2015-01-15

නාරාහේන්පිට සැහැල්ලු ගුවන් යානය - හෙලුදරව්වක්ද?

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ වූ ගබඩාවකින් “අනාවරණය“ කරගන්නා ලද සැහැල්ලු ගුවන් යානය ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් විසින් යෝෂිත රාජපක්ෂ වෙත තෑගි දුන්, පියාසර කළ නොහැකි එකක් බව වාර්තා විය. චන්ද්‍රන් රත්නම් 2010දී අත්අඩංගුවට  ගෙන තිබුනේ ඔහු විසින්  අලිමංකඩ නමැති චිත්‍රපටය නිෂ්පාදනය කරද්දී නිෂ්පාදක සමාගමේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගොස් අවුරුද්දකට පෙර අත්හැර ගිය බව කියැවෙන නිවසක් තුළ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හතරක් තිබීසොයාගැනීම නිසාය.

ඒ කතාව මෙම සිද්ධියට අදාළ නැත. චන්ද්‍රන් රත්නම් මහතාගේ බිරිය ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාසැලක් පවත්වාගෙන ගොස් ඇත. එය ලියාපදිංචි කර තිබුනාදැයි අප දන්නේ නැත. ලියාපදිංචි නොකළ ටියුෂන් පංති ලංකාවේ එමට ඇති නිසා මේ ගුවන් නියමු පුහුණු පාසල ලියාපදිංචිය ගැන ප්‍රශ්න කිරීම කුහක කමකි.

චිත්‍රපට නිෂ්පාදනයකු යනු ව්‍යාපාරිකයෙකි. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් හෝ නළු නිළියන්, කැමරා ශිල්පීන්, කතා රචකයන්, ගීත රචකයන්, වේශ නිරූපන ශිල්පීන් ආදීන් කලාකරුවන් වශයෙන්  සළකනු ලැබූවද, චිත්‍රපට නිෂ්පාදකයන් ද කලාකරුවන් ලෙස සැළකීමට ලියුම්කරු මැලිකමක් දක්වයි.

දින කීපයකට පෙර “අනාවරණය“ කරගත් සැහැල්ලු ගුවන් යානය දැනට සති කිහිපයකට පෙර දෙනෝදාහක් ගැවසෙන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ගබඩා කරනු ඇතැම් අය දැක තිබිනි. 

නාරාහේන්පිට පොලිසිය නොදැන සිටියාට එය ගබඩා කරන අවස්ථාවේ පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු පිරිසකගේ ආරක්ෂාව එයට ලැබී තිබුනු බවත් ආර්ථික මධ්‍යස්ථානයේ පාරිභෝගිකයෝ කියති. ආරක්ෂාව සැපයූ පිරිස පොලිස් නිලධාරීන්මද, නැතිනම් කුඹුක්ගැටේට නිල් බලකායේ ඇඳුම් ඇඳගෙන ගිය පුද්ගලයන් මෙන් පොලිස් ඇඳුම් ඇඳගත් වෙනත් පුද්ගලයන්ද යන්න සාමාන්‍ය ජනතාව නොදනිති. මෙය අනාවරණය කරගත්තේ 119ට ලැබුනු ඔත්තුවක් අනුව බව කීවත් ඒ දවස්වල කවුරුත් එසේ ඔත්තුවක් නොදෙන්නට ඇත්තේ පොලිස් නිලධාරීන්ද සමග කරන ලද ඒ සෙල්ලම රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන ලද්දක් බව පෙනුනු නිසා විය හැකිය.

එසේම, මේ පිළිබඳව කටකථා පැතිර තිබිනි. මහින්ද රාජපක්ෂ මහතාට නැගෙනහිර කොළඹ ආසනයෙන් “සිංහල“ ඡන්ද අඩු වීමටද එය හේතුවක් වන්නට ඇත.

යෝෂිත රාජපක්ෂ නමැති පුද්ගලයාට හිමි භාණ්ඩයක් ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ගබඩා ගත කිරීමට හේතුව පැහැදිළි නැත.

ගබඩා කිරීම සඳහා වෙනත් ස්ථානයක් නොමැත්තේනම් ඕනෑම පුද්ගලයකුට සිය පරණ වාහන කබල් ආර්ථික මධ්‍යස්ථානයක ගබඩා කිරීමට හැකියාව තිබේදැයි යන්න පැහැදිළි නැත.

එසේ ගබඩා කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීමට හේතුව පැහැදිළි නැත.

කොහොම වුණත් මෙසේ යමක් අනාවරණය කිරීම හොඳය. තව ඉදිරියට මෙවැනි තවත් දේ අනාවරණය වනු ඇත.


වැඩිදුර විමර්ශන කිරීමෙන් අනතුරුව මෙය “හෙලුදරව්වක්“ ලෙස නොව හෙළිදරව්වක් ලෙස ඉදිරිපත් කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට හැකියාව ලැබේවා.

1 comment:

  1. තව බඩු එයි එළියට. අවසාන ප්‍රාර්ථනාවනම් සෝක්.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.