2016-08-20

නිවේදක තෝරයි - සිංදු තේරීම

පහුගිය දවස්වල සිංහල බ්ලොග් අවකාශයට අළුත්ම ලෙඩක් බෝ වෙලා තිබුනු බව දැක්කේ අදයි. ඉයන්ගේ අභියෝගය මත අපේ බ්ලොග්කරුවන් සහ බ්ලොග්කාරියන් කීප දෙනෙක්ම සිංදු තෝරලා තිබුනා. දැන් මේ වෙනකොට අභියෝගය කවුරුන් හරි ජය ගන්න ඇති.

ඒත් ශණි දැකපු කාරණාව තමයි, ඒ හැම කෙනෙක්ම මේ ගී තේරීම කරල තියෙන්නෙ තමන්ට ඒ මොහොතේ මතකයට ආපු අනුපිළිවෙල අනුව බව. මේක කිසිම ගැම්මක් නැති පිස්සු විකාරයක්දෝ කියලයි ශණීට හිතුනෙ. මේක දැකල ශණිට මතක් වුනේ ගුවන් විදුලියේ නිවේදක තෝරයි ගී තීරය. දැන් ඒ වගේ වැඩසටහනක් තියනවද කියන්න දන්නෙ නෑ. දැන් අහන්නෙ චැනල් නෙ. ශණිලා තරුණ කාලයේ සහ ළමා කාලයේ ලංකාවෙ තිබුනෙ ගුවන් විදුලි ආයතන එකයි. ඒක තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ඒකෙ තිබුනා සිංහල, ඉංගිසි සහ දෙමළ භාෂා තුනට චැනල් දෙක ගණනෙ. මුල්ම කාලයේ මේවා වෙළඳ සේවය සහ ස්වදේශීය සේවය කියල තමයි නම් කරල තිබුනෙ. පසු කාලයක පළමුවැනි සේවය සහ දෙවැනි සේවය වශයෙන් නම් වෙනස් කරල තිබිල දැන් නැවතත් මුල් ක්‍රමයටම ඇවිත් වගෙයි. දෙවැනි සේවය කිව්වෙ වෙළඳ සේවයටයි. වෙළඳ දැන්වීම් එහෙම ප්‍රචාරය වුනේ ඒකෙ. පළමුවැනි සේවය නොහොත් ස්වදේශීය සේවය වෙන් වෙලා තිබුනෙ ධර්ම දේශනා, අධ්‍යාපනික වැඩසටහන්, ළමා වැඩසටහන්, විවිධාකාර සාකච්ඡා, ශ්‍රාස්ත්‍රීය සාකච්ඡා, ශ්‍රාස්ත්‍රීය සංගීතය, සර්ව රාත්‍රික පිරිත් (පෝය දාට) වගේ වැඩසටහන් වලට. වෙළඳ සේවයේ තමයි ඉතින් චිත්‍රපටිවල සිංදු, චිත්‍රපටි ප්‍රචාරක වැඩසටහන්, මුවන්පැළෑස්ස වගේ නාට්‍ය, හින්දි සිංදු වගේ වැඩසටහන් තිබුනෙ. ඔය අතරෙ තිබුන එකක් තමයි නිවේදක තෝරයි ගී තීරය. ඒක පැය භාගයක වැඩසටහනක්. කවුරු හරි නිවේදක තුමෙක් ඇවිදින් එයාට මනාම සිංදු 6ක් විතර තෝරගෙන ප්‍රචාරය කරනවා. පැය භාගෙට ඊට වැඩිය දාන්න අමාරුයි වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නත් එපායැ.

මේ නිවේදක තෝරයි වැඩසටහනේ තිබුනු එකම ප්‍රයෝජනය තමයි එක් එක් නිවේදකයා කැමති ගීත වර්ගය අඳුනාගන්න පුළුවන් වුනොත් අපි කැමති ජාතියේ සිංදු තෝරන නිවේදකයාගේ ගී තීරයට සවන් දෙන්න පුළුවන් වීම. ශණි ඒ දවස්වල ආස කළා ජයන්ත පීරිස් නිවේදක තැන තෝරපු සිංදු ටික අහන්න. පස්සෙ කාලේ ඒකත් එපා වුනා මොකද එකම සිංදු සෙට් එක නිසා. එයා තෝරපු සිංදු සෙට් එකක තිබුනා. පෙම් කැකුළ පිපී එන විට මහදේ එය පරව ගියා, සාගර මත සඳ කිරණ වැටී, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මගේය ප්‍රේම මාලිනී ඔන්න ඔය වගේ සිංදු.

මීට අමතරව චිත්‍රපටි ගීත වැඩසටහන්, යුග ගී වැඩසටහන්, නාට්‍ය ගී වැඩසටහන්, විරිදු වැඩසටහන්, කණ්ඩායම් ගී වැඩසටහන් එහෙම තිබුනා. උදේ පන්සිල් සහ සෙත්පිරිත් කියල ඊට පස්සෙ යනවා අරුණ කිරණ කියල වැඩසටහනක්. එතනින් පස්සෙ උදෑසන ප්‍රවෘත්ති. ඉන් පස්සේ අසන්නන්ගේ ඉල්ලීම්. ගම්පහ රේඛාවෝ ඊශ්වරී, යටියන්තොට බොනිපස් පෙරේරා වගේ අය පෝස්ට් කාඩ්වලින් සිංදු ඉල්ලලා යවනවලු (ලුයන්නක් දැම්මෙ රේඩියෝ එකෙන් අහපු හැටියට නිසයි. සමහරු කිව්වෙ “ඔය බොරුවට නම් කියවන්නෙ, සිංදු ඉල්ලල පෝස්ට්කාඩ් දාන අයත් ඉන්නවයෑ“ කියල.) හැබැයි ඉල්ලපු සිංදුවම දෙනවා. අනිත් එක ළඟ අහළ පහළ ඉන්නෙ කවුද කියල අහන්නෙ නෑ. අහල වැඩක් නෑ උත්තර දෙන්න වෙන්නෙ දවස් දෙකකට පස්සේ තවත් පෝස්ට් කාඩ් එකකින්නෙ.

මේ අනම් මනම් මතක් වුනේ ඉතින් ඉයන්ගෙ අභියෝගය දැක්කට පස්සෙ. ශණිටනම් ඒක අභියෝගයක් කියල කොහෙත්ම හිතෙන්නෙ නෑ. අඩු වශයෙන් ගීතයෙන් ගීතය වගේ අකුරු ගලපලා කියන්න කියලවත් කිව්වනම් පොඩි චැලේන්ජ් එකක් තියනව.

මෙන්න ශණි කැමති ගීත සෙට් එකක්. හැබැයි කැමැතිම ගීත නෙවෙයි. එහෙම ජාතියක් ශණිට නෑ, සීතල වෙලාවට කැමති ගීත නිදිමත වෙලාවට හරියන්නෙ නෑ. නිදි මරාගෙන වැඩක් කරන වෙලාවට ඒ දෙකම හරියන්නෙ නෑ. දෙකක් දාගත්ත වෙලාවට ඕනැ කරන්නෙ වෙනම සිංදු සෙට් එකක්.

1. මගේ සිහින මැදුරේ - ශම්මිකා අමානි (සමනල සංධ්වනිය 2014)
මේක සමනල සංධ්වනිය චිත්‍රපටයේ ගීතයක්. ගීතය නිර්මාණය කරල තියෙන්නෙ දක්ෂ පාසැල් ශිෂ්‍යයෙක්ගෙ නිර්මාණයක් විදිහට. ඒ ගතිය මේ සිංදුවෙ එහෙම පිටින් ම තියනව. මියුසික් ඔක්කොම ඉස්කෝලෙ තියන ඉන්ස්ට්‍රැමන්ට් වලින්. පද රචනය අති සාර්ථක නෑ, බොළඳ රචනාවකුත් නෙවෙයි. සංගීත සංයෝජනය සහ තනු නිර්මාණය වයස දාසයේ කොල්ලෙකුගෙ තමයි. එතකොට ගායනය? ඒක ඉතින් අහළම බලන්න.


මගේ සිහින මැදුරේ...

විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ

පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් ‍පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ

දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම්

මගේ සිහින මැදුරේ...

පද මාලව චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය දර්ශන රුවන් දිසානායක



චිත්‍රපට ගීතයක් සාර්ථක වෙන්නෙ ඒකෙ සියක් කෝටියක් වැඩ දාල තිබුනහම නෙවෙයි, අවස්ථාවට ගැලපීම අනුවයි. මේ වගේ තව එක අවස්ථාවක් ශණිට මතක් වෙනව. මුල් කාලයේ ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වුනා “රේඛා“ කියල ටෙලි නාට්‍යයක්. චන්ද්‍ර ලේඛා, ලක්ෂ්මන් විජේසේකර, දේවිකා මිහිරාණි එහෙම හිටියෙ. මේ ටෙලිනාට්‍යයෙ තියෙනවා ඉස්කෝලෙක පිළිගැනීමේ ගීතයක් (යූ ටියුබ් එකේවත් නෙට් එකේ කොහේවත් හොයාගන්න බැරි වුනා.).

2. පෙම් සිහින ලෝකේ මායා - රුක්මණී දේවී සහ මොහිදීන් බෙග් (මතභේදය 1955)
ශණිට පිස්සු කියල හිතෙනව ඇති නේද? 2014 සිංදුවක් එක්කල 1955 සිංදුවක් මතක් කරන්නෙ.

මේ සිංදු තෝරලා තියෙන්නෙ කැමතිම පිළිවෙලකට නෙවෙයි කියල මුලින්ම කිව්වනෙ. මේ ගීතවල යම් සුවිශේෂී ලක්ෂණයක් නිසා තමයි ශණිගෙ හිතට මේ ගීත කාවැදිල තියෙන්නෙ. මේ සිංදුවෙ තනුව හින්දි චිත්‍රපටි ගීතයකින් කොපි කරපු එකක්. මේකෙ විශේෂත්වය තමයි කටහඬ සංයෝජනය. යුග ගීතයක් කියන්නෙ මේ වගේ ගීතයකට කියල උදාහරණයකට ගන්න පුළුවන් මේ ගීතය. කටහඬවල් දෙක එකක් විදිහට ඇහෙන්න ගායනා කරන අවස්ථාවක්.


පෙම් සීන ලෝකේ මායා - සංසාරයේහි පාවේ 
සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

දෙදෙනාගේ ආලය පාන සේමා - බැබළේවා ලෝකේ.. 
සේමා බැබළේවා ලෝකේ 
ආකාසේ පොළොවේ හා ජලේ මේ ප්‍රීති ගීත පාවේ.. 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

සන්ධ්‍යාවේ පරවන මලකී - මේ ජීවිතේ දඟකාරී
ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ 
මේ ශේෂ වූ වෙලාවේ...
මේ ශේෂ වූ වෙලාවේ 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ... 

භවයේ සරනා හැම ආත්මෙ දෙදෙනා - පණ සේ වාසේ වී 
දෙදෙනා පණ සේ වාසේ වී 
කිසි දා දුක ශෝක නොවෙමින
ලැබෙවාය ප්‍රීතිභාවේ... 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

ගායනය: මොහිදීන් බෙග් - රුක්මණි දේවි
පදවැල: ඒ. ජේ. ද සොයිසා

සංගීතය: ආර්. ඒ. චන්ද්‍රසේන

හ්ම්, අදට ඇති, ආයේ හමුවෙමු තව මාස .........කින්.

2016-02-29

(අශ්‍රාස්ත්‍රීය ලිපියකි.) කටුස්සාගේ ප්‍රමාද වූ සුරතාන්තය

(අශ්‍රාස්ත්‍රීය ලිපියකි) කටුස්සාගේ ප්‍රමාද වූ සුරතාන්තය
කටුසු හදවත ලියල තිබුනු සුරතාන්තය ප්‍රමාදයි නමැති පෝස්ට් එක කියවීමේදී හිතට ආ අදහසක් ඔස්සේ මතුවුනු සිතුවිලි වැලක් මේ.

කටුසු හදවත අහනවා මෙහෙම ප්‍රශ්නයක්.
ආගම හා දේශපාලනය එකිනෙකාට සමාන්තරද?
මෙතනදි, සමාන්තර කියල කටුස්සා අදහස් කරන්නෙ මොකක්ද කියන එක එච්චරම පැහැදිළි නෑ. කොහොම වුනත්, ආගම හා දේශපාලනය එකිනෙකට සමාන්තර වගේම ශ්‍රේණිගතයි කියල තමයි මට හිතෙන්නෙ. මේ වචන දෙකෙන් මං අදහස් කරන්නෙ ගණිතයේදී, භෞතික විද්‍යාෙ වේදී නැත්නම් විද්‍යුතය ගැන ඉගෙනගැනීමේදී භාවිතා වන අදහසයි. ශ්‍රේණිගත කියල මං අදහස් කරන්නෙ “එකකට පස්සෙ අනිත් එක“ කියන අර්ථයෙන්. එතකොට සමාන්තර කියල අදහස් කළේ එකම අවස්ථාවකදී සිද්ධි දෙකම වෙනවාය කියන අදහසින්. ඒ වගේම දේශපාලනය කියල අදහස් කළේ දේශයක් පාලනය කරනවා කියන අර්ථයෙන් නෙවෙයි, ඉංගිරිසියේ පොලිටික්ස් කියල කියන අර්ථයෙන්. එතනදි අදහස් කරන්නෙ දේශයක් පාලනය කරන වැඩපිළිවෙලයි. ඒකනෙ බලයට පත් වුනාම පාලකයන්ට පොලිටික්ස් අමතක වෙලා ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ල බවට පත් වෙන්නෙ.

කටුසු හදවත කියල තියන විදිහට මේ ප්‍රශ්නය ගැන ශ්‍රාස්ත්‍රීය පොත් සහ ලිපි ගණනාවක් ලියැවිලා තියනවා. ඒ වගේම, බුදුදහම සහ මාක්ස්වාදය වගේ පොත් එහෙමත් ලියවිලා තියනවා. ඒත් තවමත් මේක නොවිසඳුනු ගැටළුවක්. විවාදය නිරන්තරයෙන් පැවතෙනවා.

ආගම කියන්නෙ මිනිස්සු තමන්ගෙ පුද්ගල විමුක්තිය සහ තම නෑ සියන්ගේ විමුක්තිය ලබාගැනීමට හැකි වෙන්නෙ මෙන්න මෙහෙමයි කියල විශ්වාසයකින් අනුගමනය කරන දර්ශනයක්. ඒක බොහෝ විට මරණයෙන් පස්සෙ ජීවිතයක් ගැන වෙන්න පුළුවනි. දැන් ගතකරන ජීවිතයට පස්සෙ. ඒකයි ශ්‍රේණිගත කියල කිව්වෙ. මේ දෙක සමාන්තරයි කියල කිව්වෙ වර්තමාන ජීවිතය ගැන මේ විෂයයන් දෙකෙන්ම කතා කරන නිසා.

රටක් පාලනය කළ යුත්තේ මෙන්න මෙහෙමයි කියන එකයි දේශපාලනය (පොලිටික්ස්) කියන්නෙ. මෙතනදි මේ දේශපාලන ක්‍රමය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒකාධිපතිවාදී ධනවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය, සමාජවාදය කියල මේ කොටස් තුන හඳුන්වන්නට පුළුවනි. මේ කොටස් තුන නැවත නැවතත් අනුබෙදීම්, අනු අනු බෙදීම්, අනු අනු අනු බෙදීම් ආදී වශයෙන් කණ්ඩායම් ගණනාවකට බෙදුනු මතවාදයන් බවට පත් වෙනවා.

තමන්ගෙ විමුක්තිය හෝ පොදු විමුක්තිය ලබාගතහැක්කේ තමන් විශ්වාස කරන දර්ශනයෙන් පමණක් බව හත් අට දෙනෙක් හැරුනාම අනිත් හැම දෙනාම විශ්වාස කරනවා. තමන්ගෙ විමුක්තිය ඇත්තේ අනුන්ගෙ දර්ශනයක් තුළ බව විශ්වාස කරන හත් අටදෙනා ඉන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුවෙ.

“දේශපාලනය“ යනුවෙන් මං කතාකරන්නෙ පහත සඳහන් තුන් ආකාරයෙන් එක අාකාරයකට වැඩ කිරීමයි.
  • මිනිස්සු බලහත්කාරයෙන් හෝ උපක්‍රමිකව යටත් කරගෙන තමන් අයත් කණ්ඩායමේ යහපත පිණිස වැඩකරවාගැනීම
  • මිනිස්සුන්ට නිදහස දීල මිනිස්සුන්ගෙ කැමැත්තෙන්ම තමන් ඇතුළු කණ්ඩායමේ යහපත පිණිස වැඩකරවාගැනීම
  • මිනිස්සුන්ට නිදහසක් නොදී තමන් ඇතුළු මිනිස්සුන්ගේම යහපත වෙනුවෙන් වැඩ කරවීම

මේ ක්‍රම තුනේ ගැලිල ඉන්න මිනිස්සු තමන්ගෙ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින අතරම ඒ වෙනුවෙන් අඛණ්ඩව සටන් වදිනවා එළිපිට හෝ රහසිගතව. ඒ අය කරන වැඩ සමහර විට අපට පෙනෙන්නෙ වෙනත් ආකාරයකට වෙන්නට පුළුවන්. ඒත් ඒ අය තමන් අවංකව විශ්වාස කරන දේ වෙනුවෙන් කටයුතු කරනවා. ඒත් ඒ බව ප්‍රසිද්ධියේ නොකියනවා වෙන්න පුළුවනි.  

ඒ වගේම බලන්න ආගම.

  • සමාජයේ යහපත වෙනුවෙන් එකිනෙකා සමග නොගැටෙමින් ප්‍රේමයෙන් යුතුව ජීවත් වීම හරහා ස්වර්ග සැප ලබාගැනීම
  • ඇතැම් විට අතිශය දුෂ්කර වූ හෝ තවත් විටක බරපතළ අපහසුතාවක් නැතිව හෝ යෙදෙන වතාවත් මගින් දිව්‍යාත්මභාවයන් ලබාගැනීම
  • තමන්ට ලැබී ඇති හෝ ලැබෙන හෝ ලබාගතහැකි හෝ ලබාගත නොහැකි සැප සම්පත් පිළිබඳ ආශාවක් ඇල්මක් ඇති නොකර ගැනීමෙන් ලබාගන්නා විමුක්තිය


ඉතින් ආගමික කටයුතු වල නියැළිලා ඉන්න අයත් අර දේශපාලන කටයුතු වල නියැළිලා ඉන්න අය වගේම තමන් විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් සටන් කරනවා.

ඉතින් මේ දෙක සමාන්තරගතද, ශ්‍රේණිගතද?

2016-01-31

මහාප්‍රාණ මේනියාව

බ්ලොග් එක ලියනවා තියා බොගක් දාගන්නවත් වෙලාවක් කලාවක් නැතුව හිටපු අල්ල පනල්ලෙ අපේ හිතවත් බ්ලොග් ගුරුතුමා වන රසික ටික දවසකට කළින් ලියපු පද මාලාව දැක්කට පස්සෙ ඔළුවට ආපු අදහසක් ලියන්නම ඕනැ කියල හිතුනා.

මේ නව පරපුර කියන කස්ටියගෙ කතා බහ සමහර වෙලාවට පොඩ්ඩක් විතර අමුතු ඇක්සන්ට් වලට බර වෙනව. මේ ගැන වඩා හොඳින් තේරුම් ගන්න ඕනැ නම් ඔය එෆ් එම් චැනල් වලට කණ දීලම බලන්න ඕනැ. ඒ චැනල් වල නම දැන් කියන්නෙ නැත්තෙ බයකට එහෙම නෙවෙයි, හොඳට කතා කරන චැනල් කීපයකුත් තියන අතරෙ ඒ එක එකේ නම වෙන වෙනම මතකයෙ නැති නිසායි. අහිංසක චැනල් වලට දොස් කියන එක හොඳ නෑනොවැ.

මේ චැනල් වල නිවේදක තුමන්ලාටත් වැඩිය නිවේදිකා තුමියලා කතා කරන හැටි අහගෙන ඉන්නකොට දැනෙන හැඟීම මොකක්ද කියල, දුකක්ද කණගාටුවක්ද අප්පිරියාවක්ද කියල එක පාරටම හිතාගන්න අමාරුයි.

සිංහල වචන අස්සට ඉංගිරිසි වචන කෑලි දාන එක සමහර අය විවේචනය කළාට මගේ නම් ඒ ගැන එහෙමට විවේචනයක් නෑ. අද කවුරුත් වගේ, ලොකුවට ජාතික කැක්කුමකින් කෑ ගහන අය පවා, තමන්ගෙ භාෂාව ගැන එහෙමට උනන්දුවක් නැතුව මේ කලවම් භාෂාවෙන් ලියනවා සහා කතා කරනවානෙ. ඉතින් රේඩියෝ එක කියන්නෙ ශ්‍රව්‍ය මාධ්‍යයක් නිසා ලියන භාෂාවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ගුවන් විදුලි සංස්ථාවෙ සිංහල ස්වදේශීය සේවය අහල සිංහල ඉගෙන ගනිල්ලා කියල කියපු කාලෙකුත් තිබුන තමයි. ඒ වගේම දිනමිණ කතුවැකිය කියවල සිංහල ඉගෙන ගනිල්ලා කියපු කතාව විතරක් නෙවෙයි ඩේලි නිවුස් කතුවැකිය කියවලා ඉංගිරිසි ඉගෙන ගනිල්ලා කියපු කතාවත් අද වෙනකොට අවලංගුයි පුතේ.

ඉතින් මං කියන්න හැදුවෙ අර කලින් කියපු පොඩි පොඩි එෆ් එම් චැනල් වල කට්ටිය කතා කරන්නෙ ඔය කියපු අමුතු ඇක්සන්ට් එකත් එක්කලා මහාප්‍රාණ අකුරු එහෙන් මෙහෙන් රිංගවලනේ.

කෝල් කරල කියන්න බලන්න ඔයාලට ඕනැ සෝන්ග් එක මොක්ද කියල. නැත්නම් එස් එම් එස් එකක් එවන්න. ඒත් නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් එකක් දාන්න හොඳේ.

හැබැයි ඉතින් අපේ භාෂාවේ මේ මහාප්‍රාණ අකුරු සහිත වචන එහෙමට නැති නිසාත්, එහෙම තියන වචන වුනත් බොහෝ වෙලාවට නිකම් සිම්පල් අකුරු, ඒ කිව්වෙ අල්ප ප්‍රාණ අකුරු යොදල කියන නිසාත් ලොකු අවුලක් වෙන්නෙ නෑ. උදාහරණයක් ගත්තොත් බාසාව කියන්නෙත් භාෂාව කියන්නෙත් දෙකම එකයිනෙ. (දවසක්දා මගෙන් යාලුවෙක් ඇහුව “මචං සිංහලෙන් ටයිප් කරද්දි කැපිටල් ලයන්න ගහන්නෙ මොකෙන්ද“ කියල. ඒ කැපිටල් ලයන්න කිව්වෙ මූර්ධජ අකුර, ඒ කියන්නෙ “ළ“ ගැන කියල මට ටක් ගාල ක්ලික් වුන නිසා පටස් ගානකොට වැඩේ ගොඩ දාල දුන්නා)

හැබැයි අපේ කලාපයේ තියන අනිත් බොහොමයක් භාෂා ගත්තහම මේ වෙනස බරපතළයි. අර “තණ“ වෙනුවට “තන“ වගේ සීන් වෙන්නට ඉඩ තියනවා.

ඉතින් රසික ලියපු පදමාලාව දැකපු මට මතක් වුනේ අපි ගොඩක් දෙනා ලයික් කරන හින්දි සිංදුවක්.
කභී කභී මෙරෙ දිල්  මෛං.

මේකෙ තියනව එක පදයක් ළඟ ළඟම මහා ප්‍රාණ ගොඩක් එක්කල.

සුහාග් රාත්හෛ ඝුංඝට් උඨා රහා හූ මෛං
सुहाग रात है घूंघट उठा रहा हूँ मैं 

Song: Kabhi Kabhi
Singer: Amitabh Bachchan, Kishore Kumar, Lata Mangeshkar, Mukesh
Lyricist: Sahir Ludhianvi
Music Director: Khayyam
Film Director: Yash Chopra
Kabhi Kabhi Mere Dil Mein Lyrics
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Tujhko Banaya Gaya Hai Mere Liye
Ke Jaise Tujhko Banaya Gaya Hai Mere Liye
Tu Ab Se Pahle Sitaro Me Bas Rahi Thi Kahi
Tu Ab Se Pahle Sitaro Me Bas Rahi Thi Kahi
Tujhe Zami Pe Bulaya Gaya Hai Mere Liye
Tujhe Zami Pe Bulaya Gaya Hai Mere Liye

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Ye Badan Ye Nigahe Meri Amanat Hai
Ke Ye Badan Ye Nigahe Meri Amanat Hai
Ye Gesuo Ki Ghani Chhao Hai Meri Khatir
Ye Hoth Aur Ye Bahe Meri Amanat Hai
Ye Hoth Aur Ye Bahe Meri Amanat Hai

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Bajati Hai Shahnaiya Si Raho Me
Ke Jaise Bajati Hai Shahnaiya Si Raho Me
Suhag Rat Hai Ghunghat Utha Raha Hu Mai
Suhag Rat Hai Ghunghat Utha Raha Hu Mai

Simat Rahi Hai Tu Sharama Ke Apni Baho Me
Simat Rahi Hai Tu Sharama Ke Apni Baho Me

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Tu Mujhe Chahegi Umar Bhar Yu Hi
Uthegi Meri Taraf Pyar Ki Nazar Yu Hi
Mai Janata Hu Ke Tu Gair Hai Magar Yuhi
Mai Janata Hu Ke Tu Gair Hai Magar Yuhi
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai


2015-08-25

පැරදීම සහ ජාතික ලැයිස්තුව

එක් ප්‍රශ්නයක් විසඳෙන්නටත් කළින් තවත් ප්‍රශ්නයකට මුහුණ දීම නිසා මුල් ප්‍රශ්නය අමතක වීමේ වාසනාවන්ත ඉරණමකට අපි මුහුණ දී සිටිමු. ගැටළුවක් මතු වූ විට අප කළ යුත්තේ මොන මොනවා හෝ කරමින් කල් මරා ගැනීම පමණකි. ගැටළුව විසඳීම කෙසේ වෙතත් අළුත් ගැටළුව නිසා පරණ ගැටළුව නෙග්ලෙජිබල් වී යයි. නැතිනම් අමතක වී යයි.

දැන් අපට ඇති ප්‍රධානම ගැටළුව පැරදුණු අපේක්ෂකයන්ට ජාතික ලැයිස්තුවෙන් ආසන ලබා දීමයි. සමහර අය කියන විදිහට නම්, එපා කියා එළවපු අයට ආපසු තැන ලබා දීමයි.

මේ කතාව ගල් පැලෙන බොරුවකි. ජාතික ලැයිස්තු වලට මුලින් ඉදිරිපත් කළ නම් වෙනුවට පැරදුණු අපේක්ෂකයන් දැමීමට මැතිවරණ නීතිය යටතේ ඉඩ කඩ ඇති බව ගරු කටයුතු මැකෝ තුමා කල් වේලා ඇතිවම කියා දුන්නේය. එහෙම ඉඩ දී ඇත්තේ ඇයි කියා මඳක් කල්පනා කර බැලීම වටී. මොළය නැති අයට, කල්පනා නොකර සිටීමට සිදු වීම ගැන කණගාටු වෙමි.

ජාතික ලැයිස්තු වලට සුපර්ම බඩු ටිකක් නම් කර චන්දය ඉල්ලන්නේ අපේක්ෂකයන් සියලු දෙනා ජයග්‍රහණය කළහොත් හම්බ වෙන බෝනස් සීට් ටිකට රිංගවීම සඳහා බවත් හුදී ජනයා සිහියේ තබා ගැනීම වටියි. එසේ නැතිව, කර හම යනකන් ජනතා සේවයේ යෙදෙන අපේක්ෂකයෝ ගෙවල් වල තබා කොහේවත් සිටින මහාචාර්යවරු පාර්ලිමේන්තුවට රිංගවන්නට තරම් ඇඟේ අමාරුවක් මේ දේශපාලක තුමන්ලාට තිබෙන්නට හැකියාවක් නැත.

දැන් මේ පැරදුනු අපේක්ෂකයන් කියා හංවඩුවක් ගසා ඇත්තේ කාටද යන්න ගැන මගේ වි්‍ග්‍රහය මෙසේ ඉදිරිපත් කරන්නෙමි.

අපේ රට කවුරු මොනවා කීවත් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටකි. රටේ නම පවා සඳහන් කර ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙනි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක “දිනනවා“ යන්නෙන් හෝ “පරදිනවා“ යන්නෙන් අදහස් කරන්නේ බහුතරයේ කැමැත්තයි. තවත් පැහැදිළි කරනවානම්, අදාළ ඡන්දදායකයන් සංඛ්‍යා වෙන් සියයට පනහකට වඩා කැමත්ත ලබා ගන්නේ ජයග්‍රාහකයා ය. සියයට පනහකට අඩුවෙන් කැමැත්ත ගන්නා අපේක්ෂකයා පරාජිතයා වේ.

කේවල ආසන ඡන්ද ක්‍රමයේදී අපේක්ෂකයන් හතර දෙනකු ඉදිරිපත් වී එක් එක් අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 40%, 30%, 20%, 10% වශයෙන් ලබාගත්තත් 40% ලබාගත් අපේකෂකයා ජයග්‍රාහකයා ලෙස නම් කර ඉතිරි තුන් දෙනාම පරාජිතයන් ලෙස හඳුන්වනු ලැබේ. එහෙත් ඇත්ත වශයෙන්ම එම මැතිවරණ කොට්ඨාශය තුළ ජයගත් අපේක්ෂකයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අය 60%ක් සිටිති. ඉතින් ඒත් ඔහු ජයග්‍රාහකයකුයැයි කියනු ලැබේ.

වර්තමාන දිස්ත්‍රික් ක්‍රමයේදී, පැරදුනු පක්ෂයේ තේරී පත් වූ අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා දිනූ පක්ෂයේ නොතේරුනු අපේකෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව වැඩි වීමේ හැකියාව ගැන කිසිවකු සිතන්නේ නැත. එවැනි තත්වයක් යටතේ “ගෙදර යවපු“ අපේක්ෂකයන් ගැන කතා කිරීම හුදෙක්ම විහිළුවක් පමණකි.

“අපි එපා කියල ගෙදර යවපු උන්“ කියා කියන්නට කාටවත් හැකියාවක් නැත්තේ, කිසිවකු ඡන්ද පත්‍රිකාවේ තම “මනාපය“ මිස “අමනාපය“ සළකුණු නොකරන නිසා ය. බ්‍රේක් නැති කට සහ නැමෙන සුළු දිව පාවිච්චි කර ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කීමටත් අපහාස උපහාස කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම අයිතිය දී ඇති නිසා ඒ ගැන වැඩිපුර කතා කිරීම තේරුමක් නැත.



2015-08-18

සන්දානය පරාදයි, දැන්...........



මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වශයෙන් පෙනී සිටි “යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ“ ජය ලබාගනිමින් තිබේ. මහින්ද පෙරටු කොට ගත් සන්ධානය පසුපසට ගොස් ඇත. මැතිවරණ ප්‍රතිපල දෙස බැලීමේදී (ඡන්ද බල ප්‍ර දේශ එකින් එක ගෙන බැලූ විට) පෙනී යන එක් කරුණක් නම්, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා මෙවර යූ ඇන් පී, ජේ වී පී, ජෙනරාල් ආදී කොටස් ලබාගත් ඡන්දවල එකතුව වැඩි හෝ සමාන බවත්, ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා මෙවර සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අඩු බවත් ය. මෙයින් එළැඹියහැකි නිගමනයක් නම්, දැන් මහින්ද තවදුරටත් පිරිහී ඇති බවයි. එසේ සැළකීමේදී මහමැතිවරණයට මහින්ද නොආවානම් හෝ අඩු වශයෙන් සාමාන්‍ය අපේක්ෂකයෙක් වශයෙන් පමණක් ආවානම්, සන්ධානයට මීට වඩා ඡන්ද ලැබෙන්නට ඉඩ තිබුනු බවයි. එපමණක් නොව, මහින්ද නොඉල්ලුවානම්, ජවිපෙට මීට වඩා ඡන්ද ලැබෙනු ඇතැයි මට සිතේ. එසේ වන්නේ “මහින්ද අගමැති වීමේ අනතුර වළක්වාගැනීම“ සඳහා යූ ඇන් පී එකට ඡන්දය දුන් සමහර අය එම අනතුර නොතිබුනානම් ජවිපෙට චන්දය දෙන නිසා ය.

කෙසේ හෝ දැන් අපි සිදු වූ දේට මුහුණ දිය යුතුය.

මෛත්‍රී යහපාලනය සඳහා බලය ඉල්ලද්දී මහින්ද පරාජය කර රනිල් අගමැති වීමේ සිහිනය නිසා මෛත්‍රීට සහය දුන් නමුත් යූ ඇන් පී එකේ යහපාලන “ජාන“ නැත. එහෙත්, යූ ඇන් පී එකේ සිටි හොරිකඩ ජඩයින් ගණනාවක් “දෑත් ශක්තිමත් කිරීම“ සඳහා සන්දානයට පැනගත් පසු තවමත් සන්දානය තුළම ගාල් වී සිටින නිසා සමහරවිට දැන් යූ ඇන් පී එක තරමක් සුද්ද වී තිබෙනවා විය හැකිය.

සමහර මෝඩ බයියන් හිතාගෙන ඉන්නේ යූ ඇන් පී එකෙන් වැරදි සිදුවන්නට ඉඩ හැර, ඒ වැරදි සන්දානයෙන් කළ වැරදි වලට හිලව් කිරීමෙන් පසු නැවත සන්දානයට ජඩ වැඩ කරන්නට ඉඩ හදා ගැනීමට වුවත්, මහජනතාව වන අප විසින් මේ අවස්ථාවේදී කළ යුත්තේ වත්මන් ආණ්ඩුවට හොඳ තෝන් ලණුවක් නොහොත් රිමෝට් කොන්ට්‍රෝල් එකක් සොයාගැනීමට උත්සාහ කිරීමය.

කෙසේ වුවද. ඒ නිසා, 

  • 19වැනි ව්‍යවස්ථාවේ ගැරඬියා වෙනුවට නයා ම ගෙන ඒම.
  • 20 හෙවත් ආසන මට්ටමෙන් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය සකස් කිරීම.
  • යෝජනා කරන ලද සියළු කොමිෂන් සභා පූර්ණ බලතල සහිතව පිහිටුවීම.
  • සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම.
  • බයියන්, ටොයියන් ඇතුළු මහජනතාවගේ දැනුම සහ අවබෝධය පුළුල් කිරීම.
  • වයි ෆයි සමග තොරතුරු දැනගැනීමේ පනත ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරවීම.
  • බයි මානසිකත්වය, ගෝත්‍රවාදය සහ කොදෙව් මානසිකත්වය අතු ගා දැමීම.


ඇතුළු දහසක් වැඩ අප ඉදිරියේ දැන් තිබේ.

මේ කෙටි ලිපිය අවසාන කරමින් කිවයුත්තේ, 1977 ජේ ආර් සහිත යූ ඇන් පීය ජයග්‍රහණය කළ අවස්ථාවේ ඇති වූ හිතේ අමාරුව අද මට ඇති නොවු බවත්, සියුම් සතුටක් ඇති වූ බවත් ය. එකල යූ ඇන් පියේ සිටි ජඩයන් දැන් සන්දානයට ඇවිත් කියා මම කල් වේලා ඇතිවම හිත හදා ගනිමි.

මහින්ද මාමා ගැන දුකය. එහෙත්, අද ඉන්නේ එදා මහින්ද නොවන බව මතක් වන විට ඒ දුක නැතිව යයි.

2015-08-09

මහා වංචාව

බැංකු ගණුදෙනු, ආර්ථික විද්‍යාව ආදී කාරණා ගැන මගේ දැනුම අතිශයින් සීමිත ය. ඒ නිසා, මේ ලිපියේ මුල් කොටස පමණක් කියවන ටොයියන් විසින් මතු කරන්නට ඉඩ තිබෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නට මගේ බලාපොරොත්තුවක් නැති බව මුලින්ම කියමි.

රනිල්ගේ ආණ්ඩුවයැයි කියනු ලබන වර්තමාන ආණ්ඩුව යටතේ ලෝක ලංකා ඉතිහාසයේ මේ තාක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාව සිදු වූ බව කියනු ලැබේ. අප කුඩා කාලයේ ලංකාවේ සිදු වූ විශාලතම මුදල් කොල්ලය රුපියල් හාරලක්ෂයක් විය. ඒ නිමිති කරගෙන චිත්‍රපටයක් පවා නිපදවන ලදී. එහෙත් අද කාලයේ නම්, ලක්ෂ හතරක් යනු එතරම් ගණන් ගත යුතු මුදල් ප්‍රමාණයක් නොවේ.

ඒත් බිලියන පනස් නමයක් යනු මෙසේ එසේ මුදල් ප්‍රමාණයක් නොවේ. බිලියනයක් යනු මිලියන් දාහකි. එනම්, ලක්ෂ දහදාහකි. කජු ඇට කොස් ඇට නොව ගෙඩි රුපියල්ය.

 ලංකාවේ සමස්ත ජනගහනයෙන් බිලියන පනස් නමය බෙදු විට වංචාවේ පරිමාණය ගැන සිතාගැනීමට හැකිය. ඒත්, මේ වංචාව වංචාවක්ම නොවන බව රනිල්ගේ කට්ටිය කියති. විෂය දැනුම සීමත බැවින් ඇත්ත බොරු තෝරාගැනීම මටනම් අපහසුය. එහෙත් කණගාටු වීමට දෙයක් නැත. මේ ගැන පැහැදිළි කර දෙන්නට පුළුවන්කමක් තියන බව සිතන අයකු විසින් හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් සිද්ධිය ගැන විවරණය කර තිබේ. නිර්නාමිකව එය ඔබගේ ඉන්බොක්ස් එක වෙතට දැනටමත් එවා නැතිනම් හෙට අනිද්දාම එනු ඇත. කෙසේ වෙතත්, මේ පළවන්නේ ඒ ලියමනෙහි වැදගත් කොටසයි. ලංකා නිව්ස් වෙබ් අඩවියේ පළ වූ ලිපිය ආශ්‍රය කරගෙන ඊ මේලය සකස් කර ඇති බව පෙනේ.

රනිල් වික්රමසිංහගේ  ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාව 

මෙය කියවන ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගත හැක. මාර්තු , අප්රේල් මැය් හා ජූනි මාස වල පමනක් රජයට වූ පාඩුව රුපියල් බිලියන් 59 කට වැඩියැය් ඇස්තමේන්තුගත කර ඇත මත්තල ගුවන් තොටුපල හදන්නට වැයවූ සම්පූර්ණ මුදල වන රුපියල් බිල්යන් 27 මෙන් දෙගුනයකට වැඩිය. (රටට වූ පාඩුවක් සංවර්ධනාත්මක ආයෝජනයක් සඳහා වැය වූ මුදලක් එක්ක සන්සන්දනය කරන එකට අපිනම් විරුද්ධයි ඕං)

පසුබිම : සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ් වේ; රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවය්. බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්රයකි. මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා ණය ලබාගැනීමය්. මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමනි. ප්රාථමික වෙළෙන්දෙකු යනු මුල් ක්ෂෙස්ත්රය පිළිබඳ විශේසඥ්ඥ දැනුමක් ඇති ව්යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල් සමාගම් කිහිපයක් ප්රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය, මහබැංකුව මගින් මසකට කිහිප වරක්ම බැඳුම කර නිකුත් කරනු ලබන අතර අදාල බැඳුම්කරයේ කාල සිමාව එහි නිලධාරින් විසින් අවස්තානෝචිතව තීරණය කරනු ලැබේ.උදාහරණයක් ලෙස වසර 10 10ක්, 15ක් හෝ 30ක් වශයෙනි බැඳුමකර වෙන්දේසිය යනු රජයට ණය දීමට කැමති ප්රාථමික වෙළදුන්ගෙන් සඳහා ඔවුන් අපේක්ෂා කරන පොලිය විමසීමය්. අඩුම පොලියට ණය දෙන්නට කැමති වෙළඳුන්ගෙන් මහබැංකුව ණය ලබාගනිය්.මෙය මහබැංකුව කාලයක් තිස්සේ අනුගමනය කල නැණවත් ක්රමවේදයකි. තමුන්ගේ මුලු අවශ්යතාවයම එකවර වෙන්දේසියට ඉදිරිපත් කලහොත් පොලී අනුපාතය ඉහල යා හැකි නිසාය. සාමාන්යයෙන් රජයෙ ණය අවශ්යතාවයෙන් 10%-20% පමන ප්රමානයක් බැඳුම්කර වෙන්දේසියෙන් ලබා ගන්නා අතර ඉතිරිය ලබා ගන්නේ වෙන්දේසියෙන් තීරණය වූ පොලී අනුපාතයට යටත්ව ප්රාථමික වෙළඳුන් සමග ඍජුව ගනුදෙනු කරමිනි. ආන්දෝලනයට ලක්වූ පෙබරවාරි 27 බැඳුම්කර සිද්දියේ අනුපිලිවෙල : මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්යතාවය රුපියල් බිලියන් 260ක් පමන බව මහ බැංකුවට දන්වා තිබුනි. මෙම මුදල සොයාගතව තිබුනේ කෙටිකාලින භාන්ඩාගාර සුරැකුම්පත් හා දිගු කාලීන බැඳුම්කර සම්මිශ්රනයක් තුලිනි. 2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ අවුරුදු 30 කාලසීමකට යටත් රුපියල් බිලියන් 1 බැදුම්කර පසුදින වෙන්දේසි කරන බවය්. වෙදේසිය අවසන් වීමට නියමිත වුයේ 27දා උදේ 11ටය. සුපුරුදු පරිදි ප්රාථමික වෙළන්ඳ ආයතන 16 වෙන්දේසියට සහබාගී විය. වෙලාවලේ රටේ පැවති පොලී අනුපාතය ඉතා අඩු නිසා මේ බොහෝ දෙනෙකු ඉදිරිපත් කලේ පොලී අනුපාතය 9.5% සිට 10.5% පමන වන ලංසුය. මුලු බැඳුම්කර ප්රමානය රුපියල් බිලියන් 1ක් පමනක් නිසා එක් එක් ආයතනය සාමාන්යයෙන් ලංසු තැබුවේ රුපියල් මිලියන් 100- 500 අතර ප්රමානයන්ය. පුදුමයකට මෙන් එක් ආයතනයක් පමනක් රුපියල් බිලියන 15 ලංසු තබා තිබුනි. ඒත් රුපියල් 12.5% ගිනි පොලියකටය. සාමන් තත්වයක් යටතේ නම් බිලියන 1 ක් වෙන්දේසියකට බිලියන් 15ක් ලංසු ඉදිරිපත් කිරීම යමෙක් විහිලුවක් හෝ පිස්සු විකාරයක් ලෙස දකින්නට තිබුනි. එහෙත් එය විහිලුවක් හෝ පිස්සු විකාරයක් නොවීය. එය ලංකා ඉතිහාසයේ සිදුවූ කූඨතම මුල් වංචාවක පලමු පියවර විය.

හොරුන්ගෙත් හොරු ( තිරයෙන් පිටුපස කතාව ) : රුපියල් බිලියන් 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ ආයතනයේ නම පර්පෙචුවල් ට්රෙෂරීස්ය. මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු වන කෝටිපති තරුණ ව්යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය. අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය. මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. ...........(ඉතිරි ටික ලංකා නිව්ස් වෙබ් සයිට් එකේ බලන්න.)


ඒ ලිපිය ලියන්නට ඇත්තේ කෝප් කමිටුවේ සාමාජිකයකු විසින්දැයි මම නොදනිමි. තවමත් එළි නොදැක්වුනු වාර්තාවක මොනවා තිබෙනවාදැයි කමිටු සාමාජිකයන් නොවන මා වැන්නන් කෙසේ දැනගන්නද?

යහපාලන ආණ්ඩුවක් කියා ඇතැමුන් විසින් හඳුන්වන වර්තමාන ආණ්ඩුව සුපිරිසිදු එකකැයි මම නොසිතමි. නොසිතුවෙමි. ඇත්ත වශයෙන්ම මට යූ ඇන් පී අරහං වුනේ ජේ ආර් ගේ කාලයේදී ය. ඒත් මහින්දගේ කාලයේදී ශ්‍රී ලංකා එකත් ඊටත් වඩා අප්‍රසන්න විය.

රටකට ආණ්ඩුවක් අවශ්‍ය ඇයි? රට සංවර්ධනය කිරීම ආණ්ඩුවේ එක කටයුත්තක් බව සැබෑවකි. ඒත් රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එහි ජනතාව ආණ්ඩු කිරීමටයි. එනම්, යුක්තිය පසිඳලීමටයි. රාජ්‍යයේ ආරක්ෂාව සහ රටවැසියාගේ ආරක්ෂාව පවතින්නේ ආණ්ඩුව අතේ ය. මේ දෙකෙන් එකක්වත් හරි හැටි සපයන්නට 2010-2014 ආණ්ඩුවට නොහැකි වූයේ කොටි ත්‍රස්තවාදය මට්ටු කිරීමෙන් පසුව ඇති වූ රාජෝන්මාදය නිසා ය. ත්‍රස්තවාදියකු අතින් මරණයට පත් වීම සහ හයිරන්කාර කෙරුමකු අතින් මරණයට පත් වීම අතර වෙනසක් නැති නිසා, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වීම සහ සංවර්ධන වැඩසටහනක් නිසා උන් හිටි තැන් අහිමිවීම අතර වෙනසක් නැති නිසා, ජනතාව මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළහ.

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයට වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුනේ යහපාලනයක් ඇති කිරීමේ අරමුණ ඇතිවය. ඕපපාතිකයකු මෙන් එළියට පැනගත් මෛත්‍රීට සහායට හතර පස් දෙනකු ඉදිරිපත් වූ නමුත් ඔහුට චන්ද ලබාගන්නට හැකි වුනේ යූ ඇන් පිය නිසාය.

යූ ඇන් පී ආණ්ඩුව යහපාලනයක් කරන බව කියා තිබුනේ නැත. එසේ කියා නොතිබුනු පමණින් අවපාලනයක යෙදීමේ අයිතියක් ඔවුනට ලැබුනේද නැත. ටෙන්ඩර් මගඩියක් මගින් අඩු පොළියට ගැනීමට හැකියාව තිබුනු ණයක් වැඩි පොළියට ගැනීමෙන් මූල්‍ය වංචාවක් සිදු කළ නිලධාරියාට එරෙහිව ක්‍රියා නොකිරීමේ චෝදනාවට ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

මහින්ද මේ වැනි මහා පරිමාණයේ වංචාවක් සිදු කළේයැයි කියා අප දන්නේ නැත. සිදු කරන්නට ඉඩක් තිබුනේදැයි අප දන්නේද නැත. ඒ කාලයේ හොරකම විමධ්‍යගත කර තිබුනු බැවින් එක් පුද්ගලයකු විසින් විශාල වංචාවන් සිදු කිරීම සීමා වී තිබුනු බව මගේ අදහසයි.

මේ සියල්ල මෙසේ තිබුනත්, නැවත වරක් මහින්ද හා නඩයට නැගිටින්නට ඉඩ නොදිය යුතු යැයි මා අවධාරණය කරන්නේ ඇයි?

හොරකමක් නැවැත්වීමට වඩා අපට අවශ්‍ය වන්නේ හොරකම් කිරීමට, දූෂණයට ඇති ඉඩකඩ නැති කිරීමය. එහෙත්, මහින්ද ආවොත් එෆ් සී අයි ඩී හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නියත වශයෙන්ම විසුරුවනු ලබන අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් ආපසු හරවනු ඇති නිසා ය. එවිට හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරකම් කළ බව දැනගන්නට ලැබෙන්නේ ද නැත.

ඒ නිසා, හොරකම් දූෂණ නොකරන බවට සහතිකයක් නැතිවම යූ ඇන් පී ආණ්ඩුවක් (හෝ ජේ වී පී ආණ්ඩුවක්) පත් කරගැනීම අවශ්‍ය වී ඇත්තේ කරන හොරකමක් දූෂණයක් අල්ලාගැනීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ යහපාලනයෙන් ඉදිරියට ගියහොත් පමණක් වන නිසා ය.