2014-12-21

මෝඩයෝ සහ කපටියෝ

ලෝකය පුරාම මෝඩයෝ හා කපටියෝ සිටිති.
“ඕක කියන්නත් දෙයක්ද?“ නිසැකවම ඔබ අසනු ඇත.
පෙරේදා සිට දින හයක් යන තුරු ලෝකයට සූර්යාලෝකය පතිත වීම සියයට අසූවකින් හෝ අනූවකින් අඩු වන බව නාසා  ආයතනයේ ප්‍රධාන පරිපාලකයා වන චාල්ස් බෝල්ඩන් විසින් පවසනු ලැබ ඇතැයි සමහර පුවත්පත් වාර්තා කළෝය. නිකම්ම නොවේ, කට්ට අව්වේ වේලෙමින් මයික්‍ර ෆෝනයකින් ඔහුු කතා කරන ඡායාරූපයක්ද සමගය.

මේ පචබාහුලා කීවේ, අප සතුව ප්‍රමාණවත් ඉන්ධන ඇති නිසා එම දින කිහිපය තුළ ජනජීවිතය අඩාල වන කිසිවක් සිදු නොවනු ඇතැයි නාසා ආයතනය මගින් වැඩිදුරටත් කියා තිබෙන බවයි.

බොරුව සම්පූර්ණයෙන්ම ගලවාගන්නට මේ පචයේ නිර්මාතෘ අසමත් වූ බව තේරුම් ගත් අයටනම් මේ “නිව්ස්“ එක අතේ පැලවෙන ටොම් පචයක් බව තේරුම් යන්නට ඇත. දින හයක අඳුරු කාලසීමාවට ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇති බව කීමෙන් අදහස් කරන ලද්දේ හිරු එළිය නැති වීමෙන් පොළොවට අහිමි වන්නේ ආලෝකය පමණකැයි සිතාගැනීම නිසා විය යුතුය.

පසුගිය අවුරුදු 61 තුළ ලංකාවේ වාර්තාගත අඩුම උෂ්ණත්වය 2011 ජනවාරි 13වැනිදා පැවැතුණු බව (දැන් සති දෙකකට වඩා පැරණි සිද්ධියක් නමුත්) ඔබට මතක ඇතැයි සිතමු. එදින කොළඹ නගරය සෙන්ටිග්‍රේඩ් අංශක 18.8 දක්වාත්, නුවරඑළිය 7.9 දක්වාත්, මඩකළපුව 16.9 දක්වාත් උෂ්ණත්වය පහත වැටුණු බව වාර්තා කර තිබිනි. එහි ප්‍රතිපලයක් ලෙස සතුන් විශාල වශයෙන් මිය ගිය බවද වාර්තා විය. එසේ උෂ්ණත්වය පහත යාමට හේතු වූයේ අවට කලාපයට ඉහළ වායු ගෝලයේ රැඳී තිබුනු ඝන ජලවාෂ්ප (වළාකුළු) තට්ටුවක් නිසා බවත් දැනගන්නට ලැබිනි.

එම අත්දැකීම මත කල්පනා කරද්දී දින හයක් මුළු පෘථිවි ගෝලයටම ආලෝකය නොලැබී යාම නිසා නිසැකවම පොළොවේ ජීීවත් වීම ශීතකරණයක් තුළ සිටීම වැනි තත්වයට එන තුරු මහපොළොව සීතල වනු ඇත. කිසි ගැටළුවක් නැතැයි නාසා කීවාය යන කාරණය බොරුවක් වන්නේ එනිසාය. එම දෙවැනි ප්‍රකාශය බොරුවක් වූ පසුව පළමුවැනි ප්‍රකාශය ගැන විශ්වාසයක් තබාගැනීමට හැකියාවක් ඇත්තේම නැත.

එහෙත් මේ අඳුරු දින හයේ කතාව විශ්වාස කළ බොහෝ දෙනකු මෙරට ද සිටියහ. නාසා පටලවා ගැනීම මෙම විශ්වාසය ඇති කිරීමට හේතු වූ බව පැහැදිළිය.

පසුගිය දෙසැම්බරයට නියම වී තිබී කල් දමන ලද ලෝක විනාශය පිළිබඳ මායන් කැළැන්ඩරයේ කතාව ද තවත් එබඳු දක්ෂ නිර්මාණයකි. මේවා දක්ෂ නිර්මාණ ලෙස අප කියන්නේ බහුතර ජනතාවගේ පිළිගැනීමට ලක් වූ පුද්ගලයන් හෝ ආයතන හෝ මති මතාන්තර පටලවා එම කතන්දර සකස් කරන බැවිනි. අපේක්ෂා භංගව එම දින කීපය ගත කළ පුද්ගලයන් කිහිප දෙනකු සමග ඒ දිනවලදී මග තොටදී මුණගැසුණු විට කළ කතාබහේදී පැහැදිළි වූයේ ඔවුනගේ විඥ්ඥානය තුළට එම ප්‍රවෘත්තිය දැඩි ලෙස කිඳා බැස තිබුනු බවකි.

මෙලෙස අමු බොරු ගොතා මහජනතාව රැවටීමේ යෙදෙන්නන් හුදෙක් විනෝදය තකා ඒවා නිර්මාණය කරනවායැයි ඔබ සිතන්නේද?

සත්‍යය මුසු කරන ලද බොරුවකට වඩා හොඳ පිළිගැනීමක් ඇත. මෙම සිද්ධාන්තය මැනැවින් හදාරා ඉන් පල ප්‍රයෝජන ලබාගන්නා අයකු ගැන මේ අවස්ථාවේදී ඔබට සිහියට නොනැගෙන්නේද? මෙළෙස අසීමිත ලෙස රැවටීමට ලක් වීම අපගේ බරපතල අඩුපාඩුවක් බව ඔබට නොවැටහෙන්නේද?

‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් යුතුව අසා සිටිය යුතුයැ‘යි අපේ පැරැන්නන් කියා ඇති බව ඔබ අමතක කර දමා ඇත්තේ ඇයි?


No comments:

Post a Comment

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.