2015-08-25

පැරදීම සහ ජාතික ලැයිස්තුව

එක් ප්‍රශ්නයක් විසඳෙන්නටත් කළින් තවත් ප්‍රශ්නයකට මුහුණ දීම නිසා මුල් ප්‍රශ්නය අමතක වීමේ වාසනාවන්ත ඉරණමකට අපි මුහුණ දී සිටිමු. ගැටළුවක් මතු වූ විට අප කළ යුත්තේ මොන මොනවා හෝ කරමින් කල් මරා ගැනීම පමණකි. ගැටළුව විසඳීම කෙසේ වෙතත් අළුත් ගැටළුව නිසා පරණ ගැටළුව නෙග්ලෙජිබල් වී යයි. නැතිනම් අමතක වී යයි.

දැන් අපට ඇති ප්‍රධානම ගැටළුව පැරදුණු අපේක්ෂකයන්ට ජාතික ලැයිස්තුවෙන් ආසන ලබා දීමයි. සමහර අය කියන විදිහට නම්, එපා කියා එළවපු අයට ආපසු තැන ලබා දීමයි.

මේ කතාව ගල් පැලෙන බොරුවකි. ජාතික ලැයිස්තු වලට මුලින් ඉදිරිපත් කළ නම් වෙනුවට පැරදුණු අපේක්ෂකයන් දැමීමට මැතිවරණ නීතිය යටතේ ඉඩ කඩ ඇති බව ගරු කටයුතු මැකෝ තුමා කල් වේලා ඇතිවම කියා දුන්නේය. එහෙම ඉඩ දී ඇත්තේ ඇයි කියා මඳක් කල්පනා කර බැලීම වටී. මොළය නැති අයට, කල්පනා නොකර සිටීමට සිදු වීම ගැන කණගාටු වෙමි.

ජාතික ලැයිස්තු වලට සුපර්ම බඩු ටිකක් නම් කර චන්දය ඉල්ලන්නේ අපේක්ෂකයන් සියලු දෙනා ජයග්‍රහණය කළහොත් හම්බ වෙන බෝනස් සීට් ටිකට රිංගවීම සඳහා බවත් හුදී ජනයා සිහියේ තබා ගැනීම වටියි. එසේ නැතිව, කර හම යනකන් ජනතා සේවයේ යෙදෙන අපේක්ෂකයෝ ගෙවල් වල තබා කොහේවත් සිටින මහාචාර්යවරු පාර්ලිමේන්තුවට රිංගවන්නට තරම් ඇඟේ අමාරුවක් මේ දේශපාලක තුමන්ලාට තිබෙන්නට හැකියාවක් නැත.

දැන් මේ පැරදුනු අපේක්ෂකයන් කියා හංවඩුවක් ගසා ඇත්තේ කාටද යන්න ගැන මගේ වි්‍ග්‍රහය මෙසේ ඉදිරිපත් කරන්නෙමි.

අපේ රට කවුරු මොනවා කීවත් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටකි. රටේ නම පවා සඳහන් කර ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙනි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක “දිනනවා“ යන්නෙන් හෝ “පරදිනවා“ යන්නෙන් අදහස් කරන්නේ බහුතරයේ කැමැත්තයි. තවත් පැහැදිළි කරනවානම්, අදාළ ඡන්දදායකයන් සංඛ්‍යා වෙන් සියයට පනහකට වඩා කැමත්ත ලබා ගන්නේ ජයග්‍රාහකයා ය. සියයට පනහකට අඩුවෙන් කැමැත්ත ගන්නා අපේක්ෂකයා පරාජිතයා වේ.

කේවල ආසන ඡන්ද ක්‍රමයේදී අපේක්ෂකයන් හතර දෙනකු ඉදිරිපත් වී එක් එක් අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 40%, 30%, 20%, 10% වශයෙන් ලබාගත්තත් 40% ලබාගත් අපේකෂකයා ජයග්‍රාහකයා ලෙස නම් කර ඉතිරි තුන් දෙනාම පරාජිතයන් ලෙස හඳුන්වනු ලැබේ. එහෙත් ඇත්ත වශයෙන්ම එම මැතිවරණ කොට්ඨාශය තුළ ජයගත් අපේක්ෂකයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අය 60%ක් සිටිති. ඉතින් ඒත් ඔහු ජයග්‍රාහකයකුයැයි කියනු ලැබේ.

වර්තමාන දිස්ත්‍රික් ක්‍රමයේදී, පැරදුනු පක්ෂයේ තේරී පත් වූ අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා දිනූ පක්ෂයේ නොතේරුනු අපේකෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව වැඩි වීමේ හැකියාව ගැන කිසිවකු සිතන්නේ නැත. එවැනි තත්වයක් යටතේ “ගෙදර යවපු“ අපේක්ෂකයන් ගැන කතා කිරීම හුදෙක්ම විහිළුවක් පමණකි.

“අපි එපා කියල ගෙදර යවපු උන්“ කියා කියන්නට කාටවත් හැකියාවක් නැත්තේ, කිසිවකු ඡන්ද පත්‍රිකාවේ තම “මනාපය“ මිස “අමනාපය“ සළකුණු නොකරන නිසා ය. බ්‍රේක් නැති කට සහ නැමෙන සුළු දිව පාවිච්චි කර ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කීමටත් අපහාස උපහාස කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම අයිතිය දී ඇති නිසා ඒ ගැන වැඩිපුර කතා කිරීම තේරුමක් නැත.



2 comments:

  1. // වර්තමාන දිස්ත්‍රික් ක්‍රමයේදී, පැරදුනු පක්ෂයේ තේරී පත් වූ අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා දිනූ පක්ෂයේ නොතේරුනු අපේකෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව වැඩි වීමේ හැකියාව ගැන කිසිවකු සිතන්නේ නැත. එවැනි තත්වයක් යටතේ “ගෙදර යවපු“ අපේක්ෂකයන් ගැන කතා කිරීම හුදෙක්ම විහිළුවක් පමණකි.//

    මේ කතාවනම් සහතික ඇත්ත.. ඒ උනත් පැරදුන කෙනෙක් අනික් පැත්තෙන් එන එක අසාධාරණයි කියලයි මගේ හැඟීම නම්..

    ReplyDelete
  2. සරල පැහැදිලි කිරීමක්!

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.