2012-03-21

රාවණ යුගය හා මානව ශිෂ්ටාචාරය

මම කළින් දාපු පෝස්ට් වලදි සාකච්ඡා කරන්න උත්සාහ කළේ රාවණ රජතුමා බෞද්ධයෙක් විය හැකිද, සිංහලයෙක් විය හැකිද, ජාතියක් වශයෙන් සිංහලයාගේ ආරම්භය සොයා ගැනීමට හැකි වේවිද, සිංහල ජාතිය ඇති වුනේ කුමන සම්භවයක් මගින්ද යනාදී කාරණයන් ගැනයි.
අපි එක්කො පිළිගන්න ඕනැ දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා මැවුවයි කියල.
එහෙම නැත්නම් පිළිගන්න ඕනැ ස්වභාවික වූ හේතුවකින් ඇති වූ ඵලයක් ලෙස මනුෂ්‍යයා බිහි වුනයි කියල.
මගේ පිළිගැනීම දෙවැන්නයි. මං මැවුම්කාර දෙවියකු විශ්වාස කරන්නේ නැහැ. සෑම ඵලයක්ම හේතුවක් නිසා ඇති වෙනවයි කියන එකයි මගේ විශ්වාසය. (ඒ කියන්නෙ මං හේතු-ඵල වාදියෙක්)
ලිඛිත ඉතිහාසයෙන් එහා ලෝකය ගැන, මිනිසාගේ සම්භවය හා පරිනාමනය ගැන විද්‍යාඥයන් විසින් නොයෙක් සොයාගැනීම් කර තිබෙනවා.  ඒ වගේම, ලෝකයේ විවිධ පළාත්වල ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාවන්ගේ දේහ ලක්ෂණ, ජානමය ලක්ෂණ අනුව එක් එක් මානව ප්‍රභේදයන් හඳුනාගෙන තියෙනවා. ලෝකයේ බිහිවූ ජීවීන්ගෙන් සත්වයන් ඇති වෙලා, ඒ සත්වයින්ගෙන් මනුෂ්‍යයන් ඇති වෙලා අද තියෙන ආකාරයේ විවිධ වූ ජාතීන් ඇති වන්නට අවුරුදු 2,100,000,000ක් විතර ගිහින් තිබෙන බවත්, වර්තමාන ස්වරූපයේ මනුෂ්‍යයන් බිහිවෙලා අවුරුදු 200,000ක් විතර ගත වෙලා තිබෙන බවත් මේ පිළිබඳව ගවේෂණය කළ විද්‍යාඥයන්ගේ සාමාන්‍ය පිළිගැනීමයි. මේ කාල වකවානු අතිශය නිවැරදි සොයාගැනීමට නොහැකි බව අප කාටත් පැහැදිළි‍යිනෙ.
මේ ආකාරයට ඇති වුණු මානවයන් ලෝකය පුරාම ක්‍රමානුකූලව විහිදිලා ගොස් තිබෙනවා. එසේ විසිරුනු මානවයන් නිසැකවම පදිංචි වන්නට ඇත්තේ තමන්ට සුදුසු වූ ආහාර සහ ජලය ලබාගැනීමට හැකියාව තිබෙන ස්ථාන ආශ්‍රිතව වෙන්න ඕනැ. අනිත් සත්වයින් ලෝකයේ විකාශනය වූ ආකාරයට වඩා මානව වර්ගයා විකාශනය වූ ආකාරය වෙනස් විය යුතුමයි, මානවයාගේ හැකියාවන් වැඩි වූ නිසා.
පසු කාලයේදී පුරාවිද්‍යාත්මක කැණීම් හරහා සොයාගැනුනා ‍ලෝකයේ ඇතැම් ස්ථානයන්හි දියුණු ශිෂ්ටාචාරයන් තිබී ඇති බව.  මෙසපොතේමියානු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආදිය මෙන්ම තවමත් සොයා නොගැනුනු ශිෂ්ටාචාරයන් ද තිබිය හැකියි. ලංකාවේත් ආදි මානවයන් සිටි බවට තොරතුරු සොයාගෙන තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල බෙලි ලෙන අවට අවුරුදු 12,000කට පමණ පෙර ජීවත් වන්නට ඇතැයි සැළකෙන මිනිසුන්ගේ ඇටසැකිළි තිබුණු බව සඳහන් වෙනවා. බලංගොඩ මානවයා අවුරුදු 32,000කට පමණ පෙර ජීවත් වූ බවයි පිළිගැනෙන්නේ.  කළුතර ෆාහියන් ලෙන අසළත් ආදි මානවයන් පිළිබඳ සාක්ෂි තිබිල තියෙනවා. ෆාහියන්ගල පදංචිකාරයෝ ජීවත් වෙලා තියෙන්නෙ අවුරුදු 33,000කට පෙර කාලයේ සිට අවුරුදු 4,750කට පෙර කාලය දක්වා බවත් කියැවෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට බටදොඹලෙන අවුරුදු 8000කට පෙර ජනාවාස වී තිබුනු බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා.
කෙසේ වුවත්,  මේ සියල්ලන්ම ආදි මානවයන් බවයි පෙනෙන්නේ. එනම්, මානව ශිෂ්‍ටාචාරයන් ඇති වන්නට පෙර ජීවත් වූ කොටස්. මේ ජනාවාස නොකඩවා දිගටම පැවැතුණු බවක් කියැවෙන්නෙ නැහැ. එයින් අදහස් වන‍්නේ ඔවුන් වඳ වී ගිය බවක් ද නැතිනම් වෙනත් ප්‍රදේශයන් කරා සංක්‍රමණය වූ බවක් ද?
මානව වර්ගයා දඩයම් යුගය, ගල් යුගය, එ‍ඬේර යුගය ආදී වශයෙන් පැවතෙමින් ඉඳලා, ශිෂ්ටාචාරය වශයෙන් අපි කියන තත්වයට ආවේ පවුල් කීපයකින් සමන්විත වූ කණ්ඩායමක්, එහෙම නැත්නම් “රැහැක්” විදිහට. ඒ වගේම ඔවුන්ට ස්ථිර වූ වාසස්ථානයක් තිබිල නෑ. තවමත් ඒ විදිහට ජීවත් වන අහිතුන්ඩික කණ්ඩායම් ලංකාවේත් වෙනත් රටවලත් සිටිනවා. මේ කණ්ඩායම් ජීවත් වෙලා තියෙන්නෙ ඒ පවුල් වල වැඩිහිටියාගේ අණසක යටතේ. පසු කාලීනව මේ රැහැ ‍විශාල වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාජික සංඛ්‍යාව වැඩි වෙනවා. හැබැයි ඒක වෙන්නෙ බොහොම හෙමින්. ඒකට හේතුව තමයි, උපත් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අතර වෙනසක් නැති තරම් කුඩා වීම. වනවාසී ජී‍විතේ අනතුරු බහුලව තියෙන්න ඇතිනෙ. සමහර විට සාමාජිකත්වය දෙගුණ වෙන්න අවුරුදු හාර පන්දාහක් ගියා වෙන්නත් පුළුවනි.
මේ වැඩි වර්ධනය වූ කණ්ඩායම් නිසා, අවසානයෙදී ගෝත්‍රයක් හැදෙනවා. ගෝත්‍ර හැදෙනකොට ඔවුන් ස්ථාවර නිවාසස්ථාන හදාගන ඉන්නෙ. මේ ගෝත්‍රිකයොත් අප්‍රිකානු ර‍ටවල එහෙම තවමත් ඉන්නවා. අපේ රටේ වැදි පරම්පරාවත් එක් විදිහකට මේ වැනි ගෝත්‍රික ජන කොටසක්.
මේ විදිහට “තවමත් ඉන්නවා” කියද්දි ‍කාට හරි ඇති වෙන්න පුළුවනි මේ වගේ ගැටළුවක්.
“ඇයි ඉතින් මේ ලෝකෙ මිනිස්සු මෙච්චර දියුණු වෙලා ඉන්නැද්දි ගෝත්‍රිකයො තවමත් නොදියුණු තත්වෙම ඉන්නෙ?”
මේ ගෝත්‍රිකයො ඉන්නෙ වල් වැදිල. මහ කැළෑ වල. බාහිර පිටස්තර ලෝකය එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. හැබැයි ලංකාවෙ වැද්දන්ගෙ තත්වය මෙයිට වඩා වෙනස්. දැන් වැදි ජනතාව ලංකාවෙ අනිත් අය එක්ක සියලු ආකාරයේ ගනුදෙනු කරනවා. ඔවුන් සමහර වෙලාවට ඔවුන්ගෙ “වැදිකම” පාවිච්චි කරන්නෙ සංචාරකයෙකුගෙන ගාණක් කඩාගන්න වගේ වැඩකට.
මානව පරිණාමය වානරයාගෙන් පටන්ගත්තා කියන තැනට අපි යමු. මේ වානරයා රැළෙන් කැඩිල දෙපා වලින් හිටගෙන වැඩපොල කරන්න පුරුදු වීමනෙ ආරම්භය වෙන්නෙ. දැන් මේ වානරයගෙ අත් දෙක නිදහස් නිසා නොයෙකුත් වැඩපොල කරන්න පටන් ගන්නව.  ප්‍රධාන කාර්ය වෙන්නෙ ආහාර සොයාගැනීමනෙ.  ඉතින් වානරය කාලෙ ගහෙන් ගහට පැන පැන පල වැල සොයාගෙන ගියාට වඩා පහසුවෙන් අඩු කාලයක් තුළ කෑම වේල හදා ගන්න එයාට පුළුවන් වෙනව අත් දෙක නිදහස් නිසා. හොඳ සතෙක් මරාගත්තනං දවස් ගානක් ගොඩ. ඔහොම යද්දි එයාට විවේක කාලයක් ලැබෙනව. මහන්සිය අඩුයි. ඉතින් පොඩ්ඩක් කලාවට එහෙම බර වෙනව. ගල් ගුහා අස්සෙ චිත්‍ර අඳිනව. ඉතින් වෙලාව ඉතුරු වුනහම කල්පනා කරන්න පටන් ගන්නව. ඔහොම ඔහොම ගිහින් වානර මිනිසා සම්පූර්ණයෙන්ම වෙනස් සත්වයෙක් බවට පත් වෙනව. ඒත් වානරය එතනමයි. එයාගෙ අත්දෙක නිදහස් වෙලා නෑනෙ. හතර ගාතයම පාවිච්චි කරනව ගස් නගින්නත් ඇවිදින්නත් හැම වැඩකටමත්.
දැන් බලන්න පළමුවෙනි කොම්පියුටර් එක හදන්න මිනිස්සුන්ට කොච්චර කාලයක් ගත වුනාද කියල. ඒත් දැන් එහෙම නෑ. දැන් කම්පියුටර් හදන්නෙත් කම්පියුටරයිස් කරපු කර්මාන්තශාලාවල.
ඒ කියන්නෙ පොඩ්ඩක් දියුණු වුනාහම එතනින් එහාට ගමන වේගවත්. පරිනාමනය වේගවත්.
මේ විස්තරය ගෙනාවෙ ගෝත්‍රික ජන කොටස් තවමත් එතනම ඉන්නෙ ඇයි කියන එක පැහැදිළි කරන්න. මේ ගෝත්‍රික ජන කොටස් බාහිර ලෝකයෙන් ඈත් වෙලා ඉන්න නිසා, ඔවුන්ගෙ මූලික කාර්යයන් කරගන්න මුළු දවසම දඟලනව. ළමයි ඉස්කෝල වලට යවන්න බෑ. දැනුම දියුණු වෙන්නෙ නෑ. බෙහෙත් වශයෙන් ගස්වල කොළ පොතු අරගෙන බොහොම ප්‍රාථමික මට්ටමෙන් හදාගන්නෙ.
මෙහෙම හැදුනු ගෝත්‍රික කණ්ඩායම් ස්ථිර වාසස්ථාන වලට පුරුදු වුනාට පස්සෙ තමයි ගම් දනව් ඇති වෙන්නෙ. ඔන්න ඒ ගම් ප්‍රසාරණය වෙලා ජාතියක් බිහි වෙනව. ඔවුන් කතා කරන්නෙ ඔවුන්ගෙ භාෂාව. ඔවුන්ගෙ ගම තුළ අදහස් හුවමාරු කරගැනීමට යොදාගත්තු ශබ්ද වචන බවට පත්වෙලා අන්තිමට භාෂාවක් වෙලා.
ඊ ළඟට අපි කතා කරමු රජවරු හැදුන හැටි.


4 comments:

  1. sha maruneeeeeeeee
    dhigatama liyanna.......
    obata jayenn jaya.................!

    ReplyDelete
  2. කෝ මේකෙ රාවණා යුගයක් ගැන නැහැනේ? මාතෘතාවේ විතරයි?

    ReplyDelete
  3. ලිපිය නම් නියමයි සහෝ... පැහැදිලියි... ඒත් මාතෘකාව තමයි ප්‍රශ්ණය !!! ඉදිරි ලිපි බලාපොරොත්තුවෙන්...ජය !!!

    ReplyDelete
  4. මේක ලිපි මාලාවක එක පියවරක්.
    මාතෘකාව අදාළ වෙන්නේ ලිපි මාලාවටයි.
    වරදට සමා වෙන්න

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.