2012-11-25

උපුටා ගැනීමකි - කතෘ අඥාතයි



උපුටා ගැනීමකි - කතෘ අඥාතයි
(මල් වඩම් අනවශ්‍යයි)

පිටරට ගිහින් ආපු ගමන් පොරක් වයිෆ්ගෙන් අහනවලු, “ඒක නෙවෙයි අනේ, මං නිකං පිටරට කෙනෙක් වගේද පේන්නෙ ඈං?”
“න්නැහ්, ඇයි ඔයා එහෙම ඇහුවෙ?”
“නෑ නෑ. මං ලන්ඩන් වල ඉන්නැද්දි එහේ ලේඩි කෙනෙක් එකපාරම මගෙන් ඇහුවනෙ මං පිටරටකින් ආවද කියල?”

සංචාරකයෙක් අහනවා ගැමියෙකුගෙන් මෙහෙම.
“මේ ගමේ කවුරුහරි ශ්‍රේෂ්ට පුදගලයෙක් ඉපදිලා තියනවද?”‍‍
“අපෝ නෑ... මෙහෙ උපදින්නෙ පොඩි බබාල විතරයි”

සම්මුඛ පරීක්ෂණයක දෙබසක් මෙසේය.
“දැන් මෙහෙම හිතන්න, ගොඩනැගිල්ලක තුන්වැනි තට්ටුවේ ඔබ සිටිද්දී එහි ගින්නක් ඇති වෙනවා. ඔබ කොහොමද පණ බේරාගන්නේ?”
“ඒක හරිම පහසුයි, මං මගේ සිතුවිල්ල වෙනස් කරගන්නවා”

තවත් සම්මුඛ පරීක්ෂණයක දෙබසක් මෙසේය.
ඔයා “MS Office දන්නවද?”
“නෑ, මට එතන ඇඩ්ඩ්‍රස් එක කිව්වොත් හොයාගෙන යන්න පුළුවනි”

2012-11-17

රතු වැස්ස

 
ලෝකේ වැඩියෙන්ම අමනයන් ඉන්න රට මොකක්ද?
ඒ අපේ ලංකාව නොවන බව නම් සහතිකයි. ලංකාවේ අධ්‍යාපන මට්ටම සහ සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින බව ප්‍රසිද්ධ කාරණයක්. ඒත්, දැන් දැන් මේ රටේත් සෑහෙන අමනයන් සංඛ්‍යාවක් ඉන්නවාදැයි කියලා සැකයක් මතුවෙනවා.
මේක පළවෙනි සැකය.
ඒ ගැන ලිපියක් මං මේ බ්ලොග් සඟරාවෙ පළ කළා.
මේක නැවත වරක් ඉස්මතු වුනේ අද දිවයින පත්තරේ යන ලිපියක් දැකීමෙන්. (ඉරිදා දිවයින සෙනසුරාදාට බලන්න පුළුවන් බව කවුරුත් දන්නව නේද?)
ඊයේ පෙරේදා මොනරාගල අම්පාර පළාත් වලට රතු පාටට වැස්සක් වැටුනලු. මේක ගැන විවිධ මතවාද ඉස්මතු වෙන එක ස්වාභාවිකයි. ඒත් විද්‍යාත්මක වේශයෙන් මතවාද ඉදිරිපත් කරන්න ඉස්සරවෙලා මේවා ගැන ඉවසීමෙන් සොයා බැලීම වැදගත් නේද?
මේ බලන්න මේ ලිපියත් මේ ලිපියත්.
මොකක් හරි සිද්ධියක් වුනාම ඒ ගැන කතන්දර නිර්මාණය කරන්න ඉස්සර වෙලා වුනේ මොකක්ද කියල හොයල බලන පුරුද්ද අපි ඇති කරගත යුතුමයි.
එහෙම නැත්තං මේ කපටි රැළක් එකතු වෙලා ලංකාව එක්කෝ මහායාන බුද්ධාගම කරා ගෙන යාවි. නැත්තං පහුගිය තිස් අවුරුද්ද අමතක වේගන එනකොට තවත් තිස් අවුරුද්දක් හෝ හැට අවුරුද්දක් දුක් විඳින්න ක්‍රමයක් ‍සෙට් කරාවි.

2012-11-03

ඩ්‍රයිවින් නොදන්න අයට - දන්න අයත් බැලුවට කමක් නෑ (17+)



ලංකාවෙ මහාමාර්ග පද්ධතිය දැන් ඉස්සරට වඩා ගොඩක් සංවර්ධනය වෙලා. තවමත් සංවර්ධනය නොවුනු මාර්ග නැතුවා නෙවෙයි. ඒත් ඒවාත් අද හෙටම වැඩි දියුණු කරන බවට තැනින් තැන පාර මැද කහපාට කතිර සළකුණු පෙන්නුම් කරනවා. මේ කතිර සළකුණු දමන්නේ ඒ පාරේ උස මට්ටම සහ දිග පළල මැනීමෙන් පස්සෙයි. ඉතින් එහෙම මැනලා ඒවා නිකන් තියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ.

මහා මාර්ග පද්ධතිය සංවර්ධනය වීමත් එක්කම අපට අහන්න ලැබෙන්නේ රථ වාහන අනතුරු ප්‍රමාණයත් වර්ධනය වෙලා තිබෙන බවයි. ඉතින් මේකට වැරදි කාරයන් වන්නේ රථ වාහන රියදුරන්ය කියන කතාව එකහෙළාම පිළිගන්න බැහැ. එහෙම වුනත්, අපේ රටේ වාහන පදවන සමහර අය රිය පැදවීම හරියාකාරව ප්‍රගුණ කරල නැති බව නම් නොකියාම බැරි කාරනාවක්.

මහා මාර්ගයේ නීති රීති තියෙන්නෙ සුදු පටි රාළහාමිලාට ගානක් හොයාගන්න නෙවෙයි. ආණ්ඩුවට දඩ මුදල් වලින් ආදායමක් ලබාගන්නත් නෙවෙයි. පාරෙ යන පදිකයන් සහ වාහන වලින් යන මගීන් යන සියලුම දෙනාගේ ආරක්ෂාව සඳහා තමයි මේ නීති වැඩිහරියක් පනවලා තියෙන්නෙ. ඒ වුනත්, ඒ නිති රීති ගැන අවබෝධයක් ඇතුව රථ වාහන පදවන්නෙ කීයෙන් කී දෙනාද කියල පාර අයිනට වෙලා පොඩ්ඩක් බලා හිටියොත් පේනවා.

මේ නීති රීති අනුගමනය කරන එක හුදෙක්ම පොලීසියෙන් බේරීම සඳහා පමණක් කරන එකයි වැරැද්ද වෙලා තියෙන්නෙ. දැන් බලන්න කල්පනා කරල සමහර නීති නොසළකා හැරීම නිසා සිද්ද වෙන පාඩු මොනවද කියල.

බොහෝ දෙනෙක් තකන්නේම නැති එක නීතියක් තමයි පාරෙ ඇඳල තියෙන කහපාට කොටු දැළ. මේක ඇඳල තියෙන්නෙ ඒක උඩ වාහනයක් නවත්තගෙන ඉන්න එපා කියන්නයි. මේ නීතිය පොලිස් කාරයෝ ගනන් ගන්නෙත් නෑ, රියැදුරෝ ගණන් ගන්නෙත් නෑ. ඒකෙන් වෙන්නේ වාහන තදබදය වැඩි වෙන එක විතරයි. පුධාන පාරට හරස් පාරක් සම්බන්ධ වෙන තැන්වල තමයි මෙහෙම කොටු ඇඳල තියෙන්නෙ. අපේ රියැදු‍රු මහත්තුරු කරන්නෙ පාර ඉස්සරහට අවහිර වෙලා තියනවනම් යන්න පුළුවන් උපරිම දුරක් ගිහින් නවත්තන එක මිසක් එතන කොටු තියනවද රවුම් තියනවද කියල බලන එක නෙවෙයි. ඉතින් මොකද වෙන්නෙ, අර හරස් පාරට හරවන්න හිතාගෙන අනිත් පැත්තෙන් එන වාහනය, හරස් පාර ළඟදි නවත්ත ගන්නවා. එයාට හරවලා යන්න බැහැනෙ. ඉතින් එයාට පිටි පස්සෙන් ආපු වාහන වැළම නවතිනවා. මේකෙ ප්‍රතිපලයක් විදිහට සමහරවිට ඊ ළඟ ප්‍රධාන මංසන්ධියත් අවහිර වෙන්න පුළුවනි.

අනිත් කාරණාව තමයි, පාර බදු අරගෙන ගමන් කිරීම. මේක කරන්නේ බොහෝ විට මෝටර් සයිකල්, බයිසිකල් හා ත්‍රී රෝද රථ පදවන්නන් බව නොකියාම බැහැ.

අපේ ත්‍රී රෝද රථ රියැදුරන් කරන තවත් බරපතල වැරැද්දක් තමයි, එක පැත්තට මං තීරු දෙකක් හෝ තුනක් තියන මහා මාර්ගයකදී, මං තීරු වෙන් කරන කඩ ඉර දිගේ ගමන් කිරීම. එතකොට එළිපත්ත උඩ ඉන්න බළල වගේ. ඒ කියන්නෙ ගේ ඇතුළට පනියිද නැත්තන් මිදුලට පනියිද කියල කියන්න බෑ. ඉතින් එහෙම වෙලාවට අනිත් රියැදුරන්ට සිද්ද වෙන්නෙ හෙමින් සැරේ පස්සෙන යන්නයි.

ප්‍රධාන වශයෙන් කොළඹ අවිස්සාවෙල්ල මාර්ගය ව‍ගේ අඩු පළලකින් යුක්ත මාර්ගයකදී දකින්න පුළුවන් සුලබ දර්ශනයක් තමයි, වාහන පේලියක් කෝච්චියක් වගේ ගමන් කිරීම. මෙහෙම වෙන්නෙ, මේ කෝච්චියේ එන්ජිම වගේ ඉස්සරහින්ම යන වාහනය හෙමින් සැරේ ගමන් කිරීම නිසයි. විශේෂයෙන්ම ලොරියක් වගේ වාහනයක් පස්සෙන් ඒ විදිහට වාහන පේළියක් හැදෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. පාර පටු නිසාත්, ලොරිය සෑහෙන පළලකින් යුක්ත නිසාත්, කාටවත් ඉස්සර කරගෙන යන්න විදිහක් නැහැ. ඒත් සමහර වෙලාවට මෙහෙම ඉස්සරහින් යන්නේ ත්‍රී වීල් එකක් බව දැක්කහම, ත්‍රී වීල් එක එළවගෙන යන එක්කෙනා කිසිම ලැජ්ජාවක් නැතුව වාහන පහළොවක් විස්සක් පෝලිමේ එන්න දීලා පාර අවහිර කරගෙන හෙමින් ගාටන හැටි දැක්කම මොනවද නොහිතෙන්නෙ.

මේ ගැන ලස්සන විස්තරයක් බලන්න පුළුවනි

තව කතන්දර ඉස්සරහට කියන්නම්