බ්ලොග්සඟරාව

BLOGSANGARAWA is written in Sinhala Unicode.

Even you do not have installed SINHALA UNICODE in your computer, you can read this page if you know Sinhala alphabet.

සංස්කරණය: හෙනහුරා නොහොත් මොබයිල්මෑන්
ප්‍රකාශනය: සුදත් මොහාන් බියන්වෙල. sudathmobile@gmail.com

2012-03-28

ඔබට අමතක වෙනවාද? ඒකට හේතුව කුමක්ද?

මොබයිල්මෑන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනගන්නා අවධියේ එක් දිනක් ගුරුතුමා සමඟ සුහද කථාබහක නියැලීමට පංතියේ සිසුවනට අවස්ථාවක් ලැබුනා. සුහද කථාබහක් කීවත්, එදින කථා බහ කළේ ඕපාදූප නම් නෙමෙයි. ඉගෙන ගැනීම ගැන, මතු දිනක එළඹිය හැකි සරසවි ජීවිතය ගැන, අපේ අනාගතය ගැන, මේ වගේ පලක් ඇති දෙයක් පමණක් කතා කිරීමට අපේ ගුරුතුමා වගබලාගත් බව මොබයිල්මෑන් සිහි කරන්නේ අතිශය ස්තුති පූර්වකව.
අපේ එකෙක් ගුරුතුමාගෙන් මෙහෙම ඇහුවා. “සර්, අපි ඉගෙනගන්න දේවල් මතක තියාගන්න බෑනෙ. ඒකට මොකද කරන්නෙ?”
ගුරුතුමාගෙන් ලැබුනෙ අපූරු උත්තරයක්. “ඔයගොල්ලන්ට තියෙන ගැටළුව මතක තියාගන්න බැරි එක ද? ඔයගොල්ලන්ට කවදාවත් හිතුනෙ නැද්ද අපට මොනවහරි මතක තියෙන්නෙ කොහොමද කියල. මොකක් හරි දෙයක් මතක තියනව කියන එක පුදුම හිතෙන දෙයක් නෙවෙයිද?”
ඇත්ත නේන්නං. අපට කොහොමද මතක තියෙන්නෙ. අපි ඕනැම කෙනෙකුට (අමතක වීමේ රෝගයක් තියනවනම් හැර) මොනව‍ මොනව හරි මතක තියෙනව නෙ. අඩු ගණනෙ ගෙදර යන්න පාර මතකයි. යාලුවන්ගෙ නම් මතකයි. ඒව කොහොමද මතක තියෙන්නෙ. කොහෙද ඔය මතකය කියන එක තියෙන්නෙ. මෙමරි චිප් එකක් හරි ඩිස්ක් එකක් හරි ඒ වගේ වෙනත් දෙයක් හරි තියෙන්න ඕනැ මෙමරියක් හෙවත් මතකයක් ගබඩා කරල තියාගන්න. ඉතින් අපේ ඔළුවෙ හරි වෙන තැනක හරි එහෙම එකක් තියෙනවද? තියනවනම් මොකක්ද ඒක? හොඳට මතක තියන කෙනෙක්ගෙ ඒ කෑල්ල සර්ජරි එකකින් අයින් කරල වෙන කෙනකුට බද්ධ කළොත් මොකද වෙන්නෙ?
අපට සමහර වැඩ කරන්න පුරුද්දක් තියනව. මොකක්ද මේ පුරුද්ද කියන්නෙ. නිරායාසයෙන් වගේ අවශ්‍ය විදිහටම අත පය ඇඟිලි හසුරුවන්න පුළුවන්කම තමයි පුරුද්ද කියන්නෙ. දැන් මේ ලිපිය ටයිප් කරනකොට අකුරු තියෙන තැන් මොනවද කියල නොසිතාම ලියන්න හිතෙන වචනය ටයිප් වෙනව. අපේ ඇඟිලි ඉබේම නියමිත යතුර උඩට ගිහින් ඒක එබෙනව. මේක කොහොමද වෙන්නෙ? මතකයත් එක්ක පුරුද්දෙ තියන සම්බන්ධය මොකක්ද?
අපි එකම දෙයක් නිතර නිතර කරනකොට ඒක අපට පුරුදු වෙනව. ඒ වගේම අපි එකම දෙයක් නිතර නිතර අහනකොට අපට ඒක මතක හිටිනව.
අපි කරන යම් දෙයක් තවත් දෙයක් කරන ගමන් කළොත් ඒක අපට පුරුදු වෙන්නෙ නෑ. අපට ඇහෙන දේත් අපි හිත නිරවුල්ව තියාගන අහගත්තෙ නැත්තං අපට මතක හිටින්නෙ නෑ.
අපි පුරුදු වෙන්න ඕනැ මතක තියාගන්න නෙවෙයි, හිත එකලස් කරගෙන පාඩමට ඇහුම්කන් දෙන්න.
අනිත් කාරනාව, පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනැ යම් දෙයක් තේරුම් ගන්න. හැම දෙයක් ම මතක තියාගන්න අමාරුයි. මූලික සංසිද්ධිය තේරුම් ගන්න පුළුවන් වුනොත්, එතනින් එහාට ගොඩනගාගන්න අපහසුවක් නැහැ.
කුඩා කාලෙ බොහොමයක් දෙනාට අමාරුයි චක්කරේ හෙවත් ගුණ කිරීමේ වගුව පාඩම් කරන්න. ඒ වුනත්, ඉලක්කම් දෙකක් ගුණ කරනකොට වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගත්තහම චක්කරේ මතක නැති වුනත් හදා ගන්න අමාරු වෙන්නෙ නෑ.

ඉතිරි සල්ලි නොදුන්නාට මගියා කොන්දොස්තරගේ කණෙන් රිංගලා
2012 මාර්තු මස 28 09:32:06 | ඉංගිරිය නිමාලි කහවල

එය ඉංගිරිය නගරයේ සිට ගමන් ආරම්භ කරන ලද පෞද්ගලික බස් රථයකි. යාබද අසුනේ සිටි තැනැත්තා කොන්දොස්තරට රුපියල් 20ක නෝට්ටුවක් දිගු කළේය. ගමන් ගාස්තුව රුපියල් 16කි. මගියාට ඉතිරි රුපියල් 4 දීම කොන්දොස්තරට ඇඟෙන් ඇටයක් දීමටත් වඩා අසීරු කාර්යයක් බව පෙනුණි.
කාර්යබහුල බවක් බොරුවට මවා පාමින් හැසිරෙන කොන්දොස්තරගෙන් තම ඉතිරි මුදල ලැබෙන පාටක් නොමැති බව දුටු මගියා ඔහුගේ අතට තට්ටුවත් දැමීය.
‘‘මගේ ඉතුරු?.....’’ ඔහු ප‍්‍රශ්න කළේය.
‘‘කීයක්ද මහත්තයා දුන්නේ......කෙහෙන්ද බහින්නේ....’’
දැනට තත්පර කීපයකට පෙර තමන් මුදල් ගත් මගියාගේ ගමනාන්තය අමතක බව බොරුවට රඟ දක්වමින් හැසිරුණු කොන්දොස්තරගේ ප‍්‍රශ්නවැලට මගියාද මුවින් නොබැණ ඉවසමින් පිළිතුරු දුන්නේය.
‘‘මට මහත්තයා රුපියලක් දෙන්න මම එතකොට පහක් දෙන්නම්’’ කලිසම් කමිස සාක්කු පතුලේ පීරා සෙවුවද රුපියලක් සොයා ගැනීමට මගියාට නොහැකි විය. ඔහුට ගණ දෙවි නුවණක් පහළ වූයේ මේ අතරය.
‘‘ආ...... කෝ දෙන්නකෝ පහ. මම රුපියලක් දෙන්නම්’’ කී ඔහු කොන්දොස්තරගෙන් රුපියල් පහක් ඉල්ලා ගත්තේය.
‘‘කෝ, මහත්තයා රුපියල?’’ කොන්දොස්තර ඇසුවේ තමන්ට දෙනවා යැයි කී රුපියල ලැබෙන පාටක් නොදුටු බැවිනි.
‘‘රුපියල......? රුපියලද.....? ඔහේ  ඕක මට නුදුන්න නම් මම රුපියල් 4ක්ම පාඩු විඳින්න  ඕනෑ. දැන් මේ වැඩෙන් ඔහේට පාඩු රුපියලනේ. දැන් මං ළඟ දෙන්න රුපියලක් නෑ. මම බහින්න කලින් මට රුපියල් 4ක් දෙනවා. එතකොට මම මේ පහ දෙන්නම්’’
වෙඩි බෙහෙත් පුපුරනවා වැනි හඬින් මගියා දුන් පිළිතුරට කොන්දොස්තරට ප‍්‍රති උත්තර නොමැති විය.
‘‘හොඳ වැඬේ, ඔහොම කරලා මදි, නියමයි......’’ වැනි වදන් බස් රියේ තැන් කීපයකින්ම ඇසෙද්දී, මගියා ඉල්ලූ ලෙස දීමට රුපියල් හතරක් අතේ තිබුණ මුත් ඔහුට රුපියල් පහම තියා ගන්නට ඉඩහැරි කොන්දොස්තර හීන් සීරුවේ එතනින් ඉදිරියට ගියේය.
මේ කතාව අද ලංකාදීප පත්තරේ තිබුනෙ.

2012-03-21

රාවණ යුගය හා මානව ශිෂ්ටාචාරය

මම කළින් දාපු පෝස්ට් වලදි සාකච්ඡා කරන්න උත්සාහ කළේ රාවණ රජතුමා බෞද්ධයෙක් විය හැකිද, සිංහලයෙක් විය හැකිද, ජාතියක් වශයෙන් සිංහලයාගේ ආරම්භය සොයා ගැනීමට හැකි වේවිද, සිංහල ජාතිය ඇති වුනේ කුමන සම්භවයක් මගින්ද යනාදී කාරණයන් ගැනයි.
අපි එක්කො පිළිගන්න ඕනැ දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා මැවුවයි කියල.
එහෙම නැත්නම් පිළිගන්න ඕනැ ස්වභාවික වූ හේතුවකින් ඇති වූ ඵලයක් ලෙස මනුෂ්‍යයා බිහි වුනයි කියල.
මගේ පිළිගැනීම දෙවැන්නයි. මං මැවුම්කාර දෙවියකු විශ්වාස කරන්නේ නැහැ. සෑම ඵලයක්ම හේතුවක් නිසා ඇති වෙනවයි කියන එකයි මගේ විශ්වාසය. (ඒ කියන්නෙ මං හේතු-ඵල වාදියෙක්)
ලිඛිත ඉතිහාසයෙන් එහා ලෝකය ගැන, මිනිසාගේ සම්භවය හා පරිනාමනය ගැන විද්‍යාඥයන් විසින් නොයෙක් සොයාගැනීම් කර තිබෙනවා.  ඒ වගේම, ලෝකයේ විවිධ පළාත්වල ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාවන්ගේ දේහ ලක්ෂණ, ජානමය ලක්ෂණ අනුව එක් එක් මානව ප්‍රභේදයන් හඳුනාගෙන තියෙනවා. ලෝකයේ බිහිවූ ජීවීන්ගෙන් සත්වයන් ඇති වෙලා, ඒ සත්වයින්ගෙන් මනුෂ්‍යයන් ඇති වෙලා අද තියෙන ආකාරයේ විවිධ වූ ජාතීන් ඇති වන්නට අවුරුදු 2,100,000,000ක් විතර ගිහින් තිබෙන බවත්, වර්තමාන ස්වරූපයේ මනුෂ්‍යයන් බිහිවෙලා අවුරුදු 200,000ක් විතර ගත වෙලා තිබෙන බවත් මේ පිළිබඳව ගවේෂණය කළ විද්‍යාඥයන්ගේ සාමාන්‍ය පිළිගැනීමයි. මේ කාල වකවානු අතිශය නිවැරදි සොයාගැනීමට නොහැකි බව අප කාටත් පැහැදිළි‍යිනෙ.
මේ ආකාරයට ඇති වුණු මානවයන් ලෝකය පුරාම ක්‍රමානුකූලව විහිදිලා ගොස් තිබෙනවා. එසේ විසිරුනු මානවයන් නිසැකවම පදිංචි වන්නට ඇත්තේ තමන්ට සුදුසු වූ ආහාර සහ ජලය ලබාගැනීමට හැකියාව තිබෙන ස්ථාන ආශ්‍රිතව වෙන්න ඕනැ. අනිත් සත්වයින් ලෝකයේ විකාශනය වූ ආකාරයට වඩා මානව වර්ගයා විකාශනය වූ ආකාරය වෙනස් විය යුතුමයි, මානවයාගේ හැකියාවන් වැඩි වූ නිසා.
පසු කාලයේදී පුරාවිද්‍යාත්මක කැණීම් හරහා සොයාගැනුනා ‍ලෝකයේ ඇතැම් ස්ථානයන්හි දියුණු ශිෂ්ටාචාරයන් තිබී ඇති බව.  මෙසපොතේමියානු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආදිය මෙන්ම තවමත් සොයා නොගැනුනු ශිෂ්ටාචාරයන් ද තිබිය හැකියි. ලංකාවේත් ආදි මානවයන් සිටි බවට තොරතුරු සොයාගෙන තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල බෙලි ලෙන අවට අවුරුදු 12,000කට පමණ පෙර ජීවත් වන්නට ඇතැයි සැළකෙන මිනිසුන්ගේ ඇටසැකිළි තිබුණු බව සඳහන් වෙනවා. බලංගොඩ මානවයා අවුරුදු 32,000කට පමණ පෙර ජීවත් වූ බවයි පිළිගැනෙන්නේ.  කළුතර ෆාහියන් ලෙන අසළත් ආදි මානවයන් පිළිබඳ සාක්ෂි තිබිල තියෙනවා. ෆාහියන්ගල පදංචිකාරයෝ ජීවත් වෙලා තියෙන්නෙ අවුරුදු 33,000කට පෙර කාලයේ සිට අවුරුදු 4,750කට පෙර කාලය දක්වා බවත් කියැවෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට බටදොඹලෙන අවුරුදු 8000කට පෙර ජනාවාස වී තිබුනු බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා.
කෙසේ වුවත්,  මේ සියල්ලන්ම ආදි මානවයන් බවයි පෙනෙන්නේ. එනම්, මානව ශිෂ්‍ටාචාරයන් ඇති වන්නට පෙර ජීවත් වූ කොටස්. මේ ජනාවාස නොකඩවා දිගටම පැවැතුණු බවක් කියැවෙන්නෙ නැහැ. එයින් අදහස් වන‍්නේ ඔවුන් වඳ වී ගිය බවක් ද නැතිනම් වෙනත් ප්‍රදේශයන් කරා සංක්‍රමණය වූ බවක් ද?
මානව වර්ගයා දඩයම් යුගය, ගල් යුගය, එ‍ඬේර යුගය ආදී වශයෙන් පැවතෙමින් ඉඳලා, ශිෂ්ටාචාරය වශයෙන් අපි කියන තත්වයට ආවේ පවුල් කීපයකින් සමන්විත වූ කණ්ඩායමක්, එහෙම නැත්නම් “රැහැක්” විදිහට. ඒ වගේම ඔවුන්ට ස්ථිර වූ වාසස්ථානයක් තිබිල නෑ. තවමත් ඒ විදිහට ජීවත් වන අහිතුන්ඩික කණ්ඩායම් ලංකාවේත් වෙනත් රටවලත් සිටිනවා. මේ කණ්ඩායම් ජීවත් වෙලා තියෙන්නෙ ඒ පවුල් වල වැඩිහිටියාගේ අණසක යටතේ. පසු කාලීනව මේ රැහැ ‍විශාල වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාජික සංඛ්‍යාව වැඩි වෙනවා. හැබැයි ඒක වෙන්නෙ බොහොම හෙමින්. ඒකට හේතුව තමයි, උපත් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අතර වෙනසක් නැති තරම් කුඩා වීම. වනවාසී ජී‍විතේ අනතුරු බහුලව තියෙන්න ඇතිනෙ. සමහර විට සාමාජිකත්වය දෙගුණ වෙන්න අවුරුදු හාර පන්දාහක් ගියා වෙන්නත් පුළුවනි.
මේ වැඩි වර්ධනය වූ කණ්ඩායම් නිසා, අවසානයෙදී ගෝත්‍රයක් හැදෙනවා. ගෝත්‍ර හැදෙනකොට ඔවුන් ස්ථාවර නිවාසස්ථාන හදාගන ඉන්නෙ. මේ ගෝත්‍රිකයොත් අප්‍රිකානු ර‍ටවල එහෙම තවමත් ඉන්නවා. අපේ රටේ වැදි පරම්පරාවත් එක් විදිහකට මේ වැනි ගෝත්‍රික ජන කොටසක්.
මේ විදිහට “තවමත් ඉන්නවා” කියද්දි ‍කාට හරි ඇති වෙන්න පුළුවනි මේ වගේ ගැටළුවක්.
“ඇයි ඉතින් මේ ලෝකෙ මිනිස්සු මෙච්චර දියුණු වෙලා ඉන්නැද්දි ගෝත්‍රිකයො තවමත් නොදියුණු තත්වෙම ඉන්නෙ?”
මේ ගෝත්‍රිකයො ඉන්නෙ වල් වැදිල. මහ කැළෑ වල. බාහිර පිටස්තර ලෝකය එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. හැබැයි ලංකාවෙ වැද්දන්ගෙ තත්වය මෙයිට වඩා වෙනස්. දැන් වැදි ජනතාව ලංකාවෙ අනිත් අය එක්ක සියලු ආකාරයේ ගනුදෙනු කරනවා. ඔවුන් සමහර වෙලාවට ඔවුන්ගෙ “වැදිකම” පාවිච්චි කරන්නෙ සංචාරකයෙකුගෙන ගාණක් කඩාගන්න වගේ වැඩකට.
මානව පරිණාමය වානරයාගෙන් පටන්ගත්තා කියන තැනට අපි යමු. මේ වානරයා රැළෙන් කැඩිල දෙපා වලින් හිටගෙන වැඩපොල කරන්න පුරුදු වීමනෙ ආරම්භය වෙන්නෙ. දැන් මේ වානරයගෙ අත් දෙක නිදහස් නිසා නොයෙකුත් වැඩපොල කරන්න පටන් ගන්නව.  ප්‍රධාන කාර්ය වෙන්නෙ ආහාර සොයාගැනීමනෙ.  ඉතින් වානරය කාලෙ ගහෙන් ගහට පැන පැන පල වැල සොයාගෙන ගියාට වඩා පහසුවෙන් අඩු කාලයක් තුළ කෑම වේල හදා ගන්න එයාට පුළුවන් වෙනව අත් දෙක නිදහස් නිසා. හොඳ සතෙක් මරාගත්තනං දවස් ගානක් ගොඩ. ඔහොම යද්දි එයාට විවේක කාලයක් ලැබෙනව. මහන්සිය අඩුයි. ඉතින් පොඩ්ඩක් කලාවට එහෙම බර වෙනව. ගල් ගුහා අස්සෙ චිත්‍ර අඳිනව. ඉතින් වෙලාව ඉතුරු වුනහම කල්පනා කරන්න පටන් ගන්නව. ඔහොම ඔහොම ගිහින් වානර මිනිසා සම්පූර්ණයෙන්ම වෙනස් සත්වයෙක් බවට පත් වෙනව. ඒත් වානරය එතනමයි. එයාගෙ අත්දෙක නිදහස් වෙලා නෑනෙ. හතර ගාතයම පාවිච්චි කරනව ගස් නගින්නත් ඇවිදින්නත් හැම වැඩකටමත්.
දැන් බලන්න පළමුවෙනි කොම්පියුටර් එක හදන්න මිනිස්සුන්ට කොච්චර කාලයක් ගත වුනාද කියල. ඒත් දැන් එහෙම නෑ. දැන් කම්පියුටර් හදන්නෙත් කම්පියුටරයිස් කරපු කර්මාන්තශාලාවල.
ඒ කියන්නෙ පොඩ්ඩක් දියුණු වුනාහම එතනින් එහාට ගමන වේගවත්. පරිනාමනය වේගවත්.
මේ විස්තරය ගෙනාවෙ ගෝත්‍රික ජන කොටස් තවමත් එතනම ඉන්නෙ ඇයි කියන එක පැහැදිළි කරන්න. මේ ගෝත්‍රික ජන කොටස් බාහිර ලෝකයෙන් ඈත් වෙලා ඉන්න නිසා, ඔවුන්ගෙ මූලික කාර්යයන් කරගන්න මුළු දවසම දඟලනව. ළමයි ඉස්කෝල වලට යවන්න බෑ. දැනුම දියුණු වෙන්නෙ නෑ. බෙහෙත් වශයෙන් ගස්වල කොළ පොතු අරගෙන බොහොම ප්‍රාථමික මට්ටමෙන් හදාගන්නෙ.
මෙහෙම හැදුනු ගෝත්‍රික කණ්ඩායම් ස්ථිර වාසස්ථාන වලට පුරුදු වුනාට පස්සෙ තමයි ගම් දනව් ඇති වෙන්නෙ. ඔන්න ඒ ගම් ප්‍රසාරණය වෙලා ජාතියක් බිහි වෙනව. ඔවුන් කතා කරන්නෙ ඔවුන්ගෙ භාෂාව. ඔවුන්ගෙ ගම තුළ අදහස් හුවමාරු කරගැනීමට යොදාගත්තු ශබ්ද වචන බවට පත්වෙලා අන්තිමට භාෂාවක් වෙලා.
ඊ ළඟට අපි කතා කරමු රජවරු හැදුන හැටි.


2012-03-18

හිටගෙන චූ කරන්න එපා

මේ පොස්ට් එක පරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්න දාන එකක්.
සාමාන්‍යයෙන් ගෑණු සහ පිරිමි අතර තියන ශාරීරික වෙනස්කම් ඇතිවෙලා තියෙන්නෙ ඒ දෙකොට්ඨාශයට ජීව විද්‍යාත්මකව අයිති රාජකාරි වලට පහසු වෙන විදිහටයි. කාන්තාවන්ට සමතැන දෙන්න කියනකොට පුරුෂාධිපත්‍යය ඔළුවට ගහපු අය අහන්නෙ “ඔය ගෑනුන්ට පුළුවන්ද පිරිමින්ට වගේ චූ කරන්නවත්” කියන ප්‍රශ්නයයි. මේක සමහර වෙලාවට විහිළුවක් හැටියට පාවිච්චි කරන බවත් ඇත්ත.
ඒ මේ කතා කොහොම වුනත් මේ හිටගෙන චූ කිරීම කියන පුරුද්ද ‍විශේෂයෙන්ම පුරුෂ පක්ෂයේ අයගේ ඇඳුමත් එක්ක සම්බන්ධයි. සාමාන්‍යයෙන් අදට වුනත් අපේ ලංකාවෙ ගම්වල බොහෝ වැඩිහිටියෝ සරම අඳින වෙලාවට මේ කර්තව්‍යය කරන්නෙ වාඩි වෙලා, ඒ කියන්නෙ ඇණ තියාගෙන. ප්‍රසිද්ධ ස්ථානයකදි වුනත් ඒ අය පැත්තකට වෙලා බොහොම සීරුවට මේ වැඩේ කරනව.
මට බො‍හොම ඉස්සර කාලෙක එක මළ ගෙදරකට ගිය වෙලාවක කවුදෝ කියපු කතාවක් මතකයි. ඒක තමයි, ඉඳගෙන චූ කරන එක අසභ්‍ය දෙයක් නෙවෙයි කියල මතයක් තියෙනවයි කියල. මම එහෙම මතයක් ගැන දැනගෙන හිටියෙ නැති වුනත්, ඒ කතාව ඇත්තක් කියල මට හිතුන. පාරක් අයිනෙ වුනත් කවුරුහරි ඇණ තියාගෙන ඉන්නව දැක්කහම කවුරුවත් එයා මොනවද කරන්නෙ කියල ළඟට ගිහින් බැලුවෙ නැත්තං එය මොනව කරනවද කියල පේන්නෙත් නෑනෙ. ඒත් හිටගෙන චූ කරනකොට ජල ධාරාව හොඳට පේනව විතරක් නෙවෙයි සමහර වෙලාවට ඒ ධාරාව පටන් ගන්නා ස්ථානයත් මැනවින් දර්ශනය වෙනව.
ඒ වුනාට මේ වැඩේ කරන්න පුළුවන් කමක් නෑ කලිසමක් ඇඳගෙන ඉන්නකොට ලේසියෙන්. කලිසම පොඩ්ඩක් පාත් කරපු ගමන් පස්ස පැත්ත පේනවනෙ හඳ පෑව්ව වගේ. ඒක නිසා මං හිතන්නෙ කලිසම් අඳින යුරෝපීය ජනතාව මේ කර්මාන්තය ගැන අවබෝධයක් ලබල නැහැ.

මේ පින්තූරෙන් පේනවා කලි‍සමේ විපාකය.


මේ විෂය ගැන කියවෙන ලිපි කීපයක්ම මට අන්තර්ජාලය තුළ දකින්න ලැබිල තියනව. මේ තියෙන්නෙ ඒවට ලින්ක්.
අන්තර්ජාලයේ තියන විවිධ ලිපි වල මොනව තිබුනත් මගේ අත්දැකීම අනුව වුනත් හිටගෙන චූ කිරීම හොඳ දෙයක් නෙවෙයි. එක පැත්තක් තමයි ඉස්සෙල්ල මං කියපු විදිහට ඒ සංසිද්ධිය කාටත් දර්ශනය වීම. අනිත් එක සෞඛ්‍ය පැත්ත. මට මොකක්ද තියන අයිතිය සෞඛ්‍ය පැත්ත කතාකරන්න? මං වෛද්‍යවරයෙක් නෙවෙයිනෙ.
මං මේ මතය ගෙන හැර දක්වන්නෙ අත්දැකීම අනුව කියල ඉස්සෙල්ල කි‍ව්වෙත් ඒකයි. ඒක ඉතින් කරලම බලන්න ඕනැ. හිටගෙන චූ කරන්න යම් ශක්තියක් අවශ්‍ය වෙනව. ඒ ශක්තිය වැය වෙනව ඇත්තෙ මූත්‍ර වාහිනී නාලය විවෘත කරගන්න කියලයි මං හිතන්නෙ. අපට සිද්ධ වෙනව මූත්‍රාශය දැඩි පීඩනයකට ලක් කරන්න, මෙතනදි. එතකොට ඒ පීඩනය මොන‍ මොන අවයව වලට බලපානවද කියල දොස්තර මහත්තුරුන්ගෙන් අහල බලන්න ඕනැ. ඉඳගත්තාම එච්චර පීඩනයක් යොදන්න අවශ්‍ය නැහැ.මේකට පොඩි උදාහරණයක් කියන්නං වහෙන් ඔරෝ භාෂාවෙන්. සමහර අවස්ථාවල් තියනව පිරිමි අයට චූ කරගන්න බැරි. මේක වෙන්නෙ තරුණ ගැටවුන්ට. හිතාගන්න පුළුවන් ඇති කොල්ලන්ට. ඒ වගේ වෙලාවකදි වුනත්, ඇණ තියාගන ඉඳගත්තනං එච්චරම අමාරුවක් නැතුව වැඩේ කරගන්න පුළුවනි. අත්දුටුවයි සත්තයි.
ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනෙක් අද කාලෙ පාවිච්චි කරන වැසිකිළි කොමඩ් වලට වඩා ස්කොටිං පෑන් පාවිච්චි කිරීම හොඳයි කියල කියන මතයකුත් තියනව. හැබැයි ඉතින් කළිසමක් ඇඳගෙන ඉන්න වෙලාවටනං ස්කොටිං පෑන් තියන ටොයිලට් එකකට යන එක මළ වදයක්.


2012-03-08

අද ලෝක කාන්තා දිනයයි

අද ලෝක කාන්තා දිනයයි. සෑම වසරකම මාර්තු 08 වෙනි දින කාන්තා දිනය සමරනු ලැබෙනවා. මේ වසරේ සමරනු ලබන්නේ 101 වෙනි කාන්තා දින සැමරුමයි.
ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ විවිධ පීඩා , ඇනුම් බැනුම්, නින්දා අපහාස විඳිමින් ලොව සතර දිග්භාගයේ පීඩාවට පත් වූ කාන්තාවන් ඒ පීඩනයෙන් මිදෙන්නට ඉතිහාසයේ වරින් වර දැරූ උත්සහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට ‍එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමේ අරමුණින් අන්තර්ජාතික කතිකාවත් රැසක් ප්‍රකාශයට පත් කර ති‍බේ. මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ ද එවැනි පසුබිමක් යටතේය.
ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද පසු 1911 මාර්තු 19දා ලෝකයේ පළමුවැනි ජගත් කාන්තා දිනය සමරනු ලැබ තිබේ. විසිවැනි සියවසේ ශීඝ්‍ර කාර්මිකකරණය හා ආර්ථිකය පුළුල් වීම තුළ ඇතිවුනු වැඩ කිරිමේ කොන්දේසි වලට විරෝධය පළ කිරීමක් වශයෙන් කාන්තා දිනයක් පිළිබඳ අදහස ඉදිරිපත් වී ඇත.
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ජෝන් ස්ටුවර්ට් මහතා 1869දී කාන්තාවන්ට ඡන්දය දීමේ අයිතිය පිළිබඳව කථා කළ ප්‍රථමයා වෙයි. 1893 සැප්තැම්බර් 19දින නවසීලන්තය කාන්තාවන්ට ඡන්ද බලය ලබා දුන් ප්‍රථම රාජ්‍යය බවට පත් විය. අවුරුදු ගණනාවක් යන තුරු වෙනත් රටවල කාන්තාවන්ට මෙම වරප්‍රසාදය අත් විඳින්නට හැකි වූයේ නැත.
වැඩකරන කාන්තාවන්ගේ දෙවැනි ජාත්‍යන්තර සම්මේලනය 1910දී කෝපන්හේගන් නගරයේදී පැවැත්විනි. ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාන්තා කාර්යාංශයේ නායිකාව වූ ක්ලාරා සෙට්කින් ජාත්‍යන්තර කාන්තා දිනයක් ගැන අදහස එහිදී ඉදිරිපත් කළාය. සෑම වසරකම සෑම රටකම එකම දිනයකදී උත්සවයක් පැවැත්විය යුතු බව ඇය යෝජනා කළාය. ෆින්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි පළමුවැනි කාන්තා මන්ත්‍රීවරියන් තිදෙනා ඇතුළු වෘත්තීය සමිති, සමාජවාදී පක්ෂ, වැඩකරන කාන්තාවන්ගේ සංගම් ආදිය නියෝජනය කරමින් රටවල් 17ක කාන්තා නියෝජිතවරියන් 100ක් මෙම සම්මේලනයට සහභාගි වූවාය. එහිදී සෙට්කින්ගේ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදී. එහි ප්‍රතිපලය වූයේ ජාත්‍යන්තර කාන්තා දිනයයි.
ඊ ළඟ අවුරුද්දේ ක්ලාරා සෙට්කින් විසින්ම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම දියත් කළේ මාර්තු 19වැනිදා ය. ප්‍රසියානු රජු 1848 කැරැල්ලේදී වැඩකරන ජනතාවගේ ශක්තිය තේරුම් ගත් දිනය මාර්තු 19 වීම එම දිනය තෝරාගැනීමට හේතු විය. ඔහුගේ විවිධ කඩවුණු පොරොන්දු අතර කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීම ද එකක් විය.
ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8වැනිදාට මාරු කරන ලද්දේ 1913දීය. 1975දී එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් ජගත් කාන්තා දිනය පිළිගනු ලැබිනි.
චීනය, ආරමේනියාව, රුසියාව, අසර්බයිජානය, බෙලාරුසියාව, බල්ගේරියාව, කසකස්ථානය, කිර්ගිස්ථානය, මැසිඩෝනියාව, මෝල්ඩෝවා, මොන්ගෝලියා, තජිකිස්ථාන්, යුක්රේනය, උස්බෙකිස්ථානය හා වියට්නාමය යන රටවල, මාර්තු 8 දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ආරම්භය කෙසේ වුවද, අද වන විට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනස් මුහුණුවරක් ගෙන ඇත්තේ ඇයිදැයි විමසා බැලීම වැදගත්ය. අද කාන්තාවන් අයිතිවාසිකම් ලෙස සළකන්නේ හුදෙක්ම කාන්තා සංගම්  නායිකාවන් විසින් මවාගන්නා ලද කරුණු කාරණාවන් සමූහයකි. කාන්තාවට ඇති සැබෑ ගැටළු මොනවාදැයි යන්න ගැන කිසිදු අවබෝධයක් නොමැති ඊනියා විමුක්ති සංගම් නායිකාවන් කරන විප්‍රකාර දෙස බැලූ විට ඇති වන්නේ ඛේදයකි.

2012-03-07

Speaking English our way අපි නොදන්න ඉංගිරිසිය (අනතුරු ඇඟවීමක්)


 මේ දවස්වල මොබයිල්මෑන් ගෙනයමින් පවතින රාවණා රජතුමා සහ සිංහල ජාතිය පිළිබඳ සංවාදාත්මක විමසුම පොඩ්ඩකට විතර අත්හිටුවලා මේ වගේ පෝස්ට් එකක් දාන්න හිතුවේ මොබයිල්මෑන්ට අහන්නට ලැබුනු එක්තරා ආරංචියක් නිසායි. මේ ආරංචිය මොබයිල්මෑන්ට ලබාදුන්නු අය සිද්ධිය පිළිබඳව එහෙමට දැනුම්වත් වී සිටියේ නැහැ.
මේ දවස්වල ජයටම කරගෙන යන වැඩසටහනක් තමයි, අපේ විදිහට ඉංගිරිසි කතා කරමු කියන එක. මේක බැලූ බැල්මට බොහොම ජාති හිතෛෂී වැඩසටහනක් කියල තමයි පේන්නෙ. ඒ ‍වගේම ඒ ගැන කතා කරන්නෙත් එවැනිම පදනමක ඉඳල.

ලංකාවේ බොහෝ දෙනකුට සුද්ද වගේ ඉංගිරිසි කතා කරන්න බැහැ. හැබැයි අනිත් පෙරදිග බොහෝ රටවලට වඩා ලංකාවේ අයගෙ ඉංගිරිසි දැනුම සහ ඉංගිරිසියෙන් යමක් කීමේ, තේරුම් ගැනීමේ හැකියාව ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම වැඩියි කියන එකයි මොබයිල්මෑන්ගෙත් අදහස. (තර්කයට එන අයට කළින්ම පැහැදිළි කරන්න එපායැ. ලංකාවේ ජනගහණයෙන් සියයට යම් ගණනක් ඉංගිරිසියෙන් කථා කරන්න දන්නවනම්, අනිත් පෙරදිග රටවල් ගත්තහම ඒ රටේ ජනගහණයෙන් ඉංගිරිසි කතා කරන්න පුළුවන් අය සියයට ගණනක් වශයෙන් අපේ රටට වඩා අඩුයි කියලයි මේ කියන්නෙ)

මේ සංඛ්‍යාලේඛණ මොබයිල්මෑන් සතුව නැති වුනත් රටේ තොටේ ඇවිදීමෙන් සහ වෙනත් රටවල ඇවිදීමෙන් වගේම වෙනත් රටවල ඇවිදපු අය එක්ක කරපු කතා බහෙනුත් එක් කරගත්ත අත්දැකීම අනුවයි ඒ වගේ අදහසක් මොබයිල්මැන්ට ඇවිත් තියෙන්නෙ.

ඒ වගේම උච්චාරණය ගැන සළකල බැලුවහම ලංකාවේ මිනිස්සු එක්ක ඉංගිරිසි කතා කරන්න සුද්දටවත් බැහැයි කියල සමහර අය කියනවනෙ.  මේකෙන් අදහස් කරන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ අනුකරණ හැකියාව වැඩි කම වෙන්නට පුළුවනි. කොහොම වුනත් මේ තත්වයේ ප්‍රතිපලයක් විදිහට විදේශීය ශ්‍රම වෙළඳපොල තුළ ලංකාවේ අයට වැඩි වටිනාකමක් ලැබෙනවයි කියන එක ඉතා පැහැදිළි කාරණයක්. ඒ වගේම, කළාපයේ අනිත් රටවල අයට ඒක යම් තර්ජනයක් කියල කියන්නත් පුළුවනි.

ඒ නිසා. මේ සන්දර්භය ඇතුලේ ලංකාව පරද්වන්නනම් එක්කෝ අනිත් රටවල අයත් සුද්දා වගේ ඉංගිරිසි කතා කරන්න පුරුදු කරවන්න වෙනව. එහෙම නැතිනම්, ලංකාවේ අයටත් ලෝකල් ඉංගිරිසි භාෂාවක් කතා කරවන්න වෙනව.

ඒ වගේම තවත් පැත්තක් තියනව. ලංකාවේ එදා ඉඳන් හිටපු කොම්ප්‍රදෝරු පෙළැන්තිය ඉංගිරිසි භාෂාව කඩුවක් හැටියට පාවිච්චි කළා. පළිහක් වෙනුවට කඩුවක්. ඔවුන් සාමාන්‍ය ජනතාව මෙල්ල කරන්න භාවිතා කරපු කඩුව තමයි මේ ‍ෆ්ලුවන්ට් ඉංගිරිසි භාෂාව. සාමාන්‍ය ජනතාවගේ ඉංගිරිසි දැනුම සමහර විට ඔවුන්ට වඩා වැඩි වුනත් අර ෆ්ලුවන්ට් ඇක්සන්ට් පුරුදු නැතිකම නිසා කැපෙනවා. මේ තත්වය නැති වුනොත් ඒක කොම්ප්‍රදෝරුවන්ට තර්ජනයක්.

කොහොමත් ලංකාවෙත් ලෝකල් ඉංගිරිසි කෑලි තියෙනව. මෙන්න උදාහරණ කීපයක්.
ටී එකක් කියන්නෙ මිල්ක ටී එකක් හෙවත් කිරි සහිත තේ එකක්.
බවුසරයක් කියන්නෙ ටෑන්කර් ට්‍රක් එකක්.
ඔයා යනවනෙ කියන යෙදුම යූ ආ ගොයින්‍ග් නෝ කියලයි කියන්නෙ.
ඒ වුනත්, මයි ඩියර් වෙයාර් ආර් යූ ගොයිං ටුඩේ වගේ කතා නං ලංකාවෙ ඇහෙන්නෙ නෑ. පේව්මන්ට් එකේ බඩු විකුනන කොල්ලා ගොඩක් ලස්සනට ඉංගිරිසි කතා කරනව. ලංකාවේ ඉස්කෝලෙක සාමාන්‍ය පෙළ පංතියට එනකන් ඉගෙන ගත්තු ළමයෙකුට සාමාන්‍ය ඉංගිරිසි සංවාදයක් තේරුම් ගන්න එච්චරම අමාරු නෑ. ගැටළුව තියෙන්නෙ ඇක්සන්ට් එක තේරෙන්නෙ නැති කම.

අද මේ ලිපියෙන් කියන්න අදහස් කළේ, මෙහෙම හොඳට ඉංගිරිසිය කතා කරන අපේ අයට දැන් මේ අපේ හැටියට ඉංගිරිසි කතා කරන්න උගන්නන්න ගියාම, අර විදේශීය ශ්‍රම වෙළඳපොල ඇතුලෙ අපේ වටිනාකමත් බහිනව නේද කියන එකත්, කොම්ප්‍රදෝරුවට තර්ජනයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ ඇහිරෙනව නේද කියන එකත් ගැනයි. ස්පීකින් ඉංග්ලිෂ් ඉන් අවර් වේ ගැන සන්ඩේ ටයිම්ස් පත්‍තරේ ගිය ලිපියක් කියවද්දි මේ අදහස යම් දුරකට තහවුරු වුනා. ඒ ලිපියෙන් කියන්නෙත්, ආරම්භයේදී අපේ විදිහට ඉගෙනගෙන නවතින්නෙ නැතුව උන්ගෙ විදිහට කතා කරන්නත් පුරුදු වෙන්න කියලයි.

කවුරු මොනව කිව්වත්, ඕනෑම භාෂාවක් නිවැරදිව කතා කරන්නෙ ඒ භාෂාව තමන්ගෙ මව් භාෂාව හැටියට කතා කරන රටේ මිනිස්සුනෙ. ඒ මිනිස්සු භාෂාවේ යම් දෙයක් වෙනස් ආකාරයට භාවිතා කරනවනම් ඒ විදිහ නිවැරදි විදිහ බවට පත් වෙනව. මෙහෙ ඉන්න අපි ඉංගිරිසි කාරයාගේ භාෂාව අපට ඕනැ හැටියට හදාගන්නව කියන්නෙ එක්තරා විකාර අදහසක් කියන එකයි මොබයිල් මෑන්ගෙ අදහස. භාෂාවක් කියන්නෙ යම් අදහසක් සන්නිවේදනය කරන්නට සම්මත කරගත්තු ශබ්ද හැසිරවීමේ පටිපාටියක් වගේ එකක්. ඒ සම්මතේ ඇති වෙලා තියෙන්නෙ ඒ භාෂාව මව් භාෂාව හැටියට කතා කරන මිනිස්සු අතර.  අපේ ගෙදර ඉන්න අයට මං ඉගැන්නුවොත් මීය කියන්නෙ පූසට ය කියල ඒක තේරෙන්නෙ අපේ ගෙදර ඉන්න මිනිස්සුන්ට විතරයි. අපේ ක්‍රමේට ඉංගිරිසි කතා කරන්න හදන්නෙ අපේ එවුන් එක්කලම නේද?

ඒක ඉංගිරිසිය කෙසේ වෙතත් අපට අපේ මව් භාෂාවත් නැති වෙන පොටක් විය නොහැකිද?

ප ලි
කරුණාකර පළමුවැනි කමෙන්ට් එකට මා දී ඇති පිළිතුරත් බලන්න. සමහරවිට මගේ ලිපිය පැහැදිළි මදි ඇති.

පින්තූර උපුටා ගත්තා මෙම තැන් වලින්
1. http://www.cbswords.com/default.php/cPath/21&docid=lwrbAgQCAe5I5M&img
2. FaceBook

2012-03-05

ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි

හැමදාම හිතට වද දෙන දේවල් ඇහේ ඇනෙන දේවල් ගැනම ලියන්නෙ නැතිව පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් දෙයක් ගැන ලියන්න හිතුනා.
අහල තියනවද විලියම් ෂේක්ස්පියර්. මහා කවි වියලම් ෂේක්ස්පියර්, ඉංගිරිසි සාහිත්‍යයේ බැබලුනු නිර්මාණකරුවෙක්. ඇත්තටම කවියෙක් සහ නා‍ට්‍ය රචකයෙක්. එංගලන්තයේ කවියා (නැෂනල් පොයට් ඔෆ් ඉංග්ලන්ඩ්) යන විරුදාවලියෙන් නිතර හැඳින්වුන නාට්‍ය 34ක් ඇතුළු ඔහුගේ සම්භාව්‍ය නිර්මාණ අතරින් හැම්ලට්, ඔතෙලෝ, මැක්බත්, එතකොට රෝමියෝ සහ ජුලියට් අපේ ‍රටේ අයටත් හුරුයි.

ඔහුගේ උපත පිළිබඳ වාර්තාවක් නැති නිසාදෝ මෙන්න මෙහෙම කතන්දරයක් කියල තිබුන අපේ රටේ මනුස්සයෙක්.
හම්බන්තොට පැත්තෙ හිටියලු සෙක්කුපේරුගේ ජුවානිස් කියල මනුස්සයෙක්. මේ සෙක්කුපේරුගේ පරම්පරා නාමය සහිත අය තවමත් ඒ පැත්තෙ ඉන්නව කියලයි කියන්නෙ. මේ ජුවානිස්ගෙ පුතා තමයි විලියම්. කුඩා කාලෙදිම මොකක් හරි හුටපටයක් නිසා පොඩි එකා එංගලන්තෙට යැවිල. එහෙදි, සුද්දගේ සිස්ටම් එක අනුව සෙක්කුපේරුගේ විලියම් කියන නම විලියම් සෙක්කුපේරුගේ වුනා. විලියම් කෑල්ල කොහොමටත් සුද්දගේ කටට හුරු වුනත් සෙක්කුපේරුගේ කියල කියන එක ලේසි වුනේ ‍නෑ. ඒක තමයි ෂෙක්කුපේරු බවට පත් වෙලා ඊට පස්සේ ෂේක්ස්පියර් වෙලා තියෙන්නෙ.
මට මේ කතන්දරේ හදිසියෙ මතක් වුනේ මේකයි. “අරහත්” කියන වචනය “අලහත්” වෙලා “අල්ලහත්” වෙලා “අල්ලාහ්” වුනා කියල දැනගන්න ලැබුනනෙ අද. මේක වෙලා තියෙන්නෙ ඔය මහමද් නබි නායක තුමා බුද්ධාගම් කාරයෙක් වෙලා හිටපු නිසාලු. වැඩේ කියන්නෙ, අවිහිංසාවාදී අනාත්මවාදී ධර්මයක් ඉගෙනගත්ත පොර ගමට ගිහිල්ල අතිශයින්ම ආත්මවාදී වූත් සත්ව හිංසාව තඹයකට නොසළකන්නා වූත් ආගමක් දේශනා කරපු එකයි.
ඉතිං ‍එහෙම එකක් වුනානං ෂේක්ස්පියර්ගෙ ගම හම්බන්තොට වීම අරුමයක්යැ.

දැන් බලපුවහම-
රාවණා රජ්ජුරුවො බෞද්ධයෙක්. (මිහිඳු හාමුදුරුවො මොන මගුලකට ලංකාවට වැඩියද මන්ද)
නබි නායක තුමා බෞද්ධයෙක්.
යේසුස් බෞද්ධයෙක්.
මේ අපි තමයි දැන් අබෞද්ධයො වෙලා ඉන්නෙ.
මේ ලිපිය හුදෙක් විනෝදය සඳහා ලියන ලද්දකි.
මාර්තු 7වැනිදා ඉතා බරපතල අනතුරක් ගැන හෝඩුවාවක් බලාපොරොත්තු වන්න.

2012-03-03

රාවණා රජතුමා ගැන කතා බහ වෙන අතකට !

අපි දැන් ටිකකට රාවණා රජ්ජුරුවො ගැන කතා කරන එක පැත්තකින් තියල අපේ සිංහල සංස්කෘතිය ගැන හිතල බලමු. අනිත් හැම ජනකොටසකගෙ වගේම අපේත් සංස්කෘතිය හැදිල තියෙන්නෙ අපේ රටට ගැලපෙන විදිහටයි. මේක මේ කලා‍ප‍යේ වෙනත් රටවල සංස්කෘතියටත් අඩු වැඩි වශයෙන් සමානකම් දක්වනවා. එයට අමතරව, ආගම් වලින් සහ භාෂා වලින් සංස්කෘතිය කෙරෙහි ඇති වූ බලපෑම් තිබෙනව.
පසුගිය ලිපිය සහ එයට පෙර ලිපිය ඔබ දකින්නට ඇතැයි සිතනවා.
සිංහල භාෂාව බොහෝ දුරට සංස්කෘත සහ පාලි භාෂාවන්ට සමානකම් දක්වන අතරම එම භාෂාවන්ගෙන් ව්‍යුත්පන්න වුනු භාෂාවක් හැටියට සළකන්න පුළුවනි. සමානකම් දක්වන්නේ වචන වල රූපාකාරයන්ගෙන් සහ ව්‍යාකරණ යෙදෙන පිළිවෙල, වරනැගීම ආදී දේ ගැන සළකන විටයි.
ලෝකයේ තිබෙන භාෂාවන් ගැන සැළකීමේදී ප්‍රධාන වෙනස්කම් සහිත භාෂා පවුල් අපට හඳුනගන්න පුළුවනි. අපට වඩා හුරු බටහිර භාෂාව වන ඉංගිරිසිය ගැන හිතල බලමු. ඒ භාෂාවේ අපේ භාෂාවන්ට වඩා ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් වෙනස් කම් දෙකක් තමයි, වාක්‍යයක් හැදෙන රටාව සහ අකුරු යොදා ගන්නා ආකාරය.
ඉංගිරිසි, ප්‍රංශ, පෘතුගීසි, ජර්මන් ආදී භාෂාවන්  පාවිච්චි කරන්නෙ රෝමානු අකුරු වර්ග. ඒ වගේම, වාක්‍යයක් ලියද්දි කතෘ, ක්‍රියාව සහ කර්මය කියන පිළිවෙල තමා යොදා ගන්නෙ. ක්‍රියා විශේෂණය පවා යෙදෙන්නෙ ක්‍රියාවට පස්සෙ.
උදාහරණයක් හැටියට
මම ඉක්මණින් ගෙදර යනවා.
අයි ගෝ හෝම් ක්වික්ලි.
(මම යනව ගෙදර ඉක්මණින්.)
එතකොට අරාබි භාෂාවන්.
ඒ අය පාවිච්චි කරන්නෙ වෙනත් අකුරු වර්ගයක්. ලියන්නෙ දකුණෙ සිට වමට. වාක්‍ය හැදෙන පිළිවෙල ඉංගිරිසියෙ වගේ බොහෝ දුර‍ට. (ගූගල් ට්‍රාන්ස්ලේටර්  එකේ උදවුව ගත්ත චෙක් කරන්න)
තව තියනව, චීන සහ ජපන් වගේ භාෂාවන්.
ඒව ලියන්නෙ අකුරු වලින් නෙවෙයි සංකේත වලින්. වෙන් වෙන් වශයෙන් අකුරු ගලපගන්න අමාරුයි. හැබැයි වාක්‍ය ගැලපෙන්නෙ අපේ වගේම තමයි.
දැන් බලමු අපි සිංහල, දෙමළ, හින්දි වගේ භාෂාවන්.
මේ භාෂා සියල්ලෙම අකුරු වෙන වෙනම තියෙනව එක් එක් ශබ්දය සඳහා. ඒ කියන්නෙ අකුරෙන් කියවෙන ශබ්දය ගත්තොත් අකුරු දන්න ඕනැ කෙනෙක් ඔය අකුර දිහා බලල ප කියන ශබ්දය පිට කරනව. පය කියන වචනය කවුරුවත් වෙන විදිහකට කියවන්නෙ නෑ, පය ම තමයි.
අනිත් සමානත්වය තමයි, වාක්‍ය හැදෙන පිළිවෙල. මම නගරයට යමි. මේ භාෂා හැම එකකම වාක්‍ය හැදෙන්නෙ එහෙම්ම තමයි.
අපට පේන දේ
මේ කාරණ වලින් අපට පේන දේ තමයි, ලෝකෙ පුරාම මිනිස්සු ව්‍යාප්ත වුනාට පස්සෙ, භාෂාවන් හදාගන්න කාලෙ වෙනකොට, එක් එක් කලාපයන්වලට අනන්‍ය වූ ආකාරයකට තමයි භාෂාවන් සහ අකුරු හැදිල තියෙන්නෙ කියන එක. එතකොට, බටහිර එක් ආකාරයකටත්, මැද පෙරදිග තවත් ආකාරයකටත්, ඉන්දු උප මහාද්වීපීය කලාපයේ තවත් ආකාරයකටත්, චීනය පැත්තට වෙන්න තවත් ආකාරයකටත් භාෂාව වැඩිල තිබෙනවා.
දැන් අපි බලමු ඉන්දියානු කලාපයේ භාෂාවන් පැතිරිලා තියෙන්නෙ කොහොමද කියල.
ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් කුලක දෙකක් හඳුනාගන්න පුළුවන් භාෂා පවුල් වශයෙන්. උතුරු කොටස සහ දකුණු කොටස වශයෙන්. මේ දෙක අතර ලොකු වෙනස්කම් තිබෙනවා. උතුරු ඉන්දියානු භාෂාවන් ලියන්නෙ දේවනාගරී අක්ෂර හෝ එයින් බිඳී ගිය අක්ෂර භාවිතා කරමින්. දකුණු ඉන්දියානු භාෂාවන් ලියන්නෙ ද්‍රවිඩ භාෂා කුලකයේ අක්ෂර ආශ්‍රයෙන්.
මේ දේවනාගරී අක්ෂර සහ සිංහල අකුරු අතර තියෙන සමානකම් මේවායි.
අ ආ වගේ ස්වර තියෙනවා. ක ඛ ග ඝ යනාදී වශයෙන් මහාප්‍රාණ සහිත ව්‍යංජනාක්ෂර තියෙනවා. න ණ ල ළ භේදය තියෙනවා. ස්වර අනුව ව්‍යාංජනාක්ෂර යෙදීමට කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල, ඉස්පිල්ල ආදී දේවල් තියෙනවා. හැබැයි ඔවුන් හල් කිරීම පාවිච්චි කරන්නෙ අඩුවෙන්. ඒ වෙනුවට සාමාන්‍යයෙන් බැඳි අකුරු තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ.
වෙනස්කම් මොනවද? ප්‍රධාන වෙනස්කම, ඇදය. සිංහල භාෂාවේ විතරයි “ඇදය” තියෙන්නෙ. ඒකනෙ කුමාරතුංගයන් කට ඇද භාෂාව කියල සමහරු කියපු ක්‍රමේකට ලිව්වෙ. (ඒ ඇදයෙන් ගන්න පුළුවන් තේරුම වචන දෙක තුනක් නැතුව ගන්න බෑ.) අනිත් එක තමයි සඤ්ඤක අකුරු නැති එක.

දැන් බලන්න උඩ සටහන. හින්දි සහ රාජස්ථානි එකම අකුරු පාවිච්චි කරන්නෙ. ඒ අකුරු වලට කියන්නෙ “දේවනාගරී” කියලයි. ගුජරාති අකුරු හැදිල තියෙන්නෙ බොහෝ දුරට සමානව. අර හින්දි දේවනාගරී අකුරු වල උඩින් තියෙන හරස් ඉර නැති වුනාම ගුජරාති වෙනව වගේ ගතියක් තියෙනව. බෙංගාලි අකුරුත් සෑහෙන දුරට දේවනාගරී අකුරු වගේමයි.
දෙමළ, මලයාලම්, කන්නඩ හා තෙළිඟු භාෂාවන් ගැනෙන්නෙ දකුණු ඉන්දියානු භාෂාවන් වශයෙන්. මේ පහළින් තියෙන රූප සටහන බලන්න. 

දෙමළ අකුරු සහ සිංහල අකුරු අතර සමානකම් බැලුවොත්, ස්වර වශයෙන් අ ආ ඉ ඊ උ ඌ යනාදිය තිබීම, ව්‍යංජන වලට පාපිලි ඉස්පිලි යොදා ස්වර අනුව යොදනවා. න ණ ල ළ භේදය ගොඩක් සැරට තියෙනවා.
වෙනස්කම් මේවායි. කොම්බු දෙකක් තියෙනවා කෙටි සහ දිග වශයෙන්. අපි කොම්බුව දික් කරගන්නෙ අකුරට හල් කිරීමක් යොදලනෙ. (තෙ කියන එක තේ කරන්න ත යන්නට හල් කිරීමක් දානවනෙ.) දෙමළ අකුරු වල ඒකට වෙනම කොම්බුවක් තියෙනව. අනිත් එක අපි වෛ කියල ලියන ඩබල් කොම්බුව වෙනුවටත් වෙනම තනි සංකේතයක් තියෙනව. උඩ රූපයෙ මලෛයාලම් කියල ලියල තියෙන හැටි බලන්න. ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් එකේ මලයාලම් කියල ගහපුවහම ආවෙ මලෛයාලම් කියල. දෙමළ භාෂාවෙ එහෙම ‍කේස් එකක් තියනව. රත්නපුර කියල කියන්න බෑ ඉරත්නපුරෛ වෙනව.දෙමළ භාෂාවෙත් “ඇදය” සහ සඤ්ඤක අකුරු දකින්නට බැහැ.
මලයාලම් භාෂාවෙ ය යන්න සහ ඇලපිල්ල අපේ වගේමයි නේද? කන්නඩ සහ තෙළිඟු අකුරුනම් ටිකක් හොල්මන්.

දැන් මේ විස්තර අනුව, සිංහල ජාතිය කෙසේ වුවත්, සිංහල භාෂාවේ අකුරු සහ උතුරු ඉන්දියාවේ අකුරු අතර සම්බන්ධතාව සිංහල භාෂාවේ අකුරු සහ දකුණු ඉන්දියාවේ අකුරු අතර සම්බන්ධය‍ට වඩා වැඩියි.
වචන හැදිල තිබෙන ආකාරය අනුවත් සිංහල දෙමළ සමානත්වයට වඩා සිංහල හින්දි සමානත්වය වැඩියි කියන්න පුළුවනි. ඒත් විභක්ති වරනැගීම වගේ දේවල් සිංහල භාෂාවෙදි ගොඩක් සරළයි.
ඒ අනුව නම් සිංහලයා ඉන්දු ආර්ය සම්භවයෙන් පැවතෙනව කියල කියන්න පුළුවන් වගේ.
(මතු සම්බන්ධයි)