2016-02-29

(අශ්‍රාස්ත්‍රීය ලිපියකි.) කටුස්සාගේ ප්‍රමාද වූ සුරතාන්තය

(අශ්‍රාස්ත්‍රීය ලිපියකි) කටුස්සාගේ ප්‍රමාද වූ සුරතාන්තය
කටුසු හදවත ලියල තිබුනු සුරතාන්තය ප්‍රමාදයි නමැති පෝස්ට් එක කියවීමේදී හිතට ආ අදහසක් ඔස්සේ මතුවුනු සිතුවිලි වැලක් මේ.

කටුසු හදවත අහනවා මෙහෙම ප්‍රශ්නයක්.
ආගම හා දේශපාලනය එකිනෙකාට සමාන්තරද?
මෙතනදි, සමාන්තර කියල කටුස්සා අදහස් කරන්නෙ මොකක්ද කියන එක එච්චරම පැහැදිළි නෑ. කොහොම වුනත්, ආගම හා දේශපාලනය එකිනෙකට සමාන්තර වගේම ශ්‍රේණිගතයි කියල තමයි මට හිතෙන්නෙ. මේ වචන දෙකෙන් මං අදහස් කරන්නෙ ගණිතයේදී, භෞතික විද්‍යාෙ වේදී නැත්නම් විද්‍යුතය ගැන ඉගෙනගැනීමේදී භාවිතා වන අදහසයි. ශ්‍රේණිගත කියල මං අදහස් කරන්නෙ “එකකට පස්සෙ අනිත් එක“ කියන අර්ථයෙන්. එතකොට සමාන්තර කියල අදහස් කළේ එකම අවස්ථාවකදී සිද්ධි දෙකම වෙනවාය කියන අදහසින්. ඒ වගේම දේශපාලනය කියල අදහස් කළේ දේශයක් පාලනය කරනවා කියන අර්ථයෙන් නෙවෙයි, ඉංගිරිසියේ පොලිටික්ස් කියල කියන අර්ථයෙන්. එතනදි අදහස් කරන්නෙ දේශයක් පාලනය කරන වැඩපිළිවෙලයි. ඒකනෙ බලයට පත් වුනාම පාලකයන්ට පොලිටික්ස් අමතක වෙලා ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ල බවට පත් වෙන්නෙ.

කටුසු හදවත කියල තියන විදිහට මේ ප්‍රශ්නය ගැන ශ්‍රාස්ත්‍රීය පොත් සහ ලිපි ගණනාවක් ලියැවිලා තියනවා. ඒ වගේම, බුදුදහම සහ මාක්ස්වාදය වගේ පොත් එහෙමත් ලියවිලා තියනවා. ඒත් තවමත් මේක නොවිසඳුනු ගැටළුවක්. විවාදය නිරන්තරයෙන් පැවතෙනවා.

ආගම කියන්නෙ මිනිස්සු තමන්ගෙ පුද්ගල විමුක්තිය සහ තම නෑ සියන්ගේ විමුක්තිය ලබාගැනීමට හැකි වෙන්නෙ මෙන්න මෙහෙමයි කියල විශ්වාසයකින් අනුගමනය කරන දර්ශනයක්. ඒක බොහෝ විට මරණයෙන් පස්සෙ ජීවිතයක් ගැන වෙන්න පුළුවනි. දැන් ගතකරන ජීවිතයට පස්සෙ. ඒකයි ශ්‍රේණිගත කියල කිව්වෙ. මේ දෙක සමාන්තරයි කියල කිව්වෙ වර්තමාන ජීවිතය ගැන මේ විෂයයන් දෙකෙන්ම කතා කරන නිසා.

රටක් පාලනය කළ යුත්තේ මෙන්න මෙහෙමයි කියන එකයි දේශපාලනය (පොලිටික්ස්) කියන්නෙ. මෙතනදි මේ දේශපාලන ක්‍රමය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒකාධිපතිවාදී ධනවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය, සමාජවාදය කියල මේ කොටස් තුන හඳුන්වන්නට පුළුවනි. මේ කොටස් තුන නැවත නැවතත් අනුබෙදීම්, අනු අනු බෙදීම්, අනු අනු අනු බෙදීම් ආදී වශයෙන් කණ්ඩායම් ගණනාවකට බෙදුනු මතවාදයන් බවට පත් වෙනවා.

තමන්ගෙ විමුක්තිය හෝ පොදු විමුක්තිය ලබාගතහැක්කේ තමන් විශ්වාස කරන දර්ශනයෙන් පමණක් බව හත් අට දෙනෙක් හැරුනාම අනිත් හැම දෙනාම විශ්වාස කරනවා. තමන්ගෙ විමුක්තිය ඇත්තේ අනුන්ගෙ දර්ශනයක් තුළ බව විශ්වාස කරන හත් අටදෙනා ඉන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුවෙ.

“දේශපාලනය“ යනුවෙන් මං කතාකරන්නෙ පහත සඳහන් තුන් ආකාරයෙන් එක අාකාරයකට වැඩ කිරීමයි.
  • මිනිස්සු බලහත්කාරයෙන් හෝ උපක්‍රමිකව යටත් කරගෙන තමන් අයත් කණ්ඩායමේ යහපත පිණිස වැඩකරවාගැනීම
  • මිනිස්සුන්ට නිදහස දීල මිනිස්සුන්ගෙ කැමැත්තෙන්ම තමන් ඇතුළු කණ්ඩායමේ යහපත පිණිස වැඩකරවාගැනීම
  • මිනිස්සුන්ට නිදහසක් නොදී තමන් ඇතුළු මිනිස්සුන්ගේම යහපත වෙනුවෙන් වැඩ කරවීම

මේ ක්‍රම තුනේ ගැලිල ඉන්න මිනිස්සු තමන්ගෙ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින අතරම ඒ වෙනුවෙන් අඛණ්ඩව සටන් වදිනවා එළිපිට හෝ රහසිගතව. ඒ අය කරන වැඩ සමහර විට අපට පෙනෙන්නෙ වෙනත් ආකාරයකට වෙන්නට පුළුවන්. ඒත් ඒ අය තමන් අවංකව විශ්වාස කරන දේ වෙනුවෙන් කටයුතු කරනවා. ඒත් ඒ බව ප්‍රසිද්ධියේ නොකියනවා වෙන්න පුළුවනි.  

ඒ වගේම බලන්න ආගම.

  • සමාජයේ යහපත වෙනුවෙන් එකිනෙකා සමග නොගැටෙමින් ප්‍රේමයෙන් යුතුව ජීවත් වීම හරහා ස්වර්ග සැප ලබාගැනීම
  • ඇතැම් විට අතිශය දුෂ්කර වූ හෝ තවත් විටක බරපතළ අපහසුතාවක් නැතිව හෝ යෙදෙන වතාවත් මගින් දිව්‍යාත්මභාවයන් ලබාගැනීම
  • තමන්ට ලැබී ඇති හෝ ලැබෙන හෝ ලබාගතහැකි හෝ ලබාගත නොහැකි සැප සම්පත් පිළිබඳ ආශාවක් ඇල්මක් ඇති නොකර ගැනීමෙන් ලබාගන්නා විමුක්තිය


ඉතින් ආගමික කටයුතු වල නියැළිලා ඉන්න අයත් අර දේශපාලන කටයුතු වල නියැළිලා ඉන්න අය වගේම තමන් විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් සටන් කරනවා.

ඉතින් මේ දෙක සමාන්තරගතද, ශ්‍රේණිගතද?