2013-05-31

ගවයන් ගැන කතා දෙකක්

මේ වන විට අන්වර් මනතුංග නමැති වෙබ් පිටුවට ලංකාව තුලදී පිවිසිය හැක්කේ ප්‍රොක්සියක් හරහා පමණකි. මේ හේතුව නිසා, පසුගිය කාලයේ "හලාල් කේස්" නැගල යන කාලයේදී නිතරම පාහේ කියවූ අන්වර්ගේ පිටුව බැලීමට මට අමතක වී ගියේය. එසේ වුවත් මගේ බ්ලොග් රෝලේ ඔහුගේ බයිලාවන් නිතර නිතර අප්ඩේට් වෙමින් පැවතිනි. පසුගිය දිනක ඔහු මහදැනමුත්තෙකු මෙන් අති පණ්ඩිත කථාවක් කරමින් කියා ඇත්තේ (1) ගවයන් මිනිසුනට නොවඳින බවත්, (2) එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තමන් වහන්සේට ගවයකු වන්දනා කරන අයුරු ඡායාරූපගත කරවාගෙන එයින් බිස්නස් කරන බවත්ය. කතාව ටිකක් දරුණු බැවින් මම ප්‍රොක්සිය හරහා ‍ගොස් එම ලිපිය කියවූයෙමි.

අන්වර්ට අනුව (ඔහුට අ.මනතුංග කියා ඇමතීමට තරම් දෙකේ කොළේ ළදරු මානසිකත්වයක් මට නැත.) වසු පැටවුන්ගේ බෙල්ලට ලණුවක් යෙදූ පසුව ඇති වන කැසිල්ල නිසා වසු පැටවුන් සිය බෙල්ල පොළොවේ ඇතිල්ලීමට තැත් කරන අතර කවුරුන් හෝ ඒ වසුපැටියා ඉදිරිපිටට ගොස් වසුපැටියාගේ වන්දනාව තමන්ට ලබාගැනීමට හැකිය. වසු පැටවුන්ටත් වැස්සියන්ටත් කුඩා කාල‍යේදීම එනම් ඉපදී සතියක් දෙකක් වැනි කාලයකදී ලණුවක් ගැටගැසීමට සිදු වන්නේ එළදෙනගෙන් කිරි දොවන අවස්ථාවේදී පැටියා එළදෙන ළඟ තැබිය යුතු වීමත් වරින් වර පැටියාට කිරි බොන්නට දී නැවත ඉවතට ගෙන ගැටගැසීමත් අපේ රටේ ග්‍රාමීය කිරි කර්මාන්තයේ සුපුරුදු කටයුත්තක් නිසාය. ඒ කර්මාන්තයේ කලකට ඉහතදී නියැලී සිටි මම අවම වශයෙන් වසු පැටවුන් (හෝ වැස්සියන්) දහ දෙනකුගේවත් මෙසේ ලණු ගැටගසා ඇති නමුත් ඒ එකකුවත් මට වැන්දේ නැත.

එසේ වුවත්, දැඩි චිත්ත පීඩාවකට හෝ භීතියට ලක්වූ සතුන් මේ ආකාරයට අභය දානය ඉල්ලමින් හෝ තමන්ගේ අවශ්‍යතාව ඉටු කරදෙන ලෙස ඉල්ලමින් කරනු ලබන වැඳීම මා අත් දැක තිබෙන බව මේ ගව ඝාතන මාතෘකාව කරළියට එන්නට පෙර මා විසින් ලියා ඇති ලිපියක සඳහන් වේ.මා එහි කියා ඇත්තේ පූසියක් සිය පැටවුන් ඉල්ලා මට වැන්ද හැටි ගැනයි. මේ නිසා, අන්වර්ගේ අතිපණ්ඩිත කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට මට අයිතියක් තිබේ.

එහෙත් අන්වර් කියන දෙවැනි කාරණය ගැන නම් මා කිසිත් කියන්නේ නැත. තමනට වන්දනා කිරීමේ සිද්ධිය උපයෝගී කරගෙන යමකු බිස්නස් එකක නියැලෙනවායැයි සිතීමට මේ කාලයේ ඇති තරම් හේතු තිබේ.

ඒ කෙසේ වුවත්, මරණයට පත් ගවයකු නිදහස් කිරීමේ පුණ්‍ය කර්මය ගැන මට මෙවැනි අත්දැකීමක් ඇත.

එක්තරා  වැඩිහිටියකුට ගවයකුට අභය දානය දීමේ අදහසක් පහළ විය. ඔහු ඒ සඳහා තවත් අය සම්මාදම් කරගැනිමටද අමතක නොකළේ තනිව එය සිදුකිරීමට ආර්ථික වශයෙන් අපහසු නිසා නම් නොවේ. පුණ්‍ය කර්මයකදී කවුරුත් සම්මාදම් කරවා ගැනීම තවමත් අපේ ගම්වල සිදු වන යහපත් පුරුද්දකි. කෙසේ වුවත්, ඔහු අභය දානය දුන්නේ ඝාතනාගාරය වෙත ගෙන ගොස් තිබුනු ගවයකුට නොව, ගොවිපොළේදී ඝාතනය සඳහා ලැයිස්තුගත කර තිබුන ගවයකුටය. එහිදී ගවයා වෙනුවෙන් ගෙවන්නට සිදුවන මිල අඩු ය. ඝාතනාගාරය වෙත ගෙන ගිය ගවයන් සඳහා ගෙවිය යුතු මිල අධිකය. (එක් ගවයකු වෙනුවෙන් ගෙවන මුදලට පැට්රල් ගැලුම් දාහක් පමණ මිලට ගැනීමට හැකිය. එහෙත් එක් ගවයකුවත් මරණයෙන් ගැලවෙන්නේ නැත)

මෙම පුණ්‍ය ක්‍රියාව සඳහා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය නොමඳව ලැබුනු අතර නිදහස් කරගත් ගවයා ඇති දැඩි කරගැනීමද තවත් ගැමියකු වෙත පවරා තිබිනි. එක්තරා පොහොය දිනයක පන්සලේ සුළු උත්සවයක් සූදානම් කරන ලදුව පෙර දිනයේ ගොවිපොළ වෙත ගොස් අදාළ ගවයා මිලට ගෙන ගෙදර මිදුලේ ගැට ගසන ලදී. උත්සවය සඳහා ගෙදර සිට පන්සල දක්වා ගවයා රැගෙන යනු ලැබුනේ බැනරයක් පෙරටු කොටගත් පෙරහැරකිනි.

උත්සව සභාවේදී විරෝධයක් මතු විය. එනම්, ඝාතනාගාරයෙන් මිලට නොගෙන ගොවිපොලෙන් මිලදී ගැනීම නිසා මෙහිදී අභය දානය දීමක් සිදු නොවන බවට ඇති වූ තර්කයයි. කිහිප දෙනකුගේ මැදිහත් වීම නිසා තත්වය සමථයට පත් වුවත්, ඇතැම් අය සිතා සිටින්නේ මස් මුදලාලිට වැඩි මිලක් ගෙවා ගවයා නිදහස් කරගැනීම අභය දානය බවත්, මස් මුදලාලි ගවයා මිලදී ගැනීමට පෙර, මස් මුදලාලි ගෙවන මිල ගොවිපොල අයිතිකරුට ගෙවා ගවයා මිලදී ගැනීම අභය දානයක් නොවන බවත් ය.

ඒ අනුව, අභය දානය සම්පූර්ණ වන්නේ මස් මුදලාලිගේ ආර්ථිකය දියුණු වීම සඳහා කටයුතු කළහොත් පමණකි. මස් මුදලාලි ගවයා විකුණන්නේ මස් විකුණා ලැබෙන ආදායමට සමාන මිලකටය. නැතිනම් ඔහුට සිදුවන්නේ පාඩුවකි.




2013-05-09

මෙන්න අපි බිස්නස් කරන හැටි

ලෝකප්‍රකට 9/11 පුහාරයේදී කඩා වැටුනු බොහෝ දේවල් ප්‍රතිසංස්කරණය කෙරෙන්න වැඩි කාලයක් ගත වු‍නේ නෑ. එක්තරා මායිම් වැටක් අළුත්වැඩියා කරන්න රාජ්‍ය දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කෝල් කළා. මේක ජාත්‍යන්තර ටෙන්ඩරයක්. ඒ කියන්නෙ ඉන්ටනැෂනල් කම්පිටිටිව් බිඩින්ග් සිස්ටම් එකටයි වැඩේ සිද්ද වෙන්නෙ. හැබැයි ඕපන් ටෙන්ඩර්. ඒ කියන්නෙ මිල ගණන් සීල් තියපු ලියුම් කවර වල දාල ටෙන්ඩර් පෙට්ටියට දාන්නෙ නැතුව, ‍වැඩේ බලල ඒ වෙලාවෙම ගාන කියනව.

ඔන්න ඇමරිකන් සමාගමක්, චීන සමාගමක් සහ අපේ පොරක් මිලගණන් ඉදිරිපත් කරන්න සෙට් වුනා. මිල ගණන් ඉදිරිපත් කරන්න ඉස්සෙල්ල වැඩේ පරීක්ෂා කරන්න වෙන බව ප්‍රසම්පාදන දැන්වීම පළකරද්දි කියල තිබුන. ප්‍රසම්පාදන දැන්වීම් කියන්නෙ ඔය ටෙන්ඩර් දැන්වීම් වගේ එව්වට තමයි. මේ තුන්දෙනාම සයිට් එකට එක්ක ගියා වයිට් හවුස් එකේ ඔෆිසර් කෙනෙක්.

ඉස්සෙල්ලම ඇස්තමේන්තුව දෙන්න ඉදිරිපත් වුනේ ඇමරිකන් කාරයා. මෑන් ටේප් එකක් එහෙම අරගෙන ඇවිත් දිග පළල උස ඔක්කොම මැනල කරල ලැප්ටොප් එකත් අරගෙන පැත්තකට වෙලා මොනවදෝ කරල ඉවරවෙලා කිව්ව මෙහෙම.

මේකට ඩොලර් 900/- ක් වෙනව. ඒ කියන්නෙ බඩු වලටම හාරසීයයි. අපේ ටීම් එකට කුලිය හාරසීයයි. මට ඉතුරුවෙන්නෙ සීයයි.

දැන් චීනාගෙ වාරෙ. මෑන් කළෙත් අර වැඩේමයි. හැබැයි මිනිහගෙ ලැප්ටොප් එකට ඩොංගල් එකක් හයි කරල තිබුන. අවසානෙදි ගණන ඉදිරිපත් වුනා.

මගේ ගණන 700/- යි. බඩු වලට තුන්සීයයි. අපේ කොල්ලන්ට තුන්සීයයි. මට සීයයි.

ඔන්න දැන් අපේ පොර යනව ඇස්තමේන්තුව දෙන්න.

පොර මැන්නෙත් නෑ. ලැප්‍ටොප් ගෙනාවෙත් නෑ. අත් දෙක වන වනා ගිහින් කිව්ව 2,700/- යි කියල.වයිට් හවුස් පොරට තරු විසි වුනා. ඈ යකෝ (ඌ දන්නව අපි යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන බව) උම මේක මැන්නෙත් නෑ. නිකම්ම උඩ බලාගෙන ඉඳල අස්ප ගානක්නෙ කිව්වෙ. දැන් අර චීනා මේක 700ට කරල දායි.

"කෑ ගහන්න එපා අයිසෙ" අපේ මෑන් හෙමිහිට කිට්ටු කරල රහසින් වගේ මැතිරුවා. "පොඩ්ඩක් කල්පනා කරපන්, මට දාහයි, උඹට දාහයි හරිනෙ."
"හරියන්නෙ කොහොමද, එතකොට වැඩේ කරන්නෙ උඹද මමද?"
"ඇයි තව හත්සීයක් තියෙන්නෙ. ඒක අපි අර චීනට දීල වැඩේ කරගනිමු."
"ඕ කේ හෙටම පටන් ගන්න" කියපු වයිට්හවුස් කාරයා යන්න ගියා.