍යොන්මාදවාදීන් පිරිසක් බිහි වී සිටින බවත්, මෙරට ජීවත් වන අසිංහල අබෞද්ධයන් පිටුවාහල් කිරීමට හෝ මරා දැමීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත්, මේ සඳහා ඉතා සනීපදායක ලෙස පරිගණක තාක්ෂණය භාවිතා කරමින් ජනතාව කුපිත කිරීමට මේ අමනයන් දඟලන බවත්, අන්තර්ජාලයේ සිංහල වෙබ් පිටු දෙස බලා සිටින විට පෙනී යන නිසාය.
අතිශයින්ම ජුගුප්සාජනක වූ මේ ලිපි වලින් කියවෙන්නේ මෙරට ජීවත් වන අසිංහලයන් හා අබෞද්ධයන් සිංහලයන් හා බෞද්ධයන් විනාශ කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරන බවත් එම නිසා, සිංහල ජාතිය සහ බෞද්ධාගම රැකගැනීමටනම් ඉහත කී කොටස් මෙරටින් තුරන් කළ යුතු බවත් ය.
ආගමන විගමන නීති රීති දැඩිව නොතිබුනු අතීතයේදී මේ දිවයිනට විවිධ ජාතීන්ට අයත් විවිධ ආගම් අදහන පිරිස් ගොඩබැස්සෝය. ඔවුන් මෙරට පැලපදියම් වූයේ ඇතැම් විට ස්වදේශිකයන්ගේ ආශීර්වාදයද ඇතිවය. කෙසේ වුවත්, කිසිම විදේශිකයකු මෙරටට ඇතුළු වූ වහාම ඔවුන් පිටුවාහල් කිරීමට ගන්නා ලද කිසිම උත්සාහයක් වාර්තාගත ඉතිහාසයේ දක්නට නැත. ආක්‍රමණිකයන් වශයෙන් සළකා ඇත්තේ දුටුගැමුණු රජතුමා විසින් පරාජය කරන ලද සොළී හමුදාවත්, සීතාවක රාජ්‍යය පැවැති කාලයේ සටන් කළ පරංගි හමුදාවත්, අනතුරුව මෙරටට ගොඩබට ඉංග්‍රිසි හමුදාවත් පමණකි. දෙමළ සහ මුස්ලිම් ජන කොටස් මෙරටට කවදා පැමිණියේදැයි කියා සටහනක්වත් නොමැත. ඒ කෙසේ වෙතත්, ගෙරි සමකින් වටවන බිම් ප්‍රමාණය භුක්ති විදීමට පරංගින්ට ඉඩ දුන් බවත්, ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍යය ගිවිසුමකින් පවරා දුන් බවත් ඉතිහාසය කියා දෙයි.
මේ හැරෙන්නට, ගජබා රජතුමා විසින් ඉන්දියාවට ගොස් දොළොස් දහසක් වූ පිරිසක් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවන ලද අවස්ථාවේ ඉන්දියානු කාර්මික කුළ දහ අටකට අයත් 210ක් පිරිස මෙහි පැමිණි බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ. මෙසේ පැමිණි පිරිස වීසා කාල සීමාව නිම වෙද්දී ආපසු ගිය බවක්වත්, පාස්පෝට් එක වෙනුවට ජාතික හැඳුනුම්පතක් ලබා ගත් බවවත්, දැනගන්නට නැත.
දැන් මේ රටේ පුරවැසියන් බවට පත් වී සිටින ජාතීන් කීපයක් ඇත. ඔවුන්ගේ දෙමාපියන් ද ඒ දෙමාපියන්ගේ දෙමාපියන්ද උපත ලබා ඇත්තේ මේ රටේ ය. එසේ උපන් ඔවුන්ට මේ බිමේ ජීවත් වීමට අයිතියක් නැතැයි කිව හැක්කේ කුමන පදනමකින්ද?
ජාතියේ මුර දේවතාවුන්යැයි කියාගන්නා මේ යතුරුපුවරු සටන්කාමීන්ගේ තර්කය නම් මේ දිවයින තුළ වෙසෙන් සිංහල බෞද්ධ නොවන ජන කොටස් විසින්, විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් විසින් සිංහලයන්ගේ උරුමයන් විනාශ කරන බවත් බෞද්ධ උරුමයන් විනාශ කරන බවත් ය. එපමණකින් නොනැවතී වෙළඳ ව්‍යාපාර හරහා සිංහලයන්ගේ වස්තුව කොල්ල කමින් ජාතිය වඳ කිරීමට ටොපි දෙන බවත් ය.
මුහුදු මහා විහාරය වෙත යන මාර්ගය මුස්ලිමුන් විසින් අවහිර කරමින් තිබේ. කුරගල ආරණ්‍ය සේනාසනය තුළ ඉස්ලාම් ආගමික ස්ථානයක් ඉදි කර තිබේ. මහමෙවුනාවේ කැළෑබද ස්ථානයක සාදා තිබුනු පල්ලියක් මේ සිංහල බලවේගය විසින් විනාශ කරන ලදී. ගාලු කොටුවේ ද මොක්කදෝ එකක් සාදන බවට ඡායාරූප බෙදාහැර තිබුනු නමුත් දැන් ඒ ගැන සද්දයක් නොමැත. අළුත්ම සිද්ධිය වූයේ දඹුලු විහාරයට අයත් පූජා භුමිය තුළ ඉදි කළ බව කියූ පල්ලියයි.
යම් ආගමික උරුමයක් හෝ ජාතික උරුමයක් විනාශ කිරීමට තවත් ජාතියකට හෝ ආගමකට අයිතිවාසිකමක් නැති බව සත්‍යයකි. එහෙත් එසේ වන්නේ කෙසේද යන්න ගැන කවරකු විසින් හෝ සළකා බලා තිබේද? බෞද්ධයන් හෝ සිංහලයන් විසින් තමන්ගේ උරුමයන් නිසි ලෙස රැකබලාගෙන නඩත්තු කරමින් සිටියේ නම් ඉහත කී ව්‍යසනයන් සිදු වීමට ඉඩක් ලැබේද?
තමන්ගේ අතින් සිදුවිය යුතු යුතුකම අමතක කොට සිටින ‍සිංහල බෞද්ධයන්ට ජාතිය ගැන ආගම ගැන මතක් වන්නේ තවත් කෙනකු ඇවිත් තමන්ගේ ආගමික වැඩක් පටන් ගැනීමෙන් පසුවය. එක අතකින් වෙනත් ජාතීන් වෙනත් ආගමිකයන් මෙරට නොවන්නට සිංහලයන්, බෞද්ධයන් විසින් එකිනෙකා මරාගෙන මේ වන විටත් ජාතිය වඳ වී ආගම නැති භංගස්ථාන වී යන්නට ඉඩ තිබුනා නොවේද?
මේ සියල්ලට වඩා නින්දා කටයුතු දේනම් අනෙකුත් ආගම් වලට සහ ආගමික කතෘ වරුන්ට කුනුහරුපයෙන් බැණ වැදීමත් නින්දා කිරීමත් ය. එ‍සේ බැණ වැදීමේ තරම කෙතරම්දයත්, එම ජාත්‍යානුරාගී ලිපි කියවීමට දරුවන්ට ඉඩ දිය නොහැකි තත්වයක පවතී. එසේ වූ කළ දරුවන් තුළ ජාත්‍යානුරාගය ඇති කරවන්නේ කෙසේද? ආගමික හැඟීම් පුබුදුවාලන්නේ කෙසේද?
මෙම වැඩ පිළිවෙලේ තර්කානුකූල ප්‍රතිපල දැන් ඇති වෙමින් පවතී. මල මූසලයා නොහොත් උපාසක මහත්තයා යනුවෙන් තමන් හඳුන්වාගත් අයකු විසින් දැන් දැන් මේවාට පිළිතුරු ලියන්නට පටන් ගෙන තිබේ. ඒවාත් අර භාෂාවෙන්ම කරන අයුරු බලා සිටීමට අසීරුය. ඒත් කරන්නට දෙයක් නැත. අප ගල් වලින් පහර දෙද්දී ඔවුහු අපට ගල් වලින් ම පහර දෙති. අප අසූචි වලින් පහර දෙන විට ඔවුහු ද අසූචි වලින් පහර දෙති. අවසානයේ බුදුරජාණන් වහන්සේ වෙත අසූචි දමා ගසන්නට අප විසින් මාර්ගය පාදා දී තිබේ.

2012-05-02

රාවණාගේ කතා තවත් නොකියමි?

මේ බ්ලොග් එකේ පෝස්ට් කීපයක් මං පළ කලා රාවණා ගැනත් සිංහලයාගේ ආරම්භය ගැනත් විවිධ අදහස් එකතු කරලා. ඒකෙන් මං අදහස් කළේ සිංහල ජාතියේ ආරම්භය ගැන පවතින ප්‍රධාන මතවාද දෙකක් ගැන විමසා බලන්නටයි. ඒ පෝස්ට් වලට විවිධ කමෙන්ට්ස් දාල තිබුනා. ඒ කමෙන්ට්ස් ඔස්සේ ගිහින් තව තව දේවල් කියවලා බලන්නටත් අවස්ථාවක් ලැබුනා. ඒ වගේ සංවාදයකට එළැඹෙන්න ලැබුන එකත් ලොකු සතුටක්.
අපේ රටේ සමහරු විශ්වාස කරනවා සිංහල ජාතියේ ආරම්භය විජයාගමනය නිසා ඇති වූ බව. එතනදිත් සුළු වෙනස්කම් සහිතව තමයි ඒ ගැන අදහස් ඉදිරිපත් වෙන්නෙ. මූලික වශයෙන්ම විජයගේ පියා ගැනත් සීයා ගැනත් ඒකමතික වූ නිගමනයක් නැහැ. සුප්පා දේවිය සමග වනයේ ජීවත් වුනේ සිංහ වංශයේ මනුස්සයෙක් හෝ සිංහ ගති සහිත මනුස්සයෙක් බවත්, ඔහුගේ පුතා සිංහබාහු බවත් පොදුවේ පිළිගැනෙන මතයක්.
කොහොම වුනත් සිංහබාහුගේ පුතෙක් වූ විජය කුමාරයා හත්සියයක පිරිවරක් සමග ලංකාවට පාවෙලා ආපු බව වංශ කතාවන්ගෙන් කියවෙනවා. මේ හත්සීයම පිරිමියො කියලයි විශ්වාස කරන්නෙ. ඉතින් පිරිමින්ගෙන විතරක් පරම්පරාවක් හැදෙන්න බැහැනෙ. ස්වදේශික ස්ත්‍රීන් විවාහ කරගෙන මේ හත්සීයක් වූ පිරිස විසින් පරම්පරාවක් බිහි කළ බවයි පිළිගැනෙන්නෙ. එතකොට මේ හත්සීයම සිංහ වංශයෙද?
ලංකාවේ ඒ වෙනකොට හිටියේ සූර්ය වංශිකයො කියල අදහසක් තියෙනව. සූර්ය වංශික ස්ත්‍රීන් සිංහ වංශික පුරුෂයන් සමග විවාහ වුනා කියල හිතුවොත්,  ඒ අයගෙන් බිහිවුනු පරම්පරාව අළුත්ම වංශයක ආරම්භය කියල හිතන්න පුළුවනි. මේ අළුත් වංශය සිංහල වංශය වෙන්න ඇති නේද?
සිංහල ජාතිය ඇති වුනේ “සිවු“ සහ “හෙළය“ කියන වචන දෙකේ එකතුවකින් කියල අදහසක් ඉදිරිපත් වෙලා තිබුනා. මෙතනදි ගැටළුව තමයි, මොකක්ද මේ සිවු හෙළය කියන්නෙ කියන එක. වචනයක් හැදෙන විදිහටමද ජාතියක් හැදෙන්නෙ.
විජය කුමාරයා පිළිබඳ ප්‍රවාදයට පටහැණි අදහසක් තමයි, මේ දිවයිනේ අනාදිමත් කාලයක පටන් සිංහලයා ජීවත් වුනාය කියන එක. ඒ මතවාදය අනුව තමයි රාවණා රජ්ජුරුවො සිංහල ජාතියේ ආදි නායකයෙක්ය කියන අදහස. මේ රාවණා සංකල්පය ලංකාව තුළ වගේම ඉන්දියාව, මියන්මාරය (කලින් බුරුමය), තායිලන්තය (කලින් සියම් දේශය) වගේ රටවලත් පැතිරුණු එකක්. ඒ රටවල පැතිරිලා තියෙන එකිනෙකට මඳ වශයෙන් වෙනස් වූ ප්‍රවාදයන් අනුව අපට පිළිගන්න පුළුවනි රාවණා නමින් රජ කෙනෙක් ලංකාපුරය කියන  ප්‍රදේශයේ හිටියයි කියන එක. ඒ වුනත්, රාවණා රජතුමා සිංහලයෙක් කියල හිතන්න පුළුවන් සාක්ෂියක් තමයි නැත්තෙ.

මට මේ කතා ඇහෙනකොට මතක් වෙන සිද්ධියක් තියනව. ඉස්සර, ඒ කිව්වෙ දැනට අවුරුදු තිහකට හතළිහකට ඉස්සර, චන්දෙ කාලෙට අපේ ගෙදරට යන එන මිනිස්සු ඉතින් දේශපාලනේ ගැනමනෙ කතාව. ඒ කතා කිසිම න්‍යායාත්මක බවක් නැති නිකං ඕපාදූප විතරයි ගොඩක් වෙලාවට. ඒ අතරෙදි, අපේ තාත්තලගෙ තිබුනු දේශපාලන පක්ෂපාතිත්වයට ගැලපෙන අය ආපු වෙලාවට පළාතෙ එක එක පුද්ගලයන් ගැන කියවෙනව. අහවලා යූ ඇම් පී. අහවලා සම සමාජ. අහවල් කට්ටිය ශ්‍රී ලංකා. ඔය ආදී වශයෙන්. ඒ කාලේ ජේවීපී කියන්නෙ ප්‍රසිද්ධ දේශපාලනය තුළ මුල් බැහැගත්තු පක්ෂයක් නෙවෙයි. මං ඒ වෙනකොට පොඩි එකා, චන්දෙ දාන්න වයස මදි. හැබැයි ඉතින් යමක් කමක් තේරෙන වයසෙ. ඉතින්, එක දවසක් මනුස්සයෙක් ඇහුව අපේ තාත්තගෙන් “අහවල් දොස්තර මහත්තයා මොකේද කියල දන්නවද?“ කියල. එයා සඳහන් කළේ පළාතෙ පිළිගත් වෛද්‍යවරයෙක් ගැන. තාත්ත ඒ ගැන දන්නෙ නැති බවයි පෙන්නුවෙ. ඒ පාර අර මනුස්සය කියපි, එයා අපේ එකේ තමයි කියල. මේ වගේ කතා වලදි පොඩි මානසික තෘප්තියක් ලැබෙනව. පිළිගත් පුද්ගලයෙක් අපි ඡන්දෙ දාන පක්ෂෙටම ඡන්දෙ දානවනෙ කියල හිතෙනව.
රාවණා රජ්ජුරුවො සිංහලයෙක් කියපුවහමත් දැනෙන්නෙ ඒ වගේ සතුටක් නේද?
මේව ගැන කතා කරන්න ගිහින් තමයි මානව සංහතියේ ආරම්භය හා පරිණාමය ගැන පසුගිය ලිපි වලින් සාකච්ඡා කරන්න මං උත්සාහ කළේ. දැන් නේෂන් කියල හඳුන්වන්නෙ එකම භාෂාවක් කතා කරන, එකම සංස්කෘතියක් (දළ වශයෙන් වෙනස්කම් තියෙන්න පුළුවනි) අනුව කටයුතු කරන, ජන කොට්ඨාශයක් ද, එහෙම නැත්නම්, ඒකීය වූ පරිපාලනයක් යටතේ ජීවත් වන ජන සමූහයක්ද?
මිනිසා තමන්ගේ පැවැත්ම සහ වර්ධනය සඳහා ජාතියක් වශයෙන් වෙන් වෙන්න හදනව නේද? දැන් බලන්න පවුලක් ඇතුළත දේපොල බෙදාගැනීමේදී තමන්ගෙ අයිතිය වෙනුවෙන් මිනිසා තනිව කටයුතු කරනව නේද? එතකොට පවුල් දෙකක් අතරෙදි ඇතිවන හබයකදි, පවුල වෙනුවෙන් තමයි සටන් කරන්නෙ. ගම් දෙකක් අතර ආරවුලක් ඇති වුනොත්, ගම වෙනුවෙන් කටයුතු කරන්න පෙළඹෙන්නෙත් ඒ මිනිසාමයි. මේ ආකාරයට තමයි ජාතිය ගැන හැඟීම ඇති වෙලා තියෙන්නෙත් කියන එකයි මං විශ්වාස කරන්නෙ. සිහි බුද්ධිය තියන කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් අමතක කරල දාලා ජාතිය වෙනුවෙන් කටයුතු කරනවද? සමහරවිට තාවකාලිකව පෞද්ගලිකත්වය අමතක කරල දමාවි අනාගතයේ ඇති වන යහපතක් වෙනුවෙන්නම්.
මිනිහා අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට ගෞරව කරන්න ඕනෑ. ඒ විදිහටම පුළුල්ව කටයුතු කරද්දි ජාතීන් වශයෙන් අන්‍යොන්‍ය ගෞරවයක් තියෙන්න ඕනෑ. එහෙම වුනාම තමයි ලෝකයට සාමයක් ඇති වෙලා ලෝකය දියුණු වෙන්නෙ. ඉදිරියට යන්නෙ.
මගේ විශ්වාසයනම්, තමන්ගෙ ජාතිය ගැන මහා ලොකුවට කෑ මොර ගසමින් අනෙක් ජාතීන් විනාශ කරන්න ඕනැ කියල බෙරිහන් දෙන්නෙ කුහක ආත්මාර්ථකාමීන් කියන එකයි.
තවත් කාරණාවක් තියනව කියන්න.
මේ බ්ලොග් එකේ තිබුනු පෝස්ට් වලින් රාවණා රජ්ජුරුවො ගැන කියවුනු ඒවට වැඩ්යෙන් හිට්ස් ලැබිල තිබුනා. හැබැයි වැඩියෙන්ම හිට්ස් තිබුනෙ, "හිටගෙන චූ කරන්න එපා" කියන පෝස්ට් එකටයි.

ජාතියක් කියන්නෙ මොකක්ද? දැනට ජාතියක් කියන වචනය වෙනුවට ඉංගිරිසියෙන් යොදාගැනෙන්නෙ නේෂන් කියන වචනය. ඒ වුනත්, ඒ පරිවර්තනය එච්චර සාර්ථක නැහැයි කියලයි මගේ පිළිගැනීම. ජාතිය කියන්නෙ උත්පත්තිය හා සම්බන්ධ එකක්. එතකොට පුද්ගලයෙකුගෙ ජාතිය කියන්නෙ ඒ පුද්ගලයා උත්පත්තියෙන් නෑ කම් දක්වන්නෙ කුමන ජන කොට්ඨාශයකටද කියන එකයි. එහෙම වුනාම, “ශ්‍රී ලාංකීය ජාතිය“ වගේ සංකල්ප අර්ථ ශුන්‍ය වෙනව.