මොබයිල්මෑන්ගේ නැන්දා අවිවාහක කාන්තාවක්. නැන්දා කියන්නෙ තාත්තගෙ සහෝදරියක්. හිටියෙ මහගෙදරමයි. ඒ කිව්වෙ සීයා සහ ආච්චි අම්මා හිටපු ගෙදර. මොබයිල්මෑන් කුඩා කාලයේ (1960 දශකයේ අග භාගයේ හෝ 70 දශකයේ මුල් භාගයේ) මේ නැන්දාට කාර් එකක් තිබුනා. පස්සෙ පස්සෙ පැට්රෝල් ගනං ගිය නිසාද කොහෙද ඒ කාර් එක නැන්දා විකුණලා දැම්මා. කොහොම වුනත්, ඒ කාලෙ කාර් එකක් තිබුනෙ එහෙමත් කෙනකුට තමයි.
මාස දෙක තුනකට සැරයක් නැන්දා මහගෙදර හිටපු මහප්පා (ලොකු තාත්තා නොහොත් ලොකු අප්පච්චි) සමග හෝ තවත් කවුරුන් සමග හෝ මොබයිල්මෑන්ලගේ ගෙදර එනවා කාර් එකෙන්. කාර් එකේ රියැදුරු හැටියට කටයුතු කළේ ඒ ගමේම තරුණයෙක්.
ඉතින් ඔහොම ආපු එක දවසක කාර් එක මොබයිල්මෑන්ලගෙ ගෙදර මිදුලෙ නවත්තලා තිබුනා. එදා නැන්දා ඇතුව හෝ නැතුව මහප්පා ඇවිත් හිටිය බව විතරක් මොබයිල්මෑන්ට මතකයි. කාර් එකේ ඉස්සරහ රෝදය තිබුනෙ පරණ ටින් එකක් උඩ. ටින් එක චප්ප වෙලා තියෙනව දැකපු මොබයිල්මෑන් ගත් කටටම කිවුවෙ “අන්න කාර් එකට ටින් එකක් පෑගිලා!” කියල.
මේ කතාව අහගෙන හිටපු මහප්පා “පුතේ, පෑගෙනව කියන්නෙ පයට යට වෙන එකටයි. කාර් එකට පයක් නෑනෙ. කාර් එකට ටින් එකක් අහුවෙලා. එහෙම කියන්න පුරුදු වෙන්න” කියල බහ තෝරන මොබයිල්මෑන්ට අවවාද කළා. මහප්පා විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙක්.
මේ අවවාදය මොබයිල්මෑන් හිතට ගත්තත්, මොබයිල්මෑන්ගෙ අම්මා “දැන් ඉතින් පුතා කාර් එකේ රෝදෙ කකුලට සමාන කරල කතා කරයි” කියල කිව්වෙ මොබයිල්මෑන්ගෙ හිත හදන්නයි. ළදරු මොබයිල්මෑන් බොහෝ දේට මෙන්ම තර්ක කිරීමෙහිත් ශූරයකු බව කියන්න අම්මා උනන්දුවුනා. ඒක හැම අම්ම කෙනෙක්ගෙම හැටියක්නෙ.
මේ චූටි සිද්දිය මොබයිල්මෑන්ට මතක් වුනේ බ්ලොග් කියවද්දි.
මොබයිල්මෑන් ඇතුළු සමහර අය අතින් යම් යම් වැරදි අඩුපාඩු සිද්ද වෙනවනෙ මේ බ්ලොග් එකක් ලියද්දි. බ්ලොග් එකක් පබ්ලිෂ් කරන්නෙ තීසිස් එකක් සබ්මිට් කරනව වගේ හත් අට පාරක් කියවල බලල තව සුපර්වයිසර් කෙනෙකුටත් පෙන්නලා සියලු දෝස භංග කරල නෙවෙයි. හදිස්‍සියෙ මතක් වුනා, ලිව්වා, පබ්ලිෂ් කරා.
ඉතින් මේ ලිපියක වැරැද්දක් අඩුපාඩුවක් දකින හිතවත් පාඨකයො කරන්නෙ කමෙන්ට් එකක් මාර්ගයෙන් ඒ වැරැද්ද පෙන්නල දෙන එක. එතකොට බ්ලොග් එක ලියපු එක්කෙනා ඒක ඇක්නොලේජ් කරල, වැරැද්ද පෙන්නුවට ස්තුති කරල, වැරැද්ද නිවැරදි කරනව.
ඒත් සමහර අය, වැරැද්දක් පෙන්නපුවහම කරන්නෙ ලෝකෙ නැති තර්ක විතර්ක ගෙනල්ල තමන් කරපු දේ නිවැරදියි කියල ඔප්පු කරන්න දඟලන එකයි. ඒ විතරක් නෙවෙයි, "මෝඩයන්ට තේරුම් ගන්න බැරි දේවල්" වගෙ අදහසක් ඉස්මතු කරනව.
උදාහරණයක් වශයෙන් ආගාධය කියන වචනය වෙනුවට අගල කියන වචනය පාවිච්චි කළා කියල හිතමු. මේ ගැන කවුරුහරි කිවුවහම ඒකට පිළිතුරු දෙන්නෙ “සංස්කෘත භාෂාවෙන් අගද කියන්නෙ නිරෝගීකම කියලයි” යනාදී වසයෙන්.
මේවට අපට කියන්න වෙන්නෙ හතර බීරි බ්ලොග්කරණය කියලයි.
අනිත් එක මොබයිල්මෑන්ට හිතෙනව අර කතන්දරකාරයා දික්කසාද වෙන ගෑනු ජාන ගැන කියනව වගේ, මේ ගතිගුණයට අදාළ වෙන ගෑනු ජානයක් තියෙනවද කියලත්.
No comments:
Post a Comment
ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.