2012-01-19

දුනුකේදෙනිය මහත්තයාගේ කාර් එළවීම නොහොත් තමන්ගේ වරද අනුන් මත පැවරීමේ සාර්ථක ක්‍රමවේදයක්

අවුරුද තිස් පහකට පමණ ඉහතදී සිදු වූ මෙම සත්‍ය සිද්ධිය ඔබ වෙත ගෙන හැර පාන්නේ කිසිවකුට හෝ අවැඩක් නොවන පරිදි ව්‍යාජ වූ නම් ගම් සහිතවය.
දුනුකේදෙනිය සුන්දර ගම්මානයකි. කොළඹ සිටි මහනුවර දක්වා දිවෙන මාර්ගයේ අතරමැද පිහිටි එක්තරා උප නගරයකින් හැරී සැතපුම් හතක් (11.2km) පමණ ගිය පසුව දුනුකේදෙනිය ගම්මානයට හැරෙන හන්දිය හමුවෙයි. එකළ එම හන්දිය කඩමණ්ඩියකි. ඒ හන්දියේ සිට සැතපුම් තුනක් පමණ දුරකින් දුනුකේදෙනිය ගම්මානය විය. එහි ජීවත් වූ ප්‍රභූ පවුලක් වූයේ දුනුකේදෙනිය මහත්තයාගේ පවුල ය. ඔහු විදුහල්පතිවරයෙක් වූ අතර මේ කතාවට අදාළ සමයේ ඔහු විශ්‍රාම යාමට ඔන්න මෙන්න වූ වයසක පසු විය.
ගමට යන පාර පටු ය. කුඩා ප්‍රමාණයේ (ආසන විසි හයක) ලංගම බස් රථයක් මේ පාරේ ධාවනය කරවන ලදී.  බස් රථයේ පළල පාරේ පළලට සමාන විය. වෙනත් වාහන ඉතා දුර්ලභ වූ ඒ කාලයේ මෙය බරපතල ගැටළුවක් නොවීය. මා දන්නා තරමින් මුළු ගමටම සිටි එකම වාහන හිමියා දුනුකේදෙනිය මහත්තයා ය. ඔහුගේ වාහනය “කනේ මයිල්” වර්ගයේ වොක්ස්වැගන් කාර් එකකි.
ඒ කාලයේ විදුහල්පතිවරයකුට ගමක  ප්‍රභූත්වය හිමි විය. වත් පොහොසත් කමින් ඉතා ඉහළ තලයක නොසිටියත් දුනුකේදෙනිය මහත්තයාට තරම් ඉඩම් කඩම් ගේ දොර වතු පිටි යාන වාහන ඇති අයකු ගමේ නොසිටි නිසා, විදුහල්පතිකමට අමතරව ඔහුට සෑහෙන පිළිගැනීමක් ඇති කර ගැනීමේ හැකියාවද තිබිනි. මේ නිසාම, බොහෝ විටදී “සුළු වරදක්” ඔහු අතින් සිදු වුවද කවරකු හෝ ඒ පිළිබඳ ඔහුට දොස් නැගුවේ ද නැත. එබැවින් “වරද පිළිගැනීම” යන ක්‍රියාව කරන්නට ඔහුට සිදු වූයේද නැත.
මහා මාර්ගයේ රිය පැදවීමේදී (නීත්‍යානුකූලව සැළකුවහොත්) ප්‍රභූත්වය බලපාන්නේ නැත. මොන කෙරුම් කාරයා වුවත් මාර්ග නීති පිළිපදිමින් රිය පැදවීම අනිවාර්යය අවශ්‍යතාවක් වූ අතර පගාවට වැඩ කරන පොලිස් කාරයෝ ද එහෙමට දක්නට ලැබුනේ නැත. කෙසේ වුවද, මේ දුනුකේදෙනිය පාරේ නම් ඒ වන විට කවමදාක හෝ ට්‍රැෆික් පොලිස් කාරයෙක් ගමන් කර තිබුනා නම් ඒ ඔහුගේ නිවසට යාමට, නෑදෑයකු හෝ මිත්‍රයකු බැලීමට යාමට වැනි කටයුත්තක් සඳහා මිස “රාජකාරියක්” සඳහා නම් නොවන බව ඉඳුරාම කිවහැකිය.
මෙසේ පැවතුනු මාර්ගය දිගේ එක්තරා දිනයෙක දුනුකේදෙනිය මහතා සිය වොක්සොවැගනය පදවාගෙන කඩමණ්ඩිය දෙසට යමින් සිටියේ හදිසියක් නැතිව නොවේ. වම් පැත්තට වංගුවක් ගැනීමේදී ඔහු වාහනය ගෙන ගියේ පාරේ මැද්දෙනි. කඩමණ්ඩිය දෙස සිට ගමට ආ ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටරයේ රියැදුරා බ්‍රාස් හඬ නංවමින් එය නවත්වාගත්තේ දුනුකේදෙනිය මහත්තයාගේ වොක්ස්වැගනයේ ඉදිරිපස ට්‍රේලරයේ බ‍‍ඳෙහි දඩාස් ගා වැදුනු නිසාය. වොක්ස්වැගනයේ දකුනු පස හෙඩ් ලයිට් එක කුඩු වී තිබිනි. ලෑලි වලින් නිම කරන ලද ට්‍රේලරයට සැළකියයුතු අලාභ හානියක් සිදු වූයේ නැත.
රියෙන් බිමට බට දුනුකේදෙනිය මහත්තයා නළල රැළි කර මුක්කං වූ සිය රථය දෙසත් ට්‍රැක්ටරය දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. ගමේ මළ ගෙදරක් තිබුනු එදින සැළකිය යුතු පිරිසක් පාරේ ගමන් කරමින් සිටියහ. කාටත් පෙනී ගියේ රිය අනතුරෙහි වරද දුනුකේදෙනිය මහත්තයා අතේ බවය. නොසැළකිලිමත් ලෙසත්, මාර්ගයේ අනිත් පැත්තෙන් වාහනයක් පැමිණෙතැයි බලාපොරොත්තුවකින් තොරවත් වාහනය පදවාගෙන ගියේ ඔහුය.
දුනුකේදෙනිය මහත්තයා කලබල වූයේ නැත. “කාගෙද ළමය මේ ට්‍රැක්ටර් එක” ඔහු ට්‍රැක්ටරය පදවාගෙන පැමිණි තරුණයාගෙන් විමසීය.
“මේ ඉහළගම මහත්තයාගෙ” සිද්ධියට අදාළ නොවූ පැනයට ඔහු පිළිවදන් දුන්නේ චකිතයෙනි. ට්‍රැක්ටරයට අලාභයක් වී නැත. තමන් අතින් වරදක් සිදු වූයේද නැත. එසේනම් අයිතිකරු කවුරුන්දැයි ඇසීම කිසි සේත්ම තේරුමක් නැති දෙයකි.
“ආ ඉහළගම මගෙ ගෝලයනෙ. මං කො‍හොමද එයාගෙන් අලාභ ඉල්ලන්නෙ. මං මේ කාර් එක හදාගන්නං. ටැට්ටරේට අලාබයක් නෑනෙ” දුනුකේදෙනිය මහත්තයාගේ ඍජු ප්‍රකාශය ට්‍රැක්ටර් රියැදුරුගේත් රැස්ව සිටි පිරිසගේත් මවිතයටම හේතු විය.
“අපි යමු යන්න. මං ඉහළගමට කියන්නං. ඔය ළමය යන්න.”
ට්‍රැක්ටරයේ රියැදුරු තරුණයා පත්වූයේ බලවත් අපහසුතාවයකටය. දුනුකේදෙනිය මහත්තයා සිය ස්වාමියා හමු වුවහොත් නොවරදවාම “අන්න ඔයාගේ ටැට්ටර් කාරය ඇවිත් මගෙ කාර් එක හැප්පුවා. මට සෑහෙන්න අලාබයි. කමක් නෑ මං ඒක හදාගන්නං.” කියා කියනු ඔහුට මැවී පෙනෙයි.ඉන් අනතුරුව තමන්ට සිදු වන දේ සිතා ගැනීම අපහසු ය.
පාර අයිනේ තිබුනු කපා දමන ලද ගසක කොටයක් මත හිඳගත් තරුණයා කම්මුලට අතක් තබාගත්තේය.

2012-01-16

මෙවැනි දේත් විය හැකිය.

නිහාල් විජේරත්න මා හා කුළුපග වූයේ කෙසේදැයි කියා මට මතක නැත. එහෙත් මා කැමති චරිත ලක්ෂණ කිහිපයක් ඔහු වෙත තිබුනු අතර ඔහුද මගේ චරිතය අගය කළේය. අප දෙදෙනාගේ බොහෝ සමානකම් තිබුනත් එක් වෙනස්කමක් වූයේ ඔහුගේ ප්‍රියතම පානය “ගල්” වීම සහ මා “පොල්” වලට ප්‍රිය කිරීම ය. මෙම වෙනස නිසා අපගේ මිතුරුකම වැඩි කාලයක් පවත්වාගෙන යාමට හැකි වූයේ දෙන්නා එකට සෙට් වුනොත් අනිවාර්යයෙන්ම එකෙක් අඩුවෙන් බොන නිසා ය.

ඔහුට හැකියාවන් කීපයක් තිබුනු බව මා හඳුනාගෙන තිබිනි. ගොරෝසු කටහඬක් තිබුනු හෙතෙම උන් හිටි ගමන් මිල්ටන් පෙරේරා ගැයූ ගීතයක් ගයයි. “වැලිකතර” චිත්‍රපටයේ ගුවන් විදුලි වෙළඳ දැන්වීම ඔහු ඒ ආකාරයෙන්ම උච්චාරණය කරයි. දවස පුරාම විනෝදබර ලෙස ජීවත් වුවත් ඔහු ආර්ථික වශයෙන් උසස් තැනක සිටියේ නැත. කෙසේ වුවත් අනුනට අත නොපා ජීවත් වන්නටත් ටිකෙන් ටික හෝ ගේ දොර පිළිවෙලක් කරගන්නටත් ඔහුට හැකියාව තිබිනි. භෞතික දියුනුව මන්දගාමී වූයේ ඔහු හිත හොඳ මිනිහෙක් වූ නිසායැයි මම අනුමාන කරමි.
ඔහු මට වඩා අවුරුදු විසි පහකින් පමණ වැඩි මහල් වුවත් කට පුරා "මචං" කියා කතා කරන්නට ඔහු අමතක කළේ නැත. ඇත්ත වශයෙන්ම ඔහුගේ වයස ගැන විටින් විට උදම් ඇනීම නිසා හැරෙන්නට ඔහුගේ ගත සහ වැඩකිරීමේදී දක්වන කඩිසරකම දකින අයකු සිතුවේ සැබෑ වයසට අවුරුදු දහයක් පහළොවක් අඩුවෙනි.
ඔහු දිනක් මා වෙත පරණ පත්තර පිටු එකතුවක් ගෙනවිත් දුන්නේය. ඒ ඔහු ලියූ කවි, නිසඳැස් හෝ කෙටි කතා පළ වී තිබුනු පත්තර පිටු ය. ඔහු ඒවා ලියා තිබුනේ එකකට එකක් අසමාන වූ නම් වලිනි. එකක මුදුන්ගොඩ විජයරත්න ය. තවත් එකක නිහාල් විජයරත්නය. තවත් විටක ගම්පහ විජයරත්න ය. මට ඉන් පෙනී ගියේ ඔහු සාහිත්‍ය රචකයකු ලෙස නමක් ඇති කරගන්නට කිසිදු ආශාවක් දක්වා නොමැති බවයි. “මොනවද බං, හිතුන, ලිව්ව, යැවුව පත්තරේට. අපට මොන නං ද බං.” ඒ ගැන විමසද්දී ඔහු දුන් පිළිතුර එයයි.
ඔහුගේ ඒ නිර්මාණ අතිශයින්ම රසවත් ඒවා බව නිර්ලෝභීව කිව හැකි නමුත් අද වන විට ඉන් එකක් හැර අනෙක් ඒවා ගැන මගේ මතකයක් නැත. එක්තරා සුවිශේෂී හේතුවක් නිසා එක් පද වැලක් පිළිබඳ මට මතකයක් තිබේ. ඒ කවි පන්තිය පටන් ගත්තේ “රන් මලක් ලෙස දෙව් බඹූන් පූජා .....” යනාදී වශයෙනි. මෙය දුටු වහාම මගේ (මෙය කියවන ඔබගේ සේ ම) කුතුහලය ඇවිස්සිනි.
අප දන්නා පරිදි, පසුගිය කාලයේදී අතිශයින්ම ජනප්‍රිය වුනු, සුනිල් එදිරිසිංහයන්ගේ සුමධුර හඬින් ගැයෙන “රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ” යන ගීය රචනා කරන ලද්දේ කුමාරදාස සපුතන්ත්‍රී නමැති අසහාය ගේය පද රචකයා විසිනි. අනුන්ගේ නිර්මාණ සොරා ගන්නට තරම් එතුමන් කිසි දිනක “බංකොළොත්” වී සිටියේ නැති බවත් අපි කවුරුත් දනිමු.
එසේනම්, කිමෙක්ද මේ අරුමය?
“මේ විජේ, උඹ මාර බඩුවක්නෙ. දැන් මේ උඹ ලියපු සිංදුවක්නෙ අර රේඩියෝ එකේ හැම තිස්සෙම යන්නෙ. උඹේ කවි පන්තිය නේද ඌ කොපි කරල තියෙන්නෙ. මේක ගැන උඹ මොකවත් කරන්නෙ නැද්ද?”
“මචං මම ඕක ගැන ඒ දවස්වල කල්පනා කර කර හිටිය. ඔය සිංදුවෙ තියෙන්නෙ මගෙ කවි පන්තිය ම නෙවෙයි. ඒ වුනාට ඒ වචන ඔක්කොම මගෙ කවි පන්තියෙත් තියනව. ඔය අතරවාරේ කුමාරදාස සපුතන්ත්‍රී උන්නැහේ ඉන්ටවීව් කළා රේඩියෝ එකේ. ඔය සින්දුව ලියන්න අදහසක් ආවෙ කොහොමද කියල එයා එ‍තනදි පැහැදිළි කළා.”
ඒ කතාව මෙසේය.
කුමාරදාස සපුතන්ත්‍රී මහතා එක්තරා දවසකදී තේ කඩයකින් තේකක් බොන්න ගියාලු. ඒ කාලෙ (දැනුත් බොහෝ විට එහෙමම තමයි) තේ කඩ වලදී අත පිහදාගන්නට දෙන්නේ පරණ පත්තර කැබලි ය. මෙසේ අත පිහදාගන්නට ලැබෙන පත්තර කෑල්ල, ඉස්පාසුවක් තිබේනම් උඩින් පල්ලෙන් හෝ කියවා මා ඇතුළු සමහර අයගේ පුරුද්දකි. සපුතන්ත්‍රී මහතා කර ඇත්තේ ද එයම ය. එම පත්තර කැබැල්ලේ ඉහත කී කවි පන්තිය තිබී ඇත. මෙය කියවූ සපුතන්ත්‍රී මහතාගේ සිතට කවි පන්තිය තදින් කා වදින්නට ඇත. එහි වචන සහ පද ගැලපුම එසේ බලගතු විය. කෙසේ වුවද, ඉන් කෙටි කාලයකට පසුව සපුතන්ත්‍රී මහතා දේශාභිමානී ගීතයක් රචනා කරද්දී ඔහුගේ සිතට එම කවි පන්තියේ වචන නොආවා නම් පුදුමයකි.
වසරකට පමණ පෙර අප අතරින් සදහටම සමුගත් නිහාල් විජේරත්නයන්ට නිවන් සැප ලැබේවා!
ප.ලි.
හදවතින් යුද බිමේ සිටි අයගේ දැන් තත්වය වෙනස් වී ඇත.

2012-01-15

වැල චිත්‍රපටි බලල තියෙනවද?

වැලක් කියන්නෙ එක දිගට, එකකට පස්සෙ එකක් තියෙන පද්ධතියක්.
ඒ වුනත් කොස් ගෙඩියක් ඉදුනට පස්සෙ හැදෙන වැල ගෙඩිය සළකල බලන කොට ඒ අර්ථ දැක්වීම වලංගු නැහැ.
එතකොට ගස් වැල්, රෙදි වැල්, බල්බ් වැල්, රතිඤ්ඤා වැල් යනාදිය වගේම කොල්ලන්ගෙ ඔළුවට එන වැල් වර්ගයක් තියෙනව. මං දන්නෙ නෑ මේ වචනය කෙල්ලන් සම්බන්ධයෙන් යෙදෙන්නෙ නැත්තෙ ඇයි කියල. කොටින්ම කියනවනං ඔය වැල් කියන එක භාවිතාවට ආවෙ කොහෙන්ද කියලත් මමනම් දන්නෙ නෑ. කවුරුවත් ඒක හොයල බලලත් නැද්ද කොහෙද මගෙ හිතේ.
ඉතින් ඉන්ටනෙට් තියා සීඩී ඩීවීඩී පවා භාවිතාවේ නොතිබුනු අපේ කාලෙ වැල් පොත් වැල් පත්තර සහ වැල චිත්තරපටි තමයි නැගල ගියෙ. සිංහල බ්ලොග් කීපයක්ම ලියවිලා තියෙනවනේ මේ වැල් පත්තර යනාදිය ගැන.මේ කියන්න යන්නෙ ඒ කතාවක්ම වෙනත් වචන වලින් නෙවෙයි. ඇත්තටම ඒ බ්ලොග් වල තියෙන දේවල් එක්ක අඩු වැඩි වශයෙන් සමාන අත්දැකීම් මටත් තියනව වුනත්.
ගොඩක් වෙලාවට බටහිර චිත්තරපටි වල වැල බහුලයි. ජනතාවට වැල පෙන්නීමෙන් සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන්ම හදපු චිත්තරපටිත් තියනවනෙ. දැන් මේ වගේ චිත්තරපටියක ජවනිකාවක් තියෙනව කියල හිතමු කවුරුහරි කෙනෙක් ගෑනියකුට හරි කෙල්ලකට හරි ටෙලිපෝන් එකෙන් කතා කරන. මේ කෝල් එක ගන්න කෙනා මොන වෙලාවෙ කොහො ඉඳන් කතා කළත්, කෝල් එකට ආන්සර් කරන කාන්තාව ඒ වෙලාවෙ ඉන්නෙ බාත්රූම් එකේ. ඉතින් කෝල් එකට ආන්සර් කරනව පෙන්නන්න එපායැ. එහෙම පෙන්නනකොට වල් කොල්ලො ටෙලිපෝන් එක දිහා බලන්නෙ නැතුව අර කාන්තාවගෙ අංගෝපාංග දිහා තමයි බලන්නෙ.
ඒ කාලෙ නීතියක් තිබුනලු චිත්තරපටියකට නිරුවත් දර්ශනයක් ඇතුළු කරන්න පුළුවන් කතාවට අත්‍යවශ්‍යනම් විතරයි කියල. එහෙම නැතිව තියන නිරුවත් දර්ශන සෙන්සර් බෝඩ් එකෙන් කැපිල යනව. ඉතින් ටෙලිපෝන් කෝල් එකට ආන්සර් කරන එක පෙන්නුවෙ නැත්තං කතාව හරියට තේරුම් යන්නෙ නෑනෙ චිත්තරපටිය බලන කෙනාට. ඒ නිසා, ඒ කෑල්ල කපන්න බෑ.
ඒ වගේම තමයි සමහර චිත්තරපටි වල ලිංගික දර්ශන වලට අමතරව කාමෝද්දීපනය කරවන වෙනත් දර්ශන පුළුවන් තරම් ඇතුළත් කරන්න නිෂ්පාදකයො පෙළඹිලා තියෙන්නෙ වෙන මොකකටවත් නෙවෙයි සල්ලි ගරා ගැනීමට කියල පැහැදිළි වෙනව ඒ චිත්තරපටි බලද්දි.
ඒ වගේම තවත් චිත්තරපටි රැල්ලක් තිබුන (මේව ලංකාවෙ පෙන්නුවෙ නෑ මං හිතන්නෙ) වැසිකිළි කැසිකිළි දර්ශන අඩංගු වෙච්ච. පහුගිය කාලෙ ඊටීවී එකේ ගියෙ සෙක්ස් ඇන්ඩ් ද සිටි කතා සීරීස් එකේ මේ ලක්ෂණය තිබුන. මෙහෙ නොපෙන්නපු ටින්ටො බ්‍රාස් චිත්තරපටිවලත් ඒ වගේ. ටින්ටො බ්‍රාස් නං කවුරු හරි කෙල්ලක් ලව්වා මහ පාර මැද්දෙ හරි චූ කරවනවමයි.
දැනට අවුරුදු තිහකට විතර ඉස්සර ආව සිංහල චිත්තරපටියක්. ඒකෙ නම ම වැල්.මොකක්ද දන්නවද නම?
කිරි මදු වැල්.

2012-01-12

දර්ශනෝන්මාදය VOYEURISM



කළමනාකරු‍ගේ නිල නිවාසයේ දුරකථනය මහ හඬින් නාද විය. ඔරලෝසුව දෙස බලමින්ම ඔහු ඊට පිළිතුරු දීමට ගියේ “අද මොන මගුලක් වෙලාද දන්නෙ නෑ” කියා සිතමිනි. කෙතරම් කල්පනාකාරීව සියළුම දේ සැළසුම් කළත් රාත්‍රියේදී අනපේක්ෂිත ලෙස විවිධ ඇබැද්දි වලට මුහුණ දීමට සිදුවීම එදා මෙදා තුර කම්හල පාලනය කළ සෑම කළමනාකරුවෙකුටම අත්විඳීමට සිදු වූ කණගාටුදායක සිදුවීමකි.
“බොස් මාර වැ‍ඩේනෙ” ඉංජිනේරුවාගේ කටහඬ කළමනාකරුගේ තිගැස්ම තියුණු කළේ තමාට විසඳාගැනීමට අසීරු වන තාක්ෂණික ගැටළු පමණක් කළමනාකරු වෙත ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වූ බැවිනි. මේ නම් නිසැකවම යන්ත්‍රාගාරයක් නිශ්ක්‍රිය වීමේ අමිහිරි සිද්ධියක් ම විය යුතුයැයි ඔහු කල්පනා කළේය.
“ඇයි පුතා මොකද වුනේ” කම්හලේ පසුපස පිහිටි නිල නිවාස පේලියේ වාසය කරන තරුණ ඉංජිනේරුවාගෙන් කළමනාකරු විමසූයේ කම්හල වෙත යාම සඳහා රාත්‍රී එකොළහට නැවතත් කලිසමක් ඇඳීමේ අප්‍රියජනක කටයුත්ත කිරීමට හිත හදාගනිමිනි.
“නෑ ‍බොස් බ්‍රේක්ඩවුන් එකක් නෙවෙයි. වයිෆ් අද වැඩ ඇරිල ගෙදර එනකොට රෑ වුනා. දැන් තමයි වොෂ් එකක් දාගන්න කියල බාත්රූම් එකට ගියෙ”
“ඉතින් වතුර නැති වුනාද” කළමනාකරුට ඉස්පාසුවක් නැත්තේ කලිසම අඳිනවාද නැත්ද කියා තීරණය කළ යුතු නිසාමය.
“නෑ නෑ බොස්, එකෙක් ෆෑන් ලයිට් එකෙන් බාත්රූම් එකට එබිල හිටියනෙ. හැබැයි මං මෑන් අඳුනගත්ත. කවුරුවත් නෙවෙයි, වෙලන්වත්ත මහත්තය. මිනිහ මාව දැක්ක විතරයි කඩාගෙන බිඳගෙන එළියට දිව්ව.” තරුණ ඉංජිනේරුවාගේ කටහඬ වේගවත් වුවද, ආවේගශීලී බවක් පෙන්නුම් කළේ නැත.
පරිණත කළමනාකරු කළබල වූයේ නැත. “මූ මාර බඩුවක්නෙ. කවුද ඔය සිද්ධිය දැක්ක අනිත් අය? මං කිව්වෙ සාක්කියක් එහෙම තියනවද”
“ඔව් ඔව් තියෙනව බොස්. මෑන් එළියට දුවනකොට සෙකියුරිටි ගාඩ්ල තුන් දෙනෙක්ම බලාගෙනයි හිටියෙ. මං ඒ ගාඩ්ල එක්ක කතා කළා. ඕනැ තැනක සාක්කි දෙන්න එයාල ලෑස්තියි.”
“හරි, එහෙනං කලබල වෙන්න දෙයක් නෑ. අපි උදේට බලාගම්මු. ඔයා උදෙන්ම පැමිණිල්ලක් ලියල දෙන්න. ඉන්ක්වයර් කරල මිනිහට පාඩමක් උගන්නමු. වයසෙ හැටියටද මිනිහගෙ වැඩ? දැන් පැන්ෂන් යන වයසෙනෙ ඉන්නෙ”
“ඔව් බොස්. මං ඒ ඕ ටත් කිව්ව. එයා ඇවිත් බැලුව. එයා කි‍ව්වෙත් බොස්ට කම්ප්ලේන් එකක් දාන්න කියල තමයි. වෙච්ච වෙලාවෙම බොස්ට ඉන්ෆෝම් කරල තියන එක හොඳයි කියල හිතුන නිසා මං කතා ක‍ළේ”
“හරි හරි පුතා. ඒකට කමක් නැහැ. අවශ්‍යනම් මං එන්නම්. ඒත් දැන් ඔතනට ඇවිල්ල කරන්න දෙයක් නෑනෙ නේද? කෝ දැන් මිනිහ?”
“පොර පාර දිගෙ ෆැක්ටරිය පැත්තට ටිකක් දුර දුවගෙන ගිහින් හීන් සැරේ ආපහු ආව. දැන් කාමරේට ගිහින් නිදි ඇති.”
“හා හරි. කොහොමත් සෙකියුරිටි ගාඩ්ල සීන් එක ඔක්කොම දැක්කනෙ නේද? උදේට ඔක්කගෙන්ම ස්ටේට්මන්ට් ගත්තහම හරිනෙ.”
“ඔව් බොස් එහෙම කරමු. මහ රෑ කරදර කළාට සමාවෙන්න බොස්. ගුඩ් නයිට්.”
“ආ ඕක මොකක්ද පුතා. මං නිදාගන්නකොට කොහොමටත් දොළහ හමාර එක වෙනවනෙ. ඕකේ ගුඩ් නයිට්”

---------------------------------------------------------------------------------
පසු දිනට පහන් වූයේ සුපුරුදු පරිද්දෙන්මය. එහෙත් තරුණ ඉංජිනේරුවාගේ තරුණ බිරිඳ වැඩට ගියේ නැත. ඇය අතිශයින්ම බියට පත්ව සිටියාය. තම සිඟිති ළදරුවා බලා කියා ගැනීමට පැමිණ සිටි අම්මාත් නිවසේ මෙහෙවරට පැමිණි දැරියත් නිසා තනියක් නොදැනුනත් නිවසින් පිටතට අඩියක් වත් තැබීමට ඇයට සිත් දුන්නේම නැත. ඇයගේ සිතට වඩාත්ම පීඩා ගෙන දුන්නේ අම්මා කිවු කතාවයි.
පහුගිය දවස් කීපයෙම රෑ වෙද්දි මට ඔය බාත්රූම් එක එහා පැත්තෙ අඩි සද්දයක් වගේ ඇහුනා. කොහෙද මේ පුතාට කිව්වට ගණන් ගත්ත එකක්යැ. එකත් එකටම ඔය මිනිහ හැමදාම වගේ ඔය වැඩේ කරන්න ඇති.
අම්මා එසේ කීවද, එසේ එබිකම් කළේ කවුරුන්දැයි ඇය දැක්කේ නැත. ඉංජිනේරු තරුණයා කාමරය තුළ සිටි නිසා ඔහුට කාමරයේ ජනේලයෙන් එහා පැත්තේ සිට නාන කාමරයේ කවුළුවෙන් එබී සිටින තැනැත්තා මැනැවින් දර්ශනය වූයේ නාන කාමරයේ දැල්වුනු විදුලි පහනේ ආලෝකය කවුළුව සිසාරා පිටතට කාන්දු වූ බැවිනි. බැලූ බැල්මට තරුණ පෙනුමක් ගෙන දුන් දුෂ්ටයා කෙරෙන් ඉස්මතු වූයේ අතිශය කාමාසක්ත වූ බැල්මකි.  ඝනකම් වූ උඩු රැවුල එක්තරා පැරණි චිත්‍රපටයක දර්ශනයක් සිහිපත් කළේය. ඔහු සිටියේ උඩු කය නිරුවත්වය. අඳුරු පැහැති කළිසම ඉනට පහළින් එල්ලෙමින් තිබිනි.
කාමරය තුළින් නික්මුණු කවුද යකෝ යන හඬ සමගම හෙතෙම කෙටි දුර ධාවන ශූරයකු බවට පත් වූයේ නිමේෂයකිනි. තරුණයා කාමරයෙන් පිටතට විත් නිවසේ ඉදිරිපස දොර හරිද්දී දක්නට ලැබුනේ දර්ශනෝන්මාදියා නිල නිවාස පරිශ්‍රයේ ගේට්ටුවත් ඇරගෙනම පිටතට යන ආකාරයයි. ඔහුගේ වේගය පසුපස හඹා යාමේ උනන්දුවක් තරුණයා තුළ ඇති නොකළේය. හැරත්, කුමකට හඹා යන්නද? ඔහු නේවාසිකව සිටින්නේ තම නිල නිවසට යාබද ව ඇති කාමරයේ බැවින් නිරුවත් උඩු කයින් යුතුව ද පාවහන් පවා නැතිවද දිව යන ඔහුට නැවත ආපසු එනු හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.
ඉංජිනේරුවා ගේට්ටුව වෙත ගියේ වැඩි කළබලයක් නැතිව ය. ගේට්ටුවෙන් පිටත වූ ලයිට් කණුව යට පුටු දෙකක් තබාගෙන සිටින්නේ කම්හලේ ආරක්ෂක කටයුතු භාර ගෙන ඇති පෞද්ගලික ආරක්ෂක සේවයට අයත් නියාමකයන් දෙදෙනෙකි. එයට අඩි දහයක පමණ දුරකින් තවත් නියාමකයෙක් හිටගෙන සිටියේය.
ඉංජිනේරු තැන දුටු නියාමකයා නැගී සිටියේය. අනෙකා බලා සිටින්නේ විරුද්ධ පැත්තය.
ඇයි සර් හදිස්සියක්ද?
කවුද දැන් මෙතනින් දිව්වෙ? නියාමකගේ පැනයට පැනයකින්ම පිළිතුරු ලැබින.
අර සර්ගෙ ගෙදර ඉස්සරහ කාමරේ ඉන්න මහත්තයනෙ. අර ඉන්නෙ
නියාමකයා කිව්වේ ඇත්තකි. මීටර සියය නිම කළ වෙළන්වත්ත උන්නැහේ හෙමින් හෙමින් ආපසු එනු දක්නා ලදී.
මොකක්ද සර්, මොකක් හරි ප්‍රශ්නයක් වුනාද?
නෑ ප්‍රශ්නයක් නෙවෙයි, කළබල වෙන්න එපා. ඔය මනුස්සයා දැන් අපේ නෝනා නාන කාමරයට ගිය වෙලාවෙ ෆෑන් ලයිට් එක අස්සෙන් එබිල බලනව මං දැක්කා. මං කවුද යකෝ කියල කෑ ගහනකොට තමයි ඔය දුවගෙන ආවෙ
මං මිනිහගෙන් අහන්නද?
ඔයගොල්ලො කලබල වෙන්න එපා. මේ මමවත් කළබල වෙලා නෑනෙ. මේක හෙමින් සැරේ බේරගනිමු. දැන් ඔය ගොල්ල දැක්කනෙ ඒ මහත්තයා මෙතනින් දුවනව. මං මේක පැමිණිලි කරනව. ඔය ගොල්ල සාක්කි දෙන්න ඕනැ.
ඔව් සර්, අපි සාක්කි දෙන්නම්. සර් ඒ ඕ මහත්තයට පැමිණිලි කරන්න. ඒ මහත්තයා කඩා ගෙන බිඳගෙන ආවා. පාර දිගේ ෆැක්ටරිය පැත්තට දිව්වා. අර ලයිට් කණුවට එහායින් ගස් වලට ලයිට් එළිය කවර් වෙලා කළුවරට තියන තැනදි නැවතුනා. මට ඒත් හිතාගන්න බැරි වුනා මොකද කියල.
කවුද ඉතින් ඔහොම එකක් හිතන්නෙ නේද? එයා අපේ තාත්තට වඩා පොඩ්ඩක් විතර වයසින් අඩු ඇති මයෙ හිතේ. කමක් නෑ, උදේට බලමුකො.
හොඳයි සර්, එහෙනං ගුඩ් නයිට්
ගුඩ් නයිට්
--------------------------------------------------------

දෙවැනි පරිච්ඡේදය

ආ මේ වෙලන්වත්ත, මං උඹව හම්බවෙන්නමයි හිටියෙ
ඇයි මචං
මොකක්ද මේ ඊයෙ රෑ උඹ කළා කියන බලු වැඩේ
අනේ බං මගෙන් මේ එක එකා කෝල්ස් දිදී අහනකොට තමයි තේරුනේ. මං පස්සෙ ඉංජිනේරු මහත්තයගෙ ඔෆිස් එකට ගිහින් කෙළින්ම ඇහුව මොකක්ද වුනේ කියල. එයා වැරදියට තේරුම් අරන්. මෙන්න මේකයි කේස් එක. අපේ ගෙදර හිටිය පූසෙක්. ඒක හැම වෙලාවෙම කාර් එකේ බොනට් එක උඩ නැගල සූරනව. මං ඒ පාර ඌව මෙහෙ මං නැවතිල ඉන්න කාමරේට ගෙනාව. ඒකට කන්න දෙන්න කියල මං පාර්සලයක් අරගෙන ආව. ඇයි මං උඹට කිව්වෙ මට ඩිනර් එකකට ඉන්වයිට් කරල තිබුන කියල
හ්ම් උඹ කිව්ව තමයි, උඹ මගෙන් පාර ඇහුවෙ ඒ රෙස්ටුරන්ට් එකය යන්නේ කොහොමද කියල
ඔව්, ඉතින් ඒක මේ ටිකක් විතර දුර. මං අපේ අර ඩ්‍රැයිවර් නිමලසේනට කියල කොම්පැනියෙ වාහනේකින්ම මාව බස්සවා ගත්ත. පස්සෙ රෑ නමය හමාරට විතර ආපහු ඌට කෝල් එකක් දුන්න මාව ආපහු එකකගෙන එන්න. ඒ එද්දි මං රෙස්ටුරන්ට් එකෙන්ම පූසට දෙන්න මස් කටු එහෙම තියන පාර්සලයක් ඔතව ගත්ත. ඒකට උන් සලිලි ගත්තෙත් නෑ.
ඉතින්
ඉතින් මං කාමරේට එනකොට පූස නෑ. මං වටපිට බලනකොට මෙන්න ඌ ඉන්නව කාමරේ පිටිපස්සෙ පැත්තට වෙන්න - බිත්තිය අයිනෙ සිමෙන්ති පේව්මන්ට් එක උඩ වාඩි වෙලා. මං ඌට පූස් පූස් කියනකොට ඌ අර ඉංජිනේරු මහත්තයගෙ බාත්රූම් එක පැත්තට දිව්ව
මාර පූසෙක්නෙ. ඉතින් උඹ මොකද කළේ
මාත් පස්සෙන් පැන්නුවා. ඌ ඒ පාර බාත් රූම් එක ළඟින් ආපහු හැරිල මගේ කකුල් දෙක ළඟින්ම දිව්වනෙ. මමත් පැන්නුව පස්සෙන්. ඌ ගේට්ටුව යටින් රිංගල පාරට පැන්න. මං දිගටම පස්සෙන් ගියා. පාර දිගේ ෆැක්ටරිය පැත්තට චුට්ටක් විතර දුවල ගිහින් ඌ කැලේට පැන්න.
ඉතින් බං උඹ මොකටද ඌ පස්සෙ පැන්නුවෙ. කෑම ටික තියල ඉසේ ඉසේ කිව්වනං ඌ එයි.
මං ඌට පූස් පූස් කියල කතා කළා. ඒත් ආවෙ නෑ.
ඉතින් කන වෙලාවක කන්න කියල ඔය ගෙනාපු එකක් දිගෑරලා තිබ්බනං ඌ ඇවිත් කයි. ඕකට නහින්න ඕනැයැ, පූසෙකුට කන්න දෙන්න.
එහෙම තිබ්බනං බල්ලෙක්වත් ඇවිත් කාල යයි. එතකොට පූස එළි වෙනකම් බඩගින්නෙ. මං ඌට හරි ආදරෙයි. මං කොහොමත් සත්තුන්ට ආදරෙයි.
ඉතිං ඉතිං කියපංකො කතාවෙ ඉතුරු ටික
එච්චරයි, මං ඒ පාර ආපහු කාමරේට ඇවිත් නිදාගත්ත. උදේ මං ඉතිං වෙනද වගේම වැඩට ආව. මෙන්න යකෝ ආපු වෙලාවෙ ඉඳල කෝල්ස් එනව කෙළවරක් නෑ. ඊට පස්සෙ තමයි මං ගිහින් ඉංජිනේරු මහත්තය හම්බ වුනේ. එයා හිතන්නෙ මං බාත්රූම් එක දිහා බැලුව කියල. ඒ ෆෑන් ලයිට් එක තියෙන්නෙ අපේ ඇස් මට්ටමට අඟලක් දෙකක් විතර උඩින්. අනිත් එක ඒකෙ වීදුරුවෙ දූවිල බැඳිල හොඳටම. ඒකෙන් බැලුවට මොකවත්ම පේ‍න්නෙ නෑ
ඉතින් මචං ඔය රෑ එකොළහට විතර උඹ කොහොමද පූසෙක්ව දැක්කෙ? පූසට නං උඹව පේන්න ඇති. උංට රෑට ඇස් පේනව වැඩියිනෙ.
අර‍ෙගාල්ලගෙ බෙඩ් රූම් එකේ නයිට් ලෑම්ප් එකක් වගේ ලා එළියක් තිබුන. ජනේලෙන් ඒ එළිය පිට පැත්තට වැටිලයි තිබුනෙ. ඒ එළියෙන් මං දැක්ක පූස ඉන්න බව.
බාත් රූම් එකෙත් ලයිට් දාල තිබුනද?
ඔව් ඒකෙත් එළියක් තිබුන
උඹ ඒ වුනාට කැතයිනෙ බං ඔබ බෙඩ් රූම්, බාත් රූම් අස්සෙ යන්ඩ ලැජ්ජ නැද්ද?
කවුද හිතන්නෙ මචං රෑ එකොළහට විතර ගෑනු කෙනෙක් බාත් රූම් එකක ඉඳියි කියල
ඉතුරු ටික හිතා ගන්න

2012-01-09

ටී ෂර්ට්

මොබයිල්මෑන් මුලින්ම වගේ දාපු පෝස්ට් නැවත මතක් විය.
ශ්‍රී දළදා මාලිගාවේ රූපය ටී ෂර්ට් එකක මුද්‍රණය කරලලු.ඒකෙන් බුද්ධාගමට අපහාසයක් වෙනවලු. මේ ලුලු කතාවක් දාන්නෙ මොබයිල්මෑන් දැකපු නැති දෙයක් ගැන කතා කරන නිසයි. ඒ කියන්නේ මොබයිල්මෑන් ඒ ටී ෂර්ට් දැක්කෙත් නෑ. ඒ ටී ෂර්ට් නිසා බුද්ධාගමට අපහාසයක් වෙනව හෝ ඉදිරියේ වෙයි කියා දැක්කෙත් නෑ.
දැන් මේ පිංවතුන් දැකල තියනවද ප්‍රයිවෙට් බස්? මේ පින්තූරෙ වගේ බස් දැකල තියනවද?

ඒකෙන් වෙන්නෙ අපහාසයක්ද, උපහාසයක්ද, වන්දනාවක්ද?
මොබයිල්මෑන් මොකක්දෝ බ්ලොග් එකකට දැම්ම මේ වගේ කමෙන්ට් එකක්.
අපි අඳින ඇඳුම් වලින් සමහර ඇඳුම් පහත් ලෙසත් සමහර ඇඳුම් උසස් ලෙසත් අපි සම්මතයක් හදාගෙන සිටිමු. සාමාන්‍යයෙන් බැලුවොත් ඉනෙන් පහළට අඳින දෙපයින් රිංගවාගන්නා ඇඳම් පහත් ඒවාය. ඉනෙන් ඉහළට අඳින හිසෙන් රූටවාගන්න ඇඳම් උසස් ඒවාය.
(මෙය සාමාන්‍ය පිළිගැනීමයි. සම්මතයට එරෙහි වෙමින් වීරයන් වීමට දඟලන පුස්සන්ගේ පුහු තර්ක වලට පැටලෙන්නට මොබයිල්මෑන් අදහස් නොකරයි.)
පහත්යැයි සම්මත ඇඳම් වලට උසස් වස්තුවක පින්තූරයක් යෙදීම නොහොබිනා ක්‍රියාවකි. එසේ වුවද, උසස් ඇඳුමකට උසස් දෙයක රූපයක් යෙදීමෙහි වරද කිමැයි මොබයිල්මෑන්ට වැටහෙන්නේ නැත.
දළදා මාලිගාවේ රූපය මුදල් නෝට්ටු වල තිබෙනවා නේද? තැබෑරුමෙන් අරක්කු මිලට ගන්නේත්, ගණිකාවන්ට ගාස්තු ගෙවන්නේත් ඒ මුදල් නෝට්ටු පාවිච්චි නොකරමින්ද?
දළදා මාලිගාවට  නොව දළදාවට වඳින්නට අප පුරුදු විය යුතුය.
පූජනීය සංකේතයක්” හා “පූජනීය වස්තුවක් ඇති ස්ථානයක්” අතර වෙනස අප හඳුනාගත යුතුය.

2012-01-04

අලි මිනිස් ගැටුම්

අලියා විසින් හානි කරන ලද මිනිස් ජීවිත සංඛ්‍යාව විශාලය.
අලි මිනිස් ගැටුම් ලංකාවේ සමහර පළාත්වල සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙමින් තිබේ.
කාලයකට පෙර මෙවැනි තත්වයක් අපේ ර‍ටේ පැවතුනත් අනතුරුව එම තත්වය තවත් විරළ අත්දැකීමක් බවට පත් වී තිබුනු යුගයක් ද තිබිනි. දැන් නැවතත් අලි මිනිස් ගැටුම් උග්‍ර වන්නට පටන් ගෙන තිබේ.
අලි මිනිස් ගැටුම් වැඩි වන කාලසීමාවන් පිළිබඳව හෝ එවැනි සිද්ධි ඇති වීම පිළිබඳව ‍හෝ අධ්‍යයනයක් කරන්නට කිසිවකු හෝ යොමු වී ඇතිදැයි මම නොදනිමි. එසේ වුවද, අලියා ගම් වලට වැදීම මෙම ගැටුම් ඇති වීමේ ආසන්නතම හේතුව බවනම් නොරහසකි.
අලියා ගම් වදින්නේ ඇයි? ඌට කැලට තුලටම වී ජීවත් වන්නට‍ නොහැකි වීම නිසා, එනම් ඌට කැලයේ ආහාර හිඟ වීම නිසා, ඌ ගම් වලට කඩා පනින බව පැහැදිළි කාරණයකි. අලියා වූකලී කැලයේ අනිකුත් සතුන්ට සාපේක්ෂව විශාල ආහාර ප්‍රමාණයක් පාරිභෝජනය කරන සත්වයෙකි. අලියාගේ දැවැන්ත ශරීරයට සුළු ආහාරයකින් සන්තර්පණය වීමට නොහැකිය. වර්තමානයේ ක්‍රමානුකූලව සිදුවන වන සංහාරය නිසා, වර්තමානයේදී කැලෑ තුළ අලි රංචුවකට ප්‍රමාණවත් තරම් ආහාර සොයාගැනීමේ අර්බුදයක් ඉස්මතු වීම අරුමයක් නොවේ. එහෙත්, කැලෑවක තරම්වත් ගමක් තුළ අලියකුට ආහාර තිබෙන බවක් අපට නොපෙනෙනවා සේම අලියාටද වැටහෙන්නේ නැතැයි සිතීමට නොහැකිය.
එහෙත්, ආහාර සොයා ඇවිදින අලියා හදිසියේ ගමකට සේන්දු වූ විට ඌට අහම්බෙන් හෝ වඩා රසවත් ආහාර ලැබේ. විශේෂයෙන් දිය ලුණු ආහාරයට ගැනීමට අලියා අතිශයින්ම කෑදර බව ඒ පිළිබඳව අත්දැකීම් ඇති අය පවසති. මේ කෑදරකම නිසාම වරක් ගමේ ආහාර රස බැලූ අලියා නැවත ගමට කඩා වදී.
අලියා සහ අනෙකුත් තිරිසන් සතුන් සියළුදෙනාම පාහේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක් වන ආහාරය ප්‍රධාන අවශ්‍යතාව කොටගෙන සළකති. මිනිසාටද ආහාර අත්‍යවශ්‍ය නමුත් ඔහු විවිධ අවස්ථාවන්හිදී එය මඳකට අමතක කර දමා වෙනත් කටයුත්තක නියැලෙන බව අපි දනිමු. උදාහරණයක් වශයෙන් අපට යම් ගමනක් නිශ්චිත වූ වේලාවකට පෙර නිම කිරීමට අවශ්‍ය වූ විට ආහාරය සඳහා නොනැවතී ගමනේ යෙදීම බොහෝ දෙනාගේ සිරිතයි. එවැනි අවස්ථාවකදී අප ආහාර සඳහා කාලය මිඩංගු කරන්නේ අතිශයින්ම දැඩි කුසගින්නක් දැනුනහොත් පමණකි. ඒ, අපගේ හැසියාව මගින් අපට පවරනු ලැබ ඇති වගකීම් නිසාවෙනි. තිරිසනුන්ට එවැනි වගකීම් නැත. එනිසා, ඌ සැම විටම අවශ්‍යතා මුල් ස්ථානයට ගෙන යුතුකම් ගැන නොසිතා කටයුතු කරයි. ඇතැම් මිනිසුන් ද තිරිසනුන් මෙන් අවශ්‍යතා මුලට ගැනීම වෙනම කාරණයකි.
අලින්ගේ හැසිරීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ මහාචාර්ය බමුණුආරච්චි වරක් පැවසුවේ එක් කැලයක සිට තවත් කැලයකට ගෙන ගොස් දමනු ලබන අලි නැවතත් තම මුල් වාසස්ථානය සොයාගෙන පැමිණීමට හේතුව නෑදෑයන් දැකීමටවත්, ගෙදරට ආශාව නිසාවත් නොව, තමන්ට හුරු පුරුදු වර්ගයේ ගහකොළ ආහාරයට ගැනීමට ඇති කැමැත්ත බවයි.