2016-08-20

නිවේදක තෝරයි - සිංදු තේරීම

පහුගිය දවස්වල සිංහල බ්ලොග් අවකාශයට අළුත්ම ලෙඩක් බෝ වෙලා තිබුනු බව දැක්කේ අදයි. ඉයන්ගේ අභියෝගය මත අපේ බ්ලොග්කරුවන් සහ බ්ලොග්කාරියන් කීප දෙනෙක්ම සිංදු තෝරලා තිබුනා. දැන් මේ වෙනකොට අභියෝගය කවුරුන් හරි ජය ගන්න ඇති.

ඒත් ශණි දැකපු කාරණාව තමයි, ඒ හැම කෙනෙක්ම මේ ගී තේරීම කරල තියෙන්නෙ තමන්ට ඒ මොහොතේ මතකයට ආපු අනුපිළිවෙල අනුව බව. මේක කිසිම ගැම්මක් නැති පිස්සු විකාරයක්දෝ කියලයි ශණීට හිතුනෙ. මේක දැකල ශණිට මතක් වුනේ ගුවන් විදුලියේ නිවේදක තෝරයි ගී තීරය. දැන් ඒ වගේ වැඩසටහනක් තියනවද කියන්න දන්නෙ නෑ. දැන් අහන්නෙ චැනල් නෙ. ශණිලා තරුණ කාලයේ සහ ළමා කාලයේ ලංකාවෙ තිබුනෙ ගුවන් විදුලි ආයතන එකයි. ඒක තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ඒකෙ තිබුනා සිංහල, ඉංගිසි සහ දෙමළ භාෂා තුනට චැනල් දෙක ගණනෙ. මුල්ම කාලයේ මේවා වෙළඳ සේවය සහ ස්වදේශීය සේවය කියල තමයි නම් කරල තිබුනෙ. පසු කාලයක පළමුවැනි සේවය සහ දෙවැනි සේවය වශයෙන් නම් වෙනස් කරල තිබිල දැන් නැවතත් මුල් ක්‍රමයටම ඇවිත් වගෙයි. දෙවැනි සේවය කිව්වෙ වෙළඳ සේවයටයි. වෙළඳ දැන්වීම් එහෙම ප්‍රචාරය වුනේ ඒකෙ. පළමුවැනි සේවය නොහොත් ස්වදේශීය සේවය වෙන් වෙලා තිබුනෙ ධර්ම දේශනා, අධ්‍යාපනික වැඩසටහන්, ළමා වැඩසටහන්, විවිධාකාර සාකච්ඡා, ශ්‍රාස්ත්‍රීය සාකච්ඡා, ශ්‍රාස්ත්‍රීය සංගීතය, සර්ව රාත්‍රික පිරිත් (පෝය දාට) වගේ වැඩසටහන් වලට. වෙළඳ සේවයේ තමයි ඉතින් චිත්‍රපටිවල සිංදු, චිත්‍රපටි ප්‍රචාරක වැඩසටහන්, මුවන්පැළෑස්ස වගේ නාට්‍ය, හින්දි සිංදු වගේ වැඩසටහන් තිබුනෙ. ඔය අතරෙ තිබුන එකක් තමයි නිවේදක තෝරයි ගී තීරය. ඒක පැය භාගයක වැඩසටහනක්. කවුරු හරි නිවේදක තුමෙක් ඇවිදින් එයාට මනාම සිංදු 6ක් විතර තෝරගෙන ප්‍රචාරය කරනවා. පැය භාගෙට ඊට වැඩිය දාන්න අමාරුයි වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නත් එපායැ.

මේ නිවේදක තෝරයි වැඩසටහනේ තිබුනු එකම ප්‍රයෝජනය තමයි එක් එක් නිවේදකයා කැමති ගීත වර්ගය අඳුනාගන්න පුළුවන් වුනොත් අපි කැමති ජාතියේ සිංදු තෝරන නිවේදකයාගේ ගී තීරයට සවන් දෙන්න පුළුවන් වීම. ශණි ඒ දවස්වල ආස කළා ජයන්ත පීරිස් නිවේදක තැන තෝරපු සිංදු ටික අහන්න. පස්සෙ කාලේ ඒකත් එපා වුනා මොකද එකම සිංදු සෙට් එක නිසා. එයා තෝරපු සිංදු සෙට් එකක තිබුනා. පෙම් කැකුළ පිපී එන විට මහදේ එය පරව ගියා, සාගර මත සඳ කිරණ වැටී, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මගේය ප්‍රේම මාලිනී ඔන්න ඔය වගේ සිංදු.

මීට අමතරව චිත්‍රපටි ගීත වැඩසටහන්, යුග ගී වැඩසටහන්, නාට්‍ය ගී වැඩසටහන්, විරිදු වැඩසටහන්, කණ්ඩායම් ගී වැඩසටහන් එහෙම තිබුනා. උදේ පන්සිල් සහ සෙත්පිරිත් කියල ඊට පස්සෙ යනවා අරුණ කිරණ කියල වැඩසටහනක්. එතනින් පස්සෙ උදෑසන ප්‍රවෘත්ති. ඉන් පස්සේ අසන්නන්ගේ ඉල්ලීම්. ගම්පහ රේඛාවෝ ඊශ්වරී, යටියන්තොට බොනිපස් පෙරේරා වගේ අය පෝස්ට් කාඩ්වලින් සිංදු ඉල්ලලා යවනවලු (ලුයන්නක් දැම්මෙ රේඩියෝ එකෙන් අහපු හැටියට නිසයි. සමහරු කිව්වෙ “ඔය බොරුවට නම් කියවන්නෙ, සිංදු ඉල්ලල පෝස්ට්කාඩ් දාන අයත් ඉන්නවයෑ“ කියල.) හැබැයි ඉල්ලපු සිංදුවම දෙනවා. අනිත් එක ළඟ අහළ පහළ ඉන්නෙ කවුද කියල අහන්නෙ නෑ. අහල වැඩක් නෑ උත්තර දෙන්න වෙන්නෙ දවස් දෙකකට පස්සේ තවත් පෝස්ට් කාඩ් එකකින්නෙ.

මේ අනම් මනම් මතක් වුනේ ඉතින් ඉයන්ගෙ අභියෝගය දැක්කට පස්සෙ. ශණිටනම් ඒක අභියෝගයක් කියල කොහෙත්ම හිතෙන්නෙ නෑ. අඩු වශයෙන් ගීතයෙන් ගීතය වගේ අකුරු ගලපලා කියන්න කියලවත් කිව්වනම් පොඩි චැලේන්ජ් එකක් තියනව.

මෙන්න ශණි කැමති ගීත සෙට් එකක්. හැබැයි කැමැතිම ගීත නෙවෙයි. එහෙම ජාතියක් ශණිට නෑ, සීතල වෙලාවට කැමති ගීත නිදිමත වෙලාවට හරියන්නෙ නෑ. නිදි මරාගෙන වැඩක් කරන වෙලාවට ඒ දෙකම හරියන්නෙ නෑ. දෙකක් දාගත්ත වෙලාවට ඕනැ කරන්නෙ වෙනම සිංදු සෙට් එකක්.

1. මගේ සිහින මැදුරේ - ශම්මිකා අමානි (සමනල සංධ්වනිය 2014)
මේක සමනල සංධ්වනිය චිත්‍රපටයේ ගීතයක්. ගීතය නිර්මාණය කරල තියෙන්නෙ දක්ෂ පාසැල් ශිෂ්‍යයෙක්ගෙ නිර්මාණයක් විදිහට. ඒ ගතිය මේ සිංදුවෙ එහෙම පිටින් ම තියනව. මියුසික් ඔක්කොම ඉස්කෝලෙ තියන ඉන්ස්ට්‍රැමන්ට් වලින්. පද රචනය අති සාර්ථක නෑ, බොළඳ රචනාවකුත් නෙවෙයි. සංගීත සංයෝජනය සහ තනු නිර්මාණය වයස දාසයේ කොල්ලෙකුගෙ තමයි. එතකොට ගායනය? ඒක ඉතින් අහළම බලන්න.


මගේ සිහින මැදුරේ...

විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ

පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් ‍පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ

දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම්

මගේ සිහින මැදුරේ...

පද මාලව චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය දර්ශන රුවන් දිසානායක



චිත්‍රපට ගීතයක් සාර්ථක වෙන්නෙ ඒකෙ සියක් කෝටියක් වැඩ දාල තිබුනහම නෙවෙයි, අවස්ථාවට ගැලපීම අනුවයි. මේ වගේ තව එක අවස්ථාවක් ශණිට මතක් වෙනව. මුල් කාලයේ ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වුනා “රේඛා“ කියල ටෙලි නාට්‍යයක්. චන්ද්‍ර ලේඛා, ලක්ෂ්මන් විජේසේකර, දේවිකා මිහිරාණි එහෙම හිටියෙ. මේ ටෙලිනාට්‍යයෙ තියෙනවා ඉස්කෝලෙක පිළිගැනීමේ ගීතයක් (යූ ටියුබ් එකේවත් නෙට් එකේ කොහේවත් හොයාගන්න බැරි වුනා.).

2. පෙම් සිහින ලෝකේ මායා - රුක්මණී දේවී සහ මොහිදීන් බෙග් (මතභේදය 1955)
ශණිට පිස්සු කියල හිතෙනව ඇති නේද? 2014 සිංදුවක් එක්කල 1955 සිංදුවක් මතක් කරන්නෙ.

මේ සිංදු තෝරලා තියෙන්නෙ කැමතිම පිළිවෙලකට නෙවෙයි කියල මුලින්ම කිව්වනෙ. මේ ගීතවල යම් සුවිශේෂී ලක්ෂණයක් නිසා තමයි ශණිගෙ හිතට මේ ගීත කාවැදිල තියෙන්නෙ. මේ සිංදුවෙ තනුව හින්දි චිත්‍රපටි ගීතයකින් කොපි කරපු එකක්. මේකෙ විශේෂත්වය තමයි කටහඬ සංයෝජනය. යුග ගීතයක් කියන්නෙ මේ වගේ ගීතයකට කියල උදාහරණයකට ගන්න පුළුවන් මේ ගීතය. කටහඬවල් දෙක එකක් විදිහට ඇහෙන්න ගායනා කරන අවස්ථාවක්.


පෙම් සීන ලෝකේ මායා - සංසාරයේහි පාවේ 
සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

දෙදෙනාගේ ආලය පාන සේමා - බැබළේවා ලෝකේ.. 
සේමා බැබළේවා ලෝකේ 
ආකාසේ පොළොවේ හා ජලේ මේ ප්‍රීති ගීත පාවේ.. 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

සන්ධ්‍යාවේ පරවන මලකී - මේ ජීවිතේ දඟකාරී
ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ 
මේ ශේෂ වූ වෙලාවේ...
මේ ශේෂ වූ වෙලාවේ 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ... 

භවයේ සරනා හැම ආත්මෙ දෙදෙනා - පණ සේ වාසේ වී 
දෙදෙනා පණ සේ වාසේ වී 
කිසි දා දුක ශෝක නොවෙමින
ලැබෙවාය ප්‍රීතිභාවේ... 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

ගායනය: මොහිදීන් බෙග් - රුක්මණි දේවි
පදවැල: ඒ. ජේ. ද සොයිසා

සංගීතය: ආර්. ඒ. චන්ද්‍රසේන

හ්ම්, අදට ඇති, ආයේ හමුවෙමු තව මාස .........කින්.

2016-02-29

(අශ්‍රාස්ත්‍රීය ලිපියකි.) කටුස්සාගේ ප්‍රමාද වූ සුරතාන්තය

(අශ්‍රාස්ත්‍රීය ලිපියකි) කටුස්සාගේ ප්‍රමාද වූ සුරතාන්තය
කටුසු හදවත ලියල තිබුනු සුරතාන්තය ප්‍රමාදයි නමැති පෝස්ට් එක කියවීමේදී හිතට ආ අදහසක් ඔස්සේ මතුවුනු සිතුවිලි වැලක් මේ.

කටුසු හදවත අහනවා මෙහෙම ප්‍රශ්නයක්.
ආගම හා දේශපාලනය එකිනෙකාට සමාන්තරද?
මෙතනදි, සමාන්තර කියල කටුස්සා අදහස් කරන්නෙ මොකක්ද කියන එක එච්චරම පැහැදිළි නෑ. කොහොම වුනත්, ආගම හා දේශපාලනය එකිනෙකට සමාන්තර වගේම ශ්‍රේණිගතයි කියල තමයි මට හිතෙන්නෙ. මේ වචන දෙකෙන් මං අදහස් කරන්නෙ ගණිතයේදී, භෞතික විද්‍යාෙ වේදී නැත්නම් විද්‍යුතය ගැන ඉගෙනගැනීමේදී භාවිතා වන අදහසයි. ශ්‍රේණිගත කියල මං අදහස් කරන්නෙ “එකකට පස්සෙ අනිත් එක“ කියන අර්ථයෙන්. එතකොට සමාන්තර කියල අදහස් කළේ එකම අවස්ථාවකදී සිද්ධි දෙකම වෙනවාය කියන අදහසින්. ඒ වගේම දේශපාලනය කියල අදහස් කළේ දේශයක් පාලනය කරනවා කියන අර්ථයෙන් නෙවෙයි, ඉංගිරිසියේ පොලිටික්ස් කියල කියන අර්ථයෙන්. එතනදි අදහස් කරන්නෙ දේශයක් පාලනය කරන වැඩපිළිවෙලයි. ඒකනෙ බලයට පත් වුනාම පාලකයන්ට පොලිටික්ස් අමතක වෙලා ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ල බවට පත් වෙන්නෙ.

කටුසු හදවත කියල තියන විදිහට මේ ප්‍රශ්නය ගැන ශ්‍රාස්ත්‍රීය පොත් සහ ලිපි ගණනාවක් ලියැවිලා තියනවා. ඒ වගේම, බුදුදහම සහ මාක්ස්වාදය වගේ පොත් එහෙමත් ලියවිලා තියනවා. ඒත් තවමත් මේක නොවිසඳුනු ගැටළුවක්. විවාදය නිරන්තරයෙන් පැවතෙනවා.

ආගම කියන්නෙ මිනිස්සු තමන්ගෙ පුද්ගල විමුක්තිය සහ තම නෑ සියන්ගේ විමුක්තිය ලබාගැනීමට හැකි වෙන්නෙ මෙන්න මෙහෙමයි කියල විශ්වාසයකින් අනුගමනය කරන දර්ශනයක්. ඒක බොහෝ විට මරණයෙන් පස්සෙ ජීවිතයක් ගැන වෙන්න පුළුවනි. දැන් ගතකරන ජීවිතයට පස්සෙ. ඒකයි ශ්‍රේණිගත කියල කිව්වෙ. මේ දෙක සමාන්තරයි කියල කිව්වෙ වර්තමාන ජීවිතය ගැන මේ විෂයයන් දෙකෙන්ම කතා කරන නිසා.

රටක් පාලනය කළ යුත්තේ මෙන්න මෙහෙමයි කියන එකයි දේශපාලනය (පොලිටික්ස්) කියන්නෙ. මෙතනදි මේ දේශපාලන ක්‍රමය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒකාධිපතිවාදී ධනවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය, සමාජවාදය කියල මේ කොටස් තුන හඳුන්වන්නට පුළුවනි. මේ කොටස් තුන නැවත නැවතත් අනුබෙදීම්, අනු අනු බෙදීම්, අනු අනු අනු බෙදීම් ආදී වශයෙන් කණ්ඩායම් ගණනාවකට බෙදුනු මතවාදයන් බවට පත් වෙනවා.

තමන්ගෙ විමුක්තිය හෝ පොදු විමුක්තිය ලබාගතහැක්කේ තමන් විශ්වාස කරන දර්ශනයෙන් පමණක් බව හත් අට දෙනෙක් හැරුනාම අනිත් හැම දෙනාම විශ්වාස කරනවා. තමන්ගෙ විමුක්තිය ඇත්තේ අනුන්ගෙ දර්ශනයක් තුළ බව විශ්වාස කරන හත් අටදෙනා ඉන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුවෙ.

“දේශපාලනය“ යනුවෙන් මං කතාකරන්නෙ පහත සඳහන් තුන් ආකාරයෙන් එක අාකාරයකට වැඩ කිරීමයි.
  • මිනිස්සු බලහත්කාරයෙන් හෝ උපක්‍රමිකව යටත් කරගෙන තමන් අයත් කණ්ඩායමේ යහපත පිණිස වැඩකරවාගැනීම
  • මිනිස්සුන්ට නිදහස දීල මිනිස්සුන්ගෙ කැමැත්තෙන්ම තමන් ඇතුළු කණ්ඩායමේ යහපත පිණිස වැඩකරවාගැනීම
  • මිනිස්සුන්ට නිදහසක් නොදී තමන් ඇතුළු මිනිස්සුන්ගේම යහපත වෙනුවෙන් වැඩ කරවීම

මේ ක්‍රම තුනේ ගැලිල ඉන්න මිනිස්සු තමන්ගෙ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින අතරම ඒ වෙනුවෙන් අඛණ්ඩව සටන් වදිනවා එළිපිට හෝ රහසිගතව. ඒ අය කරන වැඩ සමහර විට අපට පෙනෙන්නෙ වෙනත් ආකාරයකට වෙන්නට පුළුවන්. ඒත් ඒ අය තමන් අවංකව විශ්වාස කරන දේ වෙනුවෙන් කටයුතු කරනවා. ඒත් ඒ බව ප්‍රසිද්ධියේ නොකියනවා වෙන්න පුළුවනි.  

ඒ වගේම බලන්න ආගම.

  • සමාජයේ යහපත වෙනුවෙන් එකිනෙකා සමග නොගැටෙමින් ප්‍රේමයෙන් යුතුව ජීවත් වීම හරහා ස්වර්ග සැප ලබාගැනීම
  • ඇතැම් විට අතිශය දුෂ්කර වූ හෝ තවත් විටක බරපතළ අපහසුතාවක් නැතිව හෝ යෙදෙන වතාවත් මගින් දිව්‍යාත්මභාවයන් ලබාගැනීම
  • තමන්ට ලැබී ඇති හෝ ලැබෙන හෝ ලබාගතහැකි හෝ ලබාගත නොහැකි සැප සම්පත් පිළිබඳ ආශාවක් ඇල්මක් ඇති නොකර ගැනීමෙන් ලබාගන්නා විමුක්තිය


ඉතින් ආගමික කටයුතු වල නියැළිලා ඉන්න අයත් අර දේශපාලන කටයුතු වල නියැළිලා ඉන්න අය වගේම තමන් විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් සටන් කරනවා.

ඉතින් මේ දෙක සමාන්තරගතද, ශ්‍රේණිගතද?

2016-01-31

මහාප්‍රාණ මේනියාව

බ්ලොග් එක ලියනවා තියා බොගක් දාගන්නවත් වෙලාවක් කලාවක් නැතුව හිටපු අල්ල පනල්ලෙ අපේ හිතවත් බ්ලොග් ගුරුතුමා වන රසික ටික දවසකට කළින් ලියපු පද මාලාව දැක්කට පස්සෙ ඔළුවට ආපු අදහසක් ලියන්නම ඕනැ කියල හිතුනා.

මේ නව පරපුර කියන කස්ටියගෙ කතා බහ සමහර වෙලාවට පොඩ්ඩක් විතර අමුතු ඇක්සන්ට් වලට බර වෙනව. මේ ගැන වඩා හොඳින් තේරුම් ගන්න ඕනැ නම් ඔය එෆ් එම් චැනල් වලට කණ දීලම බලන්න ඕනැ. ඒ චැනල් වල නම දැන් කියන්නෙ නැත්තෙ බයකට එහෙම නෙවෙයි, හොඳට කතා කරන චැනල් කීපයකුත් තියන අතරෙ ඒ එක එකේ නම වෙන වෙනම මතකයෙ නැති නිසායි. අහිංසක චැනල් වලට දොස් කියන එක හොඳ නෑනොවැ.

මේ චැනල් වල නිවේදක තුමන්ලාටත් වැඩිය නිවේදිකා තුමියලා කතා කරන හැටි අහගෙන ඉන්නකොට දැනෙන හැඟීම මොකක්ද කියල, දුකක්ද කණගාටුවක්ද අප්පිරියාවක්ද කියල එක පාරටම හිතාගන්න අමාරුයි.

සිංහල වචන අස්සට ඉංගිරිසි වචන කෑලි දාන එක සමහර අය විවේචනය කළාට මගේ නම් ඒ ගැන එහෙමට විවේචනයක් නෑ. අද කවුරුත් වගේ, ලොකුවට ජාතික කැක්කුමකින් කෑ ගහන අය පවා, තමන්ගෙ භාෂාව ගැන එහෙමට උනන්දුවක් නැතුව මේ කලවම් භාෂාවෙන් ලියනවා සහා කතා කරනවානෙ. ඉතින් රේඩියෝ එක කියන්නෙ ශ්‍රව්‍ය මාධ්‍යයක් නිසා ලියන භාෂාවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ගුවන් විදුලි සංස්ථාවෙ සිංහල ස්වදේශීය සේවය අහල සිංහල ඉගෙන ගනිල්ලා කියල කියපු කාලෙකුත් තිබුන තමයි. ඒ වගේම දිනමිණ කතුවැකිය කියවල සිංහල ඉගෙන ගනිල්ලා කියපු කතාව විතරක් නෙවෙයි ඩේලි නිවුස් කතුවැකිය කියවලා ඉංගිරිසි ඉගෙන ගනිල්ලා කියපු කතාවත් අද වෙනකොට අවලංගුයි පුතේ.

ඉතින් මං කියන්න හැදුවෙ අර කලින් කියපු පොඩි පොඩි එෆ් එම් චැනල් වල කට්ටිය කතා කරන්නෙ ඔය කියපු අමුතු ඇක්සන්ට් එකත් එක්කලා මහාප්‍රාණ අකුරු එහෙන් මෙහෙන් රිංගවලනේ.

කෝල් කරල කියන්න බලන්න ඔයාලට ඕනැ සෝන්ග් එක මොක්ද කියල. නැත්නම් එස් එම් එස් එකක් එවන්න. ඒත් නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් එකක් දාන්න හොඳේ.

හැබැයි ඉතින් අපේ භාෂාවේ මේ මහාප්‍රාණ අකුරු සහිත වචන එහෙමට නැති නිසාත්, එහෙම තියන වචන වුනත් බොහෝ වෙලාවට නිකම් සිම්පල් අකුරු, ඒ කිව්වෙ අල්ප ප්‍රාණ අකුරු යොදල කියන නිසාත් ලොකු අවුලක් වෙන්නෙ නෑ. උදාහරණයක් ගත්තොත් බාසාව කියන්නෙත් භාෂාව කියන්නෙත් දෙකම එකයිනෙ. (දවසක්දා මගෙන් යාලුවෙක් ඇහුව “මචං සිංහලෙන් ටයිප් කරද්දි කැපිටල් ලයන්න ගහන්නෙ මොකෙන්ද“ කියල. ඒ කැපිටල් ලයන්න කිව්වෙ මූර්ධජ අකුර, ඒ කියන්නෙ “ළ“ ගැන කියල මට ටක් ගාල ක්ලික් වුන නිසා පටස් ගානකොට වැඩේ ගොඩ දාල දුන්නා)

හැබැයි අපේ කලාපයේ තියන අනිත් බොහොමයක් භාෂා ගත්තහම මේ වෙනස බරපතළයි. අර “තණ“ වෙනුවට “තන“ වගේ සීන් වෙන්නට ඉඩ තියනවා.

ඉතින් රසික ලියපු පදමාලාව දැකපු මට මතක් වුනේ අපි ගොඩක් දෙනා ලයික් කරන හින්දි සිංදුවක්.
කභී කභී මෙරෙ දිල්  මෛං.

මේකෙ තියනව එක පදයක් ළඟ ළඟම මහා ප්‍රාණ ගොඩක් එක්කල.

සුහාග් රාත්හෛ ඝුංඝට් උඨා රහා හූ මෛං
सुहाग रात है घूंघट उठा रहा हूँ मैं 

Song: Kabhi Kabhi
Singer: Amitabh Bachchan, Kishore Kumar, Lata Mangeshkar, Mukesh
Lyricist: Sahir Ludhianvi
Music Director: Khayyam
Film Director: Yash Chopra
Kabhi Kabhi Mere Dil Mein Lyrics
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Tujhko Banaya Gaya Hai Mere Liye
Ke Jaise Tujhko Banaya Gaya Hai Mere Liye
Tu Ab Se Pahle Sitaro Me Bas Rahi Thi Kahi
Tu Ab Se Pahle Sitaro Me Bas Rahi Thi Kahi
Tujhe Zami Pe Bulaya Gaya Hai Mere Liye
Tujhe Zami Pe Bulaya Gaya Hai Mere Liye

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Ye Badan Ye Nigahe Meri Amanat Hai
Ke Ye Badan Ye Nigahe Meri Amanat Hai
Ye Gesuo Ki Ghani Chhao Hai Meri Khatir
Ye Hoth Aur Ye Bahe Meri Amanat Hai
Ye Hoth Aur Ye Bahe Meri Amanat Hai

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Bajati Hai Shahnaiya Si Raho Me
Ke Jaise Bajati Hai Shahnaiya Si Raho Me
Suhag Rat Hai Ghunghat Utha Raha Hu Mai
Suhag Rat Hai Ghunghat Utha Raha Hu Mai

Simat Rahi Hai Tu Sharama Ke Apni Baho Me
Simat Rahi Hai Tu Sharama Ke Apni Baho Me

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Tu Mujhe Chahegi Umar Bhar Yu Hi
Uthegi Meri Taraf Pyar Ki Nazar Yu Hi
Mai Janata Hu Ke Tu Gair Hai Magar Yuhi
Mai Janata Hu Ke Tu Gair Hai Magar Yuhi
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai