Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

2015-02-18

සිංහලේ

බලංගොඩ සාරික විචාරනී ලියන සිතුන නිසා බ්ලොගයේ තිබුනු “ලියන බසේ පෙරළිය“ කියෙව්වට පස්සෙ කාලෙක ඉඳන් වගේ හිතේ සටහන් වෙලා තිබුනු දේවල් කීපයකුත් නැවත ඔළුවට ආව නිසා මට මේ ටික ලියන්න හිතුනෙ. සිංහලේ නැත්නම් සිංහල භාෂාව ගැන හිටපු ගමන් අපේ බ්ලොග් වලත් පත්තර වලත් එක එක ලිපි පළවෙනව. සමහර අයගෙ මතය තමයි “කතා කරන බාසාවෙන්ම ලිව්වනං ඉවරයිනෙ“ කියන එක. “ව්‍යාකරණ ඕනැත් නෑ “නණ-ලළ“ කතාවක් ඕනැත් නෑ. කියවනකොට තේරුම් ගන්න පුළුවන්නම් එච්චරයිනෙ“ කියල කියන එක.

මේ කතාව ඇත්තක්ද? ව්‍යාකරණ කියන්නෙ බොරුවට, එහෙම නැත්නම් තමන් දැනුමැත්තෙක් - පඬියෙක් කියල පෙන්නන්න හදාගත්ත දෙයක්ද?

මෙතනදි ඔක්කොටම ඉස්සෙල්ල කාරණා කීපයක් ගැන මං සඳහන් කරන්නම්.

එක කාරණාවක් මෙහෙමයි. ලෝකෙ හැම දියුණු භාෂාවකම ව්‍යාකරණ රීති තියනව. මං මෙතනදි දියුණු භාෂා කියල කිව්වෙ වැදි භාෂාව හෝ ඒ වගේ ගෝත්‍රික භාෂා දියුණු භාෂා නොවේය කියන පදනම උඩ. ඒ වගේ සමහර භාෂාවන් පාවිච්චි කරන්නෙ එදිනෙදා කතාබහට විතරක්මයි. සාහිත්‍යයක් ගොඩනැගිල නැහැ. පොත් පත් ලියවිලා නැහැ.

අනිත් කාරණාව දැන් කියන්නම්. ඒ තමයි, නණ- ලළ සහ අක්ෂර වින්‍යාස පිළිබඳ ගැටළුව. මේක කොයි භාෂාවෙද නැත්තෙ. කට හම යනකන් “ඉස්පෙලිං“ පාඩම් කරන අපි සිංහල පාවිච්චි කරද්දි නණ-ලළ  බේදයක් ඕනැ නෑ කියනව. කවුරුවත් කියන්නෙ නෑ ‘එස් අකුරයි සී අකුරයි දෙකක් නැතුව ස් කියන සද්දෙ එන්න එක අකුරක් දාගත්තනං හරි නේද‘ කියල. අක්ෂර වින්‍යාසය ගැන සළකද්දි ඔය ඉංගිරිසි වගේ යුරෝපීය භාෂා බොහොම බරපතළයි. වචනයක් ලියන්නෙ කොහොමද කියල ඉගෙනගන්නම වෙනව. අපේ භාෂාවල නම් හැම අකුරක්ම නිශ්චිත ශබ්දයකට සම්බන්ධයි. මාලුවා කියන වචනය සිංහල අකුරු දන්න ඕනැම කෙනෙක් ශබ්ද නගන්නෙ එකම විදිහකට. ඒ වුනාට ඉංග්‍රිසි වචන එහෙම නෑ. උදාහරණයක් බලන්න. සමහර අය ඩිමෙන්ෂන් කියන එකට තවත් සමහර අය කියන්නෙ ඩයිමෙන්ෂන් කියල.

දැන් කවුරුහරි අහන්න පුළුවන් “එහෙනම් න කියන එකටයි ණ කියන එකටයි දෙකටම තියෙන්නෙ එකම ශබ්දය නේද?“ කියල. අන්න එතන තමයි ගොඩක් අයට වැරදිලා තියන තැන. ඒ අකුරු දෙකට සම්බන්ධ වෙලා තියන ශබ්ද දෙකේ තියන කුඩා වෙනස නොසළකා හැරල, දැන් කියනව ඒ දෙකම එකයි නේද කියල. ඒක අපි ගත්තොත් රතුළූනු වලයි බොම්බයි ළූනු වලයි තියෙන්නෙ එකම රහ නිසා ඒ දෙකම එකයි කියල කියනව වගේ වැඩක්. ඒත් සූපවේදිනියෝ සහ සූපවේදියෝ දන්නව රතුළූනු වෙනුවට හැම වෙලාවෙම බොම්බයි ළූනු දාන්න බැරි වෙන බව. ඒ දෙකේ රසයන් අතර සුළු වෙනස්කමක් තියනව.

මේ සුළු නොසළකාහැරීම කරන්නෙ අපි සිංහලයො විතරක්ද මන්ද. දැන් බලන්න දෙමළ භාෂාවෙන් උදාහරණයක්. வண்டலூர் වණ්ඩලූර් - මූර්ධජ ‘ණ‘ යන්න. ඕකට දන්තජ න ලියන්නෙ නෑ කවදාවත්. අපි එහෙම නෑ. කන්නාඩිය කියනව කණ්ණාඩිය කියනව පතුල කියනව පතුළ කියනව ඔලුව කියනව ඔළුව කියනව කිසිම ප්‍රතිපත්තියක් නෑ. දෙමළ විතරක් නෙවෙයි තව පෙරදිග භාෂා ගණනාවකම මේ නණ-ලළ අකුරු ඒ විදිහට වෙන් වෙන් ව පාවිච්චි කරනව. දෙමළ හෝඩියේ න වගේ අකුරු තුනක්ම තියනව.

ඔය නණ-ලළ කතාව විතරක් නෙවෙයි අපි කරන වැරැද්ද.  බොහොම අමාරුවෙන් සම්ප්‍රධාය වගේ වචන වලට අනවශ්‍ය මහාප්‍රාණ දාල කතා කරන්නෙ. හාමුදුරුවරු කී දෙනෙක් නමක් ගාථා වරද්දනවද? පන්සිල් දෙන්නෙ “බුද්දං සරණං ගච්චාමී“ කියල. ඒ වුනාට “සබ්භං“ කියල අනවශ්‍ය තැන්වලට මහාප්‍රාණ යොදනව. අන්තිමට “සබ්බේ ලබං“ තමයි ඉතින්.

ඊ ළඟට බලන්න ව්‍යාකරණ. මේකනම් ඕනැම නෑ කියලනෙ සමහර අයගෙ තර්කය. ව්‍යාකරණ කියන්නෙ සම්මතයක්. සම්මතයක් අවශ්‍ය තැන් වලදි සම්මතයක් නැතුව කරන එක අවුලකට මුලක්. අහල තියනවද අම්බලමෙ කතාව. ඔන්න මිනිස්සු දෙන්නෙක් ගමනක් යද්දි රෑ වුනාලු. ඉතින් දෙන්න එක්ක අම්බලමක නිදාගත්තලු. රෑ එක්කෙනෙකුට අවශ්‍ය වුනා එළි පහලියට යන්න. පොඩි චූ බරක් කියල හිතමුකො. ඉතින් මෑන් නැගිටල කරුවලේම එළියට යනකොට අනිත් එකාගෙ ඔලුවෙ හැපුනලු කකුල. ඉතින් සොරි කියල ගියයි කියමුකො. දැන් නිදාගෙන හිටපු මෑන් කල්පනා කරාලු අර යකා ආපහු එද්දිත් මගෙ ඔලුවට පයින් ගහයි කියල මිනිහ ඔලුව අනිත් පැත්තට දාල නිදාගත්තලු. දැන් අර චූ කරන්න ගිය එකා ආපහු එද්දි කල්පනා කරාලු මං ආපහු යද්දිත් අර අහිංසකයගෙ ඔලුවෙ කකුල හැපෙයි කියල. ඉතින් මෑන් අනිත් පැත්තෙන් ගියාලු. අන්තිමට උනේ ආපහු යනකොටත් කකුල ඔලුවෙම හැපෙන එක.

ඉතින් ඒක නිසා තමයි මිනිස්සු සම්මතයන් ඇති කරගන තියෙන්නෙ. ව්‍යාකරණ කියන්නෙත් ඒ වගේම දෙයක්. ව්‍යාකරණ නැතුව ලියපුවහම වෙන්නෙ ඒක කියවන එක්කෙනා තමන්ට කැමති විදිහකට තේරුම් ගැනීම. දැන් මේ කතා කරද්දිනම් අපි මූණට මූණ පේන නිසා කියන අදහස මූණෙ ඉරියව් වලින්, හඬ අඩු වැඩි කරන එකෙන් තේරුම් ගන්න පුළුවන්. තේරුණේ නැතිනම් අහන්න හරි පුළුවන්. ඒත් ලියුමක් ලියද්දි තත්වෙ වෙනස්. කියවන කෙනා දුරස්ථයි. එයා ඉන්නෙ යම පූර්ව නිගමනයක වෙන්න පුළුවනි. කියවනකොට ඒ කියවන දේ තේරුම් යන්නෙ අර පූර්ව නිගමනයට අනුවයි.

එතකොට බලන්නකො මේ වාක්‍යය තේරුම් ගන්න පුළුවන්ද කියල. ඒත් බෙදන ක්‍රමයේ හානියෙන් හැමදාම දුක් විඳින්නේ වාමාංශිකයන් විසින් උදව් කරන්නට දන්නවා කියූ ජනතාව විසින්මයි. අපි බ්ලොග් ලියනකොට ව්‍යාකරණ ගැන සළකන්නෙ නෑ. කතා කරන බාසාවනෙ පාවිච්චි කරන්නෙ. ඒකට ප්‍රශ්නයක් නැත්තෙ කමෙන්ට් කරන්න පුළුවන්කම තියන නිසා. ඒ වුනත්, සමහර වෙලාවට අපට කියන්න ඕනැ දේ කියවෙනවද කියන ප්‍රශ්නය මතුවෙනව.

විශේෂයෙන් නීතිමය ලියවිලි වලදි ව්‍යාකරණ යෙදීම ඉතාම වැදගත් වෙන්නෙ මේ නිසයි.

ඊ ළඟට මට කියන්න ඕනැ කරන කාරණාවක් වුනේ සිංහල සහ ඉංගිරිසි අතර සමහර අය කරන සන්සන්දනයන් ගැන. මේ ගැනත් වෙන වෙලාවක කතා කරමු.

2012-05-02

රාවණාගේ කතා තවත් නොකියමි?

මේ බ්ලොග් එකේ පෝස්ට් කීපයක් මං පළ කලා රාවණා ගැනත් සිංහලයාගේ ආරම්භය ගැනත් විවිධ අදහස් එකතු කරලා. ඒකෙන් මං අදහස් කළේ සිංහල ජාතියේ ආරම්භය ගැන පවතින ප්‍රධාන මතවාද දෙකක් ගැන විමසා බලන්නටයි. ඒ පෝස්ට් වලට විවිධ කමෙන්ට්ස් දාල තිබුනා. ඒ කමෙන්ට්ස් ඔස්සේ ගිහින් තව තව දේවල් කියවලා බලන්නටත් අවස්ථාවක් ලැබුනා. ඒ වගේ සංවාදයකට එළැඹෙන්න ලැබුන එකත් ලොකු සතුටක්.
අපේ රටේ සමහරු විශ්වාස කරනවා සිංහල ජාතියේ ආරම්භය විජයාගමනය නිසා ඇති වූ බව. එතනදිත් සුළු වෙනස්කම් සහිතව තමයි ඒ ගැන අදහස් ඉදිරිපත් වෙන්නෙ. මූලික වශයෙන්ම විජයගේ පියා ගැනත් සීයා ගැනත් ඒකමතික වූ නිගමනයක් නැහැ. සුප්පා දේවිය සමග වනයේ ජීවත් වුනේ සිංහ වංශයේ මනුස්සයෙක් හෝ සිංහ ගති සහිත මනුස්සයෙක් බවත්, ඔහුගේ පුතා සිංහබාහු බවත් පොදුවේ පිළිගැනෙන මතයක්.
කොහොම වුනත් සිංහබාහුගේ පුතෙක් වූ විජය කුමාරයා හත්සියයක පිරිවරක් සමග ලංකාවට පාවෙලා ආපු බව වංශ කතාවන්ගෙන් කියවෙනවා. මේ හත්සීයම පිරිමියො කියලයි විශ්වාස කරන්නෙ. ඉතින් පිරිමින්ගෙන විතරක් පරම්පරාවක් හැදෙන්න බැහැනෙ. ස්වදේශික ස්ත්‍රීන් විවාහ කරගෙන මේ හත්සීයක් වූ පිරිස විසින් පරම්පරාවක් බිහි කළ බවයි පිළිගැනෙන්නෙ. එතකොට මේ හත්සීයම සිංහ වංශයෙද?
ලංකාවේ ඒ වෙනකොට හිටියේ සූර්ය වංශිකයො කියල අදහසක් තියෙනව. සූර්ය වංශික ස්ත්‍රීන් සිංහ වංශික පුරුෂයන් සමග විවාහ වුනා කියල හිතුවොත්,  ඒ අයගෙන් බිහිවුනු පරම්පරාව අළුත්ම වංශයක ආරම්භය කියල හිතන්න පුළුවනි. මේ අළුත් වංශය සිංහල වංශය වෙන්න ඇති නේද?
සිංහල ජාතිය ඇති වුනේ “සිවු“ සහ “හෙළය“ කියන වචන දෙකේ එකතුවකින් කියල අදහසක් ඉදිරිපත් වෙලා තිබුනා. මෙතනදි ගැටළුව තමයි, මොකක්ද මේ සිවු හෙළය කියන්නෙ කියන එක. වචනයක් හැදෙන විදිහටමද ජාතියක් හැදෙන්නෙ.
විජය කුමාරයා පිළිබඳ ප්‍රවාදයට පටහැණි අදහසක් තමයි, මේ දිවයිනේ අනාදිමත් කාලයක පටන් සිංහලයා ජීවත් වුනාය කියන එක. ඒ මතවාදය අනුව තමයි රාවණා රජ්ජුරුවො සිංහල ජාතියේ ආදි නායකයෙක්ය කියන අදහස. මේ රාවණා සංකල්පය ලංකාව තුළ වගේම ඉන්දියාව, මියන්මාරය (කලින් බුරුමය), තායිලන්තය (කලින් සියම් දේශය) වගේ රටවලත් පැතිරුණු එකක්. ඒ රටවල පැතිරිලා තියෙන එකිනෙකට මඳ වශයෙන් වෙනස් වූ ප්‍රවාදයන් අනුව අපට පිළිගන්න පුළුවනි රාවණා නමින් රජ කෙනෙක් ලංකාපුරය කියන  ප්‍රදේශයේ හිටියයි කියන එක. ඒ වුනත්, රාවණා රජතුමා සිංහලයෙක් කියල හිතන්න පුළුවන් සාක්ෂියක් තමයි නැත්තෙ.

මට මේ කතා ඇහෙනකොට මතක් වෙන සිද්ධියක් තියනව. ඉස්සර, ඒ කිව්වෙ දැනට අවුරුදු තිහකට හතළිහකට ඉස්සර, චන්දෙ කාලෙට අපේ ගෙදරට යන එන මිනිස්සු ඉතින් දේශපාලනේ ගැනමනෙ කතාව. ඒ කතා කිසිම න්‍යායාත්මක බවක් නැති නිකං ඕපාදූප විතරයි ගොඩක් වෙලාවට. ඒ අතරෙදි, අපේ තාත්තලගෙ තිබුනු දේශපාලන පක්ෂපාතිත්වයට ගැලපෙන අය ආපු වෙලාවට පළාතෙ එක එක පුද්ගලයන් ගැන කියවෙනව. අහවලා යූ ඇම් පී. අහවලා සම සමාජ. අහවල් කට්ටිය ශ්‍රී ලංකා. ඔය ආදී වශයෙන්. ඒ කාලේ ජේවීපී කියන්නෙ ප්‍රසිද්ධ දේශපාලනය තුළ මුල් බැහැගත්තු පක්ෂයක් නෙවෙයි. මං ඒ වෙනකොට පොඩි එකා, චන්දෙ දාන්න වයස මදි. හැබැයි ඉතින් යමක් කමක් තේරෙන වයසෙ. ඉතින්, එක දවසක් මනුස්සයෙක් ඇහුව අපේ තාත්තගෙන් “අහවල් දොස්තර මහත්තයා මොකේද කියල දන්නවද?“ කියල. එයා සඳහන් කළේ පළාතෙ පිළිගත් වෛද්‍යවරයෙක් ගැන. තාත්ත ඒ ගැන දන්නෙ නැති බවයි පෙන්නුවෙ. ඒ පාර අර මනුස්සය කියපි, එයා අපේ එකේ තමයි කියල. මේ වගේ කතා වලදි පොඩි මානසික තෘප්තියක් ලැබෙනව. පිළිගත් පුද්ගලයෙක් අපි ඡන්දෙ දාන පක්ෂෙටම ඡන්දෙ දානවනෙ කියල හිතෙනව.
රාවණා රජ්ජුරුවො සිංහලයෙක් කියපුවහමත් දැනෙන්නෙ ඒ වගේ සතුටක් නේද?
මේව ගැන කතා කරන්න ගිහින් තමයි මානව සංහතියේ ආරම්භය හා පරිණාමය ගැන පසුගිය ලිපි වලින් සාකච්ඡා කරන්න මං උත්සාහ කළේ. දැන් නේෂන් කියල හඳුන්වන්නෙ එකම භාෂාවක් කතා කරන, එකම සංස්කෘතියක් (දළ වශයෙන් වෙනස්කම් තියෙන්න පුළුවනි) අනුව කටයුතු කරන, ජන කොට්ඨාශයක් ද, එහෙම නැත්නම්, ඒකීය වූ පරිපාලනයක් යටතේ ජීවත් වන ජන සමූහයක්ද?
මිනිසා තමන්ගේ පැවැත්ම සහ වර්ධනය සඳහා ජාතියක් වශයෙන් වෙන් වෙන්න හදනව නේද? දැන් බලන්න පවුලක් ඇතුළත දේපොල බෙදාගැනීමේදී තමන්ගෙ අයිතිය වෙනුවෙන් මිනිසා තනිව කටයුතු කරනව නේද? එතකොට පවුල් දෙකක් අතරෙදි ඇතිවන හබයකදි, පවුල වෙනුවෙන් තමයි සටන් කරන්නෙ. ගම් දෙකක් අතර ආරවුලක් ඇති වුනොත්, ගම වෙනුවෙන් කටයුතු කරන්න පෙළඹෙන්නෙත් ඒ මිනිසාමයි. මේ ආකාරයට තමයි ජාතිය ගැන හැඟීම ඇති වෙලා තියෙන්නෙත් කියන එකයි මං විශ්වාස කරන්නෙ. සිහි බුද්ධිය තියන කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් අමතක කරල දාලා ජාතිය වෙනුවෙන් කටයුතු කරනවද? සමහරවිට තාවකාලිකව පෞද්ගලිකත්වය අමතක කරල දමාවි අනාගතයේ ඇති වන යහපතක් වෙනුවෙන්නම්.
මිනිහා අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට ගෞරව කරන්න ඕනෑ. ඒ විදිහටම පුළුල්ව කටයුතු කරද්දි ජාතීන් වශයෙන් අන්‍යොන්‍ය ගෞරවයක් තියෙන්න ඕනෑ. එහෙම වුනාම තමයි ලෝකයට සාමයක් ඇති වෙලා ලෝකය දියුණු වෙන්නෙ. ඉදිරියට යන්නෙ.
මගේ විශ්වාසයනම්, තමන්ගෙ ජාතිය ගැන මහා ලොකුවට කෑ මොර ගසමින් අනෙක් ජාතීන් විනාශ කරන්න ඕනැ කියල බෙරිහන් දෙන්නෙ කුහක ආත්මාර්ථකාමීන් කියන එකයි.
තවත් කාරණාවක් තියනව කියන්න.
මේ බ්ලොග් එකේ තිබුනු පෝස්ට් වලින් රාවණා රජ්ජුරුවො ගැන කියවුනු ඒවට වැඩ්යෙන් හිට්ස් ලැබිල තිබුනා. හැබැයි වැඩියෙන්ම හිට්ස් තිබුනෙ, "හිටගෙන චූ කරන්න එපා" කියන පෝස්ට් එකටයි.

ජාතියක් කියන්නෙ මොකක්ද? දැනට ජාතියක් කියන වචනය වෙනුවට ඉංගිරිසියෙන් යොදාගැනෙන්නෙ නේෂන් කියන වචනය. ඒ වුනත්, ඒ පරිවර්තනය එච්චර සාර්ථක නැහැයි කියලයි මගේ පිළිගැනීම. ජාතිය කියන්නෙ උත්පත්තිය හා සම්බන්ධ එකක්. එතකොට පුද්ගලයෙකුගෙ ජාතිය කියන්නෙ ඒ පුද්ගලයා උත්පත්තියෙන් නෑ කම් දක්වන්නෙ කුමන ජන කොට්ඨාශයකටද කියන එකයි. එහෙම වුනාම, “ශ්‍රී ලාංකීය ජාතිය“ වගේ සංකල්ප අර්ථ ශුන්‍ය වෙනව.

2012-03-03

රාවණා රජතුමා ගැන කතා බහ වෙන අතකට !

අපි දැන් ටිකකට රාවණා රජ්ජුරුවො ගැන කතා කරන එක පැත්තකින් තියල අපේ සිංහල සංස්කෘතිය ගැන හිතල බලමු. අනිත් හැම ජනකොටසකගෙ වගේම අපේත් සංස්කෘතිය හැදිල තියෙන්නෙ අපේ රටට ගැලපෙන විදිහටයි. මේක මේ කලා‍ප‍යේ වෙනත් රටවල සංස්කෘතියටත් අඩු වැඩි වශයෙන් සමානකම් දක්වනවා. එයට අමතරව, ආගම් වලින් සහ භාෂා වලින් සංස්කෘතිය කෙරෙහි ඇති වූ බලපෑම් තිබෙනව.
පසුගිය ලිපිය සහ එයට පෙර ලිපිය ඔබ දකින්නට ඇතැයි සිතනවා.
සිංහල භාෂාව බොහෝ දුරට සංස්කෘත සහ පාලි භාෂාවන්ට සමානකම් දක්වන අතරම එම භාෂාවන්ගෙන් ව්‍යුත්පන්න වුනු භාෂාවක් හැටියට සළකන්න පුළුවනි. සමානකම් දක්වන්නේ වචන වල රූපාකාරයන්ගෙන් සහ ව්‍යාකරණ යෙදෙන පිළිවෙල, වරනැගීම ආදී දේ ගැන සළකන විටයි.
ලෝකයේ තිබෙන භාෂාවන් ගැන සැළකීමේදී ප්‍රධාන වෙනස්කම් සහිත භාෂා පවුල් අපට හඳුනගන්න පුළුවනි. අපට වඩා හුරු බටහිර භාෂාව වන ඉංගිරිසිය ගැන හිතල බලමු. ඒ භාෂාවේ අපේ භාෂාවන්ට වඩා ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් වෙනස් කම් දෙකක් තමයි, වාක්‍යයක් හැදෙන රටාව සහ අකුරු යොදා ගන්නා ආකාරය.
ඉංගිරිසි, ප්‍රංශ, පෘතුගීසි, ජර්මන් ආදී භාෂාවන්  පාවිච්චි කරන්නෙ රෝමානු අකුරු වර්ග. ඒ වගේම, වාක්‍යයක් ලියද්දි කතෘ, ක්‍රියාව සහ කර්මය කියන පිළිවෙල තමා යොදා ගන්නෙ. ක්‍රියා විශේෂණය පවා යෙදෙන්නෙ ක්‍රියාවට පස්සෙ.
උදාහරණයක් හැටියට
මම ඉක්මණින් ගෙදර යනවා.
අයි ගෝ හෝම් ක්වික්ලි.
(මම යනව ගෙදර ඉක්මණින්.)
එතකොට අරාබි භාෂාවන්.
ඒ අය පාවිච්චි කරන්නෙ වෙනත් අකුරු වර්ගයක්. ලියන්නෙ දකුණෙ සිට වමට. වාක්‍ය හැදෙන පිළිවෙල ඉංගිරිසියෙ වගේ බොහෝ දුර‍ට. (ගූගල් ට්‍රාන්ස්ලේටර්  එකේ උදවුව ගත්ත චෙක් කරන්න)
තව තියනව, චීන සහ ජපන් වගේ භාෂාවන්.
ඒව ලියන්නෙ අකුරු වලින් නෙවෙයි සංකේත වලින්. වෙන් වෙන් වශයෙන් අකුරු ගලපගන්න අමාරුයි. හැබැයි වාක්‍ය ගැලපෙන්නෙ අපේ වගේම තමයි.
දැන් බලමු අපි සිංහල, දෙමළ, හින්දි වගේ භාෂාවන්.
මේ භාෂා සියල්ලෙම අකුරු වෙන වෙනම තියෙනව එක් එක් ශබ්දය සඳහා. ඒ කියන්නෙ අකුරෙන් කියවෙන ශබ්දය ගත්තොත් අකුරු දන්න ඕනැ කෙනෙක් ඔය අකුර දිහා බලල ප කියන ශබ්දය පිට කරනව. පය කියන වචනය කවුරුවත් වෙන විදිහකට කියවන්නෙ නෑ, පය ම තමයි.
අනිත් සමානත්වය තමයි, වාක්‍ය හැදෙන පිළිවෙල. මම නගරයට යමි. මේ භාෂා හැම එකකම වාක්‍ය හැදෙන්නෙ එහෙම්ම තමයි.
අපට පේන දේ
මේ කාරණ වලින් අපට පේන දේ තමයි, ලෝකෙ පුරාම මිනිස්සු ව්‍යාප්ත වුනාට පස්සෙ, භාෂාවන් හදාගන්න කාලෙ වෙනකොට, එක් එක් කලාපයන්වලට අනන්‍ය වූ ආකාරයකට තමයි භාෂාවන් සහ අකුරු හැදිල තියෙන්නෙ කියන එක. එතකොට, බටහිර එක් ආකාරයකටත්, මැද පෙරදිග තවත් ආකාරයකටත්, ඉන්දු උප මහාද්වීපීය කලාපයේ තවත් ආකාරයකටත්, චීනය පැත්තට වෙන්න තවත් ආකාරයකටත් භාෂාව වැඩිල තිබෙනවා.
දැන් අපි බලමු ඉන්දියානු කලාපයේ භාෂාවන් පැතිරිලා තියෙන්නෙ කොහොමද කියල.
ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් කුලක දෙකක් හඳුනාගන්න පුළුවන් භාෂා පවුල් වශයෙන්. උතුරු කොටස සහ දකුණු කොටස වශයෙන්. මේ දෙක අතර ලොකු වෙනස්කම් තිබෙනවා. උතුරු ඉන්දියානු භාෂාවන් ලියන්නෙ දේවනාගරී අක්ෂර හෝ එයින් බිඳී ගිය අක්ෂර භාවිතා කරමින්. දකුණු ඉන්දියානු භාෂාවන් ලියන්නෙ ද්‍රවිඩ භාෂා කුලකයේ අක්ෂර ආශ්‍රයෙන්.
මේ දේවනාගරී අක්ෂර සහ සිංහල අකුරු අතර තියෙන සමානකම් මේවායි.
අ ආ වගේ ස්වර තියෙනවා. ක ඛ ග ඝ යනාදී වශයෙන් මහාප්‍රාණ සහිත ව්‍යංජනාක්ෂර තියෙනවා. න ණ ල ළ භේදය තියෙනවා. ස්වර අනුව ව්‍යාංජනාක්ෂර යෙදීමට කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල, ඉස්පිල්ල ආදී දේවල් තියෙනවා. හැබැයි ඔවුන් හල් කිරීම පාවිච්චි කරන්නෙ අඩුවෙන්. ඒ වෙනුවට සාමාන්‍යයෙන් බැඳි අකුරු තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ.
වෙනස්කම් මොනවද? ප්‍රධාන වෙනස්කම, ඇදය. සිංහල භාෂාවේ විතරයි “ඇදය” තියෙන්නෙ. ඒකනෙ කුමාරතුංගයන් කට ඇද භාෂාව කියල සමහරු කියපු ක්‍රමේකට ලිව්වෙ. (ඒ ඇදයෙන් ගන්න පුළුවන් තේරුම වචන දෙක තුනක් නැතුව ගන්න බෑ.) අනිත් එක තමයි සඤ්ඤක අකුරු නැති එක.

දැන් බලන්න උඩ සටහන. හින්දි සහ රාජස්ථානි එකම අකුරු පාවිච්චි කරන්නෙ. ඒ අකුරු වලට කියන්නෙ “දේවනාගරී” කියලයි. ගුජරාති අකුරු හැදිල තියෙන්නෙ බොහෝ දුරට සමානව. අර හින්දි දේවනාගරී අකුරු වල උඩින් තියෙන හරස් ඉර නැති වුනාම ගුජරාති වෙනව වගේ ගතියක් තියෙනව. බෙංගාලි අකුරුත් සෑහෙන දුරට දේවනාගරී අකුරු වගේමයි.
දෙමළ, මලයාලම්, කන්නඩ හා තෙළිඟු භාෂාවන් ගැනෙන්නෙ දකුණු ඉන්දියානු භාෂාවන් වශයෙන්. මේ පහළින් තියෙන රූප සටහන බලන්න. 

දෙමළ අකුරු සහ සිංහල අකුරු අතර සමානකම් බැලුවොත්, ස්වර වශයෙන් අ ආ ඉ ඊ උ ඌ යනාදිය තිබීම, ව්‍යංජන වලට පාපිලි ඉස්පිලි යොදා ස්වර අනුව යොදනවා. න ණ ල ළ භේදය ගොඩක් සැරට තියෙනවා.
වෙනස්කම් මේවායි. කොම්බු දෙකක් තියෙනවා කෙටි සහ දිග වශයෙන්. අපි කොම්බුව දික් කරගන්නෙ අකුරට හල් කිරීමක් යොදලනෙ. (තෙ කියන එක තේ කරන්න ත යන්නට හල් කිරීමක් දානවනෙ.) දෙමළ අකුරු වල ඒකට වෙනම කොම්බුවක් තියෙනව. අනිත් එක අපි වෛ කියල ලියන ඩබල් කොම්බුව වෙනුවටත් වෙනම තනි සංකේතයක් තියෙනව. උඩ රූපයෙ මලෛයාලම් කියල ලියල තියෙන හැටි බලන්න. ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් එකේ මලයාලම් කියල ගහපුවහම ආවෙ මලෛයාලම් කියල. දෙමළ භාෂාවෙ එහෙම ‍කේස් එකක් තියනව. රත්නපුර කියල කියන්න බෑ ඉරත්නපුරෛ වෙනව.දෙමළ භාෂාවෙත් “ඇදය” සහ සඤ්ඤක අකුරු දකින්නට බැහැ.
මලයාලම් භාෂාවෙ ය යන්න සහ ඇලපිල්ල අපේ වගේමයි නේද? කන්නඩ සහ තෙළිඟු අකුරුනම් ටිකක් හොල්මන්.

දැන් මේ විස්තර අනුව, සිංහල ජාතිය කෙසේ වුවත්, සිංහල භාෂාවේ අකුරු සහ උතුරු ඉන්දියාවේ අකුරු අතර සම්බන්ධතාව සිංහල භාෂාවේ අකුරු සහ දකුණු ඉන්දියාවේ අකුරු අතර සම්බන්ධය‍ට වඩා වැඩියි.
වචන හැදිල තිබෙන ආකාරය අනුවත් සිංහල දෙමළ සමානත්වයට වඩා සිංහල හින්දි සමානත්වය වැඩියි කියන්න පුළුවනි. ඒත් විභක්ති වරනැගීම වගේ දේවල් සිංහල භාෂාවෙදි ගොඩක් සරළයි.
ඒ අනුව නම් සිංහලයා ඉන්දු ආර්ය සම්භවයෙන් පැවතෙනව කියල කියන්න පුළුවන් වගේ.
(මතු සම්බන්ධයි)





2012-02-20

ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ ප්‍රශ්නාර්ථය කුමක්ද?

ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ ප්‍රශ්නාර්ථය කුමක්ද?
මේ පෝස්ට් එක ලියන්නෙ ලෝක සම්මතයට එරෙහි වෙනව කියල හෙළුවැල්ලෙන් යන්න හදන, පයින් යනකොට මහ පාරෙ වම්පැත්තෙන් යන්න හදන, හන්දි වල තියෙන ට්‍රැෆික් ලයිට් වල රතු පාට පත්තු වෙලා තියෙද්දි කඩා ගෙන යන්න හිතන, කහ ඉරක් ඇඳල තියෙද්දි වෙනත් තැන්වලින් පාර හරහ පනින්න හදන, විකාර මනසක් සහිත අයටවත්, ඊට පොඩ්ඩක් විතර අඩු මට්ටමේ ලෙඩක් කියල හිතන්න පුළුවන් ආබාධයක් වන සම්මතයට එරෙහිව ලිවීම කියන රෝග තත්වයෙන් පීඩා විඳින අයටවත් කියවන්න එහෙම නෙවෙයි කියල මුලින්ම කියන්න වෙනවා.
ලියනවා කියල කියන්නෙ සන්නිවේදන ක්‍රමයක්. ඒ කියන්නෙ තමන්ගෙ අදහස තවත් කෙනකුට සීයට සීයක් හරියටම දැනුම් දීමට යොදාගන්නා උපක්‍රමයක්. මානව සංහතිය ආරම්භයේ සිටම වගේ මිනිසා විසින් සාර්ථක ලෙස භාවිතා කළ හැකි සන්නිවේදන ක්‍රම අත්හදා බලා ඇති බවට සාක්ෂි තිබෙනවා. මං එහෙම කියන්නෙ සතුන් පවා සන්නිවේදන ක්‍රම අනුගමනය කරන බව සොයාගෙන තිබෙන නිසා.
මුල් කාලයේ මිනිසා භාෂාව නිපදවා ගත්තත්, ඇසෙන මානයේ සිටි අය හැරෙන්නට අනිත් අයට යමක් දැනුම් දීමට හැකියාවක් තිබුනෙ නැහැ. ඒත් සිරිත් සම්මත වශයෙන් යම් යම් දේ ඔවුනට පුරුදු වෙලා තියෙන්න ඇති. සම්මතයට එරෙහි ‍වන එවුන් එක දවසෙන්ම කම්බස් වෙන්නත් ඇති ගෝත්‍ර නායකයා අතින්.
මට මේ ලිපිය ලියන්න හිතුනෙ අද ජාතික පුවත්පතක පළවෙලා තිබුනු ලිපියක් කියවීමෙන පස්සෙ. මේ ලිපිය මොකක්ද කියල ලින්ක් එකක් දාන්න මං කැමති නැහැ. ඒක මගෙ ශරීර ‍සවුක්කියට පරහක් වෙන්න ඉඩ තියෙනවනෙ. අනිත් එක, කවුරුත් දන්නව ඇතිනෙ අශ්ව රේස් දාන්න බූරුවෙක් මිලට ගත්ත පාදිළි උන්නාන්සෙට වෙච්ච වැඩේ. ඒ නිසා පත්තරකාරයෝ තරහ කරගන්නෙ නැතුව එයාල අතින් සිද්ද වෙන වැරදි හදවගන්න තමයි උත්සාහ කරන්න ඕනැ.
මං මේ කියපු ලිපියෙ තිබුනු ඡේද වලින් දෙක තුනක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ පටන් ඇරගෙන තිබුනෙ ඒ අනුව කියන යෙදුමෙන්. මෙහෙම ලියන්නෙ ඒ පත්තරේ විතරක් නොවෙයි කියන එකත් ඒ පත්තරේ තියෙන හැම ලිපියක්ම මේ වගේ වැරදි වලින් ගහණ ඒවා නොවන බවත් අවධාරණයෙන්ම කියන්න ඕනැ.
දැන් අපි බලමු මොකක්ද මේ ඒ අනුව කියන්නෙ කියල.
සිංහල භාෂාවෙ සමහර වචන තියනව අවධාරණය සඳහා හෝ අලංකාරය සඳහා යොදන. මිනිසා වූකලී දියුණු මනසක් සහිත සත්වයෙකි කියන වාක්‍යය වූකලී කියන වචනය නැතුව ලියන්නත් පුළුවනි. ඒ වුනත්, ඒ වචනය හෝ ඊට සමානවම යෙදෙන වනාහි කියන වචනයත්, කථා කරන භාෂාවෙදි භාවිතා වන ඇවිල්ල කියන වචනයත් වාක්‍යයකට යෙදුනම ඒ වාක්‍යයෙන් කියවෙන දේ ටිකක් බරසාර වෙනව. දැන් බලන්න මෙහෙම කිව්වම කොහොමද කියල. සිරිපාල ඇවිල්ල සත පහකට විස්වාස කරන්න බැරි පුතය. ඔය වාක්‍යයම කියන්න පුළුවන්නෙ සිරිපාල සත පහකට විස්වාස කරන්න බැරි පුතය කියල.
ඒ වචනය එහෙම වුනත්, ඒ අනුව කියන වචනයනම් එහෙම වචනයක් නෙවෙයි. ඒ අනුව කියල කියන්න පුළුවන් වෙන්නෙ, යම් ලිපියක පළමුවැනි වාක්‍යයෙන් හෝ දෙවැනි වාක්‍යයෙන් විස්තර කරපු දෙයක ප්‍රතිපලය හැටියට සිද්ද වෙන හෝ සිද්ද වුනු දෙයක් ගැන කියද්දි පමණක්මයි. ඒ කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්.
අද මධ්‍යම රාත්‍රියේ සිට පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට උදේ සිට පාන් රාත්තලක මිල රුපියල් දෙකයි පනහකින් වැඩි වනු ඇත.
අනේ ‍එහෙම වෙන්නනං එපා, උදාහරණයක් හැටියටයි කිව්වෙ.
ඒකෙදි මං ඒ අනුව කියන වචනය පාවිච්චි කරල තියෙන්නෙ පාන් රාත්තලේ මිල වැඩි වීමට පිටි මිල වැඩි වීම හේතුවක් වන නිසායි.
දැන් කවුරුහරි මෙහෙම කියනවනං මොකද වෙන්නෙ බලන්න.
අද මධ්‍යම රාත්‍රියේ සිට පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් පහකින් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වෙළඳ අමාත්‍යාංශය විසින් සියළුම වෙළෙඳ ශාලා ඉදිරිපස මිල දර්ශනයක් එල්ලා තිබිය යුතු බව නිවේදනය කරයි.
පිස්සු නේද?
මට විස්තර කරන්න අවශ්‍ය දෙවැනි කාරණය නම් අධ්‍යාපනය හැදෑරීමයි.
අධ්‍යාපනය යනු කුමක්ද? අධ්‍යාපනය යනු ඉගෙන ගැනීම ය. ප්‍රාථමික අධ්‍යාපනය යනු කුඩා දරුවන්ගේ ඉගෙන ගැනීම ය. ද්විතීයික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ආදී වශයෙන් හඳුන්වනු ලබන්නේ පාසැලක ඉහළ පංතිවල දරුවන්ගේ සහ පාසල් අධ්‍යාපනය හමාර කළ දරුවන්ගේ ඉගෙනගැනීම ය. ලිංගික අධ්‍යාපනය යනු ලිංගික කාරණාවන් ගැන ඉගෙන ගැනීමය. අධ්‍යාපන අමාත්‍යාංශය තිබෙන්නේ ඉගෙන ගැනීම ගැන තීන්දු තීරණ ගැනීමටයි.
හදාරණවා යනු ඉගෙන ගන්නවා යන්නට සමාන වචනයකි. ලොකු මාමාගේ පුතා වෛද්‍ය විද්‍යාව හදාරන්නේ දොස්තර කෙනකු වීමටය. අක්කා නීතිය හදාරන්නේ පෙරකදෝරුවෙකු වී අසරණයන් ගසා කෑමටයි.
ඉතින් අධ්‍යාපනය හදාරනවා කියන්නේ කුමක්ද?
අධ්‍යාපනය ලබාගන්නවා කියා හෝ ශිල්ප ශාස්ත්‍ර හදාරණවා කියා කීම නිවැරදි ව්‍යවහාරය නේද?
වතුර නානවා කියා මිසක් නෑම නානවා කියා කියන්නෝ සිටිත්ද?
තුන්වැනි කාරණාව ප්‍රශ්නාර්ථයයි.
අළුත් අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිංහලෙන් ලියන්න බැරි වීම ප්‍රශ්නයකි.
එය ප්‍රශ්නාර්ථයක් ද?
ප්‍රශ්නයක අර්ථය දැක්වීමට යොදාගන්නා ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණයි. වාක්‍යයක් දුටු විට එය ප්‍රශ්නයක් බව වහා හැදිනගැනීමට ප්‍රශ්නාර්ථ ලකුණ උපකාරී වේ. මෙලෙසම විෂ්මයාර්ථ ලකුණක් ද ඇත. මේ ලකුණු හරියට යෙදීමට උගන්වා නොතිබීම විශ්මය‍‍ාර්ථයක් ද?

2012-01-16

මෙවැනි දේත් විය හැකිය.

නිහාල් විජේරත්න මා හා කුළුපග වූයේ කෙසේදැයි කියා මට මතක නැත. එහෙත් මා කැමති චරිත ලක්ෂණ කිහිපයක් ඔහු වෙත තිබුනු අතර ඔහුද මගේ චරිතය අගය කළේය. අප දෙදෙනාගේ බොහෝ සමානකම් තිබුනත් එක් වෙනස්කමක් වූයේ ඔහුගේ ප්‍රියතම පානය “ගල්” වීම සහ මා “පොල්” වලට ප්‍රිය කිරීම ය. මෙම වෙනස නිසා අපගේ මිතුරුකම වැඩි කාලයක් පවත්වාගෙන යාමට හැකි වූයේ දෙන්නා එකට සෙට් වුනොත් අනිවාර්යයෙන්ම එකෙක් අඩුවෙන් බොන නිසා ය.

ඔහුට හැකියාවන් කීපයක් තිබුනු බව මා හඳුනාගෙන තිබිනි. ගොරෝසු කටහඬක් තිබුනු හෙතෙම උන් හිටි ගමන් මිල්ටන් පෙරේරා ගැයූ ගීතයක් ගයයි. “වැලිකතර” චිත්‍රපටයේ ගුවන් විදුලි වෙළඳ දැන්වීම ඔහු ඒ ආකාරයෙන්ම උච්චාරණය කරයි. දවස පුරාම විනෝදබර ලෙස ජීවත් වුවත් ඔහු ආර්ථික වශයෙන් උසස් තැනක සිටියේ නැත. කෙසේ වුවත් අනුනට අත නොපා ජීවත් වන්නටත් ටිකෙන් ටික හෝ ගේ දොර පිළිවෙලක් කරගන්නටත් ඔහුට හැකියාව තිබිනි. භෞතික දියුනුව මන්දගාමී වූයේ ඔහු හිත හොඳ මිනිහෙක් වූ නිසායැයි මම අනුමාන කරමි.
ඔහු මට වඩා අවුරුදු විසි පහකින් පමණ වැඩි මහල් වුවත් කට පුරා "මචං" කියා කතා කරන්නට ඔහු අමතක කළේ නැත. ඇත්ත වශයෙන්ම ඔහුගේ වයස ගැන විටින් විට උදම් ඇනීම නිසා හැරෙන්නට ඔහුගේ ගත සහ වැඩකිරීමේදී දක්වන කඩිසරකම දකින අයකු සිතුවේ සැබෑ වයසට අවුරුදු දහයක් පහළොවක් අඩුවෙනි.
ඔහු දිනක් මා වෙත පරණ පත්තර පිටු එකතුවක් ගෙනවිත් දුන්නේය. ඒ ඔහු ලියූ කවි, නිසඳැස් හෝ කෙටි කතා පළ වී තිබුනු පත්තර පිටු ය. ඔහු ඒවා ලියා තිබුනේ එකකට එකක් අසමාන වූ නම් වලිනි. එකක මුදුන්ගොඩ විජයරත්න ය. තවත් එකක නිහාල් විජයරත්නය. තවත් විටක ගම්පහ විජයරත්න ය. මට ඉන් පෙනී ගියේ ඔහු සාහිත්‍ය රචකයකු ලෙස නමක් ඇති කරගන්නට කිසිදු ආශාවක් දක්වා නොමැති බවයි. “මොනවද බං, හිතුන, ලිව්ව, යැවුව පත්තරේට. අපට මොන නං ද බං.” ඒ ගැන විමසද්දී ඔහු දුන් පිළිතුර එයයි.
ඔහුගේ ඒ නිර්මාණ අතිශයින්ම රසවත් ඒවා බව නිර්ලෝභීව කිව හැකි නමුත් අද වන විට ඉන් එකක් හැර අනෙක් ඒවා ගැන මගේ මතකයක් නැත. එක්තරා සුවිශේෂී හේතුවක් නිසා එක් පද වැලක් පිළිබඳ මට මතකයක් තිබේ. ඒ කවි පන්තිය පටන් ගත්තේ “රන් මලක් ලෙස දෙව් බඹූන් පූජා .....” යනාදී වශයෙනි. මෙය දුටු වහාම මගේ (මෙය කියවන ඔබගේ සේ ම) කුතුහලය ඇවිස්සිනි.
අප දන්නා පරිදි, පසුගිය කාලයේදී අතිශයින්ම ජනප්‍රිය වුනු, සුනිල් එදිරිසිංහයන්ගේ සුමධුර හඬින් ගැයෙන “රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ” යන ගීය රචනා කරන ලද්දේ කුමාරදාස සපුතන්ත්‍රී නමැති අසහාය ගේය පද රචකයා විසිනි. අනුන්ගේ නිර්මාණ සොරා ගන්නට තරම් එතුමන් කිසි දිනක “බංකොළොත්” වී සිටියේ නැති බවත් අපි කවුරුත් දනිමු.
එසේනම්, කිමෙක්ද මේ අරුමය?
“මේ විජේ, උඹ මාර බඩුවක්නෙ. දැන් මේ උඹ ලියපු සිංදුවක්නෙ අර රේඩියෝ එකේ හැම තිස්සෙම යන්නෙ. උඹේ කවි පන්තිය නේද ඌ කොපි කරල තියෙන්නෙ. මේක ගැන උඹ මොකවත් කරන්නෙ නැද්ද?”
“මචං මම ඕක ගැන ඒ දවස්වල කල්පනා කර කර හිටිය. ඔය සිංදුවෙ තියෙන්නෙ මගෙ කවි පන්තිය ම නෙවෙයි. ඒ වුනාට ඒ වචන ඔක්කොම මගෙ කවි පන්තියෙත් තියනව. ඔය අතරවාරේ කුමාරදාස සපුතන්ත්‍රී උන්නැහේ ඉන්ටවීව් කළා රේඩියෝ එකේ. ඔය සින්දුව ලියන්න අදහසක් ආවෙ කොහොමද කියල එයා එ‍තනදි පැහැදිළි කළා.”
ඒ කතාව මෙසේය.
කුමාරදාස සපුතන්ත්‍රී මහතා එක්තරා දවසකදී තේ කඩයකින් තේකක් බොන්න ගියාලු. ඒ කාලෙ (දැනුත් බොහෝ විට එහෙමම තමයි) තේ කඩ වලදී අත පිහදාගන්නට දෙන්නේ පරණ පත්තර කැබලි ය. මෙසේ අත පිහදාගන්නට ලැබෙන පත්තර කෑල්ල, ඉස්පාසුවක් තිබේනම් උඩින් පල්ලෙන් හෝ කියවා මා ඇතුළු සමහර අයගේ පුරුද්දකි. සපුතන්ත්‍රී මහතා කර ඇත්තේ ද එයම ය. එම පත්තර කැබැල්ලේ ඉහත කී කවි පන්තිය තිබී ඇත. මෙය කියවූ සපුතන්ත්‍රී මහතාගේ සිතට කවි පන්තිය තදින් කා වදින්නට ඇත. එහි වචන සහ පද ගැලපුම එසේ බලගතු විය. කෙසේ වුවද, ඉන් කෙටි කාලයකට පසුව සපුතන්ත්‍රී මහතා දේශාභිමානී ගීතයක් රචනා කරද්දී ඔහුගේ සිතට එම කවි පන්තියේ වචන නොආවා නම් පුදුමයකි.
වසරකට පමණ පෙර අප අතරින් සදහටම සමුගත් නිහාල් විජේරත්නයන්ට නිවන් සැප ලැබේවා!
ප.ලි.
හදවතින් යුද බිමේ සිටි අයගේ දැන් තත්වය වෙනස් වී ඇත.