2012-02-27

රාවණා යුගය ගැන ‍ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධක

ලෝකයේ දැනට පවතින සංවිධානාත්මක ආගම් වලින් පැරණිම ආගම හැටියට සැළකෙන්නෙ හින්දු ආගමයි. හින්දු ආගමට කතෘ වරයකු නැහැ. අනාදිමත් කාලයක් තිස්සේ ඇති වූ විශ්වාසයන් සහ ඒවා මත සැකසුණු සම්ප්‍රදායයන් තමා හින්දු ආගමේ පදනම වෙලා තියෙන්නෙ. ලෝකයේ ඇති වූ මානව ශිෂ්චාචාරයන් අතර අධ්‍යාත්මික නැඹුරුව වැඩියෙන්ම පිහිටියේ පුරාතන ඉන්දියාවෙයි. සිද්ධාර්ථ කුමාරොත්පත්තිය දඹදිව සිද්ධවෙන්නෙත් ඒ නිසාමනෙ. ඒ කාලය වන විට දඹදිව් තලයේ කිං සච්ච ගවේෂී වූ පුද්ගලයන් සහ කණ්ඩායම් රාශියක් ඉඳල තියෙනව. ෂඩ් ශාස්තෲවරු වශයෙන් කියැවෙන පූරණකස්සප, මක්ඛලීගොසාල, නිගණ්ඨනාථපුත්ත, සඤජයබෙල්ලට්ඨපුත්ත, පකුධකච්චායන, අජිත කෙසකම්බල යනාදීන් අතරින් ආගමික සංස්ථාවක් ඇති කරල තිබෙන්නේ අවිහිංසාව පදනම් කරගත් ජෛනාගම දේශනා කරපු නිගණ්ඨනාථපුත්ත පමණයි.
රාවණා රජතුමා ගැන අපට දැනගන්නට ලැබෙන්නෙ වාල්මිකී නමැත්තකු විසින් ලියන ලදැයි සැළකෙන රාමායණය නමැති සංස්කෘත වීර කාව්‍යයක් නිසායි. එයට අමතරව මහායාන බුද්ධාගමේ සඳහන් වන ලංකාවතර සූත්‍රය ගැන පාඨකයෙක් කමෙන්ට් කරල තිබුන පසුගිය ලිපියට.
රාමායණය කියන්නෙ අද්භූත සිදුවීම් වලින් ගහණ වූ ප්‍රබන්ධයක්. ඒකෙ එන චරිතයන් සමහරවිට ඉතිහාසගතව හෝ මුඛ පරම්පරාගතව පැමිණි ඒවා වන්නට පුළුවන්. රාමායණය ලියැවෙන්නෙ බුදුහිමියන් වැඩ සිටි කාලයට ආසන්න කාල වකවානුවක බවයි ඉතිහාසඥයන්ගේ පිළිගැනීම.විශ්වාසදායකත්වය අතින් එතරම් ඉහළ තලයක නොතිබුනත් කරුණු කාරණා බොහොමයක් අඩංගු කරල තියෙන විකිපීඩියා විශ්වකෝෂයේ රාවණා ගැන සඳහන් වෙන්නෙ තනිකරම හින්දු ආගමික දෘෂ්ටියකින්.එපමණක් නෙවෙයි, රාවණ සංහිතාව නමැති ජ්‍යෝතිෂ්‍යය සම්බන්ධ පොත රාවණ රජතුමාගේ නිර්මාණයක් බවත් එහි සඳහන් වෙනවා. ඒ ලිපියෙ හැටියට රාවණා ලංකාද්වීපයේ රජකම් කරල තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව 2554 සිට 2517 දක්වා වූ කාලය තුළයි. එනම්, ගෞතම බුදුහාමුදුරුවන්ගෙ කාලයට අවුරුදු 2,000කට පමණ පෙර කාලයකයි.
රාවණා යුගය ගැන ‍ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධක හමුවෙන්නෙ නෑ, එකිනෙකට පරස්පර තොරතුරු සහිත ග්‍රන්ථයන් හැරුණාම ඒත් රාවණා චරිතය මේ කලාප‍යේ රටවල් ගණනාවක සුළු වෙනස්කම් සහිතව දැකගන්නට පුළුවනි. රාමායණයේ සඳහන් කරුණු හැර රාවණා රජතුමා ගැන තිබෙන වෙනත් සාධක මොනවද කියල හොයල බලන්නෙ නැතුව අපක්ෂාපාතී නිගමනයකට එන්නට අපට හැකියාවක් නැහැ.
රාවණ රජතුමාගේ දෙමව්පියන් කවුරුද? දරුවන් කවුද? පරම්පරාවට සිදු වුනේ කුමක්ද?
රාවණා රජතුමා භාවිත කළ භාෂාව කුමක්ද? රාවණ සංහිතාව ලිව්වානම් ඒ කාල‍යේ ලේඛණ කලාව තිබුනාද? ඒවා ලියූ අකුරු ‍මොනවාද?
රාවණ රජතුමා ලංකාද්වීපයේ යම් ඉදිකිරීමක් කර තිබෙනවාද, එහි නටබුන් තිබෙනවාද?
රාවණා රජතුමා ගැන අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ නැහැ කොතනකවත්. බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කරන්නේ මෙරට වාසය කරල තියෙන යක්ෂ ගෝත්‍රික සහ නාග ගොත්‍රික පාලකයන්ගේ හෝ ජනතාවගේ ප්‍රශ්න අරබයා බවයි සාහිත්‍යයේ කියැවෙන්නෙ. ඒත් රාවණාගේ පරම්පරාවක් ගැනවත් කියවිලා නැහැ. එහෙම වෙන්නෙ ඇයි?
තිරිසන් සතකුගෙන් අපේ ජාතිය පැවතෙනවාය කියන එක පිළිගන්න බැහැනෙ කොහොමටත්. පහුගිය ලිපියට එක කමෙන්ට් එකක් එවල තිබුන, සිංහබාහුගේ පියා සිංහයෙක් නොවෙයි සිංහ වංශයේ මනුස්සයෙක් බව කියල. ඒ කතාව කෙසේ වුවත්, විජය කුමාරයා කියන්නෙ පිටුවාහල් කරන ලද මනුස්සයෙක්. ඒකත් නෑ කියල අපට කතාවක් හදාගන්න බැරි කමකුත් නෑ. ඒත් ඉන්දියාව ගෑවෙන්නෙම නෑ රාවණා සිංහලයෙක් කියල ඔප්පු කරගන්න පුළුවන්නම්.
ඒකට තියන බාධාව තමයි සාක්ෂි නැති වීම. ලෝකෙ මිනිස්සු ව්‍යාප්ත වෙලා තියෙන්නේ මූලයන් තුනකින් කියල මතයක් තියෙනවනෙ. ඒ මූලයන් තුන ඇති වුනෙත් එක මූලයකින් වෙන්නට පුළුවන්.
මේ කතන්දර සියල්ල අනුව පැහැදිළි වෙන්නෙ කලින් ලිපියේදී සඳහන් කළ විදිහට ගංගාවක මුල සොයනවා වගේ ඈතට දිවයන අතීතයක් සහිත ජාතියක ආරම්භය සොයන්නත් බෑ කියන කාරණයයි. ඇමරිකාවෙ හරි ඕස්ට්‍රෙලියාවෙ හරි තත්වය මෙයට හාත්පසින්ම වෙනස්. ලංකාව වගේ අතිශයින්ම සම්පත් වලින් පිරුණු (ඒ කාලෙ හැටියට වැදගත් සම්පත්) භූමි තලයකට අහම්බෙන් හරි කඩා පාත් වුනු එකෙක් ලේසියෙන් ආපසු යන්නෙ නැති නිසා, මේ රටේ ජනතාව වරින් වර පැමිණුනු කණ්ඩායම් සහ පුද්ගලයන් ගණනාවකගෙන් පැවතගෙන එන බවයි මට හිතෙන්නෙ.
(මතු සම්බන්ධයි)

No comments:

Post a Comment

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.