2014-12-26

දස වස් සැමරුම

ශතකයක් ඇතුළත ලෝකයේ ඇති වූ, විශාලත්වය අනුව පස්වැනි තැන හිමි කරගත් භූ චලනය 2004 දෙසැම්බර් 26 දින දකුණු ආසියානු කලාපයම දැඩි ව්‍යසනයකට පත් කළ සුනාමියක් නිර්මාණය කළේය. 

උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළ තීරයට ඔබ්බෙන්  අක්ෂාංශ 3.2 උතුරට හා දේශාංශ 95.82ක් නැගෙනහිරට වූ ලක්ෂ්‍යයේ සිට කිලෝ මීටර් 30ක් පමණ ගැඹුරකදී ශ්‍රී ලංකා වේලාවෙන් 2004 දෙසැම්බර් 26 දා උදේ 6:58:53 ට රිච්ටර් මාපකයේ ඒකක 9.0ක් සටහන් කරමින් සිදු වූ බව කියන කම්පනය නිසා හටගත් සාගර කැළඹීම ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් 4/5ක් ගොදුරු කරගත් බව “ශ්‍රී ලංකාව තුළ සුනාමි බලපෑම“ හෙවත් Sri Lanka Urban Multi-Hazard Disaster Mitigation Project (SLUMDMP) led rapid Assessment of Western and Southern coastline from 29 th December 2004 to 2 nd January 2005 වාර්තාව සඳහන් කරයි.

එකී වාර්තාවේම සඳහන් පරිදි ශ්‍රී ලංකාවට “සුනාමි“ යනු අමුතුම අත්දැකීමක් විය. (TSUNAMY යන වචනය මේ ලියුම්කරු දැනගත්තේ ද, ඒවා සිදුවන ආකාරය ගැන යම් අදහසක් ඇති කර ගත්තේද, ඇතැම් රටවල සුනාමි යනු අපට ගංවතුර ගලන තරමට සුපුරුදු දෙයක් බව වටහා ගත්තේද එදායින් පසුවය.) විහාර මහා දේවිය පිළිබඳ හුටපටය අප දැන සිටියත්, මුහුද ගොඩගැලීමක් යනු දේව කෝපයක් නිසාම පමණක් ඇති විය හැකි නමුත් භෞතික අවකාශය තුළදී අභව්‍ය වූ සිදුවීමක් ම බව අපේ අර්ධ විද්‍යාත්මක දැනුමෙන් ඒ වන විට අපි අවබෝධ කරගෙන සිටියෙමු.

 


අපේ අනවබෝධය නිසා අප කරගත් විනාශය සුළු පටු එකක් නොවීය. පළමුව ආ දැඩි රළපහර බැස යනවාත් සමගම ජල මට්ටම පහළටම ගොස් කිලෝමීටරයකට ආසන්න දුරක් වෙරළ තීරය පුළුල් වූ බව ඇසින් දුටුවෝ කියති. ඒ බව පෙනෙන වීඩියෝ දර්ශන යූ ටියුබයේද ඇත. මෙසේ වෙරළ ඈතට පෑදුනු අවස්ථාවේ එය නරඹන්නට මහ මුහුද මැදට පැන්න අයගෙන බොහෝ දෙනකුට දිවි ගලවාගැනීමට ලැබුනේ නැත. මේ කියන පළමුවැනි රැල්ල සහ දෙවැන්න අතර පැය භාගයක පමණ කාල පරතරයක් තිබුනු බව කියැවේ. කෙසේ වුවද, පළමුවැන්නට වඩා දෙවැන්න බලවත් සහ විනාශකාරී විය.

දිවයින තුළට මුහුද ගොඩගැලීම පටන්ගත්තේ මුලතිව් - තිරිකුණාමලය පැත්තෙන්ය. ටික ටික එය දකුණට ගමන් කළේය. අපි දිනකට පැය 18ක් රේඩියෝ එක අසමු. මුහුද ගොඩගැලීම ගැන ඇතැම් රූපවාහිනී නාළිකාවෝද සජීවී විකාශයන් පවත්වාගෙන ගියහ. එහෙත්, සුනාමියට අසු වූ ජීවිත සංඛ්‍යාව අඩු වීමක් දක්නට ලැබුනේ නැත.


කැසැන්ඩ්‍රා ක්‍රොසින් චිත්‍රපටය සිහි ගන්වමින් අම්බලන්ගොඩ පැරෑළියේදී දුම්රියක් මුළු මණින්ම මුහුදුබත් විය. 1989න් පසු නැවත සමූහ මිනී වළවල් තැනුනේ සුනාමියටය.

දැන් වැදගත් වන්නේ පාඩම් ඉගෙන ගැනීමයි. අප නොදන්නා දේ ලෝකයේ තවත් සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස පිට සක්වළ ජීවීන් කණ්ඩායමක් අපට පහර දීමට හෝ ඉන්දියන් සාගරයට විශාල උල්කාපාතයක් කඩා වැටීමට හෝ එක පළාතකට පමණක් ඔක්සිජන් හිඟ වීමට හෝ දින හයක් හිරු එළිය නොලැබ යාමට හෝ ඉඩ කඩ නැතැයි කීමට අපි නොදන්නෝ වෙමු. එහෙත් කරුමය වී ඇත්තේ සුනාමියෙන් පසුව ඇති වූ උනන්දුව විසින් ලෝක බොරු පතුරුවන්නන්ට හොඳ අවකාශයක් නිර්මාණය වීමයි. දැන් “නාසා“ කී පමණින් දේව වචනයක් සේ විශ්වාස කරන්නට අපි සූදානම් ව සිටිමු. එහෙත් ඉස්සර දෙවියන් විකුණාගෙන කෑ එවුන් දැන් නාසා ආයතනය විකුණාගෙන කන්නට උත්සාහ කරති.

ඉහත කී වාර්තාව සකස් කර ඇත්තේ සුනාමියෙන් දින තුනකට පසුව අධ්‍යයනය කිරීම ආරම්භ කර තවත් දින හතරක ඇවෑමෙන්ය. එහි පස් වැනි පිටුවේ සඳහන් පහත කාරණයද අපේ අවධානයට යොමු විය යුතු බව සිතමි.
“සරණාගත කඳවුරු වල තත්වය“ යනුවෙන් වාර්තාවේ මෙවැනි අදහසක් දක්වා ඇත.
a.     අධ්‍යයන කණ්ඩායමේ අහඹු පරීක්ෂාවට ලක් වූ කඳවුරු එකකවත් ආණ්ඩුවේ මැදිහත් වීමක් දක්නට ලැබී නැත.
b.     ඉඳ හිට වූ කඳවුරක ග්‍රාම නිලධාරී තැන සිටිනු දක්නට ලැබී ඇත. සමහරවිට ග්‍රාමනිලධාරී හෝ ඔහුගේ කිට්ටුවන්තයකු සුනාමියට ගොදුරු වීම නිසා ඔහු එහි ගියා වීමටද ඉඩ ඇත. කෙසේ වුවද වාර්තාවේ දැක්වෙන්නේ ග්‍රාමනිලධාරීවරුන් සහන සැළසීමේ ක්‍රියා දාමය තුළ සිදු කළ කාර්ය භාරය නොසැළකිය හැකි තරම් කුඩා බවයි.
c.      කණ්ඩායමේ නිරීක්ෂණයට ලක් වූ සියළුම කඳවුරු ආගමික නායකයන් හෝ ස්වේච්ඡා ක්‍රියාකාරීන් විසින් පන්සල් පල්ලි හෝ පාසැල් තුළ පවත්වාගෙන යනු ලැබ ඇත.
d.     විපතට පත් වූවන් විසින් සරණාගත මධ්‍යස්ථාන ලෙස එම ස්ථාන වෙත ස්වේච්ඡාවෙන්ම රොක් වී ඇත්තේ ඒවා ආරක්ෂිත උස් ස්ථාන නිසා බව පෙනී ගොස් ඇත.
e.      සහනාධාර බෙදන වේලාවන්හිදී සරණාගතයින් සංඛ්‍යාව වැඩි වන ස්වභාවයක් දක්නට ලැබී ඇත. එයට හේතු ලෙස වාර්තාව සඳහන් කරන්නේ
                                                             i.      සරණාගතයන්ගේ ඉතිරි වී ඇති දේපළ කොල්ල කාගෙන යනු ඇතැයි බිය නිසා කැඩී බිඳී ගිය නිවෙස් වලට වී සිටින සරණාගතයන් ආධාර බෙදන අවස්ථාවලදී පමණක් කඳවුරු තුළට රොක් වන බව
                                                           ii.      සරණාගතයින් ලෙස පෙනී සිටින බොහෝ දෙනකු සත්‍ය වශයෙන්ම සුනාමියට ගොදුරු වූවන් නොවන මුත් අවස්ථාවෙන් පළ ලබාගැනීමට කඳවුරු ගත වන බව.
f.       සියළු කටයුතු කරගෙන යාමේදී හා සම්බන්ධීකරණයේදී දැඩි අපිළිවෙලක් දක්නට ලැබී ඇත.



1 comment:

  1. හෙනහුරා................ (මෙහෙම අමතන්න නිකං මොකක්ද වගේ)

    අැත්තට ම මේ සිද්ධිය නම් රටට ජීවිත ගනනාවක් ම අහිමි කරපු නොහිතපු වර්ගයේ සිද්ධියක්........... අපිට හැම වෙලාවෙම ලෑස්ති පිට ඉන්න දීපු හොද අනතුරු අැගවීමක්..............

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.