2012-02-24

රාවණ රජතුමා බෞද්ධයෙකු බව ඔබ දන්නෙහිද?

මේ ලිපිය ලියන්න මුල් වුනේ එක්තරා ඊ මේල් එකක්. මේ ඊ මේල් එක ලියපු මහත්මයා විතරක් නෙවෙයි තවත් ඇතැම් අයට බරපතල ගැටළුවක් තියෙනවා මේ සිංහල ජාතිය ආරම්භ වුනේ කොහොමද කියන එක ගැන. සාමාන්‍යයෙන් අපි අහල තියෙන එක කතාවක් තමයි, මහාචාර්ය එදිරිවීර සරච්චන්දුයන් අතින් සිංහබාහු නාටකය බවට පෙරළිලා තියෙන කතාව. මේ නාටකය බලල නැති අයනං නැතුව ඇති කියල මං හිතන්නෙ. කොහොම වුනත් ඒ නාටකයේ සිංහල ජාතිය සමග සිංහබාහුගෙ සම්බන්ධකමක් ගැන කතා කරන්නෙම නෑ. ඒ නාටකය ඊට වඩා බොහොම ඈතට ගිය සම්භාව්‍ය නාටකයක්. විශේෂයෙන් පරම්පරා ගැටුම සම්බන්ධයෙනුත්, පියකුගේ, මවකගේ, පුතකුගේ හා දියණියකගේ හිත් වලට එක් එක් අදහස් නැගෙන ආකාරය ගැනත් කියැවෙන, හැම අතකින්ම පිරිපුන් නාටකයක්. මං නම් හරිම ආසයි නැවත නැවතත් බලන්න.
සිංහබාහු කතන්දරේ මෙහෙමයි. නැගෙනහිර ඉන්දියාවේ හිටපු සුප්පා දේවී කියන රාජ කුමාරි සිංහයෙක් සමග වාසය කරනවා කැලේ ගල් ගුහාවක. මේ ජෝඩුවට ලැබෙනවා පුතෙක් සහ දුවක්. මේ පුතාගෙ පුතා තමයි විජය කුමාරයා. විජය කුමාරයා රටින් පිටුවහල් කරනවා සිංහබාහු විසින්. පිටුවාහල් කරපු විජය කුමාරයා නොදැනුවත්වම එන්නෙ ලංකාවට. ඇවිත් ලංකාවෙ හිටපු කුවේණි කියන යක්ෂණිය සමග ජීවත් වෙන්න පටන් ගන්නවා. පස්සෙ පොරට කුවේණි එපා වෙලා මදුරාපුරයෙන් බිසවක් ගෙන්වා ගන්නවා. මේ විජය කුමාරයා සහ පිරිස නිසා සිංහල ජාතිය ආරම්භ වුනා කියල මතයක් තියෙනව සමහර අය ගාව.
මෙතනදි එක කාරණාවක් තමයි සිංහයෙක් සහ මනුස්ස දුවක් අතර ඇතිවන සම්බන්ධ‍යකින් දරුවන් ඇති වෙන්න බැහැයි කියන ජීව විද්‍යාත්මක කාරණය. අශ්වයා සහ බූරුවා අතර සම්බන්ධයකින් කොටළුවා ඇති වුනාට අනික් සත්තුන්ගේ ඒ වාගෙ සිද්දවෙන්නෙ නැහැ කියලයි දැනට හොයාගෙන තියෙන්නෙ. මේක ජීව විද්‍යාත්මකව පැහැදිළි කිරීමට මට දැනුමක් නැති වුනත් සිංහයා + සුප්පාදේවී කියන කාරණාවනම් අසත්‍යයක් බව පැහැදිළියි.
ඒ කෙසේ වුවත්, විජය කුමාරයා කියන කෙනා මොන විදිහකින් හරි ඉපදුනානම් රාජ කුමාරයෙක් හැටියට, පොර පිටුවහල් කළානම් රුවල් නැවේ පාවෙලා ඇවිත් ලංකාවට කඩා පාත් වෙන්න ඉඩ තියෙනව. ඒ ටික ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මුළු ජාතියම ඒ කණ්ඩායමෙන් ඇති වුනා කියල කියන්න බෑ වගේම එහෙම නෑ කියල කියන්නත් බෑ. කොහොම වුනත්, ලංකාවට විජය කුමාරයා ගොඩබැස්සයි කියන්නෙ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑ දවසෙමයි.
විජය කුමාරයා ගොඩබැස්සයි කියන තම්මැන්නා වෙරළ පැත්තෙ මොන තත්වයක් වුනත් ලංකාවෙ ශිෂ්ටාචාරයක් තිබිල තියෙනව ඒ වෙනකොටත්. ඒකට සාක්ෂියක් තමයි තපස්සු හා භල්ලුක කියන වෙළඳ දෙබෑයො. මේ දෙන්නා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහල නිධන් වස්තුවක් වශයෙන් කේශ ධාතු ඉල්ලගෙන ඇවිත් තමයි ගිරිහඩු සෑය හදල තියෙන්නෙ.
ඇරත්, කුවේණි කියන තැනැත්තිය කපු කටිමින් හිටිය බවක් තමයි සඳහන් වෙන්නෙ. ඒ කියන්නෙ යම් යම් කර්මාන්තාදියට පුහුණු වූ ජන කොටසක් ලංකාවෙ හිටියයි කියන එකනෙ.
ඒ වගේම තවත් ඇතැම් අය විශ්වාස කරනව සිංහල ජාතිය ආරම්භ වුනේ එයිට වඩා බොහෝ අතීතයේ බව සහ රාවණා රජ්ජුරුවො කියල කියන්නෙ සිංහල රජ කෙනෙක්ය කියල. හැබැයි රාවණා ගැන අපට තියෙන එකම සාක්ෂිය ක්‍රිස්තු පූර්ව 500 – 600 කාලයේදී වාල්මිකී විසින් ලියන ලදැයි සැළකෙන රාමායණය නමැති ග්‍රන්ථය පමණයි.
සමහර අය තර්ක කළත්, ලංකාවෙ තියන රාවණාගොඩ, රාවණා ඇල්ල වගේ ස්ථාන නාම වලින් රාවණා කියල රජ කෙනෙක් හිටිය බව ඔප්පු වෙන්නෙ නෑ. වාරියපොල කියල ගමක් තිබුනට දඬුමොණරයක් තිබුන කියල ඔප්පු වෙන්නෙ නෑ.
රාමායනයෙන්ම රාවණා ගැන දැනගත්ත අය රාවණා සිංහලයෙක්, අපේ එකෙක් කියල හිතාගන රාමායනය කියන්නෙ ඉතිහාසය විකෘති කරන ග්‍රන්ථයක් කියල කියන එක කොහෙත්ම තාර්කික නෑ.
මේ පිළිබඳ සංවාදය තව කාලාන්තරයක් ඉදිරියට ඇදෙද්දි, අද මගේ ලිපියෙන් අදහස් කළ දේ කියන්නම්.
මං මුලින් සඳහන් කරපු ඊ මේල් එක මෙන්න මෙහෙමයි.
මා දන්නා පරිදි ජේසු තුමන් බෞද්ද ශ්‍රාවකයෙකි. මුස්ලිම් ආගමේ ඔහුව ඊසා නමින් හදුන්වන්නේ යෝනක දේශය සමග එදා තිබුණු බෞද්ධ සම්බන්දකම් නිසාය. මක්කාවේ තිබුණු පන්සල් කඩා දමා සංඝ ඝාතනයක් සිදුවන මොහෙතේ අශෝකරජතුමා චතුරංගනී සේනාවක් සමග කාන්තාරය හරහා යෝනකදේශයට යාමට තැත් කලමුත් කාලගුණික තත්වය ඔහුට හරස් විය. මෙය කුරානයේ ලියවී ඇත්තේ වෙනත් අයුරකිනි. ඒ කබාව විනාශ කිරීමට පැමිණි සේනාවන් දෙවියන් විසින් විනාශ කර දෑමු බවයි. මේ ඉතිහාසයට වසර 1433 කි .
හිතෝපදේශයේ  ඇත්තේ සහමුලින්ම දම්ම පදයේ අනුවර්තනයකි. උදාහරණයක්‌ ලෙස බලන්න: කඩිසරයා දඩයමින් ගත් දෙය පුළුස්සා ගනී, අලසයා දාස බවට පත් වන්නේය. කඩිසරයාගේ අත් ආණ්ඩු කරන්නේය, අලසයා ශේවෝල(මිනීවල ) කරා යන්නේය. හිතෝපදේශය:
අප්පමාදෝ අමත පදං -පමාදෝ මච්චුනෝ පදං, අප්පමන්තා න මියන්ති - යෙපමන්තා යතා මතා. ධම්මපදය:
අප්‍රමාදව කටයුතු කරන්න- පමාවුවන්  මළවුන් වැනිය.
එදා බෞද්ධයෙකු වූ ජේසු තුමන්ව ඝාතනය කිරීමට මුල්වූ පල්ලිය අද බෞද්ධ ඉතිහාසය ඝාතණය කිරීමට මුල්වී ඇත.
නොපමාව කටයුතු කරමු...........................විද්වත් ඔබට ශාසන ඉතිහාසය පිළිබද කතිකාවකට ඇරයුම්.
ජාතියක් ලෙස නැගී සිටින්න සියල්ලන්ගේ නැණස පහදවමු.
550
ජාතක පොතේ වීර්ය පාරමිතාව පුරන බෝසතුන් කරවූ ලිද අදත් මදීනාවේ ඇත.
යෝනක දේශයෙන් පැමිණි බුද්ද ශ්‍රාවකට කමටහන් දෙන මොහෙතේ බුදුරදුන් ඇසු පැනයන් මතකද ?
යෝනක දේශයේ වැලිතලාවක තැබූ ශ්‍රී පතුල  වට කර අද තිබෙන්නේ කුමක්ද?
මළවුන්ගෙන් නැගිටුන ජේසු තුමන්, මරියා සමග ඉන්දියාවට පැන ගියාද?
ඉන්දියාවේ සොහොනකින් මතු වූ ඇන ගැසීම නිසා අස්ථි බිදීමකට ලක්වුන මිනිස් ඇට සැකිල්ල හා ඒ අසලින්ම හමුවුන ගැහැණු ඇටසැකිල්ල කාගේද?
රාවණ රජතුමා බෞද්ධයෙකු බව ඔබ දන්නෙහිද?

ඉතින් මට ගැටළුවක් ඇති වුනා මෙහෙම.
රාමායණයේ හැටියට රාවණා රජතුමා ජීවත් වෙලා තියනව කියන්නෙ හින්දු ආගමේ කියැවෙන දෙවියන් මහ පොළොවෙ ඇවිදපු කාලෙ. ඒ කියන්නෙ බුද්ධ කාලයට බොහොම පෙර. එතකොට කොහොමද රාවණ රජතුමා බෞද්ධයෙක් වුනේ?
(සිද්ධාර්ථ කුමාරොත්පත්තිය ක්‍රිස්තු පූර්ව 563දී සිදු වූ බවයි ඉතිහාසයේ සාක්ෂි අනුව කියැවෙන්නෙ)
මේ ගැන කල්පනා කරමින් ජාලයේ කරුණු හොයද්දි ලැබුන තව ලිපියක්.
ඒ ලිපියෙ හැටියට රාජණා රජතුමා ඉඳල තියෙන්නෙ සීගිරිය ගල උඩලු. ඒ විතරක් නෙවෙයි, කැටපත් පවුරත් තිබිල තියෙනව ඒ වෙනකොට සීගිරියෙ. (හැබැයි මේ ලිපියත් රෙෆරන්ස් දෙන්නෙ රාමායණයටමයි.)
එතකොට කැටපත් පවුර හදවපු කාෂ්‍යප රජ්ජුරුවන්ටත් පස්සෙද රාවණා රජ්ජුරුවො හිටියෙ?
අපේ හිතින් මවාගත්තු කතන්දර, අනුමාන, වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දේවල්, මේ ආදී අහඹු කරුණු උඩ ඉතිහාසය ගැන නිගමන වලට එන්න බැහැ. ඒකට පුරාවිද්‍යාත්මක සාක්ෂි අවශ්‍යයි. ජාතියක ආරම්භය ගැන නිශ්චිතවම හොයන්න පුළුවන් කමක් නැහැයි කියන එකයි මගේ මතය. ඒක ගංගාවක් පටන් ගන්න තැන හොයන්න යනව වගේ වැඩක් වේවි. මොකද, ජාතියක් පටන් ගන්නෙ මුහුරත් උළෙලක් එහෙම පවත්වලා ගිවිසුමක් ගහල ව්‍යවස්ථාවක් සම්මත කරගෙන එහෙම නෙවෙයිනෙ.
(මතු සම්බන්ධයි)

24 comments:

  1. //රාමායණයේ හැටියට රාවණා රජතුමා ජීවත් වෙලා තියනව කියන්නෙ හින්දු ආගමේ කියැවෙන දෙවියන් මහ පොළොවෙ ඇවිදපු කාලෙ. ඒ කියන්නෙ බුද්ධ කාලයට බොහොම පෙර. එතකොට කොහොමද රාවණ රජතුමා බෞද්ධයෙක් වුනේ?//

    යාලුවා... අපි බුදු කෙනෙක් විදිහට හඳුන්වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නොවෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේට ප්‍රථම බුදුවරු විසිහත් නමක් ඉඳලා තියෙනවා. අපි විසිඅට බුදුවරු කියලා හඳුන්වන්නේ.

    මම අහලා තියෙන විදිහට රාවණා රජතුමා කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ සමග සමකාලීනයි. උන්වහන්සේ තමයි ලංකාවට වැඩම කරලා ලංකාවතර සූත්‍රය දේශනා කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි මිත්‍රයා. මොකද අපි ගොඩක් දෙනා බෞද්ධ දර්ශණය පිළිපදිනවා කියලා හිතාගෙන ඉන්නේ ගෞතම බුදු රජානන් විතරයි මේ ලෝකේ පහළ වුනේ කියලා. ඊට කලිනුත් බුදුවරු මේ ලෝකයට පහළවුනා. ඒ අයගේ ධර්මයෙන් බොහෝ දෙනා නිවන් අවබෝධ කලා

      Delete
    2. ඔව්.හැබැයි බුද්ධාන්තරයක් කියන්නෙ සුළු පටු කාලයක් නෙවෙයි. ස්තුතියි අදහස් දැක්වීමට.

      Delete
    3. විය හැකියි. රාවණ කියන්නෙත් එක් පුද්ගලයෙක් නොව රාජකීය පරම්පරාවක් බව පැවසෙනවා. ඉතින් එකම රාවණ රජු නොවෙන්නත් පුලුවන් මේ කතා වල සඳහන් වෙන්නේ...

      Delete
    4. අමතක කරන්න එපා , මේ භද්‍ර කල්පයේ බුදුවරු සතර නමක් පහල වෙලා තියෙනවා. බොහෝ විට සදහන් වෙන්නේ රාවණ රජු කෝණාගමන බුදුන්ගේ කාලයේ සිටි බවකි

      Delete
  2. සිංහලයා කියන එක හැදුනේ සිංහයෙක්ගෙන් නොව "සිව් හෙළයා"ගෙන් බව විද්වත් මතයයි.

    ReplyDelete
    Replies
    1. මමත් අහල තියනව. ඉතින් "හෙළයා" හැදුනෙ?

      Delete
    2. මම ළඟදී පොතක් කියෙවුවා. එහි තිබෙන විවරණය අනුව නම් හෙළ කියන්නේ හිරුගෙන් පැවතෙන වැනි අදහසක්. උදාහරණයක් විදිහට ලතින් වලිනි "හීලියෝස්" කියන්නෙත් ඔවැනි අර්තයක්...

      රාවණ ඇතුළු ආදී හෙළයන් හිරු දෙවියන් ඇදහුවා යනුවෙන් මතයක් පවතිනවා. ඒ අනුව මෙම වදන බිඳී ආවා වෙන්න පුලුවන්

      Delete
  3. මොබයිල් හරි බුද්ධාංතරයක් කියන්නේ ලොකු කාලයක්. අපේ පංස‍ලේ බණකට වැඩම කරපු හාමුදුරුවො නමක් දේශනා කලා බුදුවරු සතර නමක් පහලවූ මේ මහා බද්‍ර කල්පය ආසන්න වශයෙන් වසර කෝටි 198ක් වයස වේවි කියලා... (සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය වසර වල‍ට පරිවර්තනය කරලා.. )ඒ ඒ බුදුවරන් ගේ පාරමිතා කාලයන් ගණනය කරලා. ඉතින් ඊළගට මතු බුදු වන මෛත්‍රීය බුදුන් තව වසර කෝටි 50කින් පහල වුනත් 100 කින් පහල වුනත් ‍පවතින ලෝකය, ජීවය විනාශ වෙලා අලුදුහුවිලි වෙලා කිසිදු භෞතික සාක්ෂියක් පොළව මත නැති වෙන්න ඕන... වසර කෝටි 1ක් කියල හිතුවත්‍? එහෙම එකේ බුදුවරයෙකුගේ මුවෙන් රාවණා ගැණ කියවුනේ නැතිනම් විශේෂයෙන් කට කතා හරි හැදෙන්න පුලුවන් මේ එකම විදිය මේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණනන්ගේ කාලයේ වෙන්න ඕන?

    ඒකෙත් බුදුන් වැඩසිටි කාලයේද ඊට පෙරද පසුද හිටියේ කියන එක ඉස්සෙල්ලම විසඳගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බුද්ධ කාලයක් කියන්නේ බුදුවරු වසන කාලයක්ම නෙමෙයි,බුදුදහම පවතින කාලයක්...

      Delete
  4. කරුණු නොදැන ඊනියා විවේචනය කරනවට වඩා කරුණු ගැන කියවා සොයා බලා සාකච්චාවක් ඇරඹුවා නම් වඩා උචිත යැයි හැගේ..


    මෙතන සිංහයෙක් කියල වරදවා වටහා ගැනීමක් මම හිතන්නේ...ඒ කාලේ සිංහ කියල ගෝත්‍රයක් තිබුනා,සමහරවිට සිංහ ගෝත්‍රිකයෙක් කියලත් හිතන්න පුළුවන්....සිංහයෙක් වගේ රළු ගති තිබුන කෙනෙක්ලු සිංහබාහු .ඒක නිසා සිංහයෙක් කිව්වා කියල මතයක් තියෙනවා....

    විජය කුමාරයා එන්න කලින් ලංකාවේ ගෝත්‍ර 4ක් හිටිය.
    යක්ෂ ,නාග ,රාක්ෂ ,දේව....මේ ගෝත්‍ර වල ඇදහිලි අනුව තමයි වෙනස් උනේ,නැතුව ඔවුන් යක්කු,රක්ෂයෝ,දෙවියෝ,නාගයෝ නෙමෙයි....බුදුහ්හමුදුරුවෝ ලංකාවට වඩිනහේතුවක් උනෙත් නාග ගෝත්‍රයක ප්‍රශනයක් නේ.කොහොම හරි විජය කුමාරයා එන කාලේ වෙනකොට රාක්ෂ දේව ගෝත්‍ර නැති වෙලා තිබුන.

    යක්ෂ ගෝත්‍රය කියන්නේ බොහොම දක්ෂ පිරිසක්.නව නිර්මාණ කරන්න ඔවුන් දක්ෂයි.රාවණා රජතුමාත් යක්ෂ ගෝත්‍රිකයෙක්.නාග ගෝත්‍රිකයෝ නාවිකයෝ,වෙළෙන්දෝ බවයි කියවෙන්නේ..ඔවුන් වෙළදාමට දක්ෂ බවත් නාවික ගමනා ගමනයෙහි ප්‍රකටයෝ බවත් සදහන්.විජය රජු ලංකාවට එන්න කලින් ලංකාවේ දියුණු සංස්කෘතියක් පවතිනු බව කිව යුතුය.බුදුරජුන් ලංකාවට වඩින හේතුව මැණික් පුටුවක් වීම කර්මාන්තමය දියුණුව කියාපාන්නක්.නාග වංශිකයෝ නැවු සෑදු බවත් යක්ෂ වංශිකයෝ නව නිර්මාණ කරුවත් වීමත්,(දඬු මොනරය වැනි ) උදාහරණ වේ...
    දියුණු සංස්කෘතියක් අපට තිබු බව පැහැදිලිය.
    මේ සංස්කෘතිය වඩාත් අර්ථවත් හා ප්‍රබෝදවත් වුයේ බුදුදහම ලැබීමත් සමගය...බුදු දහමෙන් කලඑළි වූ සංස්කෘතිය හා ආගමික සබ්යත්වය සමහ සිංහල ජාතිය ඇරඹිණි.පෙර තිබු නාග ,යක්ෂ වන්ශිකයන්ද ...සිංහ වංශයද,බුදුදහම රැගෙන ආ ආර්ය වංශය යන සතර වංශය එක්ව සිංහල ජාතිය ඇරඹින...

    ඒ තවත් මතයකි..


    මෙවැනි මාතෘකා කතිකා කිරීම අගනේය,එහෙත් ඉතා සුවිසාල වගකීමක් ඇතිව අදහස් යොමු කිරීම වැදගත්ය.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි අදහස් පැවසීම ගැන. මේ පෝස්ට් එක “මතු සම්බන්ධයි.”
      කරුණු නොදැන විවේචනය කරන්න බැහැ. මේ කරන්නෙ තර්ක නැගීමට සහ බිඳහෙළීමට දරන උත්සාහයක්. එතුළින් සමහරවිට හැකිවේවි යමක් සොයාගන්නට. නැතිනම් අත්හැර දමන්න වෙනවා.
      බලන්න ලිපියේ මේ කොටස. අපේ හිතින් මවාගත්තු කතන්දර, අනුමාන, වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දේවල්, මේ ආදී අහඹු කරුණු උඩ ඉතිහාසය ගැන නිගමන වලට එන්න බැහැ. ඒකට පුරාවිද්‍යාත්මක සාක්ෂි අවශ්‍යයි.

      Delete
    2. පුරාවෘත්ත,කතන්දර ,සාහිත්‍යය ඒ අයුරින්ම පිළිගන්න බැහැ.නමුත් ඒවා ප්‍රාවහයක් සේ පවත්වාගෙන එන්න හේතුවක් ,පදනමක් තියෙන්න පුළුවන්..ඒක නිසා ඒක විනාස කරලා දාන එක "යුක්තියක් ඉටු කිරීමක්" වෙන්නේ නෑ.
      ඉතිහාසය යනු මුලාශ්‍ර වල පමණක් ප්‍රතිබිම්බයක් නොවන බව වටහා ගත යුතුය."ඉතිහාසය"... මුලාශ්‍ර,කතා,පුරාවිද්‍යාත්මක සාක්ෂි,විනාස වූ ,විනාස කරවූ දැනුම එකතු කොට සමස්තයක් ලෙස දකිමින් big picture එක තුලින් සොයා ගත යුතුය.ඒ සදහා දැනුම අත්‍යවශ්‍යය .සියල්ල එකතු කර ගැනීමට මධ්‍යස්තව දැනුම දෙස බැලිය යුතුය


      කොහොම වුනත් ඔබේ අරමුණ මේ අවබෝධයෙන් ඉදිරියට ගෙන යන්නක් නම් ඉතාමත් අගේ ඇති උත්සහයක්.දිගටම ලියන්න

      Delete
  5. දෙවැනි කොටස අද හෙටම බලන්න පුළුවනි.

    ReplyDelete
  6. ෙම් විදියට ඉතිහාසය විකෘත්තිකිරමින් ලිපි පළකරන ඒක වැරදියි ෙමාකද රවනා කියන්ෙන් ග්‍රන්ථයක ඒන චාරිතයක් විතරයි ඒ චාරිතයට පණ ෙදන්න ගිහින් අෙප් ඉතිහාසයවත් අාගමවත් විකෘත්ති කරන්න ඒපා යාළුවා දැන් අලුත්ම ප්‍රවනතාවය තමයි සිගිරිය රාවණා හැදුවාය කියන ඒක ඒ සුද්ෙදා ලංකාවට ෙගන්න ගන්න ෙයාදපු ෙපාඩි උපක්‍රමයක් විතරයි. ලංකාෙව් මිනිස්සු ඒවට අහුෙවන්න ඔෙන් නැ.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ කතා කරන්නෙ මේ පෝස්ට් එක ගැනද නැත්නම් කමෙන්ට් එකක් ගැනද කියන එක පැහැදිළි නෑ. පෝස්ට් එකේ කියවෙන්නෙත් ඔබේ කමෙන්ට් එකට ආසන්න මතයක්.

      Delete
  7. මට හිතෙන්නේ මම ලියපු රාවණා නැවත "ඉපදුන" පසු සියළු ගැටළු විසදේද ලිපිය මේ ලිපියට හරියන කමෙන්ටුවක් වෙයි කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. link එක මඟහැරිලා මෙන්න එය - http://sathsamudura.blogspot.com/2012/08/blog-post_26.html

      Delete
  8. කරුණාකර මේ පොත කියවා බලන්න...රාවනා ගැනත්, අපේ ජාතිය (සිවුහෙලය) බිහි උන හැටිත් මේ පොතේ නියමාකාරයට විස්තර කර ඇත..

    කොග්ගල නිලමේ (22Mb)
    http://www.mediafire.com/?6wpswpdm1oph3yk

    ReplyDelete
  9. මෙහි දෙවන පොතත් අවශ්‍ය නම් කියන්න..

    ReplyDelete
  10. රාවණා තාම නැගිට්ටෙ නැද්ද?

    ReplyDelete
  11. රාවණා තාම නැගිට්ටෙ නැද්ද?

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.