2015-01-06

මී ළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා

මේ ලිපිය, ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැදවූ ආසන්නයේ කලම්බු ටෙලිග්‍රාෆ් බෙව් අඩවියේ පළ වූ P. Bertie Ranaweerage යන අයගේ Is Maithri The Next President? ලිපියේ ඡායානුවාදයක් බව කරුණාවෙන් සළකන්න. 
මී ළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නන් දැඩි ලෙස විශ්වාස කරන බව පැහැදිළිය. රාජිත සේනාරත්න කියන්නේ මෛත්‍රී සියයට 55කට වඩා වැඩියෙන් ඡන්ද ලබාගන්නා බවය. මෙය අවිශ්වාස කිරීමට ලියුම්කරුට හේතුවක් නැත්තේ මග තොටදී හමු වූ හැම අයෙක්ම පාහේ මෛත්‍රීට ඡන්දය දීමට සිතාගෙන සිටින බව කියන නිසාය. මා කථාකළ අය මට කී දේවල් මෙහි ලැයිස්තුගත කරමි. පාඨකයාට තමන් කැමති නිගමනයකට එළඹීමට නිදහස ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් පවුලක සාමාජිකයකු වන මගේ පුත්‍රයාගේ මිත්‍රයකු මෙසේ කීය.

මමත් බිරිඳත් ඡන්දෙ දෙන්නෙ මෛත්‍රිට. එක පවුලක් රටම සූරගෙන කනවා. මගේ තාත්ත මහින්දට. එයා මට කිව්ව මෛත්‍රිට ඡන්දෙ දීල ගෙදර පස් පාගනව එහෙම නෙමෙයි කියල. මගෙ නැන්ද කෙනෙක් ඉන්නව කවදාවත් ඡන්දයක් දාල නැති. ඒත් මේ පාර මෛත්‍රිට දෙනවලු.

මට දුරකථනයෙන් කථා කළ මාතර ‍ප්‍රදේශයේ මෘදුකාංග ඉංජිනේරුවෙක් කිව්වෙ මෙහෙමයි.

මං දෙන්නෙ මෛත්‍රිට, ආණ්ඩුවේ තියන අන්තිම ජරා දූෂණය නිසා. මගේ සහෝදරිය කියන විදිහට එයා වැඩ කරන කොළඹ කාර්යාලයේ පනහක විතර සේවක සේවිකාවන්ගෙන් දහයක් වත් මහින්දට දෙන්නෙ නැතිලු.

අපේ ගමට කිලෝ මීටර් 40ක විතර දුරක ජීවත් වන ඉංගිරිසි සේවා උපදේශක කෙනෙක් කිව්ව එයාලගෙ මුළු පවුලම ශ්‍රී ලංකා කාරයෝ බවත්, 2005 දිත් 2010දිත් මහින්දට ඡන්දෙ දුන් බවත් ඒත් මෙවර මෛත්‍රිට දෙන බවත්. හේතුව විදිහට කිව්වෙ එක පවුලක් විසින් මුළු රටම රන් කරවීමයි.

අපේ ගෙදරට හැතැම්ම දෙක තුනක දුරක ජීවත් වෙන මෝටර් මැකෑනික් කෙනෙක් කිව්ව එයා ඡන්දෙ දෙන්නෙ මහින්දට බවත්, එයා බය නැතුව ජීවත් වෙන්නෙ මහින්ද නිසා බවත්.

මේ රජයෙන් සෑහෙන පල ප්‍ර යෝජන ලබාගත්තා වූ ව්‍යාපාර කීපයක අයිතිකරුවකු කීවේ “මං දෙන්නෙ මහින්දට. මේ ලැබුනු නිදහසත් අධිවේගී මාර්ග ටිකත් ඇති මට ඒක තීරණය කරන්න. මං ඔය ජනාධිපතිට විරුද්ධව කියන අනික් චෝදනා ගැන එච්චර තකන්නෙ නෑ“ යනුවෙනි.
මගේ නිවසට කිලෝ මීටර් 25ක දුරකින් වෙසෙන තවත් මෝටර් කාර්මිකයෙක් මෙසේ කීවේය.

“අපි යූ ඇන් පී එකට කවදාවත් ඡන්දෙ දීල නෑ. අපි කවදාවත් ආණ්ඩුවෙන් වාසියක් ගත්තෙත් නෑ. ගන්න බලාපොරොත්තුවකුත් නෑ. මට ජනාධිපතිගෙ කටවුට් පෝස්ටර් පේන්න බෑ. මං දන්නෑ ඇයි කියල. අපේ අම්ම මෛත්‍රිට ඡන්දෙ දෙන්න ඕනැ කියනව. මායි බිරිඳයි දෙන්නෙ මෛත්‍රිට. තාත්ත මහින්දට දෙනවයි කියන නිසා මං එයාව ඡන්දෙ දාන්න එක්ක යන්නෙ නෑ.“
මෛත්‍රී දිනන බවට හැම අතින්ම පේන්න තිබුනත් අවසාන මොහොත දක්වාම මහින්දත් එයාගෙ පවුලෙ අයත් පොදු අපේක්ෂකයා පැරදවීමට සටන් කරාවි. ඔහුගෙ හෙංචයියෝ මෛත්‍රි දිනන එක වළක්වන්න හැම දෙයක්ම කරනවා. මෛත්‍රිගෙ රැසවීම් වලට වෙන් කරපු පිට්ටනි ගණනාවක්ම මහින්දට හිතවත් පළාත් පාලන සභාපතිවරු දැනටමත් අවලංගු කරලනෙ.  උජරට වතුකරයේ ඡන්ද කාඩ් පැහැරගෙන ඔවුන්ට තර්ජනය කරපු අවස්ථාවක් ගණනාවක් අතීතයේදි තිබුනා. ඒක නැවත නොවේවි කියල කියන්න බෑ.

මෛත්‍රිට තියන තවත් අභියෝගයක් තමයි දෙමළ සහ මුස්ලිම් ඡන්ද ටික ලබාගැනීම. ආණ්ඩුව හොඳටම දන්නව දෙමළ මුස්ලිම් බහුතරය මහින්දට නැති බව. මෛත්‍රි බලාපොරොත්තු වෙනවනම් දෙමළ මුස්ලිම් ඡන්ද, ඔවුන්ගෙ දැවෙන ප්‍රශ්න වලට මෛත්‍රි ළඟ තියන විසඳුම් මොනවද කියල කියන්න වෙනවා. මෛත්‍රී සැරයක් කිව්ව එයා එල් එල් ආර් සී රිපෝර්ට් එක අනුව වැඩ කරනව කියල. ඒත් ඒ බව දෙමළ මුස්ලිම් ජන කොටස් දැනුවත් නැති බවයි මගෙ අදහස. උතුරු නැගෙනහිර පළාත් වල ප්‍රවාහන සේවා අඩාල කරවන්න ඉඩ තියනවා. නොදෙන හැම ඡන්දයක්ම ආණ්ඩුවේ වාසියට හේතු වෙනව මේ වෙලාවෙ.
ජනවාරි 8වැනිදා යනු ශ්‍රී ලංකාවේ ඉරණම තීන්දු කරන දිනය බවට සැකයක් ඇත. වර්තමාන ජනාධිපතිවරයා නැවත තෝරාගනු ලැබුවහොත් තවත් අවුරුදු 8ක්වත් ගතවන තුරු ඔහු ජනාධිපති වශයෙන් කටයුතු කරනු ඇත. එක්සත් ජාතික පක්ෂය කොටස් කීපයකට කැඩී සමහර කොටස් ජනාධිපතිවරයාගේ රජය සමග එකතු වනු ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කරගැනීම සඳහා වූ ජන මත විචාරණයක් අපේක්ෂ කළ හැකිය. රනිල් හෝ සජිත් තවත් දශක ගණනාවකට එජාපය ගොඩගන්නට අසමත් වනු ඇත. දෙමළ ජනතාව තව තවත් පීඩාවට පත් වනු ඇත. බොදු බල සේනාව වැනි කල්ලි අබෞද්ධයන්ට, මුස්ලිම්වරුන්ට විරුද්ධව යුධ ප්‍රකාශ කරනු ඇත. ශ්‍රී ලංකාව මහජන නැගිටීම් වලටත් අල් ඛයිඩා වර්ගයේ ත්‍රස්තවාදයටත් තෝතැන්නක් වනු ඇත.

1 comment:

  1. කරුණු එසේ හෙයින් එකම විකල්පය වන්නේ මෛත්‍රී ජනාධිපති කිරීමය.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.