Showing posts with label අන්තවාදය. Show all posts
Showing posts with label අන්තවාදය. Show all posts

2015-02-13

ඇනොනිමසයන්ගේ ජාත්‍යාලය

ඇතැම් පාසල් ශිෂ්‍යයන් ඉත සිතින් විශ්වාස කරන්නේ ගුරුවරුන් විසින් තමන්ට දඬුවම් කරනු ලබන්නේ තමා සමග ඇති යම් කිසි ද්වේශයක් නිසා බවයි. එසේ ද්වේශ සහගතව සිසු දරුවන්ට දඬුවම් දෙන ලද හුදෙකලා සිද්ධීන් තිබෙන්නට හැකි නමුත් පොදුවේ පාසල් ගුරුවරුන් සිසුනට වේවැල් පහරකින් සංග්‍රහ කරන්නේ යහපත් චේතනාවකිනි. එම දඬුවම් කලාවේ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන් තිබුනත්, වේවැලෙන් පහර කෑම ඇතැම් අනුමත දඬුවම් වලට වඩා යහපත් බව සිතන්නෝද සිටිති.

සාමාන්‍ය මිනිස් ස්වභාවයක් වන්නේ අන් අයගේ ආශාවන් තමන්ගේ ආශාවන්ට සමාන බව උපකල්පනය කිරීමයි. මේ එවැනි එක් කතාවකි.

එක්තරා තරුණයෙක් ජීවිතය ගැන කළ කිරී සිය දිවි නසාගැනීමට තීරණය කරයි. ඒ සඳහා සුදුසු ක්‍රමය ලෙස ඔහු තීරණය කරන්නේ උස ගොඩනැගිල්ලක ඉහළ මහළින් බිමට පැනීමයි. සිය තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ගොඩනැගිල්ලක ඉහළ මහළෙහි ජනේලයක් අසල සිටගත් තරුණයාට ඈත සිට නටමින් එන පුද්ගලයකු පෙනේ. තව දුරටත් විමසිලිමත් වන ඔහුට පෙනෙන්නේ ඒ පුද්ගලයා අත් දෙකම අහිමි වූ තරුණයකු බවය. සිය අත් දෙකම අහිමිව තිබියදී ඉතාමත් විනෝදයෙන් නටමින් ඇවිදින පුද්ගලයා දැකීමෙන් සිය තීරණය පිළිබඳ දෙවරක් සිතන්නට කල්පනා කරන ආත්ම ඝාතක අපේක්ෂාවෙන් පෙළෙන්නා ගොඩනැගිල්ලෙන් බිමට බැස උක්ත නටමින් ගමන් කරන තරුණයා වෙත ළං වෙයි.
මල්ලි, මේ අත් දෙකම නැතුවත් ඔයා කොහොමද ඔය විනෝදෙන් ඉන්නෙ?“
විනෝදෙන්? තමුසෙට පිස්සුද?“
මං දැක්කනෙ ඔයා නට නටා පාරෙ ඇවිදගෙන එනව
මගුලක් කතා කරනව. මං මේ පුක කහගන්න විදිහක් නැතුව දඟලන්නෙ. තමුසෙ හිතුවද මං මේ නටනවයි කියල?“
සියල්ල මුදලින් මනින්නට පුරුදු වූ අය සිතන්නේද අන් සියළු දෙනා වැඩ කරන්නේ මුදල් උපයාගැනීමේ පරමාර්ථයෙන්ම බවය. එවැන්නකු “පිංකමක්“ සූදානම් කරන්නේත් මුදල් කෙසේ වෙතත් ප්‍රසිද්ධිය සහ ගරු නම්බුව උපයාගැනීමේ චේතනාවෙන්මය.

මේ සියල්ල කියන්නට සිතුනේ එක්තරා “අදහසක්“ පළ කර තිබෙනු දැකීමෙනි.

අප විසින් ආරම්භ කරන ලද සිංහලයේ අපූරුවබ්ලොගයට ඇනොනිමසයකු විසින් අමුතු ආකාරයේ කමෙන්ටුවක් එවා තිබිනි. අශීෂ්ට, අශීලාචාරවූත් කුහකවූත් ජාතිවාදයට එරෙහිව අප විසින් පළ කරන ලද ලිපි කියවා උරණ වී ඇති මේ ඇනොනිමසයා සිය රුධිර පීඩනය තුලනය කරනු වස් මේ අදහස පළ කර ඇති බව මගේ අදහසයි. මේවාට පිළිතුරු බැඳීමෙන් ඇති පලක් නොමැති නමුත් ඒ අදහස හිසේ දරාගෙන ඉන්නා සියළු දෙනාගේ සත්‍යාවබෝධය වෙනුවෙන් මේ සටහන තබන්නට තීරණය කළෙමි. කමෙන්ටුව මෙසේය:

Anonymous - Sunday, February 1, 2015 at 2:01:00 AM GMT+5:30
මම නම් කියන්නේ මේ ඔයා කරන වැඩේ කිසිම වැඩක් ඇති දෙයක් නොවෙයි කියලා.මොකද, ඔයා සහ ඔයාගේ පරමාදර්ශය වන මාතලන් ගොයියා කියන පරිදි ලංකාවේ ගමේ බයියන් සහ ගෝත්‍රිකයින් කරන කියන දෙය එතරම් වැදගත් නැහැ.මේ භාශා,සිරිත් විරිත්, රටට ආදරය කිරීම, බුද්ධාගම වගේ දේවල් හරිම පසු ගාමීයි. පොශ් නැහැ.මේක හරියටම තේරෙන්න ඔයාත් කොහොම හරි හෑට ගාලා පිටරට රස්සාවක් හොයා ගන්න .රට යන බහුතරය රටට ආදරෙයි.ඒත් ඔයාලා වාගෙ ගොඩක් වෙන්ඩ පොශ් අය රට ගියාම,මුල අමතක වෙලා සුද්දටත් වැඩියෙන් මල්ටි කල්චරල් වෙන්න ගන්නවා. ඊලඟට මුස්ලිම් දෙමල අය රට කඩා ගත්තම මොකෝ,උන් ජාතිවාදී වුනාම මොකෝ,අපි ජාතිය ගැන කතා කරන්නෙ මොකෝ,ආදී වශයෙන් පොශ් දේවල් හිතෙන්න ගන්නවා.
යුද්දෙ කරපු එකත් වැරදි වෙනවා.සිංහල භාශාව අපි බලා ගන්නම්.මොකද අපි පසු ගාමී,ජාතිවාදී ,ලේ මාපිල්ලු නිසා.ඔයා ගිහින් සිංහල බෞද්ධයාට බැනලා තව ඩොලර් ටිකක් හොයා ගන්න විදියක් බලා ගන්න.එනවා මෙතන ප්‍රාදේශීය ව්‍යවහාරෙ හොයන්න.

යුද්ධය තමන් විසින් කරන ලද්දක් සේ කතා කරන මේ ඇනොනිමසයා සිංහල භාෂාව ගැන බලාගන්නට හදන්නේ භාෂෘව යන වචනයවත් නිවැරදි ලෙස නොලියමිනි.

මල්ටි කල්චරල්වීමෙන් සහ ජාතිවාදයට එරෙහිව කතා කිරීමෙන් ඩොලර් උපයාගැනීමට හැකියාවක් ඇතැයි මතවාදයක් වපුරන ලද්දේ කවුරුන් විසින්දැයි නිශ්චිතවම කීමට නොදනිමි. ජාතිවාදය කරපින්නාගත් මේ කාලකන්නින්ගේ මතය සිංහල ජාතියේ පොදු මතය ලෙස යම් කිසිවකු වටහාගැනීමෙන් සිදුවන්නේ කුමක්දැයි කියා මධ්‍යස්ථව, අගතියකින් තොරව විග්‍රහ කර බලන්නට උත්සාහ කරමු.

අතිශය ආත්මාර්ථකාමී වූත්, තමා යටතේ තවත් කිසිවකු සිටිය යුතු බව සිතන්නා වූත් පුද්ගලයකු ගැන සිතන්න. ලෝකයා විසින් ඔහු ප්‍රිය කෙරේද? ඔහු හා මිතුරු සමාගමක් පවත්වාගෙන යන්නට කිසිවකු ඉදිරිපත් වේද? කොහෙත්ම නැත. සියල්ලන් විසින් ඔහු බැහැර කරනු ඇත. ඔහුට ජීවත් වන්නට සිදු වන්නේ සියළු අවශ්‍යතා තනිවම ඉටුකරගැනීමට උත්සාහ කරමිනි. කිසිවකු ඔහුට උදව් නොකරනු ඇත. කිසිවකු ඔහුට යමක් දෙනු ඇත්තේ ඊට වැඩි දෙයක් ප්‍රතිඋපකාරයක් ලෙස බලාපොරොත්තු වෙමිනි.

එවැනි පුද්ගලයකු ඒ අභාග්‍යයෙන් ගලවාගැනීමටනම් කුමක් කළ යුතුද? ඔහුගේ අමන ප්‍රතිපත්තියේ වැරදි අඩුපාඩු ඔහුට පෙන්වා දිය යුතුය. එසේ පෙන්වා දී ඔහු යහපත් පුද්ගලයකු බවට පත් කළ යුතුය.

එසේ කිරීීමේදී ඔබට කිසිවකු ඩොලර් නොදෙනු ඇත. ඔබට ඔහු එරෙහි වනු ඇත.

ඇතැම් විට ඔබගේ උත්සාහය අපතේ යාමට ඉඩ ඇත. එහෙත්, ඒ අවාසනාවන්තයා ඔබගේ ඥාතියකු නම්, ඔබ උත්සාහය අත් නොහරිනු ඇත.

සිංහල ජාතියේ නාමයෙන් මොවුන් මේ ගෙනයන කුහක සහ අමන ප්‍රතිපත්තියට විරුද්ධ වන්න.

2015-02-08

ඊ මේල් ගෘෘප් වල වැඩ කිඩ

බ්ලොග් සඟරාව ආරම්භයේ සිට කටයුතු කළේ ජාතිවාදයට විරුද්ධවයි. ජාතිවාදය හා සම්බන්ධ ලිපි හා කතන්දර ගණනාවක් පළ කළේ ඒක කියවන අයගෙන් කීප දෙනකුට හරි යහනුවණ පෑදෙයි කියල හිතාගෙනයි.

මේ සයිබර් අවකාශයේ ඊ මේල් ගෘෘප් කියල ජාතියක් තියනවනෙ. ඒ ගෘෘප් එකක සාමාජිකත්වය ගත්තට පස්සෙ වෙන්නෙ මේකයි. ගෘප් එකේ ඕනෑම සාමාජිකයෙකුට පුළුවනි ගෘෘප් එකට ඊ මේල් එකක් යවන්න. එහෙම යවාපු ඊ මේල් එකක් ගෘෘප් එකේ හැම කෙනෙකුටම ලැබෙනව.

ඉතින් නිතර හමු නොවන මිතුරු කණ්ඩායම්, විවිධ සංගම් වල සාමාජිකයො, අධ්‍යයන ආයතන වල ශිෂ්‍ය කණ්ඩායම් මේ විදිහට ගෘෘප් හදාගෙන ඉන්නව. ඊට අමතරව පොදුවේ ඕනෑම කෙනකුට සාමාජිකත්වය ලබාගන්න පුළුවන් ගෘෘප් එහෙමත් තියනව. මේවයින් සමහර ඒවනම් ඇඩම්ස් ඔන්ලි. ලෝකෙ නැති කුනු රස බෙදන පින්තූර සහිත හෝ රහිත ඊ මේල් තමයි ඒ ගෘෘප් වලින් එවන්නෙ. ඔය අතරෙ තියනව ආගමික හෝ දේශාභිමානී ස්වරූපයක් ගත්ත ඊ මේල් කණ්ඩායම්. මේ වගේ සමහර ගෘෘප් වලින් කරන්නේ ඇති තරම් ජාතිවාදය වැපිරීමයි.

මේ වගේ ගෘෘප් එකක සාමාජිකත්වයක් ලබාගෙන හිටිය මාත් කාලෙකට ඉස්සර. ගොනා හැරෙන්නෙ පොල් පැලේ පැත්තට බව තේරුනාට පස්සෙ මං කළේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන එකයි. ඒ ගෘෘප් වල ජරා ඊ මේල් වලට උත්තර ලියන එකත් සමහර වෙලාවට කිසිම වැඩක් නෑ. ඒව කියවන්නෙ එකම ජාතියෙ පිස්සො ටිකක්.

මට වුණු ඇබැද්දියටම මුහුණ දීපු තවත් එක්කෙනෙක් මේ පහළින් තියන ලිපිය ලියලම වැඩේ ක්ලෝස් කළා. කාටත් ලැබිය හැකි ප්‍රයෝජනය සළකලා ඒ ඊ මේල් එක සංස්කරණය නොකර ම මං මේ පළකරන්නෙ, අනන්‍යතාවන් විතරක් සඟවමින්.

2012/7/29 Abcd K <abcde@gmail.com>
මම සිංහල බෞද්ධයෙකු වෙමී. මම මේ Email group lanka එකට සම්බන්ධ වුනේ බෞද්ධාගම පිලිබද ලැබෙන ලිපි ලේඛණ හා විස්තර කියවීමටය.නමුත් මට පෙනෙන විදිහට මෙම group එක හරහා වැඩිපුර හුවමාරු වන්නේ ජාතිවාදි සටන් පාඨවල්ය.  පසුගිය වසර සිට මුරගල , ධර්ම ද්වීපය වැනි group වලින් ඕනැවට වැඩිය මෙම ජාතිවාදි  ලිපි පහල විය . මම මේවා දැක පුදුම වූයෙමී .මන්ද යත් අර ප්‍රබාකරන් නැමැති මහ කොටියා සමග අවු .22 ක් සටන් කොට හෙම්බත් වු රටේ තව ජාතිවාදි ගිනි අඇවීලීමට  සමහරු තැත් කිරීමට උත්සාහ ගන්නා බැවිනි .  ඊට අමතරව මෙම වසර මුල් භාගය සිට මූසලයා නමින් මුස්ලිමි ජතිකෙකු මැද්දට පැන විටින් විට මේවාට ප්‍රතිචාර දක්වයි .මෙය සුභ ලකුණක් නොවේ .මන්ද යත් සමහරක් ජාතිවාදින් විසින් ඉස්ලාම් ආගමට හා මුස්ලිම් ජාතිකයන්ට  "හම්බයා " " " තම්බියා  "  ඉතා අශෝභන ලෙස බැන වදින විට මුසලයා බලවත් ලෙස අප ජාතියට සහ බුදු දහමට බැන වදියී. එයට මම කැමැති නැත .අප ජාතියට බැන වැදුනත්, බුදු දහමට නින්දා කරනවිට මා සිත තුල ඇති වන්නේ බලවත් කම්පාවකී .මෙය නතර කර හැකි වන්නේ ජාතිවාදි   ලිපි හුවමාරු  ව නතර කිරීමයී . මෙයට  Email group lanka  moderator ට පමනක් මැදිහත් වී කල හැකිය . Roshan Aponsu, Sunil perera, Nalin silva වැනි උදවියගේ  ජාතිවාදි  ලිපි හුවමාරු කිරීම නතර කලහොත් Mala musalaya ගේ ලිපි නතර කල හැකිය .
මට මෙම ලිපිය ලිවීමට බොහෝ හේතු තිබේ .
1)  ප්‍රබාකරන් නැමැති මහ කොටියා සමග අවු .22 ක් සටන් කොට බොහොම අමාරුවෙන් ලංකාව යුද්ධේ දින්නේ . එම යුද්ධේ දිනුවෙත් රට චිනයට උකස් තියලාය .මෙවන් වාතාවරනයක  මුස්ලිම් ජාතිකයන් සහ කතෝලික ආගමිකයන් සමග ප්‍රශ්න ඇතිකිරීම සුභදායකද ?
2) තවත් සමහරැ පවසන්නේ අපිට මුස්ලිම් ජාතිකයන් ගේ කඩවල් වලින් බඩු ගන්න එපා කියලාය .ඒක හරිම මෝඩ කථාවෙකී. මන්ද යත් ලාංකික වැඩි දෙනෙකු මැද පෙරදිග අරාබි කාරයන්ට කඹුක් ගහන බැවිනී . ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්  භාගයක් සිංහලය . එවැනි උදවියගේ කඩවලින් බඩු නොගත්තත් අරාබී කාරයාගේ කුස්සියට තමාගේ ගැහැණු යවන උදවිය මේ රටේ සිටී .  අප රටේ Mason bass , driver වැනි රැකියාවල හිගයක් පවතී . මන්ද යත් ඔය සෑම දෙනම Dubai ගොස් ඇති බැවිනී .
ලංකාවට   ලැබෙන විදේශ විනිමය තුන් කාලයක්ම ලැබෙනුයේ  මැද පෙරදිග රටවලින් බවට අප රජය සනාථ කොට ඇත . එසේනම් අපිට ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන් ගේ කඩවල් වලින් බඩු ගන්න එපා කියලා කියන කථා වල කිසිම තේරුමක් නැත .
3) තවත් සමහරෙකු පවසා සිටිනුයේ අප ජාතිය වැඞි කිරීමට අඩුම ගනනේ ලමයි 4 දෙනෙක්වත් හැදිය යුතු බවයී .  ඒ උදවිය එම ලමයින්ට කන්න අදින්නේ දෙන්නේ කොහෙමද කියලා සිතුවේ නැති බවටයි මෙවැනි වදන් වලින් පෙනි යන්නේ . 2009 දී යුද්ධය නිමවූවත් අප රටේ ජීවන වියදම පහල ගියේ නැත . අප  රටේ තුන්කාලක්ම සිටිනුයේ අඩූ ආදායම් ලාබීන්ය .  උන්ට ඉන්න හිටින්න හරියම නිවසක්වත් නැත .  මෙවැනි වාතාවරනයක ලමයි 4 දෙනෙක් හැදිය හැකිද අඩූ ආදායම් ලබන මුස්ලිම් ජාතිකයන් හට පල්ලියෙන් ආධාර ලැබුනත් අපහට එවැනි ආධාර පන්සලෙන් ලැබෙන්නේ නැත .
ඊට අමතරව ලඃකාව කුඞා දුපතක් බව අප සැවොම දන්නා කරුනකී .එහෙත් ජනගහනය අධිකය . ලක්ෂ 22 කී . 2004 සුනාමියෙන් පසු ලංකාව තව කුඩා විය .
එමනිසා මෙම ජනගහනය ප්‍රශ්නයට එකම පිලියම වන්නේ චිනය වගේ එක් දරු හෝ දරු දෙදෙනෙකු පමනක් හැදීමේ නීතිය රජය විසින් පැනවීමයී .සියලු ජාතින් තුල එම නීතිය අකුරට ක්‍රයාත්මක කර හැකිය .
ඒ හැර ජාතින් අතර බේද ඇතී කිරීම සුභදායක නැත .මන්දයත් ජාතින් අතර අසමගිතාවයක් හෝ කහට හිතක් හටගත් විට එය මුලු රටටම බලපාන බැවිනී . ඒ මදිවට මුස්ලිම් ජාතියෙන් තව ප්‍රබාකරන් කෙනෙකු බිහීවීමටද පාර කැපෙන බැවිනී .
මිත්‍රයනි , අමතක කරන්න එපා වටුවගේ කථාව . වටුවන් අසමගි වුන අවස්ථාවේදි තමයි වැද්දා දැල දාලා සියලූ දෙනාම අල්ලා ගත්තේ . මේ අවස්ථාවේදි වැද්දා සැටියට එන්නේ ඇමරිකාවයී !
ප්‍රබාකරන් රට ගන්න හැදූ අවස්ථාවේදි හමුදාව සටන්කර රට බේරාගත්තා .ඒ වගේම ලංකාවේ තව ජන කොටසක් ඉදිරියට රට අල්ලා ගන්න ආවොත් එම හමුදාවම ඉන්නවා රට බේරගන්න .
එමනිසා අපි බෞද්ධයෝ වශයයෙන් වගකීමෙන් කටයුතු කොට ජාතින් අතර අසමගිකම් ඇති නොවෙන්නට වගබලා ගත යුතුය .

එමනිසා E mail group moderator වගකීමෙන් මෙම  ලිපි හුවමාරු කල යුතුය .

2015-01-24

ජාතිවාදය ගැන කතා කරමු What is racism?

මේ ජාතිවාදය කියන වචනයත් පහුගිය චන්දෙත් එක්කලා ආයෙත් කරළියට ආවා. මේ වචනය පාවිච්චි කළාට බොහෝ දෙනෙක් ඒකෙ තේරුම දන්නෙ නැති බව ඒ අය කියන කතා වලින් පෙනෙනව. සමහර අය සිතා ඉන්නේ “මං සිංහල, මගේ ජාතිය සිංහල“ කියල කියන එකත්, නැතිනම් “නාන් තමිල්“ කියන එකත් ජාතිවාදය කියල. මට මතක් වෙන පොඩි සිද්ධියක් දැන් කියන්නම්. දවසක් - දැන් අවුරුදු තිහකට විතර ඉස්සර - සමාජවාදී කියල කියාගන්න පක්ෂයක ශිෂ්‍ය සංගමයේ නායකයා එක්කල මාත් තවත් මගේ සරසවි මිතුරන් කිහිප දෙනකුත් එයාලාගෙ පක්ෂ කාර්යාලය ළඟට වෙලා බලා හිටිය කළින් කතා කරගත්තු ගමනක් යන්න කියල. ඒ කාලෙ යූ ඇන් පී ආණ්ඩුවට විරුද්ධව අරගල කරමින් සිටි සරසවි ශිෂ්‍යයො අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වශයෙන් ද කියල හරියටම මතක නෑ මොකක් හරි ශිෂ්‍ය එකමුතුවක් වශයෙන් යම් යම් අවස්ථාවන්හිදී බලධරයන් හමුවෙලා එහෙම නැත්නම් විපක්ෂ දේශපාලනඥයන් හමුවෙලා තමන්ගෙ ගැටළු වලට විසඳුම් සාකච්ඡා කිරීමේ සිරිතක් පැවැතුනා. සාකච්චා කරනව කිව්වට ඒව ගොඩක් වෙලාවට බාර්ගේන් කිරීම් නැත්නම් සාකච්ඡාමය අරගල. කොහොම හරි, අදාළ දූත ගමනට යන්න එනවයි කියල පොරොන්දු වූ අයගෙන් ඒ වෙනකොට ඇවිදිල්ල හිටියෙ මං සහ තව දෙන්නෙක් හෝ තුන්දෙනෙක් විතරයි. නියම කරගත් වේලාව පහු වෙලා විනාඩියෙන් විනාඩිය ගෙවිල යද්දී මං අර කියපු ශිෂ්‍ය නායකයා කිව්ව “ඔහොම තමයි ලංකාවෙ මිනිහගෙ වෙලාව“ කියල. “සිංහලයගෙ වෙලාව“ කියල සාමාන්‍යයෙන් අපි කියන යෙදුම, “ලංකාවෙ මිනිහගේ වෙලාව“ කියල සංශෝධනය කරල කිව්වෙ, එයාලගෙ පක්ෂය ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක හිටපු නිසා. මගේ කට කොනකට එවේලේත් පොඩි හිනාවක් ආව.

ජාතිවාදයට විරුද්ධ වීම සඳහා අප එසේ අපගේ සම්ප්‍රදායික යෙදුම් වෙනස් කළ යුතුද?

අපගේ සිංහල සිරිත් විරිත් වෙනස් කළ යුතුද?

කොහෙත්ම නෑ.

අපගේ සිංහල අනන්‍යතාව පවත්වාගැනීමෙන් අප කවදාවත් ජාතිවාදීන් බවට පත් වන්නේ නැත.

එසේනම් ජාතිවාදීන් වන්නේ කවුද?
******************************************************************************
පෘථිවියේ මානවයා බිහිවූයේ එකම තැනකින් හෝ තැන් කිහිපයකින් වෙන්න පුළුවන්. කොහොම වුනත්, මූලික වශයෙන් මොංගොලොයිඩ්, කෝකසයිඩ් හා නිග්‍රොයිඩ් යනුවෙන් මානවයා වර්ග තුනකට බෙදෙන බව මානව විද්‍යාඥයෝ කියනව. මේ වර්ග තුන ලෝකයේ විවිධ පළාත් වල පදිංචි වුනා. ඒ ඒ පළාතට ආවේණික වූ ගති පැවතුම් හා සිරිත් විරිත් වගේම භාෂා ව්‍යවහාරයන් වෙන වෙනම දියුණු වූ බවයි අපට පෙනෙන්නෙ. එසේ වෙන් වූ පසු, ඒ එක් එක් මිනිස් කණ්ඩායම් වෙන වෙනම ජාතීන් වශයෙන් වර්ධනය වුනා. මේ වෙනස්කම් වලට දේශගුණික තත්වයන්, පරිසර උෂ්ණත්වය, ආහාර සොයාගැනීමේ සුලභ හෝ දුලභ බව, වතුර, මේ ආදී දේවල් බල පාන්නට ඇති සහතිකවම.

දැන් බලන්න ලංකාවෙත් විවිධ පළාත් වල, පොදුවේ සිංහල කියන නමින් හැඳින්වෙන ජන කොට්ඨාශයේ සාමාජිකයන් අතර වුනත් සුළු සුළු වෙනස්කම් තියෙනව නේද? උදාහරණයක් වශයෙන් බලන්න, කථා කරන භාෂා ව්‍යවහාරය, මළ ගෙවල් හා මගුල් තුලා වලදී අනුගමනය කරන සිරිත් විරිත්, සිංහල අවුරුදු චාරිත්‍ර ආදියේ යම් වෙනස්කම් පැහැදිළිවම දැක ගන්න පුළුවන්. ඒත්, ලෝකය දියුණු වීමත් සමග සන්නිවේදනය හා ගමනාගමනය දියුණු වූ නිසා, මෙම ජන කණ්ඩායම් අතර අන්තර් සම්බන්ධතා වැඩි වෙලා ගිහින් ක්‍රමානුකූලව ඒ වෙනස්කම් අකා මකා යන්නට පටන් ගත්තා. සන්නිවේදනය හා ගමනාගමනය මෙලෙස දියුණු වී නොතිබුනානම්, ලංකාවේ දකුණු පළාතේ සිංහලයා වෙනම ජාතියක් ලෙසත් උඩරට සිංහලයා තවත් ජාතියක් ලෙසත් වැඩෙන්නට ඉඩකඩ තිබුනා. කවදාවත් ගාල්ලෙ කොල්ලෙක් මාතලෙන් කෙල්ලක් කසාද බඳින එකක් නෑ. අඩු වශයෙන් එහෙම සම්බන්ධතා දුර්ලභ වෙනව.

මේකෙ  ප්‍රතිවිරුද්ධ අත්දැකීමත් අපට දැකගන්න පුළුවන්. මේ දකුණුදිග හෝ අග්නිදිග ආසියානු කලාපයේ විවිධ රටවල මිනිසුන් අතර ඇති සමානතා අධ්‍යයනය කළොත්, යුරෝපයේ හෝ ඇමරිකාවේ මිනිසුන් සහ දකුණු ආසියාවේ මිනිසුන් අතර බරපතළ වෙනස් කම් පවතිද්දී ඉන්දුනීසියාවේ, මියන්මාරයේ, මාල දිවයිනේ, ශ්‍රී ලංකාවේ මිනිසුන් අතර බරපතළ සමානකම් පවතින බව (භාෂාව, සිරිත්-විරිත් ආදිය) අපට දැකගන්නට පුළුවනි.

එපමණක් නොවෙයි. ඇතැම් යුරෝපීයයන් පෙරදිග රටවල් ආක්‍රමණය කිරීමේ ප්‍රතිපලයක් ලෙස, සිංහලයන් අතර වගේම සමහර දෙමළ පවුල් අතරත් යුරෝපීය ගති පැවතුම් විශාල ලෙස පැතිරී ඇති බවත් අපට පැහැදිළිව පේනව නේද?.
මේ සියල්ලෙන්ම, සමස්තයෙන්ම පෙනී යන්නේ කිසිදු ජාතියක් තවත් ජාතියකට වඩා පහත් වන්නේ හෝ උසස් වන්නේ නැති බව. ජාතිවාදයේ එක ස්වරූපයක් තමයි තමන්ගේ ජාතිය උසස් කියල සිතීම. ඒක තමයි ජාතික ස්වෝත්තමවාදය කියල හඳුන්වන්නෙත්. මේ මානසික තත්වය තියන අයත් අපට ඉඳල හිටල හම්බවෙනව.

මේ උදාහරණය බලන්න. මම හිතනව මම ඉතාම හොඳ ගුණ යහපත් කෙනෙක් කියල. අපි එහෙම හිතමුකො. එතකොට, මං දැන් ඔබට කියනව මෙහෙම. මං ඉතා හොඳ පුද්ගලයෙක්. ඔබ මා යටතේ ජීවත්වෙන්න. මං කිසිම විදිහකින් ඔබට හිරිහැරයක් කරන්නෙ නෑ. ඒත් ඔබ කිසි දෙයක් තනිවම තීරණය කරන්න එපා. ඔබ සියල්ල කළ යුත්තේ මා කියනා විදිහටයි.

දැන් ඔබ ඒකට එකඟ වෙනවද? ඔබට මා සමග එකට ජීවත් වීමෙන් ඔබටත් මටත්  වාසි රැසක් ලැබෙනව. මූලිකවම ගත්තොත් ආරක්ෂාව. අපි දෙන්න එකම ඉඩමක දෙපැත්තෙ පදිංචි වෙලා ඉන්නෙ. තව කොච්චරක්ද? සමහර විට කඩේට යන්න බඩු ගේන්න එහෙම. දෙන්නටම බඩු ගන්නකොට සමහරවිට මිලත් අඩු වෙනව. ඉතින් ඔබ කැමතිද මං කියන විදිහටම ඉන්න.

ඔබ කියාවි මට එහෙම කියන කියන විදිහට ඉන්න බෑ, එහෙම කියනවනම් මං වෙනම කෑල්ලක් වෙන් කරගන්නං කියල. නැද්ද? අර එකට ඉන්නකොට තියන වාසි වලට වඩා ඔබ අගය කරනව නිදහසේ තමන් කැමති තීරණයක් අරන් ජීවත් වෙන්න.

මම කියනව, බලන්න ඔබට වඩා මට නිවැරදි තීරණ ගන්න පුළුවනි. ඔබ සමහර විට ඔබේ දරුවන්ගෙ අනාගතය අඳුරු කරාවි. මං කියන විදිහට කළොත් ඔබට එහෙම වෙන එකක් නෑ. ඔබ කැමති වෙනවද?
ඔබ ටික දවසක් බලයි. දිගින් දිගටම ඔබේ කැමැත්තට පිටින් වැඩ වුනොත් ඔබ අකමැති වෙයි  ඒ විදිහට ජීවත් වෙන්න.

මං හිතුවට මං ඔබට වඩා උසස් කියල, ඔබට වඩා හොඳයි කියල, ඔබට වඩා දක්ෂයි කියල. ඔබ එහෙම හිතන්නෙ නෑ. ඒකයි ප්‍රශ්නෙ.

මෙතනදි තවත් එක් වැදගත් කාරණයක් මතුකරල පෙන්වන්න මම අදහස් කරනව.

ඉංග්‍රිසි භාෂාවෙ නේෂන් කියන වචනය සිංහලයෙන් ජාතිය කියන එකට අනුරූප බව සමහර අය හිතනව. නැෂනල් කියන එකට ජාතික කියල පරිවර්තනය කරල තියෙන්නෙ ඒ නිසා. මේ වැරදි සහගත පරිවර්තනයත් අතිශය කණගාටුදායක ප්‍රතිපල අත් කර දී ඇති බව මගේ හැඟීමයි. ජාතික කොඩිය, ජාතික ගීය යනාදී යෙදුම් නිසා, ජාතිය යනුවෙන් හැඳන්වෙන දේ සහ නේෂන් යනුවෙන් හැඳින්වෙන දේ පිළිබඳව වැරදි අවබෝධයන් ඇති වෙලා තියෙන්නෙ. අපගේ අසල්වැසි ඉන්දියාවේ, නැෂනල් කියන එක පරිවර්තනය කරගෙන තියෙන්නෙ රාෂ්ට්‍රීය කියල. නේෂන් කියන එකට දේශය කියලයි ඔවුන් කියන්නෙ. ඔවුන් ජාතිය කියල කියන්නෙ එත්නිසිටි කියන එකට. ඉන්දියාවේ ප්‍රධාන රාජ්‍ය භාෂාව වශයෙන් භාවිතා කරන හින්දි භාෂාව අපේ මේ සිංහල භාෂාවට පොඩි පොඩි සමානකම් දක්වන නිසා මම ගූගල් පරිවර්තකය හරහා මේ වචන අතර සම්බන්ධතාව සොයා බැලුවා. වෙනත් භාෂාවන් සම්බන්ධයෙන් මේ වැඩේ කරන්න මට අමාරුයි මොකද ඒ භාෂාවන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් මට නැහැ.

ඇත්ත වශයෙන්ම නේෂන් කියන වචනයත් ජාතිය කියන තේරුමම ඇතිව බිහිවුනු වචනයක් බව දුරදිග බලද්දි පේනව. “නේෂන්“ කියන ඉංග්‍රිසි වචනය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආපු වචනයක් කියලයි කියන්නෙ. ප්‍රංශ භාෂාවෙදි ඒක පාවිච්චි වෙලා තියෙන්නෙ ඔය අපි කියන “ජාතිය“ කියන තේරුමෙන්ම තමයි. ඒ වුනාට දැන් ඉංග්‍රිසියෙන් නැෂනල් ෆ්ලැග්, නැෂනල් ඇන්තම් වගේ යෙදුම් ගත්තහම ජාතිය පිලිබඳ අදහසක් එන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් සීතාවක රාජධානිය සහ කෝට්ටේ රාජධානිය වෙන වෙනම නේෂන්ස් දෙකක්. ඒත් ඒ දෙකේම වැඩිපුර හිටියෙ සිංහල මිනිස්සු. නේෂන් එකක් කියල දැන් කියන්නෙ වෙනම ස්වාධීන පරිපාලන ඒකකයකට. 1948ට කළින් අපිත් රැජිනගේ නේෂන් එකේ. හිරු නොබසින අධිරාජ්‍යයට ජාතික වශයෙන් වැදගත් වුනු ඕනෑම දෙයක් අපටත් වැදගත් වෙලා තියනව ඒ කාලෙ.

නුමුත් අපි දැන් ජාතිය කියල කියන්නෙ කෙනකුගෙ උප්පත්තියෙන් හිමි වන ලක්ෂණයකට. ජානමය ලක්ෂණයකට. මව සහ පියා සිංහල නම් දරුවගෙ ජාතිය සිංහල. මවයි පියයි ජාති දෙකක වුනාම දරුවගෙ ජාතිය කළවං. එයා කතා කරන්න පහසු භාෂාවක් තෝරගනී, නැත්තං මවගෙ භාෂාවත් පියාගෙ භාෂාවත් දෙකම පුරුදු වෙයි.

මේ තත්වය උඩ තමයි මේ ලාංකීය ජාතිය කියල එකක් ගැන කතා කරන්නෙ. ශ්‍රී ලංකා කියල නේෂන් එකක් තිබුනට එහෙම ජාතියක් නෑ. ශ්‍රී ලංකා කියන්නෙ රාජ්‍යයක්, රාජධානියක්, රටක්, දේශයක්. ඒකට අයිති ගොඩබිමක් තියනව. පුරවැසි ජනතාවක් ඉන්නව. එක ආණ්ඩුවක් තියනව. එතකොට, රටට අයිති පුරවැසියන් ඇරුණම අනිත් ඔක්කොම දේපළ. සත්තුත් දේපළ විදිහටනෙ සළකන්නෙ. පන්සලේදි විතරයි සත්තුන්ට පණ තියන බව මතක් වෙන්නෙ. කවුරුවත් බලනවද සත්තු කැමති සන්ධානෙටද පොදු අපේක්ෂකයටද කියල. කවුරුවත් අහනවද උන්ගෙ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්නෙ මොන ආණ්ඩුවක් යටතෙද කියල. උන්ට චන්ද බලෙත් නෑ, උන් වෙනුවෙන් කතා කරන්න මන්ත්‍රීවරුත් නෑ. අතරින් පතර ඉන්න “ඒකීය පුද්ගලයන්“  සහ ඔවුන් විසින් ගොඩනගාගත් සමහර සංවිධාන හැරුණම වෙන කවුද සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්නෙ?

ඉතින් මේ සත්තු ටිකත් අනිත් දේපළ වගේම එක එක්කෙනා අයිති කරගෙන ඉන්නව. සමහර සත්තු ආණ්ඩුවට අයිතියි. සමහර සත්තුන්ට විශේෂ අයිතිකාරයෙක් නෑ, ඕනැ කෙනෙකුට මරාගෙන කන්න පුළුවනි. සමහර සත්තුන්ට කන්න බොන්න දෙනව හරියට නිකං ගහකට පොහොර දානව වගේ. සත්තුන්ගෙත් ජාති ඉන්නව. ඒත් ඒ ජාති ගැන අපි උනන්දු වෙන්නෙ අස්වැන්න බලාගෙන විතරයි. වැඩිපුර කිරි ගන්න පුළුවන් හරක් ජාති එහෙම අපි දන්නව. මුවෝ ගෝන්නු ජාති කීයක් ඉන්නවද කියල දන්නෙ සත්වවේදීන් විතරයි. අපි ඒව ගැන හොයන්නෙ නෑ.

හරි, දැන් අපි දන්නව, ජාතිය කියන වචනය තේරුම් දෙකකින් පාවිච්චි වෙනව කියල. හැබැයි මේ තේරුම් දෙක පටලවාගන්න හොඳ නෑ.

මේ ජාතිවාදය කියන සංකල්පය ඉස්මතු වෙන තවත් තැනක් තමයි ඔය අයිතිය කියන කාරණාව. සිංහල ජාතියට අයිති භූමිය, රට, කඩන්න දෙන්න බෑ කියල අපි කියනවනෙ. භූමිය කොහොමද පුද්ගලයෙකුට අයිති වෙන්නෙ කියන කාරණාව මෙතනදි සාකච්ඡා කළ යුතු වෙනව. මට හරියටම මතක නැති එක්තරා පර්යේෂක කණ්ඩායමක් හොයල බලල තියනව පොඩි දරුවන් අයිතිය ගැන දක්වන අදහස මොකක්ද කියල. එතනදි ඒ ගොල්ලො නිගමනය කරල තියෙන්නෙ පොඩි දරුවන් “අයිතිය“ කියන සංකල්පය අදාළ කරගන්නෙ කෘතිම දේට විතරයි කියල. ඒ පර්යේෂකයො කියන්නෙ අඹ ගහ, ඉර, හඳ, ගංගාව වගේ දේවල් කාටවත් අයිති දේවල් විදිහට පොඩි ළමයි තේරුම් ගන්නෙ නැතිලු. එතකොට “මගෙ ඉඩම“ කියන එක කොහොමද?  “මගෙ ගේ“ කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක අපි හදපු දෙයක්. ඉඩම. ඉඩම හදපු එකක්ද? ස්වභාවික පොළොව හාරලා කාණු කපල සංවර්ධනය කරන එක ගැන නෙමෙයි මං කතා කරන්නෙ. මහ පොළවෙ කෑල්ලකට වැටක් ගහල වට කර ගත්තට පස්සෙ ඒ ඉඩමට අයිතිකාරයෙක් ඉන්නව. ඒකට ඔප්පුවක් තියනව. ලෝකෙ පළමුවැනි ඉඩම් ඔප්පුව ලිව්වෙ කවුද? කවුරු හරි රජ කෙනෙක්නෙ ඕක ලියන්න ඇත්තෙ. මමනං ඒ ගැන හොයල නෑ. ඒත් ඔයාලට හෙව්වොත් හොයාගන්න පුළුවන් වෙයි, කවුද පළමුවැනි ඉඩම් ඔප්පුව ලීව කෙනා, මොන ඉඩමටද ඒක ලිව්වෙ කියල. මේක අද  ඊයෙ වෙච්ච දෙයක් නෙවෙයි. අහල ඇතිනෙ රජවරු පන්සල් දේවාල වලට නින්දගම් ඔප්පු පූජා කරපු කතන්දර එහෙම. පන්සල් හදල පූජා කරන එක නෙවෙයි, ඉඩම් පූජා කරන එක. ගෙයක්, ආරාමයක් හදල පූජා කරන්න හරි විකුණන්න හරි තෑගි දෙන්න හරි පුළුවනි. ඒත් ඉඩමක්.

මේ කතාව විකාරයක් වගේ පෙනෙයි, එක පාරට. ඒ වුනාට කල්පනා කරල බලන්න. අපට අයිති ඉඩම නෙවෙයි ඉඩමෙ මායිම් වැට නේද? වැට නේද අපි හදන්නෙ. පුරාණ කාලෙ කැලේ මැද්දෙ කොටසක් එළි පෙහෙළි කරල වැටක් ගහනව සත්තු එනවට. දැන් මේක හේනක්. වගා කරන්න පටන්ගන්නවා. වගාවෙ ප්‍රතිපල පරිභෝජනය කරනව. වැඩිපුර තියන ඒව මොකද කරන්නෙ? කල් තියා ගන්න පුළුවන්නම් ලුණු දාල, දුමේ දාල, වැලි යට වළ දාල තියාගන්නවා. බැරිනම් තව කෙනකුට දීල තමන්ට නැති දෙයක් ගන්නව. භාණ්ඩ හුවමාරුව - ආදි කාලීන් වෙළඳාම් ක්‍රමය. පස්සේ මුදල් වලින් ගනු දෙනු කරන්න පුරුදු වුනා. මේකනෙ ක්‍රමය.
දැන් මේ හේනට වටිනාකමක් තියනව. පස බුරුල් කරල තියෙන්නෙ. පාත්ති හදල. දෙවැනි වතාවෙ වගාව පහසුයි. දැන් මේ පහසුවට වගා කරන්න පුළුවන් තත්වයක් හදල තියන එක හේනට වටිනාකමක් එකතු කරනව. නිකම්ම නිකම් නව දැළි හේනකට වඩා වටිනාමක් තියනව එක වරක් හරි වගා කරපු හේනකට. දැන් මේක කාට හරි දෙනවනම් නිකම් දෙන්න බෑ. වටිනාකමක් එකතු වෙලා තියෙන්නෙ. වැටක් ගහල තියනව. පස බුරුල් වෙලා තියනව. පාත්ති හදල තියනව. ඉතින් එතකොට ඉඩම විකුණන්න සිද්ද වෙනව. මේ විකුණන්නෙ මහ පොළොව නෙවෙයි. අර වැඩි කරපු වටිනාකම. වැලිව් ඇඩිෂන් එකක් වෙලානෙ තියෙන්නෙ.

ඉතින් ඔය ක්‍රමයට තමයි ඉඩම් වලට වටිනාකම් ඇවිල්ල තියෙන්නෙ. පහු වෙනකොට ඉඩම් අක්කර ගණන් හෙක්ටෙයාර් ගණන් එක පුද්ගලයෙක් අතට ආවට පස්සෙ මුඩු ඉඩම් වලටත් වටිනාකමක් දෙන්න මිනිස්සු පුරුදු වුනා. දැන් නම් ඉඩම් වල වටිනාකම තීන්දු වෙන්නෙ ඉඩමට එකතු කරපු වටිනාකමකට වඩා වටාපිටාවෙ තත්වය අනුව. යටිතල පහසුකම් අනුව.

අර අපි ඉස්සෙල්ල කතා කරපු මිනිස්සු කණ්ඩායම්, මූලික කණ්ඩායමෙන් කැඩිල ඇවිත් වෙන වෙන පළාත් වල පදිංචි වුන මිනිස්සු මුලදි මුලදි ස්ථිර වාසස්ථාන ඇති කරගත්තෙ නෑ. මේව මං හිතල කියන දේවල් නෙවෙයි. මානව විද්‍යාඥයන් හොයාගෙන තියන කරුණු. ඔවුන් මානව ඉතිහාසය බෙදල තියනවනේ ගල් යුගය, දඩයම් යුගය, එඬේර යුගය, ගොවි යුගය යනාදී වශයෙන්. ඔයාල ඉස්කෝලෙදි  ඉගෙනගෙන ඇති නේද? ඉතින් මේ ගොවි යුගයෙදි තමයි මේ මං කියන සංසිද්ධිය වෙන්නෙ. ඉතින් එක පළාතකට සංකේන්ද්‍රණය වුන එක කණ්ඩායමක් ඒ ප්‍රදේශය තුළ හේන් කොටු කර ගන්නව. ඉතින් අර දඩයම් යුගය තුළ තැනින් තැනට ඇවිදිමින් සත්තු දඩයම් කරගෙන ගල් ගුහා තුළ ජීවත් වෙන්න පුරුදු වෙලා හිටපු මිනිස්සු, ගෝත්‍රික කණ්ඩායම් තමයි මෙහෙම ස්ථිර වාසස්ථාන ඇති කරගෙන පදිංචි වෙන්නෙ. ඔන්න දැන් පුංචි ගමක් හැදිල. මෙහෙම කාලාන්තරයක් ගත වුනාම මේ ග්‍රෝත්‍රය ජාතියක් බවට පත් වෙනව. ඒ ඔක්කොම කතා කරන්නෙ එකම භාෂාව. අනුගමනය කරන්නෙ එකම සිරිත් විරිත්. ගෝත්‍රික නායකය රජ්ජුරුවො බවට පත් වෙනව. එතකොට මේ වාස භූමිය රාජ්‍යයක් බවට පත් වෙලා. ඔන්න එක ජාතියයි. එක රාජ්‍යයයි. එක රජයි. මේක තමයි ජාතික රාජ්‍යයක් වෙන්නෙ.

දැන් මේ ඔක්කොම දෙනා ජීවිකාව විදිහට කරන්නෙ ගොවිතැන. සමහර අය එඬේරුන් විදිහටත් කටයුතු කරනව. භාණ්ඩ හුවමාරු කරගන්නව. එතකොට අර රජ්ජුරුවො. එයත් ගොවිතැන් කරනවද? ඔව්, එයත් ගොවිතැන් කරනව. ඒත් එයාට ගොවිතැනට යොදවන්න කාලය මදි වෙනව එන්න එන්න. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැඩි වෙනවනේ. මිනිස්සුන්ගෙ සණ්ඩු සරුවල් බේරන්න වෙනව. වෙනත් ගෝත්‍රවල එවුන් මේක අස්සට රිංගන්න එනකොට උන් එළවන්න ඕනැ. තනියම කරන්න බැරි වෙනකොට හේවායො ටිකක් ලෑස්ති කරගන්නව. රාජ පුරුෂයෝ, හේවායො, නගරාරක්ෂකයො හදාගන්නව. ඉතින් රජ්ජුරුවන්ට බඩගින්නෙ ඉන්න බෑනෙ. හැමෝටම කියනව තමන්ගෙ නිෂ්පාදනයෙන් පොඩ්ඩ පොඩ්ඩ රජ්ජුරුවන්ට දෙන්න කියල. ඔන්න බදු ක්‍රමය පටන් ගන්නව. දැන් මේක සෑහෙන දුරකට අංග සම්පූර්ණ රාජ්‍යයක්.

අර දඩයම් යුගයෙ තිබුනු පුරුද්ද, තැන් තැන් වලට සංක්‍රමණය වෙමින් ජීවත් වෙන එක, තාම ඇඟ ඇතුළෙ තියනව. ඉතින් අර වෙළඳාමට යොමු වුනු කට්ටිය මොකද කරන්නෙ? තමන්ගෙ රාජ්‍යය තුළ කරන වෙළඳාමට වඩා වැඩි වෙළඳාමක් කරන්න හිතාගන ඇවිදින්න ගන්නව. වෙනත් රට වලට රිංගනව. හිතට අල්ලල ගියොත් එහෙ පදිංචි වෙනව. හැබැයි ඉතින් උන්ගෙ ගති පැවතුම් අර මුල් පදිංචිකාරයන්ගෙ ගතිපැවතුම් වලට වඩා ටිකක් වෙනස්. කතා කරන භාෂාවෙත් පොඩි පොඩි වෙනස්කම් තියනව. ඒ වුනත් කතා බහ කරල අදහස් හුවමාරු කරගන්න බැරිම නෑ. මේ තත්වය කාලාන්තරයක් පැවතිලා තියනව. අහල තියනව නේද කච්ඡපුට, සේරිවාණිජ වගේ වෙළෙන්දො ගැන. එතකොට තපස්සු සහ භල්ලුක. එයාල තිරියායෙ ඉඳල දඹදිව පැත්තෙ ගිහින් තියෙන්නෙ. ගිහින් තියනවද ගිරිහඩු සෑය බලන්න. ලංකාවෙ ප්‍රථම චෛත්‍යය.තපස්සු සහ භල්ලුක හදල තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ කේශ ධාතු නිධන් කරල නේද හැදුවෙ?

ඉතින් මෙහෙම තිබුන ලෝකෙ තමයි පහුකාලීනව මේ රාජ්‍යයන් ගණනාවක් විදිහට ගොඩනැගුණෙ. මේ ස්ථිර වාසස්ථාන වලට ආවට පස්සෙ මිනිස්සු ටික ටික ශිෂ්ට වෙන්න පටන් ගත්ත. නීති රීති හදා ගත්ත. නීති ක්‍රියාත්මක කිරීමේ බලය රජ්ජුරුවන්ට පැවරුව. රජ්ජුරුවො දඬුවම් ක්‍රම එහෙම හදාගත්ත. නීති පැනවීමේ බලයත්, ඒ කියන්නෙ ව්‍යවස්ථාදායක බලයත් රජ්ජුරුවො තමන්ගෙ අතට ගත්ත.

මිනිස්සු දිවුණු වෙද්දි, ශිෂ්ට වෙද්දි, ආගමික සංකල්ප ඇති කර ගත්ත. ඒකට ගොඩක්ම මුල් වෙලා තියෙන්නෙ රජ්ජුරුවන්ටවත් පාලනය කළ නොහැකි ස්වභාවික උවදුරු, ලෙඩ රෝග - කායික රෝග විතරක් නෙවෙයි, මානසික රෝගත්, ඔය ආතතිය වගේ ඒව එහෙමත්. ඉතින් දෙවියො පිළිබඳ සංකල්ප එහෙම ඉස්මතු වුනා. සමහර අය දඩබ්බරකමට දෙවියො ඇදහුවේ නෑ. තවත් සමහර අය ලෝකය තේරුම් ගන්න උත්සාහ කිරීමේ ප්‍රතිපල විදිහට දේව සංකල්පය බැහැර කළා. මේ සියල්ලම වුනේ සමාජයේ පැවැත්ම තහවුරු කරගැනීමේ සාමූහික උවමනාව මත. මිනිස්සු එකිනෙකා අතර සාකච්ඡා නොකළා වුනත් හැමෝම - මං කියන්නෙ සාමාන්‍ය මිනිස්සු බහුතරය - හිතනව අපි අනාගත ලෝකය, සමාජය, අපේ දරුවන්ගෙ ලෝකය මීට වඩා යහපත් වෙන්න ඕනැ කියල. එහෙම නේද? මිනිස්සු විතරක් නෙවෙයි අපි සිවුපා සත්තු රංචුවක් උදාහරණයක් හැටියට ගනිමු. කැලේ ඉන්න මුවෝ රංචුවක්. උන් පැටවුන්ගෙ ආරක්ෂාවට පළමුවැනි තැන දෙන්නෙ නැද්ද? මුවෝ මොකක් හරි සම්මන්ත්‍රණයක් තියල එහෙම එකඟතාවකට ඇවිත් තියනවද? නෑ. ඒක ස්වභාවිකයි. මිනිස්සුත් එහෙමයි. සියල්ලම කෘත්‍රිම බවට පත් කරගත්තු අය ඇරෙන්න. ආගම මුදල් බවට පත් කරගත්තු අය ඇරෙන්න. ස්වභාවිකව ඉපදුනු ජීවත්වන මිනිස්සු දරුවන්ට ආදරෙයි. දරුවන්ගෙ අනාගතය ගැන හිතනව. මිනිස්සු නොදැනුවත් කමට පරිසරය විනාශ කරල දරුවන්ගෙ අනාගතය අඳුරු කරනව තමයි. ඒක වෙනම කාරණයක්. ඒ කියන්නෙ නොදැනුවත් කම. පරිසරය විනාශ කිරීමෙන් දරුවන්ගෙ අනාගතය අඳුරු වන බව බොහොමයක් අයට වැටහෙන්නෙ නෑ. දැන් බලන්න මේ ප්ලාස්ටික පුච්චන එක මොන තරම් හානිකරද? ඒක සමහර අය තේරුම් ඇරගෙන නෑ. මෙච්චර ලොකු වායු ගෝලෙකට මේ පොඩි ප්ලාස්ටික් කෑල්ලක්, සිලි සිලි මලු හතරක් පහක් පුච්චන එකෙන් වායුව දූෂණය වෙන්නෙ කොහොමද කියල එයාල හිතන්නෙ. එහෙම නැතිව කවදාවත් එයාල ඕනැ කෙහෙල්මලක් වුනාවෙ දරුවන්ට කියල නෙවෙයි ඒ වගේ හානියක් පරිසරයට කරන්නෙ.

ඉතින් ආපහු අපි කතා කරපු ඉතිහාසයට හැරෙමු.

දැන් සමාජය හැදුන. ජාතියක් හැදුන. රජ කෙනෙක් හැදුන. පහු කාලෙදි එකම ජාතිය ඇතුළෙ රජවරු දෙන්නෙක් හැදුන. පිය රජතුමා කල්පනාකාරී වෙලා කුමාරවරු දෙන්න යුව රජ වරු හැටියට පත් කරපු අවස්ථා වලදි ඇරෙන්න අනෙක් අවස්ථා වලදි සමහර විට කුමාරවරු දෙන්න ජාතියේ කොටස් දෙකකට රජ වෙනව වෙන වෙනම. එහෙම නොවී වෙනත් විදහකට ඕක වෙන්නත් පුළුවනි. කොහොමහරි එක ජාතියකට එක රජ කෙනෙක් විතරයි කියල කියන්න පුළුවන් තත්වෙක තිබිල නෑ ඒ කාලෙ. ප්‍රදේශ වශයෙන් ඈත් වුනාම, නායකයො දෙන්නෙක් බිහි වෙනව. දැන් ලංකාවෙ බලන්න රුහුණු මායා පිහිටි. එතකොට සීතාවක, කෝට්ටෙ, කන්ද උඩරට. එක එක කාලවල එක එක විදිහෙ බෙදීම්. එතකොට මේ කෑලි දෙක තුන ම යුද්ධ කරල අල්ලගත්තු රජවරු ඊට පස්සෙ මේ රට එක් සේසත් කළා කියනව. ජාතිය එක් සේසත් කළා කියනව. දැන් අපි දන්න ඉතිහාසය බලන්න ලංකාවයි ඉන්දියාවයි. ඔය දෙකේම තත්වෙ ඕක නේද? කොසොල් නුවර රජතුමා පසේ නදී කෝසල - මේව මං කියන්න ඕනැ නෑ නිකං කතාව දිග්ගැහෙනව විතරයි. ඔබ දන්නවා මේ සියල්ල. මට පෙන්නන්න ඕනැ වුනේ මේ රාජ්‍යය කියන එක රජාගෙ වුවමනාව අනුවයි හැදුනෙ කියන එක. රජාල දෙන්නයිනම් රාජ්‍ය දෙකයි. එක රජෙක් ඇවිත් ඔය කෑලි දෙක තුනම එකතු කරගෙන එක් සේසත් කරනව. ඔහොම තමයි ඒ කාලෙ තිබිල තියෙන්නෙ. වැසියො ඉතින් ඔහෙ ඉන්නව. රජ්ජුරුවො පාලනය කරනව. අපි, රට වැසියො, පාලනය වෙනව.

ඉතින් මේ ඉඩම් කොටුකරගත්තු අපි, රටවැසියො, අපේ හේන් වගා කරගෙන ජීවත් වුනා. වෙළඳාම් කරපු අය හැම තැනම ගියා ඇවිදගෙන තවලම් අරගෙන. නගරයෙන් බඩු ගම් වලට ගෙනියනව. ගම් වලින් නගරයට ගෙනියනවා.

දැන් මේ රජවරුන්ට මහජන සහයෝගය ඕනැ වෙනව සමහර අවස්ථාවලදි. ඔය යුද්ධ කරන්න එහෙම. ඇයි ඒ විතරක්ද, තමන්ගෙ රට ලොකු වුනු තරමට, සාරවත් වුනු තරමට, තමන්ට ලැබෙන බදු ප්‍රමාණයත් වැඩි වුනා. ඉතින් ලොකු රාජ්‍යයක රජ වුනොත් සැප වැඩියි. පොඩි රාජ්‍යයක රජ වුනොත් සැප අඩුයි. සම්පත් වැඩිපුර තියන කෑල්ලක් අහිමි වුනොත් දුකයි. එහෙමයි ඉතින් ඒ කාලෙ රජකම් කළේ. රජ්ජුරුවෝ මිනිස්සුන්ට ආදරය පෙන්වනකොට මිනිස්සුත් රජ්ජුරුවන්ට ආදරේ කළා. ඉතින් රජ්ජුරුවො වෙනුවෙන් මැරෙන්න වුනත් මිනිස්සු ලෑස්ති වුනා. රජ්ජුරුවො නැති වුනොත් තමන්ගෙ නෑදෑ හිතවතුන් අනතුරට වැටෙන්න පුළුවනි. සතුරු රටවලින් ඇවිත් තමන්ගෙ රට මංකොල්ල කන්න පුළුවනි. ආරක්ෂාව දෙන්න කෙනෙක් නෑ. ඔහොමයි එදා මිනිස්සු කල්පනා කළේ. ඒක හරි. ඒ කාලෙ තිබුන තත්වය ඒක තමයි, සමහරවිට අපට දැන් ඒක විකාරයක් වගේ පෙනුනට.

මේ පුරුද්ද තමයි ක්‍රමක්ක්‍රමයෙන් මිනිස්සුන්ගෙ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවෙ. ඉතින් එතනදි තමන්ගෙ රට තීරණය වුනේ රජ්ජුරුවන්ගෙ වුවමනාව අනුවයි. මේ තත්වය වටහගන්න අමාරුයි අපේ ලංකාව ගැන විතරක් හිතපුවහම. මොකද මේක කුඩා දූපතක්නෙ සාපේක්ෂව බලපුවහම. අනිත් අතින් ගත්තහම ඔය බටහිර රටවල එහෙම ලිඛිත වූ ඉතිහාසයක් නෑ හුඟක් අතීතයට දිවයන ඉතිහාසයක්. ලංකාව ඉන්දියාව වගේ රටවල් ඒ කාලෙ සාපේක්ෂ වශයෙන් ගොඩක් දියුණුයි. මිනිස්සු ඉතිහාසය හැටියටම ලිව්වෙ නැති වුනත් සාහිත්‍යකරණයේ යෙදිල තියනව. බටහිරින් ගත්තොත් ග්‍රීක් වරු බොහොම දියුණු වෙලා හිටපු ජාතියක්. දැන් අපි භාවිතා කරන ගණිතය, ජ්‍යාමිතිය, නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඔයවගේ බොහොමයක් සංකල්ප ග්‍රීසියෙදි දියුනු වෙලා තියනවනෙ. ඒ නිසා මේ කාරණය ගැන අධ්‍යයනය කරන එක බොහොම කල්පනාවෙන් කරන්න වෙලා තියෙන්නෙ. පුරාවිද්‍යාත්මක සාධක පවා සළකල බලන්න වෙනව.

අපට හොයාගන්න පුළුවන් තොරතුරු වලින් වුනත් මං මේ කියපු කාරණය ගැන සාධාරණ නිගමනයකට එන්න පුළුවන්. ඒ කියන්නෙ රට කියන එක රජා විසින් තීරණය කරන එකක්. ජාතිය කියන එක අම්ම අප්ප තීරණය කරන එකක්. ඉතින් ඔය ඉංග්‍රීසි නේෂන් එක අපේ ජාතිය විදිහට අරගෙන ලාංකීය ජාතියක් ගැන කතා කරන්න බෑ. නේෂන් එක කියන්නෙ රට. මං කිව්වනෙ හින්දි භාෂාවෙදි ඕක පරිවර්තනය කරගෙන තියෙන්නෙ දේශය එහෙම නැත්නම් රාෂ්ට්‍ර නොහොත් රට කියලනෙ. ඉතින් එතකොට ලෝකයේ මිනිස්සු යම් කාලයක ඒ කියන්නෙ මේ නවීන ලෝකය ඇති වෙලා දේශ සීමාවන් - ඔය ටෙරිටරි කියන සංකල්පය, වීසා ලබා දීම, පුරවැසි භාවය හෝ ද්විත්ව පුරවැසි භාවය වගේ සංකල්ප ඇති වෙන්න කලින් නොයෙක් නොයෙක් තැන් වල පදිංචි වෙලා හිටියා. ඊට පස්සෙ අර මං කියපු සංකල්ප පහළ වුනාට පස්සෙ ඒ ඒ දේශ සීමාවන් ඇතුළෙ ඉන්න මිනිස්සු ඒ ඒ රට වල පුරවැසියො බවට පත් වුනා. ඕකනෙ තත්වය. දැන් කාටවත් බෑ මේ පුරවැසියන්ගෙන් කොටසක් පළමුවැනි පංතියේ පුරවැසියෝ එහෙම නැත්නම් ශ්‍රේෂ්ට පුරවැසියො කියල කියන්න.

එහෙම කවුරුහරි හිතනවනම් එතන තමයි ජාතිවාදය තියෙන්නෙ. කොටින්ම කතාව ඔච්චරයි.

2015-01-13

සිංහල චන්ද හා මහින්දගෙ චන්ද

මේ පින්තූරයෙන් (ප්‍රස්ථාරයෙන්) පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයන්හි සිංහල ජනතාවගේ අනුපාතය සහ මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් චන්ද ප්‍රමාණයේ අනුපාතයයි.
මේ ගණන් හැදිල්ලට යාපනය, වන්නි (මුලතිව්-වවුනියා-මන්නාරම්), ත්‍රිකුණාමලය හා මඩකලපු දිස්ත්‍රික්ක වල තොරතුරු ඇතුළත් නොකළේ එම පළාත්වල ජන සංයුතිය පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොලැබුනු නිසයි.

මෙතනදි පැහැදිළිව පෙනෙන දෙයක් තමයි නුවරඑළිය සහ අම්පාර යන දිස්ත්‍රික්ක දෙක හැරුණම අනෙක් හැම දිස්ත්‍රික්කයකම ජන සංයුතිය සහ චන්දය දුන් අයගේ සංයුතිය අතර බරපතළ වෙනස්කමක් තියනවයි කියන එක.

මේකත් මං ඉදිරිපත් කරන්නෙ ඊයෙ පටන්ගත්තු “හුඹස් බිය දුරු කිරීමේ“ ව්‍යාපෘතිය යටතේමයි.

------------------------------------------------------------------------------------------------------------------------
ප.ලි.

මෙයට ඇතුළත් නොවුනු දිස්ත්‍රික්ක හතරෙ චන්ද අනුපාත මෙහෙමයි (මේ කියන්නෙ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ චන්ද වලින් මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් චන්ද ප්‍රමාණය).
මඩකලපුව (16.6%)
ත්‍රිකුණාමලය (27.1%)
වන්නිය (19.6%)
යාපනය (22.7%)

මට මේ දිස්ත්‍රික්ක වල ජන සංගණන තොරතුරු ලැබුනෙ නැති නිසා නිවැරදිවම කියන්නට නොහැකි නමුත් යාපනය දිස්ත්‍රික්කයේ 22.7% සිංහල ජනතාවක් ඉන්නව කියල මං හිතන්නෙ නෑ. කොහොම වුනත් ඒ ගැන පස්සෙ බලමු.

2015-01-12

කොටි දිස්ත්‍රික්ක හා කොටි චන්ද

පසුගිය ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රතිපල විග්‍රහ කළ ඇතැම් අය දිස්ත්‍රික්ක පිටින් පාට කළේ එම දිස්ත්‍රික්කයේ වැඩියෙන් ඡන්ද ලබාගත් පක්ෂය අනුවය. (මහින්දට වඩා මෛත්‍රී එක චන්දයකින් වැඩි වුනානම් ඒ දිස්ත්‍රික්කයේ ගෑවේ මෛත්‍රි ගේ පාටය) මෙහිදී දකින්නට ලැබුනේ අතිශය භයානක චිත්‍රයකි. ප්‍රබාහරන් විසින් ඊළම කියා ඇඳ තිබුනු සිතියම හා සමපාත වන පරිදි පාට බෙදී ගොස් තිබිනි. මෙයට බිය වූ ඇතැම්හු පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා මහනුවර සංචාරය කිරීමේදී යොදා තිබුනු ආරක්ෂක කටයුතු දැක “නුවරට කොටි ඇවිත්“ කියා බය වූහ. ඇතැමෙක් දරුවන් පංති යැවීමෙන් පවා වැළකුනේ මේ බිය නිසාය. එහෙත්, ඇත්ත චිත්‍රය වෙනස් වේ. ප්‍රතිපල වල පදනම කොටි දිස්ත්‍රික්ක නෙවේ.

මේ සිතියමේ ඇති බින්දු වල විශාලත්වය ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව ඇන්දේ නම් තත්වය තවත් පැහැදිළි වනු ඇත.

මෙය තවත් පැහැදිළිකරගැනීමට ඒ ඒ දිස්ත්‍රික්කයේ ජනවර්ග අනුපාතය හා අපේක්ෂකයන් දෙදෙනා ලබාගත් ඡන්ද ප්‍රමාණයේ අනුපාතය සන්සන්දනය වන පරිදි සිතියමක් සකස් කරගැනීමෙන් හැකි වේ. දැනට මට ඒ සඳහා කාලවේලාව නැත.

බියට පත් අසරණයන්ගේ සැනසීම වෙනුවෙන් මෙය ඉදිරිපත් කරමි.

2013-08-04

පරම අයිතිය



තව අවුරුදු 40ක් හෝ ඇතැමුන් විසින් ගණනය කර ඇති කාලසීමාවක් තුළදී ශ්‍රී ලංකාවේ සිංහල ජනගහන ප්‍රතිශතය අඩු වීමෙන් දිවයින තුළ සුළු ජාතියක් ලෙස ජීවත් වීමට සිංහල ජාතියේ අනාගත දරු පරම්පරාවනට සිදුවනු ඇතැයි බියකින් පෙළෙන ජාතික කැක්කුම ඇති සිංහල තරුණයෝ යතුරු පුවරුව මෙවලම කරගනිමින් අඛණ්ඩ අරගලයක නියැළී සිටිති.

මේක අපේ රට‍ ‍යකෝ. තොපි කරබාගෙන ඉන්නවනම් හිටපියව්. හැබැයි තොපි හරක් එහෙම මරල තිබුනොත් අපි තොපිව හම ගහනව. තොපි හරක් මරපුවහම අපේ ඉම්පෝර්ට් බිස්නස් වලටත් එක්කනෙ කෙළවෙන්නෙ, අනික අහිංසක සත්තු, පව්නෙ.

සත්‍යයකි. මේ අපේ රටයි.

‘අපේ’ යන යෙදුම අර්ථ දෙකකින් පාවිච්චි කරනු ලබන “සාපේක්ෂ” ලෙස වටහාගතයුතු වචනයකි.මේ කතාව පැහැදිළි කිරීම අනිවාර්ය වූ අවශ්‍යතාවක් බව පිළිගැනීම නිසා, පහත නිල් පාට අකුරු සහිත ඡේදය එකතු කරනු ලැබේ.

තමනට පූර්ණ අයිතිය ඇති දේට ‘අපේ’ කියා කීමට හැකිය. අපේ පිහිය, අපේ වං ගෙඩිය, අපේ ඇඳ යනාදිය උදාහරණ වේ. ඒවා අපට අයිති නිසා, එය භුක්ති විඳීමට, විකිණීමට, හමගැසීමට, මස්තබාල්දු කිරීමට අපට ඇත්තේ ‘අනුලංඝනීය’ වූ අයිතියකි.
තමන් හා සම්බන්ධකමක් ඇති දේටත් අපි ‘අපේ’ කියා කියමු.
අපේ මාමා, අපේ ඉස්කෝලෙ, අපේ ස්කූල් බස් එක, අපේ ගම, අපේ රට??????

අපේ යන වචනයේ මේ දෙවැනි අර්ථය සමහර විට නැත්නම් බොහෝ විට අපට අමතක වී යයි. අපේ ඔෆිස් එකේ ඇති හාෆ් ෂීට් බන්ඩල් පිටින් අපේ ගෙදරට ගමන් කරන්නේ ඒ නිසාය.

අපේ යන්න අයිතිය හැඟවෙන වචනයක් ලෙසත් යොදාගැනීම නිසා මේ අවුල සිදු වේ. අයිතිය සම්බන්ධ වූ ඉතා වැදගත් පර්යේෂණාත්මක සොයාගැනීමක් ‘විදුසර’ පත්‍රයේ පළ වී තිබුනු බව මතක නමුත් දින වකවානුව අවිනිශ්චිත බැවින් එය උපුටා පළ කිරීමට හෝ සබැඳියක් යෙදීමට අවකාශයක් නොමැත. එම පර්යේෂණය සිදු කර ඇත්තේ කුඩා ළමුන් සම්බන්ධයෙනි. (කුඩා ළමයින් හිතන්නෙ නිවහල්ව.)
එහිදී පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත්තේ, ස්වභාවික වස්තු වලට අයිතියක් තිබිය නොහැකි බව කුඩා ළමයින් සිතන බවයි. පැහැදිළි කරන්නේ නම්, අඹ ගස, මල් වැනි දේට අයිතිකාරයන් සිටිය නොහැකියි. ඒ දරුවනට අනුව, යමකුට අයිතියක් තිබිය හැක්කේ මේසය, සෙල්ලම් බඩු වැනි කෘතිම දේට පමණකි.

අතුරු කතා පසෙකට ලා මාතෘකාවට බසිමු. පසුගිය කාලයේදී අපි කතා කළේ රත්නපුර නඩුකාරයාගේ මානසික තත්වය ගැනය. මේ දිනවල අපි කතා කරන්නේ රතුපස්වල ගැනය. ඒවා වැදගත් නොවන මාතෘකා නොවේ. එහෙත්, ‘හීනියට’ පටන් ගෙන නොදැනීම ඔඩු දුවා යන බරපතළ ප්‍රශ්න සමහරක් අපට මතක් වන්නේ තට්ටමේ කට්ටක් ඇනුනොත් පමණකි. උදාහරණයක් වශයෙන් ඩෙංගු පැතිරීම ගැන කතාව අමතක වී තිබී මාස දෙකකට පමණ පෙර නැවත පටන් ගත්තේ කෙසේදැයි කියා කිසිවකුට මතකයක් තිබේදැයි නොදනිමි.

අද මගේ සැබෑ මාතෘකාව “පරම අයිතිය” නොවේ. සැබෑ මාතෘකාව “කොළඹ නගරය”යි. කොළඹ නගරය අයිති කාටදැයි කියා දැනගැනීමෙන් පසුව, වෙනත් නගර සහ ගම් වල අයිතිය ගැන කල්පනා කර බැලීමට අපට මනස පාදාගැනීමට හැකි වනු ඇත. සාකච්ඡාව මදකට නවතා තවත් අතුරු කතාවකට යොමු වෙමු.
විලානි පීරිස් 2013 අගෝස්තු 2වැනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා කරන්නේ මෙසේය.

කොළඹ නගරය දකුණු ආසියාවේ වෙළඳ මූලස්ථානය බවට පත්කිරීමට සැළසුම් කරන ශ්‍රී ලංකා ආණ්ඩුව එහි පදිංචිකරුවන් නෙරපාහැරීම වේගවත් කරමින් සිටියි. ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා තවත් නගර කීපයක් හා වෙරළබඩ ප්‍රදේශ සංවර්ධනය කිරීමටද ආණ්ඩුව කටයුතු කර තිබේ.

පසුගිය මාසයේ නාගරික සංවර්ධන අධිකාරිය කොම්පඤ්ඤවීදිය දුම්රිය නැවතුම් ස්ථානය අසළ ගෙවල් 15ක් ආරක්ෂක හමුදාවන්ගේද සහය ඇතිව බලහත්කාරයෙන් කඩාදැමීය. තවත් පවුල් 119ක් සහ ව්‍යාපාරික ස්ථාන තුනක් ඉවත් කිරීම සඳහා නොතීසි නිකුත් කර ඇති නමුත් එම ස්ථාන හැර දමා යාම පදිංචිකරුවන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නෙරපාහරිනු ලැබීමට මුහුණ දෙන මේ බොහො පවුල් වැඩි ප්‍රමාණයක් ජීවිකාව සරිකරගන්නේ ස්ථිර නොවන රැකියාවන්ගෙන් වන අතර තවත් සමහර පවුල් රජයේ සේවකයන් සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ ප්‍රදේශයේ දශක ගණනාවක් තිස්සේ ජීවත් වන අය වෙති. පර්චස් දෙකක පමණ වූ කුඩා බිම් කැබලි තුළ කුඩා ගෙවල් සාදාගෙන ඇත. වන්දි වශයෙන් ඔවුනට පිරිනැමෙන්නේ ගෙයක් කුළියට ගැනීම සඳහා මාසයකට රුපියල් 18,000ක් බැගින් වන අතර එය මාස 18ක කාලයක් සඳහා පමණකි.

මේ ප්‍රදේශයේ හෙක්ටෙයාර් 1.4ක් බිම් කොටසක් සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුවේ ආයෝජන මණ්ඩලය පකිස්ථාන සමාගමක් වූ ඉම්පීරියල් බිල්ඩර්ස් සමග ගිවිසුමක් අත්සන් කර තිබේ. පදිංචිකරුවන් ඉවත් කරන බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දෙන ලද සහතිකය මත ව්‍යාපෘතියේ වැඩ දැනටමත් ආරම්භ කර ඇත. පිහිනුම් තටාක, ක්‍රීඩාගාර, සමාජශාලා, රෙස්ටුරන්ට්, ක්‍රීඩාපිටියක් සහ තරු හතරේ හෝටලයක් සහිත වූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මේ ව්‍යාපෘතියට අයත් වේ.

ව්‍යාපෘතිය නිම වූ පසුව මේ නිවාස සංකීර්ණයේ ගෙවල් ලබාදෙන බවට ආණ්ඩුවෙන් ලබා දී ඇති පොරොන්දුව නෙරපාහරින ලද පවුල්වල අය විශ්වාස කරන්නේ නැත. ඔවුනට අනුව පකිස්ථාන සමාගම මේ භූමිය මිලදී ගෙන ඇත්තේ පර්චස් එකකට රුපියල් මිලියන හතර බැගිනි.

එක් කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නියෝජිත සමග පවසා ඇත්තේ “අපට පර්චස් දෙකක් තිබුනා. ඉතින් අපි මිලියන් අටක් ඉඩම වෙනුවෙන් ඉල්ලුවත් බලධාරීන් එය ප්‍රති‍ක්ෂේප කළා. ඉතින් අපට ඒ සුඛෝපභෝගී ගෙවල් දෙයි කියල අපි කොහොමද විශ්වාස කරන්නෙ?” යනුවෙනි.

රුපියල් දහ අට දාහක මාසික කුළියේ වන්දිය පිළිගත් පවුල් කීපයක් දැන් කිලෝ මීටර් 6ක් විස්ථාපනය වී ඇති අතර ඔවුනගේ වෙළඳාම් කටයුතු ආදිය සඳහා දිනපතා කොම්පඤ්ඤවීදියට ගමන් කරති. සමහර අය තමනට පදිංචි වීමට තැනක් ලැබී ඇති නමුත් දරුවන් සඳහා පාසැලක් නොලැබීම නිසා, වන්දිය පිළිගැනීම ගැන පශ්චාත්තාප වෙති. ජීවිතය දුෂ්කර බව ඔවුහු කියති.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 2008 වර්ෂයේදී ඉවත් කරන ලද පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමට ආණ්ඩුව තවමත් සමත් වී නොමැත. පවුල් 400ක් පමණ ඉවත් කරන ලද අතර ඉන් පවුල් 76ක් කොම්පඤ්ඤවීදියේ සිට කිලෝ මීටර් කීපයක දුරකින් පිහිටි වැලිගොඩවත්ත ප්‍රදේශයේ අටවාගත් පැල්පත් වල තවමත් දිවි ගෙවති.

 “අපට ස්ථිර රස්සාවල් නෑ. අපි කරන්නෙ මාළු අල්ලන එක වගේ වැඩ. ගැහැණු අය මෙහෙකාරියන් හැටියට ගෙවල් වල වැඩට යනවා. දැන් අපට බස් දෙක තුනක යන්න එන්න වෙලා. ඒක හරිම අමාරුයි.”

මෙවැනිම මුඩුක්කු ප්‍රදේශයක් වූ ඉබ්බා වත්තෙන් නෙරපාහරිනු ලැබූ අයත් සමාන ඉරණමකට හුහුණ දෙති. තොටළඟ නාගලගම් වීදියේ කඳවුරක ඇති ලෑලි ගෙවල් ඔවුන්ට පදිංචිය සඳහා ලැබී ඇත. ඔවුනට වන්දියක් ලැබී නැති අතර අනාගතයේ ස්ථිර නිවාස ලබාදෙන බවට වූ හිස් පොරොන්දුවක් පමණක් ලැබී ඇත. නාගරික සංවර්ධන අධිකාරියෙන් නිවාස ලබා දීමේ බලාපොරොත්තුව ඇතිව ඔවුහු තවමත් සිටිති.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රදේශය අවට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති අතර කඳවුරේ පදිංචිකරුවන්ට අවවාද කර ඇත්තේ මාධ්‍ය වලට කථා නොකරන ලෙසයි. මෙහි පවුල් හැට පහක් ජීවත් වන බව වාර්තා වේ. “වැසිකිළි 18යි ස්ත්‍රී හා පුරුෂ වශයෙන් සමානව වෙන් කරල තියෙන්නේ. සමහර ඒව හරියට වැඩකරන්නෙත් නෑ” යනුවෙන් එක් පදිංචිකරුවෙක් පවසයි. පොදු ජල නලයක් ඔවුනට භාවිතා කිරීමට සිදු වී ඇත.

කොළඹ මෙට්රෝපොලිටන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහින්ද රාජපක්ෂ රජය සැළසුම් කරන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් මුඩුක්කු නිවාස වල පදිංචි පවුල් 70,000ක් පමණ ඉවත් කිරීමටයි. 2008 සිට මේ දක්වා විවිධ ප්‍රදේශ වලින් පවුල් දහසක් පමණ ඉවත් කරනු ලැබ ඇත්තේ විරෝධතා මැඬලීමට සන්නද්ධ හමුදා සහය ලබාගනිමිනි.

ආරක්ෂක අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව පවත්වාගෙන යන වෙබ් අඩවිය වාර්තා කරන්නේ මෙසේය.


මෙයට අමතරව, නාරාහේන්පිට, බාන්ස් පෙදෙස, බොරැල්ල, බෞද්ධාලෝක මාවත, වනාතමුල්ල සහ මාලිගාවත්ත ඇතුළු  කොළඹට තදාසන්න ප්‍රදේශවල පවුල් සිය ගණනකට නාගරික සංවර්ධන අධිකාරියෙන් සිය නිවාස අත්හැර යන ලෙස දැනුම් දීම් කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය 2010 වර්ෂයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නතුව ඇති ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනු ලැබිනි.

තවද, මැද කොළඹ ප්‍රදේශයේ ඇපල්වත්ත ඉඩමේ පවුල් 1400කට පමණ තම නිවෙස් හැරදමා යන ලෙස දැනුම් දී ඇත. නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒ පදිංචිකරුවනට සුළු වන්දියක් සහ වැලිගොඩ වත්තේ හුදු මඩුවක් හෝ ගෙවල් කුලියට ගැනීම සඳහා මාසිකව රුපියල් 8000ක් ගෙවීමට තීන්දු කර ඇත. ඔවුහු මේ වන්දිය ප්‍රතික්ෂේප කර ඇත්තේ මින් පෙර නෙරපා හරින ලද ඔවු‍න්ගේ අසල්වාසීන් දැන් ජීවත් වන කටුක ආකාරය දැකීම නිසාය.
අවුරුදු 3කට පෙර මේ ප්‍රදේශයේ ගෙවල් 24ක් කඩා දමන ලද අතර එම පවුල් වැලිගොඩ වත්ත නමැති ප්‍රදේශයේ ලෑලි ගෙවල් වලට තාවකාලිකව යවන ලදී. තවමත් ඔවුනට ස්ථිර නිවාස නොමැත.

පවුල් 1400ක් එකතුව නෙරපාහැරීමට විරුද්ධව නඩුවක් දමන ලදී. ජූලි 11 වැනිදා මහාධිකරණය තීන්දුව දුන්නේ “පදිංචිකරුවන් වෙනත් ස්ථානයක පදිංචි කරවන තුරු” ගෙවල් කැඩීම නතර කරන ලෙසයි. මේ තීන්දුව වූකලි කාලය ලබාගැනීමක් පමණකි. ගෙවල් හැර දමා යන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මිනිසුන්ට බලපෑම් කරන්නේ ආරක්ෂක හමුදාවන්ගේ සහයද ඇතිවයි.

ඇපල්වත්තේ බොහෝ පවුල් ජීවත් වන්නේ ලෑලි ගසා වහළයට තහඩු සෙවිලි කර ඇති කුඩා මඩු වැනි නිවාස වලය. පටු මාවත් සහිතව ඇසිරී ඇති මේ නිවෙස් වල ජීවත් වන්නන්ට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික පහසුකම් පවා නොමැත. මුළු ප්‍රදේශයටම ඇත්තේ වැසිකිළි 12කි. වැසි කාලයේදී අවට ඇති ඇළ මාර්ග උතුරා යාමෙන් මේ නිවාස නිරන්තරයෙන් ජලයෙන් යටවේ.

ආයෝජකයන්ට ඉඩම් ලබාදීම සඳහා මිනිසුන් තම නිවෙස් වලින් බලහත්කාරයෙන් පළවා හරිනු ලබන්නේය යන බරපතල කාරණය මෑත කාලීන සංවර්ධන කටයුතු වලදී අවතක්සේරු කර තිබේ.

ඩොලර් මිලියන 406ක් ආයෝජනය කරන බවට සහතික වී ඇති ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට කොම්පඤ්ඤවීදියේ හෙක්ටෙයාර් 2.4ක් ආණ්ඩුව විසින් ලබාදී ඇත. මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති භූමි ප්‍රදේශයේ පවුල් 456කට සහ ව්‍යාපාරික ස්ථාන 90කට පිට වන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් නියෝග කර ඇත.

ජූනි 30වැනිදා ද සන්ඩේ ටයිම්ස් වාර්තා කළේ ඩොලර් මිලියන 300ක ආයෝජන ව්‍යාපෘතියක් සඳහා කො‍ළඹ නගරයේ පළමු පෙළේ බිම් කොටසක් එවික් ඉන්ටනැෂනල් කෝපරේෂන් නමැති චීන සමාගමට පවරා දී ඇති බවය.

ආණ්ඩුව කොළඹ නගරයෙන් බැහැරව‍‍ ඇති තවත් නගරවල සහ වෙරළ බඩ පෙදෙස් වල ද සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කර තිබේ.

මෑතකදී, නාගරික සංවර්ධන අධිකාරිය දඹුල්ලේ නිවාස 44ක් කඩා බිඳ දැමූ අතර තවත් නිවාස 64ක පදිංචිකරුවනට නිවෙස් හැර යන ලෙස දැනුම් දී ඇත.

මේ නිර්දය නෙරපාහැරීම් වූකලී ශ්‍රී ලංකාව මත පතිත වී ඇති ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමයි.
Copyright © 1998-2013 World Socialist Web Site - All rights reserved

පොදු යහපත උදෙසා උපුටා පළකරනු ලබන බැවින් කොපිරයිට්ස් නොසළකා හරින මෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් ඉල්ලමි.
අපේ කතාව ලබන සතියේ නැවත පටන් ගනිමු.