2013-03-23

මහ ජාතිය

මේ සිද්ධිය වුනේ මා සරසවි සිසුවකු වූ කාලයේදීය. එකල සරසවියට ඇත්තේ සැලුන් දොරක්දැයි කියා කාටූනයක් පළ වූ බව මට මතකය. ඒ තරමටම ඇරෙන වැහෙන වාර ගණන වැඩි වූ බැවිනි. ඇතැම් අවුරුදු වලදි සරසවිය විවෘත කර තිබුනු දින ගණනට වඩා එය වසා තිබුනු දින ගණන වැඩි වූවා විය හැකිය.
සරසවිය වැසීමට හේතු වූයේ ශිෂ්‍ය උද්ඝෝෂණ බව ඇත්තකි. මෙකළ මෙන් නොව එකළ අභ්‍යන්තර කෙළ ගැනීම් නිසා හෝ නවක වදය නිසා හෝ වෙනත් එවැනි දෙකේ පහේ බොළඳ වැඩ නිසා සරසවි වසා දමනු ලැබුයේනම් ඒ ඉතාම කළාතුරකිනි.

මේ උද්ඝෝෂණ වලට ශිෂ්‍යයන් යොමු කරවූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බව පොදු මතයක් විය. මා මෙහි සඳහන් කරන වකවානුවේදී, 83 ජූලි කලබල වලට සම්බන්ධ වූ බවට චෝදනා කරන ලදුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් දේශපාලන ව්‍යාපාරයක් ලෙස නම් කර තිබිණි. එහෙත්, මුල් කාලයේදී සරසවිය තුළ ක්‍රියාත්මක වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය තහනම් කර නොතිබිනි.එය ජවිපෙ අඩි පාරේ ගමන් කළ නමුත්, (ඇත්තටම ජවිපෙන් සෑහෙන කොටසක් නියෝජනය වූයේ ශිෂ්‍ය සංගමය තුළ ය.) වෙනම සංවිධානයක් වශයෙන් ලියාපදිංචි වී තිබුනු නිසා එය තහනම් කිරීමට නීතිමය ප්‍රතිපාදන නොතිබුනේයයි සිතමි. කෙසේ හෝ පසු කාලයේදී සරසවිය තුළ වූ ඇතැම් ක්‍රියාකාරකම් මුල් කරගෙන එය ද තහනම් කරන ලදී.

මේ පූර්විකාව ඇතුළත් කළේ මගේ කතාවට එය එතරම් අදාළ නොවුනත්, කතාව රස විඳීමට එහි පසුතලය දැන සිටීම ප්‍රයෝජනවත් වන නිසාය.

සරසවිය වසා තැබුනු බැවින් මා සිටියේ ගෙදර ය. දවසම ගෙදරට වී සිටීමේ කම්මැලිකම නිසා, ගමේ ගොඩේ වටේ පිටේ රවුමක් දෙකක් ඇවිදමින් දහවල් කාලය ගත කළ මට එක් දිනක් යාබද ගමක පන්සලේ නායක හාමුදුරුවෝ අහම්බෙන් මෙන් මුණගැසුනහ.

මේ ස්වාමීන් වහන්සේ සමග කතා බහ කරමින් සිටීමට මා එකළ එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එයට හේතු වූ එක් කරුණක් වූයේ උන්වහන්සේ සාමාන්‍ය කතාබහේදී කිසිදු ලෙසකින් "වැදගත්" දෙයක් නොදෙසන්නේයැයි මා තුළ තිබුනු පූර්ව නිගමනයයි. එහෙත් නගරයට වැඩම කිරීම සඳහා බස් නැවතුම් ‍පල වෙත යන උන්වහන්සේ මගහැර යාමට මට ක්‍රමයක් තිබුනේ නැත.

සරසවිය වසා දමා ඇති බව උන්වහන්සේ නොදැන සිටියහ. එය බලාපොරොත්තු නොවිය යුත්තක් නොවේ. උන්වහන්සේට එවැනි තොරතුරක් කිසි සේත්ම අදාළ වූයේ නැත. අනිත් කරුණ, අපේ ගමේ මා ඇතුළු සරසවි සිසු සිසුවියන් කීපදෙනකු සිටියද, උන්වහන්සේ වැඩ සිටින පන්සල පිහිටි ගමෙන් කිසිවකු සරසවියට ඇතුළත්ව සිටියේද නැත. සියල්ලටමත් වඩා "සැලුන් දොරක් වැසීම හෝ ඇරීම" කිසි සේත්ම වැදගත් ප්‍රවෘත්තියක් නොවිණි.

මා ගමට වී සිටීම පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පසුව එකළ පාලක පක්ෂයට බෙහෙවින් ගැතිව සිටි උන්වහන්සේ සිය අදහස් මෙසේ ප්‍රකාශ කළහ.

ඔය විශ්ව විද්‍යාලෙ ඉන්නෙ වැඩි හරියක් මේ ගම්වල අහිංසක ළමයි. ඒ අය ඉතින් ඉගෙනීමේ වැඩකටයුතු උනන්දුවෙන් කරගෙන යනව.බොහොම ටික දෙනෙක් තමයි ඔය කලබල ඇති කරන්නෙ.ඒත් අර අහිංසක ළමයි මේ කලබල ඇති කරන අයට විරුද්ධ වෙන්නෙ නෑ, තමන් තනි වෙයි කියන බයට.

එහෙමයි හාමුදුරුවනේ, අන්න බස් එකක් එනව, ඔබ වහන්සෙ වඩින්න.

කළබලකාරී සුළුතරය අතර අහිංසක බහුතරය තනි වන්නේ කෙසේදැයි කියා එදින සිට මා කල්පනා කළෙමි

එහෙත් අද  බලද්දී සිදු වී ඇත්තේ එයම නේද?

5 comments:

  1. /කළබලකාරී සුළුතරය අතර අහිංසක බහුතරය තනි වන්නේ කෙසේදැයි කියා එදින සිට මා කල්පනා කළෙමි./

    මෙසේ වන්නේ කලබලකාරී සුළුතරයට focus එකක් ඇති නිසාත් අක්‍රිය බහුතරයට එවැන්නක් නැති නිසාත්ය. මෙය ප්‍රකට සමාජ විද්‍යා තියරියකි. කාගේද දැන් මතක නැත. පසුව මතක් වුවොත් පොතේ නම සඳහන් කරමි.

    ReplyDelete
    Replies
    1. පොතේ නමටත් වඩා මේ තියරිය ගැන පොඩ්ඩක් කියන්න පුළුවනිනම් හොඳයි.
      මං හිතන් හිටියෙ මමයි තියරිය හොයාගන්න යන්නෙ කියලා. (විහිළුවක් පමණි)

      Delete
    2. ඒ තියරිය නං හරියට හරි. මුස්ලිම් ව්‍යාප්තවාදය වගේ දේවල් උනත් මේ තියරියෙන් විග්‍රහ කරන්න පුළුවන්.

      Delete
  2. /* මුල් කාලයේදී සරසවිය තුළ ක්‍රියාත්මක වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය තහනම් කර නොතිබිනි. */

    මේ කියන්නේ 1988-89 කාලය ගැන නම්. මා අසා ඇති පරිදි ඔය කාලයේ විශ්ව විද්‍යාලවල රජ කෙරුවේ දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානයයි. එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඟෙන්ම ජවිපෙ අවතාරයක් වි ඇත.

    මෙය පිහිටුවා ඇත්තේ 1985 පමණ කාලයේය. ජවිපෙ විසින් මරා දමනු ලැබූ මුල්ම දේශපලාන ක්‍රියාකාරීකයා වූ දයා පතිරණ මරා දමන ලද්දේ මේ දේශපෙය්මී ශිෂ්‍ය සංවිධානය විසින් යැයි සැක කළ හැක.

    ReplyDelete
    Replies
    1. මගේ මතකයේ හැටියට දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය එන්නෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය තහනම් කරනවත් එක්ක. කතන්දරලා හිටපු ඉංජිනේරු පීඨයට වඩා අනිත් තැන්වල සමාජවාදී ශිෂ්‍ය සංගමය ප්‍රබල වෙලා හිටියා. මගේ මතකයේ හැටියට සමාජවාදී ශිෂ්‍ය සංගමය තහනම්‍ වෙන්නෙ සරසවි තුළ සියළු ශිෂ්‍ය සංගම් තහනම් කරන අවස්ථාවකදි. ජවිපෙ තහනම් කළේ 83 ජූලි කේස් එකේදි නව සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂයත් එක්කලා. ජවිපෙ තහනම දිගටම තිබුනත් අනිත් පක්ෂ දෙකට වූ තහනම විවිධ හේතු මත ඉවත් කළා.
      දේ.ශී.ව්‍යාපාරය ගැන මගේ අත්දැකීමක් නැහැ. දයා පතිරණ ඝාතනය කරනු ලබන්නේ ජ.වි.පෙ. දේශප්‍රේමී තත්වයට පත් වෙන්න කළින්, 1986 හෝ 87දී. ඉන්දියන් සාම සාධක හමුදාව එනවත් එක්ක තමයි දේ.ජ.ව්‍යාපාරය නැගල ආවෙ.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.