අවුරුද තිස් පහකට පමණ ඉහතදී සිදු වූ මෙම සත්‍ය සිද්ධිය ඔබ වෙත ගෙන හැර පාන්නේ කිසිවකුට හෝ අවැඩක් නොවන පරිදි ව්‍යාජ වූ නම් ගම් සහිතවය.
දුනුකේදෙනිය සුන්දර ගම්මානයකි. කොළඹ සිටි මහනුවර දක්වා දිවෙන මාර්ගයේ අතරමැද පිහිටි එක්තරා උප නගරයකින් හැරී සැතපුම් හතක් (11.2km) පමණ ගිය පසුව දුනුකේදෙනිය ගම්මානයට හැරෙන හන්දිය හමුවෙයි. එකළ එම හන්දිය කඩමණ්ඩියකි. ඒ හන්දියේ සිට සැතපුම් තුනක් පමණ දුරකින් දුනුකේදෙනිය ගම්මානය විය. එහි ජීවත් වූ ප්‍රභූ පවුලක් වූයේ දුනුකේදෙනිය මහත්තයාගේ පවුල ය. ඔහු විදුහල්පතිවරයෙක් වූ අතර මේ කතාවට අදාළ සමයේ ඔහු විශ්‍රාම යාමට ඔන්න මෙන්න වූ වයසක පසු විය.
ගමට යන පාර පටු ය. කුඩා ප්‍රමාණයේ (ආසන විසි හයක) ලංගම බස් රථයක් මේ පාරේ ධාවනය කරවන ලදී. බස් රථයේ පළල පාරේ පළලට සමාන විය. වෙනත් වාහන ඉතා දුර්ලභ වූ ඒ කාලයේ මෙය බරපතල ගැටළුවක් නොවීය. මා දන්නා තරමින් මුළු ගමටම සිටි එකම වාහන හිමියා දුනුකේදෙනිය මහත්තයා ය. ඔහුගේ වාහනය “කනේ මයිල්” වර්ගයේ වොක්ස්වැගන් කාර් එකකි.
ඒ කාලයේ විදුහල්පතිවරයකුට ගමක ප්‍රභූත්වය හිමි විය. වත් පොහොසත් කමින් ඉතා ඉහළ තලයක නොසිටියත් දුනුකේදෙනිය මහත්තයාට තරම් ඉඩම් කඩම් ගේ දොර වතු පිටි යාන වාහන ඇති අයකු ගමේ නොසිටි නිසා, විදුහල්පතිකමට අමතරව ඔහුට සෑහෙන පිළිගැනීමක් ඇති කර ගැනීමේ හැකියාවද තිබිනි. මේ නිසාම, බොහෝ විටදී “සුළු වරදක්” ඔහු අතින් සිදු වුවද කවරකු හෝ ඒ පිළිබඳ ඔහුට දොස් නැගුවේ ද නැත. එබැවින් “වරද පිළිගැනීම” යන ක්‍රියාව කරන්නට ඔහුට සිදු වූයේද නැත.
මහා මාර්ගයේ රිය පැදවීමේදී (නීත්‍යානුකූලව සැළකුවහොත්) ප්‍රභූත්වය බලපාන්නේ නැත. මොන කෙරුම් කාරයා වුවත් මාර්ග නීති පිළිපදිමින් රිය පැදවීම අනිවාර්යය අවශ්‍යතාවක් වූ අතර පගාවට වැඩ කරන පොලිස් කාරයෝ ද එහෙමට දක්නට ලැබුනේ නැත. කෙසේ වුවද, මේ දුනුකේදෙනිය පාරේ නම් ඒ වන විට කවමදාක හෝ ට්‍රැෆික් පොලිස් කාරයෙක් ගමන් කර තිබුනා නම් ඒ ඔහුගේ නිවසට යාමට, නෑදෑයකු හෝ මිත්‍රයකු බැලීමට යාමට වැනි කටයුත්තක් සඳහා මිස “රාජකාරියක්” සඳහා නම් නොවන බව ඉඳුරාම කිවහැකිය.
මෙසේ පැවතුනු මාර්ගය දිගේ එක්තරා දිනයෙක දුනුකේදෙනිය මහතා සිය වොක්සොවැගනය පදවාගෙන කඩමණ්ඩිය දෙසට යමින් සිටියේ හදිසියක් නැතිව නොවේ. වම් පැත්තට වංගුවක් ගැනීමේදී ඔහු වාහනය ගෙන ගියේ පාරේ මැද්දෙනි. කඩමණ්ඩිය දෙස සිට ගමට ආ ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටරයේ රියැදුරා බ්‍රාස් හඬ නංවමින් එය නවත්වාගත්තේ දුනුකේදෙනිය මහත්තයාගේ වොක්ස්වැගනයේ ඉදිරිපස ට්‍රේලරයේ බඳෙහි දඩාස් ගා වැදුනු නිසාය. වොක්ස්වැගනයේ දකුනු පස හෙඩ් ලයිට් එක කුඩු වී තිබිනි. ලෑලි වලින් නිම කරන ලද ට්‍රේලරයට සැළකියයුතු අලාභ හානියක් සිදු වූයේ නැත.
රියෙන් බිමට බට දුනුකේදෙනිය මහත්තයා නළල රැළි කර මුක්කං වූ සිය රථය දෙසත් ට්‍රැක්ටරය දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. ගමේ මළ ගෙදරක් තිබුනු එදින සැළකිය යුතු පිරිසක් පාරේ ගමන් කරමින් සිටියහ. කාටත් පෙනී ගියේ රිය අනතුරෙහි වරද දුනුකේදෙනිය මහත්තයා අතේ බවය. නොසැළකිලිමත් ලෙසත්, මාර්ගයේ අනිත් පැත්තෙන් වාහනයක් පැමිණෙතැයි බලාපොරොත්තුවකින් තොරවත් වාහනය පදවාගෙන ගියේ ඔහුය.
දුනුකේදෙනිය මහත්තයා කලබල වූයේ නැත. “කාගෙද ළමය මේ ට්‍රැක්ටර් එක” ඔහු ට්‍රැක්ටරය පදවාගෙන පැමිණි තරුණයාගෙන් විමසීය.
“මේ ඉහළගම මහත්තයාගෙ” සිද්ධියට අදාළ නොවූ පැනයට ඔහු පිළිවදන් දුන්නේ චකිතයෙනි. ට්‍රැක්ටරයට අලාභයක් වී නැත. තමන් අතින් වරදක් සිදු වූයේද නැත. එසේනම් අයිතිකරු කවුරුන්දැයි ඇසීම කිසි සේත්ම තේරුමක් නැති දෙයකි.
“ආ ඉහළගම මගෙ ගෝලයනෙ. මං කොහොමද එයාගෙන් අලාභ ඉල්ලන්නෙ. මං මේ කාර් එක හදාගන්නං. ටැට්ටරේට අලාබයක් නෑනෙ” දුනුකේදෙනිය මහත්තයාගේ ඍජු ප්‍රකාශය ට්‍රැක්ටර් රියැදුරුගේත් රැස්ව සිටි පිරිසගේත් මවිතයටම හේතු විය.
“අපි යමු යන්න. මං ඉහළගමට කියන්නං. ඔය ළමය යන්න.”
ට්‍රැක්ටරයේ රියැදුරු තරුණයා පත්වූයේ බලවත් අපහසුතාවයකටය. දුනුකේදෙනිය මහත්තයා සිය ස්වාමියා හමු වුවහොත් නොවරදවාම “අන්න ඔයාගේ ටැට්ටර් කාරය ඇවිත් මගෙ කාර් එක හැප්පුවා. මට සෑහෙන්න අලාබයි. කමක් නෑ මං ඒක හදාගන්නං.” කියා කියනු ඔහුට මැවී පෙනෙයි.ඉන් අනතුරුව තමන්ට සිදු වන දේ සිතා ගැනීම අපහසු ය.
පාර අයිනේ තිබුනු කපා දමන ලද ගසක කොටයක් මත හිඳගත් තරුණයා කම්මුලට අතක් තබාගත්තේය.
හික් හික් මරු සීන් එක...
ReplyDeleteසිරාවටම ගොඩක් ගුරුවරු කැමති නෑ වැරද්දක් උනාම පිලිගන්න. ඒක ඉතින් ඒ ගොල්ලන්ගේ වැරැද්දක් නෙමේ. මොනා උනත් කතාව ලස්සනට ලියලා තියෙනවා.
ReplyDelete