2012-02-18

වැඩියෙන්ම බය කවුද?

මිනිසුන් වැඩියෙන්ම බය වෙන්නෙ මොනවටද?
ඔබ දන්නවනේ සමහර අය කැරපොත්තන්ට බයයි. සමනළයන්ට බය අයත් ඉන්නවා. මකුළුවන්ට, බල්ලන්ට, සර්පයන්ට (මේ කියන්නෙ විෂ සහිත සර්පයන් අත පාත ගාන්න බය වෙන එක නෙවෙයි, සර්පයෙක් දැක්කම ඒකා කාට හරි දෂ්ට කරන එක වළක්වා ගන්න උත්සාහ කරනව වෙනුවට, පළාතෙ ඉන්නෙ නැතිව දුවන එක ගැන) සමහර අය දක්වන්නෙ පුදුමාකාර බයක්. ඒ වගේම සමහර අය පව් කරන්න බයයි, හොරකම් කරන්න, බොරු කියන්න බයයි. ඒත් සමහර අය බය නැතුව බොරු කියනව. මේ අතරෙ බය නිසා නොව පිළිවෙතක් වශයෙන් බොරු නොකියන, හොරකම් නොකරන අයත් ඉන්නව.
ඇතැම් මිනිසුන් පොලීසියට දක්වන්නෙ පුදුමාකාර බයක්. කුඩා කාලයේ ගෝනි බිල්ලන්ට බයගැන්වීම නිසා සමහරු වැඩි වියට පත් වුනාමත් මිනිසුන්ට මුහුණ දෙන්න බයයි. ඒත් මේ බය කියන දේ සත්වයාට ස්වභාවයෙන්ම ඇති වෙන දෙයක් ආත්මාරක්ෂාව සඳහා. (ආහාර, නින්ද, බිය සහ මෙවුන්දම සියළු සත්වයන්ට පොදු අවශ්‍යතා හැටියටයි පැරණි සංස්කෘත ශ්ලෝකයක සඳහන් වන්නේ)
ඉතින්, සමස්තයක් වශයෙන් ගත්තහම මිනිසුන් වැඩි දෙ‍නකු බයක් දක්වන්නේ මොකටද කියන එක හොයන්න උනන්දුවක් දක්වපු පර්යේෂකයන් විසින් යම් යම් මතවාදයන් ඉදිරිපත් කරල තියෙනව.
ඒ වගේම, විවිධ දේවල් ලැයිස්තු ගත කරල තියෙනව ඇතැම් අය විසින්. බොහෝ විට ඒ ලැයිස්තුගත කිරීම් කරන්නෙ ඔවුන් විසින් කරනු ලබන පර්යේෂණ, සමීක්ෂණ එහෙම නැත්නම් රිසර්ච් වැඩ ආශ්‍රය කරගෙන, ඒවායේ දත්ත උපයෝගී කරගෙන.
ඒ වගේ එක පොතක් තමයි මේ.
මේ පොත පළමුවෙන්ම ප්‍රකාශයට පත් කරල තියෙන්නේ 1977දී. ඒ පොතේ තියෙන එක් ලැයිස්තුවක් තමයි, මිනිසුන් විසින් වැඩියෙන්ම බයක් දක්වන්නේ මොනවටද යන්න.
ඒ ලැයිස්තුවේ හැටියටනම්, මිනිසා වැඩිම බයක් දක්වන්නේ සමූහයක් ඉදිරියේ කථාවක් පැවැත්වීමට. හැබැයි මේක ලංකාවට අදාළ වෙයිද කියලනම් සැකයි අපේ දේශපාලන සත්ව කොටස් දිහා බලපුවාම. ඒ කෙසේ වුවත්, පාසැල් යන දරුවන් සමිතියේ කථිකෝදය සමිතියේ සභාපති හරි ලේකම් හරි වෙන්න, එහෙම නැත්නම් සමිති වාරයකදී කතාවක් පවත්වන්න, ගීතයක් ගායනා කරන්න පැකිලෙනබව නම් අපේ අත්දැකීමක්.
මිනිසා දෙවැනියට බයක් දක්වන්නේ උස් ස්ථාන වෙත යාමට කියලයි ලැයිස්තුවෙ සඳහන් වෙන්නෙ. මේ උස් ස්ථාන කියන්නෙ රැකියාවේ ප්‍රමෝෂන් එහෙම නෙවෙයි ඕං. උස ගහකට, ඉණිමගකට නගින්න හරි එහෙම නැත්තං ගැඹුරු ගංගාවකට උඩින් දාල තියෙන වැල් පාලමක්, කම්බි පාලමක් නැත්තං බිම බලපුවහම ගැඹුර පෙනෙන විදිහට තියෙන පාලමක් උඩින් යනකොට සමහර අයගෙ කකුල් දෙක වෙවුලනවා.
තුන්වැනි ස්ථානය හිමිවන්නේ කෘමීන්ට.
හතරවැනි ස්ථානය මූල්‍යමය ගැටළු. (මොබයිල්මෑන් නම් වැඩියෙන්ම බය ඒකටද කොහෙද) මාසෙ පඩිය වෙලාවට ගන්න බැරිවෙන ගැටළුවක් ආවොත් මොකක්ද කරන්නෙ, දිවි නසා ගන්නවා ඇරෙන්න.
පස්වැනියට මිනිස්සුන්ව බය කරන්නෙ ගැඹුරු ජලාශ. හැබැයි පීනන්න දන්න අයට මේක ගණනක් නැතුව ඇති. සමීක්ෂණය කළේ කාන්තාරෙකදිද දන්නෙ නෑ.
හයවැනි ස්ථානය අසනීප වලට හිමි වෙනව. (ඒකෙනුත් හෙම්බිරිස්සාවට තමයි මොබයිල්මෑන් වැඩියෙන්ම බය. මතක් වෙනකොටත් අප්පිරියයි. චුරුස් චුරුස් ගගා. නාන්නත් නෑ. කන්නත් බෑ ඒත් බඩගිනි එනව කෙළවරක් නැතිව.)
අපට පුදුම හිතුනත් මරණයට හිමි වන්නේ හත් වැනි ස්ථානයයි. ඒ කියන්නෙ ඉහත හේතු හයෙන් එකක් නිසා කෙනෙකුට තීරණය කරන්න පුළුවැනි සිය දිවි නසාගන්න.
අටවැනි ස්ථානය දී ඇත්තේ පියාසර කිරීමටයි. මෙහිදී අදහස් කරන්නට ඇත්තේ ගුවන් යානයක ගමන් කිරීම විය යුතුයි. ඇත්ත, අපේ ලංකාවෙනම් මහපාරක බයිසිකලේකින් යාම හෝ පයින් ගමන් කරමින් කහ ඉර මතින් පාර පැනීම ගුවන් යානයක යාමට වඩා කීප ගුණයකින් අනතුරුදායකයිනෙ.
නමවැනි ස්ථානය හුදකලා වීම.
දහය තමයි බල්ලට හම්බ වෙන ස්ථානය.
එකොලෙස් වැනි ස්ථානය දීල තියෙන්නෙ කාර් එකක යාම හෝ කාර් එකක් පැදවීම. මේකනං වෙන්න ඇත්තෙ අදාළ සමීක්ෂණයට ලංකාවෙ අය සහභාගි නොවීම කියන එක මොබයිල්මෑන්ට නං පැහැදිළියි.
දොළොස්වැනි ස්ථානය අඳුරට හිමිවෙනව. දොළොස්මහේ පහන දල්වලා අපේ අයට පුළුවනි ඒකෙන් ගැලවෙන්න.
දහතුන්වැනි ස්ථානය විදුලි සෝපාන (Elevators) වලටත්, දා හතරවැනි ස්ථානය පාවෙන පඩිපෙලවලටත් (Escalators) හිමි වන බවයි ඉහත කී පො‍තේ දැක්වෙන්නෙ.
ඉතින් ඔබත් මේ ලැයිස්තුවේ කොතනක හරි ඉන්නවද බලන්න.

2 comments:

  1. හුගාක් අය පිරිසක් ඉදිරියේ කතා කරන්න බයයි. සමහර අයට දාඩිය දානවා බය වෙනවා, වෙව්කලනවා. ඉතින් මේක පොඩි කාලේ ඉදලම නැති කරන්න තමා උදේ රැස්වීමේ වගේ කතා කරන්න දෙන්නේ. බූඩිටත් හරියට මතක නැති වුනත් බූඩි පිරිසක් ඉස්සරහා කතා කරේ මුලින්ම ඔය උදේ රැස්වීමේදි. එක පාරක්/ දෙපාරක් කට් කලා, පස්සේ කට් කරන්න බැරි තැනටම ආව නිසා වෙව්ල වෙව්ල කතාවක් කලා. එදා පටන් ගත්ත කතාව තාම යනවා :) . බූඩි ඩිබෙට් ටීම් එකෙත් හිටියා. බූඩි වැඩියෙන්ම බය සර්පයින්ට, බඩ ගාන :( :( :(

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාළුවා... හොද තොරතුරු ටිකක් දැනගත්තා....

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.