2015-02-01

යහපාලනය තෙවරක් පෙරමුද?

මහින්දට කඩේ ගිය සහ යන සත්‍යය වෙබ් අඩවියේ “මෙන්න තවත් යහපාලනයක්“ යනුවෙන් වත්තල ප්‍රාදේශීය සභාවේ සිදු වූ අලකලංචියක් ගැන ලිපියක් පල කර තිබිනි. එහි කියැවෙන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගතහොත් මෙවැනි අළුගුත්තේරු වැඩ තව තවත් සිදුවීමට ඉඩ ඇති බව ය. එය තරමක සත්‍යයකි.

තෙවරප්පෙරුමලා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ සිටිති. ඉස්සරනම් එහි වැඩිපුර සිටියේ තෙවරප්පෙරුමලාය. දැන් ටිකක් අඩුය.

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නැගීම මා ඇතුළු බොහෝ දෙනකුගේ කණගාටුවට හේතු වූ කරුණක් වී ඇත. එසේ වුවද, එක්සත් ජනතා නිදහස් සන්ධානය වූකලී අප හඳුනාගෙන සිටි අහිංසක ප්‍රගතිශීලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා අතිශයින්ම කුරිරු වූත්, ප්‍රතිගාමී සහ වැඩවසම්වාදී වූත්, පොදු ජනතාව කෙරෙහි අල්ප මාත්‍ර වූ හෝ අනුකම්පාවක් නොදක්වන්නා වූත් පෙරමුණක් බව පසුගිය අවුරුදු තුන හතරේදී අපට පසක් විය. වඩා හොඳ දේ වෙනුවට අඩුවෙන් නරක දේ තෝරාගැනීමට ජනතාවට සිදු වී ඇත්තේ එම නිසාය.

යහපාලනය යනු අන් කිසිවක් නොව ප්‍රතිපල නෙලා ගැනීමයි“ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී Momentum නමැති ව්‍යාපාරික හමුවේදී පවත්වන ලද කථාවකදී සඳහන් කළ බව ප්‍රවෘත්ති පත්‍ර වලින් වාර්තා විය. අද ලෝකයම ඉල්ලා සිටින “යහපාලනය“ මෙලෙස ලඝු කරමින්, අවමානයට ලක් කරමින් කථා කළ මහින්ද රාජපක්ෂ මහතා නිර්මල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සංධානය නමැති මඩ ගොහොරුවේ ගිල්වා දමා ඇත. එවැනි තත්වයකදී තවදුරටත් එක්සත් ජනතා නිදහස් සංධානයට පක්ෂපාතී වී සිටීමට නොහැකි බව හැඬූ කඳුලින් යුක්තව දන්වා සිටින්නට කැමැත්තෙමි.

ලෝකය ඉදිරියට යන්නේය. එම ගමන කිසිවකුට නවත්වාලීමට නොහැකිය. ඒ ඉදිරි ගමනේ වේගය ඝාතීය ශ්‍රීතයක ආකාරයෙන් වර්ධනය වන්නේය. තවදුරටත් පැහැදිළි කරන්නේනම්, ඊයේ එකක් වූ දේ අද දෙකක් වේනම් හෙට එය තුනක් නොව හතරක් වනු ඇත. අනිද්දා අටක් වනු ඇත. ලෝකය දියුණු වන්නේ එලෙසිනි. එම ලෝකය තාක්ෂණය ද කළමනාකරණය ද දර්ශනවාදයද යන සෑම අංගයකින්ම ඉදිරියට දිව යයි. මිනිසාට නිදහස අවශ්‍යය. කතා කිරීමේ නිදහස, සිතීමේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස මිනිසාට අවශ්‍යය. ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරණ කටයුතු ම මොන තරම් අශික්ෂිතදැයි බලන්න. එම ප්‍රචාරණ ව්‍යාපාරය පමණක් වුවත් හිතන මතන මිනිසකුට සන්ධානය එපා කරවන්නට ප්‍රමාණවත් වනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මැරබලය මට හොඳින් මතක තිබේ. මේ ගැන පෙර අවස්ථාවකදීත් මා සඳහන් කර ඇත. එහෙත්, තැන් තැන් වලින් තෙවරප්පෙරුමලා මතු වන නමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් අද වන විට පෙර කාලයට වඩා බෙහෙවින් සංවර වී ඇති බව පැහැදිළිව පෙනෙන කරුණකි. මේ තත්වය තුළ යහපාලනය සම්බන්ධයෙන් දැඩි කැපවීමක් සහිත වූ චම්පිකලා, රතන හාමුදුරුවන්ලා පමණක් නොව අනුර කුමාරලාත් තව ටිකක් ඉදිරියට පැමිණිය යුතු බව මගේ විශ්වාසයයි. පරණ වංචා දූෂණ හෙළි කිරීමෙන් සෑහීමට පත් නොවී අද සිදුවන දූෂණ ගැනත් හඬක් නැගිය යුතුය. තව ඉතිරිව ඇත්තේ දවස් හැත්තෑ ගණනකි.

“අප‍්පමාදො අමතපදං - පමාදො මච‍්චුනො පදං“.

2015-01-31

නායකයාගේ ආගම

ජනාධිපතිතුමා ශ්‍රී මහා බෝධියට නමස්කාර කරනු දැක්වෙන ඡායාරූපයක් සමග කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ශාමිනී සේරසිංහ නමැති මාධ්‍ය වේදිනිය විසින් ලිපියක් පළ කර තිබේ. ඇය සඳහන් කරන්නේ ජනාධිපතිතුමා සියළු ජන කොටස් වෙනුවෙන් පත් වූ නායකයා බැවින් තමන්ගේම ආගම වුවද එයට ප්‍රදර්ශනාත්මකව වන්දනාමාන කිරීම වැරදි බව ය. තවද, ඒ සම්බන්ධයෙන් ජේ. ආර්., චන්ද්‍රිකා සහ රනිල් ආදර්ශයට ගන්නා ලෙසත් ඇය අවවාද කර තිබේ.

මෙම ලිපියට අදහස් දක්වන ඇතැම් අය කියන්නේ ජනාධිපතිතුමාටද සිය ආගම ඇදහීමේ නිදහසක් ඇති බව ය. ජනාධිපති වූ පළියට මිනිසකුට තමන්ගේ ආගම අමතක කළ හැකිද? නොහැක්කේමය. කෙසේ වුවත්, වත්මන් ජනාධිපතිතුමාට උපදෙස් දෙන අයගෙන් නම් හිඟයක් නැත. හිටපු ජනාධිපතිවරයාට එසේ උපදෙස් දීමට සිතූ කෙනෙකු වත් දකින්නට ලැබුනේ නැත. අඩු වශයෙන් ජනාධිපති උපදේශක වශයෙන් සිටි එකසිය ගණනක පිරිස වුවත් උපදෙසක් දෙන්නට ඇත්තේ කල් යල් බලා මූඩ් එක හොඳ නම් පමණක් විය හැකිය.

ජනාධිපතිවරු පමණක් නොව වෙනත් නායකයන් ද තම පෞද්ගලික අභිමතයන් සඳහා වූ විවිධ කාර්යයන් පොදු කාර්යයන් සේ සළකා කරන අවස්ථාවන් අපට දකින්නට ලැබේ. ඉහත ලේඛිකාව සඳහන් කරන්නාක් මෙන්ම ජේ ආර් ජයවර්ධන නමැති අසාමාන්‍ය පුද්ගලයා එසේ පෞද්ගලිකත්වය හා රාජකාරිමය කටයුතු එකට පටලවාගත් අවස්ථාවක් මතකයට නගාගැනීම අසීරුය. සමහර විට ජාතික රුක් රෝපණ දිනය ලෙස උපන් දිනය නම් කිරීම වැනි එතරම් මහජන අවධානයක් යොමු නොවන කටයුත්තක් කරන්නට ඇත. එනමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් සිය උපන් දිනය සැමරුවේ උදාගම් සංකල්පය හරහා බව එකල ප්‍රචලිත විය. එමතු නොව ඔහු විසින් සිය මව් පිය දෙපළ අනුස්මරණය කරමින් මව්ගම හා පියගම නමින් උදාගම් දෙකක් ද සකස් කර ඇත. මේ ගම් වල නම් කෙසේ වෙතත් ඒ උදාගම් ව්‍යාපාරය හරහා විශාල පිරිසකට සෙතක් වුනු බව නම් සත්‍යයකි. (ඒ හැරෙන්නට නිතරම පාහේ මල් වට්ටියක් අතැතිව රූපවාහිනියෙන් හෝ පුවත්පත්වලින් පෙනී සිටි එතුමාට “පුෂ්පකුමාර“ කියා විකට නමක් පටබැඳ තිබුනු බව වැඩිහිටියන් කියනු මා අසා ඇත.)

ශාමිනී සේරසිංහ
තමන්ගේ උපන්දිනය දා රාජකාරි වේලාවෙන් පැය භාගයක් පමණ වෙන් කර කේක් එකක් කපා සුහද කථාවක් පවත්වා සරළ හා චාම් උපන්දින උත්සව පවත්වන ආයතන ප්‍රධානීන් මා දැක ඇත. එමෙන්ම, ප්‍රධානියා වෙනුවෙන් එවැනි සුළු උත්සවයක් (ඉවෙන්ට් එකක්) සංවිධානය කරන ගෝල බාලයන් ද ඇතැම් විට සිටිති. ආයතන ප්‍රධානියෙක් වෙනුවෙන් එහි සේවය කරන්නන් අනිවාර්යයෙන් භක්තිමත් විය යුතු බව මට සිතෙන්නේ නැත.

නායකයකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකිය. තමන් කැමති අයට පෙම් කළ හැකිය. ඒවා සියල්ල පෞද්ගලිකය. මෙවැනි තැන්වලදී වරද සිදුවන්නේ ගැත්තන්ගේ අතිනි. උක්ත ඡායාරූපය මාධ්‍යයට නිකුත් කරන්නට ඇත්තේ නිසැකවම එවැනි ගැත්තන් විසින් ය. රාජපාක්ෂික භාවය පෙන්වීමට ගැත්තකු විසින් කෙතරම් පරිශ්‍රමයක් දැරිය යුතුදැයි කියා පෘථග්ජනයන් වූ අපට තේරෙන්නේ නැත.

ශාමිනී සේරසිංහ ඇතුළු ජන මාධ්‍ය වේදීන්, දේශපාලන විශ්ලේෂකයන් නොදකින බරපතල කාරණයක් තිබේ. එනම්, පොදු ආයතන තුළ ආගමික සංකේත භාවිතා කිරීම ය. රජයේ කාර්යාලයකට ඇතුළු වන ස්ථානයේ බුදු පිළිමයක් තැබීම හරිද?

විපක්ෂයේ සිට විවේචනය කරන කාලයේදී ආගම සහ ජාතිය යනු අතිශයින්ම පෞද්ගලික කාරණාවන් බව කියන අයටත් තම පාක්ෂිකයා බලයට පත් වූ පසුව ඒවා අමතක වෙයි.

දේශපාලනඥයන්ට හරි මග කියාදෙනවාට වඩා මහජනතාවට හරි මග කියා දීම අත්‍යවශ්‍යය. එයට හේතුව, අපේ රටේ නායකයන් බිහි වන්නේ කිඩාරම් මල් පිපෙන ආකාරයට බැවිනි.