2013-05-31

ගවයන් ගැන කතා දෙකක්

මේ වන විට අන්වර් මනතුංග නමැති වෙබ් පිටුවට ලංකාව තුලදී පිවිසිය හැක්කේ ප්‍රොක්සියක් හරහා පමණකි. මේ හේතුව නිසා, පසුගිය කාලයේ "හලාල් කේස්" නැගල යන කාලයේදී නිතරම පාහේ කියවූ අන්වර්ගේ පිටුව බැලීමට මට අමතක වී ගියේය. එසේ වුවත් මගේ බ්ලොග් රෝලේ ඔහුගේ බයිලාවන් නිතර නිතර අප්ඩේට් වෙමින් පැවතිනි. පසුගිය දිනක ඔහු මහදැනමුත්තෙකු මෙන් අති පණ්ඩිත කථාවක් කරමින් කියා ඇත්තේ (1) ගවයන් මිනිසුනට නොවඳින බවත්, (2) එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තමන් වහන්සේට ගවයකු වන්දනා කරන අයුරු ඡායාරූපගත කරවාගෙන එයින් බිස්නස් කරන බවත්ය. කතාව ටිකක් දරුණු බැවින් මම ප්‍රොක්සිය හරහා ‍ගොස් එම ලිපිය කියවූයෙමි.

අන්වර්ට අනුව (ඔහුට අ.මනතුංග කියා ඇමතීමට තරම් දෙකේ කොළේ ළදරු මානසිකත්වයක් මට නැත.) වසු පැටවුන්ගේ බෙල්ලට ලණුවක් යෙදූ පසුව ඇති වන කැසිල්ල නිසා වසු පැටවුන් සිය බෙල්ල පොළොවේ ඇතිල්ලීමට තැත් කරන අතර කවුරුන් හෝ ඒ වසුපැටියා ඉදිරිපිටට ගොස් වසුපැටියාගේ වන්දනාව තමන්ට ලබාගැනීමට හැකිය. වසු පැටවුන්ටත් වැස්සියන්ටත් කුඩා කාල‍යේදීම එනම් ඉපදී සතියක් දෙකක් වැනි කාලයකදී ලණුවක් ගැටගැසීමට සිදු වන්නේ එළදෙනගෙන් කිරි දොවන අවස්ථාවේදී පැටියා එළදෙන ළඟ තැබිය යුතු වීමත් වරින් වර පැටියාට කිරි බොන්නට දී නැවත ඉවතට ගෙන ගැටගැසීමත් අපේ රටේ ග්‍රාමීය කිරි කර්මාන්තයේ සුපුරුදු කටයුත්තක් නිසාය. ඒ කර්මාන්තයේ කලකට ඉහතදී නියැලී සිටි මම අවම වශයෙන් වසු පැටවුන් (හෝ වැස්සියන්) දහ දෙනකුගේවත් මෙසේ ලණු ගැටගසා ඇති නමුත් ඒ එකකුවත් මට වැන්දේ නැත.

එසේ වුවත්, දැඩි චිත්ත පීඩාවකට හෝ භීතියට ලක්වූ සතුන් මේ ආකාරයට අභය දානය ඉල්ලමින් හෝ තමන්ගේ අවශ්‍යතාව ඉටු කරදෙන ලෙස ඉල්ලමින් කරනු ලබන වැඳීම මා අත් දැක තිබෙන බව මේ ගව ඝාතන මාතෘකාව කරළියට එන්නට පෙර මා විසින් ලියා ඇති ලිපියක සඳහන් වේ.මා එහි කියා ඇත්තේ පූසියක් සිය පැටවුන් ඉල්ලා මට වැන්ද හැටි ගැනයි. මේ නිසා, අන්වර්ගේ අතිපණ්ඩිත කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට මට අයිතියක් තිබේ.

එහෙත් අන්වර් කියන දෙවැනි කාරණය ගැන නම් මා කිසිත් කියන්නේ නැත. තමනට වන්දනා කිරීමේ සිද්ධිය උපයෝගී කරගෙන යමකු බිස්නස් එකක නියැලෙනවායැයි සිතීමට මේ කාලයේ ඇති තරම් හේතු තිබේ.

ඒ කෙසේ වුවත්, මරණයට පත් ගවයකු නිදහස් කිරීමේ පුණ්‍ය කර්මය ගැන මට මෙවැනි අත්දැකීමක් ඇත.

එක්තරා  වැඩිහිටියකුට ගවයකුට අභය දානය දීමේ අදහසක් පහළ විය. ඔහු ඒ සඳහා තවත් අය සම්මාදම් කරගැනිමටද අමතක නොකළේ තනිව එය සිදුකිරීමට ආර්ථික වශයෙන් අපහසු නිසා නම් නොවේ. පුණ්‍ය කර්මයකදී කවුරුත් සම්මාදම් කරවා ගැනීම තවමත් අපේ ගම්වල සිදු වන යහපත් පුරුද්දකි. කෙසේ වුවත්, ඔහු අභය දානය දුන්නේ ඝාතනාගාරය වෙත ගෙන ගොස් තිබුනු ගවයකුට නොව, ගොවිපොළේදී ඝාතනය සඳහා ලැයිස්තුගත කර තිබුන ගවයකුටය. එහිදී ගවයා වෙනුවෙන් ගෙවන්නට සිදුවන මිල අඩු ය. ඝාතනාගාරය වෙත ගෙන ගිය ගවයන් සඳහා ගෙවිය යුතු මිල අධිකය. (එක් ගවයකු වෙනුවෙන් ගෙවන මුදලට පැට්රල් ගැලුම් දාහක් පමණ මිලට ගැනීමට හැකිය. එහෙත් එක් ගවයකුවත් මරණයෙන් ගැලවෙන්නේ නැත)

මෙම පුණ්‍ය ක්‍රියාව සඳහා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය නොමඳව ලැබුනු අතර නිදහස් කරගත් ගවයා ඇති දැඩි කරගැනීමද තවත් ගැමියකු වෙත පවරා තිබිනි. එක්තරා පොහොය දිනයක පන්සලේ සුළු උත්සවයක් සූදානම් කරන ලදුව පෙර දිනයේ ගොවිපොළ වෙත ගොස් අදාළ ගවයා මිලට ගෙන ගෙදර මිදුලේ ගැට ගසන ලදී. උත්සවය සඳහා ගෙදර සිට පන්සල දක්වා ගවයා රැගෙන යනු ලැබුනේ බැනරයක් පෙරටු කොටගත් පෙරහැරකිනි.

උත්සව සභාවේදී විරෝධයක් මතු විය. එනම්, ඝාතනාගාරයෙන් මිලට නොගෙන ගොවිපොලෙන් මිලදී ගැනීම නිසා මෙහිදී අභය දානය දීමක් සිදු නොවන බවට ඇති වූ තර්කයයි. කිහිප දෙනකුගේ මැදිහත් වීම නිසා තත්වය සමථයට පත් වුවත්, ඇතැම් අය සිතා සිටින්නේ මස් මුදලාලිට වැඩි මිලක් ගෙවා ගවයා නිදහස් කරගැනීම අභය දානය බවත්, මස් මුදලාලි ගවයා මිලදී ගැනීමට පෙර, මස් මුදලාලි ගෙවන මිල ගොවිපොල අයිතිකරුට ගෙවා ගවයා මිලදී ගැනීම අභය දානයක් නොවන බවත් ය.

ඒ අනුව, අභය දානය සම්පූර්ණ වන්නේ මස් මුදලාලිගේ ආර්ථිකය දියුණු වීම සඳහා කටයුතු කළහොත් පමණකි. මස් මුදලාලි ගවයා විකුණන්නේ මස් විකුණා ලැබෙන ආදායමට සමාන මිලකටය. නැතිනම් ඔහුට සිදුවන්නේ පාඩුවකි.




6 comments:

  1. අපේ ගමේත් හරක් හිටියා. අපේ අල්ලපු ගෙදරත් හිටියා. ඒ එකෙක්වත් නාකිවෙලා මැරිලා මිහිදන් කරනවා නම් මට මතක නෑ.

    ReplyDelete
    Replies
    1. අයිතිකාරයා හරකාව මස් කඩේට නොවික්කා වුනත් හොරු අරගෙන ගිහින් මස් කඩේටම දක්කනවනේ!

      Delete
  2. මම ඇහුවා කාලෙකට ඉස්සර ඇක්සයිස් පොත් කාරයෙක් එක්ක රට වටේ ගිය බොහොම ජනප්‍රිය හිමිනමක් දේශණා කරනවා මරන්න ඉන්න හරක් බේර ගන්න එක හරක් වැඩක් කියලා. අපිත් ගම්වල මිනිස්සු. ඒත් කකා කියනවා වගේ ජීවීතේට අහලා නෑ හරකෙක් භූමදානය කලා කියලවත්, ආදාහනය කලා කියලවත්. සමහර විට කියන්නෙම නැතුව නිවන් යනවා ඇති.

    ReplyDelete
    Replies
    1. සමහර හරකුන්ගෙ පිටේ පිං කියල හංවඩු ගහල නිදැල්ලෙ යන්න අරිනවා. ඒකා අනුන්ගෙ එලවළු කොරටු වලටයි කෙහෙල් පැල වගාවටයි පනිනවා. ගුටි කනවා. අවසානය මස් කඩේම වෙන්න පුළුවනි.

      ඒත් හරකා මැරෙන තෙක් කන්න බොන්න දීලා මැරුණහම වළ දමන අවස්ථාවන් අපේ ගම් පළාත්වල කළාතුරකින් දකින්න නැතුවාම නෙවෙයි.

      Delete
  3. මිනිස් ජීවිත වලට සතපහක වටිනාකමක් නැති සමාජයක, හරක් ජීවිතයකට (සැබෑ හරක්) වටිනාකමක් තියෙයිද?

    ReplyDelete
  4. මට කියන්න අවශ්‍ය වෙලා තිබුනේ කමෙන්ට් කරපු සියළු දෙනා අදහස් කළ දේ නෙවෙයි. මේ දවස්වල හැටි ඔහොම තමයි. කමන් නෑ. තුන් දෙනාටම ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.