2012-04-22

සතුන්ගෙ මතක - අරුණී ශපීරෝ වෙතටයි

මිනිසුන් සහ සතුන් අතර ඇති වෙනස්කම් ගැන ලිපියක් මෑතකදී අරුණි ශපීරෝ වෙතින් නමැති වෙබ් අඩවියේ පළ කරල තිබුනා. මේ ලිපිය එයට පිළිතුරු බැඳීමක්වත්, ඒ ලිපියේ අදහස් වලට විරුද්ධව ලියන එකක්වත් නෙවෙයි. මේක මට දැනගන්නට ලැබුනු ඇත්තම ඇත්ත කතාවක්. මේ කතාව මට කියපු මිතුරා සමහර සතුන් ගැන කරුණාව දක්වන කෙනෙක් වුනත් එයා කියපු මේ කතාවෙනම් කිසිම බොරුවක් නැති බව මම විශ්වාස කරනවා.

දැන් මේ කතාව මං ලියන්නෙ මගේ මිතුරාගෙම වචන වලින්.

අපේ ගෙවල් පැත්තෙ දඩාවතේ යන බල්ලො රංචුවක් බෝ වෙලා. උන් හරිම කරදරකාරියි. දැන් අවුරුදු කීපයක ඉඳල දඩාවතේ යන බල්ලන් සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබන නිසා රටේ බොහොමයක් තැන්වල මේ බලු කරදරය දකින්න පුලුවනි.

අවුරුදු දෙකකට විතර කලින් කොහෙදෝ ඉඳල අපේ ගෙදරට ආව පූසියක්. මේ පූසිට දෙවැනි වතාවෙ ලැබුනු පැටවු සේරම මේ බල්ලන්ගෙ ප්‍රහාරයට ලක් වෙලා මැරුන. මේ බල්ලෝ රංචුව පූසන්ව හොයාගෙන ඇවිත් ඇටෑක් කරන්න පුරුදු වෙලා හිටියෙ. එක දවසක් උදේ බලද්දි පූසිවත් මරල දාල තිබුන. පළාතෙම එක නාකි පිරිමි පූසෙක් විතරයි ඉතුරු ‍වුනේ. ඌ ටිකක් දරුණු සතෙක්. බල්ලෝ ඌට කිට්ටු කරන්න කලින් දෙවරක් හිතන තත්වයක් තිබුන. කොහොම වුනත්, පූස් පැටව් මැරිල ගියාට පස්සෙ අපි පූසන් ඇති කිරීමෙන් වැළකිලා හිටියෙ බල්ලන් විසින් අඩපණ කරනු ලබන පූස් පැටවුන් විඳින දුක බලාඉන්න බැරි නිසාමයි. මේ නිසා, අපේ ගෙවල්වල මීයන්ගෙන් ලොකු කරදරයක් ඇති වුනත්, මීයන් වඳ කිරීමට වෙනත් උපක්‍රම පාවිච්චි කරනවා හැරෙන්න පූසෙක් හදන එක ගැන අපි හිතුවෙම නෑ. හැබැයි පූසෙක් ඉන්නව වගේ සාර්ථක නෑ වෙන එකම ක්‍රමයක්වත්.
ඊට පස්සෙ අපේ ගෙවල් ළඟ තියන ආයතනයක් මැදිහත් වෙලා මේ බල්ලන්ව අල්ලලා ඈත පළාතකට ගිහිල්ල දැම්මා. ඊට පස්සෙ ඇතිවුනේ පුදුම අස්වැසිල්ලක්.

ඒත් නැවතත් බලු පරම්පරාවක් බෝ වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. අලුත් පරම්පරාවෙ බල්ලො ඉස්සර හිටපු එවුන් තරම්ම නරක නෑ වගේ පෙනුනෙ. ඒත් තනි වෙච්ච පූසෙකුට නිදැල්ලෙ යන්න දෙන තත්වයක්නම් තිබුනෙ නෑ.

මාස කීපයකට ඉස්සෙල්ල ඔන්න පූස් පැටියෙක් අනාථ වෙලා හිටිය අපේ ගෙවල් ඉස්සරහ පාර අයිනෙ. මාත් මගේ බිරිඳත් මාකට් එකට යනකොට දැක්ක පූස් පැටිය. අපෝ උගෙත් අවසානය තමයි මේ පැත්තට අ‍ාවෙ කියල කතා වෙවී අපි යන්න ගිය ගමන ගියා මිසක් පූස් පැටිය ගැන හිතුවෙ නෑ. මාකට් එකට ගිහින් ආපසු එනකොට පූස් පැටිය ගැන මතකයක් අපට තිබුනෙ නෑ. ඌ හිටියෙත් නෑ පේන හරියක.
එදා හවස මම තවත් ගමනක් ගිහින් ආපසු ආවෙ රෑ දොළහට විතර. මෙන්න ගේ ඉස්සරහ පාරෙ කොහොඹ ගහ යටින් යනකොට පූසෙක් කෑ ගහනව ඇහුන. ලොකු වැස්සකුත් අත ළඟ. වට පිට බැලුව පේන්න පූසෙක් නෑ. ලයිට් කණුවෙ එළිය ‍හොඳට තිබුනු නිසා, මං ටිකක් සෙවිල්ලෙන් වටපිට බැලුව. මෙන්න බොලේ අඩි විස්සක් විතර උස කොහොඹ අත්තක් උඩ පූස් පැටිය ඉන්නව. මං හිතන්නෙ බල්ලන්ට බයේ ගහට නගින්න ඇති. පූසන්ට ගස් නගින්න මිසක් බහින්න උගන්නල නෑ කියනවනෙ. දැන් වැස්සත් අත ළඟයි. මේක එක්කො තෙමිල නහී. නැත්තං බල්ලන්ට අහු වෙනව. ගේ ළඟ ආයත‍නයේ සෙකුරිටි මල්ලි කෙනෙක් එක්ක බොහොම අමාරුවෙන් පූස් පැටිය බිමට ගත්ත. අරගෙන ඌව ගෙදරට අරගෙන ඇවිත් කාමරයක් අස්සට දැම්ම, උදේට පරිස්සම් ඇති තැනකට ගිහින් දාන්න හිතාගෙන.

රෑ වෙලා නිදාගත්ත නිසා උදේ ඇහැ ඇරුනෙ ටිකක් දවල් වෙලා. බිරිඳ පාන්දර නැගිටිනව පුරුද්දක් වශයෙන්. කුස්සියට යනකොට පූස කෑ ගහනව ඇහිල, මී කරදරයෙන් බේරෙන්න කදිම අවස්ථාවක් කියල හිතාගෙන පූස් පැටියට සීනියි පොල් ටිකකුයි කලවම් කරල දීල. එහෙම දුන්නහම පූසො යන්නෙ නැහැයි කියනවනෙ. උදේ මං නැගිට්ටට පස්සෙ මට කිව්ව කොහෙන්ද මංද පූස් පැටියෙක් ගෙට ඇවිත් හිටියයි කියල. රෑ වෙච්ච සංගදිය එයා දන්නවැයි.

ඔන්න ටික දවසක් ගිහාම පූසි පැටව් හතර දෙනකුම දැම්ම. දැන් හැබැයි ආසාවට තියාගත්ත වගේ නෙවෙයි, පූස් පැටව් ගේ පුරාම ජරා කරන්නයි, අ‍ැ‍ඟේ පැටලෙන්නයි ගියාම කරදර ගොඩයි. පැටව් ටික ඩිංගක් ලොකු වෙනකොට අපි තීරණය කළ උන්ව ගමේ ගිහින් දාන්න. ඒ පැත්තෙ ඉන්න බල්ලෝ අපේ ගෙවල් පැත්තෙ ඉන්න එවුන් වගේ දරුණු පාහර බල්ලො නෙවෙයි. පූස් පැටව් හඹාගෙන ගිහින් මරල දාන්නෙ නෑ. හැබැයි මට තේරිලා තිබුනු දෙයක් තමයි මේ පූසි පැටවුන්ට ගොඩක් ආදරේ කරන බව. ඒ නිසා මං යෝජනා කළ පූසියි පැටවු හතර දෙනායි, පස් දෙනාවම ගිහින් දාමු කියල.

අවුරුද්දට ‍ගමේ යන දවසේ කාර් එක පිරෙන්න බඩු මුට්ටු. අපි දෙන්නයි, දරුවො දෙන්නයි, පූසියි, පැටව් හතර දෙනයි දාගත්තට පස්සෙ කාර් එක ඇතුලෙ හැරෙන්නවත් ඉඩ නෑ. කොහොම හරි කිලෝ මීටර් දෙක තුනක් යද්දි තේරුනා පූසි ආම්බාම් කරගන්න අමාරු බව. පූසෝ කොහොමත් ගෙවල් දාල යන්න කැමති නැහැයි කියනවනෙ. ඉතින් ආපසු හරවගෙන ආව ගෙදරට. ඇවිත්, පූසිව එළියට දැම්ම. පැටව් හතරදෙනා විතරක් අරගෙන අපි ගමේ ගියා.

අවුරුද්දට මහගෙදරට නෑයො එනව. පූස් පැටව් දිහා බලනව. එක නෑයො කට්ටියක්, පූස් පැටව් ඉල්ලුවා. අපේ පුතාල කැමති නෑ දෙන්න. ඒත් හතර දෙනාම ගෙදර තියාගෙන ඉන්න එක අමාරුයි. පස්සෙ තීරණය කළා දෙන්නෙක් විතරක් දෙමු කියල.

ඉතින්, සිංහල අවුරුද්දෙන් පස්සෙ ආපසු අපේ ගෙදර ආවෙ ඉතුරු පැටව් දෙන්න ‍ගමේ තියල. දවස් පහකට පස්සෙ පූසිට පැටවු අමතක වෙලා ගිහින් ඇති කියලයි අපේ හිතේ තිබුනෙ.
මෙන්න වැඩේ, අපි ආපු වෙලාවෙ ඉදන්ම පූසි අඬ අඬා පැටව් හොයනව. කාර් එක අස්සෙ හොයනවා. පැටව් කලින් හිටපු තැන්වල, දොරවල් අස්සෙ, මිදුලෙ, හැම තැනම හොයනව. රෑට නිදාගන්නෙ නෑ. කෑ ගහ ගහ පැටව් හොයනව. මට නින්ද යන්නෙ නෑ ඒ ඇඬිල්ලට. රෑ මං නැගිටල ඇවිත් බැලුව. මෙන්න පූසි මගේ ළඟට ඇවිත් අර මරණෙන් ගලවගත්තු එළ වැස්සියක් හාමුදුරුනමකට වැන්ද වගේ වැන්ද. මට හිතුනෙ මේක පැටව් හොයල දෙන්න කියල මගෙන් ඉල්ලනවයි කියලමයි.

බැරිම තැන මං තීරණය කළා ආපසු ගමේ ගිහින් ඉතුරු වෙලා හිටපු පැටවු දෙන්නව ගෙනත් දෙන්න ඕනැ කියල. අම්මට කෝල් එකක් දීල කිවුව පැටවු දෙන්න කාටවත් දෙන්න ‍එහෙම එපා කියලා. අවුරුද්ද දවසේ, ඒ කියන්නෙ 13 සිකුරාදා ගමේ ගෙනිච්ච පැටව් දෙන්න 20 සිකුරාදා රෑ මං අරගෙන ආව. ගෙදරට ‍‍එනකොට රෑ දහයයි වෙලාව. ඇවිත් කාර් එක නැවැත්තුව විතරයි පූසි දුවගෙන ආව. නැග්ග කාර් එකට. හොයන්න පටන් ගත්ත කෑ ගගහ. මං පූස් පැටව් ටික ඩිකියෙ දාගෙන ආවෙ. නැත්තං උං හැම තැනම දඟලනව, එළවන්න බෑ වාහනේ. ගෙදරට එනකොට උන්ට හොඳටම නින්ද ගිහින් හිටියෙ.
ඉතින් මං කළේ කාර් එකේ පිටි පස්සෙ සීට් එක ගලවලා ඩිකියෙ හිටපු පැටව් දෙන්නව එළියට ගත්ත එක. අප්පට සිරි. පැටව්න්ට අම්ම අඳුරගන්න බෑ. උන් බයවුනා. පූසිට මාර අප්සෙට්.
පස්සෙ පැටව් දෙන්න ගෙට ගෙනාව. ටික ටික උන් පුරුදු වුනා. පූසි මාර හැපී. උඩ පනිනව. සෙල්ලම් කරනව. ඌත් ආයෙම තරුණ වෙලා. ඒත් ඌට ‍ෙත්රිලා වගේ පැටව් අඩු බව. ආයෙත් කාර් එක ළඟට ගිහින් බැලුවා. අහු මුළු වල හෙව්වා. කොහොම හරි ටිකක් වෙලා ගියහම ගානක් නැතුව ගියා.
ටික වෙලාවකට පස්සෙ, පූස් පැටව් දෙන්න සෙල්ලම් කරන්න පටන් ගත්ත. ඒක බලාගෙන හිටපු පූස් අම්මත් ගියා පැටව් එක්ක සෙල්ලම් කරන්න. පූස් පැටව් උඩ දානව. ඒක පැටවුන්ට ඔරොත්තු දෙන්නෙත් නෑ ‍වගේ. පස්සෙ පූසිට ටිකක් සැර කරල එහෙම කොන්ට්‍රොල් කරගත්ත. මේ කිව්වෙ ඊයෙ රෑ තත්වය. දැන් අද වෙනකොට ටිකක් නෝමල් කට්ටියම. ඒත් පූසිට හැම වෙලාවෙම පැටව් දෙන්න පේන්න ඕනැ. දකින්න නැත්තං කෑ ගහනව. ආයෙත් උස්සගෙන යයි කියල ඌට සැකයි.

දැන් මේ කතාව අහපු මට හිතුන දේ මේකයි. අරැණි ශපීරෝ කියන්නෙ සත්තුන්ගෙ මොල‍යේ තියන වෙනස්කමක් නිසා, උන්ට මිනිස්සුන්ට වගේ මතකයක් නෑ, හිතන්න බෑ ආදී ව‍ශයෙන්. ඒත් මේ පූසිට දවස් හතක් ගිහිල්ලත් පැටවු ගැන අමතක කරන්න බැරි වුනා. සමහර විට ඊ ළඟ මුරේ පැටවු දැම්මහම අමතක වෙන්න ඉඩ තිබුන. ඒ විතරක් නෙවෙයි. පැටවු කාර් එකේ අරගෙන ගිය බව ඌට මතක තිබිල තියනව. ආයෙත් පැටව් අරගෙන යයි කියන සැකය ඇති වෙලා තියනව.

ඉතින් මගේ තර්කය මේකයි.

සත්තුන්ගෙ මොලේ කෑල්ලක් අඩු නිසා උන්ට මතක නැති වෙනව නෙවෙයි. උන්ගේ මොලේ වර්ධනය අඩු නිසා, මතකයේ අඩුවක් ඇති වෙනව පමණයි. මිනිස්සු එක්ක ළඟින් ආශ්‍රය කරද්දි උන්ගෙ මොළයත් වර්ධනය වෙනව වගේ. අපි පූසන්ට වැඩියෙන් ආදරය කරද්දි, උන් පුරුදුවෙනව පැටවුන්ටත් වැඩියෙන් ආදරය කරන්න. සතුන්ගෙ මොළය සහ මිනිස් මොළය අතර ඩිජිටල් වෙනසක් නෑ. තියෙන්නෙ ඇනලොග් වෙනසක්.

2012-04-14

අළුත් අවුරුද්ද

සැම සිත් පුරා සොම්නස් සුව                  පැතිරේවා
අටු කොටු පිරී බත බුලතින්                   සරු වේවා
සාමයෙ මුදු හැඟුම් සත වෙත                ඇති වේවා
ඔබ සැම‍ දෙනට සුබ                    අවුරුද්දක් වේවා


2012-04-10

ලංකාවෙ ක්‍රමය හරිද වැරදිද?

අද ඇවිත් තිබුන ඊ මේල් එකක්. එක එක ර‍ටවල කරන්ට් එක ගියහම ඒ ඒ රටවල අය කරන කියන දේ ගැන.
එංගලන්තයේ ගෘහිණියක් කරන්ට් එක ගියහම කියනවලු “පුතේ, ඉලෙක්ට්‍රිසිටි ඩිපාර්ට්මන්ට් එකට කෝල් කරන්න” කියල. සිංහලෙන් නෙමෙයි, ඉංගිරිසියෙන්.
ජපානෙ ගෘහිණියක්නම් කියන්නෙ “පුතේ, ෆියුස් ගිහිල්ලද කියල බලන්න” කියලලු.
ලංකාවෙ ගෘහිණියෝ “පුතේ, අල්ලපු ගෙදර ලයිට් තියනවද බලන්න” කියනවලු.
මේ කතාව සෝපාහාසාත්මකව දාල තිබුනත්, යම් කිසි සිද්ධියකදි ප්‍රතිචාර දක්වන ආකාරය ගැන පුංචි ඉඟියක් දෙනව. රටවල් ගැන සඳහන කෙසේ වෙතත්, මේක විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් ඇත්තක්.
සමහර අය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ, වහාම කෝල් කරනව ප්‍රශ්නෙ විසඳගන්න. සමහර විට ගෙදර ‍ට්‍රිප් එක ගිහිල්ල වෙන්නත් පුළුවනි, විදුලි බල මණ්ඩලේට කෝල් කරාට. ඒ වගේම, අපේ රටේ විදුලි බල මංඩලේට කෝල් කරල පැය ගණනාවක් යනකන් කිසිම ප්‍රතිපලයක් නැති වෙන අවස්ථාවන් තියනවනෙ. ඉතින් අපේ අයනං කවදාවත් විදුලි බල මංඩලේට කෝල් කරන්නෙ නෑ.
ජපන් ක්‍රමේ හොඳයි. ඉස්සෙල්ල බලනව තමන්ට විසඳාගන්න පුළුවන් ගැටළුවක්ද කියල. බැරිනම් තමයි බාහිර විසඳුම් සොයන්නෙ. මේ ජපන් ක්‍රමේ අනුගමනය කරන පුද්ගලයන්ට බොහෝ විට ඉක්මණින් විසඳුමක් හොයාගන්න පුළුවන්.
දැන් බලන්න ලංකාවෙ ගෘහණියගෙ ක්‍රමය ගැන. බැලූ බැල්මට පේන්නෙ නරක වැඩක් වගේ. ඒ වුනත්, ජපන් ක්‍රමේට වඩා ඇඩ්වාන්ස් කියලයි මට පෙනෙන්නෙ ලංකාවෙ ක්‍රමය. ප්‍රශ්නයක් වුනාම බාහිර උදව්වක් හොයන්න කළින් තමන්ට විසඳගන්න පුළුවන් දෙයක්ද කියල බලන එක ජපන් ක්‍රමේ වුනත්, ඒ වැඩේ වඩා පහසුවෙන් කරන්නෙ කොහොමද කියල ලංකාවෙ අය දන්නව. කරුවලේ මේස පුටු ඇඳන් දොර උළුවහු වල හැපි හැපී ගිහින් ටෝච් එක හොයාගෙන ෆියුස් බෝඩ් එක හරි ට්‍රිප් එක හරි බලනවට වඩා ඉක්මනට අල්ලපු ගෙදර දිහා බලල තීරණයක් ගන්න පුළුවන්. අල්ලපු ගෙවල් වලත් ලයිට් නැත්තං, කඩේට දුවල ගිහින් ඉටිපන්දම් පැකට් එකක් ගේන එකනෙ තියෙන්නෙ.

2012-04-03

හතර බීරි බ්ලොග්කරණය සහ ගෑනු ජාන



මොබයිල්මෑන්ගේ නැන්දා අවිවාහක කාන්තාවක්. නැන්දා කියන්නෙ තාත්තගෙ සහෝදරියක්. හිටියෙ මහගෙදරමයි. ඒ කිව්වෙ සීයා සහ ආච්චි අම්මා හිටපු ගෙදර. මොබයිල්මෑන් කුඩා කාලයේ (1960 දශකයේ අග භාගයේ හෝ 70 දශකයේ මුල් භාගයේ) මේ නැන්දාට කාර් එකක් තිබුනා. පස්සෙ පස්සෙ පැට්රෝල් ගනං ගිය නිසාද කොහෙද ඒ කාර් එක නැන්දා විකුණලා දැම්මා. කොහොම වුනත්, ඒ කාලෙ කාර් එකක් තිබුනෙ එහෙමත් කෙනකුට තමයි.
මාස දෙක තුනකට සැරයක් නැන්දා මහගෙදර හිටපු මහප්පා (ලොකු තාත්තා නොහොත් ලොකු අප්පච්චි) සමග හෝ තවත් කවුරුන් සමග හෝ මොබයිල්මෑන්ලගේ ගෙදර එනවා කාර් එකෙන්. කාර් එකේ රියැදුරු හැටියට කටයුතු කළේ ඒ ගමේම තරුණයෙක්.
ඉතින් ඔහොම ආපු එක දවසක කාර් එක මොබයිල්මෑන්ලගෙ ගෙදර මිදුලෙ නවත්තලා තිබුනා. එදා නැන්දා ඇතුව හෝ නැතුව මහප්පා ඇවිත් හිටිය බව විතරක් මොබයිල්මෑන්ට මතකයි. කාර් එකේ ඉස්සරහ රෝදය තිබුනෙ පරණ ටින් එකක් උඩ. ටින් එක චප්ප වෙලා තියෙනව දැකපු මොබයිල්මෑන් ගත් කටටම කිවුවෙ “අන්න කාර් එකට ටින් එකක් පෑගිලා!” කියල.
මේ කතාව අහගෙන හිටපු මහප්පා “පුතේ, පෑගෙනව කියන්නෙ පයට යට වෙන එකටයි. කාර් එකට පයක් නෑනෙ. කාර් එකට ටින් එකක් අහුවෙලා. එහෙම කියන්න පුරුදු වෙන්න” කියල හ තෝරන මොබයිල්මෑන්ට අවවාද කළා. මහප්පා විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙක්.
මේ අවවාදය මොබයිල්මෑන් හිතට ගත්තත්, මොබයිල්මෑන්ගෙ අම්මා “දැන් ඉතින් පුතා කාර් එකේ රෝදෙ කකුලට සමාන කරල කතා කරයි” කියල කිව්වෙ මොබයිල්මෑන්ගෙ හිත හදන්නයි. ළදරු මොබයිල්මෑන් බොහෝ දේට මෙන්ම තර්ක කිරීමෙහිත් ශූරයකු බව කියන්න අම්මා උනන්දුවුනා. ඒක හැම අම්ම කෙනෙක්ගෙම හැටියක්නෙ.
මේ චූටි සිද්දිය මොබයිල්මෑන්ට මතක් වුනේ බ්ලොග් කියවද්දි.
මොබයිල්මෑන් ඇතුළු සමහර අය අතින් යම් යම් වැරදි අඩුපාඩු සිද්ද වෙනවනෙ මේ බ්ලොග් එකක් ලියද්දි. බ්ලොග් එකක් පබ්ලිෂ් කරන්නෙ තීසිස් එකක් සබ්මිට් කරනව වගේ හත් අට පාරක් කියවල බලල තව සුපර්වයිසර් කෙනෙකුටත් පෙන්නලා සියලු දෝස භංග කරල නෙවෙයි. හදිස්‍සියෙ මතක් වුනා, ලිව්වා, පබ්ලිෂ් කරා.
ඉතින් මේ ලිපියක වැරැද්දක් අඩුපාඩුවක් දකින හිතවත් පාඨකයො කරන්නෙ කමෙන්ට් එකක් මාර්ගයෙන් ඒ වැරැද්ද පෙන්නල දෙන එක. එතකොට බ්ලොග් එක ලියපු එක්කෙනා ඒක ඇක්නොලේජ් කරල, වැරැද්ද පෙන්නුවට ස්තුති කරල, වැරැද්ද නිවැරදි කරනව.
ඒත් සමහර අය, වැරැද්දක් පෙන්නපුවහම කරන්නෙ ලෝකෙ නැති තර්ක විතර්ක ගෙනල්ල තමන් කරපු දේ නිවැරදියි කියල ඔප්පු කරන්න දඟලන එකයි. ඒ විතරක් නෙවෙයි, "මෝඩයන්ට තේරුම් ගන්න බැරි දේවල්" වගෙ අදහසක් ඉස්මතු කරනව.
උදාහරණයක් වශයෙන් ආගාධය කියන වචනය වෙනුවට අගල කියන වචනය පාවිච්චි කළා කියල හිතමු. මේ ගැන කවුරුහරි කිවුවහම ඒකට පිළිතුරු දෙන්නෙ “සංස්කෘත භාෂාවෙන් අගද කියන්නෙ නිරෝගීකම කියලයි” යනාදී වසයෙන්.
මේවට අපට කියන්න වෙන්නෙ හතර බීරි බ්ලොග්කරණය කියලයි.
අනිත් එක මොබයිල්මෑන්ට හිතෙනව අර කතන්දරකාරයා දික්කසාද වෙන ගෑනු ජාන ගැන කියනව වගේ, මේ ගතිගුණයට අදාළ වෙන ගෑනු ජානයක් තියෙනවද කියලත්.