2014-10-25

සිංහලයන් සහ හෙළයන්

රාවණා සංකල්පය යළිත් ‘නැගල යන‘ බව පෙනී යයි. නාථ මහාචාරියතුමා පැහැදිළි කරන්නේ සිංහලයන් සහ හෙළයන් යනු දෙකොටසක් බවයි. එතුමාට අනුව හෙළයෝ පසුකාලයේදී කුමානුකූලව සිංහලයන් බවට පත් වී ඇත. එතුමාගේ ප්‍රවාදය මුල සිටම කියවන්නට හෙනහුරාට නොහැකි වූ නමුත් දැනට ප්‍රවෘත්ති පත්‍ර වල පළ වන එතුමන්ගේ සංකල්ප ධාරාවන්ට අනුව ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොටස් නිසා හෙළයින් සිංහලයන් බවට පත් වී ඇත.

බටහිර විද්‍යාව හා නාථ දෙවියන්ගේ කතාව කෙසේ වෙතත් වර්තමානයේදී ශ්‍රී ලංකාව නමින් හඳුන්වනු ලබන මේ දිවයිනට විජය නමැති කුමාරයකු ගොඩ බැස්සා යැයි මහාවංශයේ සඳහන් වන සිද්ධියට බොහෝ පෙර කාලයක සිට මෙහි මනුෂ්‍යයන් ජීවත් ව සිට ඇති බවට සාධක ඇති බව අපි දනිමු. කිතුල්ගල බෙලි කටු ලෙන මෙන්ම බලංගොඩ මානවයාගේ ඇටසැකිල්ලද ඒ බවට ජීවමාන සාක්ෂි සපයයි. එමතු නොව විජය කුමාරයාට කුවේණි නමැති ස්ත්‍රියක් මුණ ගැසී ඇති බව මහාවංශයේම සඳහන් වී ඇත.

නාථ මහාචාර්ය තුමා හෙළයින් වශයෙන් හඳුන්වන්නේ මේ කුවේණිය සහ ඇයට පෙර සිටියවුන් විය යුතුය. ඔවුන් කථා කරන්නට ඇත්තේ “හෙළ“ භාෂාව බව ඇතැම් අයගේ අදහසයි. කෙසේ වුවත්, ඔවුන්ගේ භාෂාව සහ විජය කුමාරයාගේ භාෂාව ඒ තරම් විශාල වෙනසක් ඇති භාෂාවන් නොවන්නට ඇතැයි ද සිතිය හැකිය. භාෂා පරිවර්තකයකුගේ සහාය ලබාගෙන විජය කුමාරයා කුවේණිය සමග අදහස් හුවමාරු කරගත් බවක් පෙනෙන්නට නැත.

විජය කුමාරයා ඉන්දියාවේ නැගෙනහිර පිහිටි බටහිර බෙංගාල ප්‍රාන්තය ප්‍රදේශයේ සිටි බව කියැවේ. මේ ප්‍රාන්තයේ දැනට කතා කරන්නේ බෙංගාලි භාෂාවයි. කල්කටා නගරය තිබෙන්නේ මේ ප්‍රාන්තයේය. කෙසේ වුවත් විජය කුමාරයාගේ පියා සිංහබාහු බවත් සීයා අමුවෙන්ම සිංහයකු බවත් කියැවේ. ඒ අතරම, විජය කුමාරයා ඇතුළු පිරිස සිංහ වංශයේ බවටද මතයක් පවතී.

ඒ කාලයේ මේ දිවයිනේ ජීවත් වූවන් සූර්ය වංශිකයන් බවත් කියනු ලැබේ. වර්තමාන ජාතික රාජ්‍ය සංකල්පය නොපැවැති ඒ කාලයේ රාජාණ්ඩු ක්‍රමය යටතේ ජාතිය සහ රට එකිනෙකින් ස්වායත්ත වූ ඒවා බව පිළිගැනීමට සිදු වේ. එක රටක් යනු රජෙකුගේ අණසක යටතේ පැවැති භූමි ප්‍ර දේශයක් වූ අතර ඒ “රට“ තුළ විවිධ මූලයන්ගෙන් පැවැතෙන මිනිසුන් ජීවත් වන්නට ඇත. පුරවැසියන් ලියාපදිංචි කිරීමක් හෝ වීසා ලබාදීමක් හෝ පාස්පෝට් නොමැතිව ගොඩබැසීමට බාධාවක් නොතිබුනු නිසා මිනිසුන් නිදහසේ සංක්‍රමණය වෙමින් ජීවත් වූ බව සිතිය හැකිය.

රාවණා රජු සූර්ය වංශිකයකු බව පිළිගැනේ. එසේ වූ නමුත් හෙතෙම “සිංහල“ ජාතිකයකු හෝ “හෙළයකු“ යැයි සඳහනක් සොයාගැනීමට නැත. මේ දිවයිනේ උපත ලබා ජීවත් වූවන්ගෙන් පමණක් අද ජීවත් වන ජන කොට්ඨාස පැවතෙන බව විශ්වාස කිරීම මානසික ව්‍යාධියක් මිස අන් කිසිවක් නොවේ. එයට හේතුව නම්, අතීතයේ විවිධ කාලයන්හිදී විවිධ ජන කොටස් මෙහි පදිංචියට පැමිණි බවට තොරතුරු ඇති තරම් හමු වීමයි. මෙහිදී තිරියායේ ගිරිහඩු සෑය ඉදිවීමට හේතු වූ තපස්සු - භල්ලුක දෙබෑයන්ට බුදුරදුන් හමු වීමේ කතාවද සිහියට නැගේ.
ජාතිය නිර්ණය කරනු ලබන්නේ කථා කරන භාෂාව හෝ ප්‍රවේණිය හෙවත් පරම්පරාව පමණක් නොව ජන කණ්ඩායමක සංස්කෘතිය ද සැළකිල්ලට ගැනීමෙනි. සත්වයකුගේ උත්පත්තිය එක් අයකුට පමණක් ඇති කළ හැකි දෙයක් නම්, නිර්මල වූ පරම්පරාවක් ගොඩ නගා ගැනීමේ හැකියාවක් යම් ජාතියකට තිබිය හැකිය. එහෙත් සෑම විටම සත්ව වර්ගයා ඊ ළඟ පරම්පරාව ඇති  කරන්නේ දෙදෙනකුගේ සහභාගිත්වයෙනි. එමතු නොව එම දෙදෙනා එකිනෙකා කෙරෙහි බෙහෙවින් ආකර්ෂණය වන සුළු ලක්ෂණ වලින් හෙබි බැවින් එකී සහභාගිත්වය ඇති වන අවස්ථාවේදී ජාතිය පිළිබඳ සංකල්පය බොහෝ විට අමතක වී යයි.

මිහි තලයේ ජනගහණය වැඩි වීමත් සමග දේපොල හිමිකම පිළිබඳ බිය වැඩි වීමෙන් පසු ඇතැමුන් “ජාතිය“ පළමු තැන්හි ලා සළකන්නට පෙළඹුනත් වෙනත් අය එයට තුට්ටුවක සැළකිල්ලක් දක්වන්නේ නැති බව පැහැදිළි කරුණකි. මෙහිදී ජාතියට වඩා භාෂාව බලවත් වනු ඇතැයි තර්කානුකූලව සිතේ. එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව මැනැවින් ඇත්තේ නම්, ජාතිය පිළිබඳ හැඟීමක් ඇති නොවන තරම් වේ. ලංකාව සාගරයෙන් වට වූ රටක් නිසා මේ තරමින් වත් අමිශ්‍ර වූ ජාතියක් මෙහි දැකීමට හැකි නමුත් විශාල මහාද්වීප තුළ පිහිටි රටවල ජාතීන් අතර සම්මිශ්‍රණය සුලභ ය. එවැනි රටක ජාතිය යනු ලියාපදිංචි වී ඇති ජාතික රාජ්‍ය ය අනුව තීරණය වන්නකි. ඩෙන්මාර්ක් ජාතික පියාත් ස්වීඩන් මවත් සහිත මිනිසුන්ද රුසියානු පියාත් යුක්රේන මවත් සහිත මිනිසුන්ද යුරෝපය පුරා හමු වේ. මරාති හා ගුජරාති වැනි සමාන ලක්ෂණ සහිත ඉන්දියානු භාෂා භාවිතා කරන්නන් අතර ද එසේම සම්බන්ධකම් සුලභය. විදේශීය භාෂාවන් මැනැවින් හසුරුවන බොහෝ අය විවාහ ආවාහ කරගන්නේ තම ජාතියේම පුද්ගලයන් නොවේ. අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව විවාහයකදී වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. භාෂාවක් නොමැතිව ඇස් දෙකෙන් කතා කරන ජෝඩු නැතැයි මෙයින් අදහස් නොකැරේ.

මේ නිසා, මේ රටේ ජීවත් වන සිංහලයන් රාවණා රජුගේ කාලයේ සිට මෙහි සිටින්නන්ගෙන් පැවැතෙන්නවුන්ය යන තේරුමක් නැති තර්කය තවදුරටත් ගෙන යාම අඥාන කමකි. කුමන ආකාරයෙන් ආරම්භය ඇති වුනත් අද මේ රටේ සිටින එක් ජන කණ්ඩායමක් වනුයේ සිංහලයන් ය. එම ජන කණ්ඩායම වැඩි කාලයක් තුළ මේ රටේ පදිංචි වී සිටියායැයි කියා කවුරුන් හෝ ඔප්පු කළත් එයින් අත් වන යහපතක් නැත. එයට හේතුව භෞමික අයිතිය යනු කෘතිමව ගොඩනගාගත් සංකල්පයක් පමණක් බැවිනි. එවැනි සංකල්පයක් කරමත තබාගැනීම විනාශයට මං පෑදීමක් පමණකි.

තවත් වැදගත් කරුණක් ගැන මෙහිදී සටහන් කළ යුතුය. රාවණා රජතුමා සිංහලයන්ගේ මුතුන් මිත්තකු නම් ඒ සම්බන්ධයෙන් සිංහලයන් අතිශයින්ම ලජ්ජා විය යුතුය. ඒ මන්ද යත්, රාවණා රජතුමා සතුව තිබුනු බව කියැවෙන අති මහත් හැකියාවන් සම්භාරය එතුමාගෙන් පසුව පවත්වාගැනීමට සිංහල ජාතිය අපොහොසත් වී ඇති හෙයිනි.

මි ළඟට කියවන්න. : “සිංහලයාට එක වචනයක් නැත“



2014-10-18

පෙට්ටිය කැඩුනා කියා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙත පැමිණිල්ලක්

මැතිවරණයක් පිළිබඳ අදහසක් තුන් හිතකවත් නැති වෙලාවක ගෘහස්ථ පාරිභෝගිකයාගේ ලයිට් බිල සීයට විසි පහකින් අඩු කරන ලදී. (ගෘහස්ථ පාරිභෝගිකයා යනු ඒකීය පුද්ගලයා වැනි දෙපා සත්වයෙකි.) හදිසි නියෝගයක් මත කැරුණු මේ මිල අඩුකිරීම සම්බන්ධයෙන් මණ්ඩලය බරපතළ අර්බුදයකට මුහුණ පාන්නට ඇත්තේ ඔවුනට ලැබෙන ආදායම හදිසියේම පහත වැටීමට ඉඩ ඇති නිසා නොව අතිශය සංකීර්ණ ගණිත සූත්‍ර හරහා සකස් කරනු ලබන විදුලි බිල හෙවත් ලයිට් බිලකින් සීයට විසිපහක් අඩු වන පරිදි ගාස්තු ක්‍රමයක් සකස් කිරීමේ අපහසුතාව නිසායැයි සිතමි.කෙසේ නමුත්, මණ්ඩලයේ නිලධාරීන් විසින් ඒ අභියෝගය ජයගෙන ඇති බව පෙනේ. හැම ගෘහස්ථ පාරිභෝගිකයාටම හරියටම සීයට විසි පහක් අඩු වන්නේ නැති වීමට ඉඩ ඇති නමුත් අවම වශයෙන් සීයට විසි හතර හමාරක් වත් අඩු වන පරිදි ඉතා ප්‍රශංසනීය ලෙස නව අය ක්‍රමය සකස් කර ඇතැයි කුහක නොවී බලන අයකුට පෙනී යනවා ඇත.

කෙසේ වුවද, නව අය ක්‍රමය සම්බන්ධයෙන් සමහර ගෘහස්ථ පාරිභෝගිකයන් තුළ මනා වැටහීමක් නොතිබුනු බැව් පෙනී ගිය නිසා හෝ ළඟකදී මැතිවරණයක් පැවැත්වීමට ඉඩ තිබීම හැර වෙනත් හේතුවක් නිසා, මණ්ඩලයේ නියෝජ්ය සාමාන්‍යාධිකාරවරයකු සමග පවත්වන සාකච්ඡාවක් සජීව ලෙස ප්‍රචාරය කිරීමට එක්තරා ගුවන් විදුලි සේවාවක් කටයුතු යොදා තිබිනි. බිල සකස් කරන ආකාරය පිළිබඳ නොයෙකුත් ප්‍රශ්න දුරකථන මගින් යොමු කර තිබුනු අතර ඒවාට සාර්ථක ලෙස පිළිතුරු ලබාදුන් උසස් නිලධාරීතැනට මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම්වත් බවක් ඇතැයි පෙනී ගියේය.

මේ අතරවාරයේ එක් කාන්තාවක් නැගූ ප්‍රශ්නයක් වූයේ සිය ඉඩම මැදින් ඇද ඇති විදුලි රැහැන් නිසා නිවස ඉදිකිරීමේ අපහසුතාවක් ඇති වී තිබෙන බැවින් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්නයි. එහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිළි කරන ලදී. තවත් අයකුට තිබුනු ප්‍රශ්නය නම් සිය නිවසේ (සමාවෙන්න, ගෘහ ඒකකයේ) සවි කර තිබුනු විදුලි මීටරය ආපදා වූ බව කියා මණ්ඩලයෙන් නව මීටරයක් සවි කළ පසු විදුලි බිල රුපියල් තුන්සිය ගණනක සිට අටසිය ගණනක් දක්වා වැඩි වීමය. ඔහුගේ ප්‍රශ්නය වූයේ විදුලි බිල වැඩි වීමට හේතුව අළුතින් සවි කරන ලද මීටරයදැයි යන්න ය. නිවසේ ජීවත් වන්නේ තමා සහ බිරිඳ පමණක් බැවින් එතරම් අධික විදුලි ඒකක ගණනක් පාරිභෝජනය වන්නේ නැති බවත් ඔහු වැඩි දුරටත් පැහැදිළි කළේය. (හෙනහුරා කුඩා කාලයේ ජීවත් වූ ගෘහ ඒකකයේ විශාල ගණනක් ජීවත් වූ නමුත් රූපවාහිනී යන්ත්‍රයක් නොතිබීම, ශීතකරණයක් නොතිබීම, පොල්කටු අඟුරු ඉස්තිරික්කයක් පාවිච්චි කිරීම, දර ලිප් භාවිතය ආදිය නිසා මාසයකට දවන ලදදේ විදුලි ඒකක විසි අටක් තිහක් වැනි ගණනක් වූ බව මෙහිදී හෙනහුරාට සිහි විය)

මෙම ප්‍රශ්න දෙකම යොමු කළ යුතුව තිබුනේ අදාළ ප්‍රාදේශීය කාර්යාලයන් වෙත බව එහිදී පැහැදිළි වූ කාරණයයි. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන මෙවැනි පොදු වැඩසටහනකදී තමන්ගේ පෞද්ගලික ගැටළුවක් දුරකථනයෙන් විස්තර කරන අයෙකුට එම වැඩසටහනට සවන් දෙමින් සිටින තවත් ලක්ෂ කෝටි ගණනකගේ යහපත උදෙසා යමක් කළ හැකියැයි සිතා කටයුතු කිරීමට හැකිනම් ඉතා අගනේය. එහෙත්, ඔවුනට තමන් කතා කරන ආකාරය රටටම ඇසෙන බව මොහොතකට අමතක වී යන බව පෙනෙයි. කොකා ඉගිලෙන විට උගේ සුදු පාට පෙනෙන්නාක් මෙන් අප කතා කරන විට අපේ යම් යම් ගති සහ ගුණ ලෝකයට පෙනෙනවා නොවේද?

මෙම සාකච්ඡාව සවනට වැටෙමින් තිබෙන අතරතුරදී ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් හැඟීමක් ඇති කර ගැනීමට හෙනහුරාට හැකි විය. මේ අතරවාරයේ යොමුවුනු ඊ ළඟ දුරකථන ඇමතුමෙන් කියැවුනේ තම ගෘහ ඒකකයේ සවි කර තිබුනු මීටරය ආරක්ෂා වීමට යොදා තිබුනු පෙට්ටිය කැඩුණු පසු අළුතින් පෙට්ටියක් යෙදීමට මණ්ඩලය උනන්දුවත් නොදක්වන බවයි. කළින් යොදා තිබුනු පෙට්ටිය බාල ලීයෙන් සාදා තිබුනු බවත් ඔහු පැමිණිලි කළේය. පරිණත නිලධාරීයා සියළුම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අවම වශයෙන් ප්‍රශ්නය නැගූ අයගේ දුරකථන අංකය සහ ලිපිනය හෝ ඉල්ලා ගැනීමට තරම් කාරුණික විය.

හෙනහුරාට මේ සිද්ධිය ගැන ලියන්නට සිතුනේ එක්තරා විශේෂ හේතුවක් නිසා ය. එනම්, අපේ රටේ ආයතනගතව පවතින එක්තරා දුර්ගුණයක් මේ සාකච්ඡාව හරහා ඉස්මතු වීමයි. මහ රජතුමාගේ ඇමති මණ්ඩලයේ සිට පහළට යන විට සී සී මහත්තයාගේ කාර්ය මණ්ඩලය දක්වා ඇති සෑම ආයතනයකම ඇති මේ දුර්ගුණය නම්, වැඩක් කරවාගන්නට මහ එකාම අල්ලා ගන්නට සිදු වීමය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් නම්, ඇතැම් ආයතනයන්හි ඉහත කී දුර්ගුණය නැති වුවත් හැම තැනම ඇති තත්වය ගැන පොදුවේ සිතන මහජනතාව එවැනි හොඳ ආයතනයකින් වුවත් වැඩක් කරගන්නට එහි ඉහළම නිලධාරියා හමු වීමට දැඟලීම නිසා ඇති වන අනවශ්‍ය හිරිහැරයට වගකිවයුතු වන්නේ ද ඉහත කී ආකාරයට මහ තැනින් අණ නොලැබුනොත් වැඩ නොකරන අලස කාර්ය මණ්ඩලයන්හි සාමාජිකයන්ම බවය.

මී ළඟට බලාපොරොත්තු වන්න: සිංහලයන් හා හෙළයන්