2013-02-21

එම්බා අන්වර් මනතුංගය!



සර්වබලධාරී වූත් මැවුම් කාර වූත් දෙවියකු ගැන අදහන ඔබගේ ආගමික විශ්වාසය නොමැති වූයේ නම් මා විසින් බෙහෙවින් ගරු කරනු ලබන අයගේ ගොන්නට ඔබ ද සමහරවිට වැටෙන්නට ඉඩ තිබිනි. ඔබ විශ්වාස කරන නමුත් මා විශ්වාස නොකරන ඉස්ලාම් ධර්මය ගැන වාද කරන්නට මෙය අවස්ථාවක් නොවන්නා සේම එසේ වාද කිරීමෙන් පලක් වෙතැයි සිතීමට නොහැක්කේ ආගම් අතර වාදය අද ඊයේ ඇති වූ වාදයක් නොවන නිසාවෙනි. සීමිත වූ ආගමික දැනුමක් සහ බ්ලොග් ලිවීම සඳහා සීමිත වූ කාලයක් සහිතව මා එවැනි වාදයක නියැලීම හරසුන් ක්‍රියාවකි. හැරත්, පුද්ගලයකුගේ ආගම, දේශපාලන දර්ශනය ආදිය ගැන වාද කිරීමෙන්, එම වාදයට සවන් දෙන්නන් ඉතා කළාතුරකින් තමන්ගේ ඇදහිල්ල, විශ්වාසය හෝ ප්‍රතිපත්තිය වෙනස්  කළහොත් හැර වාදයෙහි යෙදෙන්නන් කිසි විටක තම පරාජය පිළි ගන්නේ නැත.

පුද්ගලයකුගේ ආගමක් යනු තමන්ගේ ආත්ම විමුක්තිය සඳහාත් යහපත් සමාජයක ජීවත් වීම සඳහාත් අනුගමනය කළ යුතු බව සිතන දර්ශනයයි. පුද්ගලයකුගේ දේශපාලන ප්‍රතිපත්තිය වන්නේ තමන්ගේ සමාජයට යහපතක් සිදු වන ආකාරයට තමා ජීවත් වන රාජ්‍යය ආණ්ඩු කිරීමේදී අනුගමනය කළ යුතු බව සිතන දර්ශනයයි. මෙනිසා, නොයෙක් අය ඒ කාර්යයන් සඳහා සුදුසු බව සිතන ආගමක් හෝ දේශපාලනික දර්ශනයක් අනුගමනය කරන බව පෙනේ.

මා මෙය දකින්නේ කොළඹ සිට ගාල්ලට යෑම සඳහා මුහුදුබඩ සම්ප්‍රදායික ගාලු පාර හෝ අධිවේගී මාර්ගය හෝ ඒ දෙකම අතහැර දුම්රිය මාර්ගය හෝ තෝරා ගැනීම හා සමානවයි. සියළු දෙනාගේ අරමුණ කොළඹ සිට ගාල්ලට යෑම වන අතර වඩා ඉක්මන්, වඩා ලාබදායී, වඩා පහසු යන තේමාවන් ඔස්සේ සුදුසු යැයි සිතන මාර්ගයක් මිනිස්සු තෝරාගනිති. අධිවේගී මාර්ගයේ යන පුද්ගලයා දුම්රියෙන් යන පුද්ගලයා සමග ගැටුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත.

එසේ තිබියදී, දේශපාලන ගැටුම් නමින් ගැටුම් වර්ගයක් හා ආගමික ගැටුම් නමින් ගැටුම් වර්ගයක් අපට ඉතිහාසයේදී හමු වේ. ඒවා ඇත්ත වශයෙන්ම ආධිපත්‍යය පිළිබඳ ගැටුම් විනා ආගමික ගැටුම් නොවන බව විමසිලිමත් වීමේදී පෙනී යනු ඇත. ආගම් භේදය (බේධය නොවේ, භේදයයි) යනුවෙන් හේදයක් ස්වභාවිකව ඇති වීමට කිසිදු හැකියාවක් නැත. ‍භේදයක් ඇති විය හැක්කේ පොදු දෙයක් බෙදාගැනිමට යාමේදීය. ගංගාවක ජලය බෙදාගැනිම සඳහා භේදයක් ඇති වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන බව සමහර විට ඔබ කියවා ඇතැයි සිතමි. පසුගිය කාලයේ එල් ටී ටී ඊ කණ්ඩායම සහ රජය අතර භේදයක් තිබුනේ මේ ‍රටේ සම්පත් බෙදාගැනීමටය. චූලෝදර හා මහෝදර යන දෙසොහොවුරන් ගැටුනේ මැණික් පුටුවක් බෙදාගැනීමටය. මේ ආකාරයට තැබෑරුම් පර්මිට් ලබාදීමේ අයිතිය බෙදාගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ගැටුම් ඇති වෙනවා ඔබ ද දැක ඇතැයි සිතමි.
මා ලියන්නට අදහස් කරන ප්‍රධාන කාරණය එය නොව, කොමිසමක් පත්කරනු ලැබ තිබියදී පවා දිනෙන් දින ආතතිය උත්සන්න වෙමින් පවතින, අප දෙදෙනාගේම දෑස් ඉදිරියේ ඇති තවත් ගැටුමක් වළක්වාගන්නේ කෙසේද යන්න ගැනය.

ගැටුමක් ඇති වූ පසුව අතිශය විනාශකාරී පියවරයන් අනුගමනය කරමින් එය මැඬපැවැත්වීමට වඩා එවැනි ගැටුමක් වළක්වාගැනීම වඩා උචිත නොවන්නේද?
මෙහිදී, එකී ආතතිය වඩ වඩාත් උත්සන්න වන්නට යෙදී ඇති කරුණු ගැන විමසා බැලුවහොත් යමකුහට පෙනී යන්නේ මෙසේය.

1.       1 දේශීය ආහාර නිෂ්පාදකයන් විසින් හලාල් සහතිකය ලබාගැනීම සඳහා විශාල පිරිවැයක් දරනු ලබන අතර එය අදාළ ආහාර ද්‍රව්‍යයේ විකුණුම් මිලට එකතු වී‍මෙන් ජමියතුල් උලමා නමැති ඉස්ලාම් ආගමික සංවිධානයට ඉස්ලාම් ආගමික කටයුතු වර්ධනය සඳහා ඉස්ලාම් නොවන අයගේ සාක්කුවෙන් විශාල මුදලක් ඇදී යාම පිළිබඳ විරෝධය.

2.     2 නෝලිමිට් (සහ තවත් තිබිය හැකිය) වැනි ව්‍යාපාරික ආයතන විසින් සිංහල ජනතාවගේ මුදල් ලබාගෙන ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය සඳහා කටයුතු කරන අතරම සිංහල ජාතිය වඳ කිරීමට කටයුතු කරතියි යන සැකය.

3.       3 ඉස්ලාම් ආගම ඇදහීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන පුනර්ජීවනය නිසා, එනම් වැඩි වැඩියෙන් පල්ලි (මස්ජීද්) සකස් කිරීම සහ ඒවා අලංකාර කිරීම, පැරණි බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, මුස්ලිම් කාන්තාවන් ආගමානුකූල ලෙස ඇඳුම් පැලඳීම යනාදිය නිසා ලංකාව තුළ ඉස්ලාම් ආගමික අන්තවාදයක් ක්‍රියාත්මක වෙතැයි ඇති වී තිබෙන සැකය.

මෙකී කාරණා සම්බන්ධයෙන් ඔබගේ බ්ලොග් අඩවියෙහි ඉදිරිපත් කර ඇති ඇතැම් තොරතුරු සහ එහි පල වී තිබෙන කමෙන්ට් වල ඇති තොරතුරු යම් යම් අවස්ථාවන්හිදී සිංහල ජනතාව තවදුරටත් කුපිත වීමට හේතු වනු ඇතැයි මම සිතමි. ඉස්ලාම් ආගමික සංස්ථාව තුළ ඔබ යම් තනතුරක් දරන්නේදැයි කියා මම නොදනිමි. කෙසේ වුවත්, ඔබ ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් ලබා ඇත්තකු බව මට හැඟී ඇත්තේ ඔබගේ බ්ලොග් අඩවියේ සඳහන් කරුණු වලින්මය.


දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඔබ එක් පසෙකිනුත්, බො බ සේ හෝ එවැනි තවත් කණ්ඩායම් අනිත් පසිනුත් සිට, , එකම කාසියක දෙපැත්ත දෙස බලමින් එකිනෙකා කෙළ ගන්නට පාර කපන බව පෙනී යන මට සිතුනේ ඔබගේ “ජමියතුල් උලමා සමග මාධ්‍යසාකච්ඡාවේ පළමුවැනි කොටස” යනුවෙන් ලියා ඇති පොස්ට් එකට "යුනිවර්සල් සිටිසන්" නමින් යොදා ඇති කමෙන්ට් එකේ කියැවෙන කතාව ‍සියයට සියයක්ම නිවැරදි බවය.

දැන් මම මේ ප්‍රස්තූතයන් තුන වෙන වෙනම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි.

හලාල් ලාංඡනය
හලාල් ලාංඡනය නිකුත් කිරීම සඳහා හලාල් කමිටුව විශාල මුදලක් අය කරන බව මා නොපැකිළවම කියමි. අති විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ආයතනයක එක් නිෂ්පාදනයක් සඳහා මේ අයකිරීමෙන් ලැබෙන දායකත්වය ඉතා සුළු නිසා පාරිභෝගිකයාට එය නොදැනෙන බව සැබෑය. පාරිභෝගිකයා හලාල් ලාංඡනය වෙනුවෙන් ගෙවන සත කීපයක මුදල එම ලාංඡනය ඉවත් කළා කියා අඩු නොවන අතර එය නිෂ්පාදකයා සිය සාක්කුවට ඔබාගනු ඇත. එහෙත්, නිෂ්පාදකයන්ට මෙම පිරිවැය එයින් ලැබෙන ලාභයට සාපේක්ෂව අඩු බව පැහැදිළිවම කිවහැකිය. හැරත්, හලාල් ලාංඡනය ලබාදීමට හලාල් කමිටුවට එතරම් මුදලක් වැය වන්නේ නැත. අයි එස් ඕ සහ එස් එල් එස් සහතික ලබා දීමේදී කරන තරමේ විමර්ශනයක් හලාල් සහතිකය ලබා දීමේදී සිදු නොකැරේ. නිෂ්පාදනයන්ගේ හෝ අමුද්‍රව්‍යයන්ගේ පිරිසිදුබව බලන්නේ දෘශ්‍යමය මට්ටමෙන් පමණක් වන අතර අහිතකර ද්‍රව්‍ය ඇතිදැයි කියා පරීක්ෂණයක් කර බලන්නේ නැත. එයට අමතරව නිෂ්පාදන තත්වයන් පිළිබඳව වුවද දැඩි පරීක්ෂාවක් සිදු කරන්නේ නැත. හලාල් කමිටුව මුදල් සූරාකන බව පැහැදිළිය. එම මුදල්, ඉස්ලාම් ආගමේ අභිවෘද්ධිය සඳහා නොව කමිටු සාමාජිකයන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගන්නේයැයි යන්න මගේ පෞද්ගලික විශ්වාසයයි. එම නිසා, හලාල් සහතිකය සඳහා මුදල් අයකිරීම නවතාදැමිය යුතු අතර මුස්ලිම් ජනතාවට එය අවශ්‍යනම් ඔවුන් වෙනුවෙන් එම සේවය ලබා දීම හලාල් කමිටුව සිය යුතුකමක් වශයෙන් සළකා නොමිලේ සිදු කළ යුතු බව මගේ නිගමනයයි.

හලාල් කමිටුවේ වැඩපිළිවෙල බූවල්ලකු මෙන් ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය ආක්‍රමණය කරන්නේ මෙසේය.
මගේ නිෂ්පාදනයට හලාල් සහතිකය අවශ්‍යනම් මා ලබාගන්නා ඇසුරුම් ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය සියල්ලටමත් හලාල් සහතික අවශ්‍යය. එවිට, මට අමු ද්‍රව්‍ය හා ඇසුරුම් ද්‍රව්‍ය සපයන ආයතන වලට අමු ද්‍රව්‍ය හා ඇසුරුම් ද්‍රව්‍ය සපයන ආයතන වලටද හලාල් සහතිකය ලබාගැනීමට සිදු වේ. මේ ආකාරයට ක්‍රමයෙන් පැතිරෙන ජාලයකින් ස්ථාවර ආදායමක් හලාල් කමිටුවට ලබාගැනීමට හැකිය.
හලාල් කමිටුවේ කූඨ වැඩපිළිවෙල ගැන වැඩි විස්තර ලියන්නට මම මහන්සි නොවෙමි. කරුණාකර මෙම ලිපිය බලන්න. 

මේ අනුව, හලාල් කමිටුව සිය සහෝදර මුස්ලිම් ජනතාවටද කරන්නේ ද්‍රෝහී කමකි. මේ රටේ අන්ත දුක් විඳින ඉස්ලාමිකයෝ අති විශාල ප්‍රමාණයක් සිටිති. ජමියතුල් උලමා ඔවුන් වෙනුවෙන් කර ඇත්තේ වැඩිම වුනොත් පල්ලියක් සාදා දීම පමණකි.

නෝ ලිමිට් වෙළඳ ව්‍යාපාරය
නෝ ලිමිට් යනු වෙළඳ ව්‍යාපාරයකි. සිය ව්‍යාපාරයේ වර්ධනය සඳහා ඔවුන් විසින් විවිධ උපක්‍රම යොදනු ඇත. එහෙත් ඉස්ලාමය සඳහා ඔවුන් කැප වී සිටීනම් ඒ වෙනුවෙන් පාරිභෝගිකයා වංචා නොකළ යුතුය.
ඔබ ඉස්ලාමය වෙනුවෙන් හා මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කථා කරන්නේනම් කරුණාකර නෝ ලිමිට් ගැන කථා කිරීමෙන් වළකින්න. මමද ඔවුන් ගැන කතා නොකරමි. එමෙන්ම, ෆැෂන් හවුස් ගැන ‍හෝ තිලකවර්ධන ගැන ද මා කතාකරන්නේ නැත.

ඉස්ලාම් ආගමික පුනර්ජීවනය
ඉස්ලාම් ආගමික පුනර්ජීවනයක් අප ඉදිරියේ අද දක්නට ඇත. මෙම ඊනියා පුනර්ජීවනට ඇත්තේ නාගරිකව පමණක් බව නම් පැහැදිළිය. ගමේ සිටින අසරණ තම්බියා අදත් එසේමය. මේ පුනර්ජීවනය අප දකින්නේ ඇඳුම් පැළඳුම් වලින් සහ පල්ලියෙන් පමණකි. ආගමික සංස්ථාව වනාහි ආධිපත්‍යය රැකගැනීම සඳහා ජනතාව මුලා කරන තවත් ආයතනයක්ම පමණකි.

ඉස්ලාම් ආගම කෙසේ වෙතත් ලංකාවේ බෞද්ධයෝද පුනර්ජීවනයක් ලබා ඇති බවක් පෙනෙන්නට ඇත. හැම හන්දියකම බුදු පිළිමයක් ඉදි වී ඇත. දැන් කඨින පිංකම වූකලී වෙසක් උත්සවයටත් වඩා ඉහළින් පවත්වන උත්සවයකි. ෆේස්බුක් හරහා සහ ඊමේල් හරහා අමුතුම බුද්ධාගමක් ව්‍යාප්ත වෙමින් පවතී. හැමදාම බුද්ධ රූපයක් ඊ මේල් මගින් ලැබේ. සමහර ඒවා ජී අයි එෆ් ‍‍ඇනිමේෂන් ලෙස සකස් කර තිබේ. ඒවා ෆෝවර්ඩ් කළ විට ඉක්මණින් නිවන් දකින්නට නොව, මෙලොවදීම සැපවත් වන්නට හැකිය. පන්සල්වල පිංකමකදී වාදනය වන්නේ ඉන්දියානු සී ඩී තැටියකි. එහි ඇත්තේ සංගීතයට අනුව ගායනා කරන “බුද්ධං සරණං ගච්ඡාමි” යන්න පමණකි.

අවශ්‍ය දේ
මේ වන විට බුද්ධාගම සහ ඉස්ලාම් ආගම යන දෙකම ඒවායේ සාරය අතින් පිරිහී ඇති බව ඔබද වටහාගත යුතුය.  වර්ධනය වී ඇත්තේ ආගමික සංස්ථාවන් ය.

ආගමික සහජීවනය ඇති කිරීමට තමන්ගේ ආගමික පුරාජේරුව අත් හළ යුතුය. කිසිවකුගේ විශ්වාසයක් බිඳ දැමීම බ්ලොග් ලිපියකින් කිරීමට හැකි වෙතැයි මම නොසිතමි. තමන් නිදා සිටින ඇඳ යට සර්පයකු සිටිතැයි කවරකු හෝ විශ්වාස කරන්නට පටන් ගතහොත් ඒ තැනැත්තා ඇ‍ඳෙන් බිමට නොබසිනු ඇත. එය‍ට කළ හැකි දෙයක් නොමැත.

එම නිසා, ආගම් සහ ආගමික නායකයන් විවේචනය කිරීමෙන් වළකින්න. ආගමික විශ්වාසයන් විවේචනය නොකරන්න. සුප්‍රසිද්ධ පානදුරා වාදයෙන් පසුව කිසිදු බෞද්ධයෙක් කිතු දහම වැළඳගත්තේ නැති අතර කිසිදු කිතුනුවකු බුද්ධාගම වැළඳගත්තේ ද නැත.


පසුව ලියමි.
සංවාදයකට තුඩු නොදෙන, තේරුමක් නැති කමෙන්ට් මකා දමමි. කලවැද්දා, බූරුවා, හම්බයා, කෙප්පසාර, කඩේ යනවා. තොගෙ අම්මා වැනි යෙදුම් සහිතව ඇති කමෙන්ට් වලින් මෙම ලිපියට පක්ෂව හෝ විපක්ෂව කිසිවක් නොඇඟවෙන්නේනම් පළ නොකරමි.

3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. යෝධයා, ඔබ කමෙන්ට් එකක් ලෙස ‍යොදා ඇත්තේ කුඩා ළමයින් තවත් අයට නම් පටබැඳ විනෝදයක් ලබනවා වැනි දෙයකි. එම නිසා මා එය ඉවත් කළෙමි.

      Delete
  2. kiva uththa kiya atha. sinhala athi pariganakakin pamina pasuwa coment karami

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.