2012-01-04

අලි මිනිස් ගැටුම්

අලියා විසින් හානි කරන ලද මිනිස් ජීවිත සංඛ්‍යාව විශාලය.
අලි මිනිස් ගැටුම් ලංකාවේ සමහර පළාත්වල සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙමින් තිබේ.
කාලයකට පෙර මෙවැනි තත්වයක් අපේ ර‍ටේ පැවතුනත් අනතුරුව එම තත්වය තවත් විරළ අත්දැකීමක් බවට පත් වී තිබුනු යුගයක් ද තිබිනි. දැන් නැවතත් අලි මිනිස් ගැටුම් උග්‍ර වන්නට පටන් ගෙන තිබේ.
අලි මිනිස් ගැටුම් වැඩි වන කාලසීමාවන් පිළිබඳව හෝ එවැනි සිද්ධි ඇති වීම පිළිබඳව ‍හෝ අධ්‍යයනයක් කරන්නට කිසිවකු හෝ යොමු වී ඇතිදැයි මම නොදනිමි. එසේ වුවද, අලියා ගම් වලට වැදීම මෙම ගැටුම් ඇති වීමේ ආසන්නතම හේතුව බවනම් නොරහසකි.
අලියා ගම් වදින්නේ ඇයි? ඌට කැලට තුලටම වී ජීවත් වන්නට‍ නොහැකි වීම නිසා, එනම් ඌට කැලයේ ආහාර හිඟ වීම නිසා, ඌ ගම් වලට කඩා පනින බව පැහැදිළි කාරණයකි. අලියා වූකලී කැලයේ අනිකුත් සතුන්ට සාපේක්ෂව විශාල ආහාර ප්‍රමාණයක් පාරිභෝජනය කරන සත්වයෙකි. අලියාගේ දැවැන්ත ශරීරයට සුළු ආහාරයකින් සන්තර්පණය වීමට නොහැකිය. වර්තමානයේ ක්‍රමානුකූලව සිදුවන වන සංහාරය නිසා, වර්තමානයේදී කැලෑ තුළ අලි රංචුවකට ප්‍රමාණවත් තරම් ආහාර සොයාගැනීමේ අර්බුදයක් ඉස්මතු වීම අරුමයක් නොවේ. එහෙත්, කැලෑවක තරම්වත් ගමක් තුළ අලියකුට ආහාර තිබෙන බවක් අපට නොපෙනෙනවා සේම අලියාටද වැටහෙන්නේ නැතැයි සිතීමට නොහැකිය.
එහෙත්, ආහාර සොයා ඇවිදින අලියා හදිසියේ ගමකට සේන්දු වූ විට ඌට අහම්බෙන් හෝ වඩා රසවත් ආහාර ලැබේ. විශේෂයෙන් දිය ලුණු ආහාරයට ගැනීමට අලියා අතිශයින්ම කෑදර බව ඒ පිළිබඳව අත්දැකීම් ඇති අය පවසති. මේ කෑදරකම නිසාම වරක් ගමේ ආහාර රස බැලූ අලියා නැවත ගමට කඩා වදී.
අලියා සහ අනෙකුත් තිරිසන් සතුන් සියළුදෙනාම පාහේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක් වන ආහාරය ප්‍රධාන අවශ්‍යතාව කොටගෙන සළකති. මිනිසාටද ආහාර අත්‍යවශ්‍ය නමුත් ඔහු විවිධ අවස්ථාවන්හිදී එය මඳකට අමතක කර දමා වෙනත් කටයුත්තක නියැලෙන බව අපි දනිමු. උදාහරණයක් වශයෙන් අපට යම් ගමනක් නිශ්චිත වූ වේලාවකට පෙර නිම කිරීමට අවශ්‍ය වූ විට ආහාරය සඳහා නොනැවතී ගමනේ යෙදීම බොහෝ දෙනාගේ සිරිතයි. එවැනි අවස්ථාවකදී අප ආහාර සඳහා කාලය මිඩංගු කරන්නේ අතිශයින්ම දැඩි කුසගින්නක් දැනුනහොත් පමණකි. ඒ, අපගේ හැසියාව මගින් අපට පවරනු ලැබ ඇති වගකීම් නිසාවෙනි. තිරිසනුන්ට එවැනි වගකීම් නැත. එනිසා, ඌ සැම විටම අවශ්‍යතා මුල් ස්ථානයට ගෙන යුතුකම් ගැන නොසිතා කටයුතු කරයි. ඇතැම් මිනිසුන් ද තිරිසනුන් මෙන් අවශ්‍යතා මුලට ගැනීම වෙනම කාරණයකි.
අලින්ගේ හැසිරීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ මහාචාර්ය බමුණුආරච්චි වරක් පැවසුවේ එක් කැලයක සිට තවත් කැලයකට ගෙන ගොස් දමනු ලබන අලි නැවතත් තම මුල් වාසස්ථානය සොයාගෙන පැමිණීමට හේතුව නෑදෑයන් දැකීමටවත්, ගෙදරට ආශාව නිසාවත් නොව, තමන්ට හුරු පුරුදු වර්ගයේ ගහකොළ ආහාරයට ගැනීමට ඇති කැමැත්ත බවයි.

2 comments:

  1. අලි පුටු ගැටුමක් තිබ්බා 1994 නේ??

    ReplyDelete
    Replies
    1. ඔව් පස්සෙ අලි ඇවිත් පුටු උඩ වාඩි වුනානෙ. දැන් ඔක්කොම හරි.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.