2013-02-06

විභාග දෙපාර්තමේන්තුව සහ අපි

... කොහෙ බැලුවත් විබාගේ
විබාගේ තමයි අපේ අබාගේ

කාලෙකට පෙර වේදිකාගතවුනු විකෘති නමැති වේදිකා නාට්‍යයේ තිබුනු එක් ගීතයක කොටසක් ඒ.

දවස් කීපයකට කළින් 2012 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුනා. කවුරු කොහොම කිව්වත්, සුපුරුදු විදිහට මේ වතාවෙත් වුනේ හොඳ ප්‍රතිපල ලබාගත් අය සතුටු වීමත් හොඳ ප්‍රතිපල බලාපොරොත්තුවෙන් හිටියත් එසේ නොවුනු අය අසතුටට පත් වීමත්. ඒ ඇරුණාම තමන්ගෙ ප්‍රතිපල පිළිගැනීමට අසීරු අය "රි කරෙක්ෂන්" වලට ඇප්ලයි කරනවා ඇති.

අපට මතකයි කළන් වතා‍වක ඉසෙඩ් ලකුණු ප්‍රශ්නයක් මතු වුනා. ඊට පස්සෙ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය පිට වී තිබුනු කතාවක් මතු වුනා. ඒ විතරක් නෙවෙයි. 2012 සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව කෙටි ප්‍රශ්න පත්‍තරේ ප්‍රශ්න දහ නමයක්ද කොහෙද අමුවෙන්ම පිට වී තිබුනු බව දැනගන්න ලැබුනා.

ඉසෙඩ් ලකුණු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ලැබුනු ක්‍රමවේදය සම්බන්ධ විරෝධතා වලින් පසුව අධිකරණ නියෝගයක් හරහා ලැබුනේ ක්‍රියාත්මක කිරීමේදී බැරෑරුම් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙන විසඳුමක්. ඇත්තෙන්ම මේ ඉසෙඩ් ලකුණු ප්‍රශ්නයට නම් සාධාරණ නිවැරදි විසඳුම කියල එකක් නැහැ. ඒ කියන්නෙ ඉසෙඩ් ලකුණු අනුව සරසවි ප්‍රවේශය තීරණය කිරීමම සර්ව සාධාරණ නැහැ. ඒ වුනත්, ලංකාවේ තිබෙන සම්පත් ප්‍රමාණය අනුව, ඒ කියන්නෙ සරසවි අධ්‍යාපනය ලබා දීමට තියෙන සීමිත පහසුකම් අනුව, සීමිත සංඛ්‍යාවක් පමණක් සරසවි අධ්‍යාපනය සඳහා තෝරාගැනීමටයි මේ සියළු දහංගැට දමනු ලබන්නේ.

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්තරේ සම්බන්ධ ගැටළුවට ආණ්ඩුව අපූරු උත්තරයක් දුන්නා. ඒ තමයි, අදාළ ප්‍රශ්න දහ නමයට උත්තරය නොබලාම ලකුණු දීම. මේ හේතුව නිසා, සමහර අයට ලැබුනා ලකුණු දහ නමයක් "පින් ලකුණු" හැටියට. ආරංචි හැටියට දෙවැනි ප්‍රශ්න පත්තරේට ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අය, කොටින්ම විද්‍යාව කියන විෂයය සම්බන්ධයෙන් මොන මළදානයක්වත් දන්නෙ නැති අය, විභාගයේදී සමත් අය බවට පත් වෙලා තිබෙනවා. කොහොම වුනත් මෙතනදි සරසවියේ ඉඩකඩ වගේ විද්‍යා පන්ති වල ඉඩකඩ සම්බන්ධයෙන් අති දරුණු සීමාවක් නැති නිසා ලොකු ගැටළුවක් වුනේ නැහැ, නරක පූර්වාදර්ශයක් හැරුණාම.

අන්තිමේදී නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් ලැබුනෙත් සමාන උත්තරයක්. ඒ කියන්නේ ඇතුළත් කරගන්න සංඛ්‍යාව වැඩි කිරීමෙන්.

ඉතින් මේ අලකලංචි නිසා, විභාග දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු ගැන තිබුනු ජනතා විශ්වාසය තරමක් පළුදු වෙලා තියෙන බවයි පෙනෙන්න තියෙන්නේ. ඒක ඉතින් කාටත් තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. ‍කොහොම හරි 2012 උසස් පෙළ ප්‍රතිපල වලත් වැරැද්දක් තියෙන බවට කසු කුසුවක් පැතිරුනා. ප්‍රශ්නය වෙලා තිබුනේ "ඒ තුනක් තිබුනට රෑන්ක් එක පහළ", "ඒ තුනක් තියෙන දරුවට වඩා ඒ දෙකයි බී එකක් තිය‍න දරුවගෙ රෑන්ක් එක ඉහළයි" වගේ කතන්දර කීපයක්.

ඊයේ හැන්දෑවෙ හයයි හතළිස් පහට විතර මොකක්දෝ රේඩියෝ චැනල් එකක ප්‍රචාරය වුනා වැඩසටහනක් මේ උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන "හා හූව" ගැන. මෙතනදි එක්තරා ටියුෂන් මාස්ටර් කෙනෙක් කියා හඳුන්වාගත් අයෙක් කිවුවේ. මේ වර විභාගය සඳහා ලබාදුන් එක් ප්‍රශ්න පත්‍රයක් ඉතා පහසුවෙන් පිළිතුරු ලිවිය හැකි එකක් වූ නිසා, බොහෝ දෙනෙකු ඉහළ ලකුණු ලබාගන ඇති බවත් ඒ හැරෙන්නට වෙනත් ගැටළුවක් නැති බවත්. 

විභාග කොමසාරිස්තුමා ස්ථාවර හඬකින් නිශ්චිතවම කියා සිටියා ප්‍රතිපල වල කිසිම වැරැද්දක් නැති බව.
විභාග කොමසාරිස් තුමාගේ මතය වුනේ විවිධ විෂය ධාරාවන් මගින් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ ඉසෙඩ් ලකුණු සන්සන්දනය කළ නොහැකි බව සහ දැන් ඇතිවෙලා තිබෙන කතිකාවත එවැනි උදාහරණ දෙස විමසිලිමත් නොවී බැලීම නිසා ඇති වූ එකක් බවයි. ඒ කියන්නේ කලා විෂය ධාරාවේ ලකුණු සමග වෙනත් විෂය ධාරාවන්ගෙ ලකුණු සන්සන්දනය නොකළ යුතු බවයි.
 
මේ අතරවාරයේදී තවත් එක් පුද්ගලයෙක් කතා කරල කීවේ ඒ තුනක් ලබාගෙනත් විශ්ව විද්‍යාලයට යාමට නොලැබීම විශාල අසාධාරණයක් බවත් එවැනි අසාධාරණකම් සිදුවන විටදී තරුණයන් කළකිරෙන බවත්. කිසිම වග විභාගයක් නැතිවම ඔහු තදින් කියා සිටියා තරුණයන් කැරළිකාරිත්වයට යොමු වීමට ඉඩ ඇති බව.

මෙතන තියන අසාධාරණය කුමක්දැයි පැහැදිළි නොකරම ඔහු කළ ප්‍රකාශය බොහෝ දෙනකු නොමග යවන සුළුයි. මේ ප්‍රකාශය අසා සිටීමේදී මගේ හිතට නැගුනේ මෑත කාලයේදී ඇතිවන්නට පටන්ගෙන තිබෙන සමාජමය කම්පනයන් බොහොමයක් එවැනි "අමූලික" කතන්දර හරහා උත්පාදනය වුනු ඒවා නොවේද යන්නයි.

3 comments:

  1. හයියො පවු රටේ අද්‍යාපනයට..

    ReplyDelete
  2. 3A අරගත්තු එකාට වඩා 2A 1B ගත්තු එකාගෙ රෑන්ක් එක උඩ කියල කෑගහන එක නම් බොරු වැඩක්... හැම විෂයටම 80 ගානෙ අරගත්තු 3A තියෙන එකාට වඩා 90 ගානෙ 2A අරන් B එකට ලකුණු 70 තියෙන එකාගෙ රෑන්ක් එක ඉහල යන්න ඕනෙ... ඒක තමයි Z ස්කෝර් එකෙන් කරන්නෙ...

    ගොඩක් මිනිස්සු කෑ ගහන්නෙ හරි හැටි දේවල් තේරුම් නොගෙන... විභාගයේ අක්‍රමිකතා වෙන්න ඇති... ඒ ඔක්කොම z ස්කෝර් එක පිටින් යවන එක වැරදියි...

    තවත් දෙයක්... 3A අරගෙනත් කැම්පස් යන්න බැහැ කියන තර්කය... ඒක හරි, ලමුන්ගේ බුද්ධි මට්ටම වැඩි වුනා කියල ඊට අදාලව ලංකාවෙ වීශ්ව විද්‍යාල වලට ලමයි ගන්න එක වැඩි කරල නැහැ, AL කරපු ලමයින්ගෙන් 2% විතරනෙ කැම්පස් යන්නෙ... හැබැයි ඒක විභාගෙ වැරැද්දක් නෙවෙයි, අවශ්‍ය තරමට ප්‍රතිපාදන නැති එකේ වැරැද්ද... ඉස්සර තමයි 3A ගත්තොත් කැමති කෝස් එක කරන්න කැම්පස් යන්න පුලුවන් (3A ගත්ත කියන්නෙ අර 2%ට අහු වෙනවා)... දැන් ලමයින්ගේ බුද්ධි මට්ටම වැඩි නිසා දැන් ටාගට් එක වෙන්න ඕනෙ අර මුල 2%ට අහුවෙන විදිහට රිසල්ට්ස් ගන්නව කියන එක... 3A කියන ටාගට් එක පරණ වැඩියි...

    මෙහෙම කිව්වෙ, ඔය කතාවෙ මිනිස්සු එච්චර දකින්නෙ නැති පැත්ත පෙන්නන්න මිසක්, අධ්‍යාපන අමාත්‍යංශයේ දුර්වලතා වහන්න නෙවෙයි... :)

    ReplyDelete
    Replies
    1. අහවලාට ස්තුතියි, මට පැහැදිළි කරන්න ඕනැ වෙලා තිබුනු දේ ලස්සනට පැහැදිළි කළාට. මට මතක් වෙන්නේම කෙට එළදෙනදිව්ව කතාවයි.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.