2012-11-03

ඩ්‍රයිවින් නොදන්න අයට - දන්න අයත් බැලුවට කමක් නෑ (17+)



ලංකාවෙ මහාමාර්ග පද්ධතිය දැන් ඉස්සරට වඩා ගොඩක් සංවර්ධනය වෙලා. තවමත් සංවර්ධනය නොවුනු මාර්ග නැතුවා නෙවෙයි. ඒත් ඒවාත් අද හෙටම වැඩි දියුණු කරන බවට තැනින් තැන පාර මැද කහපාට කතිර සළකුණු පෙන්නුම් කරනවා. මේ කතිර සළකුණු දමන්නේ ඒ පාරේ උස මට්ටම සහ දිග පළල මැනීමෙන් පස්සෙයි. ඉතින් එහෙම මැනලා ඒවා නිකන් තියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ.

මහා මාර්ග පද්ධතිය සංවර්ධනය වීමත් එක්කම අපට අහන්න ලැබෙන්නේ රථ වාහන අනතුරු ප්‍රමාණයත් වර්ධනය වෙලා තිබෙන බවයි. ඉතින් මේකට වැරදි කාරයන් වන්නේ රථ වාහන රියදුරන්ය කියන කතාව එකහෙළාම පිළිගන්න බැහැ. එහෙම වුනත්, අපේ රටේ වාහන පදවන සමහර අය රිය පැදවීම හරියාකාරව ප්‍රගුණ කරල නැති බව නම් නොකියාම බැරි කාරනාවක්.

මහා මාර්ගයේ නීති රීති තියෙන්නෙ සුදු පටි රාළහාමිලාට ගානක් හොයාගන්න නෙවෙයි. ආණ්ඩුවට දඩ මුදල් වලින් ආදායමක් ලබාගන්නත් නෙවෙයි. පාරෙ යන පදිකයන් සහ වාහන වලින් යන මගීන් යන සියලුම දෙනාගේ ආරක්ෂාව සඳහා තමයි මේ නීති වැඩිහරියක් පනවලා තියෙන්නෙ. ඒ වුනත්, ඒ නිති රීති ගැන අවබෝධයක් ඇතුව රථ වාහන පදවන්නෙ කීයෙන් කී දෙනාද කියල පාර අයිනට වෙලා පොඩ්ඩක් බලා හිටියොත් පේනවා.

මේ නීති රීති අනුගමනය කරන එක හුදෙක්ම පොලීසියෙන් බේරීම සඳහා පමණක් කරන එකයි වැරැද්ද වෙලා තියෙන්නෙ. දැන් බලන්න කල්පනා කරල සමහර නීති නොසළකා හැරීම නිසා සිද්ද වෙන පාඩු මොනවද කියල.

බොහෝ දෙනෙක් තකන්නේම නැති එක නීතියක් තමයි පාරෙ ඇඳල තියෙන කහපාට කොටු දැළ. මේක ඇඳල තියෙන්නෙ ඒක උඩ වාහනයක් නවත්තගෙන ඉන්න එපා කියන්නයි. මේ නීතිය පොලිස් කාරයෝ ගනන් ගන්නෙත් නෑ, රියැදුරෝ ගණන් ගන්නෙත් නෑ. ඒකෙන් වෙන්නේ වාහන තදබදය වැඩි වෙන එක විතරයි. පුධාන පාරට හරස් පාරක් සම්බන්ධ වෙන තැන්වල තමයි මෙහෙම කොටු ඇඳල තියෙන්නෙ. අපේ රියැදු‍රු මහත්තුරු කරන්නෙ පාර ඉස්සරහට අවහිර වෙලා තියනවනම් යන්න පුළුවන් උපරිම දුරක් ගිහින් නවත්තන එක මිසක් එතන කොටු තියනවද රවුම් තියනවද කියල බලන එක නෙවෙයි. ඉතින් මොකද වෙන්නෙ, අර හරස් පාරට හරවන්න හිතාගෙන අනිත් පැත්තෙන් එන වාහනය, හරස් පාර ළඟදි නවත්ත ගන්නවා. එයාට හරවලා යන්න බැහැනෙ. ඉතින් එයාට පිටි පස්සෙන් ආපු වාහන වැළම නවතිනවා. මේකෙ ප්‍රතිපලයක් විදිහට සමහරවිට ඊ ළඟ ප්‍රධාන මංසන්ධියත් අවහිර වෙන්න පුළුවනි.

අනිත් කාරණාව තමයි, පාර බදු අරගෙන ගමන් කිරීම. මේක කරන්නේ බොහෝ විට මෝටර් සයිකල්, බයිසිකල් හා ත්‍රී රෝද රථ පදවන්නන් බව නොකියාම බැහැ.

අපේ ත්‍රී රෝද රථ රියැදුරන් කරන තවත් බරපතල වැරැද්දක් තමයි, එක පැත්තට මං තීරු දෙකක් හෝ තුනක් තියන මහා මාර්ගයකදී, මං තීරු වෙන් කරන කඩ ඉර දිගේ ගමන් කිරීම. එතකොට එළිපත්ත උඩ ඉන්න බළල වගේ. ඒ කියන්නෙ ගේ ඇතුළට පනියිද නැත්තන් මිදුලට පනියිද කියල කියන්න බෑ. ඉතින් එහෙම වෙලාවට අනිත් රියැදුරන්ට සිද්ද වෙන්නෙ හෙමින් සැරේ පස්සෙන යන්නයි.

ප්‍රධාන වශයෙන් කොළඹ අවිස්සාවෙල්ල මාර්ගය ව‍ගේ අඩු පළලකින් යුක්ත මාර්ගයකදී දකින්න පුළුවන් සුලබ දර්ශනයක් තමයි, වාහන පේලියක් කෝච්චියක් වගේ ගමන් කිරීම. මෙහෙම වෙන්නෙ, මේ කෝච්චියේ එන්ජිම වගේ ඉස්සරහින්ම යන වාහනය හෙමින් සැරේ ගමන් කිරීම නිසයි. විශේෂයෙන්ම ලොරියක් වගේ වාහනයක් පස්සෙන් ඒ විදිහට වාහන පේළියක් හැදෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. පාර පටු නිසාත්, ලොරිය සෑහෙන පළලකින් යුක්ත නිසාත්, කාටවත් ඉස්සර කරගෙන යන්න විදිහක් නැහැ. ඒත් සමහර වෙලාවට මෙහෙම ඉස්සරහින් යන්නේ ත්‍රී වීල් එකක් බව දැක්කහම, ත්‍රී වීල් එක එළවගෙන යන එක්කෙනා කිසිම ලැජ්ජාවක් නැතුව වාහන පහළොවක් විස්සක් පෝලිමේ එන්න දීලා පාර අවහිර කරගෙන හෙමින් ගාටන හැටි දැක්කම මොනවද නොහිතෙන්නෙ.

මේ ගැන ලස්සන විස්තරයක් බලන්න පුළුවනි

තව කතන්දර ඉස්සරහට කියන්නම්

6 comments:

  1. පසුගිය කාලයේ මාර්ග සංවර්ධනය සීග්‍රයෙන් සිදුවුනත් බොහෝවිට පාරට කාපට් දැමීමක් මිස පළල වැඩිකිරීමක් සිදුවුනේ නෑ. අද ලංකාවෙ තියන වාහන ප්‍රමාණයට සාපේක්ෂව පාරවල් වල තියන පළල අඩුයි. මේකෙන් සිදුවෙන්නෙ වේගයෙන් යාමට උත්සාහ කිරීමේදී අනතුරට ලක්වීම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත,සමහර පාරවල පයින් යන්න ඉඩ නෑ.

      Delete
  2. ලංකාවෙ පාරවල් පලල මදි එක තමයි ලොකු ගැටලුවක්...අනික තමයි බොහොම ජනාකීර්න පැතිවල ඉදලා එන කාර්...පානදුර රාගම වත්තල කැලනිය පැත්වල ඉදල එන සැහැල්ලු වාහන නිසා කොළඹ තදබදය වඩි වෙනවා..එයාලට මහ පාරට එනකල් ඇවිත් කාර් එක මග දාල බස් එකේ එන්න පුලුවං නං ලොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. අපි ඔහොම කිව්වට ඒකෙත් ගැටළු තියනව නේද? කොළඹට විතරක් ඇවිත් යනව නෙවෙයිනෙ. කොළඹදි අතුරු පාරකට, මහරගම කොට්ටාව පැත්තට යන්න අවශ්‍ය අයත් ඉන්නවනෙ.
      අනිත් එක, අපි තනියම වාහනයක යන්න එපා කියල කිව්වට, ඉස්කෝලෙ ලමයි බස්සලා වෑන් එක ආපහු ගමට යන්න ඕනැනෙ.

      මගේ තර්කය, "මේ තියන තත්වය හොඳ මදි වුනත්, මේ තරම් ට්‍රැෆික් බ්ලොක් ඇති කරගන්නෙ නැතුව යන්න පුළුවනි විනයක් තියනවනම්" කියන එකයි.

      Delete
  3. ගොඩක් උන් තාමත් ජීවත් වෙන්නෙ ලෝකෙ මිනි මරන්න තහනම් හින්දා..

    කොහෙන්දෝ අහපු කතාවක්, හැබැයි උදේටයි හවසටයි වාහනෙන් බහින කොට මතක් වෙනවා, අනෙ මන්දා

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.