2012-05-21

අවසානයේදී අප වෙතටද අසූචි .....

අවි ගත්තෝ අවියෙන්ම නැසෙතැයි කියමනක් තිබේ. මේ කියමන යළි සිහියට නැගුනේ කොටි ගැන මතක් වීමෙන් නොවේ. නවතම සන්නිවේදන මාධ්‍යය වූ වෙබ් පිටු සහ ඊ මේල් හරහා යහමින් කරගෙන යන යුද්ධයක් දැකීමෙනි. මේ නවතම යුද්ධය ආරම්භ වූයේ ශාප ලත් තිස් අවුරුද්දේ අවසානය සනිටුහන් වීමෙන් පසුව වීම අහම්බයක් නොවේ.
යුද්ධය අවශ්‍ය වන්නේ කාටද? ගල් යුගයේදී සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වූ වනචාරී මිනිසා ශිෂ්ටාචාරය වෙත ළගා වීමෙන් පසුවත්, ආයුධ සමග සෙල්ලම් කිරීම ජානමය පුරුද්දක් වූ බව පෙනේ. දියුණු ලෝකයේ මිනිසා දුනු ඊතල වෙනුවට අධි තාක්ෂණික ජීව නාශක උපකරණ භාවිතා කරන්නට පටන් ගත්තේ මේ ජානමය පුරුද්ද නිසාමදැයි කිව නොහැකිය.
කා සමග හෝ ආරවුලක්, ගැටුමක් ඇති කර නොගෙන සිටීම අසීරු කටයුත්තක්දැයි සිතෙන තරමටම වලියට බර මිනිස්සු අප අතර සිටිති. ඔවුනට සාමය යනු අතිශය වේදනාබර සංසිද්ධියකි. එක්තරා මහ මැතිවරණයකින් පසුව කෝ මොකවත් නෑනෙ කියමින් පාර අයිනට වී බලා සිටි අයකු මගේ සිහියට නැගෙයි. යම්තම් ඇති වන බහින් බස් වීමක් මහා ගැටුමක් බවට පත් කර එකකු දෙන්නකු පරලොව යාමෙන් පසුව නිමාවට පත්වනු බලා සතුටු වන්නෝ සිටිතැයි මට හැ‍ඟේ.
මේ අටුවාව කියා පෑවේ, පිරිබාහරන් නමැති ත්‍රස්තවාදියාගේ මරණයෙන් පසුව හදිසියේ මතු වූ ජාතිකාභිමානී ව්‍යාපාරයන් දැකීමෙන් ඇති වූ බියජනක හැඟීමක් නිසාය. තවත් විස්තර කරන්නේ නම්,  මේ රටේ සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් කථා කිරීමට අනගාරික ධර්මපාලයන් වලෙන් නැගිටුවාගෙන කෑගසන ජාත්‍යොන්මාදවාදීන් පිරිසක් බිහි වී සිටින බවත්, මෙරට ජීවත් වන අසිංහල අබෞද්ධයන් පිටුවාහල් කිරීමට හෝ මරා දැමීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත්, මේ සඳහා ඉතා සනීපදායක ලෙස පරිගණක තාක්ෂණය භාවිතා කරමින් ජනතාව කුපිත කිරීමට මේ අමනයන් දඟලන බවත්, අන්තර්ජාලයේ සිංහල වෙබ් පිටු දෙස බලා සිටින විට පෙනී යන නිසාය.
අතිශයින්ම ජුගුප්සාජනක වූ මේ ලිපි වලින් කියවෙන්නේ මෙරට ජීවත් වන අසිංහලයන් හා අබෞද්ධයන් සිංහලයන් හා බෞද්ධයන් විනාශ කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරන බවත් එම නිසා, සිංහල ජාතිය සහ බෞද්ධාගම රැකගැනීමටනම් ඉහත කී කොටස් මෙරටින් තුරන් කළ යුතු බවත් ය.
ආගමන විගමන නීති රීති දැඩිව නොතිබුනු අතීතයේදී මේ දිවයිනට විවිධ ජාතීන්ට අයත් විවිධ ආගම් අදහන පිරිස් ගොඩබැස්සෝය. ඔවුන් මෙරට පැලපදියම් වූයේ ඇතැම් විට ස්වදේශිකයන්ගේ ආශීර්වාදයද ඇතිවය. කෙසේ වුවත්, කිසිම විදේශිකයකු මෙරටට ඇතුළු වූ වහාම ඔවුන් පිටුවාහල් කිරීමට ගන්නා ලද කිසිම උත්සාහයක් වාර්තාගත ඉතිහාසයේ දක්නට නැත. ආක්‍රමණිකයන් වශයෙන් සළකා ඇත්තේ දුටුගැමුණු රජතුමා විසින් පරාජය කරන ලද සොළී හමුදාවත්, සීතාවක රාජ්‍යය පැවැති කාලයේ සටන් කළ පරංගි හමුදාවත්, අනතුරුව මෙරටට ගොඩබට ඉංග්‍රිසි හමුදාවත් පමණකි. දෙමළ සහ මුස්ලිම් ජන කොටස් මෙරටට කවදා පැමිණියේදැයි කියා සටහනක්වත් නොමැත. ඒ කෙසේ වෙතත්, ගෙරි සමකින් වටවන බිම් ප්‍රමාණය භුක්ති විදීමට පරංගින්ට ඉඩ දුන් බවත්, ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍යය ගිවිසුමකින් පවරා දුන් බවත් ඉතිහාසය කියා දෙයි.
මේ හැරෙන්නට, ගජබා රජතුමා විසින් ඉන්දියාවට ගොස් දොළොස් දහසක් වූ පිරිසක් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවන ලද අවස්ථාවේ ඉන්දියානු කාර්මික කුළ දහ අටකට අයත් 210ක් පිරිස මෙහි පැමිණි බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ. මෙසේ පැමිණි පිරිස වීසා කාල සීමාව නිම වෙද්දී ආපසු ගිය බවක්වත්, පාස්පෝට් එක වෙනුවට ජාතික හැඳුනුම්පතක් ලබා ගත් බවවත්, දැනගන්නට නැත.
දැන් මේ රටේ පුරවැසියන් බවට පත් වී සිටින ජාතීන් කීපයක් ඇත. ඔවුන්ගේ දෙමාපියන් ද ඒ දෙමාපියන්ගේ දෙමාපියන්ද උපත ලබා ඇත්තේ මේ රටේ ය. එසේ උපන් ඔවුන්ට මේ බිමේ ජීවත් වීමට අයිතියක් නැතැයි කිව හැක්කේ කුමන පදනමකින්ද?
ජාතියේ මුර දේවතාවුන්යැයි කියාගන්නා මේ යතුරුපුවරු සටන්කාමීන්ගේ තර්කය නම් මේ දිවයින තුළ වෙසෙන් සිංහල බෞද්ධ නොවන ජන කොටස් විසින්, විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් විසින් සිංහලයන්ගේ උරුමයන් විනාශ කරන බවත් බෞද්ධ උරුමයන් විනාශ කරන බවත් ය. එපමණකින් නොනැවතී වෙළඳ ව්‍යාපාර හරහා සිංහලයන්ගේ වස්තුව කොල්ල කමින් ජාතිය වඳ කිරීමට ටොපි දෙන බවත් ය.
මුහුදු මහා විහාරය වෙත යන මාර්ගය මුස්ලිමුන් විසින් අවහිර කරමින් තිබේ. කුරගල ආරණ්‍ය සේනාසනය තුළ ඉස්ලාම් ආගමික ස්ථානයක් ඉදි කර තිබේ. මහමෙවුනාවේ කැළෑබද ස්ථානයක සාදා තිබුනු පල්ලියක් මේ සිංහල බලවේගය විසින් විනාශ කරන ලදී. ගාලු කොටුවේ ද මොක්කදෝ එකක් සාදන බවට ඡායාරූප බෙදාහැර තිබුනු නමුත් දැන් ඒ ගැන සද්දයක් නොමැත. අළුත්ම සිද්ධිය වූයේ දඹුලු විහාරයට අයත් පූජා භුමිය තුළ ඉදි කළ බව කියූ පල්ලියයි.
යම් ආගමික උරුමයක් හෝ ජාතික උරුමයක් විනාශ කිරීමට තවත් ජාතියකට හෝ ආගමකට අයිතිවාසිකමක් නැති බව සත්‍යයකි. එහෙත් එසේ වන්නේ කෙසේද යන්න ගැන කවරකු විසින් හෝ සළකා බලා තිබේද? බෞද්ධයන් හෝ සිංහලයන් විසින් තමන්ගේ උරුමයන් නිසි ලෙස රැකබලාගෙන නඩත්තු කරමින් සිටියේ නම් ඉහත කී ව්‍යසනයන් සිදු වීමට ඉඩක් ලැබේද?
තමන්ගේ අතින් සිදුවිය යුතු යුතුකම අමතක කොට සිටින ‍සිංහල බෞද්ධයන්ට ජාතිය ගැන ආගම ගැන මතක් වන්නේ තවත් කෙනකු ඇවිත් තමන්ගේ ආගමික වැඩක් පටන් ගැනීමෙන් පසුවය. එක අතකින් වෙනත් ජාතීන් වෙනත් ආගමිකයන් මෙරට නොවන්නට සිංහලයන්, බෞද්ධයන් විසින් එකිනෙකා මරාගෙන මේ වන විටත් ජාතිය වඳ වී ආගම නැති භංගස්ථාන වී යන්නට ඉඩ තිබුනා නොවේද?
මේ සියල්ලට වඩා නින්දා කටයුතු දේනම් අනෙකුත් ආගම් වලට සහ ආගමික කතෘ වරුන්ට කුනුහරුපයෙන් බැණ වැදීමත් නින්දා කිරීමත් ය. එ‍සේ බැණ වැදීමේ තරම කෙතරම්දයත්, එම ජාත්‍යානුරාගී ලිපි කියවීමට දරුවන්ට ඉඩ දිය නොහැකි තත්වයක පවතී. එසේ වූ කළ දරුවන් තුළ ජාත්‍යානුරාගය ඇති කරවන්නේ කෙසේද? ආගමික හැඟීම් පුබුදුවාලන්නේ කෙසේද?
මෙම වැඩ පිළිවෙලේ තර්කානුකූල ප්‍රතිපල දැන් ඇති වෙමින් පවතී. මල මූසලයා නොහොත් උපාසක මහත්තයා යනුවෙන් තමන් හඳුන්වාගත් අයකු විසින් දැන් දැන් මේවාට පිළිතුරු ලියන්නට පටන් ගෙන තිබේ. ඒවාත් අර භාෂාවෙන්ම කරන අයුරු බලා සිටීමට අසීරුය. ඒත් කරන්නට දෙයක් නැත. අප ගල් වලින් පහර දෙද්දී ඔවුහු අපට ගල් වලින් ම පහර දෙති. අප අසූචි වලින් පහර දෙන විට ඔවුහු ද අසූචි වලින් පහර දෙති. අවසානයේ බුදුරජාණන් වහන්සේ වෙත අසූචි දමා ගසන්නට අප විසින් මාර්ගය පාදා දී තිබේ.

1 comment:

  1. මල මූසලයා නොහොත් උපාසක මහත්තයා ඊමේල් ශ්‍රී ලංකා සමූහයේ හෝ වෙනත් ඊ මේල් සමූහයක සාමාජිකත්වය ලබා නැති නමුත්, එකී ඊ මේල් සමූහයන්ගේ සාමාජිකයන් සමහරදෙනකුගේ ඊමේල් ලිපිනයන් ඔහු විසින් එකතු කරගෙන තිබේ. මේ මල මූසලයා නොහොත් උපාසක මහත්තයා සිය ලිපි ලිවීම ආරම්භකරන්නේ ඉස්ලාමයට පහර දෙන ලිපි කීපයකට පිළිතුරු බැඳීමෙනි. එසේ ආරම්භ කරන ඔහුගේ ලේඛන කලාව දැන් ඉතා අශීක්ෂිත වූත්, අසභ්‍ය වූත්, සමාජ විරෝධී වූත්, ප්‍රකෝපකාරී වූත් තත්වයක් කරා වර්ධනය වී තිබේ.එහෙත් මේ ප්‍රපංචය බිහි කිරීම සඳහා අපගේම සිංහල බෞද්ධ ව්‍යාපාරයන්ගේ දායකත්වය ලැබුනු බව මගේ අදහසයි. අහක ඇති දෙබරයකට ගල් ගසා අවුස්සාගත්තා මෙන් මේ උපාසකමහත්තයා ඉතා අවිනීත ලෙස සිංහලයන්ට ගරහමින් බුදුරදුන්ට අවමන් කරමින් ලියයි.මේවා දකින විට අපගේ සිත් අමාරු වේ.එහෙත්, අපේ අය ලියූ සමහර දේවලින් මල මූසලයාගේ සිත කොපමණ රිදෙන්නට ඇත්දැයි කියා අපි නොසිතුවෙමු.නාලාගිරියාගේ පටන් අංගුලිමාල දක්වා අන්ත ලෙස පාපයෙහි ගැලුනවුන් යහමගට ගැනීම ගැන අපමන උදාහරණ කියාදුන් ශාස්තෘවරයකු සරණ ගොස් සිටින අපට මල මූසලයා වැන්නන් දමනය කරගන්නට නොහැක්කේ අප විසින් අපගේ ධර්මය නොපිළිපදින නිසා නොවේද?

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.