2012-03-05

ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි

හැමදාම හිතට වද දෙන දේවල් ඇහේ ඇනෙන දේවල් ගැනම ලියන්නෙ නැතිව පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් දෙයක් ගැන ලියන්න හිතුනා.
අහල තියනවද විලියම් ෂේක්ස්පියර්. මහා කවි වියලම් ෂේක්ස්පියර්, ඉංගිරිසි සාහිත්‍යයේ බැබලුනු නිර්මාණකරුවෙක්. ඇත්තටම කවියෙක් සහ නා‍ට්‍ය රචකයෙක්. එංගලන්තයේ කවියා (නැෂනල් පොයට් ඔෆ් ඉංග්ලන්ඩ්) යන විරුදාවලියෙන් නිතර හැඳින්වුන නාට්‍ය 34ක් ඇතුළු ඔහුගේ සම්භාව්‍ය නිර්මාණ අතරින් හැම්ලට්, ඔතෙලෝ, මැක්බත්, එතකොට රෝමියෝ සහ ජුලියට් අපේ ‍රටේ අයටත් හුරුයි.

ඔහුගේ උපත පිළිබඳ වාර්තාවක් නැති නිසාදෝ මෙන්න මෙහෙම කතන්දරයක් කියල තිබුන අපේ රටේ මනුස්සයෙක්.
හම්බන්තොට පැත්තෙ හිටියලු සෙක්කුපේරුගේ ජුවානිස් කියල මනුස්සයෙක්. මේ සෙක්කුපේරුගේ පරම්පරා නාමය සහිත අය තවමත් ඒ පැත්තෙ ඉන්නව කියලයි කියන්නෙ. මේ ජුවානිස්ගෙ පුතා තමයි විලියම්. කුඩා කාලෙදිම මොකක් හරි හුටපටයක් නිසා පොඩි එකා එංගලන්තෙට යැවිල. එහෙදි, සුද්දගේ සිස්ටම් එක අනුව සෙක්කුපේරුගේ විලියම් කියන නම විලියම් සෙක්කුපේරුගේ වුනා. විලියම් කෑල්ල කොහොමටත් සුද්දගේ කටට හුරු වුනත් සෙක්කුපේරුගේ කියල කියන එක ලේසි වුනේ ‍නෑ. ඒක තමයි ෂෙක්කුපේරු බවට පත් වෙලා ඊට පස්සේ ෂේක්ස්පියර් වෙලා තියෙන්නෙ.
මට මේ කතන්දරේ හදිසියෙ මතක් වුනේ මේකයි. “අරහත්” කියන වචනය “අලහත්” වෙලා “අල්ලහත්” වෙලා “අල්ලාහ්” වුනා කියල දැනගන්න ලැබුනනෙ අද. මේක වෙලා තියෙන්නෙ ඔය මහමද් නබි නායක තුමා බුද්ධාගම් කාරයෙක් වෙලා හිටපු නිසාලු. වැඩේ කියන්නෙ, අවිහිංසාවාදී අනාත්මවාදී ධර්මයක් ඉගෙනගත්ත පොර ගමට ගිහිල්ල අතිශයින්ම ආත්මවාදී වූත් සත්ව හිංසාව තඹයකට නොසළකන්නා වූත් ආගමක් දේශනා කරපු එකයි.
ඉතිං ‍එහෙම එකක් වුනානං ෂේක්ස්පියර්ගෙ ගම හම්බන්තොට වීම අරුමයක්යැ.

දැන් බලපුවහම-
රාවණා රජ්ජුරුවො බෞද්ධයෙක්. (මිහිඳු හාමුදුරුවො මොන මගුලකට ලංකාවට වැඩියද මන්ද)
නබි නායක තුමා බෞද්ධයෙක්.
යේසුස් බෞද්ධයෙක්.
මේ අපි තමයි දැන් අබෞද්ධයො වෙලා ඉන්නෙ.
මේ ලිපිය හුදෙක් විනෝදය සඳහා ලියන ලද්දකි.
මාර්තු 7වැනිදා ඉතා බරපතල අනතුරක් ගැන හෝඩුවාවක් බලාපොරොත්තු වන්න.

2 comments:

  1. මාර කියමන් ටිකක්. මේ වගේ දෙයක් ගැන කාලයක් තිස්සේ පෝස්ටුවක් දාන්න හිතං හිටියත් තවත් පරක්කුයි. අපේ මිණිස්සු අතලොස්සක් හිතං ඉන්නව බුදුහාමුදුරුවන්ගෙ ගෝලයො තමයි හැමෝම කියල. ඉස්සරවෙලාම ගුවන්යානය හැදුවෙත් රයිට්ල නෙවේ රාවනාය කියල කියන්නෙ කිසිම සාධකයක් නැතිව. ඒ විතරක් නෙවේ ලොකුම විහිළුව කියන්නෙ ලගදි දැක්ක බ්ලොග් එකක කියල තියනව දඩුමොනරය හදල තියෙන්නෙ මෙන්න මේ ලෝහයෙන් කියල ඒක විස්තර කරනව. මේව්වට කියන්නෙ ‍ඓතිහාසික හිතලු කියල.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.