2012-01-16

මෙවැනි දේත් විය හැකිය.

නිහාල් විජේරත්න මා හා කුළුපග වූයේ කෙසේදැයි කියා මට මතක නැත. එහෙත් මා කැමති චරිත ලක්ෂණ කිහිපයක් ඔහු වෙත තිබුනු අතර ඔහුද මගේ චරිතය අගය කළේය. අප දෙදෙනාගේ බොහෝ සමානකම් තිබුනත් එක් වෙනස්කමක් වූයේ ඔහුගේ ප්‍රියතම පානය “ගල්” වීම සහ මා “පොල්” වලට ප්‍රිය කිරීම ය. මෙම වෙනස නිසා අපගේ මිතුරුකම වැඩි කාලයක් පවත්වාගෙන යාමට හැකි වූයේ දෙන්නා එකට සෙට් වුනොත් අනිවාර්යයෙන්ම එකෙක් අඩුවෙන් බොන නිසා ය.

ඔහුට හැකියාවන් කීපයක් තිබුනු බව මා හඳුනාගෙන තිබිනි. ගොරෝසු කටහඬක් තිබුනු හෙතෙම උන් හිටි ගමන් මිල්ටන් පෙරේරා ගැයූ ගීතයක් ගයයි. “වැලිකතර” චිත්‍රපටයේ ගුවන් විදුලි වෙළඳ දැන්වීම ඔහු ඒ ආකාරයෙන්ම උච්චාරණය කරයි. දවස පුරාම විනෝදබර ලෙස ජීවත් වුවත් ඔහු ආර්ථික වශයෙන් උසස් තැනක සිටියේ නැත. කෙසේ වුවත් අනුනට අත නොපා ජීවත් වන්නටත් ටිකෙන් ටික හෝ ගේ දොර පිළිවෙලක් කරගන්නටත් ඔහුට හැකියාව තිබිනි. භෞතික දියුනුව මන්දගාමී වූයේ ඔහු හිත හොඳ මිනිහෙක් වූ නිසායැයි මම අනුමාන කරමි.
ඔහු මට වඩා අවුරුදු විසි පහකින් පමණ වැඩි මහල් වුවත් කට පුරා "මචං" කියා කතා කරන්නට ඔහු අමතක කළේ නැත. ඇත්ත වශයෙන්ම ඔහුගේ වයස ගැන විටින් විට උදම් ඇනීම නිසා හැරෙන්නට ඔහුගේ ගත සහ වැඩකිරීමේදී දක්වන කඩිසරකම දකින අයකු සිතුවේ සැබෑ වයසට අවුරුදු දහයක් පහළොවක් අඩුවෙනි.
ඔහු දිනක් මා වෙත පරණ පත්තර පිටු එකතුවක් ගෙනවිත් දුන්නේය. ඒ ඔහු ලියූ කවි, නිසඳැස් හෝ කෙටි කතා පළ වී තිබුනු පත්තර පිටු ය. ඔහු ඒවා ලියා තිබුනේ එකකට එකක් අසමාන වූ නම් වලිනි. එකක මුදුන්ගොඩ විජයරත්න ය. තවත් එකක නිහාල් විජයරත්නය. තවත් විටක ගම්පහ විජයරත්න ය. මට ඉන් පෙනී ගියේ ඔහු සාහිත්‍ය රචකයකු ලෙස නමක් ඇති කරගන්නට කිසිදු ආශාවක් දක්වා නොමැති බවයි. “මොනවද බං, හිතුන, ලිව්ව, යැවුව පත්තරේට. අපට මොන නං ද බං.” ඒ ගැන විමසද්දී ඔහු දුන් පිළිතුර එයයි.
ඔහුගේ ඒ නිර්මාණ අතිශයින්ම රසවත් ඒවා බව නිර්ලෝභීව කිව හැකි නමුත් අද වන විට ඉන් එකක් හැර අනෙක් ඒවා ගැන මගේ මතකයක් නැත. එක්තරා සුවිශේෂී හේතුවක් නිසා එක් පද වැලක් පිළිබඳ මට මතකයක් තිබේ. ඒ කවි පන්තිය පටන් ගත්තේ “රන් මලක් ලෙස දෙව් බඹූන් පූජා .....” යනාදී වශයෙනි. මෙය දුටු වහාම මගේ (මෙය කියවන ඔබගේ සේ ම) කුතුහලය ඇවිස්සිනි.
අප දන්නා පරිදි, පසුගිය කාලයේදී අතිශයින්ම ජනප්‍රිය වුනු, සුනිල් එදිරිසිංහයන්ගේ සුමධුර හඬින් ගැයෙන “රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ” යන ගීය රචනා කරන ලද්දේ කුමාරදාස සපුතන්ත්‍රී නමැති අසහාය ගේය පද රචකයා විසිනි. අනුන්ගේ නිර්මාණ සොරා ගන්නට තරම් එතුමන් කිසි දිනක “බංකොළොත්” වී සිටියේ නැති බවත් අපි කවුරුත් දනිමු.
එසේනම්, කිමෙක්ද මේ අරුමය?
“මේ විජේ, උඹ මාර බඩුවක්නෙ. දැන් මේ උඹ ලියපු සිංදුවක්නෙ අර රේඩියෝ එකේ හැම තිස්සෙම යන්නෙ. උඹේ කවි පන්තිය නේද ඌ කොපි කරල තියෙන්නෙ. මේක ගැන උඹ මොකවත් කරන්නෙ නැද්ද?”
“මචං මම ඕක ගැන ඒ දවස්වල කල්පනා කර කර හිටිය. ඔය සිංදුවෙ තියෙන්නෙ මගෙ කවි පන්තිය ම නෙවෙයි. ඒ වුනාට ඒ වචන ඔක්කොම මගෙ කවි පන්තියෙත් තියනව. ඔය අතරවාරේ කුමාරදාස සපුතන්ත්‍රී උන්නැහේ ඉන්ටවීව් කළා රේඩියෝ එකේ. ඔය සින්දුව ලියන්න අදහසක් ආවෙ කොහොමද කියල එයා එ‍තනදි පැහැදිළි කළා.”
ඒ කතාව මෙසේය.
කුමාරදාස සපුතන්ත්‍රී මහතා එක්තරා දවසකදී තේ කඩයකින් තේකක් බොන්න ගියාලු. ඒ කාලෙ (දැනුත් බොහෝ විට එහෙමම තමයි) තේ කඩ වලදී අත පිහදාගන්නට දෙන්නේ පරණ පත්තර කැබලි ය. මෙසේ අත පිහදාගන්නට ලැබෙන පත්තර කෑල්ල, ඉස්පාසුවක් තිබේනම් උඩින් පල්ලෙන් හෝ කියවා මා ඇතුළු සමහර අයගේ පුරුද්දකි. සපුතන්ත්‍රී මහතා කර ඇත්තේ ද එයම ය. එම පත්තර කැබැල්ලේ ඉහත කී කවි පන්තිය තිබී ඇත. මෙය කියවූ සපුතන්ත්‍රී මහතාගේ සිතට කවි පන්තිය තදින් කා වදින්නට ඇත. එහි වචන සහ පද ගැලපුම එසේ බලගතු විය. කෙසේ වුවද, ඉන් කෙටි කාලයකට පසුව සපුතන්ත්‍රී මහතා දේශාභිමානී ගීතයක් රචනා කරද්දී ඔහුගේ සිතට එම කවි පන්තියේ වචන නොආවා නම් පුදුමයකි.
වසරකට පමණ පෙර අප අතරින් සදහටම සමුගත් නිහාල් විජේරත්නයන්ට නිවන් සැප ලැබේවා!
ප.ලි.
හදවතින් යුද බිමේ සිටි අයගේ දැන් තත්වය වෙනස් වී ඇත.

1 comment:

  1. බූඩිත් ගල් පානයට කැමතිය. ගදට අකමැතිය :)

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.