2012-01-09

ටී ෂර්ට්

මොබයිල්මෑන් මුලින්ම වගේ දාපු පෝස්ට් නැවත මතක් විය.
ශ්‍රී දළදා මාලිගාවේ රූපය ටී ෂර්ට් එකක මුද්‍රණය කරලලු.ඒකෙන් බුද්ධාගමට අපහාසයක් වෙනවලු. මේ ලුලු කතාවක් දාන්නෙ මොබයිල්මෑන් දැකපු නැති දෙයක් ගැන කතා කරන නිසයි. ඒ කියන්නේ මොබයිල්මෑන් ඒ ටී ෂර්ට් දැක්කෙත් නෑ. ඒ ටී ෂර්ට් නිසා බුද්ධාගමට අපහාසයක් වෙනව හෝ ඉදිරියේ වෙයි කියා දැක්කෙත් නෑ.
දැන් මේ පිංවතුන් දැකල තියනවද ප්‍රයිවෙට් බස්? මේ පින්තූරෙ වගේ බස් දැකල තියනවද?

ඒකෙන් වෙන්නෙ අපහාසයක්ද, උපහාසයක්ද, වන්දනාවක්ද?
මොබයිල්මෑන් මොකක්දෝ බ්ලොග් එකකට දැම්ම මේ වගේ කමෙන්ට් එකක්.
අපි අඳින ඇඳුම් වලින් සමහර ඇඳුම් පහත් ලෙසත් සමහර ඇඳුම් උසස් ලෙසත් අපි සම්මතයක් හදාගෙන සිටිමු. සාමාන්‍යයෙන් බැලුවොත් ඉනෙන් පහළට අඳින දෙපයින් රිංගවාගන්නා ඇඳම් පහත් ඒවාය. ඉනෙන් ඉහළට අඳින හිසෙන් රූටවාගන්න ඇඳම් උසස් ඒවාය.
(මෙය සාමාන්‍ය පිළිගැනීමයි. සම්මතයට එරෙහි වෙමින් වීරයන් වීමට දඟලන පුස්සන්ගේ පුහු තර්ක වලට පැටලෙන්නට මොබයිල්මෑන් අදහස් නොකරයි.)
පහත්යැයි සම්මත ඇඳම් වලට උසස් වස්තුවක පින්තූරයක් යෙදීම නොහොබිනා ක්‍රියාවකි. එසේ වුවද, උසස් ඇඳුමකට උසස් දෙයක රූපයක් යෙදීමෙහි වරද කිමැයි මොබයිල්මෑන්ට වැටහෙන්නේ නැත.
දළදා මාලිගාවේ රූපය මුදල් නෝට්ටු වල තිබෙනවා නේද? තැබෑරුමෙන් අරක්කු මිලට ගන්නේත්, ගණිකාවන්ට ගාස්තු ගෙවන්නේත් ඒ මුදල් නෝට්ටු පාවිච්චි නොකරමින්ද?
දළදා මාලිගාවට  නොව දළදාවට වඳින්නට අප පුරුදු විය යුතුය.
පූජනීය සංකේතයක්” හා “පූජනීය වස්තුවක් ඇති ස්ථානයක්” අතර වෙනස අප හඳුනාගත යුතුය.

2012-01-04

අලි මිනිස් ගැටුම්

අලියා විසින් හානි කරන ලද මිනිස් ජීවිත සංඛ්‍යාව විශාලය.
අලි මිනිස් ගැටුම් ලංකාවේ සමහර පළාත්වල සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙමින් තිබේ.
කාලයකට පෙර මෙවැනි තත්වයක් අපේ ර‍ටේ පැවතුනත් අනතුරුව එම තත්වය තවත් විරළ අත්දැකීමක් බවට පත් වී තිබුනු යුගයක් ද තිබිනි. දැන් නැවතත් අලි මිනිස් ගැටුම් උග්‍ර වන්නට පටන් ගෙන තිබේ.
අලි මිනිස් ගැටුම් වැඩි වන කාලසීමාවන් පිළිබඳව හෝ එවැනි සිද්ධි ඇති වීම පිළිබඳව ‍හෝ අධ්‍යයනයක් කරන්නට කිසිවකු හෝ යොමු වී ඇතිදැයි මම නොදනිමි. එසේ වුවද, අලියා ගම් වලට වැදීම මෙම ගැටුම් ඇති වීමේ ආසන්නතම හේතුව බවනම් නොරහසකි.
අලියා ගම් වදින්නේ ඇයි? ඌට කැලට තුලටම වී ජීවත් වන්නට‍ නොහැකි වීම නිසා, එනම් ඌට කැලයේ ආහාර හිඟ වීම නිසා, ඌ ගම් වලට කඩා පනින බව පැහැදිළි කාරණයකි. අලියා වූකලී කැලයේ අනිකුත් සතුන්ට සාපේක්ෂව විශාල ආහාර ප්‍රමාණයක් පාරිභෝජනය කරන සත්වයෙකි. අලියාගේ දැවැන්ත ශරීරයට සුළු ආහාරයකින් සන්තර්පණය වීමට නොහැකිය. වර්තමානයේ ක්‍රමානුකූලව සිදුවන වන සංහාරය නිසා, වර්තමානයේදී කැලෑ තුළ අලි රංචුවකට ප්‍රමාණවත් තරම් ආහාර සොයාගැනීමේ අර්බුදයක් ඉස්මතු වීම අරුමයක් නොවේ. එහෙත්, කැලෑවක තරම්වත් ගමක් තුළ අලියකුට ආහාර තිබෙන බවක් අපට නොපෙනෙනවා සේම අලියාටද වැටහෙන්නේ නැතැයි සිතීමට නොහැකිය.
එහෙත්, ආහාර සොයා ඇවිදින අලියා හදිසියේ ගමකට සේන්දු වූ විට ඌට අහම්බෙන් හෝ වඩා රසවත් ආහාර ලැබේ. විශේෂයෙන් දිය ලුණු ආහාරයට ගැනීමට අලියා අතිශයින්ම කෑදර බව ඒ පිළිබඳව අත්දැකීම් ඇති අය පවසති. මේ කෑදරකම නිසාම වරක් ගමේ ආහාර රස බැලූ අලියා නැවත ගමට කඩා වදී.
අලියා සහ අනෙකුත් තිරිසන් සතුන් සියළුදෙනාම පාහේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක් වන ආහාරය ප්‍රධාන අවශ්‍යතාව කොටගෙන සළකති. මිනිසාටද ආහාර අත්‍යවශ්‍ය නමුත් ඔහු විවිධ අවස්ථාවන්හිදී එය මඳකට අමතක කර දමා වෙනත් කටයුත්තක නියැලෙන බව අපි දනිමු. උදාහරණයක් වශයෙන් අපට යම් ගමනක් නිශ්චිත වූ වේලාවකට පෙර නිම කිරීමට අවශ්‍ය වූ විට ආහාරය සඳහා නොනැවතී ගමනේ යෙදීම බොහෝ දෙනාගේ සිරිතයි. එවැනි අවස්ථාවකදී අප ආහාර සඳහා කාලය මිඩංගු කරන්නේ අතිශයින්ම දැඩි කුසගින්නක් දැනුනහොත් පමණකි. ඒ, අපගේ හැසියාව මගින් අපට පවරනු ලැබ ඇති වගකීම් නිසාවෙනි. තිරිසනුන්ට එවැනි වගකීම් නැත. එනිසා, ඌ සැම විටම අවශ්‍යතා මුල් ස්ථානයට ගෙන යුතුකම් ගැන නොසිතා කටයුතු කරයි. ඇතැම් මිනිසුන් ද තිරිසනුන් මෙන් අවශ්‍යතා මුලට ගැනීම වෙනම කාරණයකි.
අලින්ගේ හැසිරීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ මහාචාර්ය බමුණුආරච්චි වරක් පැවසුවේ එක් කැලයක සිට තවත් කැලයකට ගෙන ගොස් දමනු ලබන අලි නැවතත් තම මුල් වාසස්ථානය සොයාගෙන පැමිණීමට හේතුව නෑදෑයන් දැකීමටවත්, ගෙදරට ආශාව නිසාවත් නොව, තමන්ට හුරු පුරුදු වර්ගයේ ගහකොළ ආහාරයට ගැනීමට ඇති කැමැත්ත බවයි.