2012-03-08

අද ලෝක කාන්තා දිනයයි

අද ලෝක කාන්තා දිනයයි. සෑම වසරකම මාර්තු 08 වෙනි දින කාන්තා දිනය සමරනු ලැබෙනවා. මේ වසරේ සමරනු ලබන්නේ 101 වෙනි කාන්තා දින සැමරුමයි.
ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ විවිධ පීඩා , ඇනුම් බැනුම්, නින්දා අපහාස විඳිමින් ලොව සතර දිග්භාගයේ පීඩාවට පත් වූ කාන්තාවන් ඒ පීඩනයෙන් මිදෙන්නට ඉතිහාසයේ වරින් වර දැරූ උත්සහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට ‍එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමේ අරමුණින් අන්තර්ජාතික කතිකාවත් රැසක් ප්‍රකාශයට පත් කර ති‍බේ. මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ ද එවැනි පසුබිමක් යටතේය.
ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද පසු 1911 මාර්තු 19දා ලෝකයේ පළමුවැනි ජගත් කාන්තා දිනය සමරනු ලැබ තිබේ. විසිවැනි සියවසේ ශීඝ්‍ර කාර්මිකකරණය හා ආර්ථිකය පුළුල් වීම තුළ ඇතිවුනු වැඩ කිරිමේ කොන්දේසි වලට විරෝධය පළ කිරීමක් වශයෙන් කාන්තා දිනයක් පිළිබඳ අදහස ඉදිරිපත් වී ඇත.
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ජෝන් ස්ටුවර්ට් මහතා 1869දී කාන්තාවන්ට ඡන්දය දීමේ අයිතිය පිළිබඳව කථා කළ ප්‍රථමයා වෙයි. 1893 සැප්තැම්බර් 19දින නවසීලන්තය කාන්තාවන්ට ඡන්ද බලය ලබා දුන් ප්‍රථම රාජ්‍යය බවට පත් විය. අවුරුදු ගණනාවක් යන තුරු වෙනත් රටවල කාන්තාවන්ට මෙම වරප්‍රසාදය අත් විඳින්නට හැකි වූයේ නැත.
වැඩකරන කාන්තාවන්ගේ දෙවැනි ජාත්‍යන්තර සම්මේලනය 1910දී කෝපන්හේගන් නගරයේදී පැවැත්විනි. ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාන්තා කාර්යාංශයේ නායිකාව වූ ක්ලාරා සෙට්කින් ජාත්‍යන්තර කාන්තා දිනයක් ගැන අදහස එහිදී ඉදිරිපත් කළාය. සෑම වසරකම සෑම රටකම එකම දිනයකදී උත්සවයක් පැවැත්විය යුතු බව ඇය යෝජනා කළාය. ෆින්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි පළමුවැනි කාන්තා මන්ත්‍රීවරියන් තිදෙනා ඇතුළු වෘත්තීය සමිති, සමාජවාදී පක්ෂ, වැඩකරන කාන්තාවන්ගේ සංගම් ආදිය නියෝජනය කරමින් රටවල් 17ක කාන්තා නියෝජිතවරියන් 100ක් මෙම සම්මේලනයට සහභාගි වූවාය. එහිදී සෙට්කින්ගේ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදී. එහි ප්‍රතිපලය වූයේ ජාත්‍යන්තර කාන්තා දිනයයි.
ඊ ළඟ අවුරුද්දේ ක්ලාරා සෙට්කින් විසින්ම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම දියත් කළේ මාර්තු 19වැනිදා ය. ප්‍රසියානු රජු 1848 කැරැල්ලේදී වැඩකරන ජනතාවගේ ශක්තිය තේරුම් ගත් දිනය මාර්තු 19 වීම එම දිනය තෝරාගැනීමට හේතු විය. ඔහුගේ විවිධ කඩවුණු පොරොන්දු අතර කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීම ද එකක් විය.
ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8වැනිදාට මාරු කරන ලද්දේ 1913දීය. 1975දී එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් ජගත් කාන්තා දිනය පිළිගනු ලැබිනි.
චීනය, ආරමේනියාව, රුසියාව, අසර්බයිජානය, බෙලාරුසියාව, බල්ගේරියාව, කසකස්ථානය, කිර්ගිස්ථානය, මැසිඩෝනියාව, මෝල්ඩෝවා, මොන්ගෝලියා, තජිකිස්ථාන්, යුක්රේනය, උස්බෙකිස්ථානය හා වියට්නාමය යන රටවල, මාර්තු 8 දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ආරම්භය කෙසේ වුවද, අද වන විට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනස් මුහුණුවරක් ගෙන ඇත්තේ ඇයිදැයි විමසා බැලීම වැදගත්ය. අද කාන්තාවන් අයිතිවාසිකම් ලෙස සළකන්නේ හුදෙක්ම කාන්තා සංගම්  නායිකාවන් විසින් මවාගන්නා ලද කරුණු කාරණාවන් සමූහයකි. කාන්තාවට ඇති සැබෑ ගැටළු මොනවාදැයි යන්න ගැන කිසිදු අවබෝධයක් නොමැති ඊනියා විමුක්ති සංගම් නායිකාවන් කරන විප්‍රකාර දෙස බැලූ විට ඇති වන්නේ ඛේදයකි.

No comments:

Post a Comment

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.