2016-08-20

නිවේදක තෝරයි - සිංදු තේරීම

පහුගිය දවස්වල සිංහල බ්ලොග් අවකාශයට අළුත්ම ලෙඩක් බෝ වෙලා තිබුනු බව දැක්කේ අදයි. ඉයන්ගේ අභියෝගය මත අපේ බ්ලොග්කරුවන් සහ බ්ලොග්කාරියන් කීප දෙනෙක්ම සිංදු තෝරලා තිබුනා. දැන් මේ වෙනකොට අභියෝගය කවුරුන් හරි ජය ගන්න ඇති.

ඒත් ශණි දැකපු කාරණාව තමයි, ඒ හැම කෙනෙක්ම මේ ගී තේරීම කරල තියෙන්නෙ තමන්ට ඒ මොහොතේ මතකයට ආපු අනුපිළිවෙල අනුව බව. මේක කිසිම ගැම්මක් නැති පිස්සු විකාරයක්දෝ කියලයි ශණීට හිතුනෙ. මේක දැකල ශණිට මතක් වුනේ ගුවන් විදුලියේ නිවේදක තෝරයි ගී තීරය. දැන් ඒ වගේ වැඩසටහනක් තියනවද කියන්න දන්නෙ නෑ. දැන් අහන්නෙ චැනල් නෙ. ශණිලා තරුණ කාලයේ සහ ළමා කාලයේ ලංකාවෙ තිබුනෙ ගුවන් විදුලි ආයතන එකයි. ඒක තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ඒකෙ තිබුනා සිංහල, ඉංගිසි සහ දෙමළ භාෂා තුනට චැනල් දෙක ගණනෙ. මුල්ම කාලයේ මේවා වෙළඳ සේවය සහ ස්වදේශීය සේවය කියල තමයි නම් කරල තිබුනෙ. පසු කාලයක පළමුවැනි සේවය සහ දෙවැනි සේවය වශයෙන් නම් වෙනස් කරල තිබිල දැන් නැවතත් මුල් ක්‍රමයටම ඇවිත් වගෙයි. දෙවැනි සේවය කිව්වෙ වෙළඳ සේවයටයි. වෙළඳ දැන්වීම් එහෙම ප්‍රචාරය වුනේ ඒකෙ. පළමුවැනි සේවය නොහොත් ස්වදේශීය සේවය වෙන් වෙලා තිබුනෙ ධර්ම දේශනා, අධ්‍යාපනික වැඩසටහන්, ළමා වැඩසටහන්, විවිධාකාර සාකච්ඡා, ශ්‍රාස්ත්‍රීය සාකච්ඡා, ශ්‍රාස්ත්‍රීය සංගීතය, සර්ව රාත්‍රික පිරිත් (පෝය දාට) වගේ වැඩසටහන් වලට. වෙළඳ සේවයේ තමයි ඉතින් චිත්‍රපටිවල සිංදු, චිත්‍රපටි ප්‍රචාරක වැඩසටහන්, මුවන්පැළෑස්ස වගේ නාට්‍ය, හින්දි සිංදු වගේ වැඩසටහන් තිබුනෙ. ඔය අතරෙ තිබුන එකක් තමයි නිවේදක තෝරයි ගී තීරය. ඒක පැය භාගයක වැඩසටහනක්. කවුරු හරි නිවේදක තුමෙක් ඇවිදින් එයාට මනාම සිංදු 6ක් විතර තෝරගෙන ප්‍රචාරය කරනවා. පැය භාගෙට ඊට වැඩිය දාන්න අමාරුයි වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නත් එපායැ.

මේ නිවේදක තෝරයි වැඩසටහනේ තිබුනු එකම ප්‍රයෝජනය තමයි එක් එක් නිවේදකයා කැමති ගීත වර්ගය අඳුනාගන්න පුළුවන් වුනොත් අපි කැමති ජාතියේ සිංදු තෝරන නිවේදකයාගේ ගී තීරයට සවන් දෙන්න පුළුවන් වීම. ශණි ඒ දවස්වල ආස කළා ජයන්ත පීරිස් නිවේදක තැන තෝරපු සිංදු ටික අහන්න. පස්සෙ කාලේ ඒකත් එපා වුනා මොකද එකම සිංදු සෙට් එක නිසා. එයා තෝරපු සිංදු සෙට් එකක තිබුනා. පෙම් කැකුළ පිපී එන විට මහදේ එය පරව ගියා, සාගර මත සඳ කිරණ වැටී, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මගේය ප්‍රේම මාලිනී ඔන්න ඔය වගේ සිංදු.

මීට අමතරව චිත්‍රපටි ගීත වැඩසටහන්, යුග ගී වැඩසටහන්, නාට්‍ය ගී වැඩසටහන්, විරිදු වැඩසටහන්, කණ්ඩායම් ගී වැඩසටහන් එහෙම තිබුනා. උදේ පන්සිල් සහ සෙත්පිරිත් කියල ඊට පස්සෙ යනවා අරුණ කිරණ කියල වැඩසටහනක්. එතනින් පස්සෙ උදෑසන ප්‍රවෘත්ති. ඉන් පස්සේ අසන්නන්ගේ ඉල්ලීම්. ගම්පහ රේඛාවෝ ඊශ්වරී, යටියන්තොට බොනිපස් පෙරේරා වගේ අය පෝස්ට් කාඩ්වලින් සිංදු ඉල්ලලා යවනවලු (ලුයන්නක් දැම්මෙ රේඩියෝ එකෙන් අහපු හැටියට නිසයි. සමහරු කිව්වෙ “ඔය බොරුවට නම් කියවන්නෙ, සිංදු ඉල්ලල පෝස්ට්කාඩ් දාන අයත් ඉන්නවයෑ“ කියල.) හැබැයි ඉල්ලපු සිංදුවම දෙනවා. අනිත් එක ළඟ අහළ පහළ ඉන්නෙ කවුද කියල අහන්නෙ නෑ. අහල වැඩක් නෑ උත්තර දෙන්න වෙන්නෙ දවස් දෙකකට පස්සේ තවත් පෝස්ට් කාඩ් එකකින්නෙ.

මේ අනම් මනම් මතක් වුනේ ඉතින් ඉයන්ගෙ අභියෝගය දැක්කට පස්සෙ. ශණිටනම් ඒක අභියෝගයක් කියල කොහෙත්ම හිතෙන්නෙ නෑ. අඩු වශයෙන් ගීතයෙන් ගීතය වගේ අකුරු ගලපලා කියන්න කියලවත් කිව්වනම් පොඩි චැලේන්ජ් එකක් තියනව.

මෙන්න ශණි කැමති ගීත සෙට් එකක්. හැබැයි කැමැතිම ගීත නෙවෙයි. එහෙම ජාතියක් ශණිට නෑ, සීතල වෙලාවට කැමති ගීත නිදිමත වෙලාවට හරියන්නෙ නෑ. නිදි මරාගෙන වැඩක් කරන වෙලාවට ඒ දෙකම හරියන්නෙ නෑ. දෙකක් දාගත්ත වෙලාවට ඕනැ කරන්නෙ වෙනම සිංදු සෙට් එකක්.

1. මගේ සිහින මැදුරේ - ශම්මිකා අමානි (සමනල සංධ්වනිය 2014)
මේක සමනල සංධ්වනිය චිත්‍රපටයේ ගීතයක්. ගීතය නිර්මාණය කරල තියෙන්නෙ දක්ෂ පාසැල් ශිෂ්‍යයෙක්ගෙ නිර්මාණයක් විදිහට. ඒ ගතිය මේ සිංදුවෙ එහෙම පිටින් ම තියනව. මියුසික් ඔක්කොම ඉස්කෝලෙ තියන ඉන්ස්ට්‍රැමන්ට් වලින්. පද රචනය අති සාර්ථක නෑ, බොළඳ රචනාවකුත් නෙවෙයි. සංගීත සංයෝජනය සහ තනු නිර්මාණය වයස දාසයේ කොල්ලෙකුගෙ තමයි. එතකොට ගායනය? ඒක ඉතින් අහළම බලන්න.


මගේ සිහින මැදුරේ...

විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ

පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් ‍පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ

දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම්

මගේ සිහින මැදුරේ...

පද මාලව චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය දර්ශන රුවන් දිසානායක



චිත්‍රපට ගීතයක් සාර්ථක වෙන්නෙ ඒකෙ සියක් කෝටියක් වැඩ දාල තිබුනහම නෙවෙයි, අවස්ථාවට ගැලපීම අනුවයි. මේ වගේ තව එක අවස්ථාවක් ශණිට මතක් වෙනව. මුල් කාලයේ ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වුනා “රේඛා“ කියල ටෙලි නාට්‍යයක්. චන්ද්‍ර ලේඛා, ලක්ෂ්මන් විජේසේකර, දේවිකා මිහිරාණි එහෙම හිටියෙ. මේ ටෙලිනාට්‍යයෙ තියෙනවා ඉස්කෝලෙක පිළිගැනීමේ ගීතයක් (යූ ටියුබ් එකේවත් නෙට් එකේ කොහේවත් හොයාගන්න බැරි වුනා.).

2. පෙම් සිහින ලෝකේ මායා - රුක්මණී දේවී සහ මොහිදීන් බෙග් (මතභේදය 1955)
ශණිට පිස්සු කියල හිතෙනව ඇති නේද? 2014 සිංදුවක් එක්කල 1955 සිංදුවක් මතක් කරන්නෙ.

මේ සිංදු තෝරලා තියෙන්නෙ කැමතිම පිළිවෙලකට නෙවෙයි කියල මුලින්ම කිව්වනෙ. මේ ගීතවල යම් සුවිශේෂී ලක්ෂණයක් නිසා තමයි ශණිගෙ හිතට මේ ගීත කාවැදිල තියෙන්නෙ. මේ සිංදුවෙ තනුව හින්දි චිත්‍රපටි ගීතයකින් කොපි කරපු එකක්. මේකෙ විශේෂත්වය තමයි කටහඬ සංයෝජනය. යුග ගීතයක් කියන්නෙ මේ වගේ ගීතයකට කියල උදාහරණයකට ගන්න පුළුවන් මේ ගීතය. කටහඬවල් දෙක එකක් විදිහට ඇහෙන්න ගායනා කරන අවස්ථාවක්.


පෙම් සීන ලෝකේ මායා - සංසාරයේහි පාවේ 
සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

දෙදෙනාගේ ආලය පාන සේමා - බැබළේවා ලෝකේ.. 
සේමා බැබළේවා ලෝකේ 
ආකාසේ පොළොවේ හා ජලේ මේ ප්‍රීති ගීත පාවේ.. 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

සන්ධ්‍යාවේ පරවන මලකී - මේ ජීවිතේ දඟකාරී
ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ 
මේ ශේෂ වූ වෙලාවේ...
මේ ශේෂ වූ වෙලාවේ 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ... 

භවයේ සරනා හැම ආත්මෙ දෙදෙනා - පණ සේ වාසේ වී 
දෙදෙනා පණ සේ වාසේ වී 
කිසි දා දුක ශෝක නොවෙමින
ලැබෙවාය ප්‍රීතිභාවේ... 

සැනසීම ප්‍රේමේ සැපතා - නැතුවා ද තාම ආවේ.. 

ගායනය: මොහිදීන් බෙග් - රුක්මණි දේවි
පදවැල: ඒ. ජේ. ද සොයිසා

සංගීතය: ආර්. ඒ. චන්ද්‍රසේන

හ්ම්, අදට ඇති, ආයේ හමුවෙමු තව මාස .........කින්.

2 comments:

  1. මම නම් හිතට ආව අනුපිලිවලට වඩා මම නිතර අහන සින්දු සෙට් එකක් තමා දැම්මේ. මේ සින්දු දෙකටත් මම කැමතියි.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.