2013-01-14

රිසානාට මරණ දඬුවම - කැකිල්ලේ රජුට අපාය



පසුගිය දවස් දෙක තුන ඇතුළත අපේ බ්ලොග් රචකයන් බොහෝ දෙනකුගේ මාතෘකාව වී තිබුනේ රිසානා නෆීක් නමැති දැරිය ගෙල සිඳ මරණයට පත් කරනු ලැබීමයි. බොහෝ දෙනකු තුළ දැවැන්ත කම්පනයක් ඇති කළ මේ සිදුවීම සවුදි අරාබියානු රාජාණ්ඩුවේ ම්ලේච්ඡත්වය ලොවට කියා පෑවේය.


මේ සිද්ධිය පිළිබඳ පුවත සැළවෙත්ම මගේ සිහියට නැගුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජාණ්ඩුව යටතේ ගෙල සිඳලූ මද්දුම බණ්ඩාර කුමරුවා පිළිබඳ කතා පුවතයි. කෙසේ වුවත්, පසුගිය සතියේ ඇති වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ ශෝකය පළ කිරීමෙන් පලක් ඇති බව නොපෙනෙන හෙයින් මේ පෝස්ට් එකට අත ගැහුවේ රිසානාගේ මරණය හරහා දැන් කරළියට පැමිණ ඇති ප්‍රස්තූතයන් කිහිපයක් ගැන පොඩි කතා බහක යෙදීමට අදහස් කරගෙනයි.


රිසානා නෆීක් කුමරිය පවුලක බර කරට ‍ගත් දැරියක් බව විවිධ මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබිනි. ලංකාවේ ඇති රෝම ලන්දේසි නීතියට සරදම් කරමින් (පසුකාලයේදී නීතියට කොටු වූ බව කියැවෙන) කවුදෝ පෙරේතයකු විසින් එම ලා බාල දැරිය සවුදි අරාබියාවට යවා ඇත්තේ අවුරුදු පහකටත් වඩා ඇයගේ වයස අඩු කරමින් සාදවන ලද විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමිනි. (ඒ බලපත්‍රය නිකුත් කරන්නට සම්මාදම් වූ එවුන්ටත් මේ සාපය වදීවා!)

රජාටවත් වෙනස් කළ නොහැකි සවුදි රාජාණ්ඩුවේ ම්ලේච්ඡ නීතිය
සවුදි අරාබියානු රාජ්‍යයේ නීතිය අනුව ගන්නා ලද තීන්දු කිසිවකුට වෙනස් කළ නොහැකි බව කියැවේ. වනචාරී ගතිය කෙසේ වුවත්, මේ තත්වය නම් ආදර්ශයට ගත යුත්තකි. අපේ රටේ ප්‍රජාතත්නතවාදයට වඩා එම ලක්ෂණය මානව වර්ගයාගේ පැවැත්මට හිතකරය.

එහෙත්, එම නීතිය (මෙය ශරියා නීතිය ලෙස සමහරු හඳුන්වති.) ශිෂ්ට සමාජයකට කිසි සේත්ම නොගැලපෙන වනචාරී නීතියක් බව පෙනෙන්නේ රිසානා මරණයට පත් කළ නිසාම නොවේ. වරදකරුවන්ගේ අත පය කපා දමන නීති ලංකාවටත් හඳුන්වා දිය යුතු බව කියන අමනයෝද මෙරට සිටිති. ලංකාවටත් රාජාණ්ඩුවක් අවශ්‍ය බව කියන්නන්ද මට හමු වී ඇත. සූරිය ගුණසේකර වැන්නවුන් කෙසේ වර්ණනා කළත් නීති රීති සහ ඒවා ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් නම් ලංකාවේ පවා රාජාණ්ඩු සමයේ පැවතුනායැයි කියැවෙන තත්වයද එතරම් සුබදායී නැත.

වළගම්බා රජු කිසියම් අවස්ථාවකදී සැඩ පහරකට ගොදුරුව දියේ ගසාගෙන යද්දී, මනුස්සයෙක් ග‍ඟ දිගේ ගසාගෙන යනවා දුටු යම් අයකු විසින් අසීරු ප්‍රයත්නයකින් රජු මරණයෙන් බේරාගත් පසුව රජාගේ ශ්‍රී දේහයට අත තැබිමේ වරදට හිස් ගැසුම් කන්නට සිදු වී ඇති බවක් ජනවහරේ එයි. ගහගෙන ගියේ රජ්ජුරුවන් බව දන්නේ නම් නිසැකවම ඔහේ ගහගෙන යන්නට ඉඩ හරින්නට තිබුනු නමුත් ගැමියාගේ හදවත ඊට ඉඩක් ලබා දී නැත.

සවුදි නීතිය අතිශයින් දරුණු බව කියැවේ. ඒ කතාවන්ගේ සත්‍යතාවය දැන් තහවුරු වී හමාරය. රිසානා විසින් සිදු කර ඇත්තේ අනියම් මිනී මැරුමකි. ශිෂ්ට සමාජයකනම් නීතිය ය‍ටතේ අනියම් මිනී මැරුමකට ලබා දෙන දඬුවම නියම මිනී මැරුමකට දෙන දඬුවමට වඩා හාත්පසින්ම වෙනස් එකකි. මේ නීතිය සම්බන්ධයෙන් විවිධ අර්ථ කථනයන් දක්නට ලැබුනද, සවුදි අරාබියාව තවමත් ශීලාචාර මනුෂ්‍යයන්ට වාසය සඳහා සුදුසු ස්ථානයක් නොවන බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි.

නිතර උණුසුම් පුවත් කියා නොයෙකුත් කතන්දර ගෙන එන හොට් ඇන්ඩ් ෆාස්ට් වෙබ් අඩවියෙන් පහත කොටස් උපු‍ටා ගත්තෙමි. (ලින්ක් යොදා ඇත).







සවුදියේ නොදියුණුකම

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් අඩවියේම පළ වූ පහත දැක්වෙන කතාවනම්, එය කියන්නා ‍ගැන එතරම් පැහැදීමක් නොතිබුනු නමුත් මගේ හිතට අල්ලන කතාවකි.

ළදරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාව පිට සෞදි අරාබියේදී බන්ධනාගාරගතව සිටි ශී‍්‍ර ලාංකිකබාලවයස්කාර දැරියක් වූ රිසානා නෆීක්ට එරට රජය මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් මෙරට රජයසම්පූර්ණයෙන්ම වගකිවයුතු බව රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පවසනවා.‘නබිනායකවරයා ලෝකයට හොඳදෙයක් දේශනා කළ ආගමික නායකයෙක්. ඔහු දෙසුව ධර්මය විකෘති කරගෙන තමන්ගේ වාසියට හරවාගෙනසෞදි අරාබිය පාවිච්චි කරනවා. නබිනායකවරයා හැමදාම දේශනා කළේ වහල් සේවයට විරුද්ධවයි. එතුමා කිව්වේ සියලූදෙනාටම එකම අයිතියක් මත එක හා සමානව සැලකිය යුතු බවයි. රජවරුන්, රැජිනන්, කුමර කුමාරියන් ගැනඑතුමා කතා කළේ නැහැ. නමුත් සෞදිඅරාබියේ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් කි‍්‍රයාවලියක්.


ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අන්වර් මනතුංගත් ලිපි ගණනාවක්ම පළ කළා මේ සිද්ධියට අදාළව. ඒ එක් ලිපියක තිබුනේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නමින් බ්ලොග් එකක් ළඟදි පටන් ගත්ත, සමහර බ්ලොග් වලට කොමෙන්ට් දමමින් කටයුතු කරන (සහ සමහර වෙලාවට ඇණයක් වෙලා තියෙන) පුද්ගලයා විසින් විකිපීඩියාවෙන් අරගෙන සිංහලට පරිවර්තනය කරපු ලිපියක්.



ඇත්තටම මේ ප්‍රශ්නය ඉස්ලාම් ධර්මය නිසා හෝ කුරානය නිසා හෝ ඇති වූ ප්‍රශ්නයක් නොවන බවයි මට නම් පෙනෙන්නේ. මේ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ සවුදි අරාබියානු ජනතාවයේ ගෝත්‍රික භාවය, බුද්ධිය පහළ මට්ටමක පැවතීම, ප්‍රමාණවත් තරම්, අනිත් බාහිර සමාජයට ගැලපෙන තරමට ශීලාචාර නොවීම යන හේතු කාරණා මත බවයි පැහැදිළි වෙන්නෙ.

ලාංකීය මුස්ලිම් ප්‍රජාව

අන්වර් මනතුංග පමණක් නොව ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන් අවදි වී තිබිනි. එයට එක් හේතුවක් විය හැත්කේ සවුදි අරාබියාව ඇතුළු මැද පෙරදිග වෙත ලංකාවෙන් ගිය ගෘහ සේවිකාවන්ගෙන් සැළකිය යුතු ප්‍රතිශ‍තයක් මුස්ලිම් අය වීම විය හැකියි. තවත් හේතුවක් නම්, මේ සිද්ධිය දඩමීමා කරගෙන ගෙදර මුව හමට තැලීමට අපේ “බුකියේ බවුද්ද කණ්ඩායම” පියවර ගැනීමයි. ඔවුන්ගේ කුනුහරුප මෙතනින් බලාගන්න.



මානව වර්ගයා ම්ලේච්ඡත්වයේ සිට සිවිල් සමාජය කරා පා තබන්නේ ගෝත්‍රික කණ්ඩායම් හරහාය. ඉන් අනතුරුව බිහිවුනු වැඩවසම්වාදී රාජාණ්ඩු පසුකර ධනවාදී සමාජයක් කරා පැමිණීමත් සමගම ප්‍රජාතන්ත්‍රවාදය වැනි යහපත් වත් පිළිවෙත් මානවයාගේ සුගතියට මග කැපීය. මෙසේ ගමන් කරන මානව සමාජය අනාගතයේ දිනක කොමියුනිස්ට් සමාජයක් කරා යාමට නියමිත බවත්, එහෙත් ධනවාදයේ අතුරු ඵල වශයෙන් සැප සම්පත් ගොඩගසාගන්නා ධනේශ්වරය එම ගමන කල් දැමීමට විවිධ උපාමාරු යොදන බවත් කොමියුනිස්ට්වාදීන් විසින් පැහැදිළි කරනු ලබද්දී ධනවාදයට පිළිතුරක් ලෙස නැවතත් රාජාණ්ඩු හෝ ග්‍රෝත්‍රික සමාජයක් කරා ගමන් කිරීමට සටන් වදින අධමයන් සම්බන්ධයෙන් මගේ සිතේ ඇති වන්නේ දැඩි පිළිකුලකි.

10 comments:

  1. //සවුදි අරාබියානු රාජ්‍යයේ නීතිය අනුව ගන්නා ලද තීන්දු කිසිවකුට වෙනස් කළ නොහැකි බව කියැවේ. වනචාරී ගතිය කෙසේ වුවත්, මේ තත්වය නම් ආදර්ශයට ගත යුත්තකි//

    රාජ්‍ය තාන්ත්‍රක කටයුතු වලදි භාවිතා කරන්න යම්කිසි අධිකරණ බලයක් රාජ්‍ය නායකයා සතුවීම නරක දෙයක් නෙවෙයි .

    මේ ගැන මගේ අදහස සම්පූර්‍නයෙන් ලිපිය්ක කියල තියනවා සරලව කියනවා නම් . "ඉස්ලාමීය ශරියා නිතිය , මනුෂ්‍යත්වයට නිගාවක් "

    ReplyDelete
    Replies
    1. "රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී භාවිතා කිරීමට යම්කිසි අධිකරණ බලයක්" කියා කීමේදී "යම්කිසි" කියන්නේ කොපමණක්ද කියා ප්‍රශ්නයක් මතු වෙනවා. එය පල් හොරුන්ට නිදහස දීමේ බලයක් ද? තමන්ගේ හිතවතුන්ට හා පාක්ෂිකයන්ට නිදහස ලබා දීමට, තමන්ට දේශපාලන වාසියක් ලබාගැනීම සඳහා යමකුට නිදහසක් දීමට පාවිච්චි කළ හැකි බලයක්ද?

      ශරියා නීතිය කුමක්දැයි මා නොදන්නා නිසා ඔබගේ ප්‍රකාශය ගැන මට අදහසක් කීමට නොහැකි නමුත් සවුදි අරාබියාව වැනි පසුගාමී රාජ්‍යයන්හි පවතින නීති රීති අතිශය විනාශකාරී බව නම් පැහැදිළියි.

      Delete
    2. නැහැ හොරන්ට නිදහස දෙන්න නෙවෙයි නමුත් මරණ දඬුවම නියම වුනු වෙනත් රටක ඔත්තු කරුවෙක් , වගේ කෙනෙක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආදී කරුණුවලට ඒ බලය අවශ්‍යයි .

      Delete
    3. ඇත්ත තමයි බුවා! මා දකින්නේ එතනදි තීන්දුවට බලපෑමක් කරනවාට වඩා නීතිය සංශෝධනය විය යුතුයි කියලයි. පිටරටකින් ගෙන්නවාගත්ත කෙනෙක් මොන වැරැද්දක් කළත් ආපසු බාර දෙන එක නේද සදාචාරය වෙන්නෙ. අපේ ගෙදරට ගෙන්නවාගත්තු අල්ලපු ගෙදර පොඩි එකා වැරැද්දක් කලොත් අපි දඬුවම් කරන්නෙ නෑනෙ උගෙ අම්ම අප්පට කියනව මිසක්.

      Delete
    4. එහෙම බාරදීම සදාචාරාත්මකයි , මාත් එකඟයි නමුත් සමහර වෙලාවට එතනත් ප්‍රශ්නයක් තියනවා , උදා ඉන්දියාව ලඟදි එල්ලපු ත්‍රස්තවාදියා පකිස්ථාන ජාතිකයෙක් . ඔහුට දඬුවම් දීමට ඉන්දියාව කටයුතු කිරීම සාධාරණයි (මරණ දඬුවම මා පෞද්ගලිකව අනුමත් කරන්නක් නොවේ ) . ඉන්දියාව සහ පකිස්ථානය අතර තියන විරසකයත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිරීමක් වෙන්නත් නෑ , නමුත් ඉන්දියානු ඔත්තුකරුවෙක් ලංකාවේදි අත් අඩංගුවට පත්වුනොත් බොහෝ වෙලාවට ඔහුව පිටුවහල් කරන එකයි සිද්ධ වෙන්නේ .

      Delete
  2. මට හිතුනෙ ඔයා හොට් ඇන් ෆාස්ට් නිවුස් එකේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරනවා කියලා...
    අනික අන්වර් මනතුංග පැහැදිලිව කියලා තියෙනවා මේක ෂරියා නීතිය අනුව නොව සෞදි රජයේ නීති අනුව සිදුවන දෙයක් කියලා...

    ReplyDelete
    Replies
    1. මේ වගේ සංසිද්ධියකදි හොට් ඇන්ඩ් ෆාස්ට් වගේ සයිට් වල වැදගත්කම තමයි, නිවුස් වශයෙන් විවිධ අයගේ මත පළ වීම. විවිධ කෝණයෙන්ගෙන් ප්‍රශ්නය දිහා බැලෙනවා.
      අන්වර් මනතුංග උත්සාහ කරන්නේ මේ අපරාධයට ඉස්ලාමය වගකිවයුතු නැති බව පෙන්වන්නයි. ඔහුගේ තර්කය නිවැරදි ඇතැයි මා ද සිතන නමුත් අන්වර් මනතුංග ෂරියා නීතියේ හෝ සවුදි ආණ්ඩුවේ බලය ලත් නියෝජිතයකු නොවන නිසා ඔහු කිව් පමණින් කවුරුත් එය පිළිගන්නේ නැහැ. (අනික් එක අපේ අයියලා ඉතින් කබරගොයා තලගොයා කරගැනීමේ ඉමහත් දක්ෂතාවක් දක්වන නිසා, මේක තනිකරම ඉස්ලාමයේ වැරැද්දක් හැටියට අර්ථ දක්වනවනෙ. බලන්න තිබුනෙ රිසානා මුස්ලිම් දරුවෙක් නොවුනනම් බැරිවෙලාවත්)

      Delete
    2. //අනික අන්වර් මනතුංග පැහැදිලිව කියලා තියෙනවා මේක ෂරියා නීතිය අනුව නොව සෞදි රජයේ නීති අනුව සිදුවන දෙයක් කියලා...//

      දැන් අන්වර් මනතුංග කිව්ව ගමන් ඔයා පටාර් ගාල පිලිගන්නේ මොන පදනමෙන්ද ? අන්වර් මනතුංග ඉස්ලාමය හදපු එකාද , සෞදිය ශරියාව ක්‍රියාත්මක කරනවාය කියල ඉතාම ප්‍රසිද්දියේ කියනවා . ඒක බොරු නම් අන්වර් මනතුංග වගේ ලංකාවේ ඉන්න එකෙක විතරක් නෙවෙයි සෞදි නොවන බහුතර ඉස්ලාමිකයන් ඒකට විරුද්ධ වෙන්න ඕනිනේ . එහෙම එකක් පේන්න නෑ නේ . අන්වර් මනතුංග කරන්නේ ඉස්ලාමයට සුදු හුණු ගාන්න වරද සෞදිය පිට දාන එක විතරයි

      Delete
    3. අන්වර් මනතුංග කරන්නේ ඉස්ලාමයට සුදු හුණු ගෑම බව මටත් පේනවා. ඒ වුනත් සෞදිය ක්‍රියාත්මක කරන්නේ ශරියා නීතිය කියලා සෞදි කාරයා කිව්වට ඒ කතාව පිළිගන්නත් බෑ. උන් මුස්ලිම් ලෝකයේ පක්ෂපාතිත්තව ලබාගන්න කරන වෑයමක් තමයි ඒක. බුද්ධාගම ආරක්ෂා කරනවායැයි කියන ලංකාණ්ඩුවේ වැඩ පේනව නේද?

      ශරියා නීතිය ගැන මා නොකීවේ මා එය අධ්‍යයනය කරල නැති හින්ද. තවමත් එක එක්කෙනා කියන දේවල් (විකිපීඩියාව ලියන්නෙත් එක එක්කෙනා) ඇරුණම ශරියා නීතිය කුමක්දැයි මා හරියටම දන්නේ නැහැ.

      මෙතනදි අදාළ වෙන්නෙ ඒක නෙවෙයි. සෞදි කාරයාගෙ තෙලේ බලේට යට වෙන්නෙ නැතුව කොන්ද කෙළින් තියාගෙන උන්ගෙ මේ ජරා වැඩේ ප්‍රතික්ෂේප කරන්න ඕනැ. ඒක ශරියා නීතියද නැත්ද කියන එක අපට වැඩක් නෑනෙ.

      Delete
    4. බුදු දහම ආරක්ෂා කරනවා කියන එකට විවිධ නිර්වචන දෙන්න පුලුවන් නිදහස් වාක්‍යයක් . නමුත් ශරියා නිතිය ක්‍රියාත්මක වීම කියන එක ඍජු ප්‍රකාශයක් . ඒක වැරදි නම් ලොකේ ඉන්න අනික් මුස්ලිම් රටවල් , ආගමිකයින් විරුද්ධ වෙන්න ඕනිනේ . අන්වර් මනතුංග විතරක් විරුද්ධ වුනාට වැඩක් නෑ , මොකද රිසානගේ ගමේ පූජක තුමා , අන්වර්ගේ බ්ලොග් එකේ ලියන සමහර ලේඛකයො ආදියත් සෞදියේ ශරියාව ක්‍රියාත්මක වන බව පිලිගන්නවා . කොටින්ම ආගමක , රාජ්‍ය පාලනයට අදාල නිති පවතින එකම එක්තරා දුරකට විකාරයක් , මොකද රාජ්‍ය පාලනය කියන්නේ හරි -වැරැද්ද හෝ මානුෂීය බාවය පදනම් වෙන දේවල්ම නෙවෙයි , යුද්ධ උපක්‍රම, දඬුවම් ක්‍රම ආදී නිති ආගමක් එක්ක එකතු වුනාම ඒකේ මානුෂීය මුහුණුවරක් නැතුව යනවා . මොකද යුද්ධ කලත් , දඬුවම් දුන්නත් අවසන් ප්‍රතිඵ්ලය මනුශ්‍ය ගාථ්නය නිසා .

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.