Showing posts with label extremists. Show all posts
Showing posts with label extremists. Show all posts

2015-02-08

ඊ මේල් ගෘෘප් වල වැඩ කිඩ

බ්ලොග් සඟරාව ආරම්භයේ සිට කටයුතු කළේ ජාතිවාදයට විරුද්ධවයි. ජාතිවාදය හා සම්බන්ධ ලිපි හා කතන්දර ගණනාවක් පළ කළේ ඒක කියවන අයගෙන් කීප දෙනකුට හරි යහනුවණ පෑදෙයි කියල හිතාගෙනයි.

මේ සයිබර් අවකාශයේ ඊ මේල් ගෘෘප් කියල ජාතියක් තියනවනෙ. ඒ ගෘෘප් එකක සාමාජිකත්වය ගත්තට පස්සෙ වෙන්නෙ මේකයි. ගෘප් එකේ ඕනෑම සාමාජිකයෙකුට පුළුවනි ගෘෘප් එකට ඊ මේල් එකක් යවන්න. එහෙම යවාපු ඊ මේල් එකක් ගෘෘප් එකේ හැම කෙනෙකුටම ලැබෙනව.

ඉතින් නිතර හමු නොවන මිතුරු කණ්ඩායම්, විවිධ සංගම් වල සාමාජිකයො, අධ්‍යයන ආයතන වල ශිෂ්‍ය කණ්ඩායම් මේ විදිහට ගෘෘප් හදාගෙන ඉන්නව. ඊට අමතරව පොදුවේ ඕනෑම කෙනකුට සාමාජිකත්වය ලබාගන්න පුළුවන් ගෘෘප් එහෙමත් තියනව. මේවයින් සමහර ඒවනම් ඇඩම්ස් ඔන්ලි. ලෝකෙ නැති කුනු රස බෙදන පින්තූර සහිත හෝ රහිත ඊ මේල් තමයි ඒ ගෘෘප් වලින් එවන්නෙ. ඔය අතරෙ තියනව ආගමික හෝ දේශාභිමානී ස්වරූපයක් ගත්ත ඊ මේල් කණ්ඩායම්. මේ වගේ සමහර ගෘෘප් වලින් කරන්නේ ඇති තරම් ජාතිවාදය වැපිරීමයි.

මේ වගේ ගෘෘප් එකක සාමාජිකත්වයක් ලබාගෙන හිටිය මාත් කාලෙකට ඉස්සර. ගොනා හැරෙන්නෙ පොල් පැලේ පැත්තට බව තේරුනාට පස්සෙ මං කළේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන එකයි. ඒ ගෘෘප් වල ජරා ඊ මේල් වලට උත්තර ලියන එකත් සමහර වෙලාවට කිසිම වැඩක් නෑ. ඒව කියවන්නෙ එකම ජාතියෙ පිස්සො ටිකක්.

මට වුණු ඇබැද්දියටම මුහුණ දීපු තවත් එක්කෙනෙක් මේ පහළින් තියන ලිපිය ලියලම වැඩේ ක්ලෝස් කළා. කාටත් ලැබිය හැකි ප්‍රයෝජනය සළකලා ඒ ඊ මේල් එක සංස්කරණය නොකර ම මං මේ පළකරන්නෙ, අනන්‍යතාවන් විතරක් සඟවමින්.

2012/7/29 Abcd K <abcde@gmail.com>
මම සිංහල බෞද්ධයෙකු වෙමී. මම මේ Email group lanka එකට සම්බන්ධ වුනේ බෞද්ධාගම පිලිබද ලැබෙන ලිපි ලේඛණ හා විස්තර කියවීමටය.නමුත් මට පෙනෙන විදිහට මෙම group එක හරහා වැඩිපුර හුවමාරු වන්නේ ජාතිවාදි සටන් පාඨවල්ය.  පසුගිය වසර සිට මුරගල , ධර්ම ද්වීපය වැනි group වලින් ඕනැවට වැඩිය මෙම ජාතිවාදි  ලිපි පහල විය . මම මේවා දැක පුදුම වූයෙමී .මන්ද යත් අර ප්‍රබාකරන් නැමැති මහ කොටියා සමග අවු .22 ක් සටන් කොට හෙම්බත් වු රටේ තව ජාතිවාදි ගිනි අඇවීලීමට  සමහරු තැත් කිරීමට උත්සාහ ගන්නා බැවිනි .  ඊට අමතරව මෙම වසර මුල් භාගය සිට මූසලයා නමින් මුස්ලිමි ජතිකෙකු මැද්දට පැන විටින් විට මේවාට ප්‍රතිචාර දක්වයි .මෙය සුභ ලකුණක් නොවේ .මන්ද යත් සමහරක් ජාතිවාදින් විසින් ඉස්ලාම් ආගමට හා මුස්ලිම් ජාතිකයන්ට  "හම්බයා " " " තම්බියා  "  ඉතා අශෝභන ලෙස බැන වදින විට මුසලයා බලවත් ලෙස අප ජාතියට සහ බුදු දහමට බැන වදියී. එයට මම කැමැති නැත .අප ජාතියට බැන වැදුනත්, බුදු දහමට නින්දා කරනවිට මා සිත තුල ඇති වන්නේ බලවත් කම්පාවකී .මෙය නතර කර හැකි වන්නේ ජාතිවාදි   ලිපි හුවමාරු  ව නතර කිරීමයී . මෙයට  Email group lanka  moderator ට පමනක් මැදිහත් වී කල හැකිය . Roshan Aponsu, Sunil perera, Nalin silva වැනි උදවියගේ  ජාතිවාදි  ලිපි හුවමාරු කිරීම නතර කලහොත් Mala musalaya ගේ ලිපි නතර කල හැකිය .
මට මෙම ලිපිය ලිවීමට බොහෝ හේතු තිබේ .
1)  ප්‍රබාකරන් නැමැති මහ කොටියා සමග අවු .22 ක් සටන් කොට බොහොම අමාරුවෙන් ලංකාව යුද්ධේ දින්නේ . එම යුද්ධේ දිනුවෙත් රට චිනයට උකස් තියලාය .මෙවන් වාතාවරනයක  මුස්ලිම් ජාතිකයන් සහ කතෝලික ආගමිකයන් සමග ප්‍රශ්න ඇතිකිරීම සුභදායකද ?
2) තවත් සමහරැ පවසන්නේ අපිට මුස්ලිම් ජාතිකයන් ගේ කඩවල් වලින් බඩු ගන්න එපා කියලාය .ඒක හරිම මෝඩ කථාවෙකී. මන්ද යත් ලාංකික වැඩි දෙනෙකු මැද පෙරදිග අරාබි කාරයන්ට කඹුක් ගහන බැවිනී . ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්  භාගයක් සිංහලය . එවැනි උදවියගේ කඩවලින් බඩු නොගත්තත් අරාබී කාරයාගේ කුස්සියට තමාගේ ගැහැණු යවන උදවිය මේ රටේ සිටී .  අප රටේ Mason bass , driver වැනි රැකියාවල හිගයක් පවතී . මන්ද යත් ඔය සෑම දෙනම Dubai ගොස් ඇති බැවිනී .
ලංකාවට   ලැබෙන විදේශ විනිමය තුන් කාලයක්ම ලැබෙනුයේ  මැද පෙරදිග රටවලින් බවට අප රජය සනාථ කොට ඇත . එසේනම් අපිට ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන් ගේ කඩවල් වලින් බඩු ගන්න එපා කියලා කියන කථා වල කිසිම තේරුමක් නැත .
3) තවත් සමහරෙකු පවසා සිටිනුයේ අප ජාතිය වැඞි කිරීමට අඩුම ගනනේ ලමයි 4 දෙනෙක්වත් හැදිය යුතු බවයී .  ඒ උදවිය එම ලමයින්ට කන්න අදින්නේ දෙන්නේ කොහෙමද කියලා සිතුවේ නැති බවටයි මෙවැනි වදන් වලින් පෙනි යන්නේ . 2009 දී යුද්ධය නිමවූවත් අප රටේ ජීවන වියදම පහල ගියේ නැත . අප  රටේ තුන්කාලක්ම සිටිනුයේ අඩූ ආදායම් ලාබීන්ය .  උන්ට ඉන්න හිටින්න හරියම නිවසක්වත් නැත .  මෙවැනි වාතාවරනයක ලමයි 4 දෙනෙක් හැදිය හැකිද අඩූ ආදායම් ලබන මුස්ලිම් ජාතිකයන් හට පල්ලියෙන් ආධාර ලැබුනත් අපහට එවැනි ආධාර පන්සලෙන් ලැබෙන්නේ නැත .
ඊට අමතරව ලඃකාව කුඞා දුපතක් බව අප සැවොම දන්නා කරුනකී .එහෙත් ජනගහනය අධිකය . ලක්ෂ 22 කී . 2004 සුනාමියෙන් පසු ලංකාව තව කුඩා විය .
එමනිසා මෙම ජනගහනය ප්‍රශ්නයට එකම පිලියම වන්නේ චිනය වගේ එක් දරු හෝ දරු දෙදෙනෙකු පමනක් හැදීමේ නීතිය රජය විසින් පැනවීමයී .සියලු ජාතින් තුල එම නීතිය අකුරට ක්‍රයාත්මක කර හැකිය .
ඒ හැර ජාතින් අතර බේද ඇතී කිරීම සුභදායක නැත .මන්දයත් ජාතින් අතර අසමගිතාවයක් හෝ කහට හිතක් හටගත් විට එය මුලු රටටම බලපාන බැවිනී . ඒ මදිවට මුස්ලිම් ජාතියෙන් තව ප්‍රබාකරන් කෙනෙකු බිහීවීමටද පාර කැපෙන බැවිනී .
මිත්‍රයනි , අමතක කරන්න එපා වටුවගේ කථාව . වටුවන් අසමගි වුන අවස්ථාවේදි තමයි වැද්දා දැල දාලා සියලූ දෙනාම අල්ලා ගත්තේ . මේ අවස්ථාවේදි වැද්දා සැටියට එන්නේ ඇමරිකාවයී !
ප්‍රබාකරන් රට ගන්න හැදූ අවස්ථාවේදි හමුදාව සටන්කර රට බේරාගත්තා .ඒ වගේම ලංකාවේ තව ජන කොටසක් ඉදිරියට රට අල්ලා ගන්න ආවොත් එම හමුදාවම ඉන්නවා රට බේරගන්න .
එමනිසා අපි බෞද්ධයෝ වශයයෙන් වගකීමෙන් කටයුතු කොට ජාතින් අතර අසමගිකම් ඇති නොවෙන්නට වගබලා ගත යුතුය .

එමනිසා E mail group moderator වගකීමෙන් මෙම  ලිපි හුවමාරු කල යුතුය .

2013-03-12

ජනතාව උසිගැන්වීමෙන් වළකින්න

ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!  යනුවෙන් ලියූ ෝස්ට් එකක් මේ දිනවල බෙහෙවින්ම කියවනු ලබන අන්වර් මනතුංගවෙබ් අඩවිේ පළ කර තිබෙනු දුටුවෙමි. ඔහු කියන කතාවේ වරදක් දකිමි. මා හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධ ලිපියක් ලියා තිබෙනවා සමහර විට ඔහු නොදකින්නත් ඇති.

ඔහු සඳහන් කරන ජාත්‍යෝන්මාදී කල්ලි වලට අවශ්‍ය වී ඇත්තේ මුස්ලිම් ප්‍රජාව පාගා දමමින් තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරගැනීම විය හැකිය. ඊයේ හලාල් අද බුර්කා හෙට තව එකක් යනාදී වශයෙන් නොව ඒ සියල්ලම ආවේ එක දිගටය. සමහර විරෝධතාවන් දැනටමත් හැලී ගොස් ඇත.

එහෙත්, හලාල් ප්‍රශ්නය සම්බන්ධ වූ ඇත්ත අසාධාරණයක් මා විසින්ද දක්නා ලද අතර එය ඉහත පෝස්ට් එකේම පළ කළෙමි. හල්ලා ප්‍රශ්නයට දැන් ලැබී ඇතැයි කියන විසඳුම හලාල් සහතිකය සඳහා ලංකා වාණිජ මණ්ඩලයෙන් සහ මුස්ලිම් සංවිධානයකින් බරපැන දැරීම බව අන්වර් මනතුංගගේම ලිපියක මා දුටුවෙමි. එම විසඳුම සාධාරණය. මුදල් ගෙවිය යුත්තේ අවශ්‍යතාව ඇති අයයි. මුදල් ප්‍රමාණය ඉතා කුඩා වුවද හලාල් ඉල්ලා නොසිටින පාරිභෝගිකයාගෙන් එයට මුදල් අය කිරීම වැරදිය. ඒ නිසා හලාල් විරෝධය (එහි සත්‍ය අරමුණ වෙනස් දෙයක් වුවත්) පිළිබඳව එරෙහි වීමට කිසිවකුට හැකියාවක් නැත.
.
බුර්කාව යනු ඇඳුමකි. ආරක්ෂක හේතූන් මත යම් යම් ස්ථානයන් වෙත යාමේදී බුර්කාව, ලෝගුව හෝ සිවුර තහනම් කළ හැකි වුවත් නිරුවත නොපෙනෙන ඕනෑම ඇඳුමක් ඇඳීම මනුෂ්‍යයාගේ පරම අයිතියකි. එයට විරුද්ධ වීමට කිසිවකුට නොහැකිය. එමෙන්ම හලාල් විරෝධය මෙන් බුර්කා විරෝධය සම්බන්ධයෙන් මහජන මතයක් ගොඩ නැගී ඇත්තේ ද නැත. (මෙහිදී අන්වර් මනතුංග අනවශ්‍ය ලෙස ජනතාව උසිගන්වන බව මට සිතේ.)

සාධාරණ ලෙස කටයුතු නොකරන ව්‍යාපාරිකයන්ට මුස්ලිම් ව්‍යාපාරිකයා තර්ජනයකි. අන් ව්‍යාපාරිකයන්ටත්, ව්‍යාපාරිකයන් වැඩි වීම තර්ජනයකි. මුස්ලිම් ව්‍යාපාරිකයා සැම විටම සාධාරණ ලෙස කටයුතු කරන්නේයැයි කියා මම නොසිතමි. එහෙත්, පාරිභෝගිකයා ඇද ගැනීමේ උපාය ඥානය ඔවුන් සතුව තිබේ. මේ හේතූන් නිසා මුස්ලිම් ව්‍යාපාරිකයා නෙරපීම දවසේ අවශ්‍යතාව බවට පත් වූ කොටසක් සිටිති. ඔවුන් විසින් පෝෂණය කරනු ලබන කල්ලි කණ්ඩායම් විසින් එම අවශ්‍යතාව ඉටු කරනු ඇත.

මේ බ්ලොග් සඟරාව ආරම්භයේදීම ලියා ඇති ලිපි කීපයක මේ ගැන සඳහන්ව තිබේ. අද දක්නට ලැබෙන ඊනියා බොදු පුබුදුව විකාරයකි. හරසුන් වූත් බාහිර ආටෝපයට මුල් තැන දෙන්නා වූත්, තර්කානුකූලව කියන්නට නොහැකි වන විට කුනුහරුප ඇද බාන්නා වූත්, ෆේස් බුකියේ සහ ඊ මේල් සමූහයන් අතර පමණක් බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටින්නා වූත්, කරුණාව, මෛත්‍රිය වැනි යහ ගුණාංග රහිත වූත් වීරයන්ගේ නිවට ව්‍යායාමයකි.

අන්තවාදී ඉස්ලාමික සංවිධාන ලොව පුරා පහළව තිබේ. ලංකාව තුළ ද එවැනි සංවිධානාත්මක ක්‍රියාකාරකම් නොතිබෙන්නේයැයි ඉඳුරා කීමට අප නොදනිමු. එහෙත් එවැනි ක්‍රියාකාරිත්වයක් මටනම් දක්නට ලැ‍බී නැත. ළඟදී මේ ගැන කතා බහ කළ මගේ මිත්‍රයෙක් කීවේ "ඒ වුනාට මචං අපි පොඩි කාලෙ එහෙම මේ වගේ බුර්කා ඇඳගත්තු ගෑනු මේ රටේ දකින්න හිටියෙ නෑනෙ" කියායි. ලෝකය පුරා සිදුවන (ජිහාඩ් හෝ තලේබාන් හෝ වැනි) විවිධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දකින අපට (අපි මොන තරම් නිර්භීත ජාතියක් වුනත්) බුර්කාව ඇඳගත් ගැහැණු දකින විට භීතියක් ඇති වේ. සිකුරාදා මුස්ලිම් ජනතාව එක් රැස් වී පල්ලි යන විට භීතියක් ඇති වේ. මේ ළඟකදී කොල්ලුපිටියේ මුස්ලිම් එක්රැස් වීමක ඡායාරූපයක් ඊ මේල් මගින් සංක්‍රමණය වනු දක්නට ලැබිනි. මෙවැනි එක් රැස් වීම් අපට නුහුරුය. අපි ජේ වී පී එකටත් බය වෙලා සිටින්නේ ඒ නිසාය. කතා බහේදී ජේ වී පී එක ඉතා හොඳ බව පිළිගන්නා අය (මේ කිව්වේ ජවිපෙ බැබැලුනු 2003 කාලේ, දැන්නම් ජේ වී පී එක කොහොමත් එච්චර ජනප්‍රිය නැත.) වුනත් ඡන්දය දෙන්නට බය වූ බව ඡන්ද ප්‍රතිපල වලින් පෙනී ගොස් ඇත.

බහුතරයාගේ කැමැත්ත අනුව සුළුතරයා පාගා දෑමීම ලෝක නියාමය බව සිතා සිටින අපි අනාගතයේදී ලංකාවේ බහුතරයා මුස්ලිම් වනු ඇතැයිද, එවිට ලංකාවේ ෂරියා නීතිය බලපවත්වනු ඇතැයිද සිතා බිය වී සිටිමු. බියට පත් වූ සත්වයා අතිශයින්ම දරුණු වේ. ඒ නිසා, මේ භීතිය නැති නොවුනහොත් විනාශය දරුණු වනු ඇත.

සුද්දා රෝම ලන්දේසි නීතිය ගෙනාවේ බහුතර බලයකින් නොව ආක්‍රමණයකින්ය. කෙසේ හෝ ඒ නීතිය ලංකාවටත් ඉතා හොඳ බව පෙනී ගොස් ඇත. ෂරියා නීතිය හොඳයි කියා ඉඳ හිට වැරදීමෙන් සමහරුන් අතින් කිය වී ඇත. ඒ දවස්වල ෂරියා යන වචනය නොදැන සිටි අය කීවේ "මේ අපරාධ වළක්වන්නනම් අරාබියේ වගේ අත පය කපන්න පුළුවන් නීති ගේන්න ඕනෑ" කියාය.

දිගින් දිගට හෑලි නොලියා කෙටියෙන් කියනවානම් මෙසේය.

අන්වර් මනතුංගත්, සිංහල බෞද්ධ සංවිධානයැයි කියාගන්නා කල්ලි වාදීනුත් ජාතිවාදී හා ආගම්වාදී විෂබීජ වැපිරවීම වහාම අත්හැරීම සුදුසුය.

අනවශ්‍ය විරෝධතාවන් මගින් සැබෑ ජාතික අවශ්‍යතාවන් යටපත් නොකළ යුතුය.

බොහෝ ව්‍යාපාරිකයන්ට ජාතියක් ගැන හැඟීමක් නැති අතර තමන්ට කෙළ වී ගෙන යද්දී පමණක් ජාතිය මතක් වේ. ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ඔවුන්ට කේ යාමෙන් වැළකිය යුතුය.

සියළු සිංහලයන් කෙට එළදෙනුන් ලෙස දිවීමෙන් වැළකිය යුතුය.
සියළු මුසල්මානුවන් අන්වර් කියන දෙයම පිළිගැනීමෙන් වැළකිය යුතුය.

තිස් අවුරුදු යුද්ධය ොබයිල්මෑන්ට නම් තවමත් ොඳට මතකය.



(කමෙන්ට් මොඩරේට් කරනු ලබන අතර කුනුහරුප ලියනවානම් මොබයිල්මෑන් නොදන්නා ඒවා පමණක් ලියන්න.)

2013-03-01

බොබසේ අල්ලාහ් පිළිගන්නවා නේද?

 මෑත කාලයේදී පත්තරවලත් බ්ලොග් වලත් ප්‍රමුඛතාව ලත් මාතෘකාවක් වුනේ මොකක්ද කියල කාටත් මතක ඇති. ඒ තමයි, හලාල් භීෂණය.

හලාල් සහතිකය අවශ්‍ය වන්නේ ඉස්ලාමිකයන්ට පමණයි. එවැන්නක් වුවමනා බව කියලා දිගින් දිගටම ඒ සඳහා වැඩපිළිවෙලක් සළසන්න කියල ඉල්ලා සිටියේ මුස්ලිම් ප්‍රජාව බව එම සහතිකය නිකුත් කරන ආයතනයේ මව් සංගමය පුන පුනා කියා සිටිනවා.

ඒත් මේ සහතිකය නිකුත් කරනු ලබන ක්‍රම වේදය යුක්ති සහගත නැති බව අන්වර් මනතුංගත් ඉස්ලාමය වෙනුවෙන් ලියන අනෙකුත් ලේඛකයනුත් තේරුම් ගත යුතුමයි.ඒත් ඔවුන් හැමදාම කතා කරන්නේ බීරි අලින් වගෙයි.

මෙන්න හලාල් සහතිකය නිකුත් කිරීමේ අසාධාරණය පැහැදිළි කරන තවත් උදාහරණයක්ඃ

පොත් සාප්පු වල විවිධාකාර පොත් තිබෙනවා. ළමයින් මේවා බලලා එක්කෝ හැදෙනවා, නැතිනම් නැසෙනවා, ඒ ඒ පොත් වල තිබෙන කරුණු අනුව.

දැන් හිතන්න විදුහල්පතිවරු රැස් වෙලා මෙහෙම සාකච්ඡා කරනවා. "මේ සාප්පු වල තිබෙන සමහර පොත් ළමයින්ට නුසුදුසුයි. ඒ නිසා, ළමයින්ට සුදුසු පොත් මොනවද කියල තෝරලා අරන් දෙන්න ඕනෑ."

දැන් මේ වැඩේ කරන්නෙ කොහොමද? මේ ඔක්කොම පොත් කියව කියව බලන්න විදුහල්පතිවරුන්ට‍ වෙලාවක් නෑනෙ. එයාල ඔන්න කමිටුවක් පත් කරනවා, කඩේ තියෙන පොත් කියවලා ළමයින්ට හොඳ ඒවා මෙන්න මේවයි කියලා නම් කරන්න (හලාල් කරන්න).

දැන් මේ කමිටුව පොත් ප්‍රකාශකයන්ට කියනව මෙහෙම. "ඔබ ප්‍රකාශයට පත් කරන පොත් පාසැල් වල විකුණන්න නම්, අපෙන් සහතිකයක් ගන්න වෙනවා. ඒ සහතිකය නිකුත් කරන්න අපි පොතකට මෙන්න මෙච්චරක් අය කරනවා".

දැන් පොත් ප්‍රකාශකයෝ තනි තනිව කල්පනා කරනවා, "මගේ පොත් ටික පාසැල් වල විකුණගත්තොත් සෑහෙන පොත් ගානක් විකුණගන්න පුළුවන් වේවි." කියලා. එහෙම හිතලා අර කමිටුවට කියනවා, "අනේ ඉල්ලන ගානක් දෙන්නම්, අපේ පොත් බලලා සහතික කරලා දෙන්න, ඔයාලට දෙන මුදල මම පොත් වල මිල වැඩි කිරීමෙන් හම්බ කරගන්නම්" කියලා.

දැන් මේ පොත කියවන්න ගන්න වැඩිහිටියන්ටත් අතිරේක මුදලක් ගෙවන්න වෙනවා. නමුත් අවශ්‍යතාව විදුහල්පතිවරුන්ගේ.හැබැයි එක පොතක මිල වැඩි වෙන්නෙ සීයට දශම එකකින්. ඒ වුනත් ඒක අසාධාරණයි නේද?

මෙතනදි වැරැද්ද කරල තියෙන්නෙ මුදලට ගිජු පොත් ප්‍රකාශකයා නෙවෙයිද? ඒත් අර කමිටුව කරන වැඩෙත් සාධාරණ නෑනෙ. එයාල තමන්ගෙ වියදම ඉල්ලගන්න ඕනැ එයාලට ජොබ් එක බාර දුන්න විදුහල්පතිවරුන්ගෙන් නේද?

කොහොම වුනත්, මේ හලාල් සහතිකයේ ප්‍රශ්නය නම් දුවන්නෙ වෙනත් පැත්තකින්. දැන් බලන්න මේ පහත ප්‍රකාශයන් දෙක.

බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා.

 තුණුරුවන්ට පූජා කළ යුත්තේ කවුරුත් අනුභව නොකළ දේවල්

හලාල් ලකුණ දෙනව කියන්නෙ පිළුණු කිරීමක් හෝ දෙවියන්ට කැප කිරීමක් නෙවෙයි. ඒත් අපි හිතමු මේ ආහාර අල්ලාහ්ට පූජා කරනව කියල. එතකොට කවුරු හරි කියනවනම් ඒ ආහාර අල්ලාහ් ට කැප කළා කියල ඒ කියන කෙනා අල්ලාහ් ඉන්නවයි කියල පිළිගන්න එකෙක්.

ප.ලි.
කරුණාකරල තේරුමක් තියන කමෙන්ට් විතරක් එවන්න.


2013-02-21

එම්බා අන්වර් මනතුංගය!



සර්වබලධාරී වූත් මැවුම් කාර වූත් දෙවියකු ගැන අදහන ඔබගේ ආගමික විශ්වාසය නොමැති වූයේ නම් මා විසින් බෙහෙවින් ගරු කරනු ලබන අයගේ ගොන්නට ඔබ ද සමහරවිට වැටෙන්නට ඉඩ තිබිනි. ඔබ විශ්වාස කරන නමුත් මා විශ්වාස නොකරන ඉස්ලාම් ධර්මය ගැන වාද කරන්නට මෙය අවස්ථාවක් නොවන්නා සේම එසේ වාද කිරීමෙන් පලක් වෙතැයි සිතීමට නොහැක්කේ ආගම් අතර වාදය අද ඊයේ ඇති වූ වාදයක් නොවන නිසාවෙනි. සීමිත වූ ආගමික දැනුමක් සහ බ්ලොග් ලිවීම සඳහා සීමිත වූ කාලයක් සහිතව මා එවැනි වාදයක නියැලීම හරසුන් ක්‍රියාවකි. හැරත්, පුද්ගලයකුගේ ආගම, දේශපාලන දර්ශනය ආදිය ගැන වාද කිරීමෙන්, එම වාදයට සවන් දෙන්නන් ඉතා කළාතුරකින් තමන්ගේ ඇදහිල්ල, විශ්වාසය හෝ ප්‍රතිපත්තිය වෙනස්  කළහොත් හැර වාදයෙහි යෙදෙන්නන් කිසි විටක තම පරාජය පිළි ගන්නේ නැත.

පුද්ගලයකුගේ ආගමක් යනු තමන්ගේ ආත්ම විමුක්තිය සඳහාත් යහපත් සමාජයක ජීවත් වීම සඳහාත් අනුගමනය කළ යුතු බව සිතන දර්ශනයයි. පුද්ගලයකුගේ දේශපාලන ප්‍රතිපත්තිය වන්නේ තමන්ගේ සමාජයට යහපතක් සිදු වන ආකාරයට තමා ජීවත් වන රාජ්‍යය ආණ්ඩු කිරීමේදී අනුගමනය කළ යුතු බව සිතන දර්ශනයයි. මෙනිසා, නොයෙක් අය ඒ කාර්යයන් සඳහා සුදුසු බව සිතන ආගමක් හෝ දේශපාලනික දර්ශනයක් අනුගමනය කරන බව පෙනේ.

මා මෙය දකින්නේ කොළඹ සිට ගාල්ලට යෑම සඳහා මුහුදුබඩ සම්ප්‍රදායික ගාලු පාර හෝ අධිවේගී මාර්ගය හෝ ඒ දෙකම අතහැර දුම්රිය මාර්ගය හෝ තෝරා ගැනීම හා සමානවයි. සියළු දෙනාගේ අරමුණ කොළඹ සිට ගාල්ලට යෑම වන අතර වඩා ඉක්මන්, වඩා ලාබදායී, වඩා පහසු යන තේමාවන් ඔස්සේ සුදුසු යැයි සිතන මාර්ගයක් මිනිස්සු තෝරාගනිති. අධිවේගී මාර්ගයේ යන පුද්ගලයා දුම්රියෙන් යන පුද්ගලයා සමග ගැටුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත.

එසේ තිබියදී, දේශපාලන ගැටුම් නමින් ගැටුම් වර්ගයක් හා ආගමික ගැටුම් නමින් ගැටුම් වර්ගයක් අපට ඉතිහාසයේදී හමු වේ. ඒවා ඇත්ත වශයෙන්ම ආධිපත්‍යය පිළිබඳ ගැටුම් විනා ආගමික ගැටුම් නොවන බව විමසිලිමත් වීමේදී පෙනී යනු ඇත. ආගම් භේදය (බේධය නොවේ, භේදයයි) යනුවෙන් හේදයක් ස්වභාවිකව ඇති වීමට කිසිදු හැකියාවක් නැත. ‍භේදයක් ඇති විය හැක්කේ පොදු දෙයක් බෙදාගැනිමට යාමේදීය. ගංගාවක ජලය බෙදාගැනිම සඳහා භේදයක් ඇති වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන බව සමහර විට ඔබ කියවා ඇතැයි සිතමි. පසුගිය කාලයේ එල් ටී ටී ඊ කණ්ඩායම සහ රජය අතර භේදයක් තිබුනේ මේ ‍රටේ සම්පත් බෙදාගැනීමටය. චූලෝදර හා මහෝදර යන දෙසොහොවුරන් ගැටුනේ මැණික් පුටුවක් බෙදාගැනීමටය. මේ ආකාරයට තැබෑරුම් පර්මිට් ලබාදීමේ අයිතිය බෙදාගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ගැටුම් ඇති වෙනවා ඔබ ද දැක ඇතැයි සිතමි.
මා ලියන්නට අදහස් කරන ප්‍රධාන කාරණය එය නොව, කොමිසමක් පත්කරනු ලැබ තිබියදී පවා දිනෙන් දින ආතතිය උත්සන්න වෙමින් පවතින, අප දෙදෙනාගේම දෑස් ඉදිරියේ ඇති තවත් ගැටුමක් වළක්වාගන්නේ කෙසේද යන්න ගැනය.

ගැටුමක් ඇති වූ පසුව අතිශය විනාශකාරී පියවරයන් අනුගමනය කරමින් එය මැඬපැවැත්වීමට වඩා එවැනි ගැටුමක් වළක්වාගැනීම වඩා උචිත නොවන්නේද?
මෙහිදී, එකී ආතතිය වඩ වඩාත් උත්සන්න වන්නට යෙදී ඇති කරුණු ගැන විමසා බැලුවහොත් යමකුහට පෙනී යන්නේ මෙසේය.

1.       1 දේශීය ආහාර නිෂ්පාදකයන් විසින් හලාල් සහතිකය ලබාගැනීම සඳහා විශාල පිරිවැයක් දරනු ලබන අතර එය අදාළ ආහාර ද්‍රව්‍යයේ විකුණුම් මිලට එකතු වී‍මෙන් ජමියතුල් උලමා නමැති ඉස්ලාම් ආගමික සංවිධානයට ඉස්ලාම් ආගමික කටයුතු වර්ධනය සඳහා ඉස්ලාම් නොවන අයගේ සාක්කුවෙන් විශාල මුදලක් ඇදී යාම පිළිබඳ විරෝධය.

2.     2 නෝලිමිට් (සහ තවත් තිබිය හැකිය) වැනි ව්‍යාපාරික ආයතන විසින් සිංහල ජනතාවගේ මුදල් ලබාගෙන ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය සඳහා කටයුතු කරන අතරම සිංහල ජාතිය වඳ කිරීමට කටයුතු කරතියි යන සැකය.

3.       3 ඉස්ලාම් ආගම ඇදහීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන පුනර්ජීවනය නිසා, එනම් වැඩි වැඩියෙන් පල්ලි (මස්ජීද්) සකස් කිරීම සහ ඒවා අලංකාර කිරීම, පැරණි බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, මුස්ලිම් කාන්තාවන් ආගමානුකූල ලෙස ඇඳුම් පැලඳීම යනාදිය නිසා ලංකාව තුළ ඉස්ලාම් ආගමික අන්තවාදයක් ක්‍රියාත්මක වෙතැයි ඇති වී තිබෙන සැකය.

මෙකී කාරණා සම්බන්ධයෙන් ඔබගේ බ්ලොග් අඩවියෙහි ඉදිරිපත් කර ඇති ඇතැම් තොරතුරු සහ එහි පල වී තිබෙන කමෙන්ට් වල ඇති තොරතුරු යම් යම් අවස්ථාවන්හිදී සිංහල ජනතාව තවදුරටත් කුපිත වීමට හේතු වනු ඇතැයි මම සිතමි. ඉස්ලාම් ආගමික සංස්ථාව තුළ ඔබ යම් තනතුරක් දරන්නේදැයි කියා මම නොදනිමි. කෙසේ වුවත්, ඔබ ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් ලබා ඇත්තකු බව මට හැඟී ඇත්තේ ඔබගේ බ්ලොග් අඩවියේ සඳහන් කරුණු වලින්මය.


දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඔබ එක් පසෙකිනුත්, බො බ සේ හෝ එවැනි තවත් කණ්ඩායම් අනිත් පසිනුත් සිට, , එකම කාසියක දෙපැත්ත දෙස බලමින් එකිනෙකා කෙළ ගන්නට පාර කපන බව පෙනී යන මට සිතුනේ ඔබගේ “ජමියතුල් උලමා සමග මාධ්‍යසාකච්ඡාවේ පළමුවැනි කොටස” යනුවෙන් ලියා ඇති පොස්ට් එකට "යුනිවර්සල් සිටිසන්" නමින් යොදා ඇති කමෙන්ට් එකේ කියැවෙන කතාව ‍සියයට සියයක්ම නිවැරදි බවය.

දැන් මම මේ ප්‍රස්තූතයන් තුන වෙන වෙනම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි.

හලාල් ලාංඡනය
හලාල් ලාංඡනය නිකුත් කිරීම සඳහා හලාල් කමිටුව විශාල මුදලක් අය කරන බව මා නොපැකිළවම කියමි. අති විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ආයතනයක එක් නිෂ්පාදනයක් සඳහා මේ අයකිරීමෙන් ලැබෙන දායකත්වය ඉතා සුළු නිසා පාරිභෝගිකයාට එය නොදැනෙන බව සැබෑය. පාරිභෝගිකයා හලාල් ලාංඡනය වෙනුවෙන් ගෙවන සත කීපයක මුදල එම ලාංඡනය ඉවත් කළා කියා අඩු නොවන අතර එය නිෂ්පාදකයා සිය සාක්කුවට ඔබාගනු ඇත. එහෙත්, නිෂ්පාදකයන්ට මෙම පිරිවැය එයින් ලැබෙන ලාභයට සාපේක්ෂව අඩු බව පැහැදිළිවම කිවහැකිය. හැරත්, හලාල් ලාංඡනය ලබාදීමට හලාල් කමිටුවට එතරම් මුදලක් වැය වන්නේ නැත. අයි එස් ඕ සහ එස් එල් එස් සහතික ලබා දීමේදී කරන තරමේ විමර්ශනයක් හලාල් සහතිකය ලබා දීමේදී සිදු නොකැරේ. නිෂ්පාදනයන්ගේ හෝ අමුද්‍රව්‍යයන්ගේ පිරිසිදුබව බලන්නේ දෘශ්‍යමය මට්ටමෙන් පමණක් වන අතර අහිතකර ද්‍රව්‍ය ඇතිදැයි කියා පරීක්ෂණයක් කර බලන්නේ නැත. එයට අමතරව නිෂ්පාදන තත්වයන් පිළිබඳව වුවද දැඩි පරීක්ෂාවක් සිදු කරන්නේ නැත. හලාල් කමිටුව මුදල් සූරාකන බව පැහැදිළිය. එම මුදල්, ඉස්ලාම් ආගමේ අභිවෘද්ධිය සඳහා නොව කමිටු සාමාජිකයන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගන්නේයැයි යන්න මගේ පෞද්ගලික විශ්වාසයයි. එම නිසා, හලාල් සහතිකය සඳහා මුදල් අයකිරීම නවතාදැමිය යුතු අතර මුස්ලිම් ජනතාවට එය අවශ්‍යනම් ඔවුන් වෙනුවෙන් එම සේවය ලබා දීම හලාල් කමිටුව සිය යුතුකමක් වශයෙන් සළකා නොමිලේ සිදු කළ යුතු බව මගේ නිගමනයයි.

හලාල් කමිටුවේ වැඩපිළිවෙල බූවල්ලකු මෙන් ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය ආක්‍රමණය කරන්නේ මෙසේය.
මගේ නිෂ්පාදනයට හලාල් සහතිකය අවශ්‍යනම් මා ලබාගන්නා ඇසුරුම් ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය සියල්ලටමත් හලාල් සහතික අවශ්‍යය. එවිට, මට අමු ද්‍රව්‍ය හා ඇසුරුම් ද්‍රව්‍ය සපයන ආයතන වලට අමු ද්‍රව්‍ය හා ඇසුරුම් ද්‍රව්‍ය සපයන ආයතන වලටද හලාල් සහතිකය ලබාගැනීමට සිදු වේ. මේ ආකාරයට ක්‍රමයෙන් පැතිරෙන ජාලයකින් ස්ථාවර ආදායමක් හලාල් කමිටුවට ලබාගැනීමට හැකිය.
හලාල් කමිටුවේ කූඨ වැඩපිළිවෙල ගැන වැඩි විස්තර ලියන්නට මම මහන්සි නොවෙමි. කරුණාකර මෙම ලිපිය බලන්න. 

මේ අනුව, හලාල් කමිටුව සිය සහෝදර මුස්ලිම් ජනතාවටද කරන්නේ ද්‍රෝහී කමකි. මේ රටේ අන්ත දුක් විඳින ඉස්ලාමිකයෝ අති විශාල ප්‍රමාණයක් සිටිති. ජමියතුල් උලමා ඔවුන් වෙනුවෙන් කර ඇත්තේ වැඩිම වුනොත් පල්ලියක් සාදා දීම පමණකි.

නෝ ලිමිට් වෙළඳ ව්‍යාපාරය
නෝ ලිමිට් යනු වෙළඳ ව්‍යාපාරයකි. සිය ව්‍යාපාරයේ වර්ධනය සඳහා ඔවුන් විසින් විවිධ උපක්‍රම යොදනු ඇත. එහෙත් ඉස්ලාමය සඳහා ඔවුන් කැප වී සිටීනම් ඒ වෙනුවෙන් පාරිභෝගිකයා වංචා නොකළ යුතුය.
ඔබ ඉස්ලාමය වෙනුවෙන් හා මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කථා කරන්නේනම් කරුණාකර නෝ ලිමිට් ගැන කථා කිරීමෙන් වළකින්න. මමද ඔවුන් ගැන කතා නොකරමි. එමෙන්ම, ෆැෂන් හවුස් ගැන ‍හෝ තිලකවර්ධන ගැන ද මා කතාකරන්නේ නැත.

ඉස්ලාම් ආගමික පුනර්ජීවනය
ඉස්ලාම් ආගමික පුනර්ජීවනයක් අප ඉදිරියේ අද දක්නට ඇත. මෙම ඊනියා පුනර්ජීවනට ඇත්තේ නාගරිකව පමණක් බව නම් පැහැදිළිය. ගමේ සිටින අසරණ තම්බියා අදත් එසේමය. මේ පුනර්ජීවනය අප දකින්නේ ඇඳුම් පැළඳුම් වලින් සහ පල්ලියෙන් පමණකි. ආගමික සංස්ථාව වනාහි ආධිපත්‍යය රැකගැනීම සඳහා ජනතාව මුලා කරන තවත් ආයතනයක්ම පමණකි.

ඉස්ලාම් ආගම කෙසේ වෙතත් ලංකාවේ බෞද්ධයෝද පුනර්ජීවනයක් ලබා ඇති බවක් පෙනෙන්නට ඇත. හැම හන්දියකම බුදු පිළිමයක් ඉදි වී ඇත. දැන් කඨින පිංකම වූකලී වෙසක් උත්සවයටත් වඩා ඉහළින් පවත්වන උත්සවයකි. ෆේස්බුක් හරහා සහ ඊමේල් හරහා අමුතුම බුද්ධාගමක් ව්‍යාප්ත වෙමින් පවතී. හැමදාම බුද්ධ රූපයක් ඊ මේල් මගින් ලැබේ. සමහර ඒවා ජී අයි එෆ් ‍‍ඇනිමේෂන් ලෙස සකස් කර තිබේ. ඒවා ෆෝවර්ඩ් කළ විට ඉක්මණින් නිවන් දකින්නට නොව, මෙලොවදීම සැපවත් වන්නට හැකිය. පන්සල්වල පිංකමකදී වාදනය වන්නේ ඉන්දියානු සී ඩී තැටියකි. එහි ඇත්තේ සංගීතයට අනුව ගායනා කරන “බුද්ධං සරණං ගච්ඡාමි” යන්න පමණකි.

අවශ්‍ය දේ
මේ වන විට බුද්ධාගම සහ ඉස්ලාම් ආගම යන දෙකම ඒවායේ සාරය අතින් පිරිහී ඇති බව ඔබද වටහාගත යුතුය.  වර්ධනය වී ඇත්තේ ආගමික සංස්ථාවන් ය.

ආගමික සහජීවනය ඇති කිරීමට තමන්ගේ ආගමික පුරාජේරුව අත් හළ යුතුය. කිසිවකුගේ විශ්වාසයක් බිඳ දැමීම බ්ලොග් ලිපියකින් කිරීමට හැකි වෙතැයි මම නොසිතමි. තමන් නිදා සිටින ඇඳ යට සර්පයකු සිටිතැයි කවරකු හෝ විශ්වාස කරන්නට පටන් ගතහොත් ඒ තැනැත්තා ඇ‍ඳෙන් බිමට නොබසිනු ඇත. එය‍ට කළ හැකි දෙයක් නොමැත.

එම නිසා, ආගම් සහ ආගමික නායකයන් විවේචනය කිරීමෙන් වළකින්න. ආගමික විශ්වාසයන් විවේචනය නොකරන්න. සුප්‍රසිද්ධ පානදුරා වාදයෙන් පසුව කිසිදු බෞද්ධයෙක් කිතු දහම වැළඳගත්තේ නැති අතර කිසිදු කිතුනුවකු බුද්ධාගම වැළඳගත්තේ ද නැත.


පසුව ලියමි.
සංවාදයකට තුඩු නොදෙන, තේරුමක් නැති කමෙන්ට් මකා දමමි. කලවැද්දා, බූරුවා, හම්බයා, කෙප්පසාර, කඩේ යනවා. තොගෙ අම්මා වැනි යෙදුම් සහිතව ඇති කමෙන්ට් වලින් මෙම ලිපියට පක්ෂව හෝ විපක්ෂව කිසිවක් නොඇඟවෙන්නේනම් පළ නොකරමි.