2012-02-20

ටොයිලට්

කවුරු කවුරු හරි සිංහල බ්ලොග් අවකාශය තුළ පෝස්ට් කීපයක්ම දාල තිබුන චූ (සහ කක්ක) ගැන. ඒ පෝස්ට් වල බොහොම බර සාර කරුණු කාරණා අඩංගු වෙලා තිබුන වගේම සමහර පෝස්ට් කියවද්දි දැනෙන චූටි කිචිය වගේ එකක් ඇරුණහම වෙන මෙලෝ දෙයක් ගන්න තිබුනෙ නැති ඒවත් කියවන්න ලැබුන.
හැබැයි මට දකින්න ලැබුනෙ නැහැ තවමනම් ටොයිලට් ගැන පෝස්ට් එකක්. ඒ වුනාට චූ කියපුවහම ටොයිලට් අමතක කරන්න බෑනෙ අද කාලෙ. හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නෙ ජනාවාස වූ පළාත් වලට විතරයි. කිලෝ මීටර් එකක් යනකොට ගෙවල් හතරක් පහක් විතරක් දකින්න ලැබෙන පළාතකදිනම් ටොයිලට්වලට ලැබෙන්නෙ බොහොම අඩු වටිනාකමක්.

හැබැයි ඉතින් මොකක් හරි කානිවල් එකක් වගේ කේස් එකක් තියෙනකොට, එහෙම නැත්නම් පළාතම ජනාකීර්ණ බවට පත්වෙන කාලයකදි හරි අවස්ථාවකදි හරි ටොයිලට් ගැන වැඩිපුර හිතන්න වෙනව. නුවර පෙරහැර කාලෙට, සිරීපාදෙ යන කාලෙට, කතරගම පෙරහැර කාලෙට (නැතත් කතරගමනම් හැමදාම සෙනග වැඩියිනෙ.) බොබයිල් ‍ටොයිලට් තියනවනෙ දැන්නං. ඔන්න දැයට කිරුළ බලන්න ගිය අයට බොහොම වටිනා කියන ටොයිලට් එකක චූ කරන්න ලැබුන කියල මට ඇහුණ විරුද්ධ පක්ෂේ කට්ටිය බෙරිහන් දෙනව.
අද මේ කතා කරන්න හදන්නෙ ටොයිලට් සම්බන්ධයෙන් ගොඩක් දෙනකුට මුහුණ පාන්න වෙන ගැටළුවක් ගැන. මේක තාවකාලික නිසා අමුඩයක් ගහගන්න තමයි අපේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නෙ. කතන්දරේ පැහැදිළි කරගන්නනං පල්ලෙහා තියෙන පින්තූරෙ දිහා ටිකක් බලල ඉන්න.


මේ පින්තූරෙ තියෙන්නෙ ජල මුද්රිත වැසිකිළි කියල අපි හඳුන්වන වැසිකිලියක්. ඕක නම් අර සුද්දන්ගෙ ටයිප් එකේ එකක්. ඒ කියන්නෙ ෂපාන් එකේ ඉඳගෙන තමන්ගෙ කටයුත්ත කරගන්න පුළුවන් වර්ගයේ එකක්. ඉන්දියාව, ලංකාව ඇතුළු ජපානය දක්වා තියෙන පෙරදිග රටවල දකින්න හම්බවෙන “ඇණ තියාගෙන” ඉඳගන්න වර්ගයෙ ඒවත් මේ සිද්ධාන්තයෙන්ම තමයි වැඩ කරන්නෙ.
මේකෙ තියන වටිනාකම තමයි, අර කොමඩ් එක පතුලෙ හැම වෙලාවෙම රැ‍ඳිල තියන අර නිල් පාටට ඇඳලා තියෙන වතුර ටික නිසා, කක්ක එකතු වෙන වැසිකිළි වලේ දුර්ගන්ධය බටේ දිගේ එළියට එ‍න්නෙ නැති එක. ඉතින් ඒ නිසාම, ලෙඩ රෝග පැතිරීමේ අවදානම අඩු වෙනව කියන එකත් පැහැදිළි‍යිනෙ.
සාමාන්‍යයෙන් ඔය කක්ක වලවල් ලේසියෙන් පිරෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි, කක්ක කියන ජාතිය සිලි සිලි බෑග් වගේ නොදිරා තියෙන්නෙ නැති එක. හැබැයි මේ වැසිකිළි වලකට සබන් වතුර ගියොත්නම් වැඩේ කෙළවෙනවා. ඒ කියන්නෙ දිරා යාම නවතිනවා. ඒකට හේතුව තමයි, සබන් නිසා අර “දිරා යාම” ඇති කරවන බැක්ටීරියා වර්ග විනාශ වීම. අනිත් අනතුර තමයි නොදිරන දේවල් වැසිකිළි වල තුළට දැමීම. ඒකෙන් එන ක්ෂණික විපාකයක් තමයි අර වංගු සහිත බටේ බ්ලොක් වෙන එක. බ්ලොක් එක තල්ලු කරල ක්ලීන් කරගත්ත වුනත්, වලේදි ඒක දිරන්නෙ නැති නිසා, සෑහෙන පාඩුවක් සිද්ද වෙනව.
මම මේ පෝස්ට් එක ලියන්න කල්පනා කළේ ඔය කවුරුත් දන්න කතන්දර කියන්න නෙවෙයි.
මං ඔය පින්තූරෙ ලා කොළ පාටට ඇඳල තියෙන්නෙ සාමාන්‍යයෙන් වාතය තියෙන කොටස. අපි අළුතින් වතුර එකතු ‍කරනකොට ඒ වාතය පොළවට, පස් අතරට යනවා. වැසිකිළි වලවල් සාමාන්‍යයෙන් කපරාරු කරන්නෙ නැත්තෙ ඒකයි. වාතය විතරක් නෙවෙයි වතුරත් පසට උරා ගන්නවා. ඝන කොටස්, ඒ කියන්නෙ කක්ක, අර මම ඉස්සෙල්ල කිව්ව වගේ බැක්ටීරියාවන් විසින් අනුභව කරනු ලබනවා.
ඉතින්, පොළවෙ ජල මට්ටම තරමක් ඉහළ තියෙන පළාත් වල එක දිගට වහිනකොට ඔය ටොයිලට් වලවල් ඇතුළට වතුර උනන්න ගන්නව. එහෙම උනල උනල අර වැසිකිළියෙ ඉඳල වලට එන බටේ කට වැහෙනව. වැහුනට පස්සෙ ඒ බටේ ඇතුළේ තියන වාතයට පිට වෙන්න හැටියක් නෑ. ඉතින් අපට හිතෙන්නෙ වැසිකිළි වළ සම්පූර්ණයෙන් පිරිල කියල. ඒ වුනත් වලේ තව ඉඩ තියෙනව. වතුර බහින්න විදියක් නෑ වාතය පිරිල නිසා බටේ ඇතුළෙ. ඉතින් අපි කරන්නෙ දවස් දෙක තුනකට, වැස්ස පායලා පොළව වේලිලා යනකන් මොකක් හරි විකල්පයක් හොයාගෙන දුක් විඳින එක.
ඉතින් මේක වළක්වගන්නනං කරන්න තියෙන්නෙ බටේ වල ඇතුළෙන් පහළට යවන්නෙ නැතුව පුළුවන් තරම් ඉහළකදි නවත්තගන්න එක. එතකොට වල සම්පූර්ණයෙන්ම පිරෙනකන් වුනත් අපට පාවිච්චි කරන්න පුළුවන්.
වැසිකිළි හදන බාස් උන්නැහෙලා ඒ පැත්ත හිතන්නෙ නෑ. එයාල හිතන්නෙ උඩ ඉඳන් පහළට වතුර වැක්කෙරෙන්න ගත්තහම වල ඇතුළේ තව වලක් හෑරෙන්න පුළුවන්, නැත්නම් වලේ ඉවුරු කැඩිල යන්න පුළුවන් කියල. එහෙම වෙනවනම් ඒකට වෙන මොකක් හරි සිස්ටම් එකක් දාගන්න පුළුවන් ලේසියෙන්ම. එහෙම නැත්තං අඩු වශයෙන් බටේ උඩ හරියෙන කුඩා සිදුරක් හරි හදල තිබුනනං ඔය එයා ට්‍රැප් වීම සිද්ද වෙන්නෙ නෑ.

1 comment:

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.