2012-12-19

ලෝක විනාශය කළුවර දින තුනකට පල්ලම් බසී

මුලදී දෙසැම්බර් 12වැනිදාට නියමිතව තිබී පසුව 2012 දෙසැම්බර් 21වැනිදාටත්, අනතුරුව 3012 දෙසැම්බර් 21වැනිදාටත් කල් දමන ලද ලෝක විනාශය දැන් දෙසැම්බර් 22, 23 හා 24 දිනයන්හි ඇති වන කළුවරක් දක්වා පල්ලම් බැස තිබේ.

මේ කළුවර ඇති වන්නේ ලෝකය නැවත එලයින් වන නිසා බවත් වැඩිදුරටත් කියැවේ. ඒ කියන්නේ ලෝකය ගමන් කරන පීල්ල මාරු කිරීමක් වැනි දෙයකි. විද්‍යාත්මක බොරු කියා කියන්නේ මේවාටය. පෙර ලිපියකදී මා සඳහන් කළාත් මෙන් ඒවා අසම්පූර්ණ විද්‍යා ප්‍රබන්ධයෝ වෙති. අසම්පූර්ණ යන වචනය යෙදුවේ එම ප්‍රබන්ධයන් අවිද්‍යාත්මක බැවිනි. විද්‍යාත්මක වේශයක් ගෙන තිබුනත්, එම ප්‍රකාශ කිරි ලෙසකින් විද්‍යාත්මක තර්කනයකට අසු වන්නේ නැත. මෙහිදී විද්‍යාත්මක යන වචනය යොදන ලද්දේ ඇතැම් අය කියන බටහිර විද්‍යාව යන අර්ථයෙන් නොව අතාර්තික යන අර්ථයෙනි.

ලෝකය සූර්යයා වටා කරකැවෙන අතර එම නැවත පීලි ගත කරන්නේ වෙනත් සූර්යයෙක් වටා පරිභ්‍රමණය වීමට විය යුතුය. එහෙත් එසේ සූර්යයන් මාරු කිරීමේ හැකියාවක් නැත්තේ වෙනත් සූර්යයෙක් අහල පහළ පේන තෙක් මානයක වත් නොමැති බැවිනි.

දැනට ලෝකය පවතින තුන්වැනි මානයෙන් ඔබ්බට ගොස් ශන්‍ය මානයක් කරා ලෝකය ගමන් කරන බවත්, කළුවර දින තුන අවසන් වූ පසුව නව ලෝකයක් දකින්නට හැකි බවත් ඉහත කී ප්‍රබන්ධයෙන් කියැවේ. මේ ශුන්‍ය මානය හෙවත් සීරෝ ඩිමෙන්ෂන් එක යනු කුමක්දැයි කියා ඒ ප්‍රබන්ධය කළ එකා‍ගේ අප්පුච්චාවත් දන්නේ නැත. දින තුනක් කළුවරේ සිටියහොත් අප සැම සීතලෙන් මිය යනු නියතය. ඒත් ඌ කියන්නේ ඉවසීමෙන් බිය නැතිව සිටියහොත් ජීවිතය බේරාගැනීමට හැකි බවය. මේවා කියවා දැනටමත් ශරීරයේ මත්ස්‍යයන් නර්තනය කරමින් සිටින බැවින් මොබයිල්මෑන්ටනම් සීතල නොදැනෙනු ඇත.

2012-12-18

දැන් එතකොට කවදද මේ ලෝකෙ විනාශ වෙන්නෙ?

ලෝක විනාශය දෙසැම්බර් 21වැනිදා සිදු වනු ඇතැයි ඔබ විශ්වාස කළේදැයි 22වැනිදා කවරකුගෙන් හෝ විමසුවහොත්, අපෝ නෑ, කව්ද ඕව විශ්වාස කරන්නෙ කිය කියනු නොඅනුමානය. එසේ වුවද, ලෝක විනාශය ගැන කියැවෙන ලිපි එකක් නෑර කියවන්නටත්, ඒවා ප්‍රචාරය කරන්නටත් (කටකතාවලින් හෝ ෆෝවර්ඩ් කරන ඊ මේල් මගින්) කිසිවකු පසුබට වන්නේ ද නැත.

මේ රටේ බොහෝ දෙනෙක් තමන් බෞද්ධයින්යැයි කියාගනිති. එමෙන්ම, රහසින් හෝ කේන්දර බලවති. ජ්‍යෝතිෂ්‍යය විශ්වාස කරති. තවත් අයෙක් "බටහිර දැනුම" හෙළා දකිති.

මේ අවුරුද්දේ ලෝක විනාශය වන බව අපේ රටේ පැවතෙන කිසිම ආගමකින්, දර්ශනයකින්, ශ්‍රාස්ත්‍රයකින් පෙන්වා දෙන්නේ නැත. එසේ වන බව කීවායැයි කියන්නේ (පසුව සංශෝධන සහිතව) මායාවරු නමැති ඉපැරණි ශිෂ්චාචාරයකට අයත් දින දර්ශනයකි. මුලදී මෙම දිනය දෙසැම්බර් 12 ලෙසත් පසුව දෙසැම්බර් 21 ලෙසත් ප්‍රසිද්ධියට පත් විය.

අද මේ මා ලියන්නේ දෙසැම්බර් 21 දින ලෝක විනාශය හෝ අර්ධ විනාශයක් සිදුවන්නේදැයි විමසා බැලීමටනම් නොවේ. දුවන්නන් වාලේ කෙට එළදෙන දුවන හැටි විමසා බැලීමටයි.

අද ඊයේ මට ලැබුනු ඊ මේල් පනිවිඩයකින් සෝපාහාසාත්මකව කියැවුනේ ලෝක විනාශය 2013 දක්වා කල් දමන ලද බවය. එහෙත් ඒ ඊ මේල් පනිවිඩය හෝ ඊට පාදක වූ ෆේස්බුක් පිටුව නිර්මාණය වන්නේත් අදාළ දිනය ඔන්න මෙන්න තිබියදීය. මෙයට සමාන්තරව ලැබුනු තවත් ඊ මේල් පනිවිඩයකින් කියැවුනේ ලෝක විනාශය නියත බවත්, නාසා ආයතනය සහ අමෙරිකානු රාජ්‍ය යාන්ත්‍රණය විසින් ඒ කරුණ සඟවා තබා ගන්නා බවය. මේ ඊ මේල් පනිවිඩ ගැන ඔබට කියන්නේ ඒවා මගේ මිත්‍රයෙකු හෝ ඥාතියකු විසින් නොව මා කවුදැයි නොදන්නා අයකු විසින් මා ඇතුළු මා මෙන්ම එකිනෙකා නොහඳුනන තවත් අය වෙත එවන ලද ප්‍රසිද්ධ පණිවිඩ නිසා ය.

මට ලැබුනු තවත් ඊ මේල් පණිවිඩයක් වඩාත් ඉහළ සාහිත්‍යමය අගයක් ගන්නා එකකි. එය සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැළකීමට පවා පුළුවන. එයට අනුව, නුදුරු දිනයකදී බාහිර විශ්වයකින් පැමිණෙන්නා වූ ජීවීන් කොටසක් විසින් අපට එරෙහිව යුධ ප්‍රකාශ කරනු ඇත. එසේ යුධ ප්‍රකාශ කරන එම සත්වයන් පරාජය කිරීමට අධි සම්පීඩිත ජල කදම්බ භාවිතා කළ යුතුය. ලේක් හවුස් ආයතනයෙන් නිකුත් කළ සතුට චිත්‍රකතා පත්‍රයේ මංගල කලාපයේ තිබුනේ ක්‍රිස්තු වර්ෂ 3000දී (එය 30,000ද කියා මට හරියටම මතක නැත) මිනිසාට යෝධ කුහුඹුවන් සමග යුද වදින්නට සිදු වන බවයි. සතුට පත්තරයේ කතාවනම් විද්‍යා ප්‍රබන්ධයක් ලෙසටම නිර්මාණය කරන ලද්දකි. එසේ වුවද, වර්තමානයේ පැතිරෙන මේ පිටසක්වල ජීවී ආක්‍රමණය පිළිබඳ කතාව එවැනි ප්‍රබන්ධයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ නැත.

මේ ප්‍රබන්ධ නිර්මාණ කරුවන් සිය අර්ධ දැනුම යොදාගෙන නිර්මාණය කරන මේ ප්‍රබන්ධයන්ට, එම විද්‍යාත්මක සංසිද්ධීන් පිළිබඳ අර්ධ දැනුමටත් අඩු දැනුමක් සහිත වූවන් ඉතා පහසුවෙන් රැවටීමට හැකිය. සම්පීඩිත ජල ප්‍රහාරයකින් පිටසක්වල ජීවීන් විනාශ වන්නේ ඔවුනගේ සිරුරු විදුලි චාප ලෙස සෑදී ඇති බැවින් බව එම කතාන්තරයේ සඳහන් ය. විදුලි චාපයක් ජලයෙන් නිවා දැමීමට හැකියාව නැති බව දන්නේ අතළොස්සකි.

විද්‍යාත්මක වේශයෙන් මේ කරනු ලබන ප්‍රබන්ධයන්ගේ න්‍යායාත්මක වැරදි අසුවන්නේ ඒවා හොඳින් අධ්‍යයනය කළ හොත් පමණකි. ‍එම පිටසක්වල ජීවීන් පෘථිවිය වෙත පැමිණෙතැයි කියනු ලබන යානාවන් (පියාඹන පීරිසි) ක්‍රියාත්මක වන්නේ "කාන්දම් බලයෙන්" බවද එම ප්‍රබන්ධයෙහිම දැක්වෙන තවත් කරුණකි. යම් යානාවක් ක්‍රියාත්මක කිරීම සඳහා බලයක් තිබීම ප්‍රමාණවත් නොවන බව ප්‍රබන්ධ කරුවා අමතක කරයි. බලයකට කාර්යයක් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ එය ශක්තියක් බවට පත් වුවහොත් පමණකි.

අවසාන වශයෙන් කීමට ඇත්තේ ලොව උසස්ම ජාතිය තමන්ගේ ජාතිය බව විශ්වාස කරන සිංහළ බෞද්ධයන් පවා බෞද්ධාගමික ඉගැන්වීම් අමතක කරමින්ද, ජාතික දැනුම් පද්ධතිය නොසළකා හරිමින්ද, මේ ලෝක විනාශයේ කතාන්තරය විශ්වාස කරමින් සිටීම අතිශය කණගාටුදායක කරුණක් බවය.

2012-12-11

ශීතකරණය හා වායුසමනය



සාමාන්‍යයෙන් අප කවුරුත් දන්නා කරුණක් නම් යමක් වැඩිපුර තිබෙන තැනකින් ඉවත් කර අඩු කරනු මිස අඩුවෙන් තිබෙන තැනකින් ඉවත් කර තවත් අඩු කරන්නට නොහැකි, නැත්නම් අපහසු බවයි. එහෙත්, ශීතකරණය හෝ වායුසමනය සඳහා අපට මේ අසීරු දේ හෝ නොහැකි දේ කරන්නට සිදු වේ.

තේ කෝප්පය උණුසුම් වැඩිනම්, එය ඇල් වතුර භාජනයක් තුළ තැබීම හෝ පීරිසියකට දැමීම, නැතිනම් ඉහළ සිට පහළට වැක්කෙරෙන සේ ජෝගුවකින් තවත් ජෝගුවකට දැමීම අපේ පුරුද්දයි. ඇල් වතුර භාජනයක් තුළ උණු තේ කෝප්පය තැබූ විට තේ කෝප්පයේ උෂ්ණත්වය සහ ඇල් වතුරේ උෂ්ණත්වය එක හා සමාන වන තුරු තේ කෝප්පයේ උණුසුම අඩු වීමත්, ඇල් වතුර භාජනයේ උණුසුම වැඩි වීමත් අප අත් දැක තිබේ. පීරිසියකට දැමීමෙන් හෝ ඉහළ සිට පහළට වැක්කිරීමෙන් (තේ යාරයක්) වාතයේ ගැටෙන තේ ප්‍රමාණය වැඩි කිරීම මගින් ඉක්මණට පරිසර උෂ්ණත්වය තෙක් තේ කෝප්පයේ උෂ්ණත්වය පහළ දැමීමට හැකිය.මේ අවස්ථා දෙකේදීම අප කරන්නේ උෂ්ණත්වය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයක් දක්වා “තාප ශක්තිය” ගලා යාමට සැළැස්වීමයි.

ජලය ගලා යන්නේ ඉහළ සිට පහළටය. නැතිනම් වැඩි පීඩනයක සිට අඩු පීඩනයකටය. එමෙන්ම තාප ශක්තිය ගලා යන්නේ උෂ්ණත්වය වැඩි තැනක සිට අඩු තැනකටය.
එසේනම්, ශීතකරණයකදී හෝ වායුසමන යන්ත්‍රයකදී සිදු වන්නේ කුමක්ද?

පරිසරයේ උෂ්ණත්වයට සමාන වූ හෝ ඊට වඩා අඩු අගයක පවතින දෙයකින් තාප ශක්තිය ඉවත් කළහොත් එහි උෂ්ණත්වය පහළ යනු ඇත. එහෙත්, තාපය ගලා යන්නේ උෂ්ණත්වය වැඩි තැනකින් අඩු තැනකට නම්, මෙම කාර්යය කරන්නේ කෙසේද? මේ සඳහා අපට අයිස් භාවිතා කළ හැකිය. අයිස් වල උෂ්ණත්වය අඩු නිසා, යමක් සීතල කිරීමට අයිස් යොදාගැනීමට හැකිය.

ඒත් ඉතින් අපි අයිස් සාදාගන්නේ කෙසේද? අයිස් සෑදෙන්නේ වතුරේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් බිංදුවක් වූ ‍විටයි. අයිස් සාදාගැනීමට ජලයේ උෂ්ණත්වය අඩු කළ යුතුය. ඒ සඳහා ජලයෙන් තාප ශක්තිය ඉවත් කළ යුතුය. එසේ ඉවත් කරන්නටනම් ජලයට වඩා තවත් අඩු උෂ්ණත්වයක ඇති යම් දෙයක් සොයා ගත යුතුය. 

තාප ශක්තිය ලබා දුන් විට යම් කිසිවක උෂ්ණත්වය වැඩි වන බවත් තාප ශක්තිය ඉවත් කළ විට උෂ්ණත්වය අඩු වන බවත් දැන් අපට වැටහෙමින් තිබේ. උෂ්ණත්වය අඩු වූ විට තාපය ඉවත් කිරීමට නොහැකි නිසා, තව දුරටත් තාප ශක්තිය ඉවත් කිරීමේ ගැටලුවට දැන් අපි මුහුණ දී සිටිමු.
තාප ශක්තිය ලබා නොදී යම් කිසිවක උෂ්ණත්වය ඉහළ දැමීමට බැරිද?

එසේ කරගන්නට පුළුවන් වුණොත්, ඉහළ උෂ්ණත්වයේ සිට පහළ උෂ්ණත්වය කරා තාප ශක්තිය ගමන් කරන බැවින් අපට එහි ඇති තාප ශක්තිය ඉවත් කළ හැකිය. එසේ ඉවත් කරනවාත් සමගම, එහි උෂ්ණත්වය ඉහළ දැමීමට සිදු කළ දේට ප්‍රතිවිරුද්ධ දේ කිරීමෙන් එහි උෂ්ණත්වය අඩු වන අතරම තාප ශක්තිය ඉවත් වීම නිසා, තව දුරටත් උෂ්ණත්වය අඩු වී අපේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකි වනු ඇත.

ඉහළින්ම පිහිට ඉඩමේ එකතු වන වැහිවතුර ගලා යන්නේ ඊට වඩා පහළින් ඇති ඉඩමේ හෝ පාරේ ඇති කාණුවකට නේද? පහළින්ම ඇති ඉඩමේ වතුර බැස යන්නේ කොහාටද? ඒවා කුඹුරකට, ඇලකට ගොස් අවසානයේදී මුහුදට ගලා යනු ඇත. ඒත් පොළොවේ හෝ කාණුවේ හෝ ඇලේ වතුර මට්ටමෙන් පහළ මට්ටමක සාදන ලද ගෙයකට එකතු වන වතුර ගලා යන්නට තැනක් නැත. එවැනි අවස්ථාවලදී අපි කරන්නේ එම වතුර පොම්පයක් මගින් ඉවතට ගැනීමයි.

මේ රූපය බලන්න.

මේ දැක්වෙන්නේ මා ඉහත කී උදාහරණයයි. ඇඳ ඇති එක් එක් නිවසේ වැහි වතුර පාරේ ඇති කාණුවට ගලා යයි. අවසානයේදී කාණුවේ වතුර ඉවතට දැමිම සඳහා පොම්පයක් භාවිතා කරන්නට සිදු වේ. එයට හේතුව, කාණුවේ අවසානය මුහුදු මට්ටමටත් වඩා පහළින් පිහිටීමය.

මුහුදු මට්ටමෙන් පහළට ගිය විට වතුර පොම්පයක් භාවිතා කර ඉවත් කරන්නට සිදු වෙනවා වගේම, පරිසර උෂ්ණත්වයෙන් පහතට ගිය විට තාපය ඉවත් කරන්නටත් යම් උපක්‍රමයක් භාවිතා කරන්නට සිදු වේ.
වායු සමීතරණ පද්ධතියකදී හෝ ශීතකරණ පද්ධතියකදී පරිසර උෂ්ණත්වයෙන් පහළට යාමට නම් තාපය ඉවත් කිරීමේ උපක්‍රමයක් භාවිතා කරන්නට සිදු වේ. වතුර ගලා යාමට කාණුව භාවිතා කළාක් මෙන් තාපශක්තිය ගෙන යාමට භාවිතා කරන්නේ ශීතකාරකය නම් ද්‍රව්‍යයයි. එක් එක් නිවසේ වතුර කාණුවට එකතු කරන්නාක් මෙන්ම, එක් එක් ස්ථානයේ ඇති තාපය නලයක් තුළින් ගමන් කරන ශීතකාරකය විසින් උරා ගනු ලබයි. ශීතකාරකයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා පහළ නිසා මේ උරාගැනීම බාධාවකින් තොරව සිදු වේ.

දැන් මේ ශීතකාරකයේ ඇති තාපය ඉවත් කරන්නට නම් කාණුවේ වතුර ඉවත් කිරීමට පොම්පයක් භාවිතා කළාක් මෙන් සම්පීඩකයක් භාවිතා කර ශීතකාරකය වැඩි පීඩනයකට ලක් කළ යුතු වේ. පොම්පයෙන් ජලයේ මට්ටම ඉහළ දැමුවාක් මෙන් සම්පීඩනය කළ පසු ශීතකාරකයේ උෂ්ණත්වය ඉහළ යයි.මෙසේ ඉහළ ගිය උණ්ෂත්වය සහිත ශීතකාරකයෙන් පහසුවෙන්ම තාප ශක්තිය පරිසරයට ගලා යයි.
පරිසරයට තාප ශක්තිය ගලා ගිය පසුව, ශීතකාරකයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන වේ. දැන් කළ යුත්තේ පීඩනය නැවත අඩු කිරීමයි. එසේ පීඩනය අඩු කළ විට උෂ්ණත්වය පහළ යන බැවින් නැවතත් තාපය උරාගැනීමේ හැකියාව ශීතකාරකයට ලැබේ.

මේ ක්‍රියාවලිය නොකඩවා සිදු වීමෙන් ශීතකරණ පද්ධතිය හෝ වායුසමීකරණ පද්ධතිය ක්‍රියාත්මක වේ.
මේ විස්තරය ඔබට පැහැදිළි ඇතැයි සිතමි.

ගැටළුවක් වෙතොත් කමෙන්ට් එකක් දමන්න.

2012-12-09

වීදියේ බුදුහිමි

ශ්‍රී ලාංකීය ජන සමාජය අංග විකලත්වයට පත් කළ පිරිබාකරන් සහ ඔහුගේ ව්‍යාපාරය ආණ්ඩුවේ හමුදාවන් විසින් දෙවසරකට පමණ පෙර විනාශ ක‍රන ලදී. එසේ වුවද, එම ව්‍යාපාරය ඇති වීමට සහ වර්ධනය වීමට බල පෑ කරුණු විනාශ නොකරන ලද නිසා, නැවත පිරිබාකරන් වැන්නකු බිහි නොව‍නු ඇතැයි සහතිකයක් කිසිවකු විසින් ලබා දී නැත. තවද, පළමුවැනි පිරිබාකරන් බිහි වීමට ගත වූ කාලයට වඩා අඩු කාලයකින් දෙවැනි පිරිබාකරන් කෙනකු බිහි වීමට ඉඩකඩ වැඩි බව අප විසින් මතක තබා ගත යුතුය. එසේ වැඩි ඉඩකඩක් ඇත්තේ පළමුවැනි පිරිබාකරන් විසින් සපයන ලද උදාහරණ ඇති නිසාය.

මේ මාතෘකාවට පිවිසෙන්නට හේතු වූයේ අහම්බෙන් දක්නට ලැබුනු එක්තරා ලිපියකි. මේ ලිපිය ලියා ඇත්තේ දෙමළ ජාතිකයකු විසින් බවත්, ඔහු යම් කිසි දෙමළ ජාතිවාදී ව්‍යාපාරයක සාමාජිකයකු වියහැකි බවත් බැහැර කරලීමට නොහැකි වුවද, එම ලිපියේ සටහන් වී ඇති කරුණු එසේ පහසුවෙන් බැහැර කරලීමට‍ හැකි ඒවා නොවේ.

සිංහලයන් වැඩි දෙනකු අදහන්නේ බෞද්ධාගමය. එය වෙනත් අයුරකින් ප්‍රකාශ කළහොත් බහුතරයක් සිංහලයාගේ ආගම බෞද්ධාගමය. එහෙත් එයින් අදහස් වන්නේ බෞද්ධාගම සිංහලයාගේ බව නොවේ. මේ කතාවට උරණ වන්නන්ගෙන් ඇසීමට ඇත්තේ මෙරටට සියම් දේශයෙන්, රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව රැගෙන එන්නට සිදු වූයේ කුමක් නිසාද කියායි.

බුද්ධාගම හෝ බුදු පිළිම හෝ තමන්ගේ ආරක්ෂාව පිණිසත් ජාතියේ ආරක්ෂාව පිණිසත් යොදාගැනීම වූකලී බුද්ධාගමට කරන බරපතළ අවමානයකි. උඩරට දුම්රිය මාර්ගය වටවල දුම්රිය ස්ථානය ආසන්න ස්ථානයක නැවත නැවතත් සිදු වූ නාය යාම නවත්වාගැනීමට කර ඇත්තේ දුම්රිය මාර්ගය නාය යන ස්ථානයට පහළින් බුදු පිළිමයක් ගොඩනැගීම නොවේද? දැන් නාය යනවානම් දුම්රිය මාර්ගය නාය යාමට පෙර බුදු පිළිමය ඇති ස්ථානය නාය යෑමට භාජනය විය යුතුය. අපේ සිංහල බෞද්ධයන්ගේ තවත් සොයාගැනීමක් වන්නේ 2004 දෙසැම්බර් 26වැනිදා ඇති වූ සුනාමි ආපදාවේදී වෙරළබඩ තිබුනු බුදුපිළිම කිසිවකට හානියක් සිදු වුනේ නැති බවය. බුදු පිළිමය මෙසේ ජනප්‍රිය වන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ එම සංසිද්ධිය බව සිතීමට හැකිය.

කෙසේ වුවද, අද වන විට හන්දියක් ගානේ බුදු පිළිම ඉදි කරනු ලැබ තිබීම සුලබව දැකිය හැකිය. එම බුදු පිළිමය ඉදිරිපසින් කිසිවකු පාවහන් හෝ හිස්වැසුම් ගලවා ගමන් කරන්නේ නැති අතර කිසිදු අපරාධකරුවකු බුදු පිළිමය මග හැර යන්නේ නැති බවත් පැහැදිළිය. එනම් අපරාධකාරයා සියළු අපරාධ කරන්නේ බුදුපිළිමය ඉදිරිපසින් ගමන් කරමින් මය. බුදු පිළිමයට මුවා වීගෙන ය.

මීගමුව හෝ හලාවත පැත්තේ යනවිට හන්දියක් හන්දියක් ගානේ හමු‍ වන්නේ “සුරුවම්”ය. එනම් ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවන්ය. එයින් පිළිබිඹු වන්නේ එම පළාතේ ජනයාගේ ආගමික නැඹුරුවද, නොඑසේනම් වෙනත් යම් චරිත ලක්ෂණයක්ද කියා කීමට බෞද්ධයන්ට හැකිදැයි නොදනිමි. කෙසේ වුවත්, ඉස්ලාම් පල්ලියේ දවසට තුන් හතර වතාවක් ලවුඩ්ස්පීකර් බැඳගෙන කරන කටයුත්තම දැන් බෞද්ධ ආරාමවලත් කරන්නේ “අපිත් අපේ ආගම අදහනව යකෝ” කියා කියන්නට බැරි නිසාද, නැත්නම් බුදුරදුන් එසේ කරන්නටයැයි අනුදැන වදාළ නිසාද?.

මේ සිංහල බෞද්ධයන්ට කහවත්තේ කොටකෙතන පැත්තේ බුදුපිළිම ඉදිකරන්නට අදහසක් නැද්ද? කොටකෙතන ගමේ සිදුවන අපරාධ වලට වගකිවයුත්තේ සිංහල බෞද්ධයන් නොවන්නේයැයි තර්ක කරන්නට තවම කවුරුන් හෝ ඉදිරිපත් නොවීම විමතියට කරුණක් වන්නේ කලටක පෙර පැතිර ගිය “ග්‍රීස් යක්කුන්” බිහි වන්නේ රාමසාන් කාලයට බව තර්ක කරමින් ලියා තිබුනු හෑලි මතක් වන විටයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කළේ හේතු ඵල වාදී ධර්මයකි. එය අවිහිංසාව මුල් කරගත් ධර්මයකි. සමානාත්මතාව මත පදනම් වූ ධර්මයකි. ඒත් “සිංහල බුද්ධාගම”ට හේතු ඵල සම්බන්ධයක් නැත. හිංසාවෙන් හෝ එය රැකගන්නා බව එහි අයිතිකාරයන්නේ ප්‍රතිඥාවයි. සිංහලයා උසස් බව සිතන හෙයින් සමානාත්මතාවක් නැත. ආගම පතුරවන්නේ මුගුරෙන් හා අසිපතෙනි. එය තුළ අවිද්‍යාව ඉහළම මට්ටමෙන් නළියයි. ඔවුනට අනුව බුද්ධාගම පවතින්නේ පිළිම, දාගැබ්, බෝ ගස් පැවතුනහොත්ය. එයට මිනිසුන් අවශ්‍ය නැත. එම නිසා, සිංහල බුද්ධාගමත්, බුද්ධ ධර්මයත් එකක් නොව දෙකකි.

(මෙම ලිපිය 2012 දෙසැම්බර් 10 දින රාත්‍රී 10.00ට සංශෝධනය කරන ලදී. සංශෝධනය කළේ අකුරු පමණකි.මෙම සංශෝධනයේදී ශ්රී වැනි තැන් ශ්‍රී බවට පත් කැරිනි.)