මළ ඉලව් ඡන්දයක් නිසා, යහපාලනේ කෙසේ වෙතත් මගේ ස්වයං පාලනය නැති වී ගියේය. නිතර නිතර ගොසිප් සයිට් වලටත් මාතලන් නමැති දේශප්‍රේමී හොරාගේ බ්ලොග් එකටත් (දේශප්‍රේමී හොරු මේ දවස් වල අහුවේගන ගියාට මම කියන්නේ වෙනින් කවුරුවත් ගැන එහෙම නෙවෙයි මාතලන් ගැනමයි හොඳේ.) එයාගේම සින්ඩියටත් W3ලංකා, වැනි හැමදාම දේශපාලන ලිපි ලියන බ්ලොග් වලටත් යන්නට පුරුදු වුනෙමි. ඒ මදිවාට ඉස්සර ෆන් ගන්න කොල්ලො කෙල්ලො විතරක් බලන FB හෙවත් මූණුපොත බලන්නත් පුරුදු වුනෙමි.
දැන් චන්දය ඉවරය. ඒකේ ප්‍රතිපලත් කියලා ඉවරය. ඒත් චන්ද ප්‍රතිපල ආවාටත් වඩා වේගයෙන්, ගෙවල් අස්සේ හංගලා තිබුනු ලැම්බෝගිනි ද, නැව් අස්සේ හංගලා තිබුනු ආයුධ ද, ගබඩා අස්සේ හංගලා තිබුනු සැහැල්ලු ගුවන් යානා සහ ඔරලෝසු ද, යනාදී වශයෙන් මෙකී නොකී දහසකුත් දේ ගැන නිවුස් එන්නට පටන් ගැනීම නිසා තවදුරටත් ඒ පුරුද්දෙන් ගැලවෙන්නටනම් තවමත් නොහැකි විය.
අද ඉතා දැඩි වෙහෙසකර ව්‍යායාමයක් ගෙන සාමාන්‍ය ජීවිතයට ඇතුළු වන්නට තීරණය කරමින් මේ පෝස්ට් එක දමන්නට සිතුවෙමි.
පහුගිය දවස් වල බ්ලොග් සහ කමෙන්ට් කියවීමේදී සමහර ඒවා කියවීම ඉතා අසීරු විය. එයට හේතු වූයේ ලියන්නාගේ කාර්යයෙන් කොටසක් කියවන්නාටත් ඉතිරි කරමින් සමහර අය ලිවීම ය. ඒ කියන්නේ, වචනය යන්තමින් තේරුම් ගැනීමටවත් අමාරු වෙන විදිහට අකුරු ලිවීම ය. මේ සංසිද්ධිය සිදු වන්නේ සිංග්ලිෂ් නමැති මළදානය නිසාය. සිංග්ලිෂ් ක්‍රමයට සමහර අකුරු ලිවීම ඉතා අපහසුය. “ඍ“ සහ “ඏ“ යන අකුරු දෙක නම් ලියන්නටම බැරිය. සමහර වචන ලියවෙන්නේ විකාර සහගත ක්‍රම වලට ය. බදු ගහන එකට සමහර අය බඩු ගහනවා කියා ලියන්නේ වනචර කමකට නොව වෙන ලියන්නට ක්‍රමයක් නැති නිසා ය. සමහර අය ඉතා පහසුයි කියා සිතන ෆොනටික් කී බෝඩ් එකත් එයටම නොදෙවෙනි එකකි. ඉංග්‍රිසි හෝඩිය ඇඟේ ම තියන උදවිය මේ ෆොනටික් කී බෝඩ් එක පහසුයැයි සිතති. ඒත් නියම සිංහල ලේ ඇති මගේ ඇඟේ ඉංග්‍රිසි හෝඩිය ජීරණය වී නැති නිසා මට නම් වඩා පහසු වී ඇත්තේ විජේසේකර යතුරු පුවරුව යි.
මේ නිසා, අපේ සහෘදයන්ගෙන් කැමති අයට සිංහලෙන් ලිපියක් යතුරුලියනය කරගන්නා ආකාරය ගැන අදහසක් යොමු කරන්නට සිතිවිල්ලක් පහළ විය. මේ ගැන ලිපියක් කැම්පස් සින්ඩියේ දවසක්දා පළ විය. එහි දක්වා ඇති ක්‍රමයට ඔබේ පරිගණකයටත් පහසුවෙන්ම සිංහල කී බෝඩ් එක ඉන්ස්ටෝල් කරගැනීමට හැකිය. ඊ ළඟ ගැටළුව වනු ඇත්තේ සිංහල කී බෝඩ් එක පුරුදු වීම ය.
සිංහල කී බෝඩ් අතරින් පහසුවෙන්ම පුරුදු වීමට හැක්කේ “විජේසේකර යතුරු පුවරුව“ නමින් හැඳින්වෙන එක ය. ඉස්සර භාවිතා කළ යතුරු ලියනය නොහොත් ටයිප්රයිටරය සඳහා බහුලව භාවිතා වූයේ ද එයයි. ඊට අමතරව තවත් යතුරු පුවරුවක් තිබුනු අතර (නම මතක නැත) එයට වඩා විජේසේකර යතුරු පුවරුව ප්‍රචලිත වූයේ එය පහසුවෙන් මතකයේ රඳවාගත හැකි නිසාය.
යතුරු පුවරු වල (ඉංග්‍රිසි හා සිංහල දෙකේම) යතුරු හෙවත් Keys ඇත්තේ එක්තරා සුවිශේෂී පිළිවෙලකට ය. ඉංග්‍රිසි යතුරු පුවරුවේ A B C D පිළිවෙලට අකුරු නැත්තේ මක් නිසාදැයි කියා මා එකල කල්පනා කළෙමි. සිංහල යතුරු පුවරුවේ ද කඛගඝඞ චඡජඣඤ ටඨඩඪණ තථදධන පඵබභම යරලව ශෂසහල අං අඃ ඟ ඳ ඬ ඹ යනුවෙන් හෝඩියේ පන්තියේදී ඉගෙන ගත් විදිහටම අකුරු සකස් කළේ නම් පහසු වනු ඇතැයි ද ඒ සමගම සිතුණි. එහෙත්, අපගේ මොළය සහ ඇඟිලිි අතර පවතින සම්බන්ධතාවය අනුව වඩා පහසු වන ක්‍රමයකට අකුරු සකස් කර තිබේ.
කැම්පස් සින්ඩියෙන් පාර පෙන්වා ඇති ක්‍රමයට විජේසේකර සිංහල යතුරු පුවරුව ස්ථාපනය කරගැනීමෙන් පසු වර්ඩ් (MS Word) ෆයිල් එකක් ඕපන් කර එක පිටුවක් ටයිප් කළානම් වැඩේ ගොඩ යයි. මේ සඳහා මහප්‍රාණ සඤ්ඤක ආදී සියලු අකුරු සහිත ලිපියක් සොයාගන්න. යාළුවකුට එය කියවන්නැයි කියන්න. ඔබ ටයිප් කරන්න. එසේ නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය හෝ එවැනි කටපාඩමේ ඇති විවිධ අකුරු සහිත දෙයක් ටයිප් කරන්න.
වැදගත්:-
කී බෝඩ් එක ස්ථාපනය කළ පසු ටාස්ක් බාර් Task Bar එකේ කී බෝඩ් එක පෙන්වන ආකාරයට සකස් කරගන්න. (පහත රූපයේ දකුණු කෙළවරේ රතු පාටින් රවුම් කර ඇත.) මෙය වින්ඩෝස් වර්ෂන් එක අනුව වෙනස් වෙන බැවින් මෙහි විස්තර කිරීම අපහසුය. ඊට පසු, එක් එක් කී බෝඩ් අතර මාරු වීම සඳහා ෂෝට් කට් කී සකස් කරගන්න. එවිට සිංහල අකුරු ටයිප් කරමින් සිටින විට ඉංග්‍රිසි අකුරක් දෙකක් යෙදීමට අවශ්‍ය වුවහොත් පටස් ගාන පමාවෙන් එය කළ හැකිය.
ලෙහෙසිම ක්‍රමය තමයි විජේසේකර. විජේසේකර යතුරු පුවරුව තියෙන්නෙ පැරණි සිංහල යතුරු ලියනයේ යතුරු පිහිටා අැති විදියට නිසා කාර්යාල වල ඉන්න පරණ ටයිපිස්ට් නෝනලාත් මේකට පහසුවෙන් මාරුවුනා.
ReplyDeleteඒක තමයි රාජ්. මට හිතාගන්න බෑ ඇයි සමහර දෙනෙක් මේකට අකමැති කියල.
ReplyDeleteපුංච් අපිත් විජේසේකරට!
ReplyDelete