2015-06-07

නුවණ තිහේ ගමරාළ බයියා

සිරිකොතේ අතුගාන එකාගේ නමවත් දන්නේ නැති, කාත්තනකුඩි ප්‍රා දේශීය සභාවේ සභාපතිගෙ නමවත් දන්නෙ නැති මගේ දේශපාලන දැනුම ඉතා අල්ප බව ඇනෝ කෙනකු විසින් දිගින් දිගටම පෙන්වා දීම නිසා, තවදුරටත් දේශපාලන කාරනාවල් ගැන ලියන එක සුදුසු නැති බව තේරුම් ගෙන සාමාන්‍ය කතාවක් ලියන්නට කල්පනා කළෙමි.

එකෝමත් එක කාලෙක ගමරාළ කෙනකු උන්නේය. මේ ගමරාළට දියණියක් ද උන්නාය. නිසි කළ වයස එළැඹුනු පසුවත් දියණිය කොල්ලෙකු එක්ක සෙට් වුනේ නැති බැවින් දීග දෙන්නට සුදුසු තරුණයෙක් හොයා දෙන ලෙස ගමරාළ විසින් කපුවන්ට දන්වන ලදී.

මනුස්සයෙක් සම්පූර්ණ වෙන්නට නම් ඔහු සතුව ඥාණයන් තිස් දෙකක් තිබිය යුතු බව මොකක්දෝ බණ පොතක තිබී කියවා ඇති ගමරාළ කපුවන්ට විශේෂයෙන්ම සඳහන් කළේ යෝජනා කරන මනමාලයන්ට නුවණ තිස් දෙකක් තිබිය යුතු ම බවය.

සියල්ල දත් කපු මහත්තුරු “ඕකේ“ කියා වැඩේ භාරගත්තා මිස මොකක්ද මේ නුවණ තිස් දෙක කියා ඇසුවේ නැත. ඒ කපුවන්ගේ හැටි ය. ඔවුන් තමන් නොදන්නා දෙයක් අසා දැනගන්නා ජාතියේ එවුන් නොව තමන් දන්න දේත් නොදන්න දේත් අනුන්ට කියා දෙන ජාතියේ එවුන් ය. අවාසනාව නම්, බණ පොතේ කියා තිබුනු නුවණ තිස් දෙක මොනවාද කියා ගමරාළ ගොයියාටත් කිසිම මතකයක් නොතිබීමයි.

නුවණ තිස් දෙකේ මනමාලයන් සෙවීම කපුවන්ට කළ නොහැකි විය. ගේන ගේන එකාගෙන් ගමරාළ අහන පළමුවැනි ප්‍රශ්නය වූයේ නුවණ කීයක් තිබෙනවාද යන්නයි. එහෙම ප්‍රශ්නයකට උත්තර දන්න එකෙක් හොයාගැනීමට හැකි වූයේ නැත. දැන් දැන් කෙල්ල ගෙදරට නාකි වී ගෙන එයි. මේ නොකෙරෙන දීගයකට මනමාලයන් හෙවීමෙන් තමන්ගේ කාලයත් ශ්‍රමයත් නිකරුණේ වැය වන බව තේරුම් ගත් කපුවෝ ද ගමරාළ මගහරින්නට පුරුදු වූහ.

මේ අතරතුරේදී කපටි කමින් වැඩි එක්තරා කපුවකු පැමිණ ගමරාළට අමුතු යෝජනාවක් කළේය. ඒ මෙසේය.

“ගම මහත්තයෝ, නුවණ තිස් දෙකේ කොල්ලො මේ කාලෙ හොයන්න අමාරුයි. හිටියත් උන් අපි එනකන් ඉන්නෙ නෑ, හොඳ ළමිස්සියක් හොයාගෙන එක් තැන් වෙනව. මට හම්බවුනා ඉලන්දාරියෙක්. හැබැයි මිනිහට තියෙන්නෙ නුවණ තිහයි. මේ දැරිවිත් ගෙදරට නාකි වෙන එකේ ඔය සුළු අඩුපාඩුව ගැන නොහිතා ඒක කරළ දාමුද?“

කපුවාගේ කතාව ඇත්තක් බව ගමරාළටත් වැටහුණේය. තවත් බලා සිටීම මෝඩ කමකි. වැඩේ තීන්දු විය.

**************************************************************************

දියණිය දීග දීමෙන් දින කීපයකට පසුව ගම දෙමහල්ලෝ දියණිය සහ බෑණා බලන්නට ගියෝය. ගෙදර ඉස්තෝප්පුවේ ඇණබකවාගෙන සිටිනා බෑණා ගමරාළට දුර තියාම දකින්නට හැකි විය.

“අපි පිටත් වුනු වෙලාව හොඳයි, බෑණන්ඩියත් අද ගෙදරට වෙලා ඉන්නෙ“ ගමයා පැවසීය.

“අනේ වාසනාවන්“ ගම හාමිනේද පිළිතුරු බැන්දාය.

ගෙදරට ගොඩ වූ ගම ජෝඩුව දුටුවේ කණස්සලයෙන් සිටිනා දියනියයි.

“ඇයි දරුවො කණගාටුවෙන්“

“අප්පච්චිලා කොරන්නෙ හරිම වැඩ තමයි. මාව මේ බන්දල දීල තියෙන්නෙ නිකමෙකුටනෙ. උදේ ඉඳන් රෑ වෙනකන් උඩ බලාගෙන ඉන්නවා. මෙලොව වැඩක් කොරන්නෙ නෑ. මං මේ හේන ටිකක් එළි පෙහෙළි කරල දැම්ම මොනවහරි හිටවගන්න එපායැ අල බතල ටිකක්වත්.“

වැඩේ අස්පට් බව දැනගත් ගමරාළ කෙළින්ම ගියේ කපුවා හමුවීමටය.

“මං කිව්වනෙ ගම මහත්තයෝ මිනිහට නුවණ දෙකක් අඩු බව. ඉතින් එ වුනාට තමුන්නැහැ කැමති වුනා නොවැ?“

“ඉතින් බං දෙකයිනෙ අඩුයි කිව්වෙ. තියන එව්ව තිහෙන් මොනව හරි කරන්න බැරුවයැ.“

“මේකනෙ ගම මහත්තයො වැඩේ. මිනිහගෙ අඩුපාඩු නුවණ දෙක මොනවද කියල දන්නවද?
මිනිහ හිතල මතල යමක් කරන්නෙ නෑ.
මිනිහට කවුරුවත් කියන දෙයක් මිනිහා කරන්නෙ නෑ.
ඔය දෙක ඇරුණම මිනිහගෙ වෙන අඩුපාඩුවක් නෑ“

ඔන්න ඕකයි කතාව.

හැබෑට පෙඩරල් කියන්නෙ පෙට්රල් වගේ ජාතියක්ද?
“රට ගිනි තියන පෙඩරල් යෝජනා“ කියල පත්තරේක තිබුන.
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$$$$$$$$$$$$$$$$

පින්තූරය ගත්තෙ http://www.sinhalajanakavi.com/2012/08/blog-post.html අඩවියෙන්.
ලින්ක් එක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipnUV1gg1D9E-6TUwaUGi2UrAQIu2Wah3DIivlZepbDzlGyL0Yw_haHSruF-iv8EuwSKA-gPBSmD3lcqgrYEQrC0gY6hBf1mZxqdVxm_u_Fqy8huwAHlVUos8g2CcYLru27NZXN4vJEzY/s1600/fun7.jpg