2012-02-20

ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ ප්‍රශ්නාර්ථය කුමක්ද?

ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ ප්‍රශ්නාර්ථය කුමක්ද?
මේ පෝස්ට් එක ලියන්නෙ ලෝක සම්මතයට එරෙහි වෙනව කියල හෙළුවැල්ලෙන් යන්න හදන, පයින් යනකොට මහ පාරෙ වම්පැත්තෙන් යන්න හදන, හන්දි වල තියෙන ට්‍රැෆික් ලයිට් වල රතු පාට පත්තු වෙලා තියෙද්දි කඩා ගෙන යන්න හිතන, කහ ඉරක් ඇඳල තියෙද්දි වෙනත් තැන්වලින් පාර හරහ පනින්න හදන, විකාර මනසක් සහිත අයටවත්, ඊට පොඩ්ඩක් විතර අඩු මට්ටමේ ලෙඩක් කියල හිතන්න පුළුවන් ආබාධයක් වන සම්මතයට එරෙහිව ලිවීම කියන රෝග තත්වයෙන් පීඩා විඳින අයටවත් කියවන්න එහෙම නෙවෙයි කියල මුලින්ම කියන්න වෙනවා.
ලියනවා කියල කියන්නෙ සන්නිවේදන ක්‍රමයක්. ඒ කියන්නෙ තමන්ගෙ අදහස තවත් කෙනකුට සීයට සීයක් හරියටම දැනුම් දීමට යොදාගන්නා උපක්‍රමයක්. මානව සංහතිය ආරම්භයේ සිටම වගේ මිනිසා විසින් සාර්ථක ලෙස භාවිතා කළ හැකි සන්නිවේදන ක්‍රම අත්හදා බලා ඇති බවට සාක්ෂි තිබෙනවා. මං එහෙම කියන්නෙ සතුන් පවා සන්නිවේදන ක්‍රම අනුගමනය කරන බව සොයාගෙන තිබෙන නිසා.
මුල් කාලයේ මිනිසා භාෂාව නිපදවා ගත්තත්, ඇසෙන මානයේ සිටි අය හැරෙන්නට අනිත් අයට යමක් දැනුම් දීමට හැකියාවක් තිබුනෙ නැහැ. ඒත් සිරිත් සම්මත වශයෙන් යම් යම් දේ ඔවුනට පුරුදු වෙලා තියෙන්න ඇති. සම්මතයට එරෙහි ‍වන එවුන් එක දවසෙන්ම කම්බස් වෙන්නත් ඇති ගෝත්‍ර නායකයා අතින්.
මට මේ ලිපිය ලියන්න හිතුනෙ අද ජාතික පුවත්පතක පළවෙලා තිබුනු ලිපියක් කියවීමෙන පස්සෙ. මේ ලිපිය මොකක්ද කියල ලින්ක් එකක් දාන්න මං කැමති නැහැ. ඒක මගෙ ශරීර ‍සවුක්කියට පරහක් වෙන්න ඉඩ තියෙනවනෙ. අනිත් එක, කවුරුත් දන්නව ඇතිනෙ අශ්ව රේස් දාන්න බූරුවෙක් මිලට ගත්ත පාදිළි උන්නාන්සෙට වෙච්ච වැඩේ. ඒ නිසා පත්තරකාරයෝ තරහ කරගන්නෙ නැතුව එයාල අතින් සිද්ද වෙන වැරදි හදවගන්න තමයි උත්සාහ කරන්න ඕනැ.
මං මේ කියපු ලිපියෙ තිබුනු ඡේද වලින් දෙක තුනක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ පටන් ඇරගෙන තිබුනෙ ඒ අනුව කියන යෙදුමෙන්. මෙහෙම ලියන්නෙ ඒ පත්තරේ විතරක් නොවෙයි කියන එකත් ඒ පත්තරේ තියෙන හැම ලිපියක්ම මේ වගේ වැරදි වලින් ගහණ ඒවා නොවන බවත් අවධාරණයෙන්ම කියන්න ඕනැ.
දැන් අපි බලමු මොකක්ද මේ ඒ අනුව කියන්නෙ කියල.
සිංහල භාෂාවෙ සමහර වචන තියනව අවධාරණය සඳහා හෝ අලංකාරය සඳහා යොදන. මිනිසා වූකලී දියුණු මනසක් සහිත සත්වයෙකි කියන වාක්‍යය වූකලී කියන වචනය නැතුව ලියන්නත් පුළුවනි. ඒ වුනත්, ඒ වචනය හෝ ඊට සමානවම යෙදෙන වනාහි කියන වචනයත්, කථා කරන භාෂාවෙදි භාවිතා වන ඇවිල්ල කියන වචනයත් වාක්‍යයකට යෙදුනම ඒ වාක්‍යයෙන් කියවෙන දේ ටිකක් බරසාර වෙනව. දැන් බලන්න මෙහෙම කිව්වම කොහොමද කියල. සිරිපාල ඇවිල්ල සත පහකට විස්වාස කරන්න බැරි පුතය. ඔය වාක්‍යයම කියන්න පුළුවන්නෙ සිරිපාල සත පහකට විස්වාස කරන්න බැරි පුතය කියල.
ඒ වචනය එහෙම වුනත්, ඒ අනුව කියන වචනයනම් එහෙම වචනයක් නෙවෙයි. ඒ අනුව කියල කියන්න පුළුවන් වෙන්නෙ, යම් ලිපියක පළමුවැනි වාක්‍යයෙන් හෝ දෙවැනි වාක්‍යයෙන් විස්තර කරපු දෙයක ප්‍රතිපලය හැටියට සිද්ද වෙන හෝ සිද්ද වුනු දෙයක් ගැන කියද්දි පමණක්මයි. ඒ කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්.
අද මධ්‍යම රාත්‍රියේ සිට පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට උදේ සිට පාන් රාත්තලක මිල රුපියල් දෙකයි පනහකින් වැඩි වනු ඇත.
අනේ ‍එහෙම වෙන්නනං එපා, උදාහරණයක් හැටියටයි කිව්වෙ.
ඒකෙදි මං ඒ අනුව කියන වචනය පාවිච්චි කරල තියෙන්නෙ පාන් රාත්තලේ මිල වැඩි වීමට පිටි මිල වැඩි වීම හේතුවක් වන නිසායි.
දැන් කවුරුහරි මෙහෙම කියනවනං මොකද වෙන්නෙ බලන්න.
අද මධ්‍යම රාත්‍රියේ සිට පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් පහකින් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වෙළඳ අමාත්‍යාංශය විසින් සියළුම වෙළෙඳ ශාලා ඉදිරිපස මිල දර්ශනයක් එල්ලා තිබිය යුතු බව නිවේදනය කරයි.
පිස්සු නේද?
මට විස්තර කරන්න අවශ්‍ය දෙවැනි කාරණය නම් අධ්‍යාපනය හැදෑරීමයි.
අධ්‍යාපනය යනු කුමක්ද? අධ්‍යාපනය යනු ඉගෙන ගැනීම ය. ප්‍රාථමික අධ්‍යාපනය යනු කුඩා දරුවන්ගේ ඉගෙන ගැනීම ය. ද්විතීයික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ආදී වශයෙන් හඳුන්වනු ලබන්නේ පාසැලක ඉහළ පංතිවල දරුවන්ගේ සහ පාසල් අධ්‍යාපනය හමාර කළ දරුවන්ගේ ඉගෙනගැනීම ය. ලිංගික අධ්‍යාපනය යනු ලිංගික කාරණාවන් ගැන ඉගෙන ගැනීමය. අධ්‍යාපන අමාත්‍යාංශය තිබෙන්නේ ඉගෙන ගැනීම ගැන තීන්දු තීරණ ගැනීමටයි.
හදාරණවා යනු ඉගෙන ගන්නවා යන්නට සමාන වචනයකි. ලොකු මාමාගේ පුතා වෛද්‍ය විද්‍යාව හදාරන්නේ දොස්තර කෙනකු වීමටය. අක්කා නීතිය හදාරන්නේ පෙරකදෝරුවෙකු වී අසරණයන් ගසා කෑමටයි.
ඉතින් අධ්‍යාපනය හදාරනවා කියන්නේ කුමක්ද?
අධ්‍යාපනය ලබාගන්නවා කියා හෝ ශිල්ප ශාස්ත්‍ර හදාරණවා කියා කීම නිවැරදි ව්‍යවහාරය නේද?
වතුර නානවා කියා මිසක් නෑම නානවා කියා කියන්නෝ සිටිත්ද?
තුන්වැනි කාරණාව ප්‍රශ්නාර්ථයයි.
අළුත් අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිංහලෙන් ලියන්න බැරි වීම ප්‍රශ්නයකි.
එය ප්‍රශ්නාර්ථයක් ද?
ප්‍රශ්නයක අර්ථය දැක්වීමට යොදාගන්නා ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණයි. වාක්‍යයක් දුටු විට එය ප්‍රශ්නයක් බව වහා හැදිනගැනීමට ප්‍රශ්නාර්ථ ලකුණ උපකාරී වේ. මෙලෙසම විෂ්මයාර්ථ ලකුණක් ද ඇත. මේ ලකුණු හරියට යෙදීමට උගන්වා නොතිබීම විශ්මය‍‍ාර්ථයක් ද?

1 comment:

  1. ඔලුව විකාර විය. ඒ අනුව මට පිස්සු හැදීගෙන එයි....

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.