2013-01-09

කුරුතේරිස් මුදලාලිගෙ ගූ ගල් වාර්තාව



 
 


කුරුතේරිස් මුදලාලි හෝටලයක් දැම්මෙ සිල්ලර කඩේ ආදායමට වඩා දහ ගුණයක විතර ආදායමක් හෝටලේකින් හොයන්න පුළුවන් කියල මිනිහගෙ කූඨ මොලේට වැටහුනු නිසයි. පාර කාපට් කළාට පස්සෙ වාහන යනව වැඩියි. මෙච්චරකල් සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් පාවිච්චි කළේ ග - - - පැත්තෙන් යන පාරයි. ඒත් දැන් දැන් කවුරුත් පුරුදු වෙලා ඉන්නෙ මේ අළුතෙන් කාපට් කරපු පාරෙ යන්න. වාහන තදබදය අඩු වීමත් ඒකට ලොකු රුකුළක් වුනා. ඒත් එක්කම දැන් දැන් කබානා සහිත ප - - - වෙරළ තීරයේ තහනම් සුව විඳිමින් දවසක් ගත කරන්නට යන තරුණ ජෝඩු වලින් සමන්විත නඩ මුදලාලිගෙ එක ඉලක්කයක් වෙන්න ඇති.

හෝටලේ කරගෙන යන අතරෙදි මුදලාලිට තේරුණා පොඩි පහේ ගිමන් හලක් හැදුවනම් හෝටලේට මිනිස්සු ආකර්ෂණය වෙනව වැඩි වෙයි කියල. දුර ගමනක් යන මගියෙක් හෝටලේකට යන්නෙ කෑම කන්න තේ එකක් බොන්න විතරක් නෙවෙයි. ගමනෙ මහන්සිය නිවෙන්න පොඩ්ඩක් නැවතිලා ඉඳල කාරිය යන්න කැමතියි හදිසි ගමන් බිමන් යන උදවිය හැරුණම අනිත් අය.

මුදලාලිගෙ ගිමන් හලේ තරමක් ලොකු හෝල් දෙකක් සහ කුඩා කාමර හයක් හැදුවා. ලොකු හෝල් දෙක වන්දනා නඩ වලට. පොඩි කාමර වෙන් කළේ පවුලක් වශයෙන් මොන්ටෙරෝ එකක කාරිය යන මහත්තුරුන්ටයි. ඒ කාමර වල කණ්ණාඩි මේසයක් සහ ඩබල් බෙඩ් එකක් තියන්න මුදලාලි අමතක කළේ නෑ. ඇයි එතකොට ඇටෑච් බාත්රූම් එකත් අත්‍යවශ්‍යම අංගයක්නෙ.

මේ පහසුකම් ඔක්කොම නොමිලේ. මුදලාලි දන්නවා මේ කාමරයකට කුළියක් අය කරනවට වඩා ඒකෙන් ලැබෙන ජනප්‍රියත්වය හෝටලේ ආදායමට බලපාන බව. ඉතින්මේ පාරෙ තියන අනිත් හෝටල් වල වාහන දෙකකට වඩා රැ‍ඳෙන්නෙ නැති වුනත් කුරුතේරිස් මුදලාලිගෙ හෝටලේ ළඟ හැම වෙලාවෙම වාහන හත අටක් නැවතිලා.

කෝකටත් කියල මේ ගිමන්හල බලා කියා ගන්න ගෝලයෙක් දාන්න මුදලාලි අමතක කළේ නෑ.මේ ගෝලයාට විශේෂ රාජකාරියක් පැවරුනා. ඒක තමයි, කාමරයේ නවාතැන් ගන්න අයගෙ විස්තර වාර්තා කරගැනීම. හැබැයි අමුත්තන්ගේ නම අහන්නෙ නෑ. අහන්නෙ ගම විතරයි. ඊට අමතරව යන ගමන ගැනත් දළ වශයෙන් තොරතුරු අහගත්තා.

ඉතින් ඔහොම වැඩකටයුතු කෙරීගෙන යද්දි තමයි මුදලාලිට විරුද්ධව පොඩි පොඩි විරෝධතා මතු වෙන්න පටන් ගත්තෙ. පටන් ගත්ත කිව්වට මුල් කාලෙ ඉඳන්ම මුදලාලිටත් මුදලාලිගේ පියතුමා වූ ලොකු මුදලාලිටත් ගමේ එවුන් එක එක කතන්දර කිව්ව තමයි. ඒත් මුදලාලිගෙ බල පරාක්‍රමය හමුවේ ඒ කතන්දර ඔක්කොම නිකම් හෑලි බවට පත්වෙලා තිබුනෙ. ඇත්තටම ඒ කතන්දර වල සත්‍යතාවන් නොතිබුනා නෙවෙයි. විශේෂයෙන්ම චෝදනා එල්ල වුනේ අනුන්ගෙ ඉඩම් කඩම්වල දේපල පැහැරගැනීම් ගැනයි.

ලොකු මුදලාලි ඇහැ ගහගෙන ඉන්න සරුසාර ඉඩම් කීපයක්ම දෙ - - - පලාතෙ තියෙනවා. ඒව අත්පත් කරගන්න කවුරුත් නොහිතන විදිහේ ප්ලෑන් ගහන එක මුදලාලිගෙ සහජ දක්ෂතාවක් බව බොහෝ දෙනෙකු දැනගෙන හිටියත් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඉදිරිපත් වුනේ කීපදෙනකු විතරයි.

ඒකට හේතු දෙකක් තිබුනා. එකක්, මුදලාලිගේ කුප්‍රකට පළිගැනීම්. අනිත් එක, සමහර අය මුදලාලි නිසා වක්‍රාකාරයෙන් ලබාගන්නා විවිධාකාර පළ ප්‍රයෝජන. එහෙම අය නිතරම මුදලාලිට ආරෝපණය කළේ අනේපිඬු සිටුතුමාගෙ වගේ චරිතයක්. ලොකු මුදලාලි විවේචනය කරන අයට කුරුතේරිස් මුදලාලිගෙන් නොමිලේ ලැබෙන නවාතැන් පහසුකම් අකැප බව තමයි මේ වන්දිභට්ටයන්ගෙ ප්‍රධාන තර්කය වුනේ.

ඉතින් ඔන්න හදිසියෙම කුරුතේරිස් මුදලාලි වාර්තාවක් එළිදැක්වුවා.

ඒ වාර්තාවෙන් කියවුනේ දෙ - - - පළාතෙ අය වැඩි වශයෙන්ම ජෝඩු වශයෙන් ප - - - වෙරළ තීරයට යන බවයි.

2013-01-03

සිංහල ජාතිය ලොව බැබැලේ



ලෝකයෙන් උතුම්ම ජාතිය සිංහල ජාතියදැයි කියා කීමට මා ඉඳුරාම දන්නේ නැති නමුත් සිංහල ජාතිය උතුම් ජාතියක් බව නොපැකිළවම කීමට හැකිය. මා එසේ කියන්නේ වෙන කිසිවක් නිසා නොව සිංහලයා අතීතයේ පටන්ම නිපදවාගෙන ඇති නොයෙකුත් දේ, උපකරණ, ක්‍රමවේද, යෙදවුම්, භාෂාව, උපමා උපහැරණ යනාදිය නිසාවෙනි.

රයිට් සහෝදරයන් ගුවන් යානය නිපදවීමට රාවණයන්ගෙන් ඉගෙන ගත්තාදැයි කියන්නට මා දන්නේ නැත. සිංහලයා අතීතයේ ගුවන් යානා නිපදවා නැති නමුත් සුඛිත මුදිත ජීවිතයක් ගත කරන්නටත්, අනේක විධ උවදුරු වලින් ගැලවෙන්නටත් අවශ්‍ය දෑ ඇති පමණ නිපදවාගෙන තිබේ.
මා දන්නා තරමින්, වැව, බිසෝ කොටුව ඇතුළත්ව ගොවිතැන සාර්ථක කරගන්නට අවශ්‍ය බොහෝ දේ සිංහලයා විසින් නිපදවාගෙන තිබී ඇත. ඒ අතීතයේදී අද තාක්ෂණික වශයෙන් දියුණුවට පත් වී ඇතැයි කියැවෙන බොහෝ ජාතීන්ට වඩා සැපවත් ජීවිතයක් ගත කරන්නටත් සිංහලයාට හැකියාව තිබී ඇත.

ඒ සියල්ල එසේ වුවත්, අතීත ශ්‍රී විභූතිය ගැන කියමින් පාරම් දෙසෑබෑමට වඩා යමක් අද සිංහලයා අතින් ඉටු වන්නේදැයි කල්පනාකර බැලීම වැදගත්ය. මට පෙනෙන ලෙසනම්, “දුවන්නන් වාලේ කෙට එළදෙනත් දිවුවා” කියා අතීතයේදී අප විසින් සමච්චලයෙන් බැහැර කළ ක්‍රියාව අද අපි බහුල වශයෙන් කරමින් සිටින්නෙමු. මෙයට පෙර කිහිප වරකදීම මා ලියා ඇති ඇතැම් කාරණාවන් අනුවද, අපි ඉතා ඉක්මණින් කළබලයට පත් වෙන්නෝ වෙමු. කවරකු විසින් හෝ ඉස්මතු කරන මෝඩ අදහසක් විචාරයකින් තොරව පිළිගන්නා අපි ක්‍ෂණිකවම “කෙට එළදෙනුන්” බවට පත් වෙමු. මෑත අතීතයේදී අප එසේ කෙට එළදෙනුන් වූ වාර ගණන අතළොස්සක් නොවේ. ආසන්නතම උදාහරණ දෙකක් නම්, මායා කැලැන්ඩරයේ දක්වා ඇතැයි කවුරුන්දෝ කියූ ඊනියා ලෝක විනාශයත්, එවැනිම මනඃකල්පිතයක් වූ පෝය නිවාඩුව කප්පාදු කිරීමත් ය.

ලංකාවේ නිල වශයෙන් පිළිගනු ලබන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන රජයේ නිවාඩු දින ඇතුළත් කැළැන්ඩරයයි. මෙම වර්ෂය සඳහා වූ කැලැන්ඩරයේ “පෝය නිවාඩුව” හෙවත් පුර පසොළොස්වක පොහොය යෙදෙන දිනයන් “වෙළඳ නිවාඩු” දිනයන් ලෙස සටහන් කර නැති බවත්, මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ අන්‍යාගමික බලපෑම නිසා ඇති වූ දෙයක් බවත්, එම නිසා අන්‍යාගමික මතයන්ට ගරු කරන ආණ්ඩුව පළවාහැරිය යුතු බවත් කියමින් තප්පුලන්නට පටන් ගත් කිසිවකු 2012 කැලැන්ඩරය හෝ ඉන් පෙර වර්ෂයන් සඳහා වූ කැලැන්ඩර් දෙස බැලුවේ නම් මෙවැනි විකාර අදහසක් ජනනය වන්නේ නැත. (මෙහිදී, ආණ්ඩුව පළවාහැරිය යුතු වන්නා වූ වෙනත් හේතු නැතැයි මා කිසිසේත්ම අදහස් කරන්නේ නැත.)

මෙසේ වන්නේ ඇයි?
මෙය අපේ ජාතිය අරක් ගෙන ඇති හීනමානයක ප්‍රතිපලයක්ද?
තමන් අන් අයට වඩා උසස් කියා සිතීම හීනමානයේ ලක්ෂණයක්ද?
මේ හැර අපට වරින් වර හිතට නැගෙන තවත් ප්‍රශ්න කීපයක් නම්,
අපේ රටේ ආණ්ඩු පත් කරන්නේ අපිමද?
එතකොට එතනදි “අපි” කියන්නේ කවුද?
මුළු මහත් ලෝකයම අපට එරෙහිව නැගී සිටිනවාද?
සිංහල ජාතිය වඳ කිරීමට හම්බයන් අපට ටොපි දෙනවාද?
ඉස්ලාම් කැලැන්ඩරවල සිංහල අකුරු නැත්තේ ඇයි?

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී අධිකරණ ඇමතිවරයා සිය ඥාතීන්ට වරප්‍රසාද ලබා දී ඇති බව හෙළි වී තිබේ. මෙයට පෙර සිටි ඇමතිවරු එවැන්නක් කර තිබේදැයි සොයාබලන්නට කාටවත් නොසිතුනේ එසේ කර තිබුනානම් ඒ ඥාතීන් අනෙක් අපේක්ෂකයන් මෙන්ම සිංහල නම් සහිත වූවන් බැවින් බැලූ බැල්මට අක්‍රමිකතාවක් දකින්නට නොලැබෙන නිසා විය හැකිය. වර්තමාන අධිකරණ ඇමතිවරයාගේ ඥාතීන් හා හිතවතුන් මොහොමඩ්ලා මරික්කාර්ලා නිසා වැඩේ මාට්ටු වී ඇත.

මේ සිරි ලංකාව අපට අයිතියැයි අපි සිතාගෙන සිටිමු. එය අපට අහිමි වන්නට යතැයි අපි බිය වී සිටිමු. එසේ වුවත්, අප බොහෝ දෙනකු ලංකාවට අයිතිවාසිකම් කියන්නේ රේල්වේ රිසවේෂන් එකක ගෙයක් හදාගෙන එයට අයිතිවාසිකම් කියන්නාක් මෙන්මය. රිසවේෂන් එකේ කාලයක සිට පදිංචි වී සිටින අප එය අපේයැයි සිතාගෙන සිටිමු. අපෙන් දුම්රිය ගමනාගමන ක්‍රියාවලියට බාධාවක් නැති නිසා අපට රිසවේෂන් එකේ සිටීමට බාධාවක් ඇති වන්නේ නැත. යම් දිනයක ‍රිසවේෂන් එක දුම්රිය අධිකාරියේ වැඩකට යොදවාගැනීමට සිදුවුවහොත් අපේ “අයිතිවාසිකම” ගැන මතකයට නැගෙනු ඇත.

පිටරටක ජීවත් වන විටදී අපට අපේ රටේ මෙන් පාට් දැමීමට නොලැබේ. අහිංසක ලෙස ජීවත් විය යුතු වේ. කෙතරම් අහිංසක ලෙස ජීවත් වුවද, ලෙඩක් වැටෙන්නට බැරිම කමක් නැත. එහෙම ලෙඩක් වැටුනොත් අප වෙනුවෙන් හඬක් නගන්නට හැකි එකෙක් හොයාගැනීම අසීරුය. මේ නිසා, අපි අපේ රටේ ජීවත් වන්නට කැමැත්තෙන් සිටිමු.

වැඩි දෙනාගේ කැමැත්ත අනුව රට පාලනය කිරී‍ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්යැයි අපි සිතාගෙන සිටිමු. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දක්වන්නේ ජනතාව විසින් ජනතාව උදෙසා ගෙන යන පාලනයක් කියාය. කොමියුනිස්ට්වාදය ගැන හෝ සමාජවාදය ගැන හෝ අපි හරිහැටි දන්නේ නැති නමුත් අපි ඒ දෙකට ම අකමැති වෙමු. ඒ දෙකම එකක් යැයි සිතා සිටින අපි, අපේ කැමැත්තට අනුව අනිත් අයට වඩා වෙනස් ආකාරයකට ජීවත් වීමට කොමියුනිස්ට්වාදය අනුව ඉඩ නොලැබෙන බව සිතා එයට විරුද්ධ වී සිටිමු. ඊටත් වඩා හාස්‍යජනක කාරණය නම් පැරණි සෝවියට් දේශය කොමියුනිස්ට්වාදී පාලනයක් තිබුනු රටක් යැයි අප සිතාගෙන සිටීමයි. එපමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පක්ෂයකැයි කියාත් අපි විශ්වාස කරගෙන සිටිමු.

වඩාත්ම ලොකු විහිළුව වන්නේ අපේ රටේ බහුතරයක් අය තමන් සිංහල බෞද්ධයන් යැයි සිතාගෙන සිටීමය.