2013-04-02

ලිපෙන් කබලට

දැනට අවුරුදු තිහකට විතර ඉස්සර, ඒ කියන්නෙ අසූව දශකයේ මුල් භාගයේදී, දිවයින පත්තරයේ පළවුනා එක්තරා උපමා කතාවක්. මගේ මතකයේ හැටියට මේක පළ වුනේ 83ට ඉස්සෙල්ලා. මේ උපමා කථාව ජනකථාවක්ද පරිවර්තනයක්ද කියන එකවත් ඒක පත්තරේට දැම්මෙ කවුද කියන එකවත් දැන් මගේ මතකයේ නැති වුනත් ඒ කතාවේ සාරාංශයක් මතකයේ තියෙනව.

එකෝමත් එක කාලෙක, එකෝමත් එක ගමක ජීවත් වුනු ‍ගොවියෙකුට සිතෙනවා තමන් ඉතා කරදරකාරී ජීවිතයක් ගෙවන බව. ඔහුට අපහසුතා රාශියක්. අවශ්‍ය තරම් අස්වැන්න ලැබෙන්නෙ නෑ, බිරිඳට - දරුවන්ට අසනීප, මේ වගේ ප්‍රශ්න.

මෙහෙම ඉන්න අතරවාරයේ දවසක් ගොවියාට කැළෑවේ ඉන්න තාපසවරයෙක් දකින්න ලැබෙනවා. තාපසයාට තමන් අතේ තිබුනු බත් මුල පූජා කරන ගොවියා අනතුරුව තාපසයාගෙන් විමසනවා තමන්ට ‍දැනට පවතින කරදර වලින් මිදෙන මගක්. මුලින්ම තාපසයා කරන්නේ ගොවියාගේ සියළු තොරතුරු අසා දැන ගැනීම. අවසානයේ ගොවියාට උපදෙස් ලැබෙනවා, ගොවියා ඇති කරමින් සිටින එළුවා රාත්‍රී කාලයේදී ගෙයින් පිටත නොතබා ගෙතුළට වැද්දගන්නා ලෙසට.‍‍

එල්ලෙන්න වැලක් නැති මනුස්සයෙක් පිදුරු ගහක එල්ලෙනව වගේ ගොවියා ඒ තාපසයාගෙ උපදේශය එයාකාරයෙන්ම පිළිපදිනවා.

ප්‍රතිපලය වුනේ, ආයෙ අහන්න දෙයක් තියනවයැ, ගොවියා කබලෙන් ලිපට වැටීමයි. තිබුනු කරදර මදිවාට දැන් එළුවා ගේ ඇතුළෙ තියාගන ඉන්න එක මහ වදයක්. බල්ලෙක් පූසෙක් වගේද මේකා එළුවෙක්. ගේ ඇතුළෙ පොත් පත්තර වගේ දේවල්නම් තියෙන්න නැතුව ඇති, ඒ කාලෙ. නැත්නම් ඡන්ද කාලෙට විරුද්ධ පක්ෂ වලින් නගරයේ තාප්ප වල අලවන පෝස්ටර් ඔක්කොම කන්නෙ එළුවොනෙ. ‍ගොවියාගෙ තීරණය ගැන බිරින්දෑ දක්වපු ප්‍රතිචාරය ඒ කතාවෙ සඳහන් වෙලා තිබුනෙ නෑ වගෙයි මතක. තිබුනනම් අමතක වෙන්න හේතුවක් නෑ.

අනේ ඉතින් කරදර ඉවසන්න බැරිම තැන ආයෙත් අර තාපසින්නාන්සෙ ළඟට යන ගොවියට ලැබෙන උපදෙස තමයි, එළදෙනත් ගේ ඇතුළට ගන්න කියන දේ. ඒකනම් කොහෙත්ම හරියන්නෙ නැති බව හිතුනත්, මහකැලේ තනිවම භාවනානුයෝගීව කල් ගත කරන තාපසවරයකුගේ උපදේශයක් නිකම් ම නිකම් අහක දාන්න පුළුවනියැ. තාපසවරයෙක් මේ වගේ උපදේශයක් දෙන්න මොකක් හරි බලගතු හේතුවක් තියෙන්නම ඕනැනෙ. ගෙදර උන්දෑ මොනවා කිව්වද කියල දන්නෙ නෑ මේ වෙලාවෙදි, නමුත් ගොවියා එළදෙන ගේ ඇතුළට ගන්නවා.

පහුවදා වෙනකොටම වැඩේ කිරිමෙල් බව ගොවියාට දැනුනත්, ටික දවසක් වත් බලන්නෙ නැතුව එකපාරටම තීරණයක් ගන්න එක හොඳ නැහැයි කියල හිතන ගොවියා, සතියක් ඉවසගෙන ඉන්නවා.
දවස් හතක් ඉක්මවූ ගමන්ම වහාම තාපසයා හමුවෙන්න යන ගොවියා කියා සිටින්නේ ඒ වෙනකොට තත්වය අතිශයින්ම බැරෑරුම් බවයි. මඳ වේලාවක් දෑස් පියාගෙන සිටින තාපසතුමා ඔන්න දුන්න උපදෙසක්. "දැන් එළදෙන ආපසු ගෙයින් එළියට දාන්න, මට දවස් හතකින් ඇවිත් ප්‍රතිපලය කියන්න".

දවස් හතකට පස්සෙ තාපසයා තමන් ළඟට ආපු ගොවියගෙන් අහනව තත්වය කොහොමද කියල. දැන්නම් කරදර සෑහෙන්න අඩු බවත්, දැන් තිබෙන එකම කරදරය එළුවා ගේ ඇතුළේ සිටීම බවත්, ගොවියා පැහැදිළි කරනව. තාපස තුමා මොහොම කල්පනාකාරීව ඉඳලා උපදෙස් දෙනව වහාම එළුවා ගෙදරින් ඉවත් කරන ලෙස. බොහොම සතුටින් ගෙදර යන ගොවියා, එළුව ගෙදරින් පිටට දාල බලපුවහම පුදුම සැහැල්ලුවක් දැනෙනව. දැන්නම් දෙයි‍යනේ කියල ඉන්න පුළුවනි, ගොවියට කිසිම කරදරයක් නෑ. තිබුනු එකම කරදරේ ඉවර කළානෙ.

මට මේ කතාව 2010න් විතර පස්සෙ නිතර නිතර මතක් වෙනවා.

මේක උපමා කතාවක්. හැබැයි එදා අර හාවයි ඉබ්බයි කේස් එකේදි වගේ කවුරුවත් මගෙන් අහන්න එපා  කවුද ගොවියා, කවුද එළුවා, කවුද මහින්ද, අරකද මේකද කියලනම්. මොකද මේ කතාව පත්තරේ යන්නෙත් අවුරුදු තිහකට විතර කළින් වගේම කතාව මුලින්ම ප්‍රබන්ධ වුනේ අවුරුදු දාස් ගානකට ඉස්සෙල්ල වෙන්නත් පුළුවන්නෙ.

4 comments:

  1. නෑ නෑ අහන්නෙනෑ ඒළුවා කවුද හරකා කවුද කියලා. කතාවෙ අන්තර්ගතය සහසුද්දෙන්ම තේරුනා.සමහර විට අපටත් ලගදීම ලිපෙන් කබලට යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. 2010න් පස්සෙ කාල පරිඡ්ඡේදයට කතාව නියමෙට ගැලපෙනවා.

    ReplyDelete
  2. කතාව කිව්වනම් ඉවරනේ නිකන් වැදගත් මිනිස්සුන්ට හින්ට් නොගහ..

    ReplyDelete
  3. නියමයි මචන් නියමයි...
    +++++++++++++++++++

    ReplyDelete
  4. ෆට්ට කතාව. කලින් එකට වඩා දාර්ශනිකයි සිරාවටම.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.