2013-08-04

පරම අයිතිය



තව අවුරුදු 40ක් හෝ ඇතැමුන් විසින් ගණනය කර ඇති කාලසීමාවක් තුළදී ශ්‍රී ලංකාවේ සිංහල ජනගහන ප්‍රතිශතය අඩු වීමෙන් දිවයින තුළ සුළු ජාතියක් ලෙස ජීවත් වීමට සිංහල ජාතියේ අනාගත දරු පරම්පරාවනට සිදුවනු ඇතැයි බියකින් පෙළෙන ජාතික කැක්කුම ඇති සිංහල තරුණයෝ යතුරු පුවරුව මෙවලම කරගනිමින් අඛණ්ඩ අරගලයක නියැළී සිටිති.

මේක අපේ රට‍ ‍යකෝ. තොපි කරබාගෙන ඉන්නවනම් හිටපියව්. හැබැයි තොපි හරක් එහෙම මරල තිබුනොත් අපි තොපිව හම ගහනව. තොපි හරක් මරපුවහම අපේ ඉම්පෝර්ට් බිස්නස් වලටත් එක්කනෙ කෙළවෙන්නෙ, අනික අහිංසක සත්තු, පව්නෙ.

සත්‍යයකි. මේ අපේ රටයි.

‘අපේ’ යන යෙදුම අර්ථ දෙකකින් පාවිච්චි කරනු ලබන “සාපේක්ෂ” ලෙස වටහාගතයුතු වචනයකි.මේ කතාව පැහැදිළි කිරීම අනිවාර්ය වූ අවශ්‍යතාවක් බව පිළිගැනීම නිසා, පහත නිල් පාට අකුරු සහිත ඡේදය එකතු කරනු ලැබේ.

තමනට පූර්ණ අයිතිය ඇති දේට ‘අපේ’ කියා කීමට හැකිය. අපේ පිහිය, අපේ වං ගෙඩිය, අපේ ඇඳ යනාදිය උදාහරණ වේ. ඒවා අපට අයිති නිසා, එය භුක්ති විඳීමට, විකිණීමට, හමගැසීමට, මස්තබාල්දු කිරීමට අපට ඇත්තේ ‘අනුලංඝනීය’ වූ අයිතියකි.
තමන් හා සම්බන්ධකමක් ඇති දේටත් අපි ‘අපේ’ කියා කියමු.
අපේ මාමා, අපේ ඉස්කෝලෙ, අපේ ස්කූල් බස් එක, අපේ ගම, අපේ රට??????

අපේ යන වචනයේ මේ දෙවැනි අර්ථය සමහර විට නැත්නම් බොහෝ විට අපට අමතක වී යයි. අපේ ඔෆිස් එකේ ඇති හාෆ් ෂීට් බන්ඩල් පිටින් අපේ ගෙදරට ගමන් කරන්නේ ඒ නිසාය.

අපේ යන්න අයිතිය හැඟවෙන වචනයක් ලෙසත් යොදාගැනීම නිසා මේ අවුල සිදු වේ. අයිතිය සම්බන්ධ වූ ඉතා වැදගත් පර්යේෂණාත්මක සොයාගැනීමක් ‘විදුසර’ පත්‍රයේ පළ වී තිබුනු බව මතක නමුත් දින වකවානුව අවිනිශ්චිත බැවින් එය උපුටා පළ කිරීමට හෝ සබැඳියක් යෙදීමට අවකාශයක් නොමැත. එම පර්යේෂණය සිදු කර ඇත්තේ කුඩා ළමුන් සම්බන්ධයෙනි. (කුඩා ළමයින් හිතන්නෙ නිවහල්ව.)
එහිදී පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත්තේ, ස්වභාවික වස්තු වලට අයිතියක් තිබිය නොහැකි බව කුඩා ළමයින් සිතන බවයි. පැහැදිළි කරන්නේ නම්, අඹ ගස, මල් වැනි දේට අයිතිකාරයන් සිටිය නොහැකියි. ඒ දරුවනට අනුව, යමකුට අයිතියක් තිබිය හැක්කේ මේසය, සෙල්ලම් බඩු වැනි කෘතිම දේට පමණකි.

අතුරු කතා පසෙකට ලා මාතෘකාවට බසිමු. පසුගිය කාලයේදී අපි කතා කළේ රත්නපුර නඩුකාරයාගේ මානසික තත්වය ගැනය. මේ දිනවල අපි කතා කරන්නේ රතුපස්වල ගැනය. ඒවා වැදගත් නොවන මාතෘකා නොවේ. එහෙත්, ‘හීනියට’ පටන් ගෙන නොදැනීම ඔඩු දුවා යන බරපතළ ප්‍රශ්න සමහරක් අපට මතක් වන්නේ තට්ටමේ කට්ටක් ඇනුනොත් පමණකි. උදාහරණයක් වශයෙන් ඩෙංගු පැතිරීම ගැන කතාව අමතක වී තිබී මාස දෙකකට පමණ පෙර නැවත පටන් ගත්තේ කෙසේදැයි කියා කිසිවකුට මතකයක් තිබේදැයි නොදනිමි.

අද මගේ සැබෑ මාතෘකාව “පරම අයිතිය” නොවේ. සැබෑ මාතෘකාව “කොළඹ නගරය”යි. කොළඹ නගරය අයිති කාටදැයි කියා දැනගැනීමෙන් පසුව, වෙනත් නගර සහ ගම් වල අයිතිය ගැන කල්පනා කර බැලීමට අපට මනස පාදාගැනීමට හැකි වනු ඇත. සාකච්ඡාව මදකට නවතා තවත් අතුරු කතාවකට යොමු වෙමු.
විලානි පීරිස් 2013 අගෝස්තු 2වැනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා කරන්නේ මෙසේය.

කොළඹ නගරය දකුණු ආසියාවේ වෙළඳ මූලස්ථානය බවට පත්කිරීමට සැළසුම් කරන ශ්‍රී ලංකා ආණ්ඩුව එහි පදිංචිකරුවන් නෙරපාහැරීම වේගවත් කරමින් සිටියි. ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා තවත් නගර කීපයක් හා වෙරළබඩ ප්‍රදේශ සංවර්ධනය කිරීමටද ආණ්ඩුව කටයුතු කර තිබේ.

පසුගිය මාසයේ නාගරික සංවර්ධන අධිකාරිය කොම්පඤ්ඤවීදිය දුම්රිය නැවතුම් ස්ථානය අසළ ගෙවල් 15ක් ආරක්ෂක හමුදාවන්ගේද සහය ඇතිව බලහත්කාරයෙන් කඩාදැමීය. තවත් පවුල් 119ක් සහ ව්‍යාපාරික ස්ථාන තුනක් ඉවත් කිරීම සඳහා නොතීසි නිකුත් කර ඇති නමුත් එම ස්ථාන හැර දමා යාම පදිංචිකරුවන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නෙරපාහරිනු ලැබීමට මුහුණ දෙන මේ බොහො පවුල් වැඩි ප්‍රමාණයක් ජීවිකාව සරිකරගන්නේ ස්ථිර නොවන රැකියාවන්ගෙන් වන අතර තවත් සමහර පවුල් රජයේ සේවකයන් සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ ප්‍රදේශයේ දශක ගණනාවක් තිස්සේ ජීවත් වන අය වෙති. පර්චස් දෙකක පමණ වූ කුඩා බිම් කැබලි තුළ කුඩා ගෙවල් සාදාගෙන ඇත. වන්දි වශයෙන් ඔවුනට පිරිනැමෙන්නේ ගෙයක් කුළියට ගැනීම සඳහා මාසයකට රුපියල් 18,000ක් බැගින් වන අතර එය මාස 18ක කාලයක් සඳහා පමණකි.

මේ ප්‍රදේශයේ හෙක්ටෙයාර් 1.4ක් බිම් කොටසක් සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුවේ ආයෝජන මණ්ඩලය පකිස්ථාන සමාගමක් වූ ඉම්පීරියල් බිල්ඩර්ස් සමග ගිවිසුමක් අත්සන් කර තිබේ. පදිංචිකරුවන් ඉවත් කරන බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දෙන ලද සහතිකය මත ව්‍යාපෘතියේ වැඩ දැනටමත් ආරම්භ කර ඇත. පිහිනුම් තටාක, ක්‍රීඩාගාර, සමාජශාලා, රෙස්ටුරන්ට්, ක්‍රීඩාපිටියක් සහ තරු හතරේ හෝටලයක් සහිත වූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මේ ව්‍යාපෘතියට අයත් වේ.

ව්‍යාපෘතිය නිම වූ පසුව මේ නිවාස සංකීර්ණයේ ගෙවල් ලබාදෙන බවට ආණ්ඩුවෙන් ලබා දී ඇති පොරොන්දුව නෙරපාහරින ලද පවුල්වල අය විශ්වාස කරන්නේ නැත. ඔවුනට අනුව පකිස්ථාන සමාගම මේ භූමිය මිලදී ගෙන ඇත්තේ පර්චස් එකකට රුපියල් මිලියන හතර බැගිනි.

එක් කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නියෝජිත සමග පවසා ඇත්තේ “අපට පර්චස් දෙකක් තිබුනා. ඉතින් අපි මිලියන් අටක් ඉඩම වෙනුවෙන් ඉල්ලුවත් බලධාරීන් එය ප්‍රති‍ක්ෂේප කළා. ඉතින් අපට ඒ සුඛෝපභෝගී ගෙවල් දෙයි කියල අපි කොහොමද විශ්වාස කරන්නෙ?” යනුවෙනි.

රුපියල් දහ අට දාහක මාසික කුළියේ වන්දිය පිළිගත් පවුල් කීපයක් දැන් කිලෝ මීටර් 6ක් විස්ථාපනය වී ඇති අතර ඔවුනගේ වෙළඳාම් කටයුතු ආදිය සඳහා දිනපතා කොම්පඤ්ඤවීදියට ගමන් කරති. සමහර අය තමනට පදිංචි වීමට තැනක් ලැබී ඇති නමුත් දරුවන් සඳහා පාසැලක් නොලැබීම නිසා, වන්දිය පිළිගැනීම ගැන පශ්චාත්තාප වෙති. ජීවිතය දුෂ්කර බව ඔවුහු කියති.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 2008 වර්ෂයේදී ඉවත් කරන ලද පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමට ආණ්ඩුව තවමත් සමත් වී නොමැත. පවුල් 400ක් පමණ ඉවත් කරන ලද අතර ඉන් පවුල් 76ක් කොම්පඤ්ඤවීදියේ සිට කිලෝ මීටර් කීපයක දුරකින් පිහිටි වැලිගොඩවත්ත ප්‍රදේශයේ අටවාගත් පැල්පත් වල තවමත් දිවි ගෙවති.

 “අපට ස්ථිර රස්සාවල් නෑ. අපි කරන්නෙ මාළු අල්ලන එක වගේ වැඩ. ගැහැණු අය මෙහෙකාරියන් හැටියට ගෙවල් වල වැඩට යනවා. දැන් අපට බස් දෙක තුනක යන්න එන්න වෙලා. ඒක හරිම අමාරුයි.”

මෙවැනිම මුඩුක්කු ප්‍රදේශයක් වූ ඉබ්බා වත්තෙන් නෙරපාහරිනු ලැබූ අයත් සමාන ඉරණමකට හුහුණ දෙති. තොටළඟ නාගලගම් වීදියේ කඳවුරක ඇති ලෑලි ගෙවල් ඔවුන්ට පදිංචිය සඳහා ලැබී ඇත. ඔවුනට වන්දියක් ලැබී නැති අතර අනාගතයේ ස්ථිර නිවාස ලබාදෙන බවට වූ හිස් පොරොන්දුවක් පමණක් ලැබී ඇත. නාගරික සංවර්ධන අධිකාරියෙන් නිවාස ලබා දීමේ බලාපොරොත්තුව ඇතිව ඔවුහු තවමත් සිටිති.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රදේශය අවට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති අතර කඳවුරේ පදිංචිකරුවන්ට අවවාද කර ඇත්තේ මාධ්‍ය වලට කථා නොකරන ලෙසයි. මෙහි පවුල් හැට පහක් ජීවත් වන බව වාර්තා වේ. “වැසිකිළි 18යි ස්ත්‍රී හා පුරුෂ වශයෙන් සමානව වෙන් කරල තියෙන්නේ. සමහර ඒව හරියට වැඩකරන්නෙත් නෑ” යනුවෙන් එක් පදිංචිකරුවෙක් පවසයි. පොදු ජල නලයක් ඔවුනට භාවිතා කිරීමට සිදු වී ඇත.

කොළඹ මෙට්රෝපොලිටන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහින්ද රාජපක්ෂ රජය සැළසුම් කරන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් මුඩුක්කු නිවාස වල පදිංචි පවුල් 70,000ක් පමණ ඉවත් කිරීමටයි. 2008 සිට මේ දක්වා විවිධ ප්‍රදේශ වලින් පවුල් දහසක් පමණ ඉවත් කරනු ලැබ ඇත්තේ විරෝධතා මැඬලීමට සන්නද්ධ හමුදා සහය ලබාගනිමිනි.

ආරක්ෂක අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව පවත්වාගෙන යන වෙබ් අඩවිය වාර්තා කරන්නේ මෙසේය.


මෙයට අමතරව, නාරාහේන්පිට, බාන්ස් පෙදෙස, බොරැල්ල, බෞද්ධාලෝක මාවත, වනාතමුල්ල සහ මාලිගාවත්ත ඇතුළු  කොළඹට තදාසන්න ප්‍රදේශවල පවුල් සිය ගණනකට නාගරික සංවර්ධන අධිකාරියෙන් සිය නිවාස අත්හැර යන ලෙස දැනුම් දීම් කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය 2010 වර්ෂයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නතුව ඇති ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනු ලැබිනි.

තවද, මැද කොළඹ ප්‍රදේශයේ ඇපල්වත්ත ඉඩමේ පවුල් 1400කට පමණ තම නිවෙස් හැරදමා යන ලෙස දැනුම් දී ඇත. නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒ පදිංචිකරුවනට සුළු වන්දියක් සහ වැලිගොඩ වත්තේ හුදු මඩුවක් හෝ ගෙවල් කුලියට ගැනීම සඳහා මාසිකව රුපියල් 8000ක් ගෙවීමට තීන්දු කර ඇත. ඔවුහු මේ වන්දිය ප්‍රතික්ෂේප කර ඇත්තේ මින් පෙර නෙරපා හරින ලද ඔවු‍න්ගේ අසල්වාසීන් දැන් ජීවත් වන කටුක ආකාරය දැකීම නිසාය.
අවුරුදු 3කට පෙර මේ ප්‍රදේශයේ ගෙවල් 24ක් කඩා දමන ලද අතර එම පවුල් වැලිගොඩ වත්ත නමැති ප්‍රදේශයේ ලෑලි ගෙවල් වලට තාවකාලිකව යවන ලදී. තවමත් ඔවුනට ස්ථිර නිවාස නොමැත.

පවුල් 1400ක් එකතුව නෙරපාහැරීමට විරුද්ධව නඩුවක් දමන ලදී. ජූලි 11 වැනිදා මහාධිකරණය තීන්දුව දුන්නේ “පදිංචිකරුවන් වෙනත් ස්ථානයක පදිංචි කරවන තුරු” ගෙවල් කැඩීම නතර කරන ලෙසයි. මේ තීන්දුව වූකලි කාලය ලබාගැනීමක් පමණකි. ගෙවල් හැර දමා යන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මිනිසුන්ට බලපෑම් කරන්නේ ආරක්ෂක හමුදාවන්ගේ සහයද ඇතිවයි.

ඇපල්වත්තේ බොහෝ පවුල් ජීවත් වන්නේ ලෑලි ගසා වහළයට තහඩු සෙවිලි කර ඇති කුඩා මඩු වැනි නිවාස වලය. පටු මාවත් සහිතව ඇසිරී ඇති මේ නිවෙස් වල ජීවත් වන්නන්ට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික පහසුකම් පවා නොමැත. මුළු ප්‍රදේශයටම ඇත්තේ වැසිකිළි 12කි. වැසි කාලයේදී අවට ඇති ඇළ මාර්ග උතුරා යාමෙන් මේ නිවාස නිරන්තරයෙන් ජලයෙන් යටවේ.

ආයෝජකයන්ට ඉඩම් ලබාදීම සඳහා මිනිසුන් තම නිවෙස් වලින් බලහත්කාරයෙන් පළවා හරිනු ලබන්නේය යන බරපතල කාරණය මෑත කාලීන සංවර්ධන කටයුතු වලදී අවතක්සේරු කර තිබේ.

ඩොලර් මිලියන 406ක් ආයෝජනය කරන බවට සහතික වී ඇති ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට කොම්පඤ්ඤවීදියේ හෙක්ටෙයාර් 2.4ක් ආණ්ඩුව විසින් ලබාදී ඇත. මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති භූමි ප්‍රදේශයේ පවුල් 456කට සහ ව්‍යාපාරික ස්ථාන 90කට පිට වන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් නියෝග කර ඇත.

ජූනි 30වැනිදා ද සන්ඩේ ටයිම්ස් වාර්තා කළේ ඩොලර් මිලියන 300ක ආයෝජන ව්‍යාපෘතියක් සඳහා කො‍ළඹ නගරයේ පළමු පෙළේ බිම් කොටසක් එවික් ඉන්ටනැෂනල් කෝපරේෂන් නමැති චීන සමාගමට පවරා දී ඇති බවය.

ආණ්ඩුව කොළඹ නගරයෙන් බැහැරව‍‍ ඇති තවත් නගරවල සහ වෙරළ බඩ පෙදෙස් වල ද සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කර තිබේ.

මෑතකදී, නාගරික සංවර්ධන අධිකාරිය දඹුල්ලේ නිවාස 44ක් කඩා බිඳ දැමූ අතර තවත් නිවාස 64ක පදිංචිකරුවනට නිවෙස් හැර යන ලෙස දැනුම් දී ඇත.

මේ නිර්දය නෙරපාහැරීම් වූකලී ශ්‍රී ලංකාව මත පතිත වී ඇති ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමයි.
Copyright © 1998-2013 World Socialist Web Site - All rights reserved

පොදු යහපත උදෙසා උපුටා පළකරනු ලබන බැවින් කොපිරයිට්ස් නොසළකා හරින මෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් ඉල්ලමි.
අපේ කතාව ලබන සතියේ නැවත පටන් ගනිමු.

11 comments:

  1. හෙනහුරා සීයේ කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ, කොහොම වුනත්, මේ පිළිඹඳ සංවාදය ඉතාම දීර්ඝ එකක් වෙනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. මෙච්චරකල්, දන්නැද්ද? බිසි, බිසි.
      සංවාදය දිගට ගෙනියන්න උත්සාහ කරමු.

      Delete
  2. හෙනහුරෝ.......පක්ෂ දේශපාලන පිම්පියෝ මේ ප්‍රශ්නය කථාකරන්නේ ගෙවල් ටික කඩන දවසට විතරයි.එතනින් එහා ඒ මිනිසුන්ට බලපාන සමාජ,ආර්ථික ප්‍රශ්න ගැන දකින්න වෙන්නේ මෙහෙම විතරයි.ඒ මිනිස්සු තවත් ආර්ථික පීඩාවකට පත්කරනවා.ඒ තුලින් මතුවන සමාජීය ප්‍රශ්න වලට උත්තරෙත් උන්වම නැවත හොරුන් පාදඩයින් ලෙස හංවඩු ගහලා පොලිසිවලට දක්කන එක.අර පිම්පියෝ ටික ඊලඟ ගෙවල් ටික කඩනකම් රෙද්ද අස්සේ රිංගගන්නවා.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුත් සියළු කටයුතු ඔය පක්ෂ කියන එව්වට කොන්තරාත් දීලා බුදියගෙන ඉන්නවනෙ.

      Delete
  3. නිතර කමෙන්ට් වලින් ඔබව දැක්කත් අදයි ඔබේ අඩවිය පැත්තේ ආවේ. ලිපියේ සමහර වචන (සංඛ්‍යා) මිස් වෙලා. හැකිනම් ඒවා යළි බලන්න. පාඨකයාට පහසුවක් වේවි.

    ReplyDelete
    Replies
    1. මට තවම මිස් වුනු වචන අහු වුනේ නෑ. කවුරුහරි පෙන්නලා දෙනවද කමෙන්ට් එකකින්.

      Delete
  4. ඉතාමත් හොඳ සංවාදයක මාවත විවරකිරීමක් හෙනහුරා..ඇත්තටම විය යුත්තේ කුමක්ද විකල්ප මොනවාද ඒ ගැනත් කතිකා කළා නම් මේ ලිපියේ වටින කම කිය නිම කළ නොහැක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබ තවම ලිපියෙන් කොටසයි කියවලා තියෙන්නේ. ඉවසන්න සතියක්.

      Delete
  5. ඔය කියල තියෙන විනාශය මාත් දැක්කා. “පටු මාවත් සහිතව ඇසිරී ඇති මේ නිවෙස් වල ජීවත් වන්නන්ට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික පහසුකම් පවා නොමැත“. මෙන්න මේ ආකාරයට තමයි කොලඹ ගොඩක් ස්ථාන වල සාමාන්‍ය ජනතාව ජිවත් වෙන්නේ...විසඳුමක් ලැබිය යුතුයි ,

    ReplyDelete
  6. නලින් අයියා කිව්ව වගේ ප්‍රශ්න වගේම ඒවට උත්තර/විකල්ප ටිකක් අඩංගු වුනා නම් වටිනවා.

    අදයි මේ පැත්තෙ ආවෙ.

    ජය !

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.