2015-02-18

සිංහලේ

බලංගොඩ සාරික විචාරනී ලියන සිතුන නිසා බ්ලොගයේ තිබුනු “ලියන බසේ පෙරළිය“ කියෙව්වට පස්සෙ කාලෙක ඉඳන් වගේ හිතේ සටහන් වෙලා තිබුනු දේවල් කීපයකුත් නැවත ඔළුවට ආව නිසා මට මේ ටික ලියන්න හිතුනෙ. සිංහලේ නැත්නම් සිංහල භාෂාව ගැන හිටපු ගමන් අපේ බ්ලොග් වලත් පත්තර වලත් එක එක ලිපි පළවෙනව. සමහර අයගෙ මතය තමයි “කතා කරන බාසාවෙන්ම ලිව්වනං ඉවරයිනෙ“ කියන එක. “ව්‍යාකරණ ඕනැත් නෑ “නණ-ලළ“ කතාවක් ඕනැත් නෑ. කියවනකොට තේරුම් ගන්න පුළුවන්නම් එච්චරයිනෙ“ කියල කියන එක.

මේ කතාව ඇත්තක්ද? ව්‍යාකරණ කියන්නෙ බොරුවට, එහෙම නැත්නම් තමන් දැනුමැත්තෙක් - පඬියෙක් කියල පෙන්නන්න හදාගත්ත දෙයක්ද?

මෙතනදි ඔක්කොටම ඉස්සෙල්ල කාරණා කීපයක් ගැන මං සඳහන් කරන්නම්.

එක කාරණාවක් මෙහෙමයි. ලෝකෙ හැම දියුණු භාෂාවකම ව්‍යාකරණ රීති තියනව. මං මෙතනදි දියුණු භාෂා කියල කිව්වෙ වැදි භාෂාව හෝ ඒ වගේ ගෝත්‍රික භාෂා දියුණු භාෂා නොවේය කියන පදනම උඩ. ඒ වගේ සමහර භාෂාවන් පාවිච්චි කරන්නෙ එදිනෙදා කතාබහට විතරක්මයි. සාහිත්‍යයක් ගොඩනැගිල නැහැ. පොත් පත් ලියවිලා නැහැ.

අනිත් කාරණාව දැන් කියන්නම්. ඒ තමයි, නණ- ලළ සහ අක්ෂර වින්‍යාස පිළිබඳ ගැටළුව. මේක කොයි භාෂාවෙද නැත්තෙ. කට හම යනකන් “ඉස්පෙලිං“ පාඩම් කරන අපි සිංහල පාවිච්චි කරද්දි නණ-ලළ  බේදයක් ඕනැ නෑ කියනව. කවුරුවත් කියන්නෙ නෑ ‘එස් අකුරයි සී අකුරයි දෙකක් නැතුව ස් කියන සද්දෙ එන්න එක අකුරක් දාගත්තනං හරි නේද‘ කියල. අක්ෂර වින්‍යාසය ගැන සළකද්දි ඔය ඉංගිරිසි වගේ යුරෝපීය භාෂා බොහොම බරපතළයි. වචනයක් ලියන්නෙ කොහොමද කියල ඉගෙනගන්නම වෙනව. අපේ භාෂාවල නම් හැම අකුරක්ම නිශ්චිත ශබ්දයකට සම්බන්ධයි. මාලුවා කියන වචනය සිංහල අකුරු දන්න ඕනැම කෙනෙක් ශබ්ද නගන්නෙ එකම විදිහකට. ඒ වුනාට ඉංග්‍රිසි වචන එහෙම නෑ. උදාහරණයක් බලන්න. සමහර අය ඩිමෙන්ෂන් කියන එකට තවත් සමහර අය කියන්නෙ ඩයිමෙන්ෂන් කියල.

දැන් කවුරුහරි අහන්න පුළුවන් “එහෙනම් න කියන එකටයි ණ කියන එකටයි දෙකටම තියෙන්නෙ එකම ශබ්දය නේද?“ කියල. අන්න එතන තමයි ගොඩක් අයට වැරදිලා තියන තැන. ඒ අකුරු දෙකට සම්බන්ධ වෙලා තියන ශබ්ද දෙකේ තියන කුඩා වෙනස නොසළකා හැරල, දැන් කියනව ඒ දෙකම එකයි නේද කියල. ඒක අපි ගත්තොත් රතුළූනු වලයි බොම්බයි ළූනු වලයි තියෙන්නෙ එකම රහ නිසා ඒ දෙකම එකයි කියල කියනව වගේ වැඩක්. ඒත් සූපවේදිනියෝ සහ සූපවේදියෝ දන්නව රතුළූනු වෙනුවට හැම වෙලාවෙම බොම්බයි ළූනු දාන්න බැරි වෙන බව. ඒ දෙකේ රසයන් අතර සුළු වෙනස්කමක් තියනව.

මේ සුළු නොසළකාහැරීම කරන්නෙ අපි සිංහලයො විතරක්ද මන්ද. දැන් බලන්න දෙමළ භාෂාවෙන් උදාහරණයක්. வண்டலூர் වණ්ඩලූර් - මූර්ධජ ‘ණ‘ යන්න. ඕකට දන්තජ න ලියන්නෙ නෑ කවදාවත්. අපි එහෙම නෑ. කන්නාඩිය කියනව කණ්ණාඩිය කියනව පතුල කියනව පතුළ කියනව ඔලුව කියනව ඔළුව කියනව කිසිම ප්‍රතිපත්තියක් නෑ. දෙමළ විතරක් නෙවෙයි තව පෙරදිග භාෂා ගණනාවකම මේ නණ-ලළ අකුරු ඒ විදිහට වෙන් වෙන් ව පාවිච්චි කරනව. දෙමළ හෝඩියේ න වගේ අකුරු තුනක්ම තියනව.

ඔය නණ-ලළ කතාව විතරක් නෙවෙයි අපි කරන වැරැද්ද.  බොහොම අමාරුවෙන් සම්ප්‍රධාය වගේ වචන වලට අනවශ්‍ය මහාප්‍රාණ දාල කතා කරන්නෙ. හාමුදුරුවරු කී දෙනෙක් නමක් ගාථා වරද්දනවද? පන්සිල් දෙන්නෙ “බුද්දං සරණං ගච්චාමී“ කියල. ඒ වුනාට “සබ්භං“ කියල අනවශ්‍ය තැන්වලට මහාප්‍රාණ යොදනව. අන්තිමට “සබ්බේ ලබං“ තමයි ඉතින්.

ඊ ළඟට බලන්න ව්‍යාකරණ. මේකනම් ඕනැම නෑ කියලනෙ සමහර අයගෙ තර්කය. ව්‍යාකරණ කියන්නෙ සම්මතයක්. සම්මතයක් අවශ්‍ය තැන් වලදි සම්මතයක් නැතුව කරන එක අවුලකට මුලක්. අහල තියනවද අම්බලමෙ කතාව. ඔන්න මිනිස්සු දෙන්නෙක් ගමනක් යද්දි රෑ වුනාලු. ඉතින් දෙන්න එක්ක අම්බලමක නිදාගත්තලු. රෑ එක්කෙනෙකුට අවශ්‍ය වුනා එළි පහලියට යන්න. පොඩි චූ බරක් කියල හිතමුකො. ඉතින් මෑන් නැගිටල කරුවලේම එළියට යනකොට අනිත් එකාගෙ ඔලුවෙ හැපුනලු කකුල. ඉතින් සොරි කියල ගියයි කියමුකො. දැන් නිදාගෙන හිටපු මෑන් කල්පනා කරාලු අර යකා ආපහු එද්දිත් මගෙ ඔලුවට පයින් ගහයි කියල මිනිහ ඔලුව අනිත් පැත්තට දාල නිදාගත්තලු. දැන් අර චූ කරන්න ගිය එකා ආපහු එද්දි කල්පනා කරාලු මං ආපහු යද්දිත් අර අහිංසකයගෙ ඔලුවෙ කකුල හැපෙයි කියල. ඉතින් මෑන් අනිත් පැත්තෙන් ගියාලු. අන්තිමට උනේ ආපහු යනකොටත් කකුල ඔලුවෙම හැපෙන එක.

ඉතින් ඒක නිසා තමයි මිනිස්සු සම්මතයන් ඇති කරගන තියෙන්නෙ. ව්‍යාකරණ කියන්නෙත් ඒ වගේම දෙයක්. ව්‍යාකරණ නැතුව ලියපුවහම වෙන්නෙ ඒක කියවන එක්කෙනා තමන්ට කැමති විදිහකට තේරුම් ගැනීම. දැන් මේ කතා කරද්දිනම් අපි මූණට මූණ පේන නිසා කියන අදහස මූණෙ ඉරියව් වලින්, හඬ අඩු වැඩි කරන එකෙන් තේරුම් ගන්න පුළුවන්. තේරුණේ නැතිනම් අහන්න හරි පුළුවන්. ඒත් ලියුමක් ලියද්දි තත්වෙ වෙනස්. කියවන කෙනා දුරස්ථයි. එයා ඉන්නෙ යම පූර්ව නිගමනයක වෙන්න පුළුවනි. කියවනකොට ඒ කියවන දේ තේරුම් යන්නෙ අර පූර්ව නිගමනයට අනුවයි.

එතකොට බලන්නකො මේ වාක්‍යය තේරුම් ගන්න පුළුවන්ද කියල. ඒත් බෙදන ක්‍රමයේ හානියෙන් හැමදාම දුක් විඳින්නේ වාමාංශිකයන් විසින් උදව් කරන්නට දන්නවා කියූ ජනතාව විසින්මයි. අපි බ්ලොග් ලියනකොට ව්‍යාකරණ ගැන සළකන්නෙ නෑ. කතා කරන බාසාවනෙ පාවිච්චි කරන්නෙ. ඒකට ප්‍රශ්නයක් නැත්තෙ කමෙන්ට් කරන්න පුළුවන්කම තියන නිසා. ඒ වුනත්, සමහර වෙලාවට අපට කියන්න ඕනැ දේ කියවෙනවද කියන ප්‍රශ්නය මතුවෙනව.

විශේෂයෙන් නීතිමය ලියවිලි වලදි ව්‍යාකරණ යෙදීම ඉතාම වැදගත් වෙන්නෙ මේ නිසයි.

ඊ ළඟට මට කියන්න ඕනැ කරන කාරණාවක් වුනේ සිංහල සහ ඉංගිරිසි අතර සමහර අය කරන සන්සන්දනයන් ගැන. මේ ගැනත් වෙන වෙලාවක කතා කරමු.

15 comments:

  1. භාෂාව වැදගත් වෙන්නේ සන්නිවේදනයට විතරයි... භාෂාවක් උඩදාගෙන දැගලුවා කියලා මිනිස්සුන්ට හෝ ලෝකයට අලුතෙන් ලැබෙන දෙයක් නැහැ... හැකිතාක් භාෂාව භාවිතා කරලා සන්නිව්දනය කරන්න ඒකයි වැදගත්..........

    ReplyDelete
    Replies
    1. අපොයි මෙච්චර වෙලා කියපු දේ තේරුනේ නෑනෙ. (හේතුව, මම ව්‍යාකරණ පාවිච්චි නොකිරීම.). කමක් නැහැ. මගේ ලිපියේ සාරාංශය මේකයි.
      භාෂාව අවශ්‍ය සන්නිවේදනයට විතරයි. හැබැයි නිවැරදි සන්නිවේදනයට.
      අක්ෂර වින්‍යාසය (ස්පෙලිං) සහ ව්‍යාකරණ (ග්‍රැමර්) හරියට පාවිච්චි කරන්න ඕනැ නිවැරදිව සන්නිවේදනය කරන්න.
      අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ නොසළකා හැරීමෙන් සන්නිවේදනය නිවැරදිව කරන්නට බැහැ.
      දැන් තේරුණාද?

      Delete
  2. හෙනහුරා, බසක ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසය මූලික මට්ටමෙන් හෝ ( ඒ කිව්වෙ අර ඇ කාර වගේ දේ අතහැරියත් ) අනුගමනය කල යුතුයි කියන මතයට මමත් එකඟයි.

    නමුත් මගේ ව්‍යාකරණ දැනුම ( සිංහල ඉන්ග්‍රීසි දෙකේම ) සෑහෙන්න දුර්වලයි, ඒ නිසා වැරදි හරියට. අපි හැමදාම ඉගෙන ගන්න මිනිස්සු නිසා පුලුවන් තරම් හදා ගන්න බලනව, හැකි හැම විටම.

    ReplyDelete
  3. //ව්‍යාකරණ කියන්නෙ සම්මතයක්// මෙහෙම සම්මතයක් අවශයයි තමයි. හැබැයි භාෂාවක විකාශනයට එය හරස් වෙන්න හොඳ නෑ. භාෂාවක් සංකීර්ණ වෙන්න ඕන වෙන්නෙ දරාගත හැකි පමණටයි කියන එකයි මගේ අදහස . ඇත්තෙන්ම ව්‍යාකරණයෙන් සුදුවන්නේ කුමක් ද! එය පුදුගලාන්තර සන්නිවේදනය සඳහා අවශ්‍ය යටිතල පහසුව දෙන්නක් විතරයි නේ ද! මෑතදී මට දකින්න ලැබුණ ප්‍රසිද්ධ දැන්වීම් පුවරුවක (තැන නම් මට හරි හැටියට මතක නැහැ) කාර්යාලය කියල ලියා තිබුණෙ කාර්්‍යාලය ලෙස ‘ර‘ ට පරව යන්සය යොදාමින්. යන්සෙ කියන්නෙ කියන්නෙ ‘ය‘ න්නෙන් භාගයක් ලෙසයි මමම ඉගෙන ගෙන තියෙන්නෙ. ඒත් කවුරුවුනත් දැන්වීම් පුවරුවට බැන බැන හරි තේරුම් ගන්නව ඒ තියෙන්නෙ ‘කාර්යාලය‘ කියල නේද ? මෙහෙම සංවාදයක් ඇතිවන එක හුඟක් වටිනවා. එයින් අපි හැමෝම දියුණු වේවි. අපේ ආතත් එක්ක හෙනහුරා ගේ ලිපියේ පවසන දේ ගැන කිව්ව. ආත කියන්නෙ එක කාලෙක ‘ණ.න.ළ.ල‘ යෙදිම ගැනත් මහ විවාදයක් ඇතිවුනා කියලයි. ආර්.පල්ලෙවෙල කියන විශිෂ්ට මාධ්‍ය වේදියකුයි තවත් මාධ්‍ය වේදියකුයි අතර මහ විවාදයක් තිබුණලු. ඒ කාලෙ පත්තරේ මුලින්ම බලන්නෙ ඒ විවාදයට මොකද වෙලා තියෙන්නෙ කියලලු. වයසක හින්ද ඒ සියල්ල මතක නෑ. කොහොම හරි මේ භාෂා කෝලහාලය නිසා භාෂාවේ විශාල පිබිදීමක් ඇතිවුනා ලු. බොහොම වටිනා නිර්මාණ බිහිවීමට ඒක තෝතැන්නක් වුනා ලු.

    ReplyDelete
    Replies
    1. සම්මතයක් කවදාවත් විකාශයට හරස් වෙන්නෙ නෑ. සංකීර්ණ වෙන්න ඕනැත් නෑ.

      සමහර භාෂාවන් වලදී සෑම නාම පදයකටම ලිංග භේදයක් තියනව. ඔබ දන්නවද? අප්‍රාණවාචී නාමපද - මුහුද, ගංගාව, ඉර, හඳ, තරු මේ ඔක්කොම එක්කො ගැහැණු නැත්නම් පිරිමි.

      ඉතින් එතකොට ඒක සංකීර්ණයිද? ඒ භාෂාවන් පාවිච්චි කරන අය දැන් දැන් ඒක නොසළකා හරිනවද? 

      Delete
  4. මගේ කොමෙන්ටුවේ අකුරු වැරදි බොහොම තියනවා. ඒත් එි සියල්ල මේ තාක්ෂණයේ හරස්වීම නිසයි ඇති වුනේ. උදා :- 1.ව්‍යාකරණයෙන් සිදුවන්නේ යන්න උඩුගැන්වී ඇත්තේ සුදුවන්නේ ලෙසයි. 2. පුද්ගලාන්තර යන්න ලියවී ඇත්තේ පුදුගලාන්තර ලෙසයි. 3 මම ලෙස ලිවිය යුතු තැන මමම කියා ලියැවී තිබෙනවා.

    ReplyDelete
  5. මේක මගේ වරදක්ද යන්තරේ වරදක් ද කියන්න දන්නෑ. නිවැරදි කිරීමේ ඇත්තේ ‘සිදුවන්නේ‘ වෙනුවට සුදුවන්නෙ කියලයි. ආයෙත් බලමු එහෙමම වෙයිද කියලා. එහෙමවුනොත් මම සිංගිරිසි වලට එනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි සිංගිරිසි වලට යන්න නම් එපා. මොකක්ද ගැටළුව කියල පැහැදිළි කරන්න. මට පුළුවන් වේවි විසඳන්න.

      Delete
  6. ව්‍යාකරණ සමග යන ලිඛිත භාෂාව සහ අවිධිමත් කතාකරන භාෂාව වෙනම ගියාවේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මේ දෙක වෙන වෙනම යන්න ඕනි.

      Delete
  7. සාරිකා විචාරනී කිව්වෙ භාෂාවකට ව්‍යාකරණයක් අනවශ්‍යයි කියා තේරුම් ගත්තොත් එය වරදවා තේරුම් ගැනීමක්. සම්මතයක් තියෙන්න ඕන. හැබැයි සම්මතය මිනිසාගේ වහලකු විනා මිනිසා සම්මතයේ වහලකු නොවිය යුුතුයි . බලන්න හෙනහුරා “බලංගොඩ“ කියා ලියා ඇති විදිහ. ඒක “බළන්ගොඩ“ කියා ලිව්වත් කවුරුවත් වැරදි විදිහට තේරුම් ගන්නෙ නෑ. ඇත්තෙන්ම වියතුන් විසින් සම්මත කර ඇති ලේඛන ගත ව්‍යවහාරය වන්නේ “බළන්ගොඩ“ මිස “බලංගොඩ“ නොවේ. කරුණාකාර එක පෝස්ටුවකට පමණක් අවධානය නොදී . ඊට පෙර හා පසුව ඇති මෙන්ම සිහල භාෂා ව්‍යවහාරය ගැන ඉදිරියේ ලියවෙන ලිපි වලටද අවධානය දෙන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  8. බලන්ගොඩද බලංගොඩද කියන එක ගැන මම දන්නෙ නෑ. සමහර අය බලම්ගොඩ කියන්නත් ඉඩ තියනව. (නෙළුන්දෙනිය / නෙළුම්දෙණිය).
    විදුහල්පතිතුමාට පිනා කිව්වහම ඇති ඉස්කෝලෙදි. ඒත් ගමේදි පිනා කියන්නෙ වෙන එකෙක්.

    ජම්බුද්වීපය කියන එක සමහර අය ජන්බුද්වීපය කියල හදාගෙන
    ජන්=ඉපදුනු
    බු=බුදුහාමුදුරුවො
    ද්වීපය=දූපත
    ඒනිසා,...... ජන්බුද්වීපය=ලංකාව
    (ලෝකෙ කොහෙවත් බුදුවරු උපදින්නෙ නෑ. කවුරුහරි පෙරුම් පුරාගෙන ආපු මනුස්සයෙක් බුදු වෙනව මිසක්)

    අක්ෂර වින්‍යාසය ගැන නොසැළකීම නිසා ඔය වගේ විකෘති කිරීම් වලට ඉඩකඩ ලැබෙනව.

    මම කියන්නෙ ඒක නෙවෙයි. ව්‍යාකරණ සහ ඔය සමහර අකුරු වල ශබ්දයේ තියන සියුම් වෙනස වැදගත් වෙන අවස්ථා තියන නිසා ඒවා අමතක කර දැමිය යුතු නැහැයි කියන එකයි. සිංහල භාෂාව විෂයයක් වශයෙන් උගන්වන්නෙ ඒ නිසයි. දන්තජ, මූර්ධජ, තාලුජ යනාදී වශයෙන් හෝඩිය වෙන් කරල තියෙන්නෙ ඒකයි. කඛගඝඞ - චඡජඣඤ - ටඨඩඪණ - තථදධන - පඵබභම - යරලව - ශ - ෂ - සහළ විදිහට අකුරු ගෘෘප් කරල තියෙන්නෙ ඒව ඉගෙන ගන්න පහසු වෙන්නටයි.

    ReplyDelete
  9. මෙහි ඇති ඔබේ අන්තිම ඡේදයට මගේත් සම්පූර්ණ එකඟත්වය පළ කරන්නෙමි. අක්ෂරවින්‍යාසය පද බෙදීම, උක්තආඛ්‍යාත සම්බන්ධය වගේ දේවල් භාෂාවක අත්‍යවශ්‍ය අංග. මගේ ලිපිය වර්තමාන ලේඛන ගත ව්‍යවහාරයට සාපේක්ෂව බලනවාට වඩා යක්කඩුවේ හිමියන් වනකතාව ලියන අවදියේ පැවති ඇතැම් ලේඛන හා සැසඳීම වඩා වැදගත් බවත් සටහන් කරන්නෙමි. සිංහල භාෂාවට දැන් වුව ද උදාවී ඇත්තේ හොඳ දසාවක් නොවේ. එය සරළ සුගම පවතින් බසක් බවට පත් කර ගැනීමේ වගකීම ඔබතුමාට මෙන්ම මටත් සෙසු වගකිව යුත්තන් ඇතුළු හැම දෙනාටමත් මග හැරිය හැක්කක් නොවේ. පාසලේ සිංහල ඉගැන්වීම කුඩම්මාගේ සැලකිලි ලබමින් බිද වැටෙමින් පවතින ආකාරයක් ඔබතුමාගේ නිරීක්ෂණයට හසු වීද! ඔබ ලියන අනෙක් බ්ලොග් සටහන( ප්‍රාදේශිය ව්‍යවහාර එකතුව) ට මා නමස්කාර කරන්නේ ඉන් මහත් සේවාවක් සැලසෙන බැවිනි. ස්තුතියි හෙනහුරා

    ReplyDelete
  10. අර ඔළුව හැපෙන කතාව ඔයිට වඩා දිගට යන එකක්.

    ඒ බමුණෝ දෙන්නේකලු. එකෙක් ශාප කළාලු අනික ගේ ඔළුව කෑලි හතකට පැලෙන් ඉර උදා වෙන කොට. එනිසා පසුවදා ඉර උදා වුනේ නැතිලු!

    බෝධිසත්වයගෙයි, දේවදත්තයගෙයි කේස් එකක් ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඒ දිගට යන කතාව මං දැනගෙන හිටියෙ නෑ. නොදැන හිටපු එකත් හොඳයි, මට ඒ සිද්ධිය ගොඩක් වෙලාවට “සම්මතය“ පැහැදිළි කරන්න පාවිච්චි කරන්න පුළුවනි.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.