2012-05-02

රාවණාගේ කතා තවත් නොකියමි?

මේ බ්ලොග් එකේ පෝස්ට් කීපයක් මං පළ කලා රාවණා ගැනත් සිංහලයාගේ ආරම්භය ගැනත් විවිධ අදහස් එකතු කරලා. ඒකෙන් මං අදහස් කළේ සිංහල ජාතියේ ආරම්භය ගැන පවතින ප්‍රධාන මතවාද දෙකක් ගැන විමසා බලන්නටයි. ඒ පෝස්ට් වලට විවිධ කමෙන්ට්ස් දාල තිබුනා. ඒ කමෙන්ට්ස් ඔස්සේ ගිහින් තව තව දේවල් කියවලා බලන්නටත් අවස්ථාවක් ලැබුනා. ඒ වගේ සංවාදයකට එළැඹෙන්න ලැබුන එකත් ලොකු සතුටක්.
අපේ රටේ සමහරු විශ්වාස කරනවා සිංහල ජාතියේ ආරම්භය විජයාගමනය නිසා ඇති වූ බව. එතනදිත් සුළු වෙනස්කම් සහිතව තමයි ඒ ගැන අදහස් ඉදිරිපත් වෙන්නෙ. මූලික වශයෙන්ම විජයගේ පියා ගැනත් සීයා ගැනත් ඒකමතික වූ නිගමනයක් නැහැ. සුප්පා දේවිය සමග වනයේ ජීවත් වුනේ සිංහ වංශයේ මනුස්සයෙක් හෝ සිංහ ගති සහිත මනුස්සයෙක් බවත්, ඔහුගේ පුතා සිංහබාහු බවත් පොදුවේ පිළිගැනෙන මතයක්.
කොහොම වුනත් සිංහබාහුගේ පුතෙක් වූ විජය කුමාරයා හත්සියයක පිරිවරක් සමග ලංකාවට පාවෙලා ආපු බව වංශ කතාවන්ගෙන් කියවෙනවා. මේ හත්සීයම පිරිමියො කියලයි විශ්වාස කරන්නෙ. ඉතින් පිරිමින්ගෙන විතරක් පරම්පරාවක් හැදෙන්න බැහැනෙ. ස්වදේශික ස්ත්‍රීන් විවාහ කරගෙන මේ හත්සීයක් වූ පිරිස විසින් පරම්පරාවක් බිහි කළ බවයි පිළිගැනෙන්නෙ. එතකොට මේ හත්සීයම සිංහ වංශයෙද?
ලංකාවේ ඒ වෙනකොට හිටියේ සූර්ය වංශිකයො කියල අදහසක් තියෙනව. සූර්ය වංශික ස්ත්‍රීන් සිංහ වංශික පුරුෂයන් සමග විවාහ වුනා කියල හිතුවොත්,  ඒ අයගෙන් බිහිවුනු පරම්පරාව අළුත්ම වංශයක ආරම්භය කියල හිතන්න පුළුවනි. මේ අළුත් වංශය සිංහල වංශය වෙන්න ඇති නේද?
සිංහල ජාතිය ඇති වුනේ “සිවු“ සහ “හෙළය“ කියන වචන දෙකේ එකතුවකින් කියල අදහසක් ඉදිරිපත් වෙලා තිබුනා. මෙතනදි ගැටළුව තමයි, මොකක්ද මේ සිවු හෙළය කියන්නෙ කියන එක. වචනයක් හැදෙන විදිහටමද ජාතියක් හැදෙන්නෙ.
විජය කුමාරයා පිළිබඳ ප්‍රවාදයට පටහැණි අදහසක් තමයි, මේ දිවයිනේ අනාදිමත් කාලයක පටන් සිංහලයා ජීවත් වුනාය කියන එක. ඒ මතවාදය අනුව තමයි රාවණා රජ්ජුරුවො සිංහල ජාතියේ ආදි නායකයෙක්ය කියන අදහස. මේ රාවණා සංකල්පය ලංකාව තුළ වගේම ඉන්දියාව, මියන්මාරය (කලින් බුරුමය), තායිලන්තය (කලින් සියම් දේශය) වගේ රටවලත් පැතිරුණු එකක්. ඒ රටවල පැතිරිලා තියෙන එකිනෙකට මඳ වශයෙන් වෙනස් වූ ප්‍රවාදයන් අනුව අපට පිළිගන්න පුළුවනි රාවණා නමින් රජ කෙනෙක් ලංකාපුරය කියන  ප්‍රදේශයේ හිටියයි කියන එක. ඒ වුනත්, රාවණා රජතුමා සිංහලයෙක් කියල හිතන්න පුළුවන් සාක්ෂියක් තමයි නැත්තෙ.

මට මේ කතා ඇහෙනකොට මතක් වෙන සිද්ධියක් තියනව. ඉස්සර, ඒ කිව්වෙ දැනට අවුරුදු තිහකට හතළිහකට ඉස්සර, චන්දෙ කාලෙට අපේ ගෙදරට යන එන මිනිස්සු ඉතින් දේශපාලනේ ගැනමනෙ කතාව. ඒ කතා කිසිම න්‍යායාත්මක බවක් නැති නිකං ඕපාදූප විතරයි ගොඩක් වෙලාවට. ඒ අතරෙදි, අපේ තාත්තලගෙ තිබුනු දේශපාලන පක්ෂපාතිත්වයට ගැලපෙන අය ආපු වෙලාවට පළාතෙ එක එක පුද්ගලයන් ගැන කියවෙනව. අහවලා යූ ඇම් පී. අහවලා සම සමාජ. අහවල් කට්ටිය ශ්‍රී ලංකා. ඔය ආදී වශයෙන්. ඒ කාලේ ජේවීපී කියන්නෙ ප්‍රසිද්ධ දේශපාලනය තුළ මුල් බැහැගත්තු පක්ෂයක් නෙවෙයි. මං ඒ වෙනකොට පොඩි එකා, චන්දෙ දාන්න වයස මදි. හැබැයි ඉතින් යමක් කමක් තේරෙන වයසෙ. ඉතින්, එක දවසක් මනුස්සයෙක් ඇහුව අපේ තාත්තගෙන් “අහවල් දොස්තර මහත්තයා මොකේද කියල දන්නවද?“ කියල. එයා සඳහන් කළේ පළාතෙ පිළිගත් වෛද්‍යවරයෙක් ගැන. තාත්ත ඒ ගැන දන්නෙ නැති බවයි පෙන්නුවෙ. ඒ පාර අර මනුස්සය කියපි, එයා අපේ එකේ තමයි කියල. මේ වගේ කතා වලදි පොඩි මානසික තෘප්තියක් ලැබෙනව. පිළිගත් පුද්ගලයෙක් අපි ඡන්දෙ දාන පක්ෂෙටම ඡන්දෙ දානවනෙ කියල හිතෙනව.
රාවණා රජ්ජුරුවො සිංහලයෙක් කියපුවහමත් දැනෙන්නෙ ඒ වගේ සතුටක් නේද?
මේව ගැන කතා කරන්න ගිහින් තමයි මානව සංහතියේ ආරම්භය හා පරිණාමය ගැන පසුගිය ලිපි වලින් සාකච්ඡා කරන්න මං උත්සාහ කළේ. දැන් නේෂන් කියල හඳුන්වන්නෙ එකම භාෂාවක් කතා කරන, එකම සංස්කෘතියක් (දළ වශයෙන් වෙනස්කම් තියෙන්න පුළුවනි) අනුව කටයුතු කරන, ජන කොට්ඨාශයක් ද, එහෙම නැත්නම්, ඒකීය වූ පරිපාලනයක් යටතේ ජීවත් වන ජන සමූහයක්ද?
මිනිසා තමන්ගේ පැවැත්ම සහ වර්ධනය සඳහා ජාතියක් වශයෙන් වෙන් වෙන්න හදනව නේද? දැන් බලන්න පවුලක් ඇතුළත දේපොල බෙදාගැනීමේදී තමන්ගෙ අයිතිය වෙනුවෙන් මිනිසා තනිව කටයුතු කරනව නේද? එතකොට පවුල් දෙකක් අතරෙදි ඇතිවන හබයකදි, පවුල වෙනුවෙන් තමයි සටන් කරන්නෙ. ගම් දෙකක් අතර ආරවුලක් ඇති වුනොත්, ගම වෙනුවෙන් කටයුතු කරන්න පෙළඹෙන්නෙත් ඒ මිනිසාමයි. මේ ආකාරයට තමයි ජාතිය ගැන හැඟීම ඇති වෙලා තියෙන්නෙත් කියන එකයි මං විශ්වාස කරන්නෙ. සිහි බුද්ධිය තියන කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් අමතක කරල දාලා ජාතිය වෙනුවෙන් කටයුතු කරනවද? සමහරවිට තාවකාලිකව පෞද්ගලිකත්වය අමතක කරල දමාවි අනාගතයේ ඇති වන යහපතක් වෙනුවෙන්නම්.
මිනිහා අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට ගෞරව කරන්න ඕනෑ. ඒ විදිහටම පුළුල්ව කටයුතු කරද්දි ජාතීන් වශයෙන් අන්‍යොන්‍ය ගෞරවයක් තියෙන්න ඕනෑ. එහෙම වුනාම තමයි ලෝකයට සාමයක් ඇති වෙලා ලෝකය දියුණු වෙන්නෙ. ඉදිරියට යන්නෙ.
මගේ විශ්වාසයනම්, තමන්ගෙ ජාතිය ගැන මහා ලොකුවට කෑ මොර ගසමින් අනෙක් ජාතීන් විනාශ කරන්න ඕනැ කියල බෙරිහන් දෙන්නෙ කුහක ආත්මාර්ථකාමීන් කියන එකයි.
තවත් කාරණාවක් තියනව කියන්න.
මේ බ්ලොග් එකේ තිබුනු පෝස්ට් වලින් රාවණා රජ්ජුරුවො ගැන කියවුනු ඒවට වැඩ්යෙන් හිට්ස් ලැබිල තිබුනා. හැබැයි වැඩියෙන්ම හිට්ස් තිබුනෙ, "හිටගෙන චූ කරන්න එපා" කියන පෝස්ට් එකටයි.

ජාතියක් කියන්නෙ මොකක්ද? දැනට ජාතියක් කියන වචනය වෙනුවට ඉංගිරිසියෙන් යොදාගැනෙන්නෙ නේෂන් කියන වචනය. ඒ වුනත්, ඒ පරිවර්තනය එච්චර සාර්ථක නැහැයි කියලයි මගේ පිළිගැනීම. ජාතිය කියන්නෙ උත්පත්තිය හා සම්බන්ධ එකක්. එතකොට පුද්ගලයෙකුගෙ ජාතිය කියන්නෙ ඒ පුද්ගලයා උත්පත්තියෙන් නෑ කම් දක්වන්නෙ කුමන ජන කොට්ඨාශයකටද කියන එකයි. එහෙම වුනාම, “ශ්‍රී ලාංකීය ජාතිය“ වගේ සංකල්ප අර්ථ ශුන්‍ය වෙනව.

8 comments:

  1. මම නං හිතන්නෙ අපේ මුල ‍හොයාගන්න බැරි තරම් පරණයි. ඒක හරියට කැලේක තියන ගහක මුල්ම මවුගස සොයාගැනීම වගේ දෙයක්. ඕන තරම් තර්ක ගේන්න පුළුවන්, බිදින්න බෑ. ශ්‍රී ලාංකීය ජාතිය ගැනනං කිව්ව කතාව හරි. ඒක මේ වාර්ගික අර්බුදයත් එක්ක ආපු දෙයක්. ඒගොල්ල හිතුව "ශ්‍රී ලාංකීය" ජාතිය කිව්වම ඔක්කොම ප්‍රශ්න විසදෙනව කියල.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔබේ මතය හා මගේ මතය සමපාත වෙනව මෙතනදි.

      Delete
  2. ජාතියක පටන්ගැනීම හොයනව කියන්නෙත් ලේසි පාසු වැඩක් නෙමෙයි.......

    ReplyDelete
  3. විජය කුමාරයා ඉන්දියාවෙන් ගෙන්වාගත් සාඛ්‍යවංශික කුමරියක් වන බද්ධකච්චායනා කුමරියව සරනපාවා ගත්තා.
    සිංහළ ජාතියේ ආරම්බය එතනයි..
    රාමායනය යනු ගොතන ලද කතාවක් පමනයි....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැනට ලංකාවේ ඉන්න සිංහලයන් එක්කෝටි හැත්තෑලක්ෂයක්ද කොහෙද අයගේ මුල් දෙමව්පියෝ විජය හා භද්දකච්චානා කියන එකද? නැත්නම්?

      Delete
  4. දැන් රාවණා රජතුමා මාකට් වෙනවා හෝ ගාලා... එතුමා තවමත් ජීවතුන් අතර සිටිනවා නම් (ප්‍රවාද වලට අනුව - සිහිසුන්ව ???) මේ පාර නම් සිය දිවි නසා ගන්නවා මේ විකාර දැකලා...

    ඔබ විචාරශීලීව මේ ලිපි පෙල කලා කියලා මට හිතෙනවා. නමුත් ගොඩක් දෙනෙක්ට රාවණා කියන්නේ ට්‍රෙන්ඩ් එකක්... හිට්ස් ගන්න ටොපික් එකක් !

    සිංහල ජාතිය විතරක් නෙවේ, ලෝකේ මොන ජාතියක් වුනත් 100% ක් පාරිශුද්ධයි කියලා පිළිගන්න අමාරුයි. එක් එක් ජනවර්ග වල DNA මිශ්‍රණයක් තමයි හැම ජාතියකම ඇඟේ තියෙන්නේ. තව පරම්පරා 10 ක් යනකොට මුළු ලෝකෙන්ම ඔය ජාතිය කියන සංකල්පය නැතිවෙලා යාවි !!!

    හැබැයි වැදගත් වෙන්නෙ මුල මතක තියා ගැනීමයි. අඩු ගානේ අපි සිංහලයාගෙන් පැවතෙනවාය කියලාවත් කියන්න පුළුවන් කොන්දක් තියෙන එක...!!!

    ඔබේ උත්සාහයට තුති...! රාජ් සහෝ කිව්වා වගේ අපේ මුල හොයන එක අමාරු වැඩක්...

    ReplyDelete
  5. හම්... බොහොම විචාරශීලී ලෙස ලියලා තියෙනවා

    ReplyDelete
  6. රාමායනය කියන්නේ වාල්මිකි උන්නැහේගේ නිර්මාණයක් , ඕකේ හිටපු කැරැක්ටර් එකක් අපේය කියන්නයි දැන් දැන් කට්ටියගේ ට්‍රයි එක . ඉතිහාසය කියල ලියවිලා තියන බොහෝ දේවල් එක එක්කෙනාගෙ නිර්වචන වෙච්ච කොට , හින්දු දේව කථාවක් ආශ්‍රයෙන් ඉතිහාසයක් ගොඩ නගන්න යන එකත් විකාර වැඩක් . හොඳම දේ මිනිසත් ජාතිය විදිහට හිතන එක . මොකද රාවණා ගෙන් පැවතුනත් , ආර්ය වංශිකයින්ගෙන් පැවතුනත් ඔය කාගෙත් මුල අප්‍රිකාවේදි මුලින්ම ගස් වලින් බැහැපු කට්ටිය තමා !

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.