2013-10-26

නොහික්මුණ මිනිස්සු (සහ ගෑනු)

ශ්‍රී ලංකාවේ මහා මාර්ග අනතුරු දිනෙන් දිනම වැඩි වන බව බොහෝ අය කියන කාරණයක්. එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ, රටේ තිබෙන පාරවල් සංඛ්‍යාවට සාපේක්ෂව ධාවනය වන වාහන සංඛ්‍යාව වැඩි වීම, පෞද්ගලික බස් රථ කරුවන්ගේ තරගකාරිත්වය ආදී ඒවාය. මේ දැක්වෙන හේතු තරමක් දුරට වලංගු වන නමුත්, ඒවාට ඇත්තේ අධික වියදමක් දරා ලබාගත යුතු විසඳුම් ය. මහා මාර්ග පුළුල් කිරීම, පෞද්ගලික බස් ධාවනය පාලනය කිරීම ආදිය ලේසි පහසු කටයුතු නොවේ.

මේ කතා කෙසේ වුවත්, වැඩිපුර කවුරුත් කතා නොකරන එක්තරා කාරණයක් නිසා රථවාහන අනතුරු සංඛ්‍යාත්මක වශයෙන් මෙන්ම ගුණාත්මක වශයෙන් ද වැඩි වන බවට හෙනහුරා සැක කරයි.

රිය අනතුරක් සිදු වූ අවස්ථාවක් සළකා බලමු. මෙහිදී, පොලිසියෙන් කරන්නේ කුමක්ද? රිය අනතුරට සම්බන්ධ වූ රියැදුරන්ට එරෙහිව නඩු පැවරීමයි. ගැටුනේ වාහන දෙකක් නම්, අනතුරක් වළක්වානොගැනීම යන චෝදනාව රියැදුරන් දෙදෙනාටම පැටවෙයි. එක අතකින් පාරේ නඩු විභාග කර රටේ නැති පරිප්පු කනවාට වඩා කේස් එක උසාවියට දමා අත් දෙකම පිස දා ගැනීම රාළහාමිලාටත් ඇඟට ගුණ ය.

එහෙත්, ලංකාවේ මාර්ග නීති සංග්‍රහය කියා එකක් ඇත. ඒ නීති සකස් කර ඇත්තේ මාර්ග අනතුරු වළක්වාගෙන රථ ධාවනය කිරීම සඳහා ය. මේ මාර්ග නීති බොහොමයක් අද ලංකාවේ රියැදුරෝ ගණන් ගන්නේ නැත. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම, රතු එළියට එරෙහිව යාම හා "ඉරි කැපීම" හැරුණු කොට වෙනත් කිසිදු නීතියක් ගැන මතකයක් රියැදුරන්ටවත් පොළිස් රාළහාමිලාටවත් නැත. මේ නිසා, රිය අනතුරු වැඩි වීම පමණක් නොව මාර්ග තදබදය වැඩි වීමත් නොවැළැක්වියහැකි කාරණයකි.

මෙහිදී, බ්ලොග් කියවන පොලිස් රාළහාමිලා හෝ පොලීසියේ ඉහළ නිලධාරීන් ඉන්නවාදැයි කියා හෙනහුරාට සිතිවිල්ලක් පහල වේ.

හතර මං හන්දියකට යන්න. හතර පැත්තෙන් වාහන හතරක් එක වර පැමිණියහොත්, හතර දෙනාම බලන්නේ හැකි ඉක්මනින් වාහනයේ මූණ මැද්දට දමා ගැනීමට ය. ඉස්සරවෙලාම මූණ දමා ගත් එකාට යාමට ඉඩ ලැබේ. ඒත් ඉස්සෙල්ලා මූණ දාන්න ගිහින් අනිත් එකාගේ පැත්තක මූණ හැපුණොත්, මූණ හප්පාගත් එකා රිය අනතුර සිදු කර අලාභ හානි සිදු කළ වැරදිකාරයා ලෙස සළකනු ලැබේ. ඒ නිසා, හප්පා නොගැනීමට පරිස්සම් විය යුතුය. (මෙතනදී "එකා" කීවේ පහසුවටය. කිසිවකුට අපහාසයක් පිණීස නොවේ.)
හෙඩ් ලයිට් ම තුනක්?

මේ නිසා, හතර දෙනාම එන්නේ බ්‍රේක් එකට කකුල තියන්නට බලාගෙන ය. හෙමින් හෙමින් ය. මෙය දකිද්දී හෙනහුරාට මතක් වෙන්නේ කුකුල් පොරයකදී හොරගල් අහුලන හැටිය. කුකුල් පොරයක් අවසන් වෙන්නට ගත වෙන කාලයට වඩා මඳක් අඩු කාලයකදී වාහන දෙක හන්දිය පසු කර යයි.

මේ හොරගල් ඇහිලීම, මාර්ග තදබදයට පැහැදිළි හේතුවකි. එමෙන්ම බය අඩු එකා හෝ කබල් වාහනයක් පදවන එකා හෝ ඉක්මන් වීමෙන් රිය අනතුරක් සිදු වේ. සමහර විට "මූණ" හප්පාගෙන වැරදි කාරයා වන්නේ කඩා බිඳගෙන යාමට පසුබට වූ රියැදුරා ය.

සංඥා එළි හෝ වාහන හසුරුවන පොලිස් රාළහාමි කෙනකු නොමැති හන්දියකදී තත්වය එසේය.

මහා මාර්ගයේ සමහර  තැන්වල කහපාට "කොටු දැළ"ක් ඇඳ තිබේ. මේවා ඇඳ තිබෙන්නේ අහවල් එකකටදැයි ඇඳපු එකා වත් දන්නේ නැතැයි හෙනහුරාට සිතේ. මේ කොටු දැළකින් අභිමත කාර්යය ඉටු වෙනවා දැකීම සුනාමියක් ඇති වීම තරම්ම දුර්ලභය.

ඊ ළඟ මාරකය හෙඩ් ලයිට් ය. නවීන වාහන වල ඉදිරිපස ලයිට් තුනක් ඇත. සමහර අය මහ නගරය මැද්දේ වුනත් වාහනය පදවන්නේ මේ තුනම දමාගෙන ය.
මේකයි තත්වය

ඉදිරියෙන් එන වාහනයක ලයිට් එළිය නිසා, පදිකයින්ට පාර හරහා යාමට ඇති කහ ඉර හෝ ඒ මතින් පාර හරහා යන අයකු හෝ නොපෙනෙන අවස්ථා එමට ය. ඒත් ඒ බව තේරුම් ගැනීමට සම-හරක් රියැදුරු උන්නැහේලාට මොලය නැත.
තමාට ඉදිරියෙන් වාහනයක් ගමන් කරන විටකදී "හෙඩ් ලයිට්" එක "ඩිම්" කළ යුතු බව මාර්ගෝපදේශ සංග්‍රහය නමැති කවුරුවක් කියවන්නේ නැති පොතේ තිබෙයි. මෙහිදී "ඉදිරියෙන් වාහනයක් ගමන් කරන විට" යන්නෙන්, විරුද්ධ දිශාවට ගමන් කරන වාහනයක් මෙන්ම තමන්ට ඉදිරියෙන් තමන් යන දිශාවටම ගමන් කරන වාහනයක් ද අදහස් කෙරෙනවායැයි සිතමි. තේරෙන භාෂාවෙන් (හරකුන්ට තේරෙයිද මන්දා) කියනවානම්, වාහනයක පසු පසින් යද්දී "හෙඩ්" ලයිට් "ඩිම්" කළ යුතු ය. නැතිනම්, ඉදිරියෙන් යන වාහනයේ රියැදුරුට පැති කන්නාඩි වලින් කිසිවක් නොපෙනේ. අවාසනාවකට ලංකාවේ පොලිස් රාළහාමිලා මේ කිසිවක් නොතකති. (එක දවසක් හෙනහුරා අතින් රාළහාමි කෙනකු යට නොවී බේරුනේ අනූ නමයෙනි. ඉදිරියෙන් ආ වාහනයේ ආලෝක ධාරා වලින් දෑස නිලංකාර වූ නිසා රාළහාමි පාර මැද හිටගෙන සිටින බව හෙනහුරා දැක්කේ හොඳටම ළං වූ පසුවය. හෙනහුරා ඒ වෙලාවේම රාළහාමිට මේ ගැන කී නමුත් රාළහාමිට ඒවා ගැන හිතන්නට වෙලාවක් නැති විය.)

(හෙඩ් ලයිට් ඩිම් කරනවා යන්න වැරදි යෙදුමක් බවත් නිවැරදි වචනය ඩිප් කිරීම බවත් ඇනෝ කෙනෙකු විසින් පෙන්වා දෙන ලදී. ඇනෝට මගේ ස්තුතිය)

මේවා දකිද්දී හෙනහුරාට සිතෙන්නේ රියැදුරු බලපත්‍ර ලබා දීමේ ප්‍රායෝගික පරීක්ෂණය රාත්‍රී කාලයේදී කළ යුතු බවය.

පහළින් තියෙන පින්තූර දෙකෙන් වැඩි පුර වාහන ගමන් කරන පාරක පින්තූරය අංක 1 ද නැත්නම් 2ද කියා නිකමට හිතන්න. ඉක්මණට ගමන යන්න පුළුවන් වෙන්නේ පළමුවැනි පින්තූරයේ හැටියට ගියොත් ද, නැතිනම් දෙවැනි එකේ විදිහට ගියොත් දැයි කියා හිතල බලන්න.

හදිස්සියට අත දමා ගැනීමට කොරොස් කටත් මදි වේ. (කොරොස් කට යනු අතීත කාලයේ ලංකාවේ ගෙවල් වල කුස්සියේ පාවිච්චි කළ භාණ්ඩයක් වන කොරහේ කටයි. එහි කට ඉතා විශාල විය. කොරහක පින්තූරයක් අන්තර්ජාලයෙන් සොයාගැනිමට නොහැකි විය. පසුව කමෙන්ට් කරන ලද ඇනෝ කෙනකුගේ උදව්වෙන් පින්තූරයක් සොයාගතිමි. සැබෑ කොරහක් බලාගැනීමට අවශ්‍යනම් ප්‍රමාද නොකර කටුගෙට ගොස් බැලීම සුදුසුය. ප්‍රමාද වුනොත් කවරකු හෝ එය උස්සාගෙන යාමට ඉඩ ඇත)


පින්තූරය 1
පින්තූරය 2


නොකියාම බැරි තවත් කාරණයක් නම් අපේ සමහර පදිකයන් "කහ ඉර" යනු ඒදන්ඩක් වැනි එකකැයි සිතාගෙන සිටින බව ය. එ් දණ්ඩක් මතදී දෙපැත්තට මාරු වීමට බැරි ය. එකා පසුපස එකා යා යුතුය. ඒත් අද කාලයේ මගමරුවන් බහුල නිසා පදිකයන්ගේ අතිරේක ප්‍රවේසම ගැන දොස් කීමට නොහැකිය.

(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි.)
කොරහක්




























7 comments:

  1. 1. පොලීසියට නඩු විභාග කරන්න නොහැකිය. පොලීසිය කරන්නේ ඔවුන්ට ලැබී ඇති නීති ප්‍රතිපාදන යටතේ දඩ අයකිරීම හෝ වැරැද්දේ ස්වභාවය අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීම පමණි. නීතිය නොදන්නෝ අමුවෙන්ම පරිප්පු කති.

    2. වාහනයක ප්‍රධාන ලාම්පු දැල්වූ විට ආලෝක කදම්බය ඈතට ඉහලට සහ සේපසට විහිදීම වැඩිය. එය පහලට යොමු කිරීමෙන් අනෙක් රියදුරන්ට සහ පිකයන්ටද පහසුවක් ඇතිවේ. එසේ ආලෝක කදම්බය පහලට යොමුකිරීම 'ඩිම්' කිරීම නොව 'ඩිප්' කිරීමයි.

    3. රියදුරු පුහුණුවේදී රාත්‍රී කාලයේ ධාවනය ගැන පුහුණුව අනිවාර්ය කලයුතුයි.

    4. කොරොස් කට යනු අතීත කාලයේ ලංකාවේ ගෙවල්වල කුස්සියේ පාවිච්චි කල භාණ්ඩයක් යන යෙදුම වැරදියි. එම වැකිය ඇරඹිය යුත්තේ 'කොරහ යනු' වශයෙනි.

    5. මෙන්න තියනවා කොරහක පින්තූරයක් හැබැයි ඇලුමිනියම් කොරහක්.
    http://video.lankadeepa.lk/uploads/player_thumbs/ip5wGy4lMxFXotMOqncQ.jpg

    ReplyDelete
    Replies
    1. දීර්ඝ කරුණු දැක්වීමට ස්තුතියි.
      1. පොලීසියට නඩු ඇසීමට බලතල නොමැති බව ඇත්තකි. එහෙත්, වැරදිකරු කවුරුන්දැයි කියා සොයා බලා නඩු පැවරීමට ඔවුනට හැකියාව ඇත. ඔවුහු එසේ නොකරති. වැරදිකරු කවුරුන්දැයි උසාවියෙන්ම තීන්දු වන්නට ඉඩ හරිති. අළුත්කඩේ උසාවියේනම් දිනකට රථ වාහන නඩු සීයක් පමණ පැය දෙක තුනකින් ඇසීමට සිදු වේ. මෙහිදී රස්තියාදුවන කාලය රුපියල් වලින් මනින රියැදුරෝ තමා අත වරදක් ඇතත් නැතත් කතාබහකින් තොරවම වරද පිළිගනිති. වරද සිදු කළ රියැදුරාට එරෙහිව සමහරවිට නඩුවක් වැටෙන්නේ නැත. මෙහි ප්‍රතිපලය රියැදුරන් වැරදි කිරීමට පසුබට නොවීමයි.
      "ඩිප්" කිරීමට සිංහලෙන් කියන්නේ "ඩිම්" කියා ය. (බොහෝ දෙනා පාවිච්චි කරන වචනය එයයි. එය වැරදි වචනයක් බව ඇත්ත ය.) දැනුම්වත් කිරීම ගැන ස්තුතියි.
      කොරෙස් කටේ වාක්‍යය නිවැරදි කළෙමි. පින්තූරයක් ද එකතු කළෙමි.

      Delete
  2. ඉතාමත් වැදගත් ලිපියක් හෙනහුරා, ලර්නස් වලින් පුරුදු වෙලා ලයිසන් ගත්තට ඒවැයෙන් නිසි පුහුණුවක් ලැබෙනවද කියලා හොයා බැලිය යුතුයි.

    ReplyDelete
  3. හෙනේ......අර උඩින් ප්‍රියා කියනවා වගේ ලර්නර්ස්ලාගේ වැරැද්දට වැඩිය ඩ්‍රයිවර්ස්ලාගේ වැරැද්දක් කියලා තමයි මට හිතෙන්නේ. ඉගෙණගත්ත එව්වා පාවිච්ච් කරන්නේ නැහැ.

    ReplyDelete
  4. ලර්නස් ගියාට කවදාවත් හෙඩ්ලයිට් එක පාවිච්චි කරන්න කියලා දෙන්නෑ නෙව. සිග්නල් ලයිට් විතරනෙ ඕන වෙන්නෙ.
    නුවරඑළිය පාරෙදිනම් සාමාන්‍යෙයන් නිතරම යන රියදුරන් අනික් රියදුරන් ගැන අවධානය යොමුකරනවා.
    ඒ වගේම හෙඩ් ලයිට් පාවිච්චිය ගැන කියද්දි මම දැකලා තියෙන දෙයක් තමයි කාර් පදවන අයයි suv වලයි තමයි හෙඩ්ලයිට් ඩිම් කිරීම අඩුම. ත්‍රීවිල් වල බොහෝදෙනා හෙඩ්ලයිට් ඩිම් නොකරන නිසා කතා කරලා වැඩක් නෑ. මේ වගේ වෙලාවට අපිත් හෙඩ්ලයිට් එක එකපාරම ඉහළට යොමු කළාම තමයි ඉදිරියෙන් එන වාහනේ හෙඩ්එක පහළට යොමු කරන්නෙ.

    ReplyDelete
  5. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා!ග ඉතා වැදගත් ලිපියක්. ස්තූතියි! ඇත්තටම රාත්‍රී කාලයේ රියදුරු පුහුණුව ඉගෙන ගත යුතුම දෙයක්.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.