Showing posts with label සිතිවිලි. Show all posts
Showing posts with label සිතිවිලි. Show all posts

2011-10-26

ආකල්පය නොහොත් ඇටිටියුඩ් එක

ආකල්ප කියන එක දැන් බොහොම ජනප්‍රිය මාතෘකාවක් වෙලා.
  • අපේ රට සංවර්ධනය කරන්න, දියුණු කරන්න අමාරු වෙන්නෙත්,
  • අපේ රාජ්‍ය සේවයේ දියුණුවක් ඇති කරගන්න අමාරු වෙලා තියෙන්නෙත්,
මේ ආදී නොයෙකුත් රෝගාබාධ වලට හේතුව අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ නැති වීම කියන එකයි අහන්න ලැබෙන්නෙ. ඉතිං ඒ නිසා, රාජ්‍ය සේවකයන්ගෙ ආකල්ප යහපත් කරවන්න නොයෙකුත් වැඩසටහන්, වැඩ මුළු, පවත්වනවා.
මෑතකදී අතින් අතට ගියා එක්තරා ඊ මේල් එකක්. ඒකෙ කියල තියෙන්නෙත් රටක් දුප්පත් ද නැතිනම් පෝසත්ද කියල තීරණය වෙන්නෙ ඒ රටේ විශාලත්වය, ඉතිහාසය කොපමණ ඈතට දිවෙනවාද කියන එක, ජනගහණය, සම්පත් ඇති නැති බව උඩ නොවෙයි කියන එකයි. එහි ජනතාවගේ ආකල්ප අනුව රටේ දියුනුව රඳා පවතින බව තමයි ඒකෙ කියල තිබුනෙ.
මේක විවාදාත්මක කරුණක්. රටේ ජනතාවගෙ ආකල්ප අනුව රටේ අනාගතය තීන්දු වෙන්නනම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්න එපායැ. එහෙම රටවල් ලෝකෙ කොහෙද තියෙන්නෙ කියන එක මටනම් ප්‍රශ්නයක්, මේ අපේ රට ඇරුණහම.
මම කියන්න හදන්නෙ ඒක නෙවෙයි.
කොහොමද මේ ආකල්ප කියන දේවල් වෙනස් කරන්නෙ?
ඇයි මේ ආගමික ශාස්තෲවරු ආකල්ප වෙනස් කිරීම ගැන දේශනා කරල නැත්තෙ?
මේ ගැන මගේ මතය, මගේ ආකල්පය මෙහෙමයි.
“ආකල්ප වනාහි අපට ලැබෙන සංවේදනයන් අනුව අප තුල ඇති වන්නාවූ සිතිවිලි වේ.
එය වෙනස් කළ හැක්කේ අපට ලැබෙන සංවේදනයන් වෙනස් කළහොත් පමණකි.
මෙන්න මේ නිසා, එනම් අපට ලැබෙන සංවේදනයන් අපට වෙනස් කරගැනීමට නොහැකි නිසා, ඒවා වෙනස් කළ හැක්කේ වෙනත් බලවේග වලට නිසා, තම තමන්ගේ ආකල්ප වෙනස් කරගන්නට කියා කිසිම ශාස්තෲවරයකු දේශනා නොකළහ.”
මගේ සිතිවිල්ල එසේය.
මී ළඟ කොටස යථා කාලයේදී බලාපොරොත්තු වන්න

2011-10-24

හැඳින්වීම

මගේ සිතිවිලි ලියා තැබීම හොඳයැයි මට සිතිනි. අද මේ වෑයම අරඹන්නේ එනිසාය.
මට ඇති එකම ගැටළුවනම්, ඇතැම් දවසට ලියා ගන්නට වෙලාවක් නැති වීමයි.
උවමනාවක් තියෙනවානම් වෙලාවක් නැතැයි කියන්නේ බොරුවක් කියා මා කුඩා කාලයේ වැඩිහිටියෝ, විශේෂයෙන් ගුරුවරු කියූහ. එය තරමක සත්‍යයකි. තරමක සත්‍යයක් වන්නේ, වෙලාවක් නැතැයි කීම කම්මැලිකමේ ප්‍රධාන ලක්ෂණයක් බැවිනි. තරමක අසත්‍යයක් වන්නේ, ප්‍රමුඛතා ලැයිස්තුවකට අවශ්‍යතා පෙළගැස්වීමේදීය.
දැන් දැන් කාල කළමනාකරණය නමැති විෂයයක් විෂය මාලාවන්ට එකතු වී ඇත. එහෙත් කාල කළමනාකරණය යනුවෙන් උගැන්විය හැකි දෙයක් නැතැයි දේශනා කරන වියත්හු ද සිටිති. (මා ඔවුනට වියතුන්යැයි කියන්නේ ඔවුන් එසේ පෙනී සිටින නිසාය.) ඔවුනගේ අදහස නම් තම කාලය කළමනාකරණය කරගන්නේ කෙසේදැයි කියා අනිත් සියල්ලන්ටම වඩා දන්නේ තමන් බැවින් තව කෙනකුගෙන ඉගෙන ගැනීමට තරම් දෙයක් එහි නැති බවයි.
ඇත්තෙන්ම, කළමනාකරණය ගැන ලියැවුනු පොත් කොපමණ තිබුනත්, න්‍යායයන් කොපමණ තිබුනත්, කළමනාකරණය යනු ඇ‍‍ඟෙන් එන දෙයකැයි සිතන්නෝ කොපමණ සිටිත්ද?
න්‍යාය සහ ප්‍රායෝගික භාවිතය අතර වෙනසක් ඇතැයි, වෙනසක් තිබිය යුතුයැයි සිතන්නෝද බොහෝ වෙති.මෙසේ අප කාටත් සිතිවිලි පහළ වේ. මේ සිතිවිලි වලින් වැඩක් ගන්නටනම් ඒවා ගැන, ඒවායේ පලක් ඇති නැති බව, සොයා බැලිය යුතුය.
ඉතින් අපි එසේ කරමු.